52වෙනි පරිච්ඡේදය
යේසුස් දහස් ගණනකට ආශ්චර්යවත් ලෙස කන්න දෙයි
ගලීලය පුරාම දේශනා සංචාරයක යෙදෙමින් ගෝලයන් 12දෙනා ඉමහත් ප්‍රීතියක් අද්දකිනවා. ඔවුන් යේසුස් වෙතට ගොස් තමන් ලැබූ පුදුමාකාර අද්දැකීම් විස්තර කරනවා. මේ වන විට, යොහන්ව මරා දමා ටික කලක් ගත වෙලා. ඔවුන් දැන් හොඳටම විඩාවට පත් වී සිටින බවත් බොහෝදෙනෙක් යන එන නිසා ඔවුන්ට කෑම කන්නවත් වේලාවක් නැති බවත් දකින යේසුස් පවසන්නේ මෙසේයි. ‘ඔබට මද විවේකයක් ගැනීම සඳහා අපි පාළු තැනකට යමු.’
ඔවුන් සමහරවිට බෝට්ටුවට ගොඩ වෙන්නේ කපර්ණවුම අසල පිහිටි ප්‍රදේශයක සිට විය හැකියි. එතැන් සිට, ඔවුන් තනිව සිටිය හැකි පාළු තැනකට ගමන් කරනවා. පෙනෙන විදිහට, යොර්දානෙන් නැඟෙනහිරට වෙන්න පිහිටි එම ස්ථානයට යෑම සඳහා බෙත්සයිදාව පසු කරගෙන යා යුතුයි. ඔවුන් පිටත්ව යන බව බොහෝදෙනෙක් දකින අතර තවත් කිහිපදෙනෙකුට ඒ ගැන දැනගන්න ලැබෙනවා. මේ සියලුදෙනාම වෙරළ දිගේ දුවගෙන ගොස් බෝට්ටුව වෙරළට පැමිණෙන තෙක් බලා සිටින්නේ ඔවුන්ව හමුවීමටයි.
බෝට්ටුවෙන් බසිද්දී එතැන සිටින මහත් සමූහය දකින යේසුස්ගේ හද අනුකම්පාවෙන් පිරෙනවා. මන්ද ජනයා එඬේරෙකු නැති බැටළුවන් මෙන් අසරණවයි සිටින්නේ. ඒ නිසා, ඔහු ඔවුන් අතරේ සිටින රෝගීන්ව සුව කර, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්න පටන්ගන්නවා.
කාලය ඉක්මනින් ගෙවී යන අතර යේසුස්ගේ ගෝලයන් ඔහු වෙතට පැමිණ මෙසේ පවසනවා. “මෙය පාළු තැනකි. දැන් වේලාවද ඉක්ම ගොස් තිබේ. අවට පිහිටි ගම්බද පළාත්වලටත්, ගම්වලටත් ගොස් තමන්ට කන්ට යමක් මිලට ගන්නා පිණිස ඔවුන්ව යවන්න.”
නමුත් යේසුස් ඔවුන්ට පිළිතුරු දෙන්නේ මෙලෙසයි. “ඔබ ඔවුන්ට කන්න යමක් දෙන්න.” ඊළඟට යේසුස් තමන් කරන්න යන්නේ කුමක්දැයි දන්නා නිසා, ෆිලිප්ව පරීක්ෂා කර බැලීමට ඔහුගෙන් මෙසේ අසනවා. “මේ අයට කන්න දෙන්න අප රොටි මිල දී ගන්නේ කොතැනින්ද?”
ෆිලිප්ට හැඟෙන්නේ එය කිසි විටෙක කළ නොහැකි දෙයක් ලෙසයි. මොකද පුරුෂයන්ම 5,000ක් පමණ සිටිනවා. ස්ත්‍රීන්වත් ළමුන්වත් ගණන් කළොත් මිනිසුන් 10,000 ඉක්මවා යන්නත් ඉඩ තිබෙනවා! “සැමදෙනාටම ටික ටිකවත් දීමට ඩිනාරි දෙසීයක [ඩිනාරියක් කියන්නේ දවසක් වැඩ කර උපයන පඩියයි.] රොටි මිල දී ගත්තත්, ඔවුන්ට මදි” කියමින් ෆිලිප් ප්‍රතිචාරය දක්වනවා.
“බාර්ලි රොටි පහකුත් කුඩා මසුන් දෙදෙනෙකුත් ඇති පිරිමි ළමයෙක් මෙහි සිටියි. නමුත් මෙපමණ සෙනඟකට මේ ටිකෙන් මොනවා කරන්නද” යනුවෙන් අන්දෘ පවසනවා. ඔහු සමහරවිට එසේ කියන්නේ, එපමණ දෙනෙකුට කන්න දීම කිසි විටෙක කළ නොහැකි බව පෙන්වීමට වෙන්න ඇති.
දැන් වසන්ත සමය උදා වෙලා. පොදු යුගයේ 32 පාස්කුවත් ළඟයි. ඒ නිසා, හැම තැනම හොඳින් තණකොළ වැවී තිබෙනවා. පනස්දෙනා බැගින් හා 100දෙනා බැගින් යුත් කණ්ඩායම් වශයෙන් තණබිමේ වාඩි වන මෙන් මිනිසුන්ට උපදෙස් දෙන්න කියා යේසුස් තම ගෝලයන්ට පවසනවා. ඔහු රොටි පහත් මසුන් දෙදෙනාත් අරගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාද කරනවා. ඊළඟට ඔහු රොටි කැඩීමට පටන්ගන්නා අතර මසුන්වත් වෙන් කරනවා. ඔහු ඒවා ගෝලයන්ට දෙන අතර ඔවුන් ඒවා මිනිසුන්ට බෙදා දෙනවා. පුදුමයකට කාරණයක් වන්නේ, සියලුදෙනාම කා තෘප්තියට පැමිණීමයි!
ඉන්පසු, යේසුස් තම ගෝලයන්ට පවසන්නේ “කිසිවක් නාස්ති නොවන පිණිස ඉතිරි වන කෑම රැස් කරන්න” කියායි. ඔවුන් එසේ කරද්දී කූඩ දොළොසක් පිරෙන්න තරම් කෑම ඉතිරි වී ඇති බවක් දකින්න ලැබෙනවා! මතෙව් 14:13-21; මාක් 6:30-44; ලූක් 9:10-17; යොහන් 6:1-13; NW.
▪ යේසුස් තම ප්‍රේරිතයන් වෙනුවෙන් පාළු ස්ථානයක් සොයන්නේ ඇයි?
▪ යේසුස් තම ගෝලයන්ව ගෙන යන්නේ කොතැනටද? විවේකය ගැනීමට අවශ්‍යතාවක් තිබුණත් එය ඉටු කරගැනීමට නොහැකි වන්නේ මන්ද?
▪ දවස ගෙවී යත්ම ගෝලයන් උත්සුක වන්නේ කුමක් කිරීමටද? නමුත් යේසුස් කොහොමද මනුෂ්‍යයන්ගේ අවශ්‍යතාව සපුරාලන්නේ?