83වෙනි පාඩම
යේසුස් දහස් ගාණකට කන්න දුන්නා
ක්‍රි.ව. 32 පාස්කුවට ටික දවසකට කලින් නියෝජිතයන් සේවයේ ගිහින් ඇවිත් හුඟක් මහන්සියෙන් හිටියේ. එයාලට විවේකයක් දෙන්න හිතාගෙන යේසුස් බෝට්ටුවකට නැඟලා එයාලත් එක්ක බෙත්සයිදාවලට ගියා. ඒත් එතනට යද්දී දහස් ගාණක් සෙනඟ එයාලව හොයාගෙන ඇවිත්. ඒ වෙලාවේ යේසුස් නියෝජිතයන් එක්ක තනියෙන් ඉන්න ආසාවෙන් හිටියත් එතනට ඇවිත් හිටිය සෙනඟට ආදරෙන් කතා කළා. අසනීපෙන් හිටිය අයව සුව කරලා උගන්වන්න පටන්ගත්තා. මුළු දවසේම යේසුස් ඉගැන්නුවේ දේවරාජ්‍යය ගැන. හවස් වේගෙන එද්දී නියෝජිතයන් යේසුස්ට මෙහෙම කිව්වා. ‘මේ අයට දැන් බඩගිනි ඇති. එයාලව දැන් යවමු. එතකොට කන්න මොනා හරි ගන්න එයාලට පුළුවන්.’
එතකොට යේසුස් කිව්වා ‘එයාලා යන්න ඕනෙ නෑ, ඔයාලා එයාලට කන්න මොනවා හරි දෙන්න’ කියලා. නියෝජිතයන් මෙහෙම ඇහුවා. ‘ඔයා කියන්නේ මෙයාලට කන්න රොටි අරන් දෙන්න කියලද?’ ෆිලිප් කිව්වා ‘අපි ළඟ සල්ලි තිබුණත් මේ හැමෝටම කන්න රොටි ගන්න බැරි වෙයි’ කියලා.
ඒ නිසා යේසුස් ඇහුවා “ඔයාලා ළඟ රොටි කීයක් තියෙනවාද” කියලා. අන්දෘ මෙහෙම කිව්වා. ‘රොටි පහකුයි මාළු කූරි දෙකකුයි විතරයි. ඒක මදියිනේ.’ ‘ඒවා මං ළඟට අරන් එන්න’ කියලා කියපු යේසුස්, ඇවිත් හිටිය හැමෝටම කිව්වා 50දෙනා ගාණෙත් 100දෙනා ගාණෙත් කණ්ඩායම්වලට බෙදිලා බිම ඉඳගන්න කියලා. ඊටපස්සේ යේසුස් රොටියි මාළුයි අතට අරන් ස්වර්ගය දිහා බලාගෙන යාච්ඤා කළා. ඔහු නියෝජිතයන්ට කෑම දුන්නාම එයාලා ඒවා සෙනඟට බෙදුවා. එතන හිටිය පිරිමි 5,000දෙනායි ගැහැනු අයයි දරුවනුයි බඩ පිරෙන්නම කෑවා. නියෝජිතයන් ඉතිරි වුණු කෑම එකතු කරගත්තාම කූඩ 12ක්ම පිරුණා. කෑම පොඩ්ඩක්වත් නාස්ති වුණේ නැහැ.
සෙනඟ මොන තරම් සතුටු වුණාද කියනවා නම් එයාලට ඕන වුණා යේසුස්ව රජ හැටියට පත් කරගන්න. ඒත් යේසුස් දැනගෙන හිටියා යෙහෝවා ඔහුව රජ හැටියට පත් කරන්නේ ඒ කාලයේදී නෙවෙයි කියලා. යේසුස් ඒ සෙනඟව පිටත් කරලා නියෝජිතයන්ට කිව්වා ගලීල මුහුදෙන් එගොඩට යන්න කියලා. ඊටපස්සේ යේසුස් කන්දක් උඩට ගියා. යේසුස්ට ඕන වුණා ඔහුගේ තාත්තා එක්ක කතා කරන්න. මොන තරම් වැඩ තිබුණත් යේසුස් යාච්ඤා කරන එක අතපසු කළේ නැහැ.
“නාස්ති වෙලා යන කෑම වෙනුවෙන් මහන්සි වෙන්න එපා. ඒ වෙනුවට සදාකාල ජීවිතය ලබාගන්න උදව් වෙන, නාස්ති වෙන්නේ නැති කෑම ලබාගන්න මහන්සි වෙන්න. මනුෂ්‍ය පුත්‍රයා ඒ කෑම ඔයාලට දෙයි.”—යොහන් 6:27