ප්‍රසිද්ධ කථා සූදානම් කිරීම
හැම සතියකම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් බහුතරයක ශුද්ධ ලියවිලිමය විෂයක් අලළා ප්‍රසිද්ධ කථාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් යොදා ඇත. ඔබ වැඩිමහල්ලෙක් වේවා, සභා සේවකයෙක් වේවා, ප්‍රසිද්ධියේ ඵලදායී ලෙස කතා ඉදිරිපත් කරන්නෙකු හා ගුරුවරයෙකු බවට ප්‍රමාණවත් සාක්ෂි ඔබ සපයනවාද? එසේ කරනවා නම්, ප්‍රසිද්ධ කථාවක් දෙන්නට කියා ඔබෙන් ඉල්ලා සිටිය හැක. මෙම සේවා වරප්‍රසාදය සඳහා සහෝදරයන් දසදහසකට සුදුසුකම් ලබා දීමට දිව්‍යාණ්ඩු සේවා පාසැල වැදගත් සේවයක් ඉටු කර ඇත. ප්‍රසිද්ධ කථාවක් දීමේ පැවරුම ලද විට, සූදානම් වීමේ කටයුත්තට අවතීර්ණ විය යුත්තේ කෙලෙසද?
දළ සටහන අධ්‍යයනය කරන්න
පර්යේෂණ කිරීමට පෙර, දළ සටහන කියවා එහි හරය තේරුම්ගන්නා තෙක් ඒ ගැන මෙනෙහි කරන්න. තේමාව, එනම් කතාවේ මාතෘකාව ඔබේ මනසෙහි නොමැකෙන සේ සනිටුහන් කරගන්න. ඔබේ සබයට ඔබ උගන්වන්නට යන්නේ කුමක්ද? ඔබේ අරමුණ කුමක්ද?
ප්‍රධාන ශීර්ෂයන්වල සඳහන් වී ඇති දෙය හොඳින් තේරුම්ගන්න. ඒවායින් දක්වා ඇත්තේ මූලික කරුණුය. එම මූලික කරුණු විග්‍රහ කර බලන්න. එක් එක් මූලික කාරණය තේමාවට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සලකා බලන්න. ඒ එක් එක් මූලික කරුණ යටතේ උපකරුණු කිහිපයක් ලැයිස්තුගත කර ඇත. මෙම උපකරුණු යටතේ ඒවාට ආධාරක වන වෙනත් විස්තර සපයා ඇත. දළ සටහනේ එක් එක් ප්‍රධාන ශීර්ෂය යටතේ දක්වා ඇති සෑම කොටසක්ම කලින් කොටසට සම්බන්ධ වන ආකාරයද, කලින් කොටස මගින් තැනූ අත්තිවාරම මත ගොඩනඟන ආකාරයද, ඊළඟ මූලික කරුණට මඟ සලසන ආකාරයද, මේ සියල්ලම කතාවේ පරමාර්ථය ඉටු කරගැනීමට දායක වන ආකාරයද සලකා බලන්න. තේමාව, කතාවේ පරමාර්ථය නැතහොත් අරමුණ ඉටු කරගැනීමට මූලික කරුණු දායක වන ආකාරය තේරුම්ගත් විට, කතාව ගොඩනැඟීමේ කාර්යයට පා තැබීමට ඔබ සූදානම් කියා පැවසිය හැක.
මුලින්ම ඔබේ කතාවේ මූලික කරුණු වෙන වෙනම කරුණු ලෙස සලකා, කතා හතරක් හෝ පහක් ලෙස ගොඩනැඟීම ප්‍රයෝජනවත් විය හැක. මේවා වෙන වෙනම සූදානම් කරගන්න.
ඇත්තෙන්ම සපයා ඇති දළ සටහන භාවිත කළ යුතු වන්නේ සූදානම් වීම සඳහා මෙවලමක් ලෙසිනි. ඔබේ කතාව දීමට කෙටි සටහනක් ලෙස එය භාවිත නොකළ යුතුයි. එය හරියටම ඇට සැකිල්ලක් හා සමානය. එම ඇට සැකිල්ල මතට මස් මාංස දමා, හෘදය වස්තුවක් දී, ජීවන හුස්ම දී පණගැන්වීම ඔබ සතුය.
ශුද්ධ ලියවිලි පද භාවිතය
යේසුස් ක්‍රිස්තුස් හා ඔහුගේ ගෝලයන් ඔවුන්ගේ ඉගැන්වීම් පදනම් කරගත්තේ ශුද්ධ ලියවිලි මතය. (ලූක් 4:16-21; 24:27; ක්‍රියා 17:2, 3) ඔබටත් එසේ කළ හැකිය. ඔබේ කතාවට පදනම සපයා දිය යුත්තේ ශුද්ධ ලියවිල්ලයි. එමනිසා දළ සටහනේ සපයා ඇති තොරතුරු පැහැදිලි කර අදාළ කිරීමට වඩා, එම තොරතුරුවලට ශුද්ධ ලියවිලි පද, පදනමක් සපයන ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරන්න. ඉන් අනතුරුව ඔබට ශුද්ධ ලියවිලිවලින් ඉගැන්විය හැක.
කතාව සූදානම් කරන අතරතුරේදී, දළ සටහනෙහි සඳහන්ව ඇති සෑම බයිබල් පදයක්ම පරීක්ෂා කර බලන්න. ඒ පදවල අවට පාඨ සම්බන්ධයද සැලකිල්ලට ගන්න. ඇතැම් බයිබල් පද සඳහන් කර ඇත්තේ කථිකයාට ප්‍රයෝජනවත් විය හැකි පසුබිමක් ලබා දීමටය. කතාව ඉදිරිපත් කරන විට, ඒ සෑම බයිබල් පදයක්ම කියවීම හෝ ඒ ගැන අදහසක් දැක්වීම අවශ්‍ය නොවේ. එමනිසා, ඔබේ සබයට ගැළපෙන හොඳම ඒවා තෝරාගන්න. මුද්‍රිත දළ සටහනෙහි සඳහන් ශුද්ධ ලියවිලි පදවලට අවධානය දුන්නොත්, අමතර ශුද්ධ ලියවිලි පද භාවිත කිරීමේ අවශ්‍යතාව පැන නොනැඟිය හැක.
ඔබේ කතාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ භාවිත කරන බයිබල් පද සංඛ්‍යාව මත නොව, නමුත් ඔබේ ඉගැන්වීමේ ගුණය මතයි. ශුද්ධ ලියවිලි පද හඳුන්වා දෙන විට, ඒවා යොදාගැනීමට හේතු පෙන්නුම් කරන්න. ඒවා අදාළ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කරන්න. ශුද්ධ ලියවිලි පදය කියවීමෙන් පසු, එය සාකච්ඡා කරන විට ඔබේ බයිබලය විවෘතව තබාගන්න. එවිට ඔබේ සබයත් එසේ කරන්නට ඉඩ තිබේ. ඔබේ සබය තුළ උනන්දුවක් ජනිත කොට, දේවවචනයෙන් වැඩිමනත් ප්‍රයෝජන නෙළාගැනීමට ඔවුන්ට උපකාර කළ හැක්කේ කෙසේද? (නෙහෙ. 8:8, 12) පැහැදිලි කිරීමෙන්, උපහැරණ යොදාගැනීමෙන් සහ අදාළ කිරීමෙන් ඔබට එසේ කළ හැකිය.
පැහැදිලි කිරීම. වැදගත් බයිබල් පදයක් පැහැදිලි කිරීමට සූදානම් වෙද්දී ඔබෙන්ම මෙසේ අසන්න. ‘ඉන් අදහස් වන්නේ කුමක්ද? මගේ කතාවේදී එය භාවිත කරන්නේ මන්ද? මේ පදය ගැන සබයේ සිටින අය තුළ මොන වගේ ප්‍රශ්න ඉස්මතු විය හැකිද?’ එමනිසා, එම බයිබල් පදයේ අවට පාඨ සම්බන්ධය, පසුබිම, වචනවල ප්‍රබලත්වය, දේවානුභාවයෙන් එම අදහස් ලියූ තැනැත්තා අදහස් කළ දේ ආදිය විග්‍රහ කර බැලීමට සිදු විය හැක. ඒ සඳහා පර්යේෂණ කිරීම අවශ්‍යය. “විශ්වාස වූ නුවණ ඇති දාසයා” මාර්ගයෙන් සපයා ඇති ප්‍රකාශනවල වටිනා තොරතුරු සම්භාරයක් ඔබට සොයාගත හැකි වේ. (මතෙ. 24:45-47) ඒ පදයෙහි සෑම තොරතුරක්ම පැහැදිලි කිරීමට උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට සාකච්ඡා කරනු ලබන කාරණයට එය සම්බන්ධ කර දක්වන්න. ඊළඟට සබයට එය කියවීමට සැලැස්වූයේ මන්දැයි පැහැදිලි කරන්න.
උපහැරණ. උපහැරණයක් භාවිත කිරීමේ අරමුණ වන්නේ ඔබේ සබයට යමක් වඩාත් ගැඹුරින් තේරුම්ගැනීමට උපකාර කිරීමය. එසේ නැතහොත් ඔබ සාකච්ඡා කළ කාරණය හෝ ප්‍රතිපත්තිය සිහියේ තබාගැනීමට උපකාර කිරීමය. යමක් පැවසීමෙන් පසු සබයට හුරු උපහැරණයක් ඊට සම්බන්ධ කර දක්වන විට, ඔබ කීමට උත්සාහ දරන කාරණය ග්‍රහණය කරගැනීම පහසු වේ. යේසුස් සිය සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාව දුන් විට ඔහු කළේ එවන් දෙයකි. ඔහුගේ ඉගැන්වීම්, ඒත්තුගන්වනසුලු, පැහැදිලි හා මනසෙහි නොමැකෙන සේ තැන්පත් කිරීමට ‘අහසේ පක්ෂීන්,’ “කෙතේ මානෙල්,” ‘පටු දොරටුවක්,’ ‘පර්වතයක් පිට ගොඩනැඟූ ගෙයක්’ යනාදි විස්තරයන් භාවිත කිරීම ප්‍රයෝජනවත් විය.—මතෙ. 5-7 පරි.
අදාළත්වය. ශුද්ධ ලියවිලි පදයක් පැහැදිලි කර උපහැරණයක් මාර්ගයෙන් තවත් විස්තර කිරීමෙන් යම් දැනුමක් ලබා දිය හැකි බව ඇත්තය. එනමුත් ප්‍රතිඵල නෙළාගත හැකි වන්නේ ඒ දැනුම අදාළ කරගතහොත් පමණි. බයිබලයේ පණිවිඩයට එකඟව ක්‍රියා කිරීම ඔබේ සබයේ සිටින අයගේ පෞද්ගලික වගකීමයි. එනමුත් කුමක් කළ යුතුදැයි තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට ඔබට හැකියි. සාකච්ඡාවට බඳුන් වූ බයිබල් පදයේ තේරුම හා ගෙනහැර දැක්වීමට උත්සාහ දරන කාරණයේ අදාළත්වය සබයට පැහැදිලියි කියා ඔබට සහතික වුණායින් පසු, ඔවුන්ගේ විශ්වාසයන්ට හා හැසිරීමට එය බලපෑ යුතු ආකාරය පෙන්නුම් කිරීමට කාලය ගන්න. සාකච්ඡාවට බඳුන් වන සත්‍යතාවන්ට පටහැනිව දිවයන වැරදි අදහස් හා හැසිරීමේ රටාවන් බැහැර කිරීමෙන් නෙළාගත හැකි ප්‍රයෝජන උලුප්පා දක්වන්න.
ශුද්ධ ලියවිලි අදාළ කළ යුතු ආකාරය ගැන කල්පනා කරන විට, ඔබේ සබයෙහි සිටින පුද්ගලයන් විවිධ පසුබිම්වලින් හා විවිධාකාර තත්වයන්ට මුහුණ දෙන අය බව මතක තබාගන්න. ඔවුන් අතර නවකයන්, යෞවන යෞවනියන්, වයසක අය සහ විවිධාකාර වූ පෞද්ගලික ගැටලු රාශියක් සමඟ පොරබදන අය සිටිනවා වන්නට පුළුවන. එමනිසා, ඔබේ කතාවට ප්‍රායෝගික, තාත්වික ගතියක් ලබා දෙන්න. පුද්ගලයන් අතළොස්සකට පමණක් අදාළ වනවායයි පෙනෙන උපදෙස් ඉදිරිපත් කිරීමෙන් වළකින්න.
කථිකයා ගත යුතු තීරණ
ඔබේ කතාව සූදානම් කිරීමේදී ගත යුතු ඇතැම් තීරණ දළ සටහනෙහිම දක්වා ඇත. මූලික කරුණු මොනවාද කියා පැහැදිලිව දක්වා ඇත. එක් එක් ප්‍රධාන ශීර්ෂය සාකච්ඡා කිරීම සඳහා ඔබ වැය කළ යුතු කාලයද සඳහන් කර තිබේ. වෙනත් තීරණ ගැනීම ඔබට භාරයි. ඇතැම් උපකරුණු සඳහා වැඩියෙන් කාලය ගැනීමටත්, තවත් ඒවා සඳහා අඩුවෙන් කාලය ගත කිරීමටත් ඔබ ඉටාගන්නවා විය හැක. සෑම උපකරුණකටම එක සමාන අවධානයක් දිය යුතුමයි කියා සිතන්න එපා. එසේ කිරීමට උත්සාහ කළහොත් ඔබේ තොරතුරු වේගයෙන් පියවීමට සිද්ධ වන අතර, එය ධාරණය කරගැනීම ඔබේ සබයට අපහසු විය හැක. වැඩි කාලයක් මිඩංගු කරමින් ගොඩනැඟිය යුතු වඩාත් වැදගත් කරුණු මොනවාද කියාත්, වඩාත් ලුහුඬින් පියවිය යුතු කරුණු මොනවාද කියාත් ඔබ නිශ්චය කරගන්නේ කෙසේද? ඔබෙන්ම මෙසේ අසන්න. ‘කතාවේ මූලික අදහස ඉදිරිපත් කිරීමට මට උපකාරයක් වන්නේ මොන කරුණුද? මා අමතන සබයට වැඩියෙන් ප්‍රයෝජනයක් ගෙන දිය හැක්කේ කවර ඒවාද? දළ සටහනේ සඳහන් කර ඇති එක්තරා බයිබල් පදයක් සහ ඊට සම්බන්ධ කාරණය සඳහන් නොකිරීම, කතාව ගොඩනඟා ඇති ආකාරය දුර්වල කිරීමට හේතුවක් වේද?’
උපකල්පන, අනුමාන හෝ පෞද්ගලික මතයන් කතාවට ඇතුල් නොකිරීමට වගබලා ගන්න. දෙවිගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් පවා ‘තමාම උපදවා’ කතා කිරීමෙන් වැළකී සිටියේය. (යොහ. 14:10) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ජනයා පැමිණෙන්නේ බයිබලය මත පදනම් සාකච්ඡාවකට සවන් දීමටය යන කාරණය වටහාගන්න. ඔබ දක්ෂ කථිකයෙකු ලෙස නම් දරා ඇත්තෙක් නම්, ඒ ඔබ පුරුද්දක් ලෙස අවධානය යොමු කරන්නේ ඔබ කෙරෙහි නොව දේවවචනයට නිසා විය හැකියි. ඔබේ කතා බෙහෙවින් අගය කරනු ලබන්නේ මේ නිසාය.—පිලි. 1:10, 11.
සරල වූ දළ සටහනක් ශුද්ධ ලියවිල්ල ගැඹුරින් පැහැදිලි කරන සටහනකට පරිවර්තනය කිරීමෙන් පසුවත්, ඔබේ කතාව පෙරහුරු කිරීමේ අවශ්‍යතාව පවතී. එය ශබ්ද නඟා කිරීම ප්‍රයෝජනදායකය. වැදගත් දේ නම්, සියලුම කරුණු ඔබේ මනසෙහි හොඳින් සටහන් කරගැනීමයි. කතාව ඔබේ හදින්ම නැඟෙන යමක් සේ ඉදිරිපත් කළ යුතු අතර, ඔබේ තොරතුරුවලට පණ පෙවිය යුතුයි. ඉන් අදහස් කරන්නේ ඔබේ කතාව සත්‍යය සම්බන්ධයෙන් උද්‍යෝගිමත් ඉදිරිපත් කිරීමක් විය යුතු බවයි. කතාව ඉදිරිපත් කිරීමට පෙර මෙසේ අසන්න: ‘මගේ පරමාර්ථ මොනවාද? මූලික කරුණු කැපීපෙනෙනවාද? මගේ කතාවේ පදනම හැටියට මා ඇත්තටම ශුද්ධ ලියවිල්ලට මුල් තැන දී තිබෙනවාද? සෑම මූලික කරුණක්ම ඊළඟ කරුණට නිරායාසයෙන්ම අඩිතාලම දමනවාද? කතාවෙන් යෙහෝවා සහ ඔහුගේ සැපයුම් සඳහා අගයක් ගොඩනැංවෙනවාද? අවසානය තේමාවට සම්බන්ධ වෙනවාද? කුමක් කළ යුතුද කියා සබයට පැහැදිලි වෙනවාද? කළ යුතු දේ කිරීමට ඔවුන්ට පෙලඹීමක් ඇති වෙනවාද?’ මෙම ප්‍රශ්නවලට ඔව් කියා පිළිතුරු දෙන්නට ඔබට හැකි නම්, සබයේ ප්‍රයෝජනය සඳහාත්, යෙහෝවාට ප්‍රශංසා ගෙන දීම සඳහාත් ‘දැනුමෙන් යහපතක්’ කිරීමට ඔබ සමත් වනු නියතය.—හිතෝ. 15:2, NW.