56වෙනි පරිච්ඡේදය
මනුෂ්‍යයෙකු අපවිත්‍ර වන්නේ කුමකින්ද?
යේසුස්ට එල්ල වන විරෝධතා එන්න එන්නම වැඩි වෙනවා. ඔහුගේ ගෝලයන් බොහෝදෙනෙක් ඔහුව අත්හැර යනවා විතරක් නෙවෙයි, යුදයේ සිටින යුදෙව්වරු ඔහුව මරා දමන්නත් සොයනවා. ක්‍රිස්තු වර්ෂ 31 පාස්කුවේදී ඔහු යෙරුසලමේ සිටි අවස්ථාවේදීත් ඔවුන් එසේ කිරීමට වෑයම් කළා.
දැන් ක්‍රි.ව. 32 පාස්කුවයි. සමහරවිට, දෙවිගේ නියමයට එකඟව යේසුස් පාස්කුව පැවැත්වීම සඳහා යෙරුසලමට යනවා විය හැකියි. එහෙත් ඔහුගේ ජීවිතය අවදානමේ තිබෙන නිසා ඔහු යන්නේ පරෙස්සමිනුයි. ඉන්පසු ඔහු ආපසු ගලීලයට යනවා.
යෙරුසලමේ සිට පරිසිවරුන් හා ලියන්නන් ඔහු වෙතට පැමිණෙන විට යේසුස් සමහරවිට ඉන්නේ කපර්ණවුමේ වෙන්න ඇති. ඔහු ආගමික අණ පනත් කඩ කර ඇති බවට චෝදනා කිරීමට ඔවුන් පදනමක් සොයමිනුයි සිටින්නේ. “ඔබේ ගෝලයන් පුරාණයේ විසූ මිනිසුන්ගේ සම්ප්රදාය කඩ කරන්නේ මන්ද? උදාහරණයක් වශයෙන්, කෑම කන්න කලින් ඔවුන් අත් සෝදාගන්නේ නැත” යනුවෙන් ඔවුන් විමසනවා. මෙය දෙවි විසින් නියම කළ දෙයක් නොවුණත්, වැලමිට දක්වා අත් සේදීමේ චාරිත්‍රය ඇතුළත් සම්ප්‍රදායික වත්පිළිවෙත් පිළිනොපැදීම බරපතළ වරදක් බව පරිසිවරුන් විශ්වාස කරනවා.
ඔවුන්ගේ චෝදනාවට පිළිතුරු දෙනවා වෙනුවට, ඔවුන් දුෂ්ට ලෙස හා හිතාමතාම දෙවිගේ නීතිය කඩ කරන ආකාරය කෙරෙහි යේසුස් අවධානය යොමු කරනවා. “එසේ නම් ඔබත්, ඔබේ සම්ප්රදාය නිසා දෙවිගේ ආඥාව කඩ කරන්නේ මන්ද” යන්න ඔහුට දැනගන්න අවශ්‍යයි. “උදාහරණයක් වශයෙන්, ‘ඔබේ පියාටද මවටද ගෞරව කරන්න’ කියාත් ‘පියාට හෝ මවට හෝ නිග්‍රහ කරන්නා මරණයට සුදුසුයි’ කියාත් දෙවි කීවේය. එහෙත්, ‘යමෙක් තම පියාට හෝ මවට හෝ කතා කොට: “මම ඔබේ යහපත පිණිස දිය යුතුව තිබුණු දේ දෙවිට පඬුරක් ලෙස කැප කළෙමි” යි කියා ඔවුන්ට කියන්නේ නම්, ඔහු තම පියාට ගරු කිරීමට අවශ්‍ය නැත’ යයි ඔබ කියන්නහුය.”
ඇත්තෙන්ම, පඬුරක් වශයෙන් දෙවිට කැප කරන ලද මුදල්, දේපොළ හෝ වෙන ඕනෑම දෙයක් දේවමාළිගාවට අයිති වන බවත් වෙනත් අරමුණක් සඳහා එය යෙදවිය නොහැකි බවත් පරිසිවරු උගන්වනවා. එහෙත්, කැප කරන ලද පඬුර ඇත්තටම තබාගන්නේ එය කැප කළ පුද්ගලයාමයි. මෙයාකාරයට, පුතෙක් තම මුදල් හෝ දේපොළ “කොර්බාන්,” එනම් දෙවිට හෝ දේවමාළිගාවට කැප කරන ලද පඬුරක්යයි පවසමින්, තම මහලු දෙමව්පියන් ඉතා අසරණ තත්වයක පවා සිටින විට ඔවුන්ට උපකාර කිරීමට ඇති තම වගකීම මඟහරිනවා.
දෙවිගේ නීතිය දුෂ්ට ලෙස විකෘති කරන පරිසිවරුන් කෙරෙහි සාධාරණ කෝපයක් ඇතිව යේසුස් මෙසේ පවසනවා. “ඔබ, ඔබේ සම්ප්රදාය නිසා දේවවචනය අවලංගු කර තිබේ. කුහකයෙනි, යෙසායා කී මේ අනාවැකිය ඔබට හොඳින් ගැළපේ: ‘මේ ජනයා තොල්වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් බොහෝ ඈත්ව තිබේ. ඔවුන් මට කරන්නාවූ නමස්කාරයෙන් පලක් නැත. මන්ද, ඔවුන් මූලික ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥාය.’”
සමහරවිට, යේසුස්ගෙන් ප්‍රශ්න කිරීමට පරිසිවරුන්ට ඉඩ දෙමින් සෙනඟ පැත්තකට වී සිටිනවා විය හැකියි. ඒත් යේසුස්ගේ දැඩි විවේචනය හමුවේ පරිසිවරුන් නිරුත්තරව සිටින විට, යේසුස් සෙනඟ තමා ළඟට කැඳවා මෙසේ පවසනවා. “ඔබ සැමෝම මට සවන් දී තේරුම්ගන්න. පිටතින් මිනිසෙකු තුළට ඇතුල් වී ඔහුව දූෂ්‍ය කළ හැකි කිසිවක් නැත. නමුත් මිනිසෙකුව දූෂ්‍ය කරන්නේ මිනිසෙකු තුළින් නික්මෙන දේවල්ය.”
පසුව ඔවුන් නිවසකට ඇතුල් වන විට, “ඔබ කී දේ අසා පරිසිවරුන් බාධාවට පත් වූ බව ඔබ දන්නවාද” යනුවෙන් ඔහුගේ ගෝලයන් අසනවා.
එයට යේසුස් දෙන පිළිතුර මෙයයි. ‘ස්වර්ගයේ සිටින මාගේ පියාණන් පැළ නොකළ සෑම පැළයක්ම උදුරා දමනු ලැබේ. ඔවුන්ගෙන් අපට වැඩක් නැත. ඔවුහු අන්ධ මඟ පෙන්වන්නෝය. අන්ධයෙක් අන්ධයෙකුට මඟ පෙන්නුවොත්, ඒ දෙදෙනාම වළක වැටෙනවා ඇත.’
මනුෂ්‍යයෙකු අපවිත්‍ර වන්නේ කුමකින්ද කියා ගෝලයන්ට පැහැදිලි කර දෙන මෙන් පේතෘස් ඉල්ලා සිටින විට, යේසුස් පුදුම වන බවක් පෙනේ. යේසුස් පිළිතුරු දෙන්නේ මෙලෙසයි. “ඔබටත් තවම තේරෙන්නේ නැද්ද? කටට ඇතුල් වන සියල්ල බඩට ගොස්, ඉන්පසු වැසිකිළියට යන බව ඔබ දන්නේ නැද්ද? එනමුත් කටින් පිට වන දේ නික්මෙන්නේ සිතින්ය. මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඒ දේවල්වලිනි. උදාහරණයක් වශයෙන්, දුෂ්ට සිතුවිලි, මිනී මැරුම්, පරදාර සේවනයේ යෙදීම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂි කීම් සහ අපහාස කිරීම් නික්මෙන්නේ සිතින්ය. මිනිසෙකු දූෂ්‍ය වන්නේ මේ දේවල්වලිනි. නමුත් අත් නොසෝදා කෑවාට මිනිසෙකු දූෂ්‍ය වන්නේ නැත.”
සාමාන්‍ය සනීපාරක්ෂාව සඳහා ගන්නා පියවර යේසුස් මෙහිදී හෙළා දකිමින් සිටිනවා නොවෙයි. ආහාර පිළියෙළ කිරීමට හෝ කෑමක් අනුභව කිරීමට පෙර පුද්ගලයෙකු තම අත් සේදිය යුතු නැහැයි කියා ඔහු තර්ක කරමින් සිටිනවාද නොවෙයි. ඒ වෙනුවට, යේසුස් හෙළා දකින්නේ ශුද්ධ ලියවිල්ලට එකඟ නොවන සම්ප්‍රදායන් පැවැත්වීමට බල කිරීමෙන්, කපටි ලෙස දෙවිගේ ධර්මිෂ්ඨ නීති මඟහරින්න වෑයම් කරන ආගමික නායකයන්ගේ කුහකකමයි. ඇත්තෙන්ම, මනුෂ්‍යයෙකු දූෂ්‍ය වන්නේ දුෂ්ට ක්‍රියාවලින් බව පැහැදිලියි. මෙවැනි ක්‍රියා නික්මෙන්නේ පුද්ගලයෙකුගේ සිතින් බව යේසුස් පැහැදිලි කරනවා. යොහන් 7:1, NW; ද්විතීය කථාව 16:16; මතෙව් 15:1-20; මාක් 7:1-23; NW; නික්මයාම 20:12; 21:17; යෙසායා 29:13.
▪ යේසුස් දැන් මුහුණ දෙන්නේ කිනම් විරෝධතාවලටද?
▪ පරිසිවරුන් කරන චෝදනාව කුමක්ද? එහෙත් යේසුස් පවසන ආකාරයට පරිසිවරුන් හිතාමතාම දෙවිගේ නීතිය කඩ කරන්නේ කොහොමද?
▪ යේසුස් හෙළි කරන ආකාරයට මනුෂ්‍යයෙකු දූෂ්‍ය වන්නේ කිනම් දේවලින්ද?