පාඩම 22
ශුද්ධ ලියවිලි පද නිවැරදිව අදාළ කිරීම
අන් අයට උගන්වන විට, අපගේ කාර්යය නිකම්ම බයිබලයෙන් පද කිහිපයක් කියවීමට සීමා වී නැත. ඊට වැඩි යමක් එයට ඇතුළත් වෙයි. කළ යුතු දේ පැහැදිලි කරමින් ප්‍රේරිත පාවුල් තම සහායක තිමෝතිට ලිව්වේ මෙසේය. “සැබෑවේ වචනය හරි ආකාර පහදා දෙන්නාවූ [හසුරුවන්නාවූ, NW], ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවිට ඒත්තු වුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහ [ඔබේ උපරිමය, NW] කරන්න.”—2 තිමෝ. 2:15, අකුරු ඇල කළේ අපය.
මෙසේ කිරීමට නම්, ශුද්ධ ලියවිල්ල සම්බන්ධයෙන් අප කරන පහදා දීම බයිබලය උගන්වන දේට සමගාමීව දිව යා යුතුය. මෙහිදී අප අවට පාඨ සම්බන්ධය සැලකිල්ලට ගැනීම අවශ්‍යය. අපගේ සිත්ගන්නා යෙදුම් කිහිපයක් තෝරා, ඊට අපගේම අදහස් එකතු කිරීම නොකළ යුත්තකි. යෙහෝවාගේ මුඛයෙන් දේවල් කතා කරන බවට පවසා සිටියත්, “තමුන්ගේම සිතේ දර්ශනයක්” ඉදිරිපත් කරමින් සිටි අනාගතවක්තෲන්ට යෙහෝවා අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් අනතුරු ඇඟවීය. (යෙරෙ. 23:16) දේවවචනය මිනිස් දර්ශනවාදි අදහස්වලින් කලවම් කිරීමේ වරද ගැන ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ටද අනතුරු ඇඟවීය. ඔහු මෙසේ ලීවේය. “අපි ලජ්ජා විය යුතු යටිකූට්ටු දේවල් අත්හැර ඇත්තෙමු. ප්‍රයෝගයෙන් ගමන් නොකරන්නෙමු. දෙවිගේ වචනය දියාරු නොකරන්නෙමු.” ඒ කාලයේදී වංක ලෙස වයින් වෙළඳාම් කළ උදවිය වැඩි ලාභ ලැබීමේ අදහසින් ඔවුන් සතු වයින්වලට ජලය මිශ්‍ර කර දියාරු කළෝය. ඒ හා සමානව, දේවවචනයට මිනිස් දර්ශනවාදි අදහස් මිශ්‍ර කිරීමෙන් එය දියාරු නොකිරීමට අප වගබලා ගත යුතුය. ‘අපි දෙවිගේ වචනය බොහෝදෙනා මෙන් නරක් [බාල වෙළඳ බඩුවක්, න. අ.] නොකර, අවංකකමින්ද දෙවිගෙන් ලැබුණු ලෙසද දෙවි ඉදිරියෙහි ක්‍රිස්තුස් තුළ කථා කරමු’ කියා පාවුල් ප්‍රකාශ කළේය.—2 කොරි. 2:17; 4:2, NW.
ඇතැම්විට, එක්තරා ප්‍රතිපත්තියක් හුවා දැක්වීමට ඔබ ශුද්ධ ලියවිලි පදයක් උපුටා දක්වනවා විය හැක. ප්‍රතිපත්ති රැසකින් බයිබලය පිරී තිබේ. විවිධාකාර තත්වයන්වලට මුහුණ දීම සඳහා ස්ථිරසාර මඟ පෙන්වීමක් අවශ්‍ය විටෙක, එම ප්‍රතිපත්ති මහෝපකාරි වේ. (2 තිමෝ. 3:16) කෙසේවෙතත්, ඒවා නිවැරදිව අදාළ කළ යුතුය. අප කිසිවිටෙකත් ශුද්ධ ලියවිල්ල අපගේ වාසිය සඳහා අතකොළුවක් කරගනිමින්, අපට ඕනෑ දේ එමගින් කියාගැනීමට තැත් නොකළ යුතුය. එය ශුද්ධ ලියවිල්ල වැරදි ලෙස භාවිත කිරීමකි. (ගීතා. 91:11, 12; මතෙ. 4:5, 6) එසේ නම්, අදාළ වීම යෙහෝවාගේ අරමුණට එකඟව තිබිය යුතු අතර මුළුමනින්ම දේවවචනයට සමගාමීව දිව යා යුතුය.
‘සැබෑවේ වචනය හරියාකාරව හැසිරවීමට’ ඇතුළත් තවත් දෙයක් වන්නේ බයිබලය පවසන දෙයෙහි නියම සාරය, හේතුව, චේතනාව හා අභිප්‍රාය තේරුම්ගැනීමයි. එය අන් අයට බැණ, භය කිරීම සඳහා භාවිත කළ හැකි “මුගුරක්” නොවේ. යේසුස් ක්‍රිස්තුස්ට එරෙහිව නැඟී සිටි ආගමික නායකයන් ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දැක්වූ බව ඇත්තය. එනමුත් යුක්තිය, දයාව හා විශ්වාසවන්තකම වැනි දෙවි බලාපොරොත්තු වූ වඩාත් බැරෑරුම් කාරණා සම්බන්ධයෙන් ඔවුහු තම ඇස් වසාගත්හ. (මතෙ. 22:23, 24; 23:23, 24) එනමුත් යේසුස් දෙවිගේ වචනය උගන්වන විට ඔහු පිළිබිඹු කළේ තම පියාගේ පෞද්ගලිකත්වයයි. සත්‍යය සඳහා යේසුස්ට තිබූ ජ්වලිතය සමඟ අත් වැල් බැඳගත්තේ ඔහු ඉගැන්වූ අය සඳහා ඔහුට තිබූ ගැඹුරු ප්‍රේමයයි. අපද ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කළ යුතුය.—මතෙ. 11:28.
අප ශුද්ධ ලියවිලි පදයක් නිසි ලෙස අදාළ කරනවා කියා සහතික විය හැක්කේ කෙසේද? නිතිපතා බයිබල් කියවීම එක් උපකාරයකි. එමෙන්ම යෙහෝවා පත් කර ඇති “විශ්වාස වූ නුවණ ඇති දාසයා” සපයන දේද අගය කළ යුතුය. ඇත්තෙන්ම ආත්මයෙන් ආලේප ලත් මෙම ක්‍රිස්තියානීන් කණ්ඩායම මගින් ඔහු ඇදහිල්ලේ පවුල වන ක්‍රිස්තියානි සභාවට ආත්මික ආහාර සපයයි. (මතෙ. 24:45) විශ්වාස වූ නුවණ ඇති දාසයා මාර්ගයෙන් ලැබෙන ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ලැබීමට පෞද්ගලික පාඩම, සභා රැස්වීම්වලට නිතිපතා යෑම හා සහභාගි වීම ප්‍රයෝජනවත් වේ.
ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම නමැති පොත ඔබේ භාෂාවෙන් ලබාගත හැකි නම් එය හොඳින් භාවිත කිරීමට ඉගෙනගන්න. එසේ කළහොත් අපගේ ක්ෂේත්‍ර සේවයෙහි නිතරම පාහේ භාවිත කරනු ලබන ශුද්ධ ලියවිලි සියගණනක් නිවැරදිව අදාළ කිරීම සම්බන්ධයෙන් පැහැදිලි මඟ පෙන්වීමක් පහසුවෙන් එතුළින් ලබාගත හැකිය. නුහුරු ශුද්ධ ලියවිලි පදයක් භාවිත කිරීමට ඔබ අදහස් කරනවා නම්, පළමුව අවශ්‍ය පර්යේෂණ කිරීමට ඔබව පෙලඹිය යුත්තේ නිහතමානීකමය. එවිට ඒ ගැන කතා කරන විට සැබෑවේ වචනය හරියාකාරව හැසිරවීමට ඔබ සමත් වනු ඇත.—හිතෝ. 11:2.
අදාළ වීම පැහැදිලි කරන්න. අන් අයට උගන්වන විට, ඔබ සාකච්ඡා කරන විෂය සහ භාවිත කරන ශුද්ධ ලියවිලි පද අතර සම්බන්ධය ඔවුන් පැහැදිලිව දකින බවට සහතික වන්න. නිදසුනකට, ශුද්ධ ලියවිලි පදයක් කියවීමට පෙර ඔබ ප්‍රශ්නයක් අසනවා නම්, එම ප්‍රශ්නයට පිළිතුර එම ශුද්ධ ලියවිලි පදයෙන් ලැබෙන ආකාරය දැකගැනීමට ඔබේ සවන්දෙන්නන්ට හැකි විය යුතුය. එක්තරා කාරණයක් ඔප්පු කිරීම සඳහා ඔබ ශුද්ධ ලියවිලි පදයක් භාවිත කරනවා නම්, ඔබේ ඉලක්කය වන්නේ අදාළ කාරණය එම බයිබල් පදයෙන් ඔප්පු වන ආකාරය ශිෂ්‍යයාට පැහැදිලිව දැකීමට සැලැස්වීමය.
නිකම්ම ශුද්ධ ලියවිලි පද අවධාරණයෙන් යුතුව කියෙව්වත් ඔබේ ඉලක්කය එයින් ඉටු වන්නේ නැත. සාමාන්‍ය පුද්ගලයන්ට බයිබලය ගැන වැඩි දැනුමක් නැති බව මතක තබාගන්න. එමනිසා එක වතාවක් කියෙවූ පමණින් ඔබ ගෙනහැර දැක්වීමට උත්සාහ කරන කාරණය ඔහුට බොහෝ දුරට තේරුම්ගත නොහැකි වේ. එම පදය කියවීමෙන් පසු, ඔබ සාකච්ඡා කරන දේට කෙළින්ම සම්බන්ධ වන කොටසට අවධානය යොමු කරන්න.
මේ සඳහා සාමාන්‍යයෙන් අවශ්‍ය වන දෙයක් නම්, ප්‍රධාන වචන උලුප්පා දැක්වීමය. ප්‍රධාන වචන කියද්දී ඉන් අදහස් වන්නේ සාකච්ඡා කරනු ලබන කාරණයට කෙළින්ම සම්බන්ධ වෙන ඒවාය. මූලික අදහස එලෙස ගෙනහැර දක්වන වචන යළි සඳහන් කිරීම ඔබට අනුගමනය කළ හැකි සරලම ක්‍රමය වේ. ඔබ පුද්ගලයෙකුට කතා කරනවා නම්, එම ප්‍රධාන වචන මොනවාදැයි හඳුනාගැනීමට උපකාරවත් වන ප්‍රශ්න කිහිපයක් ඔහුගෙන් ඇසිය හැක. කණ්ඩායමක් ඉදිරියෙහි කතා කරන විට ඇතැම් කථිකයන්ගේ මනාපය වන්නේ සමාන පද භාවිත කිරීමෙන් හෝ එම අදහස නැවත සඳහන් කිරීමෙන් තම පරමාර්ථය ඉටු කරගැනීමය. කෙසේවෙතත්, මෙම ක්‍රමය තෝරාගැනීමට තීරණය කළහොත් ඔබ සැලකිලිමත් විය යුතු දෙයක් ඇත. එනම් සාකච්ඡා කරනු ලබන කාරණය සහ ශුද්ධ ලියවිලි පදයේ භාවිත කර ඇති වචන අතර සම්බන්ධය සබයට දිගටම පැහැදිලිව දැකගැනීමට සැලැස්වීමයි.
ප්‍රධාන වචන උලුප්පා දැක්වූවායින් පසු, ඔබ හොඳ අඩිතාලමක් දමා ඇති බව පවසන්නට පුළුවන. ඊළඟට එම අඩිතාලම මත ගොඩනැඟීමක් කළ යුතුය. ශුද්ධ ලියවිලි පදය හඳුන්වා දුන් විට එම බයිබල් පදය භාවිත කිරීමට හේතුව ඔබ පැහැදිලිව දැක්වූවාද? එසේ කර ඇත්නම්, ඔබ උලුප්පා දැක්වූ වචන ඔබේ සබයට අපේක්ෂා කරන්නට සැලැස්වූ කාරණයට සම්බන්ධ වන්නේ කෙසේදැයි පෙන්නුම් කළ යුතුය. එම සම්බන්ධය කුමක්දැයි පැහැදිලිව සඳහන් කරන්න. බයිබල් පදයක් කියවීමට පෙර ඔබ ඉතා ඍජු හැඳින්වීමක් භාවිත කළේ නැතත්, කියවීමෙන් පසු පදය හා ඔබේ කාරණය අතර සම්බන්ධය පැහැදිලිව දැක්විය යුතුය.
මෙහිදී, ඵරිසිවරුන් අමාරුයයි සිතූ ප්‍රශ්නයක් යේසුස්ගෙන් ඇසූ අවස්ථාව සලකා බලමු. ප්රශ්නය, “කවර හේතුවක් නිසා හෝ මිනිසෙකුට තම බිරිඳ දික්කසාද කිරීමට අවසර තිබේද” යන්නයි. යේසුස් තම පිළිතුර පදනම් කළේ උත්පත්ති 2:24 මතය. ඔහු අවධාරණය කළේ එම පදයේ එක් කොටසක් පමණක් බව ඔබ දුටුවාද? අනතුරුව ඔහු අවශ්‍ය අදාළ වීම පැහැදිලි කළේය. පුරුෂයා සහ තම භාර්යාව “එක මාංසයක්” වන බව පෙන්නුම් කරමින් යේසුස් මෙසේ තම තර්කය අවසන් කළේය. “එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකරත්වා.”—මතෙ. 19:3-6, NW.
ශුද්ධ ලියවිලි පදයක අදාළත්වය පහදා දීමට ඔබ එය කොතෙක් දුරට පැහැදිලි කළ යුතුද? එය තීරණය විය යුත්තේ ඔබේ සබයේ සිටින්නේ කවුරුන්ද හා සාකච්ඡා කරනු ලබන කාරණය කොතරම් වැදගත්ද යන්න මතය. එය සරලව හා ඍජුව පැහැදිලි කිරීම ඔබේ ඉලක්කය විය යුතුය.
ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන තර්කානුකූලව කතා කරන්න. ප්‍රේරිත පාවුල් තෙසලෝනිකයෙහි ඉටු කළ සේවය සම්බන්ධයෙන් ක්‍රියා 17:2, 3හි [NW] අපට පවසන්නේ ඔහු ‘ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන තර්කානුකූලව කතා කළ’ බවය. ඇත්තටම යෙහෝවාට සේවය කරන සෑම කෙනෙකුම ප්‍රගුණ කළ යුතු හැකියාවකි මෙය. නිදසුනකට පාවුල් මුලින්ම යේසුස්ගේ ජීවිතය හා සේවය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළේය. ඉන්පසුව මෙවැනි දේවල් හෙබ්‍රෙව් ලියවිල්ලෙහි පුරෝකථනය කර තිබූ බවද පෙන්නුම් කළේය. අවසානයේදී ඔහු ඉතා බලගතු ලෙස තම තර්කය නිම කළේ මෙසේය. “මා ඔබට ප්‍රකාශ කරන මේ යේසුස් යනු ක්‍රිස්තුස්ය.”
හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියූ විට පාවුල් නිතරම හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටා දැක්වීය. යම් කාරණයක් අවධාරණය කිරීමට හෝ එය තවත් පැහැදිලි කිරීමට ඔහු සාමාන්‍යයෙන් කළ දෙයක් වූයේ එක වචනයක් හෝ කෙටි වාක්‍ය ඛණ්ඩයක් උලුප්පා එහි අදාළත්වය පෙන්නුම් කිරීමය. (හෙබ්‍රෙ. 12:26, 27) හෙබ්‍රෙව් 3වන පරිච්ඡේදයෙහි සඳහන් වාර්තාවේදී පාවුල් ගීතාවලිය 95:7-11න් උපුටා දැක්වීය. ඊළඟට එයින් රැගත් කොටස් තුනකට ඔහු අමතර විස්තර එකතු කළ අන්දම සලකා බලන්න. එනම්, (1) සිත සම්බන්ධයෙන් කළ යොමු දැක්වීම (හෙබ්‍රෙ. 3:8-12), (2) “අද” යන යෙදුමෙහි වැදගත්කම (හෙබ්‍රෙ. 3:7, 13-15; 4:6-11) සහ (3) “ඔව්හු මාගේ විශ්රාමස්ථානයට ඇතුල් නොවන්නෝය” යන යෙදුමෙහි අර්ථය (හෙබ්‍රෙ. 3:11, 18, 19; 4:1-11) යන්නය. ඔබ අදාළ කරන සෑම ශුද්ධ ලියවිලි පදයක් සම්බන්ධයෙන් එම ආදර්ශය අනුකරණය කිරීමට උත්සාහ දරන්න.
ලූක් 10:25-37හි සොයාගත හැකි වාර්තාවෙහි ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන යේසුස් තර්කානුකූලව කතා කළ අන්දම කොතරම් ප්‍රතිඵලදායක වූවාදැයි සෝදිසි කර බලන්න. ව්‍යවස්ථාවෙහි උගත් පුරුෂයෙක් මෙසේ ඇසීය. “ආචාරිනි, සදාකාල ජීවනය උරුම කරගන්න පිණිස මා විසින් කුමක් කටයුතුද”? ඊට පිළිතුරු වශයෙන් යේසුස් මුලින්ම එම පුරුෂයාට ආරාධනා කළේ ඒ සම්බන්ධයෙන් තමා දරන මතය ඉදිරිපත් කරන්නටයි. අනතුරුව දෙවිගේ වචනයෙහි සඳහන්ව ඇති දේ කිරීමෙහි වැදගත්කම යේසුස් අවධාරණය කළේය. එම පුරුෂයාට කාරණය හරි හැටි නොවැටහුණු බව පැහැදිලි වූ විට, යේසුස් ශුද්ධ ලියවිල්ලෙන් එක වචනයක්, එනම් “අසල්වාසියා” යන්න ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. “අසල්වාසියා” යන වචනය නිකම්ම නිර්වචනය කරනවාට වඩා, කාරණය සම්බන්ධයෙන් එම පුරුෂයාට පෞද්ගලිකව නිවැරදි නිගමනයකට එළඹීම සඳහා උපකාර කළේ උපහැරණයක්ද යොදාගනිමිනි.
යේසුස් ප්‍රශ්නවලට පිළිතුරු සපයද්දී නිකම්ම පැහැදිලි ඍජු පිළිතුරක් ලබා දුන් බයිබල් පදයක් උපුටා දැක්වූයේ නැති බව පැහැදිලිය. එම පදවල සඳහන්ව තිබූ දේ විග්රහ කරමින්, ඉස්මතු කළ ප්‍රශ්නයට එය අදාළ කළේය.
සද්දුසිවරුන් විසින් නැවත-නැඟිටීමේ බලාපොරොත්තුව අභියෝගයට ලක් කරනු ලැබූ විට, යේසුස් අවධානය යොමු කළේ නික්මයාම 3:6හි එක්තරා සුවිශේෂ කොටසකටයි. කෙසේවෙතත්, ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දැක්වීමක් කර, ඔහු නිහඬ වූයේ නැත. ඔහු එය පදනම් කරගෙන තර්කානුකූලව කතා කරමින්, නැවත-නැඟිටීම දෙවිගේ අරමුණට සම්බන්ධ බව පැහැදිලිව ගෙනහැර දැක්වීය.—මාක් 12:24-27.
ශුද්ධ ලියවිලි පදනම් කරගෙන තර්කානුකූලව කතා කිරීමේ කටයුත්ත නිවැරදිව හා දක්ෂ ලෙස ඉටු කිරීම, ඔබට දක්ෂ ගුරුවරයෙකු වීමට බෙහෙවින් උපකාරවත් වන කුසලතාවක් වනු නියතය.