1වෙනි පරිච්ඡේදය
ස්වර්ගයෙන් පණිවුඩ
හරියටම කියනවා නම්, බයිබලය කියන්නේ ස්වර්ගයෙන් ආ පණිවුඩයක්. අපට එය ලැබී තිබෙන්නේ ස්වර්ගයේ සිටින අපගේ පියාගෙන්. ඔහු එය දී තිබෙන්නේ අපව දැනුවත් කිරීමටයි. කොහොම වුණත්, වසර 2,000කට පමණ පෙර ‘දෙවිට ළංව ඔහු ඉදිරියෙහි සිටින’ ගාබ්‍රියෙල් නම් දේවදූතයෙක් විශේෂ පණිවුඩ දෙකක් රැගෙන පොළොවට පැමිණියා. ඔහු පොළොවට පැමිණි මෙම වැදගත් අවස්ථාවන් දෙක පිළිබඳව අපි දැන් සෝදිසි කර බලමු.
අප සිටින්නේ ක්‍රි.පූ. 3වන වසරෙයි. සෙකරියා නමැති යෙහෝවාගේ පූජකයෙක් යුදයේ කඳුකරයේ ජීවත් වෙමින් සිටිනවා. එය සමහරවිට පිහිටා තිබෙන්නේ යෙරුසලමට නුදුරින් විය හැකියි. සෙකරියාත් එලිසබෙත් නම් වූ ඔහුගේ බිරිඳත් දැන් වයසට ගිහින්. ඔවුන්ට දරුවන් නැහැ. යෙරුසලමේ පිහිටි දේවමාලිගාවෙහි පූජක සේවයේ යෙදී සිටීමට දැන් සෙකරියාගේ වාරය ඇවිත්. ඔහු සේවය කරමින් සිටියදී හදිසියේම සුවඳ දුම් පූජාසනයේ දකුණු පැත්තේ ගාබ්‍රියෙල් දර්ශනය වෙනවා.
සෙකරියා බොහෝ සෙයින් බියට පත් වුණත් ගාබ්‍රියෙල් ඔහුගේ බිය සැක දුරු කරමින් මෙසේ පවසනවා. “සෙකරියා, භය නොවන්න. මන්ද ඔබේ කන්නලව්වට සවන් දී තිබේ. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබට පුතෙකු බිහි කරන්නීය. ඔබ ඔහුට යොහන් යන නම තැබිය යුතුය.” යොහන් “යෙහෝවා ඉදිරියෙහි උතුම්” වන බවද, ඔහු “යෙහෝවා වෙනුවෙන් සූදානම් වූ සෙනඟක් පිළියෙළ” කරන බවද ගාබ්‍රියෙල් තවදුරටත් පවසනවා.
කොහොම වුණත් සෙකරියාට එය අදහාගන්නවත් බැහැ. වයසට ගොස් සිටින ඔහුටත් එලිසබෙත්ටත් දරුවෙකු ලැබිය හැකියයි සිතිය නොහැකි තරම්. එමනිසා ගාබ්‍රියෙල් ඔහුට මෙසේ පවසනවා. “මාගේ වචන ඔබ විශ්වාස නොකළ හෙයින්, මේ දේවල් සිදු වන දවස දක්වා කතා කිරීමට නොහැකිව ඔබ නිහඬව සිටින්නේය.”
මේ අතරතුරේදී, සෙකරියා දේවමාලිගාවේ මෙපමණ වේලාවක් ගත කරන්නේ ඇයි කියා පිටත සිටින අය කල්පනා කරමින් සිටිනවා. අවසානයේදී ඔහු පිටතට පැමිණෙන විට ඔහුට කතා කරන්න බැහැ. අත්වලින් සංඥා කරන්න විතරයි පුළුවන්. ඒ නිසා ඔහු ආශ්චර්යවත් යමක් දැක ඇති බව සෙනඟ තේරුම්ගන්නවා.
දේවමාලිගාවේ තමාට සේවය කිරීමට නියමව තිබූ කාලය අවසන් වූ පසු, සෙකරියා ආපසු නිවසට යනවා. වැඩි කල් යෑමට පෙර දේවදූතයා පැවසූ දේ සැබෑ කරවමින් එලිසබෙත් ගැබ්ගනී! එලිසබෙත් තම දරුවා උපදින තුරු පස් මසක් මනුෂ්‍යයන්ගෙන් ඈත්ව නිවසේ රැඳී සිටිනවා.
පසුව, ගාබ්‍රියෙල් නැවතත් දර්ශනය වෙනවා. දැන් ඔහු කතා කරන්නේ කාටද? නාසරෙත් නම් නුවරේ වෙසෙන මරියා නමැති තරුණ අවිවාහක ස්ත්‍රියටයි. මෙවර ඔහු ඉදිරිපත් කරන පණිවුඩය කුමක්ද? ඔහු පවසන දේට සවන් දෙන්න! ‘ඔබට දෙවිගේ ප්‍රසාදය ලැබී ඇත’ යයි ගාබ්‍රියෙල් මරියාට පවසනවා. ඔහු තවදුරටත් පවසන්නේ මෙසේයි. “බලන්න! ඔබ පිළිසිඳගෙන පුතෙකු බිහි කරන්නෙහිය. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුය. මොහු ශ්‍රේෂ්ඨ වන්නේය. ඔහුට මහෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. . . . ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය අවසන් නොවන්නේය.”
මෙම පණිවුඩ ඉදිරිපත් කිරීමට ලැබීම ගාබ්‍රියෙල් වරප්‍රසාදයක් ලෙස සලකන බව නිසැකයි. ඒ වගේම අප යොහන් හා යේසුස් ගැන තවදුරටත් කියවද්දී, ස්වර්ගයෙන් වූ මෙම පණිවුඩ එතරම්ම වැදගත් වන්නේ ඇයි කියා වඩාත් පැහැදිලිව දැකගන්න පුළුවන් වේවි. 2 තිමෝති 3:16; ලූක් 1:5-33, NW.
▪ ස්වර්ගයෙන් පැමිණියේ කිනම් වැදගත් පණිවුඩ දෙකද?
▪ පණිවුඩ ඉදිරිපත් කරන්නේ කවුද? ඒවා ඉදිරිපත් කරන්නේ කාටද?
▪ එම පණිවුඩ විශ්වාස කිරීම එතරම්ම අපහසු වන්නේ ඇයි?