20වෙනි පරිච්ඡේදය
කානාහි සිදු කරන දෙවන ප්රාතිහාර්යය
යුදයේ විශාල ප්‍රදේශයක් පුරා දේශනා කිරීමෙන් පසුව යේසුස් ආපසු තම ගමට යන්නේ විවේක ගන්න නොවෙයි. ඒ වෙනුවට, ඔහු හැදී වැඩුණු පළාත වන ගලීලයේ ඔහු ඊටත් වඩා පුළුල් සේවයක් ආරම්භ කරනවා. නමුත් ඔහුගේ ගෝලයන් ඔහු සමඟ නැවතී සිටින්නේ නැහැ. ඔවුන් තම තමන්ගේ පවුල් වෙතටත් කලින් කළ රැකි රක්ෂාවලටත් ආපසු හැරී යනවා.
යේසුස් දැන් දේශනා කරන්නේ මොන වගේ පණිවුඩයක්ද? “දෙවිගේ රාජ්‍යය ළඟා වී ඇත. ජනයෙනි, පසුතැවිලි වී ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ඇතිව සිටින්න” යන පණිවිඩයයි. එයට ලැබුණේ කොයි වගේ ප්රතිචාරයක්ද? ගලීලයේ වැසියන් සියලුදෙනාම යේසුස්ව පිළිගනිමින් ඔහුට ගෞරව කරනවා. ඔවුන් මෙසේ කරන්නේ ඔහුගේ පණිවුඩය නිසාම නොවෙයි, නමුත් මාස කීපයකට කලින් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් යෙරුසලමේ පැවති පාස්කු මංගල්‍යයට සහභාගි වුණු අවස්ථාවේ ඔහු සිදු කළ පුදුමාකාර ප්රාතිහාර්යයන් දුටු නිසයි.
පෙනෙන ආකාරයට, ගලීලයේ කරන පුළුල් දේවසේවය යේසුස් ආරම්භ කරන්නේ කානාවලදීයි. කලින් වතාවකදී ඔහු යුදයේ සිට ආපසු පැමිණීමෙන් පසු, එහි පැවති විවාහ මංගල්‍යයකදී වතුර වයින් බවට පත් කළ බව ඔබට මතක ඇති. දැන් ප්රාතිහාර්යයක් සිදු කරන මේ දෙවෙනි අවස්ථාවේදී, හෙරොද් අන්තිපාස් රජුගේ රාජ්‍ය නිලධාරියෙකුගේ දරුවෙක් ඉතා දරුණු ලෙස රෝගාතුරව සිටිනවා. යේසුස් යුදයේ සිට කානා වෙතට පැමිණ ඇති බව ආරංචි වූ විට නිලධාරියා කපර්ණවුමේ පිහිටි තම නිවසේ සිට යේසුස් හමුවීමට දීර්ඝ ගමනක යෙදෙනවා. දරාගත නොහැකි වේදනාවෙන් යුතුව ඔහු අයදින්නේ, ‘අනේ මගේ දරුවා මැරෙන්න කලින් ඉක්මනට එන්න’ කියායි.
යේසුස් ප්‍රතිචාරය දක්වන්නේ මෙසේයි. ‘ආපසු ගෙදර යන්න. ඔබේ පුතා සුව වී සිටිනවා.’ හෙරොද්ගේ නිලධාරියා එය විශ්වාස කරමින් නැවත නිවස බලා දිගු ගමනක් අරඹනවා. ඒ අතරමඟදී ඔහු වෙතට ඉක්මනින් පැමිණෙන ඔහුගේ සේවකයන්ව ඔහුට මුණ ගැසෙනවා. ඔවුන් පවසන්නේ ඔහුගේ පුතාට සුවය ලැබිලා කියායි! එවිට, ‘ඔහු සනීප වුණේ කුමන පැයේදීදැයි’ ඔහු අසනවා.
ඔවුන් පිළිතුරු දෙන්නේ, ‘ඊයේ ප.ව. 1:00ට’ කියායි.
‘ඔබේ පුතාට සුවය ලැබී ඇතැයි’ කියා යේසුස් පැවසුවේත් එම පැයේදීමයි කියා නිලධාරියා වටහාගන්නවා. ඉන්පසු එම මිනිසාත් ඔහුගේ මුළු පවුලත් යේසුස්ගේ ගෝලයන් බවට පත් වෙනවා.
මෙලෙස, යුදයේ සිට යේසුස් ආපසු පැමිණි පසු ප්රාතිහාර්යයන් දෙකක්ම සිදු කළ ස්ථානය වීමේ විශේෂ අනුග්‍රහය කානා නුවර ලබනවා. මේ දක්වා ඔහු තවත් ප්රාතිහාර්යයන් සිදු කළ බව ඇත්තයි. නමුත් මෙම ප්රාතිහාර්යයන් දෙක වැදගත් වන්නේ ගලීලය වෙත ඔහුගේ යළි පැමිණීම එමගින් සනිටුහන් වන නිසායි.
යේසුස් දැන් තම ගම වන නාසරෙත් වෙතට ගමන් කරනවා. ඔහු එතැනට යන විට සිදු වන්නේ කුමක්ද? යොහන් 4:43-54; මාක් 1:14, 15; ලූක් 4:14, 15; NW.
▪ යේසුස් ආපසු ගලීලයට යද්දී ඔහුගේ ගෝලයන් කරන්නේ කුමක්ද? ජනයා ඔහුව පිළිගන්නේ කොහොමද?
▪ යේසුස් සිදු කරන්නේ කිනම් ප්රාතිහාර්යයද? එයට සම්බන්ධ වන අයට එයින් ඇති වන්නේ කිනම් බලපෑමක්ද?
▪ කානා යේසුස්ගෙන් විශේෂ අනුග්‍රහයක් ලබන්නේ කොහොමද?