61වෙනි පරිච්ඡේදය
ආවේශ වූ පිරිමි ළමයාව සුව කරයි
යේසුස්, පේතෘස්, යාකොබ් සහ යොහන් සමහරවිට හෙර්මොන් කන්දේ නෙරුවක සිටින විට අනිත් ගෝලයන්ට ගැටලුවක් මතු වෙනවා. යේසුස් ආපසු පැමිණෙද්දී, යම් ප්‍රශ්නයක් ඇති බව ඔහු විගස වටහාගන්නවා. ඔහුගේ ගෝලයන් වටා සමූහයක් එක් රොක් වී සිටින අතර ලියන්නන් ඔවුන් සමඟ වාද කරමින් සිටිනවා. යේසුස්ව දැක, සෙනඟ ඉතා පුදුම වී ඔහුට ආචාර කිරීම සඳහා ඔහු වෙතට දිව යනවා. එවිට යේසුස් මෙසේ අසනවා. “ඔබ ඔවුන් සමඟ විවාද කරන්නේ කුමක් ගැනද?”
සමූහයා අතුරින් එක් මනුෂ්‍යයෙක් ඉදිරියට පැමිණ යේසුස් ඉදිරියෙහි දණ ගසා මෙසේ පැහැදිලි කරනවා. “ගුරුතුමෙනි, මාගේ පුතාට ගොළු ආත්මයක් වැහී තිබෙන නිසා මම පුතාව ඔබ වෙතට ගෙන ආවෙමි. භූතයා මාගේ පුතාට ආවේශ වන ඕනෑම තැනකදී ඔහුව බිම හෙළයි. ඔහු කටින් පෙණ දමා, දත්මිටි කා දුර්වල වන්නේය. මා ඔබේ ගෝලයන්ට භූතයාව දුරු කරන්නැයි කී නමුත් ඔවුන්ට එය කරන්න නොහැකි විය.”
ගෝලයන්ට දරුවාව සුව කිරීමට නොහැකි වූ නිසා ලියන්නන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා බව පෙනේ. සමහරවිට ඔවුන් ගෝලයන්ගේ උත්සාහයන්ට සමච්චල් කරමින් සිටිනවාත් ඇති. මෙම තීරණාත්මක මොහොතේදී තමයි යේසුස් පැමිණෙන්නේ. යේසුස් පවසන්නේ මෙහෙමයි. “අහෝ ඇදහිල්ල නැති පරම්පරාව, මා ඔබ සමඟ තව කොපමණ කල් සිටින්නද? ඔබ ගැන තව කොපමණ කල් ඉවසන්නද?”
යේසුස් එතැන සිටින සෑම කෙනෙකුටම කතා කරමින් සිටින බව පෙනෙන්නට තිබුණත්, ඔහු ප්‍රධාන වශයෙන්ම එම වචන යොමු කරන්නේ ඔහුගේ ගෝලයන්ට කරදර කරමින් සිටි ලියන්නන්ට බව නිසැකයි. ඊළඟට යේසුස් දරුවා ගැන සඳහන් කරමින්, “ඔහුව මා වෙතට ගෙනෙන්න” කියා පවසනවා. එහෙත් දරුවා යේසුස් ළඟට පැමිණෙද්දී, ඔහුට ආවේශ වී සිටින භූතයා ඔහුව බිම හෙළා දරුණු විදිහට ගැහෙන්න සලස්වනවා. එවිට දරුවා බිම පෙරළි පෙරළි කටින් පෙණ දමනවා.
“මෙය කොතරම් කාලයක් පුරා මොහුට තිබෙනවාද” කියා යේසුස් අසනවා.
“කුඩා කාලයේ පටන්” කියා පියා පිළිතුරු දෙනවා. “[ඒ භූතයා] ඔහුව විනාශ කරන පිණිස වරින් වර ගින්නෙහිද වතුරෙහිද වට්ටවන්නේය” කියා පවසමින්, පියා ඉන්පසු මෙසේ කන්නලව් කරනවා. “ඔබට මේ ගැන යමක් කළ හැකි නම්, අපට අනුකම්පා කොට උපකාර කරන්න.”
සමහරවිට වසර ගණනාවක් පුරා පියා උපකාර සොයමින් සිටින්න ඇති. දැන් යේසුස්ගේ ගෝලයන්ගේ උත්සාහය අසාර්ථක වී තිබෙන නිසා ඔහුගේ බලාපොරොත්තු හොඳටම සුන් වී ගිහින්. ඔහු අසරණව කරන කන්නලව්ව අසා යේසුස් දිරිගන්වනසුලු ආකාරයකින් මෙසේ පවසනවා. “‘හැකි නම්’ කියා ඔබ පැවසුවේය. යමෙකුට ඇදහිල්ල ඇත්නම් සියල්ල හැකි වන්නේය.”
පියා විගස හඬ නඟා පවසන්නේ “මට ඇදහිල්ල තිබේ” කියායි. ඉන්පසු ඔහු මෙසේත් අයැදිනවා. “මගේ ඇදහිල්ලේ අඩුපාඩුකම් ගැන උපකාර කරන්න!”
සෙනඟ ඔවුන් වෙතට දුව එමින් එක් රොක් වන බව දකින යේසුස් භූතයාට මෙසේ තරවටු කරනවා. “ගොළු, බිහිරි ආත්මය, මොහුගෙන් පිටතට එන්ටත් මොහුට නැවතත් ආවේශ නොවන්නත් මම ඔබට අණ කරමි.” භූතයා පිට වී යන විට දරුවා නැවතත් මොරගසන අතර කිහිප වතාවක්ම ඔහු දරුණු ලෙස ගැහෙනවා. ඊළඟට දරුවා මළ කෙනෙකු මෙන් නිශ්චලව බිම වැතිරී සිටින නිසා එතැන සිටින බහුතරයක්ම පවසන්නේ, “ඔහු මැරිලා!” කියායි. එහෙත් යේසුස් දරුවාගේ අතින් අල්ලන විට ඔහු නැඟිටිනවා.
මීට කලින් දේශනා කිරීම සඳහා ගෝලයන්ව යැවූ අවස්ථාවේදී ඔවුන් භූතයන් පලවාහැර තිබුණා. ඒ නිසා ඔවුන් නිවසකට ඇතුල් වූ පසු යේසුස්ව පැත්තකට ගෙන ගොස් මෙසේ අසනවා. “අපට භූතයා දුරු කරන්න නොහැකි වුණේ මන්ද?”
එසේ කළ නොහැකි වුණේ ඔවුන්ගේ ඇදහිල්ලේ මදිකම නිසයි කියා අඟවමින් යේසුස් මෙසේ පිළිතුරු දෙනවා. “යාච්ඤාවෙන් මිස වෙන විදියකින් මේ වර්ගය දුරු කළ නොහැකිය.” දරුවාට වැහී සිටි විශේෂිත බලයක් තිබූ ඒ භූතයා දුරු කිරීමට පෙර සූදානමක් අවශ්‍ය වූ බව පැහැදිලියි. බලවත් ඇදහිල්ල මෙන්ම දෙවිගෙන් අවශ්‍ය ශක්තිය ඉල්ලා යාච්ඤා කිරීමද අවශ්‍ය වුණා.
ඊළඟට යේසුස් තව-දුරටත් මෙසේද පවසයි. “සැබවින්ම මම ඔබට කියමි, අබ ඇටයක් තරම්වත් ඇදහිල්ල ඔබට ඇත්නම්, ඔබ මේ කන්දට කතා කොට, ‘මෙතැනින් අතනට යන්න’ යයි කීවොත් එය යන්නේය. ඔබට කළ නොහැකි කිසිවක් නොවන්නේය.” ඇදහිල්ල මොන තරම් බලවත් විය හැකිද!
යෙහෝවාගේ සේවය තුළ දියුණුව වළකාලන බාධක හා දුෂ්කරතා ජයගත නොහැකි සහ ඉවත් කළ නොහැකි මහා කන්දක් මෙන් පෙනෙන්ට පුළුවන්. එහෙත්, අපගේ හදවත් තුළ ඇදහිල්ල වර්ධනය කරගනිමින් එය වැඩීමට අවශ්‍ය පෝෂණය හා දිරිය ලබා දෙන්නේ නම්, එය මේරූභාවය කරා වර්ධනය වන අතර, එවන් කඳු වැනි බාධක හා දුෂ්කරතා ජයගැනීමට එය අපට උපකාර කරනු ඇති බව යේසුස් පෙන්වමින් සිටිනවා. මාක් 9:14-29; මතෙව් 17:19, 20; ලූක් 9:37-43; NW.
▪ යේසුස් හෙර්මොන් කන්දේ සිට ආපසු එද්දී, ඔහු කිනම් තත්වයකට මුහුණ පාන්නේද?
▪ භූතාවේශ වූ දරුවාගේ පියාට යේසුස් දෙන දිරිගැන්වීම කුමක්ද?
▪ ගෝලයන්ට භූතයා දුරු කිරීමට නොහැකි වූයේ මන්ද?
▪ යේසුස් පෙන්වන ආකාරයට ඇදහිල්ල කොතරම් බලවත් විය හැකිද?