ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 131 පරි. 298 පි.-299 පි. 3 ¶
  • නිර්දෝෂ රජෙක් වධකණුවේ වේදනා විඳියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිර්දෝෂ රජෙක් වධකණුවේ වේදනා විඳියි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • වධකණුවේ ඉමහත් වේදනා විඳිමින්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • අපි යේසුස්ට ආදරය කරන්න ඕන ඇයි?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් ගොල්ගොතාවලදී මිය යයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස්ව මරා දමන්න ගෙන යයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 131 පරි. 298 පි.-299 පි. 3 ¶
”ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” කියලා තමන් අසල වධකණුවේ සිටින අපරාධකරුට යේසුස් පොරොන්දු වෙයි

131වෙනි පරිච්ඡේදය

නිර්දෝෂ රජෙක් වධකණුවේ වේදනා විඳියි

මතෙව් 27:33-44 මාක් 15:22-32 ලූක් 23:32-43 යොහන් 19:17-24

  • යේසුස්ව වධකණුවේ ඇණ ගසයි

  • යේසුස්ට ඉහළින් තියෙන සටහන නිසා මිනිසුන් ඔහුට නින්දා කරයි

  • යේසුස් පාරාදීස පොළොවේ බලාපොරොත්තුව ගැන කියයි

යේසුස්ව දැන් අරගෙන යන්නේ තවත් කොල්ලකරුවන් දෙන්නෙක්වත් වධකණුවල ඇණ ගහන්න නියමිත තැනකට. ගොල්ගොතා නැත්නම් හිස්කබල විදිහට හඳුන්වන ඒ තැනට නගරයේ ඉඳන් ඒ හැටි දුරක් නැහැ. “යම් දුරක” ඉඳන් වුණත් එතැන වෙන දේ හොඳින් දැකගන්න පුළුවන්.—මාක් 15:40.

මරණ දඬුවම ලැබිලා තියෙන තුන්දෙනාගේම ඇඳුම් ගලවලයි තියෙන්නේ. සුවඳ ලාටුවලින් හදපු මත්ද්‍රව්‍යයක් සහ තිත්ත යමක් මිශ්‍ර කරපු වයින් දැන් ඔවුන්ට බොන්න දෙනවා. පෙනෙන විදිහට යෙරුසලමේ ස්ත්‍රීන් හදලා තියෙන මේ මිශ්‍රණය වේදනා නාශකයක් නිසා මරණ දඬුවම ලැබෙන අයට ඒවා දෙන එකට රෝමවරුන් විරුද්ධ නැහැ. කොහොමවුණත් ඒකේ රස දැනුණාම යේසුස් ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ අසීරු තත්වයක් මැද සිහිකල්පනාවෙන් ඉඳිමින් මරණය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නයි ඔහුට ඕනේ.

හේවායන් දැන් යේසුස්ව කණුවක දිගා කරනවා. (මාක් 15:25) ඔවුන් යේසුස්ගේ අත් සහ කකුල්වලට ඇණ ගහද්දී ඒවා ඔහුගේ මාංස පේශීන් පසාරු කරගෙන යනවා. වධකණුව කෙළින් කරද්දී ශරීරයේ බරට ඇණ ගහපු තැන්වල තුවාල ඇදිලා ඉරෙනවා. ඔහුට මොන තරම් වේදනාවක් දැනෙනවා ඇද්ද! ඒත් යේසුස්, හේවායන් ගැන කේන්ති ගන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරමින් ඔහු කියන්නේ මෙහෙමයි. “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න. මන්ද ඔවුන් කරන දේ ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ.”—ලූක් 23:34.

සාමාන්‍යයෙන් රෝමවරු මරණ දඬුවම ලැබෙන අය කරපු අපරාධය ගැන සටහනක් කණුවේ එල්ලනවා. යේසුස්ගේ සටහනේ පිලාත් ලියන්නේ “යුදෙව්වරුන්ගේ රජු වන නාසරෙත් නුවරේ යේසුස්” කියලයි. හෙබ්‍රෙව්, ලතින් සහ ග්‍රීක කියන භාෂා තුනෙන්ම ඒක ලියලා තියෙන නිසා හැම කෙනෙක්ටම වගේ ඒක කියවන්න පුළුවන්. යේසුස්ව මරන්න කියලා ඉල්ලපු යුදෙව්වන් ගැන පිලාත්ගේ හිතේ මොන තරම් තරහක් තියෙනවාද කියලා ඒකෙන් පැහැදිලියි. නායක පූජකයන් ඔහුට මෙහෙම කියනවා. “යුදෙව්වරුන්ගේ රජ කියා ලියන්න එපා. ‘මම යුදෙව්වරුන්ගේ රජු’ කියා ඔහු පැවසූ බව ලියන්න.” හැබැයි මේ වතාවේදී පිලාත් ඔවුන්ට කෙළින්ම කියනවා “මම ලියූ දේ වෙනස් කරන්නේ නැහැ” කියලා.—යොහන් 19:19-22.

කේන්තියෙන් පුපුරන පූජකයන් මන්ත්‍රණ සභාවේදී ඔවුන් නඟපු බොරු චෝදනාව දැන් ආපහු මතක් කරනවා. ඒ නිසා මේ ස්ථානයෙන් එහා මෙහා යන අය තම හිස් වනවනා යේසුස්ට නින්දා කරමින් කියන්නේ මෙහෙමයි. “දේවමාලිගාව කඩා දමා දවස් තුනකින් ගොඩනඟන බව ඔබ කිව්වා නේද? ඉතින් ඔබට පුළුවන්නේ ඔය වධකණුවෙන් බැහැලා එන්න.” නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අයත් මෙහෙම කතා වෙනවා. “ඔහු ඊශ්‍රායෙලයෙහි රජු වන ක්‍රිස්තුස් නේද? ඔහු දැන් වධකණුවෙන් බැස ආවොත් අපි අනිවාර්යයෙන්ම ඔහුව විශ්වාස කරනවා.” (මාක් 15:29-32) ඒ විතරක් නෙවෙයි වධකණුවල එල්ලලා ඉන්න කොල්ලකරුවන් දෙන්නත් කිසිම වරදක් නොකරපු යේසුස්ට නින්දා කරනවා.

රෝම හේවායන් හතරදෙනාත් දැන් යේසුස්ට සමච්චල් කරන්න පටන්ගන්නවා. ඇඹුල් වයින් බොන ඔවුන් වධකණුවේ ඉන්න යේසුස්ටත් වයින් බොන්න එන්න කියලා කවටකම් කරනවා. වධකණුවේ තියෙන සටහන නිසා යේසුස්ට සමච්චල් කරන ඔවුන් කියන්නේ “ඔබ යුදෙව්වරුන්ගේ රජු නම් ඔබ ඔබවම ගලවාගන්න” කියලයි. (ලූක් 23:36, 37) මාර්ගයත් සත්‍යයත් ජීවනයත් තමන් කියලා ඔප්පු කරපු මිනිසාටයි ඔවුන් මේ හැම දෙයක්ම කරන්නේ. ඒත් යේසුස් ඒ හැම දෙයක්ම දරාගන්නවා. අවට ඉන්න යුදෙව්වන්ටවත් තමන්ට නින්දා කරන රෝම හේවායන්ටවත් දෙපැත්තේ ඉන්න අපරාධකරුවන්ටවත් ඔහු දොස් කියන්නේ නැහැ.

හේවායන් යේසුස්ගේ ඇතුල් වස්ත්‍රය ලබාගන්න දාදු දමයි

හේවායන් හතරදෙනා යේසුස්ගේ පිට වස්ත්‍රය කොටස් හතරකට වෙන් කරලා දාදු දාලා ඒවා බෙදාගන්නවා. යේසුස්ගේ ඇතුල් වස්ත්‍රය හුඟක් වටින එකක්. ‘ඒ වස්ත්‍රයට මූට්ටුවක් තිබුණේ නැහැ. එය උඩ සිට පහළට මුළුමනින්ම එකට වියා තිබුණා.’ ඒ නිසා හේවායන් කතා වෙන්නේ “අපි එය ඉරන්නේ නැතුව එය අයිති වෙන්නේ කාටද කියා තීරණය කරන්න දාදු දමමු” කියලයි. ඔවුන් ඒ විදිහට ක්‍රියා කරන නිසා “ඔවුහු මාගේ පිට වස්ත්‍ර තමන් අතරේ බෙදාගෙන මාගේ ඇඳුම් සඳහා දාදු දැමුවෝය” කියලා බයිබලයේ සඳහන් අනාවැකිය ඉටු වෙනවා.—යොහන් 19:23, 24; ගීතාවලිය 22:18.

ටික වෙලාවකට පස්සේ එක අපරාධකරුවෙක් තේරුම්ගන්නවා යේසුස් ඇත්තටම රජෙක් වෙන්න ඇති කියලා. ඒ නිසා අනිත් අපරාධකරුට තදින් කතා කරන ඔහු මෙහෙම කියනවා. “මේ මිනිසාට සමාන දඬුවමක් ඔබට ලැබිලත් ඔබට දෙවි සඳහා කිසි ගරුබියක් නැද්ද? අපට ලැබුණු විනිශ්චය සාධාරණයි. අපට දැන් ලැබිලා තිබෙන්නේ අප කළ දේවලට ලැබිය යුතු දඬුවමයි. නමුත් මේ මිනිසා කිසි වරදක් කර නැහැ.” ඊළඟට ඔහු යේසුස්ට කියනවා “ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා” කියලා.—ලූක් 23:40-42.

එතකොට යේසුස් ඔහුට කියන්නේ “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” කියලයි. (ලූක් 23:43) යේසුස් නියෝජිතයන්ට දීපු පොරොන්දුවට වඩා ඒක වෙනස්. මොකද ඔහු ඔවුන්ට පොරොන්දු වුණේ තමන් එක්ක දෙවිගේ රාජ්‍යයේ සිංහාසනවල ඉඳගන්න අවස්ථාව දෙනවා කියලයි. (මතෙව් 19:28; ලූක් 22:29, 30) යෙහෝවා දෙවියන් ආදම් සහ ඒවටත් ඔවුන්ගෙන් පැවතෙන අයටත් පාරාදීස පොළොවක ජීවත් වෙන්න අවස්ථාව දීපු එක ගැන යුදෙව් අපරාධකරුවා දැනගෙන ඉන්න ඇති. දැන් මරණය අද්දර ඉන්න ඔහුට පාරාදීසය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

  • යේසුස් වයින් ප්‍රතික්ෂේප කළේ ඇයි?

  • යේසුස්ට ඉහළින් තිබුණු සටහනේ ලියලා තිබුණේ මොනවාද? ඒ ගැන යුදෙව්වන්ට හැඟුණේ කොහොමද?

  • යේසුස්ගේ වස්ත්‍ර ගැන තිබුණු අනාවැකිය ඉටු වුණේ කොහොමද?

  • අපරාධකරුවෙක්ට යේසුස් දීපු පොරොන්දුව මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න