පාඩම 23
ප්‍රායෝගික වටිනාකම පැහැදිලිව දැක්වීම
ඔබ කතා කරමින් සිටින්නේ පුද්ගලයෙකුට හෝ විශාල සබයකට කියා සිතන්න. මෙහිදී කතා කරන විෂය ගැන ඔබට උනන්දුවක් තිබෙන පළියට ඔබට සවන්දෙන්නා හෝ සවන්දෙන්නන් උනන්දු වෙයි කියා නිගමනය කිරීම අඥාන දෙයකි. ඔබේ පණිවිඩය වැදගත් විය හැකි වුවත්, එහි ප්‍රායෝගික වටිනාකම පැහැදිලිව දැක්වීමට ඔබ අසමත් වෙනවා නම්, සබයේ උනන්දුව වැඩි වේලාවක් බැඳ තබාගැනීමට ඔබට හැකි වේවියයි සිතීම උගහටය.
රාජ්‍ය ශාලාවක රැස්ව සිටින සබයක් සම්බන්ධයෙනුත් මෙය සැබෑවකි. කලින් ඇසුවේ නැති උපහැරණයක් හෝ අද්දැකීමක් භාවිත කරන විට ඔවුන්ගේ මනස් අවදි විය හැක. එනමුත් ඔවුන්ට හුරු කරුණු ගැන කතා කරන්නට පටන්ගන්නා විට, ඔවුන්ගේ අවධානය කැඩී යයි. මෙය විශේෂයෙන් සැබෑවක් වන්නේ නැවුම් තොරතුරු ගොඩනැඟීමට අසමත් වෙමින්, සබයට හොඳටම හුරු විෂයක් ගැන කතා කරන විටය. මේ නිසා ඔබ පවසන දේ ඔවුන්ට ඇත්තෙන්ම ප්‍රයෝජනයක් වන්නේ මන්ද සහ කෙසේද යන්න වටහාගැනීමට උපකාර කිරීම අවශ්‍යය.
බයිබලය අපට දිරිගන්වන්නේ හොඳ විචක්ෂණ බුද්ධියක් භාවිත කරමින් ප්‍රායෝගික අන්දමින් කල්පනා කිරීමටය. (හිතෝ. 3:21, න. අ.) යෙහෝවා යොහන් බව්තීස්තව යොදාගත්තේ ජනයාව “ධර්මිෂ්ඨයන්ගේ ප්‍රායෝගික ප්‍රඥාව වෙතට” යොමු කිරීම සඳහායි. (ලූක් 1:17, NW) මෙවැනි ප්‍රඥාවක් මුල් ඇද පිහිටා ඇත්තේ යෙහෝවා කෙරෙහි තිබෙන හිතකර භය තුළය. (ගීතා. 111:10) මෙම ප්‍රඥාව අගය කරන අයට වර්තමානයෙහි ඔවුන් ඉදිරියෙහි තිබෙන ජීවිතයට සාර්ථකව උර දිය හැකි අතර, සැබෑ ජීවනය, එනම් මතු පැමිණෙන සදාකාල ජීවනය තදින් අල්ලාගැනීමටද හැකි වේ.—1 තිමෝ. 4:8; 6:19, න. අ.
කතාවකට ප්‍රායෝගික මුහුණුවරක් ලබා දෙන්න. ඔබේ කතාව ප්‍රායෝගික එකක් කරන්නට නම්, ඔබේ අවධානය තොරතුරුවලට පමණක් සීමා නොවිය යුතුය. ඔබේ සබය ගැන හොඳ අවබෝධයකින් සිටීමද අවශ්‍යය. ඔවුන් දෙස නිකම්ම මනුෂ්‍ය සමූහයක් දෙස බලන ආකාරයට නොබලන්න. එම සමූහය පුද්ගලයන්ගෙන් සහ පවුල්වලින් සෑදී ඇත්තකි. ඒ අතර කුඩා දරු දැරියන්, යෞවන යෞවනියන්, වැඩිහිටියන්, මහලු අය කිහිපදෙනෙකුද සිටිය හැක. ඔවුන් අතර නවකයන් සිටිනවා වගේම, ඔබ ඉපදෙන්නටත් කලින් යෙහෝවාට සේවය කරන්නට පටන්ගත් අයද සිටින්නට පුළුවන. තවත් සමහරුන් ඔබට වඩා ආත්මිකව මේරූ විය හැක. වෙනත් අය ලෝකයේ ඇතැම් ආකල්ප සහ පුරුදුවල දැඩි ග්‍රහණයට තවමත් හසු වී ඇත. එමනිසා ඔබෙන් මෙසේ අසන්න: ‘මා සාකච්ඡා කිරීමට අදහස් කරන තොරතුරු සබයේ සිටින අයට ප්‍රයෝජනයක් වන්නේ කෙසේද? අවශ්‍ය කාරණය හරි හැටි තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්නට මට හැක්කේ කෙසේද?’ ඉහත සඳහන් කණ්ඩායම් අතුරින් එකකට හෝ දෙකකට මූලික වශයෙන් අවධානය දීමට ඔබ තීරණය කරනවා විය හැක. කෙසේවෙතත්, අන් සියලුදෙනාව සම්පූර්ණයෙන්ම අමතක කරන්න එපා.
එක්තරා මූලික බයිබල් ඉගැන්වීමක් ගැන සාකච්ඡා කිරීම ඔබට පවරා ඇත්නම් කුමක් කිව හැකිද? මෙම ඉගැන්වීම මේ වන විටත් විශ්වාස කරන සබයකට එවැනි කතාවක් ප්‍රයෝජනදායක වීමට සැලැස්විය හැක්කේ කෙසේද? ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට උත්සාහ දරන්න. ඒ කෙසේද? එම ඉගැන්වීමට අනුබල දෙන ශුද්ධ ලියවිලි සාක්ෂි තර්කානුකූලව ඒත්තුගැන්වීමෙනි. එම බයිබල් ඉගැන්වීම සඳහා ඔවුන්ගේ අගය තවත් ගැඹුරු කිරීමද ඔබට කළ හැක්කකි. එවැන්නක් ඉටු කරගත හැක්කේ මෙම ඉගැන්වීම වෙනත් බයිබල් සත්‍යයන් හා යෙහෝවාගේ පෞද්ගලිකත්වය සමඟ සමගාමීව දිව යන ආකාරය පෙන්නුම් කිරීමෙනි. මෙය තේරුම්ගැනීමෙන් පුද්ගලයන් ප්‍රයෝජන ලබා ඇති ආකාරයත්, අනාගතය සම්බන්ධයෙන් ඔවුන්ගේ දෘෂ්ටියට එය බලපා ඇති ආකාරයත් කාවද්දන උදාහරණ භාවිත කරන්න. ඒවා සැබෑ ජීවිත අද්දැකීම් නම් වඩාත් හොඳය.
කතාවක ප්‍රායෝගික අදාළත්වය සම්බන්ධයෙන් ගත් කල, එය කතාව අවසානයේ කෙටි අදහස් කිහිපයකට සීමා නොකරන්න. කතාවේ මුල සිටම “මේක මට අදාළයි” යන හැඟීම ඔබේ සබයේ සිටින සෑම පුද්ගලයෙකු තුළම ඇති කළ යුතුය. මෙවැනි අත්තිවාරමක් දැමීමෙන් අනතුරුව, ඔබේ කතාවේ ප්‍රධාන කරුණු ගොඩනඟන විටත්, අවසානයේදීත් දිගටම තොරතුරුවල ප්‍රායෝගික අදාළ වීම ගෙනහැර දක්වන්න.
අදාළ වීම ඉදිරිපත් කරද්දී එය බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව අදාළ කළ යුතු බව මතක තබාගන්න. ඉන් අදහස් කරන්නේ කුමක්ද? එනම් ප්‍රේමනීය සහ සංවේදනීය අන්දමකින් එම අදාළ වීම ඉදිරිපත් කිරීමය. (1 පේතෘ. 3:8; 1 යොහ. 4:8) ප්‍රේරිත පාවුල්ට තෙසලෝනිකයෙහි සෑහෙන බරපතළ ගැටලු හසුරුවන්නට සිදු විය. එනමුත් එහි විසූ තම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ ආත්මික ප්‍රගතියේ හොඳ පැති උලුප්පා දැක්වීමට ඔහු විශේෂ වෑයමක් දැරුවේය. ඉන් අනතුරුව, ඒ ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් හරි දේ කරන්නට කැමැත්තක් දක්වයි කියා තම විශ්වාසයද පළ කළේය. (1 තෙස. 4:1-12) මෙය අනුකරණය කිරීම සඳහා මොනතරම් කදිම ආදර්ශයක්ද!
ඔබේ කතාවේ අරමුණ අන් අයව ශුභාරංචිය දේශනා කිරීමෙහි සහ ඉගැන්වීමෙහි කාර්යයට දිරිගැන්වීමද? එම වරප්‍රසාදය සඳහා උද්‍යෝගයක් හා අගයක් ගොඩනඟන්න. කෙසේවෙතත්, ඒ අතරතුර එසේ කිරීමට එක එක පුද්ගලයාට තිබෙන ඉඩ කඩ හා අවස්ථා වෙනස් බව මතක තබාගන්න. මෙය බයිබලයෙහි පවා කාවද්දවා ඇති කාරණයකි. (මතෙ. 13:23) සහෝදරයන් තුළ වරදකාරි හැඟීමක් ජනිත කරවීමෙන් වැළකී සිටිය යුතුය. හෙබ්‍රෙව් 10:24 අපගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ‘ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන්නට’ කියාය. මෙසේ අප අන් අයව ප්‍රේමයට පොලඹවනවා නම්, යහපත් චේතනාවක් පදනම් කරගත් ක්‍රියා ඒ සමඟම පැමිණෙනු ඇත. සියලුදෙනාම එක සමානව ක්‍රියා කළ යුතු බව අඟවමින් දැඩි නීති දමනවා වෙනුවට, යෙහෝවා අපගෙන් බලාපොරොත්තු වන්නේ ‘ඇදහිල්ලෙන් කීකරු වීමට’ එකිනෙකාව දිරිගැන්වීම බව තේරුම්ගන්න. (රෝම 16:26, NW [පැ. අ. රෝම 16:25]) මෙය මනසෙහි පෙරදැරි කරගනිමින්, අප උත්සාහ දරන්නේ අපගේ මෙන්ම අපගේ සහෝදරයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටය.
සාකච්ඡා කරන කාරණයෙහි ප්‍රායෝගික වටිනාකම තේරුම්ගැනීමට අන් අයට උපකාර කරන්න. අන් අයට සාක්ෂි දරද්දී ශුභාරංචියේ ප්‍රායෝගික වටිනාකම උලුප්පා දැක්වීමට වගබලා ගන්න. එසේ කිරීමට නම් ඔබේ බලප්‍රදේශයේ ජනයාගේ මනස්වල දුවන්නේ කවර කාරණාද යන්න සලකා බැලිය යුතුය. එය දැනගන්නේ කෙසේද? ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ ප්‍රවෘත්තිවලට සවන් දෙන්න. පුවත් පතක සිරස්තල දෙස බලන්න. මීට අමතරව, මිනිසුන්ව සංවාදයකට සම්බන්ධ කරගෙන, ඔවුන් කියන දේවලට සවන් දෙන්න. සමහරවිට, ඔවුන් ඉතා පීඩිත වූ ගැටලු කිහිපයක් සමඟ පොරබදින බව ඔබට පෙනී යා හැක. රැකියාවක් නොමැතිකම, නිවසේ කුලිය ගෙවීම, අසනීපයක්, පවුලේ සාමාජිකයෙකුගේ මරණය, අපරාධ වැඩි ප්‍රදේශයක ජීවත් වීම, බලධාරීන් අතින් සිදු වන අයුක්තිය, විවාහයක් දෙකඩ වීම, දඟකාර කුඩා දරුවන්ව පාලනය කිරීම යනාදිය මීට උදාහරණ සමහරකි. ඔවුන්ට උපකාර කරන්නට ශුද්ධ ලියවිල්ලට හැකිද? නිසැකවම හැකිය.
සංවාදයක් අරඹන විට, ඔබ කතා කරන්නට යන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ඒ වන විටත් අදහසක් තිබිය හැක. කෙසේවෙතත්, සංවාදය පටන්ගත් පසු, පුද්ගලයාගේ දැඩි අවධානයට වෙන ප්‍රශ්නයක් ලක්ව ඇති බව ඔහු පළ කරන අදහස්වලින් ඇඟවිය හැක. එවිට ඔබට හැකියාවක් ඇත්නම් ඒ ප්‍රශ්නය ගැන කතා කිරීමට පසුබට නොවන්න. එසේ නැතහොත් ඔහුට උපකාරවත් විය හැකි තොරතුරු පසුව රැගෙන ඒමට කැමති බව කියන්න. එනමුත්, අපට කිසි වැඩක් නැති ‘අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගැසීමෙන්’ අපි වැළකී සිටින්නෙමු. ඒ වෙනුවට බයිබලය ලබා දෙන ප්‍රායෝගික උපදෙස් අප අනුන් සමඟ බෙදාගන්නේ ඉමහත් සතුටකිනි. (2 තෙස. 3:11) ඇත්තෙන්ම, එය සිතට විශේෂයෙන්ම කාවදින්නේ බයිබල් උපදෙස් පුද්ගලයන්ගේ ජීවිතවලට කෙළින්ම සම්බන්ධ වන විටය.
අප ඉදිරිපත් කරන පණිවිඩය තමන්ට පෞද්ගලිකව බලපාන්නේ කෙසේදැයි අවබෝධ කරගැනීමට මිනිසුන්ට බැරි නම්, අප සමඟ කරන සංවාදය හැකි ඉක්මනින් නතර කර දමන්නට ඔවුන් උත්සාහ දැරිය හැක. සමහරවිට දිගටම කතා කරන්නට අපට ඉඩ දුන්නත්, අප සාකච්ඡා කරන විෂයේ ප්‍රායෝගික වටිනාකම පෙන්නුම් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අපගේ පණිවිඩය ඔවුන්ගේ ජීවිතයට එතරම් බලපෑමක් නොකරයි. මීට වෙනස්ව, පණිවිඩයේ ප්‍රායෝගික වටිනාකම පැහැදිලි කර දැක්වුවහොත්, අපගේ සාකච්ඡාව පුද්ගලයෙකුගේ ජීවිතයෙහි සැබෑ වෙනසක් සිදු කිරීමට හේතු වන සන්ධිස්ථානයක් විය හැක.
බයිබල් පාඩම් පවත්වන විට, දිගටම තොරතුරු ප්‍රායෝගිකව අදාළ වන ආකාරය අවධාරණය කරන්න. (හිතෝ. 4:7) ශුද්ධ ලියවිල්ලේ උපදෙස්, ප්‍රතිපත්ති සහ යෙහෝවාගේ මාර්ගවල ගමන් කරන්නේ කෙසේදැයි පෙන්නුම් කරන ආදර්ශ තේරුම්ගැනීමට ශිෂ්‍යයන්ට උපකාර කරන්න. එසේ කිරීමෙන් නෙළාගත හැකි ප්‍රයෝජන අවධාරණය කරන්න. (යෙසා. 48:17, 18) තම ජීවිතයෙහි අවශ්‍ය වෙනස්කම් කිරීමට මෙය ශිෂ්‍යයන්ට උචිත පෙලඹීම ලබා දෙයි. යෙහෝවා කෙරෙහි ප්‍රේමයක් සහ ඔහුව සතුටු කිරීම සඳහා ආශාවක් ගොඩනංවන්න. එසේ කිරීමෙන් දේවවචනයෙහි උපදෙස් අදාළ කරගැනීමට අවශ්‍ය පෙලඹීම ඔවුන්ගේ හද පත්ලෙන්ම නික්මවීමට මාර්ගය සලසාගත හැකි වේ.