125වෙනි පරිච්ඡේදය
වධකණුවේ ඉමහත් වේදනා විඳිමින්
යේසුස් සමඟ මරණයට පත් කිරීමට සොරුන් දෙදෙනෙකුවද රැගෙන යනවා. ගමන් ගන්නා පිරිස නතර වෙන්නේ නුවරට නුදුරින් පිහිටි ගොල්ගොතා හෙවත් ඉස්කබල යනුවෙන් හඳුන්වන ලද ස්ථානයේදීයි.
සිරකරුවන්ගේ පිට වස්ත්‍ර ගලවා දමනවා. ඊළඟට, ඔවුන්ට බොන්න සුවඳ ලාටු මිශ්‍ර කළ වයින් දෙනවා. පෙනෙන ආකාරයට, එම වයින් සාදා ඇත්තේ යෙරුසලමේ ස්ත්‍රීන් විසිනුයි. මරණ දණ්ඩය නියම කර ඇති අයට මෙම වේදනා නාශකය ලබා දීම ගැන රෝමවරු විරෝධය පළ කරන්නේ නැහැ. එහෙත් යේසුස් එහි රස බැලූ පසු එය ප්‍රතික්ෂේප කරනවා. ඒ ඇයි? ඔහුගේ ඇදහිල්ල අන්තයටම පරීක්ෂාවට ලක් වන මේ මොහොතේදී හොඳ මානසික තත්වයකින් සිටීමට ඔහුට වුවමනා වන නිසයි.
දැන් බිම හෙළා ඇති වධකණුව මත යේසුස්ව දිගා කරනවා. ඔහුගේ අත් දෙක තබන්නේ ඔහුගේ හිසට ඉහළිනුයි. ඊළඟට හේවායන් ඔහුගේ අත් සහ පාදවලට විශාල ඇණ ගසනවා. ඇණ මස් හා අස්ථි පසාරු කරගෙන යද්දී යේසුස්ට දැනෙන්නේ ඉමහත් වේදනාවක්. වධකණුව ඉහළට ඔසවද්දී ඇණ ගැසීමෙන් තුවාල වී ඇති ස්ථාන සිරුරේ බරට ඉරී යන නිසා ඔහුට දැනෙන වේදනාව දරාගත නොහැකි තරම්. එහෙත් යේසුස් රෝම හේවායන්ට තර්ජනය කරනවා වෙනුවට ඔවුන් වෙනුවෙන් මෙසේ යාච්ඤා කරනවා. “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න. මන්ද තමන් කරන්නේ කුමක්දැයි ඔවුහු නොදනිති.”
පිලාත් වධකණුවේ පුවරුවක් එල්ලා තිබෙනවා. එහි සඳහන් වී ඇත්තේ “යුදෙව්වරුන්ගේ රජ වන නාසරිය යේසුස්” කියායි. පෙනෙන ආකාරයට ඔහු මෙය ලියන්නේ යේසුස්ට ගරු කරන නිසා පමණක් නොවෙයි. යේසුස්ට මරණ දණ්ඩනය නියම කිරීමට යුදෙව් පූජකයන් තමාට බල කළ බැවින් ඔවුන්ව පිළිකුල් කරන නිසාත් එසේ කරනවා. සියල්ලන්ටම කියවිය හැකි පරිදි පිලාත් පුවරුව භාෂා තුනකින් ලිවීමට සලස්වනවා. එනම් හෙබ්‍රෙව්, නිල භාෂාව වූ ලතින් හා පොදුවේ කතා කළ ග්‍රීක් යන භාෂාවලින්.
කායෆස්, අන්නස් හා අනිත් නායක පූජකයන් කලබල වෙනවා. ඒ, යේසුස් පිළිබඳව කර ඇති මේ යහපත් ප්‍රකාශයෙන් ඔවුන්ගේ ජයග්‍රාහී හැඟීම් යටපත් වී යන නිසයි. ඒ නිසා, ඔවුන් විරෝධය පාමින් පවසන්නේ, “‘යුදෙව්වරුන්ගේ රජ’ කියා නොලියා, ‘මා යුදෙව්වරුන්ගේ රජුය’ කියා ඔහු පැවසුවේයයි ලියන්න” යනුවෙනුයි. පූජකයන් තමාව ඔවුන්ගේ ඉත්තෙකු කරගෙන සිටින නිසා කෝපයට පත් වී සිටින පිලාත් දැඩි පිළිකුලකින් මෙසේ පවසනවා. “මා ලියූ දේ ලිව්වාමය.”
දැන් පූජකයෝ විශාල සෙනඟක් කැටුව යේසුස්ව වධකණුවේ ඇණ ගසා තිබෙන ස්ථානයට එක් රොක් වෙනවා. එහිදී පුවරුවේ සඳහන් වී ඇති ප්‍රකාශය නිෂ්ප්‍රභ කරමින් සැන්හෙඩ්‍රිනයේ පැවැත්වූ නඩු විභාගයේදී ඉදිරිපත් කළ බොරු සාක්ෂි ඔවුන් නැවතත් සඳහන් කරනවා. ඒ නිසා, මඟ යන්නෝ අපහාසාත්මක ලෙස කතා කරන එක පුදුමයක් නොවෙයි. ඔවුන් හිස් වන වනා මෙසේ කවටකම් කරනවා. “දේවමාලිගාව කඩා දමා දවස් තුනකින් ගොඩනඟන ඔබ ඔබවම ගලවාගන්න! ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම්, වධකණුවෙන් බැස එන්න!”
“ඔහු අනුන්ව ගැලෙව්වේය, නමුත් තමන්ව ගලවාගන්න ඔහුට නොහැක” යයි පවසමින් නායක පූජකයෝ හා ඔවුන්ගේ මිත්‍රයෝද කවටකම් කරනවා. “ඔහු ඊශ්‍රායෙලයෙහි රජුය. ඔහු දැන් වධකණුවෙන් බැස ආවොත් අපි ඔහුව විශ්වාස කරන්නෙමු. ඔහු දෙවි කෙරෙහි විශ්වාසය තබා තිබේ. දෙවිට ඔහුව ඕනෑ නම් දෙවි ඔහුව බේරාගනීවා. මන්ද ‘මම දෙවිගේ පුත්‍රයා වෙමි’ යි ඔහු කීවේය.”
අවට සිටින ජනයාගේ ක්‍රියාකලාපය නිසා හේවායන්ද යේසුස්ට කවටකම් කිරීමට පටන්ගන්නවා. ඔවුන් අවමන්සහගත ලෙස ඔහුට ඇඹුල් වයින් දෙනවා. පෙනෙන විදිහට, ඔහුගේ වියළුණු තොල්වලට මදක් ඈතින් එය අල්ලමින් ඔවුන් මෙසේ පවසනවා. “ඔබ යුදෙව්වරුන්ගේ රජ නම්, ඔබවම ගලවාගන්න.” යේසුස්ගේ දකුණු පැත්තේ සහ වම් පැත්තේ එල්ලා සිටින සොරුන් දෙදෙනා පවා ඔහුට සමච්චල් කරනවා. මේ ගැන මොහොතකට සිතා බලන්න! මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා, එනම් සියලු දේවල් මැවීමෙහි යෙහෝවා දෙවි සමඟ හවුල් වූ තැනැත්තා මේ හිංසා පීඩා සියල්ලම නොසැලී විඳදරාගන්නවා!
හේවායන් යේසුස්ගේ පිට වස්ත්‍ර කොටස් සතරකට බෙදාගන්නවා. ඔවුන් එය කාට අයිති වේද කියා බැලීම සඳහා දාදු දමනවා. ඇතුල් වස්ත්‍රය මූට්ටුවක් නොසිටින සේ උඩ සිට පහළට වියා තිබෙන නිසා එය ගොඩක් වටිනවා. ඉතිං හේවායන් එකිනෙකාට පවසන්නේ මෙසේයි. “අපි එය ඉරන්නේ නැතිව, එය කාට අයත් වේද කියා දැනගැනීමට දාදු දමා බලමු.” මෙසේ, “ඔවුහු මාගේ පිට වස්ත්‍ර තමන් අතරේ බෙදාගෙන, මාගේ ඇඳුම් සඳහා දාදු දැමුවෝය” යන ශුද්ධ ලියවිලි පාඨය ඔවුන් නොදැනුවත්වම ඉටු කරනවා.
ටික වේලාවකට පසුව, යේසුස් සැබෑවටම රජෙකු විය යුතුයි කියා එක් සොරෙක් තේරුම්ගන්නවා. ඉතිං ඔහු තම මිතුරාට තරවටු කරමින් මෙසේ පවසනවා. “ඔබටත් එම විනිශ්චයම ලැබී තිබියදීත් ඔබ කිසිසේත් දෙවිට භය නැද්ද? අපට ලැබී ඇති විනිශ්චය සාධාරණය. මන්ද, අපට මේ සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ අප කළ දේවල්වලට සුදුසු විපාකය. නමුත් මොහු කිසි වරදක් කළේ නැත.” ඊළඟට ඔහු යේසුස්ට මෙසේ කන්නලව් කරනවා. “ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වූ විට මාව සිහි කරන්න.”
එවිට යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “සැබවින්ම මම අද ඔබට කියමි, ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය.” මෙම පොරොන්දුව ඉටු වන්නේ යේසුස් ස්වර්ගයෙහි සිට පාලනය කරද්දී පසුතැවිලි වූ මෙම වරදකරුවාව මේ පොළොව මතට නැවත නැඟිටුවන විටදීයි. එවිට අර්මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වන්නන්ට හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ට මේ ලෝකය පාරාදීසයක් බවට පත් කිරීමේ මහඟු වරප්‍රසාදය හිමි වනු ඇති. මතෙව් 27:33-44; මාක් 15:22-32; ලූක් 23:27, 32-43; යොහන් 19:17-24; NW.
▪ යේසුස් සුවඳ ලාටු මිශ්‍ර කළ වයින් ප්‍රතික්ෂේප කරන්නේ මන්ද?
▪ පෙනෙන ප්‍රකාරයට යේසුස්ගේ වධකණුව මත පුවරුවක් එල්ලා ඇත්තේ මන්ද? ඒ නිසා පිලාත් හා නායක පූජකයන් අතරෙහි ඇති වන දෙබස කුමක්ද?
▪ යේසුස් වධකණුව මත සිටින විට දිගටම වධ හිංසාවලට ලක් වන්නේ කෙසේද? එය ඇතිවීමට හේතුව කුමක්ද?
▪ යේසුස්ගේ වස්ත්‍රවලට සිදු කරන දේ නිසා ඉටු වෙන්නේ කුමන අනාවැකියද?
▪ එක සොරෙකුගේ ආකල්පය වෙනස් වන්නේ කෙසේද? යේසුස් ඔහුගේ ඉල්ලීම ඉටු කරනු ඇත්තේ කෙසේද?