34වෙනි පරිච්ඡේදය
ප්‍රේරිතයන්ව තෝරාගැනීම
යොහන් බව්තීස්ත යේසුස්ව දෙවිගේ බැටළු පැටවා ලෙස හඳුන්වා දී යේසුස් තම ප්‍රසිද්ධ සේවය ආරම්භ කළ කාලයේ සිට දැන් වසර එකහමාරක් පමණ ගත වී තිබෙනවා. ඒ වන විට, අන්දෘ, සීමොන් පේතෘස්, යොහන් සහ ඇතැම්විට යාකොබ් (යොහන්ගේ සහෝදරයා) මෙන්ම ෆිලිප් සහ (බාතොලමෙව් වශයෙන්ද හඳුන්වනු ලබන) නතානියෙල් යන අය ඔහුගේ පළමු ගෝලයන් වී සිටියා. කල් යත්ම තවත් බොහෝදෙනෙක් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වශයෙන් ඔවුන්ට එකතු වුණා.
යේසුස් දැන් සූදානම් වී සිටින්නේ තම ප්‍රේරිතයන්ව තෝරාගැනීමටයි. විශේෂ පුහුණුවක් ලබන්න යන මොවුන් ඔහුගේ කිට්ටුම ආශ්‍රිතයන් වන බවට සැකයක් නැහැ. එහෙත් ඔවුන්ව තෝරාගැනීමට පෙර යේසුස් කන්දකට ගොස් මුළු රාත්‍රියක්ම යාච්ඤාවේ යෙදෙනවා. එසේ කරන්නේ දෙවිගේ ප්‍රඥාව හා ආශීර්වාදය ඉල්ලා සිටීමටයි කියා සිතිය හැකියි. ඉර උදා වූ විට ඔහු තම ගෝලයන් කැඳවා ඔවුන්ගෙන් 12දෙනෙක්ව තෝරාගන්නවා. එහෙත් ඔවුන් දිගටම යේසුස්ගේ ශිෂ්‍යයන්ව සිටින නිසා ඔවුන්ව තවමත් හඳුන්වන්නේ ඔහුගේ ගෝලයන් හැටියටයි.
ඉහත සඳහන් යේසුස් තෝරාගන්නා අය අතරේ, ඔහුගේ පළමු ගෝලයන් බවට පත් වූ හයදෙනාත් සිටිනවා. අයබදු කාර්යාලයෙන් යේසුස් කැඳවාගත් මතෙව්වත් තෝරාගන්නවා. තෝරාගන්නා අනෙක් පස්දෙනා නම් (තදියස් වශයෙන්ද හඳුන්වන) යූදස්, යූදස් ඉස්කාරියොත්, කානානීය සීමොන්, තෝමස් සහ අල්ෆෙවුස්ගේ පුත්‍ර වූ යාකොබ්. මේ යාකොබ්ව කුඩා යාකොබ් වශයෙනුත් හඳුන්වනවා. ඒ ඇතැම්විට ඔහු උස මහතින් කුඩා නිසා හෝ අනෙක් ප්‍රේරිත යාකොබ්ට වඩා ඔහු වයසින් බාල නිසා විය හැකියි.
මේ වන විට යේසුස් ඔවුන් සමඟ යම් කාලයක් ගත කර තිබෙන නිසා ඔහු 12දෙනාව හොඳින් අඳුරනවා. ඇත්තෙන්ම කිහිපදෙනෙක් ඔහුගේම ඥාතීන්. යාකොබ් සහ ඔහුගේ සහෝදර යොහන් යේසුස්ගේ කිට්ටු ඥාති සහෝදරයන් බව පැහැදිලියි. ඒ වගේම අල්ෆෙවුස් සමහරවිට යේසුස්ගේ සුරැකි පියා වන යෝසෙප්ගේ සහෝදරයා විය හැකි නිසා ඔහුගේ පුත්‍රයා වන ප්‍රේරිත යාකොබ්ද යේසුස්ගේ ඥාති සහෝදරයෙක් වෙන්න ඇති.
තම ප්‍රේරිතයන්ගේ නම් මතක තබාගැනීම යේසුස්ට ගැටලුවක් නොවූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත් ඔබට ඔවුන්ව මතකද? මෙහෙම මතක තබාගන්න. සීමොන් යන නමින් දෙන්නෙක්ද, යාකොබ් යන නමින් දෙන්නෙක්ද, යූදස් යන නමින් දෙන්නෙක්ද සිටිනවා. ඒ වගේම සීමොන්ට අන්දෘ නම් සහෝදරයෙක් හා යාකොබ්ට යොහන් නම් සහෝදරයෙක් සිටිනවා. ප්‍රේරිතයන් අටදෙනෙකුව මතක තබාගැනීමට එය හොඳ ක්‍රමයක්. අනෙක් සතරදෙනාට බදු එකතු කරන්නෙක්ද (මතෙව්), පසු කලෙක සැකයක් ඇති කරගත්තාවූ තැනැත්තෙක්ද (තෝමස්), ගසක් යට සිටින විටදී කැඳවූ පුද්ගලයෙක්ද (නතානියෙල්), ඔහුගේ මිත්‍ර ෆිලිප්ද ඇතුළත් වෙනවා.
ප්‍රේරිතවරුන්ගෙන් එකොළොස්දෙනෙක් යේසුස්ගේ ගම් ප්‍රදේශය වන ගලීලයෙන්. නතානියෙල් පැමිණෙන්නේ කානා සිටයි. ෆිලිප්, පේතෘස් හා අන්දෘ කලින් සිටියේ බෙත්සයිදාවේ. පසු කලෙක පේතෘස් හා අන්දෘද මතෙව් ජීවත් වන ප්‍රදේශය වන කපර්ණවුමට පැමිණියා. යාකොබ් සහ යොහන් ධීවර කර්මාන්තයේ යෙදී සිටි අතර සමහරවිට ඔවුන් කපර්ණවුමේ හෝ ඒ අසල ජීවත් වෙන්න ඇති. පෙනෙන විදිහට, පසු කලෙක යේසුස්ව පාවා දුන් යූදස් ඉස්කාරියොත් යුදයෙන් පැමිණි එකම ප්රේරිතයායි. මාක් 3:13-19; ලූක් 6:12-16; NW.
▪ යේසුස්ගේ ඥාතීන් වුණායයි සිතිය හැකි ප්‍රේරිතවරුන් කවුද?
▪ යේසුස්ගේ ප්‍රේරිතයන් කවුද? ඔවුන්ගේ නම් මතක තබාගත හැක්කේ කොහොමද?
▪ ප්‍රේරිතයන් පැමිණියේ කිනම් ප්‍රදේශවලින්ද?