පාඩම 14
ස්වාභාවික ගතිය
අන් අයගේ විශ්වාසය දිනාගැනීමට උපකාරවත් වන දෙයක් නම්, ස්වාභාවික විලාසයකින් ඔබේ අදහස් පළ කිරීමය. කෙනෙක් ඔබට වෙස් මුහුණක් දමාගෙන කතා කළා නම්, ඔබ ඔහුව විශ්වාස කරනු ඇද්ද? කතා කරන කෙනාගේ මුහුණට වඩා වෙස් මුහුණ අලංකාරවත් වුවත්, ඔබ තුළ ඒ පුද්ගලයා ගැන විශ්වාසයක් ඇති වේවිද? එසේ සිතීම උගහටය. ඉතින්, වෙස් මුහුණක් බැඳගෙන කතා කරන්න එපා. ඔවුන් ඉදිරියේ පෙනී සිටිය යුත්තේ ඔබමයි.
ස්වාභාවික ගතියට නොසැලකිලිමත් ස්වභාවයක් අයත් නොවන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. වැරදි ව්‍යාකරණ හා උච්චාරණයක් භාවිත කිරීම, අපැහැදිලි කටහඬකින් කතා කිරීම වැනි ගතිලක්ෂණ නුසුදුසුය. ග්‍රාම්‍ය නොහොත් පහත් භාෂා ශෛලියක් භාවිත කිරීමෙන්ද වැළකී සිටිය යුතුය. අපගේ කතාවේදී මෙන්ම ඉරියව්වෙන් ගෞරවය උචිත ලෙස රැකීමට අප තුළ ආශාවක් තිබීම වැදගත්ය. එසේ නම්, ස්වාභාවික ගතිය විදහාපෙන්වන පුද්ගලයෙක් සීමාව ඉක්මවූ විධිමත් ස්වභාවයක් විදහාපෙන්වන්නේ නැති අතර, තමා වෙතට අන් අයගේ සිත් ඇදගැනීමේ අදහසටවත් වහල් වන්නේ නැත.
ක්ෂේත්‍ර සේවයේදී. සාක්ෂියක් දැරීමේ අරමුණෙන්, නිවසක් ළඟට හෝ ප්‍රසිද්ධ ස්ථානයකදී පුද්ගලයෙකු ළඟට පිවිසෙන විට ඔබ තුළ යම් චකිතයක් ඇති වෙනවාද? අපගෙන් වැඩිදෙනාට එලෙස හැඟීම සාමාන්‍ය දෙයකි. එනමුත් ඇතැම් අය තුළ ඇති එවන් හැඟීම් බලගතුය. චකිතය හේතුවෙන් කටහඬේ අස්වාභාවික ස්වරයක් හෝ වෙවුලන ගතියක් තිබිය හැක. එසේ නැතහොත් අත් හෝ හිස අමුතු ආකාරවලින් චලනය කිරීමෙන්ද එවන් චකිතයක් දිස් විය හැකියි.
හේතු කිහිපයක් නිසා මෙම ගැටලුවට මුහුණ දීමට ප්‍රචාරකයෙකුට සිදු විය හැක. තමා ගැන අනික් කෙනා කෙසේ සිතයිද යන්න ගැන හෝ තම ඉදිරිපත් කිරීම සාර්ථක වේවිද යන්න ගැන හෝ ඔහු කල්පනා කරමින් සිටිනවා වන්නට පුළුවන. මෙලෙස කල්පනා කිරීම අමුතු දෙයක් නොවුවද, මෙවැනි දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වන විට ගැටලු පැනනඟියි. දේවසේවයෙහි යෑමට කලින් ඔබ තුළ යම් චකිතයක් ඇති වෙනවා නම්, එයින් ගොඩ ඒමට කුමක් උපකාරවත් විය හැකිද? හොඳින් සූදානම් වීම සහ යෙහෝවාට උනන්දුමත් ලෙස යාච්ඤා කිරීම උපකාරයක් වේවි. (ක්‍රියා 4:29, 30) පාරාදීසයක පිරිපුන් නිරෝගීකමක් සහ සදාතනික ජීවිතයක් භුක්ති විඳීමේ ප්‍රස්තාව ලබාගැනීමට ජනයාට ඇරයුම් කිරීමෙන් යෙහෝවා පෙන්නුම් කරන ඉමහත් දයාව ගැන මදක් කල්පනා කර බලන්න. උපකාර කිරීමට ඔබ උත්සාහ කරමින් සිටින අය ගැනත්, ශුභාරංචියට සවන් දීම සඳහා ඔවුන්ට තිබෙන අවශ්‍යතාව ගැනත් කල්පනා කර බලන්න.
මතක තබාගත යුතු තවත් දෙයක් නම්, මිනිසුන්ට නිදහස් කැමැත්තක් ඇති බවය. එමනිසා, තම කැමැත්ත පරිදි පණිවිඩය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නිදහස ඔවුන්ට ඇත. යේසුස් පුරාණ ඉශ්රායෙල්හි සාක්ෂි දැරූ විටද එය සත්‍යයක් විය. ඔබේ පැවරුම දේශනා කිරීමය. (මතෙ. 24:14) ඔබට කතා කිරීමට අවස්ථාවක් නොදුන්නත්, ඔබ ඔවුන් ඉදිරියෙහි පෙනී සිටීමම සාක්ෂියකි. යෙහෝවාගේ කැමැත්ත ඉටු කිරීමට ඔබව භාවිත කරන්නට ඔබ ඉඩ දුන් නිසා, ඔබේ කාර්යය සාර්ථක වූවා කියා පැවසිය හැක. කතා කිරීමට අවස්ථාවක් ලැබෙන විටදී, ඔබේ කතාවෙහි කෙබඳු ගුණාංග දිස් විය යුතුද? ඔබේ සිතුවිලි වෙනත් අයගේ අවශ්‍යතා මත කේන්ද්‍රගත කිරීමට ඉගෙනගන්නවා නම්, ඔබේ කතාවෙන් සිත් ඇදගන්නා, ස්වාභාවික ස්වරූපයක් දැකගත හැකි වේ.
සාක්ෂියක් දරන විට එදිනෙදා ජීවිතයේදී මෙන් ඔබ කතා කිරීමටත්, ක්‍රියා කිරීමටත් උත්සාහ කරනවා නම් ඔබේ සවන්දෙන්නන්ට පහසුවක් දැනේ. එවිට, ඔවුන් සමඟ බෙදාගැනීමට ඔබ කැමති ශුද්ධ ලියවිලිමය අදහස්වලට වඩා හොඳ ප්‍රතිචාරයක් දැක්වීමට පවා ඔවුන් පෙලඹිය හැක. ඔවුන්ට විධිමත් දේශනාවක් දෙනවා වෙනුවට, ඔවුන් සමඟ සංවාදයක් පවත්වන්න. මිත්‍රශීලී වන්න. ඔවුන් ගැන උනන්දුවක් දක්වන්න. ඔවුන්ගේ අදහස් සතුටින් භාරගන්න. කෙසේවෙතත්, ඇතැම් භාෂාවල හා සංස්කෘතීන්වල අමුත්තන්ට කතා කරන විට ගෞරවයක් පෙන්නුම් කිරීමට යම් චාරිත්රවිධි අනුගමනය කිරීමට සිදු වේ. මෙම චාරිත්රවිධි අතපසු නොකිරීමට අප උත්සුක විය යුතුය. එනමුත්, නිතරම සුහද සිනාමුසු මුහුණකින් සෑදී පැහැදී සිටීමට උත්සාහ කිරීම යහපති.
වේදිකාවේ සිට. ඔබ එක්තරා කණ්ඩායමකට කතා කරන විට සාමාන්‍යයෙන් හොඳම එළඹීම වන්නේ ස්වාභාවික, සංවාදශීලී කතා විලාසයක් අනුගමනය කිරීමය. ඔබ අමතන සබය සංඛ්‍යාවෙන් වඩාත් විශාල වන විට, ඔබේ කටහඬ වඩාත් පුළුල් ලෙස විහිදුවාලිය යුතු බව මතක තබාගැනීම අවශ්‍යය බව මෙහිලා සඳහන් කළ යුතුය. ඔබේ කතාව කටපාඩම් කිරීමට උත්සාහ කළහොත්, එසේ නැතහොත් ඔබේ සටහන් දීර්ඝ වැඩි නම්, පැවසිය යුතු දේවලට නියමිත වචන යොදාගැනීම ගැන ඔබ පමණ ඉක්මවා සැලකිලිමත් වෙනවා විය හැක. නිසි වචන යොදාගැනීම වැදගත්ය. එනමුත්, ඊට අනවශ්‍ය අවධානයක් දෙන විට, ඉදිරිපත් කිරීම හැඟීම් විරහිත, ඍජු ස්වරූපයක් ගත හැක. ස්වාභාවික ගතියද නැති වී යයි. ඔබේ අදහස් කල්තියාම හොඳින් පෙළගැස්විය යුතු වුවත්, භාවිත කරන නියමිත වචනවලට වඩා ඔබේ අවධානය යොමු කළ යුත්තේ අදහස්වලටයි.
රැස්වීමකදී සම්මුඛ සාකච්ඡාවකට කැඳවන විටදීත් මෙම කරුණු අදාළ වේ. හොඳින් සූදානම් වන්න. එනමුත්, ඔබ දෙන පිළිතුරු ලියාගෙන කියවීමෙන් හෝ කටපාඩමෙන් ඉදිරිපත් කිරීමෙන් වළකින්න. ස්වාභාවිකව හඬ පාලනය කරමින් කතා කරන්න. එවිට ඔබේ අදහස් සිත්ගන්නා ආකාරයකින් ගලා එන බවක් දිස් වනවා ඇති.
හොඳ කථික ගුණාංග පවා අන්තයකට ගෙන ගියොත් සබයට යම් අමුත්තක් දැනිය හැක. නිදසුනකට, කතා කරන විට ඔබේ කටහඬ පැහැදිලි විය යුතු අතර නිසි උච්චාරණයද භාවිත කළ යුතුය. එනමුත්, ඔබේ කතාවෙහි කෘත්‍රිම හෝ අහංකාර ස්වභාවයක් දිස් වන පරිද්දෙන් එම ගුණාංග අන්තයකට ගෙන නොයා යුතුය. අවධාරණාත්මක හෝ විස්තරාත්මක අභිනය හොඳින් භාවිත කරන විට ඔබේ කතාවට අමුතු ජීවයක් ලබා දිය හැක. එනමුත්, ඍජු හෝ සීමාව ඉක්මවූ ගතියක් පිළිබිඹු කරන අභිනය භාවිත කරන විට ඔබ කියන දෙයින් අවධානය වෙනතකට යොමු විය හැක. ප්‍රමාණවත් ශබ්දයක් භාවිත කළ යුතු වුවත්, සීමාව ඉක්මවූ ඝෝෂාකාරි ස්වභාවයක් අනුගමනය කිරීමෙන් වළකින්න. ඔබේ කතාවට උද්යෝගිමත් ජවයක් විටින් විට ලබා දීම සුදුසු දෙයක් වුවත්, අහංකාර ස්වරූපයක් ගැනීමෙන් වැළකී සිටීම අවශ්‍යය. එසේ නම්, හඬ පාලනය, උද්යෝගය හා හැඟීම් ආදි සියලුම කථික ගුණාංග භාවිත කළ යුත්තේ ඔබ වෙත අනවශ්‍ය අවධානයක් යොමු නොවන අන්දමකින් හා සබයට අපහසුවක් නොදැනෙන අන්දමකිනි.
සමහර අය කතාවක් නොදෙන අවස්ථාවලදී පවා නිරායාසයෙන්ම තම අදහස් ඉතා නිවැරදි අන්දමකින් පළ කරති. වෙනත් අය භාවිත කරන්නේ වඩාත් පොදු කතා ව්‍යවහාරයකි. කෙසේවෙතත්, වැදගත් දේ නම් සෑම දිනකම හොඳින් කතා කිරීමත්, ක්‍රිස්තියානි ගෞරවය රැකෙන අන්දමකින් හැසිරීමත්ය. එවිට වේදිකාවේ සිට කතාවක් දෙන විට සිත්ගන්නාසුලු ස්වාභාවික ගතියකින් කතා කිරීමටත්, ක්‍රියා කිරීමටත් ඔබ පෙලඹෙනු ඇත.
ප්‍රසිද්ධියේ කියවන විටදී. ප්‍රසිද්ධ කියවීමේදී ස්වාභාවික ගතියක් විදහාපෙන්වීමට නම් සෑහෙන වෑයමක් දැරීම අවශ්‍ය වේ. එම ඉලක්කය අත් කරගැනීම සඳහා කියවීමට යන තොරතුරුවල ප්‍රධාන අදහස් හඳුනාගෙන, ඒවා ගොඩනඟනු ලබන ආකාරයද නිරීක්ෂණය කරන්න. මේ දේවල් ඔබේ මනසෙහි ඉතා පැහැදිලිව සනිටුහන් කරගත යුතුය. එසේ නොකළහොත් ඔබ කියවනු ඇත්තේ වචන පමණි. නුහුරු නුපුරුදු වචන නිවැරදිව උච්චාරණය කිරීමටද උත්සාහයක් දැරිය යුතුය. නිවැරදිව ශබ්ද කිරීමට ඒවා ශබ්ද නඟා පෙරහුරු කරන්න. ඉන්පසුව, අදහස් පැහැදිලිව තේරුම්ගත හැකි පරිද්දෙන් අදාළ වචන එකට කියවන්න. ඔබේ කියවීමෙහි චතුරබවක් අත් කරගන්නා තෙක් නැවත නැවතත් පෙරහුරු කරන්න. කියවන තොරතුරුවලට හොඳින් හුරු වන්න. එවිට ශබ්ද නඟා කියවන විට ඔබේ කියවීම ඉතා උද්යෝගිමත් සංවාදයක් මෙන් දිස් විය හැක. ස්වාභාවික ගතිය යන්නෙන් අදහස් කරන්නේ එයයි.
අපගේ ප්‍රසිද්ධ කියවීමෙන් වැඩි හරියක් අප කරන්නේ බයිබලය මත පදනම් අපගේ ප්‍රකාශනවලින් බව මෙහිදී සඳහන් කිරීම වටී. දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී අපට ලැබෙන කියවීමේ පැවරුම්වලට අමතරව, අපි ක්ෂේත්‍ර සේවයෙහි සහ වේදිකාවේ සිට කතා ඉදිරිපත් කරද්දී ශුද්ධ ලියවිලි පද කියවන්නෙමු. මුරටැඹ පාඩමෙහි සහ සභා පොත් පාඩමේදී සලකා බලනු ලබන තොරතුරු කියවීමටද සහෝදරයෝ පැවරුම් ලබති. සමුළුවක සබයක් ඉදිරිපිට ලේඛනගත කතා කියවීමේ පැවරුම් සුදුසුකම් ලත් ඇතැම් සහෝදරයන්ට ලැබේ. ඔබට බයිබලයෙන් හෝ වෙනයම් ප්රකාශනයකින් කියවීමට සිදු වන විට, උපුටා දක්වා ඇති කොටස් කියවද්දී එම තොරතුරුවලට ජීවයක් ලබා දෙන අන්දමකින් කියවන්න. උපුටා දැක්වීමේදී පුද්ගලයන් කිහිපදෙනෙකු කතා කරනවා නම්, එක් එක් පුද්ගලයාට තරමක් වෙනස් වූ කටහඬක් දීමට උත්සාහ දරන්න. කෙසේ නමුත්, මෙහිදී අවවාදයක් දීම සුදුසුය. අනවශ්‍ය රඟපෑමක් කරන්න එපා. එනමුත් ස්වාභාවික ගතියකින් කියවීම තුළින් කියවීමට ජීවයක් මුසු කරන්න.
ස්වාභාවික කියවීමකට සංවාදශීලී මුහුණුවරක් ඇත. ඊට අමුතු කෘත්‍රිම ගතියක් නැත. එය ඒකාන්ත විශ්වාසයකින් යුතුව කරන කියවීමකි.