15වෙනි පරිච්ඡේදය
යේසුස්ගේ පළමු ප්රාතිහාර්යය
යේසුස්ගේ පළමු ගෝලයන් වශයෙන් අන්දෘ, පේතෘස්, යොහන්, ෆිලිප්, නතානියෙල් සහ සමහරවිට යාකොබ්වත් තෝරාගෙන තවමත් ගත වී තිබෙන්නේ දවසක් හෝ දෙකක් පමණයි. මොවුන් සියලුදෙනාම දැන් ගමන් කරමින් සිටින්නේ තමන් උපන් ප්‍රදේශය වන ගලීල දිස්ත්‍රික්කයටයි. ඔවුන්ගේ ගමනාන්තය වන්නේ නතානියෙල්ගේ උපන් ගම වන කානා නුවරයි. එය යේසුස් හැදී වැඩුණු නාසරෙත් නුවරට ආසන්නව ඇති කඳුකරයේ තමයි පිහිටා තිබෙන්නේ. ඔවුන් එතැනට ගමන් කරන්නේ එහි පැවැත්වෙන විවාහ මංගල්‍යයකට ඔවුන්ට ආරාධනා කර තිබෙන නිසයි.
යේසුස්ගේ මවත් විවාහ මංගල්‍යයට පැමිණ සිටිනවා. විවාහ වන යුවළගේ පවුලේ යෙහෙළියක් හැටියට, අමුත්තන්ට සංග්‍රහ කිරීමෙහි මරියා හවුල්ව සිටින බවක් පෙනෙන්ට තිබෙනවා. ඒ නිසා යම් හිඟයක් ඇති බව ඉක්මනින්ම ඇගේ අවධානයට ලක් වී, “ඔවුන්ට වයින් නැත” කියා පවසමින් ඇය යේසුස්ට ඒ පිළිබඳව දන්වනවා.
වයින්වල හිඟය සම්බන්ධයෙන් යමක් කරන ලෙස මරියා යේසුස්ට එලෙස යෝජනා කළ විට, යේසුස් මුලදී ඊට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. “ඔබ හා මා අතර මොන ගනු දෙනුවක්ද?” කියා ඔහු ඇගෙන් අසනවා. දෙවිගේ පත් කරන ලද රජු වශයෙන් ඔහු කටයුතු මෙහෙයවිය යුතු අන්දම ගැන ඔහුට උපදෙස් දීමට ඔහුගේ පවුලේ අයට හෝ මිතුරන්ට අයිතියක් නැහැ. ඒ නිසා මරියා ඥානවන්ත ලෙස කාරණය ඇගේ පුතාට භාර දෙමින් වැඩ කරමින් සිටින අයට මෙසේ පවසනවා. “ඔහු ඔබට කියන දේ කරන්න.”
ගල්වලින් තැනූ භාජන හයක් එහි තිබෙන අතර, ඒ සෑම භාජනයකටම ලීටර් 40කට වඩා වතුර අල්ලනවා. “භාජනවලට වතුර පුරවන්න” කියා වැඩ කරමින් සිටින අයට යේසුස් උපදෙස් දෙනවා. ඔවුන් භාජනවල කට ළඟටම වතුර පුරවනවා. ඉන්පසු යේසුස් ඔවුන්ට පවසන්නේ මෙසේයි. “දැන් මෙයින් ටිකක් මංගල්‍ය කටයුතු අධීක්ෂණය කරන්නා වෙතට ගෙන යන්න.”
වයින් ආශ්චර්යවත් ලෙස නිපදවූ බව නොදැන, මංගල්‍ය කටයුතු අධීක්ෂණය කරන්නා එහි ඉස්තරම් ගුණය ගැන මවිතයට පත් වෙනවා. ඔහු මනමාලයාට අඬගසා, “සෑම මිනිසෙකුම පළමුකොට හොඳ වයින් දී, මිනිසුන් බොහෝ සෙයින් බීවායින් පසු බාල වයින් දෙන්නේය. ඔබ මේ වන තුරු හොඳ වයින් තබාගෙන සිටියෙහිය” කියා පවසනවා.
මෙය යේසුස්ගේ පළමු ප්‍රාතිහාර්යයයි. එය දැකීමෙන් ඔහුගේ අලුත් ගෝලයන්ගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. ඉන්පසු, ඔවුන් යේසුස්ගේ මව හා අර්ධ සහෝදරයන් සමඟ ගලීලයේ මුහුද අසබඩ කපර්ණවුම බලා ගමන් කරනවා. යොහන් 2:1-12, NW.
▪ කානාවල විවාහ මංගල්‍යය පැවැත්වෙන්නේ යේසුස්ගේ සේවයේ කිනම් අවදියේදීද?
▪ යේසුස් තම මවගේ යෝජනාවට විරුද්ධ වන්නේ ඇයි?
▪ යේසුස් සිදු කරන ප්රාතිහාර්යය කුමක්ද? එයින් අන්‍යයන් කෙරෙහි ඇති කරන බලපෑම කුමක්ද?