4වෙනි පරිච්ඡේදය
ගෘහයක් පාලනය කිරීමට ඔබට හැක්කේ කෙසේද?
1. ගෘහයක් පාලනය කිරීම අදදින ඉතා දුෂ්කර විය හැක්කේ මන්ද?
“මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.” (1 කොරින්ති 7:31) එම වචන ලියනු ලැබුවේ වසර 1,900කට පෙරය, අදදිනට ඒවා කෙතරම් සැබෑද! දේවල් සැබවින්ම වෙනස් වෙමින් පවතී, විශේෂයෙන්ම පවුල් ජීවිතය සම්බන්ධයෙන් එසේ වේ. වසර 40කට හෝ 50කට පෙර සාමාන්‍ය හෝ සම්ප්‍රදායානුකූලයයි සැලකූ දේ, අදදින බොහෝවිට එසේ නොසැලකේ. මෙනිසා, ගෘහයක් සාර්ථකව පාලනය කිරීමේදී අභියෝගයන් රැසක් ඉස්මතු විය හැක. කෙසේනමුත්, ශුද්ධ ලියවිලිමය උපදෙස් පිළිපදිනු ලැබේ නම්, ඔබට එම අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැක.
ඔබේ ආදායමේ සීමා තුළ ජීවත් වන්න
2. පවුලක දැඩි පීඩනයට හේතු වන ආර්ථික තත්වයන් කවරේද?
2 අදදින බොහෝදෙනා සරල, පවුලට ආවේනික ජීවිතයකින් තෘප්තිමත් වන්නේ නැත. වාණිජ ලෝකය වැඩි වැඩියෙන් භාණ්ඩ නිපදවා, ජනයාව ඒවා වෙත ඇදගැනීමට වෑයමක් වශයෙන් ප්‍රචාරණ දක්ෂතා යොදාගන්නා විට, එම භාණ්ඩ මිල දී ගත හැකි වන පිණිස පියවරු හා මව්වරු මිලියන ගණනක් රැකියාවෙහි වැඩි කාලයක් ගත කරති. වෙනත් මිලියන ගණන්දෙනා එදා වේල සොයාගැනීමට දෛනික වෙහෙසක් දරති. අවශ්‍යතාවන් සඳහා පමණක් ගෙවීමට සමහරවිට රැකියා දෙකක් කරමින් සාමාන්‍යයට වඩා වැඩියෙන් ඒ සඳහා කාලය ගත කරන්ට ඔවුන්ට සිදු වේ. විරැකියාව ව්‍යාප්ත වූ ගැටලුවක් බැවින්, වෙනත් අය රැකියාවක් සොයාගැනීමට කැමති වනු ඇත. එසේය, නවීන පවුලට ජීවිතය සැමවිටම පහසු නොවුවත්, තිබෙන තත්වයට අනුව උපරිමය ලැබීමට පවුල්වලට උපකාර කිරීමට බයිබල් ප්‍රතිපත්තිවලට හැක.
3. ප්‍රේරිත පාවුල් පැහැදිලි කළ ප්‍රතිපත්තිය කුමක්ද, තවද එය අදාළ කරගැනීමෙන් කෙනෙකුට ගෘහයක් පාලනය කිරීමේදී සාර්ථක විය හැක්කේ කෙසේද?
3 ප්‍රේරිත පාවුල් ආර්ථික පීඩන අද්දැක්කේය. ඒවා සම්බන්ධව කටයුතු කිරීමේදී, ඔහු වටිනා පාඩමක් ඉගෙනගත් අතර, ඔහු එය සිය මිත්‍ර තිමෝතිට ලියූ ලිපියේ පැහැදිලි කරයි. පාවුල් මෙසේ ලියයි: “අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය, තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව.” (1 තිමෝති 6:7, 8) පවුලකට නිකම්ම කෑම, ඇඳීමට වඩා වැඩි දෙයක් අවශ්‍ය බව සැබෑය. ජීවත්වීමට තැනක්ද එයට අවශ්‍යය. දරුවන්ට අධ්‍යාපනයක් අවශ්‍යය. තවද වෛද්‍යමය කාරණාවලට ගෙවීම් හා වෙනත් වියහියදම්ද තිබේ. කෙසේවුවත්, පාවුල්ගේ වචනවල ප්‍රතිපත්තිය අදාළ වේ. අපගේ වුවමනාවන් සපුරාගන්නවා වෙනුවට, අපගේ අවශ්‍යතාවන් තෘප්තිමත් කිරීමෙන් අප සෑහීමකට පත්වන්නේ නම්, ජීවිතය වඩාත් පහසුවනු ඇත.
4, 5. ගෘහ පාලනයේදී, කලින් සිතාබැලීම හා කලින් සැලසුම් කිරීම උපකාරවත් විය හැක්කේ කෙසේද?
4 යේසුස්වහන්සේගේ උපමාවල තවත් උපකාරවත් ප්‍රතිපත්තියක් සොයාගන්ට තිබේ. උන්වහන්සේ මෙසේ පැවසූසේක: “කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?” (ලූක් 14:28) මෙහිදී යේසුස්වහන්සේ කතා කරන්නේ කලින් සිතාබැලීම, කලින් සැලසුම් කිරීම සම්බන්ධයෙනි. තරුණ යුවළක් විවාහ වීමට කල්පනා කරන විට මෙය කෙතරම් උපකාරවත්දැයි අපි පෙර පරිච්ඡේදයකදී දුටුවෙමු. තවද විවාහයට පසු, ගෘහයක් පාලනය කිරීමේදීද එය උපකාරවත් වේ. මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කලින් සිතාබැලීමට, අයවැය පාලනය ඇතුළත්ය. අවශ්‍යය, එනම්, තිබෙන සම්පත් වඩාත් ඥානවන්ත ආකාරයකින් භාවිත කිරීමට කලින්ම සැලසුම් කිරීමය. මෙලෙසින් එය වත්කම ඉක්මවන ජීවිතයක් නොවන අතර, සෑම දිනකටම හෝ සෑම සතියකටම අත්‍යවශ්‍ය දේවල් සඳහා වියදම් කිරීමට මුදල් වෙන් කරමින් වියහියදම් පාලනය කිරීමට පවුලකට හැක.
5 ඇතැම් රටවල, එවැනි අයවැය පාලනයකින් අදහස් විය හැක්කේ, අත්‍යවශ්‍ය නොවන දේ මිල දී ගැනීමට අධික පොළියකට ණයට ගැනීමේ පෙලඹීමෙන් වැළකී සිටීමය. වෙනත් රටවල් තුළ, ණයවර පත් භාවිතයේදී දැඩි පාලනයක් තබාගැනීම ඉන් අදහස් විය හැක. (හිතෝපදේශ 22:7) අවශ්‍යතාවන් හා ඇති වන ප්‍රතිඵල ගැන කල්පනා නොකර, එම මොහොතේ හදිසියේ ඇති වන පෙලඹීමකින් යමක් ගැනීමෙන්—එනම් හදිසි මිල දී ගැනීමකින් වැළකී සිටීමද ඉන් අදහස් විය හැක. තවදුරටත්, සූදුකෙළීම, දුම්පානය හා අධික බීමත්කම වෙනුවෙන් ආත්මාර්ථකාමී ලෙස මුදල් නාස්ති කිරීම පවුලේ ආර්ථික තත්වයට හානි පමුණුවන බව අයවැයක් මගින් පෙනෙන්ට සලස්වනු ඇති අතර, මෙවන් පුරුදු බයිබල් ප්‍රතිපත්තිවලටද විරුද්ධය.—හිතෝපදේශ 23:20, 21, 29-35; රෝම 6:19; එපීස 5:3-5.
6. දිළිඳුකමෙන් ජීවත් වන්ට සිදුව ඇති අයට උපකාරවත් වන ශුද්ධ ලියවිලිමය සත්‍යයන් මොනවාද?
6 අනිවාර්යයෙන්ම දුගීකමෙන් ජීවත්වීමට සිදු වන අය ගැන කුමක් කිව හැකිද? එක් දෙයක් නම්, මෙම ලොව පතළ ගැටලුව තාවකාලික එකක් පමණක් බව දැනගැනීමෙන් ඔවුන්ට සැනසීමක් ලබාගත හැක. ශීඝ්‍රයෙන් ළඟාවෙමින් පවතින නව ලෝකය තුළ, මිනිස්වර්ගයාට දුක්ඛිතකම ගෙනෙන වෙනත් සෑම නපුරක් සමඟින් දිළිඳුකමද යෙහෝවඃවහන්සේ විසින් නැති කර දමනු ඇත. (ගීතාවලිය 72:1, 12-16) ඒ අතරතුර, සැබෑ ක්‍රිස්තියානීන් කෙතරම් දිළිඳු වුවත්, යෙහෝවඃවහන්සේගේ මෙම පොරොන්දුව කෙරෙහි ඔවුන් තුළ විශ්වාසය ඇති බැවින් සම්පූර්ණ බලාපොරොත්තු විරහිත හැඟීමක් ඇති වන්නේ නැත: “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි” මෙබැවින් ඇදහිලිවන්තයෙකුට විශ්වාසයෙන් යුතුව මෙසේ පැවසිය හැක: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි.” (හෙබ්‍රෙව් 13:5, 6) මෙම දුෂ්කර දවස්වලදී, යෙහෝවඃවහන්සේගේ ප්‍රතිපත්ති අනුව ස්වකීය නමස්කාරකයන් ජීවත් වන විට හා සිය ජීවිතවලදී රාජ්‍යයට පළමු තැන දෙන විට, උන්වහන්සේ බොහෝ ආකාරවලින් ඔවුන්ට උපකාර කර ඇත. (මතෙව් 6:33) ප්‍රේරිත පාවුල්ගේ වදන් යොදමින් ඔවුන්ගෙන් මහත් සේනාවකට මෙසේ පැවසිය හැක: “පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත්කරන්නාවූ තැනැන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.”—පිලිප්පි 4:12, 13.
බර බෙදාගැනීම
7. අදාළ කරගතහොත්, සාර්ථක ගෘහ පාලනයකදී උපකාරවත් වන්නේ යේසුස්වහන්සේගේ කුමන වචනද?
7 යේසුස්වහන්සේ සිය භූමික සේවයේ අවසානභාගයේදී මෙසේ පැවසූසේක: “තට මෙන් තාගේ අසල්වාසියාට ප්‍රේමකරව.” (මතෙව් 22:39) පවුල තුළ මෙම උපදෙස අදාළ කරගැනීම ගෘහ පාලනයට අතිවිශාල ලෙස උපකාරවත් වේ. ඇරත්, අපගේ සමීපතම, ප්‍රේමනීයම අසල්වාසීහු—අප සමඟ එකට වාසය කරන ස්වාමිපුරුෂයෝ හා භාර්යාවෝ, දෙමාපියෝ හා දරුවෝ නොවෙත්ද? එකිනෙකාට ප්‍රේමය දැක්වීමට පවුල් සාමාජිකයන්ට හැක්කේ කෙසේද?
8. පවුල තුළ ප්‍රේමය දැක්විය හැක්කේ කෙසේද?
8 පවුලේ සෑම සාමාජිකයෙකුම තමාට සාධාරණව නියම කර තිබෙන ගෘහයේ වැඩ කොටස කිරීම එක් ක්‍රමයකි. ඇඳුම් හෝ සෙල්ලම් බඩු හෝ වෙන යමක් හෝ වේවා භාවිත කිරීමෙන් පසු, ඒවා නිසි තැන තැබීමට දරුවන්ට ඉගැන්විය යුතුය. සෑම උදෑසනකම ඇඳ සකස් කිරීමට කාලයත්, වෑයමත් අවශ්‍ය විය හැකි නමුත්, ගෘහ පාලනයේදී එය ඉමහත් උපකාරයකි. ඇත්තෙන්ම යම් සුළු, තාවකාලික අපිළිවෙළ ගතියක් වැළැක්විය නොහැකි නමුත්, නිවස යම් දුරකට පිළිවෙළකට තබාගැනීමටත්, එමෙන්ම ආහාර ගැනීමෙන් පසු පිරිසිදු කිරීමටත් සියල්ලන්ටම වැඩ කළ හැකිය. අලසකම, තමාගේ ආශා පසුපස හඹා යෑම මෙන්ම අමනාපයෙන් යුත්, පසුබසින ස්වභාවයක් සෑමදෙනෙකු කෙරෙහිම නිෂේධාත්මක බලපෑමක් ඇති කරවයි. (හිතෝපදේශ 26:14-16) අනික් අතට, ප්‍රීතිමත්, කැමති ස්වභාවයක් මගින් සන්තෝෂවත් පවුල් ජීවිතයක් වැඩිදියුණු කෙරේ. “සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.”—2 කොරින්ති 9:7.
9, 10. (අ) නිවසේ ස්ත්‍රිය මත බොහෝවිට පැටවෙන්නේ කුමන බරද, තවද මෙය සැහැල්ලු කළ හැක්කේ කෙසේද? (ආ) නිවසේ වැඩකටයුතු පිළිබඳ කුමන සමබර දෘෂ්ටියක් යෝජනා කර තිබේද?
9 ඇතැම් නිවාසවල බරපතළ ගැටලුවක් වී තිබෙන තත්වයක් වළක්වාගැනීමට සැලකිල්ල හා ප්‍රේමය උපකාරවත් වනු ඇත. මව්වරුන් සම්ප්‍රදායානුකූලව ගෘහ ජීවිතයේ ප්‍රධාන ආධාරකය බවට පත්ව ඇත. ඔවුන් දරුවන් රැකබලාගෙන, නිවස පිරිසිදු කර, පවුලේ රෙදිපිළි සෝදා, ආහාර මිලට ගෙන, උයාපිහා ඇත. ඇතැම් දේශවල, ස්ත්‍රීන් සිරිතක් ලෙස කෙත්වල වැඩ කර, ඵලභෝග වෙළඳාම් කර හෝ වෙනත් ආකාරවලින් පවුලේ අයවැයටද දායක වී ඇත. කලින් මෙය සිරිතක්ව නොතිබුණත්, අවශ්‍යතා සපුරාගැනීම සඳහා විවාහක ස්ත්‍රීන් මිලියන ගණනකට, අනිවාර්යයෙන්ම නිවසෙන් බැහැර රැකියාවක් සොයාගැනීමට සිදුව ඇත. මෙම නානාවිධ පාර්ශ්වවල වෙහෙස මහන්සිව වැඩ කරන භාර්යාවක හා මවක ප්‍රශංසාව ලැබීමට සුදුසුව සිටියි. බයිබලයේ විස්තර කර ඇති ‘සමර්ථ භාර්යාවක’ මෙන් ඇය ඉතා කාර්යක්ෂමව සිටියි. “ඈ අලසකමේ කෑම නොක[යි].” (හිතෝපදේශ 31:10, 27) එහෙත්, ගෘහයක වැඩ කළ හැකි එකම තැනැත්තා ස්ත්‍රියක පමණක්යයි මින් අදහස් නොකෙරේ. ස්වාමිපුරුෂයෙකු හා භාර්යාවක දවස මුළුල්ලේම ගෙදරින් පිටත වැඩ කළ පසු, ස්වාමිපුරුෂයා සහ පවුලේ වෙනත් අය පහසු ගන්නා අතරතුර භාර්යාව පමණක් නිවසේ වැඩවල බර ඉසිලිය යුතුද? ස්ථිරයෙන්ම නැත. (2 කොරින්ති 8:13, 14 සසඳන්න.) එබැවින්, උදාහරණයක් වශයෙන්, මව ආහාර වේලක් පිළියෙළ කරන්ට යනවා නම්, පවුලේ වෙනත් සාමාජිකයන් මේසය සකස් කිරීම, කඩයට ගොස් බඩු ගෙනත් දීම නැතහොත් නිවස පිරිසිදු කිරීම වැනි දේ කිරීමෙන් ආහාර පිළියෙළ කිරීමට උපකාර සපයනවා නම් ඇය කෘතඥපූර්වක විය හැක. එසේය, සියලුදෙනාටම වගකීමට පංගුකාරයන් විය හැක.—ගලාති 6:2 සසඳන්න.
10 සමහරුන් මෙසේ පැවසිය හැක: “මා ජීවත් වන ප්‍රදේශයේ එවැනි දේවල් කිරීම පිරිමියෙකුගේ වැඩ කොටසට අයිති නෑ.” එය සැබෑවක් විය හැකි නමුත්, මේ කාරණය පිළිබඳව සලකා බැලීම හොඳ දෙයක් නොවනු ඇද්ද? යෙහෝවඃ දෙවියන්වහන්සේ පවුල ආරම්භ කළ විට, මේ මේ වැඩ ස්ත්‍රිය විසින් පමණක් කළ යුතු බවට උන්වහන්සේ නියෝග කළේ නැත. එක් අවස්ථාවකදී, යෙහෝවඃවහන්සේගේ විශේෂ පණිවුඩකරුවන් ඇදහිලිවන්ත ආබ්‍රහම්ව බැහැදුටු විට, කෑම වේලක් සූදානම් කිරීමටත්, අමුත්තන්ට එය බෙදීමටත්, ඔහු පෞද්ගලිකව හවුල් වූයේය. (උත්පත්ති 18:1-8) බයිබලය මෙසේ උපදෙස් දෙයි: “පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය.” (එපීස 5:28) දවස අවසානයේදී, ස්වාමිපුරුෂයාට මහන්සිය දැනී, විවේක ගැනීමට අවශ්‍ය නම්, භාර්යාවටත් එසේම, සමහරවිට ඊටත් වඩා දැනිය නොහැකිද? (1 පේතෘස් 3:7) එසේනම්, ගෘහයේ වැඩකටයුතුවලට ස්වාමිපුරුෂයා උපකාර කිරීම යෝග්‍ය හා ප්‍රේමනීය දෙයක් නොවනු ඇද්ද?—පිලිප්පි 2:3, 4.
11. ගෘහයේ සෑම සාමාජිකයෙකු සඳහාම යේසුස්වහන්සේ කදිම ආදර්ශයක් තැබුවේ කිනම් අයුරකින්ද?
11 දෙවියන්වහන්සේව සතුටු කළ හා සිය ආශ්‍රිතයන්ට සන්තෝෂය ගෙනා තැනැත්තෙකු පිළිබඳ හොඳම ආදර්ශය යේසුස්වහන්සේය. උන්වහන්සේ කිසිදා විවාහ නොවූවත්, ස්වාමිපුරුෂයන් මෙන්ම භාර්යාවන් හා දරුවන් සඳහා යේසුස්වහන්සේ කදිම ආදර්ශයකි. උන්වහන්සේ තමන් ගැනම මෙසේ පැවසූසේක: “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද” එනම් වෙනත් අයට සේවය කරන්ටද “. . . ආවේය.” (මතෙව් 20:28) සියලු සාමාජිකයන් එවැනි ආකල්පයක් වර්ධනය කරගන්නා විට, එවැනි පවුල් කෙතරම් ලස්සනද!
පිරිසිදුකම—එතරම් වැදගත් මන්ද?
12. යෙහෝවඃවහන්සේට සේවය කරන අයගෙන් උන්වහන්සේට අවශ්‍ය වන්නේ කුමක්ද?
12 ගෘහයක් පාලනය කරන විට උපකාරවත් විය හැකි තවත් බයිබල් ප්‍රතිපත්තියක් 2 කොරින්ති 7:1හි දක්නට තිබේ. එහි අපට මෙසේ කියවීමට තිබේ: “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍ර කරගනි[මු].” මෙම ආනුභාවය ලත් වචනවලට කීකරු වන අය, “පිරිසිදුවූ නොකිලුටුවූ” නමස්කාරය අවශ්‍ය කරන යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි පිළිගත හැකි තත්වයක සිටිත්. (යාකොබ් 1:27) තවද ඔවුන්ගේ ගෘහවාසීහුද ඒ හා සම්බන්ධ ප්‍රයෝජන ලබති.
13. ගෘහ පාලනයේදී පිරිසිදුකම වැදගත් වන්නේ මන්ද?
13 උදාහරණයක් වශයෙන්, රෝග හා අසනීප තුරන් වන දිනක් පැමිණෙනු ඇති බවට බයිබලය සහතික කරයි. ඒ කාලයේදී, “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” (යෙසායා 33:24; එළිදරව් 21:4, 5) කෙසේවුවද, ඒ වන තෙක් සෑම පවුලකටම කලින් කලට අසනීප සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිදු වෙයි. පාවුල් සහ තිමෝති පවා අසනීප වූහ. (ගලාති 4:13; 1 තිමෝති 5:23) කෙසේවුවද, අසනීපවලින් බොහෝ ප්‍රමාණයක් වළක්වාගත හැකියයි වෛද්‍ය විශේෂඥයෝ පවසති. ඥානවන්ත පවුල්, මාංසික හා ආත්මික අපවිත්‍රතාවෙන් වළකිනවා නම්, වළක්වා ගත හැකි ඇතැම් අසනීපවලින් ගැළවිය හැක. ඒ කෙසේදැයි අපි සලකා බලමු.—හිතෝපදේශ 22:3 සසඳන්න.
14. පවුලක් අසනීපවලින් රැකගැනීමට සදාචාර පිරිසිදුකමට හැකි වන්නේ කිනම් ආකාරයකින්ද?
14 ආත්මික පිරිසිදුකමට සදාචාර පිරිසිදුකමත් ඇතුළත්ය. හොඳින් දන්නා පරිදි, බයිබලය උසස් සදාචාර ප්‍රමිතිවලට දිරි දෙන අතර, විවාහයෙන් පිටත ඕනෑම ආකාරයක ලිංගික සබඳතාවක් හෙළාදකියි. “වේශ්‍යාකම්කරන්නෝවත් . . . කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, . . . දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය.” (1 කොරින්ති 6:9, 10) අදදින පිරිහෙමින් පවතින ලෝකයෙහි ජීවත් වන ක්‍රිස්තියානීන්ට මෙම දැඩි ප්‍රමිති පිළිපැදීම ක්‍රිස්තියානි ජීවිතය සඳහා ඉතා වැදගත්ය. එසේ කිරීමෙන් දෙවියන්වහන්සේව සතුටු කරන අතර, ඒඩ්ස්, උපදංශ, ගොනෝරියාව හා ක්ලැමීඩියා වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් පවුලේ සාමාජිකයන්ට ආරක්ෂා වීමටද එය උපකාර කරයි.—හිතෝපදේශ 7:10-23.
15. අනවශ්‍ය රෝගවල හේතුකාරකය විය හැකි ශාරීරික පිරිසිදුකමේ ඌනතාව පිළිබඳව උදාහරණයක් දෙන්න.
15 ‘සියලු ආකාර මාංසික අපවිත්‍රකම්වලින් වැළකී පවිත්‍රව සිටීම’ වෙනත් අසනීපවලින් පවුල ආරක්ෂා කරගැනීමට උපකාර කරයි. බොහෝ රෝග ඇති වන්නේ ශාරීරික පවිත්‍රතාවේ ඌනතාවක් හේතුවෙනි. මූලික උදාහරණයක් වනාහි, දුම්පානයේ පුරුද්දය. දුම්පානයෙන් පෙණහලුද, ඇඳුම්ද, එමෙන්ම වාතයද අපවිත්‍ර කරනවා පමණක් නොව, එමගින් ජනයාව රෝගි වන්ටද සලස්වයි. දුම්පානය නිසා මිලියන සංඛ්‍යාත ජනකායක් සෑම වර්ෂයකම මියයති. ඒ ගැන සිතා බලන්න; සෑම වසරකම, ජනයා එම ‘මාංසික අපවිත්‍රකමෙන්’ වැළකී තිබුණා නම්, මිලියන සංඛ්‍යාත ජනකායක් රෝගීව, අකාලේ මියයන්නේ නැත!
16, 17. (අ) ඉශ්‍රායෙල්වරුන්ව ඇතැම් රෝගවලින් ආරක්ෂා කළේ යෙහෝවඃවහන්සේ දුන් කුමන නීතියද? (ආ) ද්විතීය කථාව 23:12, 13 පිටුපස ඇති ප්‍රතිපත්තිය සෑම නිවසකම අදාළ කළ හැක්කේ කෙසේද?
16 තවත් උදාහරණයක් සලකා බලන්න. වර්ෂ 3,500කට පමණ පෙර, ඉශ්‍රායෙල් ජනයාට සිය නමස්කාරය මෙන්ම යම් ප්‍රමාණයකට ඔවුන්ගේ දෛනික ජීවිතයද සංවිධානය කිරීම සඳහා දෙවියන්වහන්සේ ස්වකීය ව්‍යවස්ථාව දුන්සේක. සෞඛ්‍ය පිළිබඳ යම් මූලික නීති ස්ථාපිත කිරීම මගින් ජාතිය රෝගවලින් ආරක්ෂා කිරීමට එම ව්‍යවස්ථාව උපකාරවත් විය. ඉන් එක් නීතියකට මිනිස් මලපහ ඉවත් කිරීම සම්බන්ධ විය, එහිදී ජනයා විසූ ප්‍රදේශය අපවිත්‍ර වීමෙන් වැළැක්වීම සඳහා, ඒවා කඳවුරෙන් පිටතට ගෙන ගොස් හොඳින් වළලා දැමීමට තිබිණ. (ද්විතීය කථාව 23:12, 13) එම ඉපැරණි නීතිය තවමත් හොඳ උපදේශයකි. ජනයා එය අනුගමනය නොකරන නිසා අදදින පවා ඔවුහු අසනීපව, මියයති.a
17 ඉශ්‍රායෙල් නීතිය පිටුපස ඇති ප්‍රතිපත්තියට එකඟව, පවුලේ නාන කාමරය හා වැසිකිළි ප්‍රදේශය—වාසස්ථානය තුළ හෝ පිටත හෝ වේවා—පිරිසිදුව, විෂබීජ නසා තිබිය යුතුය. වැසිකිළි ස්ථානය පිරිසිදුව, ආවරණය කර නැත්නම්, එහි මැස්සන් පිරෙන අතර, එමගින් නිවසේ වෙනත් තැන්වල සහ අප අනුභව කරන ආහාර මත විෂබීජ පැතිරෙනු ඇත! තවදුරටත්, මෙම වැසිකිළි ප්‍රදේශයට යෑමෙන් පසු දරුවන් හා වැඩිහිටියන් තම දෑත් සේදිය යුතුය. එසේ නැතහොත්, ඔවුහු යළිත් තම සම මතින් විෂබීජ රැගෙන එති. ප්‍රංශ වෛද්‍යවරියක පවසන පරිදි, “ඇතැම් ජීරණ, ශ්වසන හෝ සමේ ආසාදන වළක්වාගැනීම සඳහා තවමත් හොඳම සහතික කිරීම්වලින් එකකි, දෑත් සේදීම.”
18, 19. දුගී අසල්වැසි පෙදෙසක වුවත් පිරිසිදු නිවසක් පවත්වාගැනීම සඳහා දී ඇති යෝජනා මොනවාද?
18 දුගී අසල්වැසි පෙදෙසක පිරිසිදුකම අභියෝගයක් වන බව සැබෑවකි. එවැනි ස්ථාන සම්බන්ධයෙන් හුරුපුරුදු තැනැත්තෙක් මෙසේ පැහැදිලි කළේය: “පීඩාකාරි උෂ්ණාධික දේශගුණයක් පිරිසිදු කිරීමේ වැඩය දෙගුණයක් දුෂ්කර කරවයි. දූවිලි සෑම තැනම විසිර යෑම හේතුවෙන් නිවසේ සෑම හිදැස්සක්ම සිහින් දුඹුරු කුඩකින් වැසීයයි. . . . නගරවල මෙන්ම ඇතැම් ගම්බද ප්‍රදේශවලද සිටින ශීඝ්‍රයෙන් වැඩි වන ජනගහනය නිසා, සෞඛ්‍ය උවදුරු මතු වෙයි. විවෘත කැළි කසළ කාණු, කුණු කසළ ගොඩවල්, අපිරිසිදු පොදු වැසිකිළි, රෝග-බෝ කරන මීයන්, කැරපොත්තන් හා මැස්සන් පොදු දර්ශන වී ඇත.”
19 මෙම තත්වයන් යටතේ පිරිසිදුකම පවත්වාගැනීම අසීරු දෙයකි. එහෙත්, දරන වෑයම වටියි. සබන්, ජලය හා සුළු අතිරේක වැඩක් බෙහෙත් හා රෝහල් ගාස්තුවලට වඩා ලාභය. ඔබ එවැනි වාතාවරණයක ජීවත්වන්නෙහි නම්, හැකි තරම් දුරට ඔබේම නිවස හා මිදුල පිරිසිදුව, සත්ව අසූචිවලින් තොරව තබාගන්න. වැසි කාලවලදී ඔබේ නිවසට යන මඟ මඩ සහිත වේ නම්, නිවසට මඩ ඒම වළක්වාගැනීමට බොරලු හෝ ගල් දැමීමට ඔබට හැකිද? සපත්තු හෝ සෙරෙප්පු භාවිත කෙරේ නම්, ඒවා පැළඳ සිටින්නාට නිවසට ඇතුල්වීමට පෙර ඒවා ගළවා දැමිය හැකිද? තවද, ඔබේ ජල සැපයුම අපවිත්‍ර වීමෙන් වළක්වාගත යුතුය. අඩුම තරමින් වසරකට මිලියන දෙකක් මියයන්නේ, අපවිත්‍ර ජලය හා දුර්වල ස්වස්ථතාව හේතුවෙන් ඇති වූ රෝග නිසා බව තක්සේරු කර ඇත.
20. නිවස පිරිසිදුව තිබීමට නම්, වගකීම හවුලේ දැරිය යුත්තේ කවුරුන්ද?
20 පිරිසිදු ගෘහයක් ඇතිවන්නේ—මව, පියා, දරුවන් හා අමුත්තන් යන සෑම කෙනෙකුගේම දායකත්වයෙනි. කෙන්යාවේ දරුවන් අටදෙනෙකුගේ මවක් මෙසේ පැවසුවාය: “හැමෝම තම කොටස කිරීමට ඉගෙනගෙන තියෙනවා.” පිරිසිදු, පිළිවෙළකින් යුත් ගෘහයක් මුළු පවුලටම හොඳ කීර්තියකි. ස්පාඤ්ඤ ආප්තෝපදේශයක මෙසේ පැවසේ: “දිළිඳුකම හා පිරිසිදුකම අතර කිසිම ගැටීමක් නැත.” කෙනෙකු මන්දිරයක, නවාතැනක, සාමාන්‍ය ගෘහයක හෝ පැල්පතක ජීවත් වනවා වුවත්, නිරෝගි පවුලකට යතුර පිරිසිදුකමය.
දිරිගැන්වීම අපව ප්‍රවර්ධනය කරයි
21. හිතෝපදේශ 31:28ට එකඟව, ගෘහයකට සන්තෝෂය ගෙන ඒමට උපකාර වනු ඇත්තේ කුමක්ද?
21 සමර්ථ භාර්යාව ගැන විස්තර කරන විට හිතෝපදේශ පොත මෙසේ පවසයි: “ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති; ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසාකර[යි].” (හිතෝපදේශ 31:28) ඔබේ පවුලේ සාමාජිකයෙකුට ඔබ අන්තිම වතාවට ප්‍රශංසා කළේ කවදාද? සැබවින්ම, අප, වසන්ත කාලයෙහි යම් උණුසුමක් හා තෙතමනයක් ලබන විට පීදෙන්ට සූදානම්ව තිබෙන පැළෑටි මෙනි. අප සම්බන්ධයෙන් බලන විට, අපට උණුසුම් ප්‍රශංසාව අවශ්‍යය. භාර්යාවකට තම ස්වාමිපුරුෂයා තමා වෙහෙසී කළ වැඩ හා ප්‍රේමනීය සැලකිල්ල අගය කරන බවත්, ඔහු ඇයව සුළු කොට නොතකන බවත් දැනගැනීමට එය ඇයට උපකාර කරයි. (හිතෝපදේශ 15:23; 25:11) තවද ගෘහයෙන් පිටත මෙන්ම ඇතුළත, තම ස්වාමිපුරුෂයා කරන වැඩවලට භාර්යාවක ප්‍රශංසා කරන විට එය ප්‍රසන්න දෙයකි. නිවසේදී, පාසැලේදී හෝ ක්‍රිස්තියානි සභාවේදී දරන වෑයම් සඳහා දෙමාපියන් දරුවන්ට ප්‍රශංසා කරන විට ඔවුහුද ප්‍රවර්ධනය වෙති. එමෙන්ම සුළු කෘතඥතාවකින් කෙතරම් දෙයක් ඉටු වේද! “ඔබට ස්තුතියි” කියා පැවසීමට යන වියදම කුමක්ද? වියදමක් නැත, නමුත් පවුලේ ස්වභාවය උසස් තත්වයක තිබීම, ඉන් ලැබෙන ලාභයයි.
22. ‘ගෙයක් ගොඩනඟනු ලැබ, එය ස්ථිර’ කිරීමට කුමක් අවශ්‍යද, එමෙන්ම මෙය අත් කරගත හැක්කේ කෙසේද?
22 බොහෝ හේතූන් නිසා, ගෘහයක් පාලනය කිරීම පහසු නැත. එහෙත්, එය සාර්ථකත්වයකින් කළ හැක. බයිබල් හිතෝපදේශයක් මෙසේ පවසයි: “ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ.” (හිතෝපදේශ 24:3) පවුලේ සියලුදෙනාම දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉගෙනීමටත්, තම ජීවිතවලට එය අදාළ කරගැනීමටත් වෑයම් කරනවා නම් ප්‍රඥාව හා විචක්ෂණ බුද්ධිය ලබාගත හැක. සන්තෝෂවත් පවුලක් ඇති කරගැනීමට දරන වෑයම සැබවින්ම වටී!
a බොහෝ බිළිඳු මරණවලට මඟ පාදන පොදු රෝගයක් වන පාචනය වළක්වන ආකාරය ගැන උපදෙස් දී ඇති අත්පොතක—ජගත් සෞඛ්‍ය සංවිධානය මෙසේ ප්‍රකාශ කරයි: “වැසිකිළියක් නැත්නම්: නිවසෙන් මෙන්ම දරුවන් සෙල්ලම් කරන ප්‍රදේශයෙන් ඈතටද, අඩුම තරමින් ජල සැපයුමෙන් මීටර් 10ක්වත් ඈතකට ගොස් මලපහ කරන්න; පස්වලින් අසූචි වසා දමන්න.”