22වෙනි පරිච්ඡේදය
ගෝලයන් සතරදෙනෙකුව කැඳවීම
යේසුස්ගේ ගම වන නාසරෙත්වලදී ඔහුගේ ජීවිතය නැති කර දැමීමට ගත් උත්සාහයෙන් පසු ඔහු ගමන් කරන්නේ ගලීල මුහුද අසල පිහිටි කපර්ණවුම නම් නගරයටයි. මෙයින් යෙසායාගේ තවත් අනාවැකියක් ඉටු වෙනවා. එම අනාවැකියේ පුරෝකථනය කෙරෙන්නේ ගලීල මුහුද අසල වෙසෙන ජනයා මහත් ආලෝකයක් දකින්න යන බවයි.
මේ ප්‍රදේශයේ රාජ්‍යය පිළිබඳව දේශනා කිරීම නමැති තම ආලෝකය විහිදුවාලන වැඩය කරගෙන යද්දී තම ගෝලයන් සතරදෙනෙකුව සොයාගැනීමට යේසුස්ට හැකි වෙනවා. යේසුස්ගේ දේශනා ගමන්වලට ඔවුනුත් කලින් හවුල් වී තිබුණත්, යේසුස් සමඟ යුදයේ සිට ආපසු ගලීලයට පැමිණි විට ඔවුන් නැවතත් තම මසුන් ඇල්ලීමේ ව්‍යාපාරයට හැරී ගියා. සමහරවිට දැන් යේසුස් ඔවුන්ව සොයා යන්නේ ස්ථිර සහයකයන් සෙවීමට කාලය එළඹ ඇති නිසා විය හැකියි. එවිට ඔහුට පුළුවන් මතු කලකදී තමා නොසිටින විට සේවය දිගටම කරගෙන යෑම සඳහා ඔවුන්ව පුහුණු කරන්න.
ඉතිං යේසුස් දැන් මුහුදු වෙරළෙහි ගමන් කරමින් සිටිද්දී ඔහු දකිනවා, සීමොන් පේතෘස් හා ඔහුගේ මිත්‍රයන් දැල් සෝදමින් සිටිනවා. ඔහු ඔවුන් වෙතට ගිහින් පේතෘස්ගේ ඔරුවට නැඟ ඔහුගෙන් ඉල්ලා සිටිනවා ඔරුව වෙරළෙන් මදක් ඉවතට ගන්න කියා. ඔවුන් ටික දුරක් යන විට යේසුස් ඔරුවේ වාඩි වී මුහුදු වෙරළෙහි සිටින සමූහයන්ට උගන්වන්න පටන්ගන්නවා.
ඉන්පසු යේසුස් පේතෘස්ට පවසන්නේ, “දියඹට ගොස් මසුන් ඇල්ලීමට දැල් හෙළන්න” කියායි.
නමුත් පේතෘස් මෙසේ පිළිතුරු දෙනවා. “ගුරුතුමෙනි, මුළු රැයක්ම වෙහෙස වූ නමුත් අප කිසිවක් අල්ලාගත්තේ නැත. නමුත් ඔබ කියන නිසා මම දැල් හෙළමි.”
දැල් හෙළන විට මසුන් කොතරම් විශාල ප්‍රමාණයක් අල්ලගන්නවාද කිව්වොත් දැල් ඉරෙන්න පටන්ගන්නවා. ඒ නිසා අසල ඔරුවක සිටින තම හවුල්කරුවන්ට ඔවුන් සංඥා කරනවා ඉක්මනට ඇවිත් තමන්ට උපකාර කරන්න කියා. වැඩි වේලාවක් ගත වෙන්න කලින් ඔරු දෙකේම මසුන් රාශියක් පිරෙන බැවින් ඒවා ගිලෙන්න පටන්ගන්නවා. මෙය දකින පේතෘස් යේසුස් ඉදිරියේ දණින් වැටී “ස්වාමිනි, මා වෙතින් ඉවත්ව යන්න. මම පව්කාර මිනිසෙක්මි” කියා පවසනවා.
එවිට යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “භය නොවන්න. මෙතැන් පටන් ඔබ මිනිසුන්ව පණ පිටින් අල්ලන්නෙහිය.”
යේසුස් මෙම ආරාධනය ඉදිරිපත් කරන තවත් කෙනෙක් වන්නේ පේතෘස්ගේ සහෝදර අන්දෘයි. ඔහු ඔවුන්ට උනන්දු කරන්නේ, “මා පසුපස එන්න. මම ඔබව මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි” කියායි. ඔවුන් සමඟ හවුලේ මසුන් අල්ලන සෙබදීගේ පුත්‍රයන් වන යාකොබ් සහ යොහන්ටත් එම ආරාධනයම ඉදිරිපත් කරන අතර ඔවුනුත් ඊට ප්‍රතිචාර දක්වන්නේ කිසිම පසුබැසීමකින් තොරවයි. ඉතිං මේ සතරදෙනාම තම මසුන් ඇල්ලීමේ ව්‍යාපාරය අතහැර යේසුස්ගේ පළමු ස්ථාවර අනුගාමිකයන් බවට පත් වෙනවා. ලූක් 5:1-11; මතෙව් 4:13-22; මාක් 1:16-20; NW; යෙසායා 9:1, 2.
▪ යේසුස් තම ගෝලයන්ට ඔහු පසුපස එන්න කියා පවසන්නේ ඇයි? ඔවුන් කවුරුන්ද?
▪ පේතෘස්ව බියගන්වන්නේ කිනම් ප්රාතිහාර්යයද?
▪ යේසුස් තම ගෝලයන්ට ආරාධනා කරන්නේ කුමනාකාරයේ මසුන් ඇල්ලීමක නිරත වීමටද?