ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 4 පාඩම 93 පි.-96 පි. 3 ¶
  • චතුර කථිකත්වය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • චතුර කථිකත්වය
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • ව්‍යක්තභාවය, සම්භාෂණ විලාසය සමඟින් සුදුසු උච්චාරණය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ගොතගැසීමේ ගැටලුවට මුහුණ දීම
    2010 පිබිදෙව්!
  • සෑම දා යහපත් කථනය භාවිතා කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ‘ප්‍රසිද්ධ කියවීමේ යෙදී සිටින්න’
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 4 පාඩම 93 පි.-96 පි. 3 ¶

පාඩම 4

චතුර කථිකත්වය

කළ යුතු වන්නේ කුමක්ද?

කියවන විට හා කතා කරන විට ඔබේ වචන සහ අදහස් පහසුවෙන් ගලා යෑමට සලස්වන්න. චතුරව කතා කරන විට කතාවේ ගැස්සීමක් සිදු නොවන අතර, කතා කිරීමේ වේගය ඉතා මන්දගාමී ආකාරයකින්ද සිදු නොවේ. තවදුරටත් වචන පටලැවීමක් හෝ අදහස් පිට කිරීමට වෙහෙසීමක්වත් එහි නොමැත.

එය වැදගත් වන්නේ මන්ද?

කථිකයෙකු චතුරබවේ ඌනතාවක් විදහාපෙන්වන විට, සවන් දෙන අයගේ මනස් එහෙ මෙහෙ දිව යා හැකි අතර වැරදි අදහස් ඉදිරිපත් විය හැක. පවසන දෙයට ඒත්තුගන්වනසුලු ගතියක් නොතිබෙන්නට පුළුවන.

ශබ්ද නඟා කියවද්දී ඇතැම් වචන ඔබට පටලැවෙනවාද? එසේ නැතහොත් සබයක් ඉදිරියෙහි කතාවක් දීමට සිදු වන විට, අදහස නිවැරදිව පැවසීමට නිතරම වෙහෙසෙන්නට සිදු වෙන බවක් ඔබට දැනෙනවාද? ඔබට මෙවැන්නක් සිදු වෙනවා නම්, චතුර ලෙස කතා කිරීම ඔබට ගැටලුවක් විය හැක. චතුර කථිකයෙක් කියවන විට සහ කතා කරන විට ඔහුගේ වචන සහ අදහස් සුමට ලෙස හා පැහැදිලිව ගලා යයි. ඉන් අදහස් කරන්නේ ඔහු නිතරම කතා කරන්නෙකු බවවත්, වේගයෙන් කතා කරන්නෙකු බවවත්, සිතන්නේ නැතුව කතා කරන බවවත් නොවේ. ඒ වෙනුවට ඔහුගේ කතා ශෛලිය ප්‍රියමනාපයි, කනට මිහිරිය. මේ නිසා, දිව්‍යාණ්ඩු සේවා පාසැලෙහි චතුර කථිකත්වයට විශේෂ අවධානයක් දෙනු ලැබේ.

චතුරබවේ ඌනතාවට දායක විය හැකි සාධක රැසක් ඇත. නිදසුනකට, මතු දැක්වෙන කාරණා ගැන සැලකිලිමත් වීමට ඔබට අවශ්‍යතාවක් තිබේද? (1) අන් අයට කියවන විට, ඇතැම් වචන නුහුරු නිසා කියවීමට අපහසුතාවක් ඇතිවීම. (2) පමණට වැඩිය කෙටි විරාම යෙදීම නිසා කතාවේ ගැස්සීමක් දක්නට ලැබීම. (3) නිසි ලෙස සූදානම් නොවීම ගැටලුවට හේතුවක්ද විය හැක. (4) කණ්ඩායමක් ඉදිරියෙහි කතා කරන විට, චතුරබවේ ඌනතාවට පොදු හේතු සාධකයක් වන්නේ තොරතුරු තර්කානුකූල පිළිවෙළකට අනුව පෙළගැස්වීමට අපොහොසත් වීමයි. (5) සීමිත වාග් මාලාවක් නිසා පැවසීමට නිවැරදි වචන සෙවීමේදී කෙනෙක් වෙහෙසට පත් විය හැක. (6) හැම වචනයක්ම පාහේ අවධාරණය කෙරේ නම්, චතුරබව යටපත් වන්නට පුළුවන. (7) ගැටලුවට හේතු විය හැකි තවත් දෙයක් නම්, ව්‍යාකරණ නීති තේරුම් නොගැනීමයි.

ඔබේ චතුරබවේ ඌනතාවක් ඇත්නම්, සබයේ සිටින්නන් නැඟිට රාජ්‍ය ශාලාවෙන් පිට වී යන්නේ නැත. එනමුත් ඔවුන්ගේ මනස් එහෙ මෙහෙ දිවීමට පටන්ගත හැක. මෙහි ප්‍රතිඵලය ඔබ පවසන දෙයින් වැඩි හරියක් අපතේ යෑමය.

අනික් අතට, බලපෑමෙන් යුත් චතුර කතාවක් අණ දෙන, සමහරවිට සබයේ අය අපහසුතාවකට පවා පත් කරවන ආකාරයේ එකක් නොවීම ඉතා වැදගත් වේ. සංස්කෘතික පසුබිමේ වෙනසක් නිසා ඔබේ කතා ශෛලිය අණ දෙන, අවංකකමකින් තොර එකක් සේ ඔබේ සවන්දෙන්නන් සලකනවා නම්, ඔබේ අරමුණු ඉටු කරගත නොහැකි වේ. ප්‍රේරිත පාවුල් අද්දැකීම් ලත් කථිකයෙකු වුවත් කොරින්තිවරුන් වෙත “දුර්වලකමින්ද භයින්ද බොහෝ වෙවුලුමෙන්ද” එළඹුණු ආකාරය සැලකිල්ලට ගැනීම වටී. එසේ කළේ තමාට අනිසි අවධානයක් ඇද නොගැනීම සඳහාය.—1 කොරි. 2:3.

වැළකිය යුතු පුරුදු. කතා කරන විට, “ආ-ආ, මේ-මේ” වැනි යෙදුම් එකතු කිරීමේ පුරුද්ද බොහෝදෙනෙකුට ඇත. තවත් සමහරු “දැන්,” නැතහොත් “ඉතින්” හෝ “එනම්” වැනි යෙදුම් කියන ඕනෑම දෙයකට එකතු කරත්. එවැනි යෙදුම් ඔබ කොතෙක් දුරට පාවිච්චි කරනවාද යන්න ගැන ඔබ නොදන්නවා විය හැක. පෙරහුරුවකදී ඔබ කියන දේට සවන් දෙන්න කෙනෙකුව යොදාගෙන, එවැනි යෙදුම් සඳහන් කරන සෑම අවස්ථාවක්ම ඔබට පෙන්නුම් කර දෙන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටින්න. ලැබෙන ප්‍රතිඵල ඔබව පුදුමයට පත් කරාවි.

සමහර පුද්ගලයෝ කියවද්දී සහ කතා කරද්දී නිතර නිතර ප්‍රතිගමනය කරති. ප්‍රතිගමනයෙන් අදහස් වන්නේ වාක්‍යයක් පටන්ගෙන මඟදී නතර කර, කලින් පැවසූ දෙයෙහි අඩුම තරමින් කොටසක්වත් නැවත පවසා දිගටම කතා කිරීමයි.

තවත් සමහරුන් වේගයෙන් කතා කළද, එක් අදහසකින් පටන්ගත්තත්, අවසන් වන්නේ වෙනම දෙයක් පවසමිනි. වචන බාධාවක් නැතුව ගලා ආවත්, අදහස් මෙලෙස හිටිහැටියේ වෙනස් කිරීම චතුරබවට බාධාවකි.

දියුණු විය හැකි ආකාරය. ඔබේ ගැටලුව නිවැරදි වචනය සෙවීමට සෑහෙන ආයාසයක් දැරීමට සිදුවීම නම්, ඔබේ වාග් මාලාව තවත් පුළුල් කරගැනීමට සෑහෙන වෑයමක් දැරිය යුතු වේ. ඔබ කියවන මුරටැඹ, පිබිදෙව්! සහ වෙනත් ප්‍රකාශනවල හුරු නැති වචන විශේෂයෙන්ම සැලකිල්ලට ගන්න. ඒවායෙහි අර්ථය සම්බන්ධයෙන් ශබ්ද කෝෂයක් පිරික්සා, උච්චාරණය කරන ආකාරය පරීක්ෂා කර බලන්න. අනතුරුව මේවායින් සමහරක් ඔබේ වාග් මාලාවට එකතු කරගත හැකි වේ. ශබ්ද කෝෂයක් නැත්නම්, භාෂාව හොඳින් කතා කරන්නෙකුගේ උපකාරය පතන්න.

පුරුද්දක් ලෙස නිතිපතා ශබ්ද නඟා කියවීම ඔබේ දියුණුවට දායක වනවා නොඅනුමානය. අමාරු වචන මොනවාදැයි සැලකිල්ලට ගෙන, ඒවා කිහිප වතාවක්ම ශබ්ද නඟා කියන්න.

චතුර ලෙස කියවීමට නම්, වාක්‍යයක අන්තර්ගත වචන අතර සම්බන්ධය තේරුම්ගැනීම අවශ්‍යය. ලේඛකයා ඉදිරිපත් කරන අදහස් නිසි ලෙස තේරුම්ගැනීමට, සාමාන්‍යයෙන් වචන වෙනම නොව කාණ්ඩ වශයෙන් කියවිය යුතුය. මෙම වචන කාණ්ඩ මොනවාදැයි හඳුනාගැනීමට විශේෂ වෑයමක් දරන්න. ඔබට ප්‍රයෝජනවත් වේ නම්, ඒවා වෙන් කොට දැක්වීම සඳහා සලකුණු කරන්න. ඔබේ පරමාර්ථය නිකම්ම වචන නිවැරදිව කියවීම නොව, නමුත් අදහස් පැහැදිලිව ඉදිරිපත් කිරීමය. එක් වාක්‍යයක් විග්‍රහ කර බැලීමෙන් පසු, ඊළඟ වාක්‍යය සලකා බලන්න. එසේ කරමින් මුළු ඡේදයම අධ්‍යයනය කරන්න. අදහස් ගලා යන ආකාරය හොඳින් තේරුම්ගන්න. ඉන්පසුව ශබ්ද නඟා කියවීම පෙරහුරු කරන්න. පැටලෙන්නේ නැතුව, අනවශ්‍ය විරාම යොදන්නේ නැතුව කියවීමට හැකි වන තෙක්, ඡේදය නැවත නැවත කියවන්න. ඉන්පසුව, වෙනත් ඡේදවලට අවතීර්ණ විය හැක.

ඊළඟට ඔබේ වේගය වැඩි කරන්න. වාක්‍යයක අන්තර්ගත වචන අතර සම්බන්ධය වටහාගැනීමට ඔබ සමත් වී ඇත්නම්, එක විටම වචන කිහිපයක්ම බැලූ ගමන්ම, ඊළඟට පැමිණෙන අදහස අපේක්ෂා කිරීමට හැකියාවක් ලැබේ. මෙය දක්ෂ ලෙස කියවීමට බෙහෙවින් බලපානු ඇත.

පෙර සූදානමකින් තොරව කියවීමට නිතරම පුරුදු වී සිටීම ඔබට ප්‍රයෝජනවත් වන පුහුණුවක් විය හැක. නිදසුනකට, කලින් සූදානම් වීමකින් තොරව දිනපදය සහ විවරණය ශබ්ද නඟා කියවන්න. එය නිතිපතා කිරීමට පුරුදු වන්න. ඔබේ ඇස් වචනයකට හෝ දෙකකට සීමා කරනවා වෙනුවට, සම්පූර්ණ අදහස් ප්‍රකාශ කරන වචන කාණ්ඩ දැකීමට හුරු කරගන්න.

කතා බහේදී චතුර වීමට නම්, කතා කිරීමට පෙර සිතා බැලීම අවශ්‍යය. ඔබේ දෛනික ජීවිතයෙහි එසේ කිරීමට පුරුදු වන්න. ඉදිරිපත් කළ යුතු අදහස් හා ඒවා ඉදිරිපත් කළ යුතු අනුපිළිවෙළ තීරණය කළායින් පසු, කතා කිරීමට පටන්ගන්න. හදිස්සි වන්න එපා. මඟදී නතර කරන්නේවත්, අදහස වෙනස් කරන්නේවත් නැතුව සම්පූර්ණ අදහසක් ප්‍රකාශ කිරීමට උත්සාහ දරන්න. කෙටි හා සරල වාක්‍යය යොදා කතා කිරීම ප්‍රයෝජනවත් බව ඔබට පෙනී යා හැක.

කීමට අවශ්‍ය දේ හරි හැටි දන්නවා නම්, වචන බොහෝ දුරට ස්වාභාවිකව හා පහසුවෙන්ම පිට වේ. සාමාන්‍යයෙන් පවසන වචන පවා තෝරාගැනීම අවශ්‍ය නැත. ඇත්තෙන්ම කළ හැකි හොඳම දේ නම් අදහස මනසෙහි පැහැදිලි කරගෙන, කතා කරන විට වචන ගැන කල්පනා කර බැලීමය. වචන කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා අදහසට ඔබේ පූර්ණ අවධානය යොමු කෙරේ නම්, නිසි වචන නිරායාසයෙන්ම පිට වන අතර, ඔබට හදවතින්ම ඔබේ අදහස් ප්‍රකාශ කළ හැකි වනු ඇත. අදහස්වලට වඩා වචන ගැන කල්පනා කිරීමට පටන්ගන්නා විට, වචන හිත හිතා, ඇද ඇද කතා කිරීමට පටන්ගත හැක. පෙරහුරු වීමක් සමඟ චතුර කථිකත්වයක් වර්ධනය කරගැනීමට ඔබට හැකි වේ. ඇත්තෙන්ම මෙවන් චතුරබවක් ඵලදායී ලෙස කතා කිරීමට හා කියවීමට වැදගත් වන ගුණාංගයකි.

ඉශ්‍රායෙල් ජාතියට සහ මිසරයේ ඵාරාවෝ ඉදිරියෙහි යෙහෝවාගේ නියෝජිතයා ලෙස පෙනී සිටීමේ පැවරුම ලැබූ විට මෝසෙස්ට හැඟුණේ අවශ්‍ය සුදුසුකම් තමා තුළ නැති බවය. ඒ මන්ද? හෙතෙම චතුර කථිකයෙකු නොවූ බැවිනි. ඇතැම්විට ඔහුට කතාවේ යම් දුබලතාවක් තිබෙන්නට ඇති. (නික්. 4:10; 6:12) මෝසෙස් නිදහසට කරුණු ඉදිරිපත් කළද, දෙවි ඒවායින් කිසිවක් භාරගත්තේ නැත. යෙහෝවා මෙහිදී කළේ මෝසෙස්ගේ නියෝජිතයෙකු ලෙස ආරොන්ව පත් කිරීමයි. කතා කිරීමේදීත් මෝසෙස්ට උපකාර කළේ ඔහුය. අනතුරුව මෝසෙස් පුද්ගලයන්ට සහ කුඩා කණ්ඩායම් ඉදිරියෙහි පමණක් නොව මුළු ජාතිය ඉදිරියේ කිහිප වතාවක්ම, ප්‍රබල අන්දමකින් කතා කිරීමට සමත් වූයේය. (ද්වි. 1:1-3; 5:1; 29:2; 31:1, 2, 30; 33:1) යෙහෝවා කෙරෙහි විශ්වාසය තබමින් ඔබට කළ හැකි උපරිමය ඔබ කරමින් සිටිනවා නම්, දෙවිට ගෞරවය ගෙන දීම සඳහා ඔබේ කථිකත්වය යොදාගත හැකි වනවා නොඅනුමානය.

ගොතගැසීමේ ප්‍රශ්නයට මුහුණ දීම

ගොතගැසීමට හේතුකාරකයන් කිහිපයක් තිබිය හැක. ඇතැම් අයට යම් සහනයක් ලබා දෙන ප්‍රතිකාර තවත් අයට ප්‍රයෝජනවත් නොවිය හැක. කෙසේවෙතත්, සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමේ ප්‍රීතිය අද්දැකීමට නම්, අත්නෑර උත්සාහ කිරීම වැදගත්ය.

රැස්වීමකදී අදහසක් දැක්වීමේ සිතුවිල්ල පවා ඔබ තුළ යම් චකිතයක්, භීතියක් පවා ඇති කරයිද? උපකාර ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරන්න. (පිලි. 4:6, 7) යෙහෝවාට ගෞරවය ගෙන දීම සහ අන් අයට උපකාර කිරීම කෙරෙහි ඔබේ සිතුවිලි යොමු කරන්න. ප්‍රශ්නය ප්‍රාතිහාර්යකින් මෙන් අතුරුදහන් වී යයි කියා අපේක්ෂා නොකරන්න. එනමුත්, එයට මුහුණ දීම සඳහා ලැබෙන්නේ කිනම් අන්දමේ උපකාරදැයි සැලකිල්ලට ගන්න. යෙහෝවාගේ ආශීර්වාදය සහ ඔබේ සහෝදරයන්ගේ දිරිගැන්වීම අද්දකින විට, තව තවත් උත්සාහ කිරීමට ඔබත් කැමති වනු ඇත.

කණ්ඩායමක් ඉදිරියෙහි කතා කිරීමේ අද්දැකීම ලැබීමේ ප්‍රස්තාව ඔබට දිව්‍යාණ්ඩු සේවා පාසැල මාර්ගයෙන් ලැබේ. ඔබට පූර්ණ සහයෝගයක් දෙන, ඔබ සාර්ථක වෙනවා දැකීමට ආශාවෙන් සිටින කුඩා කණ්ඩායමක් ඉදිරියෙහි ඔබට කොයිතරම් දුරට සාර්ථක විය හැකිද යන්න ගැන ඔබ පවා පුදුමයට පත් වන්නට පුළුවන. වෙනත් තත්වයන්වලදී කතා කිරීමට ඔබේ ආත්ම-විශ්වාසය වර්ධනය කරගැනීමට මෙයින් ලැබෙන අද්දැකීම් පිටුවහලක් විය හැක.

කතාවක් දීමට සිදු වේ නම්, මැනවින් සූදානම් වන්න. ඉදිරිපත් කරන කරුණුවලට ඔබේ පූර්ණ අවධානය දෙන්න. යෝග්‍ය හැඟීමකින් යුතුව කතා කරන්න. කතා කරන අතරතුරේදී, ගොතගැසෙනවා නම්, හැකි තාක් දුරට ඔබේ කටහඬෙන් සහ ඉරියව්වෙන් සන්සුන්ව සිටින්න. ඔබේ හකු ආශ්‍රිත පේශි තද කරගන්න එපා. කෙටි වාක්‍යය යොදාගන්න. “ම්ම්” සහ “ආහ්” වැනි යෙදුම් භාවිත කිරීම හැකි තාක් දුරට අඩු කරන්න.

ගොතගැසීමේ ප්‍රශ්නයට මුහුණ දෙන සමහරු, මීට කලින් ඇතැම් වචන පැටලෙන බව තේරුම්ගෙන එවැනි වචන යොදාගැනීමෙන් වැළකී ඒවාට සමාන අරුත් ඇති වෙනත් වචන භාවිත කරති. තවත් සමහරුන් කරන දෙයක් නම්, ශබ්ද කිරීමට වඩාත්ම අමාරු ශබ්දයන් හඳුනාගෙන ඒවා නැවත නැවතත් පෙරහුරු කිරීමයි.

ඔබ සංවාදයක් පවත්වාගෙන යන විට ගොතගසනවා නම්, අදහස් හුවමාරු කරගැනීමට ඔබ දරන වෑයම අත්හරින්න එපා. එවැනි අවස්ථාවකදී ඔබේ අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරීමට හැකි වන තෙක්, අනික් කෙනාට කතා කිරීමට අවස්ථාවක් දිය හැකිය. අවශ්‍යතාවක් තිබේ නම්, කොළයක ඔබේ අදහස් සටහන් කර පුද්ගලයාට දෙන්න. එසේ නැතහොත්, මුද්‍රිත යමක් ඔහුට පෙන්වන්න.

ඔබේ ඉලක්කය අත් කරගන්නා අන්දම

  • සඟරා, පොත් පත් ආදිය කියවන විට අලුත් වචන සලකුණු කොට, ඒවායෙහි තේරුම සොයා භාවිතයට ගන්න.

  • දිනපතා අඩුම තරමින් විනාඩි පහක් දහයක් පමණක් ශබ්ද නඟා කියවීමට පුරුදු වන්න.

  • කියවීමේ පැවරුම් හොඳින් පෙරහුරු කරන්න. යම් අදහසක් දීමට එකට කිව යුතු වචන කාණ්ඩවලට විශේෂ අවධානයක් දෙන්න. අදහස් ගලා යන ආකාරය හොඳින් හඳුනාගැනීමට වෙර දරන්න.

  • දෛනික කතා බහේදී මුලින්ම සිතා බැලීමට ඉගෙනගන්න. ඉන්පසුව, මඟදී නතර නොවී සම්පූර්ණ වාක්‍යයම කීමට ඉගෙනගන්න.

අභ්‍යාසය: විනිශ්චයකාරයන්ගේ පොතේ 7:1-25 දක්වා ඡේදයක් ඡේදයක් බැගින් හොඳින් අධ්‍යයනය කරන්න. එහි පවසා ඇති දෙය ඔබට තේරෙනවාද කියා සහතික කරගන්න. නුහුරු වචන තේරුම්ගැනීමට ශබ්ද කෝෂයක් භාවිත කරන්න. පුද්ගලයන්ගේ සහ ස්ථානවල නම් සියල්ල ශබ්ද නඟා කියන්න. ඊළඟට ඡේදය ශබ්ද නඟා කියවන්න. එය නිවැරදිව කියවීමට වගබලා ගන්න. ඒ ඡේදය කියවීමෙන් ඔබේ කියවීම ගැන සෑහීමට පත් විය හැකි නම්, ඊළඟ ඡේද පිළිවෙළින් ඉහත දක්වා ඇති ක්‍රමයට අනුව පෙරහුරු කරන්න. ඊළඟට අනෙක පෙරහුරු කරන්න. අනතුරුව මුළු පරිච්ඡේදයම කියවන්න. නැවතත් වේගය මදක් වැඩි කර කියවන්න. තවත් වරක් යෝග්‍ය තැන්වලදී වේගය තවත් වැඩි කරමින් එසේ කරන්න. කෙසේවෙතත්, වචන පටලැවෙන තරමට වේගයෙන් කියවන්න එපා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න