පරිච්ඡේද 31
එය සැබෑ ප්‍රේමය ද කියා මා දැනගන්නේ කෙසේ ද?
ප්‍රේමය—වනාහි සිහින මවන ප්‍රේමවන්තයන්ට, ඔවුන් ව ග්‍රහණයට හසු කරන, ජීවිත කාලයට ම වරක් ඇති වන හුදු ප්‍රමෝදයක අභිරහස්‍ය පැමිණීමකි. ඔවුන් විශ්වාස කරන ප්‍රේමය, ස්ථිරයෙන් ම හෘදයෙන් ඇති වන ක්‍රියාවකි, තේරුම් ගත නොහැකි යමකි, හුදෙක් අත්දකින ලද දෙයකි. ප්‍රේමය සියල්ල ජය ගන්නා අතර සදහට පවතී . . .
ප්‍රේමය ගැන එවන් අදහස් ප්‍රකාශ කර තිබේ. තව ද ප්‍රේම බන්ධනයක් ඇති කරගැනීම අද්විතීය මනහර අත්දැකීමක් විය හැකි බවට කිසි සැකයක් නැත. එහෙත් හුදෙක් සැබෑ ප්‍රේමය යනු කුමක් ද?
දුටු විගස ඇතිවන ප්‍රේමය?
උත්සවයක දී ප්‍රථම වතාවට ඩේවිඩ්ට ජැනට් ව මුණගැසුණි. ඒ මොහොතේ දී ම මනා හැඩයක් ඇති ඇගේ නාරි දේහයට සහ ඇය සිනාසුණු විට ඇගේ නෙත ඉහළින් කෙස් රොද වැටුණු ආකාරයට ඔහුගේ සිත ඇදී ගියේ ය. ඔහුගේ තද දුඹුරු පැහැති නෙත්වලින් සහ සිනා ඉපදවීමට සමත් ඔහුගේ සංවාදයෙන් ජැනට් වශී වූවා ය. දුටු විගස ඇති වූ අන්‍යෝන්‍ය ප්‍රේමයේ අවස්ථාවක් මෙන් එය පෙනෙන්නට තිබුණි!
ඊළඟ සති තුන තුළ දී, ඩේවිඩ් ව සහ ජැනට් ව වෙන් කළ නොහැකි විය. අනතුරු ව එක් රාත්‍රියක දී කලින් සිටි පෙම්වතෙකුගෙන් ජැනට්ට මහත් සේ කම්පනයක් ඇති කළ දුරකථන ඇමතුමක් ලැබුණි. සැනසීමක් ලැබීමට ඇය ඩේවිඩ් ව ඇමතුවා ය. එහෙත් ඩේවිඩ්, තර්ජනයට ලක් වූ බවක් සහ වියවුල්කමක් හැඟුණ හෙයින්, උදාසීන ලෙස ප්‍රතිචාරය දැක්වූයේ ය. සදහට ම පවතී යයි ඔවුන් සිතූ ප්‍රේමය එම රාත්‍රියේ ම පහ ව ගියේ ය.
දුටු විගස ඇති වන ප්‍රේමය සදහට ම පවතින බව ඔබට විශ්වාස කිරීමට චිත්‍රපටි, පොත් සහ රූපවාහිනි දර්ශන මගින් සලස්වයි. ශාරීරික සිත්කළු භාවය සාමාන්‍යයෙන් පළමු අවස්ථාවේ දී ම දෙදෙනෙකු එකිනෙකා ගැන ආශාවක් හටගැන්වීමට සලසන බව සත්‍යයකි. එක් යෞවන පුරුෂයෙක් ඒ ගැන පැවසුවේ මෙයාකාරයට ය: “පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වය ‘දැකීම’ දුෂ්කර ය.” එහෙත් සබඳතාවයක් පැය කීපයකට හෝ දවස් කීපයකට පමණක් ගෙන ගොස් ඇත්නම් කෙනෙකු “ප්‍රේමය” දක්වන්නේ කුමකට ද? එය එම පුද්ගලයා පිළිබිඹු කරන රූපය නොවේ ද? සැබවින් ම, එම පුද්ගලයාගේ සිතුවිලි, බලාපොරොත්තු, බියවීම්, සැලසුම්, පුරුදු, දක්ෂතාවයන් හෝ හැකියාවන් ගැන ඔබ එපමණ දන්නේ නැත. ඔබට හමු වී තිබෙන්නේ “සිතේ ඇතුල් මනුෂ්‍යයා” නොව, නමුත් පිටත පොත්ත පමණි. (1 පේතෘස් 3:4) එවන් ප්‍රේමයක් කෙතරම් කල් පවතී ද?
පෙනුම රැවටිලි සහිත ය
එපමණක් ද නොව, පිටත පෙනුම රැවටිලි සහිත විය හැක. බයිබලය මෙසේ පවසයි: “රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය.” ත්‍යාගයක, දිලිසෙන දවටනයන් ඒ තුළ තිබෙන්නේ කුමක් දැයි යන්න ගැන ඔබට කිසිවක් පවසන්නේ නැත. සැබවින් ම, ඉතා අලංකාර දවටනවලින් නිෂ්ප්‍රයෝජන තෑග්ගක් වැසී තිබෙනවා වන්නට පුළුවන.—හිතෝපදේශ 31:30.
හිතෝපදේශය මෙසේ පවසයි: “ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම්සේද නුවණ නැති [සිහි නුවණ එපා කරන NW ] රූපත් ස්ත්‍රියද එසේමය.” (හිතෝපදේශ 11:22) බයිබල් කාලවල දී නාසයට මුදු දැමීම ජනප්‍රිය සැරසීමක් විය. ඒවා විශිෂ්ට, බොහෝ විට තනි රන්වලින් සාදා තිබුණි. ස්වභාවයෙන් ම, ස්ත්‍රියක පැළඳ සිටින රන් ආභරණවලින් පළමුවෙන් ම ඔබ දකින දෙය වනු ඇත්තේ එවන් මුද්දකි.
යෝග්‍ය අයුරින්, හිතෝපදේශය, පිටත පෙනුමැති සිහි “නුවණ නැති” ස්ත්‍රිය “ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක්” හා සසඳයි. නුවණ නැති ස්ත්‍රියකට අලංකාරය කොයියම් ආකාරයකින්වත් ඔබින්නේ නැත; එය ඇය පැළඳ සිටින නිෂ්ප්‍රයෝජන සැරසිල්ලකි. සියල්ල සලකා බලන කල අවසානයේ දී, නාසයේ පළඳින ඉතා දීප්තිමත් මුද්දක් ඌරෙකු ව අලංකාර නොකරන්නාක් මෙන් එය ඇය ව සිත් ඇදගන්නා කෙනෙකු කරන්නේ නැත! එසේ නම්, ඇතුළාන්තයෙන් එම පුද්ගලයා කවුදැයි යන්න නොසලකා හැර—කෙනෙකුගේ පෙනුමට ‘ප්‍රේමයෙන්’ බැඳීම කෙතරම් වරදක් ද!
“ඇත්තා වූ වඩාත් රැවටිලි සහිත දෙය”
කෙසේ වුවද, ආදරයේ හැඟීම් පිළිබඳ ව මනුෂ්‍ය හෘදයට නොවරදින සුලු විනිශ්චය කිරීමක් තිබේ යයි ඇතැමෙකුට හැඟේ. ‘නිකං ඔබේ හෘදයට සවන් දෙන්න,’ යයි ඔවුහු තර්ක කරති. ‘එය සැබෑ ප්‍රේමය වන විට ඔබ එය දැනගනු ඇත!’ අභාග්‍යයකට, තිබෙන සාධක මෙම මතයට ප්‍රතිවිරුද්ධ ය. යෞවන අය (වයස 18 සිට 24) 1,079 දෙනෙකු පිළිබඳ කරන ලද සමීක්ෂණයක දී වාර්තා වූයේ, එම කාලය වන විට සාමාන්‍යයෙන් ප්‍රේමයෙන් බැඳීම් හතක සාමාන්‍යයක් අත්දුටු බව ය. තම අතීත ප්‍රේම සබඳතාවන්—පහ වී යන, මැලවෙන චිත්ත වේගයක් බව—හුදෙක් මූඪ ප්‍රේමයක් බව බොහෝ දෙනෙක් පිළිගත්හ. එහෙත්, “තම වත්මන් අත්දැකීම් ප්‍රේමය බව මෙම යෞවනයෝ ස්ථිරයෙන් ම විස්තර කළහ”! එහෙත්, බොහෝ දෙනෙකු, තම වත්මන් සබඳතාවන් ඔවුන්ගේ අතීත ඒවා සැලකූ ආකාරයට ම—හුදෙක් මූඪ ප්‍රේමයේ ප්‍රතිශතයක් වශයෙන් සලකන්නට ඉඩ තිබේ.
දුක්ඛදායක සිද්ධිය වන්නේ සෑම වසරක ම යෞවනයන් දහස් ගණනක් ‘ප්‍රේමයේ බැඳීමකින් සිටිනවා,’ යන මුළා වීමක් යටතේ විවාහ වීමත්, ටික කලකට පසු ව ඔවුන් බරපතළ ලෙස වරදක් කර තිබෙන බව දැනගන්නට සිදු වීමත් ය. “බැටළු පැටවුන් ව මරණයට ගෙන යන්නාක් මෙන්” මූඪ ප්‍රේමය මගින් “අනතුරු ඇතැයි සැක නොකරන පුරුෂයන් සහ ස්ත්‍රීන් ව දුර්වල විවාහයන් තුළට ඇදගනියි” කියා සෙක්ස්, ලව්, ඕ ඉන්ෆැචුඒෂන් යන තම පොතේ රේ ෂෝර්ට් පවසයි.
“තමාගේම සිත [හෘදය NW ] කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය [මෝඩයෙක් ය NW ].” (හිතෝපදේශ 28:26) සැමවිට ම පාහේ, අපගේ හෘදයේ විනිශ්චය කිරීම මුළා වූ නොමඟ ගිය එකකි. ඇරත්, බයිබලය මෙසේ පවසයි: “හෘදය වනාහි ඇත්තා වූ වඩාත් රැවටිලිකාර දෙය වන්නේ ය.” (යෙරෙමියා 17:9, ද ලිවිං බයිබල් ) එහෙත්, කලින් සඳහන් කරන ලද හිතෝපදේශය තවදුරටත් මෙසේ පවසයි: “එහෙත් නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය.” බයිබලයේ විස්තර කර තිබෙන ප්‍රේමය—එනම් කිසිකලක පහ නොවන ප්‍රේමය සහ මූඪ ප්‍රේමය අතර වෙනස ඔබ ඉගෙන ගන්නවා නම් අනෙක් යෞවනයන් දුක් විඳ තිබෙන අනතුරුවලින් සහ කලකිරීම්වලින් ඔබටත් මිදීමට හැකි වේ.
මූඪ ප්‍රේමයට විරුද්ධ ව ප්‍රේමය
“මූඪ ප්‍රේමය අන්ධ ය, එය එයාකාරයෙන් සිටීමට කැමති ය. යථාර්ථය දෙස බැලීමට එය අකැමැති ය,” යයි 24-හැවිරිදි කැල්වින් පිළිගනියි. 16-හැවිරිදි ගැහැණු ළමයෙකු වන කෙන්යා, ඊට මෙසේ එකතු කරන්නී ය, “ඔබ පුද්ගලයෙකු කෙරෙහි මූඪ ප්‍රේමයෙන් බැඳී සිටින විට, ඔවුන් කරන සියල්ල අංග සම්පූර්ණ යයි ඔබ සිතයි.”
මූඪ ප්‍රේමය ව්‍යාජ ප්‍රේමයයි. එය සැබෑ නොවන අතර තමන් ගැන පමණක් ම සලකයි. මූඪ ප්‍රේමයෙන් බැඳී සිටින පුද්ගලයන් මෙසේ පැවසීමට ඉඩ තිබේ: ‘මං ඔහු සමඟ සිටින විට මට සැබවින් ම වැදගත්කමක් හැඟෙනවා. මට නිදාගන්න බෑ. මෙය කොතරම් මවිතකර ද කියා මට අදහගන්න බෑ.’ නැතහොත්, ‘ඇය ඇත්තෙන් ම මා ව සතුටට පත් කරනවා.’ “මං” හෝ “මට” යන වචනය කී වරක් භාවිතා කර තිබුණා ද? කියා සැලකිල්ලට ගන්න. ආත්මාර්ථකාමිත්වය මත පදනම් වූ සබඳතාවක් අසමත්වීමට නියමිත ය! කෙසේ වුවද, සැබෑ ප්‍රේමය පිළිබඳ ව බයිබලයේ විස්තරය සැලකිල්ලට ගන්න: “ප්‍රේමය, [බොහෝ NW ] ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත; ප්‍රේමය, අවිනීත නොවේ, ආත්මාර්ථකාමි නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි.”—1 කොරින්ති 13:4, 5, නව අනුවාදය.
එය “ආත්මාර්ථකාමි නොවන” බැවින්, බයිබල් ප්‍රතිපත්තිය මත පදනම් වූ ප්‍රේමය තමා ගැන පමණක් ම සලකන්නේ හෝ ආත්මාර්ථකාමි වන්නේ හෝ නැත. යුවළකට බලවත් ප්‍රේමයේ හැඟීම් සහ අන්‍යෝන්‍ය සිත් ඇදගැනීමක් තිබිය හැකි බව සැබෑවකි. එහෙත් මෙම හැඟීම් සමබර වී තිබෙන්නේ අනෙක් පුද්ගලයා කෙරෙහි ගැඹුරු ගෞරවය දැක්වීම සහ අවබෝධය මගිනි. ඔබ සැබවින් ම ප්‍රේමයෙන් බැඳී සිටින විට, ඔබ ඔබගේ ම ශුභසිද්ධිය සහ සතුට ගැන සැලකිලිමත් වනවා වාගේ ම අනෙක් තැනැත්තාගේ ශුභසිද්ධිය සහ සතුට ගැන ද හැකි තරම් සැලකිලිමත් වන්නෙහි ය. මැඩලිය නොහැකි චිත්ත වේගයට හොඳින් විනිශ්චය කිරීමට ඇති හැකියාව විනාශ කිරීමට ඔබ ඉඩ නොහරිනු ඇත.
සැබෑ ප්‍රේමයේ ආදෘශයක්
යාකොබ් සහ රාඛෙල් පිළිබඳ බයිබල් වාර්තාව පැහැදිලි ලෙස මෙය නිරූපනය කරයි. රාඛෙල් තම පියාගේ බැටළුවන්ට වතුර පෙවීම සඳහා ළිඳක් අසලට පැමිණ සිටිය දී මෙම යුවළ මුණගැසුණි. එකෙණෙහි ම යාකොබ්ගේ සිත ඈ වෙත ඇදී ගියේ “රූපත්ව ප්‍රසන්න පෙනීමකින් යුක්ත” වූ නිසා පමණක් නොව නමුත් ඇය යෙහෝවඃ වහන්සේගේ නමස්කාරියක වූ නිසාත් ය. —උත්පත්ති 29:1-12, 17.
රාඛෙල්ගේ නිවසේ පවුලේ අය සමඟ සම්පූර්ණ මාසයක් ගත කිරීමෙන් පසු, යාකොබ්, තමා රාඛෙල් සමඟ ප්‍රේමයෙන් බැඳී සිටින බවත්, ඇය ව විවාහ කරගැනීමට වුවමනා බවත්, දැනගැනීමට සැලැස් විය. හුදෙක් සෙනෙහසින් පිරි මූඪ ප්‍රේමයක් ද? කොහෙත් ම නැත! එම මාසය තුළ දී, රාඛෙල් තම දෙමව්පියන්ට සහ අන්‍යයන්ට සැලකූ ආකාරය, බැටළු පාළිකාවක් වශයෙන් ඇය ඇගේ වැඩ කටයුතු කරගෙන ගිය ආකාරය, යෙහෝවඃ වහන්සේගේ නමස්කාරය ඇය කොතරම් දුරකට බැරෑරුම් ලෙස සැලකුවා ද යන්න වැනි සාමාන්‍ය තත්ත්වයන් යටතේ හැසිරුනු ආකාරය ඔහු දැක තිබුණි. නිසැක ව ම ඇගේ “හොඳ ම ස්වභාවය” සහ “නරක ම ස්වභාවය” යන දෙක ම ඔහු දුටුවේ ය. එමනිසා ඈ වෙනුවෙන් වූ ඔහුගේ ප්‍රේමය නොහික්මුණු චිත්ත වේගයක් නොව නමුත් බුද්ධිය මත සහ ගැඹුරු ගෞරවය මත පදනම් වූ පරාර්ථකාමී ප්‍රේමයකි.
කාරණය එසේ ව තිබිය දී, ඇය භාර්යාව වශයෙන් පාවා ගැනීමට හැකි වනු පිණිස ඇගේ පියා යටතේ වර්ෂ හතක් සේවය කිරීමට ඔහු කැමැත්තෙන් සිටි බව ප්‍රකාශ කිරීමට යාකොබ්ට හැකි විය. ස්ථිරයෙන් ම මූඪ ප්‍රේමයක් එපමණ කලක් නොපවතිනු ඇත! එම වර්ෂ “දවස් කීපයක් මෙන්” පෙනෙන්නට සලසනු ඇත්තේ අනෙක් තැනැත්තා කෙරෙහි පරාර්ථකාමී සැලකිල්ලක් එනම් අව්‍යාජ ප්‍රේමයක් පමණකි. එම අව්‍යාජ ප්‍රේමය හේතුවෙන්, එම කාල පරිච්ඡේදය තුළ ඔවුන්ගේ නිර්මලත්වය පවත්වා ගැනීමට ඔවුනට හැකි විය.—උත්පත්ති 29:20, 21.
එයට කාලයක් යයි!
එමනිසා සැබෑ ප්‍රේමය කාලය මගින් වේදනාවට පත් නොවෙයි. ඇත්තෙන් ම, බොහෝ විට කෙනෙකු කෙරෙහි ඔබේ හැඟීම් පරීක්ෂා කිරීමට හොඳ ම මාර්ගය වන්නේ යම් කාලයක් පසු වී යාමට ඉඩ හැරීම ය. තවදුරටත්, යෞවන ස්ත්‍රියක වූ සැන්ඩ්‍රා නිරීක්ෂණය කළේ මේ ආකාරයට ය: “ ‘මං මෙවැනි කෙනෙක්. මා ගැන සෑම දෙය ම දැන් ඔබ දන්නවා,’ යයි කියමින් පුද්ගලයෙකු ඔහුගේ පුද්ගලිකත්වය ඔබට නිකම් පවසන්නේ නැත.” ඔබගේ සිත ගෙන තිබෙන කෙනෙකු ව දැනගැනීමට ද කාලයක් යයි.
බයිබල් ඥානය තුළින් ඔබේ ආදරයේ හැඟීම්වල උනන්දුව පරීක්ෂා කිරීමට ද කාලය ඔබට ඉඩ හරියි. මතක තබා ගන්න, ප්‍රේමය “අවිනීත නොවේ, ආත්මාර්ථකාමී නොවේ.” ඔබේ මිත්‍රයා ඔබේ සැලසුම්වල සාර්ථකත්වය සඳහා උනන්දුවෙන් සිටිනවා ද—නැතහොත් ඔහුගේ ම හෝ ඇගේ ම ඒවා සඳහා පමණක් ද? ඔහු හෝ ඇය ඔබේ අදහසට, ඔබේ හැඟීම්වලට ගරු කරනවා ද? ආත්මාර්ථකාමී රාගයන් තෘප්තිමත් කර ගනු වස් සැබවින් ම ‘අවිනීත’ දේවල් කිරීමට ඔහු හෝ ඇය ඔබට බල කර තිබෙනවා ද? මෙම පුද්ගලයා නැඹුරු වන්නේ අන්‍යයන් ඉදිරියේ දී ඔබ ව පහත් කිරීමට ද නැතහොත් ඔබ ව නගා සිටුවීමට ද? මෙවන් ප්‍රශ්න ඇසීමෙන් ඔබේ හැඟීම් වඩා සමබර ව පරමාර්ථ ඇතුව තක්සේරු කිරීමට ඔබට උපකාරවත් විය හැක.
හදිසියේ ම ප්‍රේම බන්ධනයකට ඇතුල්වීම විපත්තිය කැඳවයි. “මම ඉක්මන් සහ ගැඹුරු ප්‍රේමයකින් බැඳුණා,” යයි 20-හැවිරිදි ජිල් පැහැදිලි කළා ය. වේගයෙන් හැමූ සුළි සුළඟක් බඳු මාස දෙකක ප්‍රේම බන්ධනයකට පසු, ඇය විවාහ වූවා ය. එහෙත් කලින් සැඟ වූ දෝෂයන් මතු වෙන්නට පටන් ගත්තේ ය. ජිල් ඇගේ අසුරක්ෂිත භාවයේ හැඟීම් සහ තමා ගැන ම පමණක් සැලකීම යම් දුරකට විදහා පෑමට පටන් ගත්තා ය. ඇගේ ස්වාමිපුරුෂයා වන රික්ට තම සෙනෙහසින් සිත් ඇදගැනීම නැති වී ගිය අතර ආත්මාර්ථකාමී වන්නට විය. විවාහ වී වර්ෂ දෙකකට පමණ පසු, දිනක් ජිල් තම ස්වාමිපුරුෂයා “වැදගැන්මකට නැති,” “කම්මැලි,” සහ “අසමත්” ස්වාමිපුරුෂයෙකු යයි කෑගැසුවා ය. රික් අත මිට මොළවා ඇගේ මුහුණට පහරක් ගැසීමෙන් ප්‍රතිචාරය දැක්වී ය. කඳුළෙන් යුතු ව, ජිල් ඔවුන්ගේ නිවසෙන් සහ ඔවුන්ගේ විවාහයෙන් ඉවත් ව ගියා ය.
බයිබලයේ උපදෙස් අනුගමනය කළා නම්, නිසැක ව ම ඔවුන්ගේ විවාහය ආරක්ෂා කරගැනීමට ඔවුනට උපකාරවත් වන්නට තිබුණි. (එපීස 5:22-33) එහෙත් විවාහයට පෙර ඔවුන් එකිනෙකා වඩා හොඳින් දැන හඳුනා ගෙන සිටියා නම් දේවල් කෙතරම් වෙනස් විය හැකි වන්නට තිබුණේ ද! ඔවුන්ගේ ප්‍රේමය “රූපයකට” පමණක් සීමා නොවුණු නමුත්, දෝෂයන් සහ හැකියාවන් යන දෙකින් ම යුක්ත එකක් වූ සැබෑ පුද්ගලිකත්වයක් මත වූ යමක් වීමට තිබුණි. ඔවුන්ගේ අපේක්ෂාවන් වඩා යථාර්ථානුරූපී වන්නට තිබුණි.
සැබෑ ප්‍රේමය එක් රැයකින් සිදු වන දෙයක් නොවේ. ඔබට හොඳ විවාහ කලත්‍රයෙකු වන තැනැත්තා අනිවාර්යෙන් ම අතිශයින් සිත් ඇදගන්නා කෙනෙකු වීමට ද අවශ්‍ය නැත. උදාහරණයක් ලෙස, බාබරා, තමාට මුණගැසුණු යෞවන පුරුෂයාට මුල දී ඇගේ සිත එතරම් ම ඇදී නොගිය බව පිළිගන්නී ය. “නමුත් මා ඔහු ව වඩා හොඳින් දැනගත් විට දේවල් වෙනස් වුණා. අනිත් අය කෙරෙහි ස්ටීවන්ගේ සැලකිල්ල මං දැක්කා, ඔහු තමාට ප්‍රථමයෙන් අන්‍යයන්ගේ අවශ්‍යතාවයන් ගැන සැමවිට ම සැලකූ ආකාරය මං දැක්කා. හොඳ ස්වාමිපුරුෂයෙකු බිහි කරනු ඇති බවට මා දැන සිටි ගුණාංග මේවා ය. මා ඔහු වෙත ඇදී ගිය අතර ඔහුට ප්‍රේම කිරීමට පටන් ගත්තා.” ස්ථිර විවාහයක් ප්‍රතිඵල විය.
එබැවින් සැබෑ ප්‍රේමය දැනගැනීමට ඔබට හැක්කේ කෙසේ ද? ඔබේ හෘදය ඔබට කථා කළ හැක, නමුත් බයිබලය තුළ පුහුණු කරන ලද ඔබේ මනස විශ්වාස කරන්න. පුද්ගලයාගේ පිටත “රූපයට” වඩා වැඩියෙන් දැනගන්න. සබඳතාවය ඵලගැන්වීමට කාලයට ඉඩ හරින්න. මතක තබා ගන්න, මූඪ ප්‍රේමය කෙටි කාලයකින් අසාමාන්‍ය ලෙස උත්සන්න වීමේ තත්ත්වයකට ළඟා වන නමුත් පසු ව මැල වී යයි. අව්‍යාජ ප්‍රේමය කාලයත් සමඟ ම ශක්තිමත් වන අතර “එකමුතුකමේ පරිපූර්ණ බැම්මක්” බවට පත්වේ.—කොලොස්සි 3:14, NW.
සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න
◻ කෙනෙකුගේ පෙනුම සමඟ ප්‍රේමයෙන් බැඳීමේ වරද කුමක් ද?
◻ සැබෑ ප්‍රේමය හඳුනා ගැනීමට ඔබේ හෘදය විශ්වාස කළ හැකි ද?
◻ ප්‍රේමය සහ මූඪ ප්‍රේමය අතර ඇතැම් වෙනස්කම් කවරේ ද?
◻ විරුද්ධ ලිංගයේ අය සමඟ හුදකලා ඇසුරේ යෙදෙන යෞවන ජෝඩු බොහෝ විට වෙන් වන්නේ මන්ද? මෙය සැමවිට ම වැරදි ද?
◻ ප්‍රේම සම්බන්ධයක් නතර කරන්නට සිදු වූවා නම් ප්‍රතික්ෂේප වීමේ හැඟීම් සමඟ ඔබට කෙසේ ක්‍රියා කළ හැකි ද?
◻ එකිනෙකා ව දැන හඳුනා ගැනීමට කාලයක් ගත වීමට ඉඩ හැරීම වැදගත් වන්නේ මන්ද?
[242 පිටුවෙහි හුවා දැක්වීම]
ඔබ ප්‍රේමයෙන් බැඳී සිටින්නේ පුද්ගලයා සමඟ ද නැතහොත් හුදෙක් “රූපයක්” සමඟ ද?
[247 පිටුවෙහි හුවා දැක්වීම]
“මූඪ ප්‍රේමය අන්ධ ය, එය එයාකාරයෙන් සිටීමට කැමති ය. යථාර්ථය දෙස බැලීමට එය අකැමැති ය.”—24-හැවිරිදි පුරුෂයෙක්
[250 පිටුවෙහි හුවා දැක්වීම]
“මට දැන් පුළුවන් ‘ ආ, ඔබේ සැප සනීප කොහොම ද?’ යයි අසන තැනැත්තෙකු වීමට පමණකි. කිසිවෙකුට මා වෙත කිට්ටු වීමට මම ඉඩ නොහරිමි”
[248 සහ 249 පිටුවල ඇති කොටුව]
බිඳුණු හෘදයකින් ගොඩ ඒමට මට හැක්කේ කෙසේ ද?
ඔබ විවාහ කරගන්න යන්නේ මේ තැනැත්තා බව ඔබට නිසැකයි. ඔබ එකිනෙකාගේ ඇසුර භුක්තිවිඳියි, ඔබ, උනන්දුව දක්වන පොදු දේවල් හවුලේ බෙදා ගනියි, තව ද ඔබට අන්‍යෝන්‍ය සිත් ඇදගැනීමක් ද දැනේ. එවිට, හිටිහැටියේ ම, කේන්තිය පුපුරවා හැරීමක් මගින්—හෝ කඳුළු වැගිරීමක් මගින්—සබඳතාවය පහව යයි.
දොස්තර මයිකල් ලයිබොවිට්ස්, ද කෙමිස්ට්‍රි ඔෆ් ලව් යන ඔහුගේ පොතේ, දුරදිග නොබලා ප්‍රේම කිරීමට පටන් ගැනීම සැර බෙහෙතකට සමාන කළේ ය. එහෙත් ප්‍රේම සබඳකම පහව යනවා නම් බෙහෙතක් මෙන්, ‘පලුදු වූ හැඟීම්වල ලක්ෂණ’ පහල කිරීමට එයට හැක. තව ද ප්‍රේමය හුදෙක් මූඪ ප්‍රේමය වුවත්, නැතහොත් ‘සැබෑ දෙයක්’ වුවත්, එය ඇති කරන්නේ සුළු වෙනසකි. මේ දෙකට ම, ඉමහත් ප්‍රමෝදයේ හැඟීම් ඇති කිරීමට—මෙන් ම සබඳතාවය අවසන් වනවා නම් වේදනාකාරී පහත් තත්ත්වයන් ඇති කිරීමට පුළුවන.
ප්‍රතික්ෂේප වීමේ හැඟීම්, වේදනාව සහ සමහර විට වෙන් වීමත් සමඟ ම ඇති වන කෝපය මෙලෙස අනාගතය දෙස ඔබ බලන ආකාරය අප්‍රසන්න කළ හැක. එක් යෞවන ස්ත්‍රියක් තමා ගැන ම පවසන්නේ විවාහ බස් දී පසු ව රැවටීම නිසා ‘සිත පලුදු වූ තැනැත්තියක්’ වශයෙනි. “මට දැන් පුළුවන් [විරුද්ධ ලිංගයේ අය සමඟ] ‘ආ, ඔබේ සැප සනීප කොහොම ද?’ යයි අසන තැනැත්තෙක් වීමට පමණකි. කිසිවෙකුට මා වෙත කිට්ටු වීමට මම ඉඩ හරින්නේ නෑ,” යයි ඇය පවසන්නී ය. සබඳතාවයක බැඳීම ගැඹුරු යයි ඔබට හැඟෙන තරමට ම, එය කැඩී බිඳී යාමේ දී ඇති කළ හැකි වේදනාව ද ගැඹුරු ය.
එසේ ය, ඇත්තෙන් ම, ඔබ සතුටු කෙනෙකු සමඟ පූර්ව විවාහ ඇසුරක යෙදීමේ නිදහස විශාල වේදනාකාරී ප්‍රතිඵලයක් ද දරයි: එනම් සැබවින් ම ප්‍රතික්ෂේප වීමට ඇති හැකියාවයි. සැබෑ ප්‍රේමය වර්ධනය වන බවට කිසි ම සහතිකයක් නොමැත. එබැවින් අවංක අභිප්‍රායන් ඇති ව ඔබ සමඟ පූර්ව විවාහ ඇසුරේ යෙදීමට කෙනෙකු පටන් ගත් නමුත් විවාහය අනුවණ දෙයක් යයි පසු ව නිගමනය කළහොත්, ඔබ අනිවාර්යයෙන් ම අසාධාරණ ලෙස ක්‍රියා කළා කියා පැවසිය නොහැක.
ගැටලුව නම්, හැකි උපරිමයෙන් උපායශීලී ව හා කරුණාවන්ත ව වෙන්වීමක් හසුරුවනු ලබන විට පවා, වේදනාවේ හා ප්‍රතික්ෂේප වීමේ හැඟීම නියත වශයෙන් ම ඔබට තවමත් තිබීම ය. කෙසේ වුවද, ඔබේ ආත්ම-අභිමානය නැති කරගැනීමට මෙය හේතුවක් නොවේ. මෙම පුද්ගලයාගේ ඇස් ඉදිරියේ ඔබ “නුසුදුසු” වූවා යන කාරණයෙන් වෙනත් කෙනෙකුගේ ඇස් ඉදිරියේ ඔබ හුදෙක් නුසුදුසු වනු ඇතැයි අදහස් වන්නේ නැත!
විනාශ වී ගිය ප්‍රේම බන්ධනය දෙස සන්සුන් කෝණයකින් බැලීමට වෙර දරන්න. මෙම සම්බන්ධය විනාශ වී යෑම නිසා ඔබ සම්බන්ධ වී සිටි පුද්ගලයාගේ දෝෂ සහිත දේවල් වන චිත්ත වේගීය නොමේරූ භාවය, තීරණයක් ගැනීමේ අපහසුතාවය, නම්‍යතාවයක් නොදැක්වීම, නොඉවසන ගතිය, ඔබේ හැඟීම් සඳහා අඩු සැලකිල්ලක් දැක්වීම, ඉතා හොඳින් පැහැදිලි ව දැක ගන්නට හේතු වුණා විය හැක. මේවා විවාහ කලත්‍රයෙකු තුළ තිබිය යුතු සිත් ගන්නා සුලු ගුණාංග නොවේ.
වෙන් වීම සම්පූර්ණයෙන් ම එක් පැත්තකින් සිදු වන දෙයක් නම් හා විවාහය සාර්ථක වන්නට ඉඩ තිබුණේ යයි ඔබට ඒත්තු ගොස් තිබේ නම් කුමක් ද? ඇත්තෙන් ම ඔබට හැඟෙන්නේ කෙසේදැයි අනෙක් තැනැත්තාට දැනගැනීමට ඉඩ හැරීමට ඔබට අයිතියක් තිබේ. සමහර විට යම් වරදවා තේරුම් ගැනීමක් තිබුණා වන්නට ඇත. චිත්ත වේගීය බැණ වැදීමෙන් කිසිවක් සමතයකට පත්වන්නේ නැත. තව ද ඔහු හෝ ඇය වෙන්විය යුතු ම යයි කියා සිටිනවා නම්, ඔබ කෙරෙහි හැඟීමක් නැති කෙනෙකුගේ ආදරය ඉල්ලා හඬා වැලපෙමින් ඔබ ව අවමානයට ලක් කරගැනීමේ අවශ්‍යතාවයක් නැත. “සොයන්ට කාලයක් සහ නැතිවීමට අරින්ට කාලයක්” තිබෙන බව සාලමොන් පැවසුවේ ය.—දේශනාකාරයා 3:6.
විවාහය කෙරෙහි අවංක උනන්දුවක් කිසිදා නොතිබුණු කෙනෙකු මගින් ඔබ ව හුදෙක් අනිසි ලෙස යොදාගත් බවට සැක කිරීමට ඔබට බලවත් හේතුවක් තිබෙන්නේ නම් කුමක් ද? පළිගැනීමේ චේතනාවෙන් උපක්‍රම යෙදීම ඔබ විසින් කළ යුතු නැත. ඔහුගේ හෝ ඇගේ වංක මාර්ගය ගැන දෙවියන් වහන්සේ නොදැක නොසිටින බවට සහතික වන්න. උන් වහන්සේගේ වචනය මෙසේ පවසයි: “කෲරයා තමාගේම මාංසය [ආත්මය NW ] කලඹන්නේය.”—හිතෝපදේශ 11:17; සසඳන්න හිතෝපදේශ 6:12-15.
කලින් කලට තනිකමෙන් සහ ප්‍රේම බන්ධනයේ මතකයන් මගින් ඔබ තවදුරටත් තැවෙන්නට පුළුවන. එසේ වුවහොත්, හොඳින් හැඬීමේ වරදක් නැත. සමහර විට යම් ශාරීරික ක්‍රියාකාරකමක හෝ ක්‍රිස්තියානි දේව සේවයේ යෙදෙමින්, වැඩක නිරත වී සිටීම ද උපකාරවත් වේ. (හිතෝපදේශ 18:1) සතුටුදායක සහ වර්ධනාත්මක දේවල් කෙරෙහි ඔබේ මනස යොමු කර තබා ගන්න. (පිලිප්පි 4:8) විශ්වාසවන්ත කිට්ටු මිතුරෙකුට සියල්ල හෙළි කරන්න. (හිතෝපදේශ 18:24) ඔබ ස්වාධීන ව කටයුතු කිරීමට සුදුසු වයසක සිටින්නේ යයි ඔබට හැඟෙන විට පවා, ඔබේ දෙමව්පියන් විසින් ද ඔබට මහත් සැනසීමක් ගෙන දෙන්නට පුළුවන. (හිතෝපදේශ 23:22) තව ද සියල්ලට ම වඩා, යෙහෝවඃ වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සියල්ල පවසන්න.
ඔබේ පුද්ගලිකත්වයේ යම් පැති සම්බන්ධයෙන් යම් වෙනස් කිරීම් කිරීමට තිබෙන බව ඔබට දැන් වැටහෙනවා වන්නට පුළුවන. විවාහ කලත්‍රයෙකු තුළ ඔබ බලාපොරොත්තු වන දේ කුමක් දැයි ඔබට දැන් වෙන කවදාටත් වඩා පැහැදිලි විය හැක. තව ද ප්‍රේම කර අහිමි වී සිටින ඔබ, සිත්ගන්නා පුද්ගලයෙකු පැමිණේ නම්, පූර්ව විවාහ ඇසුර මීට වඩා ටිකක් දූරදර්ශී ව හැසිර වීමට තීරණය කළ හැකි අතර ඔබ සිතනවාට වඩා ඔබගේ සිත් ගන්නා පුද්ගලයා නැවත පැමිණීමට ඇති ඉඩකඩ වැඩි ය.
[245 පිටුවෙහි වගුව]
එය ප්‍රේමය ද නැතහොත් මූඪ ප්‍රේමය ද?
ප්‍රේමය මූඪ ප්‍රේමය
1. අනෙක් තැනැත්තා උනන්දු වන ආත්මාර්ථකාමී ය, සීමා ඇති කරවන
දේවල් සම්බන්ධයෙන් පරාර්ථකාමී සුලුය. ‘මෙමගින් මට ලැබෙන ප්‍රයෝජනය
සැලකිල්ලක් දක්වයි කුමක් ද?’ යයි කෙනෙක් සිතයි
2. බොහෝ විට ප්‍රේම සම්බන්ධය සමහර විට පැය හෝ දවස් ගණනකින්,
පටන් ගන්නේ, සමහර විට මාස ප්‍රේම සම්බන්ධය ඉක්මනින් පටන්
හෝ වසර ගණනක් ගත කරමින් ගනියි
සෙමින් ය
3. ඔබේ සිත ඇදගනු ලබන්නේ ඔබ මහත් සේ සිතේ හැඟීම් ඇති කරගෙන
අනෙක් පුද්ගලයාගේ සම්පූර්ණ සිටින්නේ නැතහොත් උනන්දු වී සිටින්නේ
පුද්ගලිකත්වය සහ ආත්මික අනෙක් තැනැත්තාගේ ශාරීරික පෙනුම
ගුණාංග මගිනි කෙරෙහිය. (‘ඔහුට මොනතරම් ලස්සන
ඇස් දෙකක් තිබෙනවා ද.
’‘ඇයටමොනතරම් කැපී පෙනෙන
නාරි දේහයක් තිබෙනවා ද’ )
4. ඔබ මත ඇති කරන බලපෑම විනාශකාරී, අවුල් වියවුල් කරන බලපෑමක්
නම් ඔබ ව වඩා හොඳ ඇත
පුද්ගලයෙකු කිරීම ය
5. ඔහුගේ හෝ ඇගේ දෝෂයන් යථාර්ථානුරූපී නොවේ. අනෙක්
දකිමින්, එහෙත් කෙසේ නමුත් එම පුද්ගලයා අංග සම්පූර්ණ යයි පෙනෙයි.
තැනැත්තාට ප්‍රේම කරමින්, බරපතළ පුද්ගලික දෝෂයන්
ඔබ අනෙක් තැනැත්තා ව සම්බන්ධයෙන් නොකඩවා ඇති වන ඕනෑම
යථාර්ථානුරූපී ලෙස සලකයි සැකයක් ඔබ විසින් නොසලකා හරියි
6. ඔබ දෙදෙනාට එකඟ නොවන නිතර වාද විවාදයන් පවතී. කිසිවක්
දේවල් තිබෙන නමුත්, ඒවා සැබවින් ම විසඳෙන්නේ නැත.
නොසඟවා කථා කර ඒවා විසඳා බොහොමයක් “විසඳනු” ලබන්නේ
ගැනීමට හැකි බව ඔබට පෙනෙයි සිප ගැනීමක් මගිනි
7. අනෙක් තැනැත්තාට දීමට සහ ගැනීමට හෝ ලැබීමට ප්‍රමුඛත්වය දෙනු
හවුලේ බෙදා ගැනීමට ඔබට ලැබේ, විශේෂයෙන් ම ලිංගික පෙලඹීම්
වුවමනා වේ තෘප්තිමත් කර ගැනීමේ දී
[244 පිටුවෙහි ඇති පින්තූර]
පිටත පෙනුමැති නමුත් නුවණ නැති පුරුෂයෙකු හෝ ස්ත්‍රියක ‘ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් හා සමාන ය’
[246 පිටුවෙහි ඇති පින්තූර]
අන්‍යයන් ඉදිරියේ ඔබ ව නිරතුරු ව ම පහත් කරන පුද්ගලයෙකු ඔබ කෙරෙහි නියම ප්‍රේමයක් නොමැති ව සිටිනවා විය හැක