36වෙනි පරිච්ඡේදය
හමුදා නිලධාරියෙකුගේ මහත් ඇදහිල්ල
යේසුස් තම කන්ද උඩ දේශනය ඉදිරිපත් කරන්නේ තම ප්‍රසිද්ධ දේවසේවා කාලයෙන් අඩක් පමණ ගෙවුණායින් පස්සෙයි. මින් අදහස් කරන්නේ පොළොව මත තම සේවය නිම කිරීමට ඔහුට තව ඉතිරිව ඇත්තේ අවුරුද්දකුත් මාස නවයක පමණ කාලයක් බවයි.
යේසුස් දැන් කපර්ණවුම නගරයට ඇතුල් වෙනවා. එය හරියට තම ක්‍රියාකාරකම් සඳහා මධ්‍යස්ථානයක් වගෙයි. මෙහිදී යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන් යම් ඉල්ලීමක් කිරීම සඳහා ඔහු වෙතට පිවිසෙනවා. ඔවුන්ව එවන ලද්දේ යුදෙව් ජාතියට අයත් නොවන, අන්‍යජාතිකයෙකු වන රෝම හමුදා නිලධාරියෙක් විසිනුයි.
හමුදා නිලධාරියාගේ ප්‍රේමවන්ත සේවකයා බරපතළ අසනීපයක් වැලඳී මරණාසන්නව සිටින අතර, තම සේවකයාව යේසුස් ලවා සුව කරගැනීමටයි ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ. නිලධාරියා වෙනුවෙන් යුදෙව්වරු ඉතා ඕනෑකමින් මෙසේ කන්නලව් කරනවා. “ඔබෙන් මෙය ලබන්න ඔහු සුදුසුය. මන්ද, ඔහු අපේ ජාතියට ප්‍රේම කරන්නේය. අපට සිනගෝගය සදා දුන්නේද ඔහුය.”
එවිට, කිසිම අදිමදි කිරීමකින් තොරව යේසුස් එම මිනිසුන් සමඟ පිටත්ව යනවා. එහෙත් ඔවුන් ඔහුගේ නිවසට ළඟා වන විට හමුදා නිලධාරියා තම මිත්රයන්ව යේසුස් වෙතට එවන්නේ මේ පණිවිඩය සමඟිනුයි. “මහත් මයාණෙනි, කරදර නොවන්න. මන්ද, ඔබ මාගේ පියස්ස යටට ඒමට මම සුදුසු නොවෙමි. එහෙයින් ඔබ වෙතට පැමිණීමට තරම්වත් මා නොවටින්නේයයි සිතුවෙමි.”
වෙනත් අයට අණ දීමට හුරු පුරුදුව සිටින නිලධාරියෙකු සම්බන්ධයෙන් ගත් විට මෙය මොන තරම් නිහතමානි ප්‍රකාශයක්ද! එහෙත්, යුදෙව්වෙකු අන්‍යජාතීන් සමඟ සුහද සබඳතාවක් පැවැත්වීම තහනම් කරවන යුදෙව් චාරිත්‍රය ගැන සමහරවිට දන්නා නිසා ඔහු යේසුස්ගේ තත්වය ගැනත් සැලකිලිමත් වෙනවා විය හැකියි. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු හා සම්බන්ධකම් පැවැත්වීමවත් ඔහු ළඟට යෑමවත් යුදෙව්වෙකුට කොතරම් තහනම් දෙයක්දැයි ඔබ හොඳින් දන්නහුය” කියා පේතෘස් පවා එක් අවස්ථාවකදී පැවසුවා.
සමහරවිට, මෙම චාරිත්‍රය කැඩීම හේතුවෙන් යේසුස්ට අහිතකර බලපෑමක් වෙනවා දකින්න අකමැති නිසා ඔහු තම මිතුරන් ලව්වා මෙසේ ඉල්ලා සිටිනවා. “මාගේ දාසයා සුවවීම සඳහා ඔබේ වචනය පමණක් සෑහේ. මන්ද මාත් බලධාරීන් යටතේ සේවය කරන මිනිසෙකි. මා යටතේද හේවායෝ සිටිති. මා කෙනෙකුට ‘යන්න!’ යයි කීවොත් ඔහු යන්නේය. වෙන කෙනෙකුට ‘එන්න!’ යයි කීවොත් ඔහු එන්නේය. මාගේ දාසයාට ‘මෙය කරන්න’ යයි කීවොත් ඔහු එය කරන්නේය.”
ඇත්තෙන්ම යේසුස්ට මෙය ඇසෙන විට ඔහු මවිතයට පත් වී මෙසේ පවසනවා. “සැබවින්ම මම ඔබට කියමි, ඊශ්‍රායෙලයේ කිසිවෙකු තුළ මෙතරම් මහත් ඇදහිල්ලක් මට සම්බ නොවීය.” නිලධාරියාගේ සේවකයාව සුව කිරීමෙන් පසුව, නොඇදහිලිකාර යුදෙව්වන් විසින් ප්‍රතික්ෂේප කළ ආශීර්වාද අත් කරගැනීම සඳහා ඇදහිල්ල දක්වන යුදෙව් නොවන්නන් අනුග්‍රහය ලබන්න යන ආකාරය විස්තර කිරීමට යේසුස් එම අවස්ථාව යොදාගන්නවා.
යේසුස් මෙසේ පවසනවා. “නැඟෙනහිර දෙසින්ද බස්නාහිර දෙසින්ද බොහෝදෙනෙක් ඇවිත්, ස්වර්ග රාජ්‍යයෙහිදී ආබ්‍රහම්ද, ඊසාක්ද, යාකොබ්ද සමඟ මේසයෙහි හිඳගන්නෝය. නමුත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන්නෝය. එහිදී ඔවුන්ගේ හැඬීමද දත්මිටි කෑමද වන්නේය.”
‘පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන රාජ්‍යයේ පුත්‍රයෝ’ වන්නේ ක්‍රිස්තුස් සමඟ හවුල් පාලකයන් වීමට පළමුවෙන්ම දෙනු ලබන ප්‍රස්තාව ප්‍රතික්ෂේප කළ ස්වාභාවික යුදෙව්වරුනුයි. ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ගෙන් නියෝජනය කරන්නේ දෙවිගේ රාජ්‍ය විධිවිධානයයි. එනිසා යේසුස් විස්තර කරමින් සිටින්නේ “ස්වර්ග රාජ්‍යයෙහි” සංකේතාත්මක ස්වර්ගික මේසයේ අසුන් ගැනීමට අන්‍යජාතීන්ට ආරාධනා කරනු ලබන ආකාරයයි. ලූක් 7:1-10; මතෙව් 8:5-13; ක්‍රියා 10:28; NW.
▪ අන්‍යජාතික හමුදා නිලධාරියෙකු වෙනුවෙන් යුදෙව්වරුන් කන්නලව් කරන්නේ ඇයි?
▪ නිලධාරියා යේසුස්ව තම නිවසට නොකැඳවීමට හේතුව කුමක් විය හැකිද?
▪ යේසුස් අවසානයේදී පවසන දෙයින් අදහස් කරන්නේ කුමක්ද?