පාඩම 34
ගොඩනංවනසුලු, ඒකාන්ත එළඹීමක්
අප පැවරුම් ලබා ඇත්තේ ශුභාරංචිය දේශනා කිරීමටයි. මේ අනුව, “පළමුවෙන් සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කළ යුතුය” යනුවෙන් යේසුස් පැවසීය. (මාක් 13:10, NW) “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” උලුප්පා දැක්වීමෙන් යේසුස්ම ආදර්ශය තැබුවේය. (ලූක් 4:43, NW) ප්‍රේරිතයන් දේශනා කළ දේද “දෙවිගේ ශුභාරංචිය” ලෙසත්, “ක්‍රිස්තුස්ගේ ශුභාරංචිය” ලෙසත් හඳුන්වා ඇත. (1 තෙස. 2:2; 2 කොරි. 2:12) ඇත්තෙන්ම මෙවැනි පණිවිඩයක් ගොඩනංවනසුලුය, ඒකාන්තය.
“අහස මැද පියාසර කරන” දේවදූතයා පළ කරන ‘සදාකාල ශුභාරංචියට’ එකඟව අප මිනිසුන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ‘දෙවිට භය වී, ඔහුට ගෞරව දෙන්න’ කියාය. (එළි. 14:6, 7) සැබෑ දෙවි, ඔහුගේ නාමය, ඔහුගේ විශිෂ්ට ගුණාංග, ඔහුගේ පුදුම ක්‍රියා, ඔහුගේ ප්‍රේමනීය අරමුණ, ඔහුට ගණන් දිය යුතු බවට වූ කාරණය සහ ඔහු අපගෙන් බලාපොරොත්තු වන දේ ගැන සෑම තැනකම වෙසෙන ජනයාට අපි දන්වන්නෙමු. ශුභාරංචියට ඇතුළත් තවත් දෙයක් වන්නේ දෙවිට අගෞරව කරන, අන් මනුෂ්‍යයන්ගේ ජීවිතවලට හිංසා පමුණුවන දුෂ්ටයන් යෙහෝවා දෙවි විසින් විනාශ කරනු ලබන බවට වූ කාරණය දැන්වීමයි. එනමුත් අප ගොස් දේශනා කරනු ලබන පුද්ගලයන්ව විනිශ්චය කිරීම අපට භාර වී ඇති කාර්යයක් නොවේ. අපගේ අවංක ආශාව වන්නේ හැකි තරම් මිනිසුන් සංඛ්‍යාවක් බයිබලයේ පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් දක්වනවා දැකීමයි. එසේ ප්‍රතිචාරය දැක්වුවහොත් ශුභාරංචියේ ආශීර්වාද ඔවුන්ට සැබවින්ම භුක්ති විඳිය හැකි වේ.—හිතෝ. 2:20-22; යොහ. 5:23.
නිෂේධාත්මක තොරතුරු අවම කරගන්න. ජීවිතයට නිෂේධාත්මක නැතහොත් එතරම් ශුභ නැති පැති තිබෙන බව පිළිගත යුතුය. අපි මෙවැනි දේවල් ඉදිරියෙහි අපගේ ඇස් පියා නොගන්නෙමු. එමනිසා, සංවාදයක් ඇරඹීමට, ඔබේ බලප්‍රදේශයේ වෙසෙන අයගේ මනසෙහි දුවන යම් ගැටලුවක් ගැන සඳහන් කර එය කෙටියෙන් සාකච්ඡා කරන්නට පුළුවන. එනමුත්, එය දිගින් දිගට සාකච්ඡා කිරීමෙහි එතරම් ඵල ප්‍රයෝජනයක් නොමැත. කනගාටුදායක ආරංචි නිතරම ජනතාවගේ සවනට වැකේ. එමනිසා, අප්‍රියජනක දේවල් ගැන කතා කරනවා නම්, අපව ප්‍රතික්ෂේප කිරීමට හෝ අපට සවන් නොදීමට පෙලඹීමක් ඇති විය හැක. එමනිසා, අප කළ යුත්තේ හැකි ඉක්මනින් දේවවචනයෙහි සඳහන් නැවුම්බවක් ගෙන දෙන සත්‍යයන් වෙත අවධානය යොමු කිරීමට උත්සාහ දැරීමයි. (එළි. 22:17) එවිට, ඔවුන් සංවාදය නතර කර දැමීමට නැඹුරු වන විටදී පවා, ඔවුන්ට කල්පනා කර බැලීමට යම් වර්ධනය ගෙන දෙනසුලු දෙයක් තබා ඒමට ඔබ සමත් වී ඇත. ඒ හේතුවෙන්ම වෙනත් අවස්ථාවකදී සවන් දීමට ඔහු වැඩි කැමැත්තක් පවා දැක්විය හැක.
ඒ හා සමානව, කතාවක් දීමට ආරාධනාවක් ලැබෙන විට නිෂේධාත්මක තොරතුරු රැසක් සොයාගත හැකි නිසාම එවන් තොරතුරුවලින් ඔබේ සබය විඩාවට පත් නොකරන්න. මිනිස් පාලකයන්ගේ අසමත්කම්, ප්‍රචණ්ඩකාරිත්වය සහ අපරාධ පිළිබඳ වාර්තා, දුරාචාරය තැතිගන්වනසුලු අන්දමින් හාත්පස පැතිරී ඇති ආකාරය ආදිය ගැන කථිකයෙකු දිගින් දිගටම කතා කරනවා නම්, සබයට මානසික වශයෙන් යම් කිසි කලකිරීමක් දැනිය හැක. එමනිසා යම් විෂයක නිෂේධාත්මක පැත්තක් හඳුන්වා දිය යුත්තේ එයින් ප්‍රයෝජනවත් අරමුණක් ඉටු වනවා නම් පමණි. ඔබේ කතාවේ තොරතුරු කොතරම් කාලෝචිතද යන්න එවන් තොරතුරු ස්වල්පයක් ඉදිරිපත් කිරීමෙන් කාවැද්දිය හැක. යම්කිසි තත්වයකට හේතු වන ප්‍රධාන සාධකයන් හඳුන්වා දීමටත්, බයිබලයෙහි සඳහන් විසඳුම් එතරම්ම ප්‍රායෝගික වීමට හේතු පෙන්වා දීමටත් ඒවා උපකාරවත් වේ. එනමුත්, හැකි සෑම අවස්ථාවකදීම, ගැටලු ගැන දිගින් දිගට කතා නොකර, නිශ්චිත කරුණු කිහිපයක් සඳහන් කරන්න.
කතාවකින් නිෂේධාත්මක තොරතුරු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සාමාන්‍යයෙන් කළ නොහැක්කකි. එමෙන්ම එසේ කිරීම සුදුසු වන්නේද නැත. අභියෝගය වන්නේ හොඳ පැතිවල සහ නිෂේධාත්මක පැතිවල සම්මිශ්‍රණයක් ඉදිරිපත් කරමින් සමස්තයක් ලෙස ඒකාන්ත බලපෑමක් ඇති කිරීමයි. මෙය ඉටු කිරීමට නම්, ඇතුළත් කළ යුතු තොරතුරු සහ බැහැර කළ යුතු තොරතුරු මොනවාදැයි තීරණය කරමින්, අවධාරණය කළ යුතු දේ කුමක්දැයි නිශ්චය කරගැනීම අවශ්‍යය. කන්ද උඩ දේශනාවේදී, ලියන්නන්ගේ සහ ඵරිසිවරුන්ගේ ආත්මාර්ථකාමී ආකල්පවලින් වැළකී සිටීමට තම ශ්‍රාවකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටි යේසුස්, තම අදහස් විස්තර කිරීමට උදාහරණ කිහිපයක්ම සඳහන් කළේය. (මතෙ. 6:1, 2, 5, 16) කෙසේවෙතත් එම ආගමික නායකයන්ගේ අවාදර්ශයන් ගැන ඔහු දිගින් දිගට කතා කළේ නැත. ඒ වෙනුවට යේසුස් අවධාරණය කළේ දෙවි සැබවින්ම බලාපොරොත්තු වන ගමන් මාර්ගය තේරුම්ගැනීමෙත් ඊට එකඟව ජීවත් වීමෙත් අවශ්‍යතාවයි. (මතෙ. 6:3, 4, 6-15, 17-34) ඉන් ඇති වුණු බලපෑම නම් ඒකාන්ත ලෙස සිතීමට ඔහුගේ සවන්දෙන්නන් තුළ ප්‍රබල පෙලඹීමක් ඇතිවීමයි.
ඒකාන්ත ස්වරයකින් කතා කරන්න. ඔබට සභාවෙහි, ක්‍රිස්තියානි සේවාවෙහි එක්තරා අංගයක් ගැන කතා කිරීමට සිදු වේ නම්, විවේචනාත්මක එළඹීමක් යොදාගන්නවා වෙනුවට ගොඩනංවනසුලු ආකාරයකින් කතා කිරීමට උත්සාහ කරන්න. තවද ඔබ කරන්න කියා අන් අයට දිරිගන්වන දේ ඔබ අතින් කෙරෙන බවට වගබලා ගන්න. (රෝම 2:21, 22; හෙබ්‍රෙ. 13:7) ඔබ යමක් පවසන විට, එය පවසන්නේ කෝපයෙන් නොව ප්‍රේමය නිසාවෙනි. (2 කොරි. 2:4) යෙහෝවාව සතුටු කිරීමට ආශාවක් සෙසු ඇදහිලිවන්තයන් තුළ තිබෙන බව ඔබට නිසැක නම්, එම නිසැකකම ඔබ පවසන දෙයින් පිළිබිඹු වන අතර, එමගින් ලැබෙන යහපත් ප්‍රතිඵල බොහෝය. ප්‍රේරිත පාවුල් 1 තෙසලෝනික 4:1-12හි, 2 තෙසලෝනික 3:4, 5හි සහ පිලෙමොන් 4, 8-14, 21හි මෙවැනි නිසැකකමක් පළ කළ ආකාරය සැලකිල්ලට ගන්න.
ඇතැම් අවස්ථාවලදී අඥාන ක්‍රියාමාර්ගයක් නොගැනීමට සහෝදරයන්ට යම් අවවාද කිහිපයක් දීමට වැඩිමහල්ලන්ට සිදු වේ. එනමුත් තම සහෝදරයන් සමඟ මෘදු ලෙස කටයුතු කිරීමට යටහත් පහත් ආකල්පයක් උපකාරවත් වනු ඇත. (ගලා. 6:1) යමක් පවසන විට, එය පවසන ආකාරයෙන් සභාවේ සාමාජිකයන්ව ගෞරවයෙන් සලකන බවට පැහැදිලි විය යුතුය. (1 පේතෘ. 5:2, 3) තරුණ පුරුෂයන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව බයිබලය උපදෙස් දෙයි. (1 තිමෝ. 4:12; 5:1, 2; 1 පේතෘ. 5:5) යම් අවවාදයක්, හික්මවීමක් දීමට, නිවැරදි කිරීමක් කිරීමට සිදු වන විට ඊට පදනම සැපයිය යුත්තේ බයිබලයෙහි සඳහන් අදහස්ය. (2 තිමෝ. 3:16) කථිකයෙකු ප්‍රබලව දරන යම් කිසි මතයකට අනුබල දීම සඳහා ශුද්ධ ලියවිල්ල කිසි විටෙකත් යොදා නොගත යුතුය. එම මතය වලංගු කිරීමට ශුද්ධ ලියවිලිවල අරුත් තම මතය පරිදි සකස් කිරීමට හෝ විකෘති කර දැක්වීමට ඔහුට කිසිදු අවසරයක් නැත. ඇතැම් අවස්ථාවලදී නිවැරදි කරවන උපදෙස් දීමට සිදු වන විට කතාව දිගටම ඒකාන්ත මුහුණුවරකින් ඉදිරිපත් කළ හැක. වැරදි ක්‍රියාවලට සම්බන්ධ වීමෙන් වැළකී සිටිය හැකි අයුරු, ගැටලු නිරාකරණය කළ හැකි අන්දම, දුෂ්කරතා ජයගත හැකි ආකාරය, වැරදි ක්‍රියාමාර්ගයක් නිවැරදි කරගත හැකි අයුරු සහ යෙහෝවා බලාපොරොත්තු වන දේවල් අපට ආරක්ෂාවක් වන අන්දම වැනි දේවලට මුල් තැන දී කතා කිරීමෙන් එවැන්නක් කරන්නට පුළුවන.—ගීතා. 119:1, 9-16.
කතාව සූදානම් වන අවස්ථාවේදී සෑම මූලික කරුණක්ම අවසන් කරන ආකාරය ගැනත්, සම්පූර්ණ කතාව අවසන් කරන ආකාරය ගැනත් හොඳින් සිතා බලන්න. සාමාන්‍යයෙන් හොඳටම මතකයෙහි රැඳෙන්නේ අන්තිමට පවසන දෙයයි. එසේ නම්, ඒ අන්තිමට පවසන දේ ඒකාන්ත දෙයක් වනු ඇද්ද?
සෙසු ඇදහිලිවන්තයන් සමඟ අදහස් හුවමාරු කරන විටදී. යෙහෝවාගේ සේවකයන් ක්‍රිස්තියානි රැස්වීම්වලදී එකට ඇසුරු කිරීම සඳහා ලැබෙන ප්‍රස්තාවන් දෙස බලන්නේ ඉමහත් අගයකිනි. මෙවැනි අවස්ථාවලදී අපි ආත්මික ප්‍රබෝධයක් භුක්ති විඳිමු. අප නමස්කාරය සඳහා රැස්වන විට ‘එකිනෙකාට ධෛර්යය දීමේ’ අවශ්‍යතාව සිතෙහි තබාගැනීමට බයිබලය දිරිගන්වයි. (හෙබ්‍රෙ. 10:25, න. අ.) රැස්වීම් අතරතුරේදී ඉදිරිපත් කරනු ලබන කතාවලින් සහ අදහස්වලින් පමණක් නොව, රැස්වීම්වලට පෙර සහ පසුව අදහස් හුවමාරු කරගනිද්දීද එවැන්නක් සිදු කෙරේ.
අප සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයෙහි කාරණා කටයුතු ගැන කතා කිරීමට පෙලඹුණත්, වැඩිම දිරිගැන්වීමක් ලැබෙන්නේ ආත්මික කාරණා එකිනෙකා සමඟ සාකච්ඡා කිරීමෙනි. අප පරිශුද්ධ සේවයෙහි නිරත වී ලබන අද්දැකීම් බෙදාගැනීම මීට ඇතුළත් වේ. එකිනෙකා කෙරෙහි කාරුණික සැලකිල්ලක් දැක්වීමද ගොඩනංවනසුලු දෙයකි.
අවට ලෝකයේ බලපෑම නිසා අප පරෙස්සම් විය යුතුය. පාවුල් එපීසයේ ක්‍රිස්තියානීන්ට ලියමින් මෙසේ පැවසීය. “එහෙයින් බොරුකීම අත්හැර දමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කතා කරන්න.” (එපී. 4:25) බොරුව වෙනුවට සත්‍යය කතා කිරීමට ඇතුළත් වන දෙයක් නම්, ලෝකයේ මිනිසුන් දේවත්වයේ ලා සලකන හෝ මහත් ආශාවෙන් සලකන දේවල් ගෞරවයෙන් නොසැලකීමය. ඒ හා සමානව ‘ධනයේ මුළා කරවන බලපෑම’ ගැනද යේසුස් අවවාද කළේය. (මතෙ. 13:22, NW) එමනිසා, අප ද්‍රව්‍යමය දේවල් අත් කරගැනීම ගැන මහ ලොකුවට කතා කරන්නේ නැත. එවැනි මුළා කරවනසුලු දේවලට දිරි දෙන අයුරින් කතා නොකිරීමට අප වගබලා ගත යුතුය.—1 තිමෝ. 6:9, 10.
ගොඩනංවනසුලු වීමේ අවශ්‍යතාව ගැන උපදෙස් දුන් විට ප්‍රේරිත පාවුල් අපගෙන් උදක්ම ඉල්ලා සිටියේ ‘ඇදහිල්ලේ යම් දුර්වලකමක්’ නිසා ඇතැම් දේවලින් වැළකී සිටිය හැකි සහෝදරයෙකුව විනිශ්චය නොකර සිටීමට හෝ සුළු කොට නොතැකීමටය. එම සහෝදරයා සමහරවිට එසේ කරන්නේ ක්‍රිස්තියානියෙකුට භුක්තිවිඳිය හැකි නිදහසේ සම්පූර්ණ පරාසය නොතේරෙන නිසා විය හැකිය. එබැවින්, අපගේ කතා බහෙන් එකිනෙකාව ගොඩනැංවීමට නම්, අප ඔවුන්ගේ පසුබිම සහ ඔවුන් ආත්මික වශයෙන් කොතරම් වර්ධනයක් ලබා ඇද්ද යන්න සැලකිල්ලට ගත යුතුය. එසේ නම්, අපගේ “සහෝදරයා [හෝ සහෝදරිය] ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත්” තැබීම මොනතරම් කනගාටුදායක දෙයක් වනු ඇද්ද!—රෝම 14:1-4, 13, 19.
ඇතැම් අය ඉතා බරපතළ පෞද්ගලික ගැටලුවලට මුහුණ දෙති. නිදසුනකට, නිදන්ගත රෝගයක් සමඟ පොරබදමින් සිටින අය සමඟ ගොඩනංවනසුලු සංවාදයක් පැවැත්වීමෙන් ඔවුන්ට ඉමහත් ධෛර්යයක් ලබාගත හැකි වේ. එවන් කෙනෙකු රැස්වීම්වලට පැමිණීම සඳහා දරන්නේ ඉමහත් උත්සාහයකි. ඔහුගේ තත්වය ගැන දන්නා අයට ඔහුගෙන් මෙසේ විමසිය හැක. “සහෝදරයා, ඉතිං කොහොමද?” සෙසු සහෝදරයන් මෙලෙස දක්වන සැලකිල්ල ඔහු බෙහෙවින් අගය කරනවාට සැකයක් නොමැත. කෙසේවෙතත්, ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන කතා කිරීම ඔහුට එතරම් දිරිගන්වන විෂයක් නොවිය හැක. අවංක අගයක් සහ ප්‍රශංසාවක් ඔහුට පිරිනැමීම ඉමහත් අස්වැසිල්ලක් වේවි. ඔහුට යෙහෝවා කෙරෙහි අඛණ්ඩ ප්‍රේමයක් ඇති බවත්, දුෂ්කර තත්වයක් මැද පවා විඳදරාගනිමින් සිටින බවත් ඔබට පෙනේද? ඔහුගේ අදහස්වලට සවන් දෙන විට යම් දිරිගැන්වීමක් ඔබට ලැබෙනවාද? එසේ නම්, ඔහුගේ දුබලතා ගැන කතා කරනවා වෙනුවට, ඔහුගේ ශක්තිමත් පැති, ඔහු සභාවේ වර්ධනයට දායක වන ආකාරය වෙත අවධානය යොමු කිරීම වඩා ගොඩනංවනසුලු දෙයක් නොවේද?—1 තෙස. 5:11.
අපගේ සංවාදයන් ගොඩනංවනසුලු ඒවා ලෙස පවත්වාගැනීමට නම්, සාකච්ඡා කරනු ලබන දේවල් සම්බන්ධයෙන් යෙහෝවා දරන දෘෂ්ටිය සලකා බැලීම විශේෂයෙන්ම වැදගත්ය. පුරාණ ඉශ්‍රායෙල්හි යෙහෝවාගේ නියෝජිතයන්ට විරුද්ධව හා මන්නා සම්බන්ධයෙන් මැසිවිලි නැඟූ අය දෙවිගේ දැඩි අප්‍රසාදයට ලක් වූහ. (ගණන්. 12:1-16; 21:5, 6) මෙම උදාහරණවලින් අප ප්‍රයෝජන ලබා ඇති බව ඔප්පු කරන්නේ කෙසේද? වැඩිමහල්ලන්ට ගෞරවය කරමින්, විශ්වාස වූ නුවණැති දාසයා මාර්ගයෙන් සපයා ඇති ආත්මික ආහාරවලට අපගේ අගය පළ කිරීමෙනි.—1 තිමෝ. 5:17.
අපගේ ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ සිටින විට, සාකච්ඡා කිරීම සඳහා ප්‍රයෝජනදායක විෂයන් සෙවීම එතරම් දුෂ්කර කටයුත්තක් නොවේ. කෙසේවෙතත්, යමෙකුගේ මුවින් යම් විවේචනාත්මක අදහස් බොහෝ සෙයින් පළ වන විටකදී, සාකච්ඡාව වර්ධනය ගෙන දෙන දිශාවකට යොමු කිරීමට මූලික පියවර ගැනීම යහපති.
එසේ නම් අප අන් අයට සාක්ෂි දරන විට හෝ, වේදිකාවෙන් කතා ඉදිරිපත් කරන විට හෝ, සෙසු ඇදහිලිවන්තයන් සමඟ කතා බහ කරන විට විචාර බුද්ධිය පාවිච්චි කිරීමට උත්සාහ දරමු. එවිට “අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය වීම සඳහා යහපත් දේම” අපගේ හදපත්ලෙන්ම පිට කිරීමට හැකි වනවා නොඅනුමානය.—එපී. 4:29.