පාඩම 35
අවධාරණය සඳහා නැවත කීම
බලපෑමෙන් යුතුව ඉගැන්වීමට ඇතුළත් එක් දෙයක් වන්නේ නැවත කීමේ කලාව උපයෝගි කරගැනීමය. වැදගත් කරුණක් එක් වතාවකට වඩා වැඩියෙන් සඳහන් කරන විට, පැමිණ සිටින අයට එය මතක තබාගැනීම පහසුය. ඒ අදහස මදක් වෙනස් මුහුණුවරකින් නැවත සඳහන් කරන විටද, එය වඩාත් පැහැදිලිව තේරුම්ගැනීමට ඔවුන්ට පුළුවන.
ඔබ පැවසූ දේ මතක තබාගැනීමට ඔබේ සවන්දෙන්නන්ට බැරි නම්, ඔවුන් විශ්වාස කරන දේ හෝ ඔවුන් සිය දිවි ගත කරන ආකාරය කෙරෙහි යම් යහපත් බලපෑමක් කිරීමට ඔබේ වචනවලින් කිසිදු කාර්යයක් ඉටු වී නැත. ඔවුන් බොහෝ දුරට, දිගින් දිගටම ඔබ විශේෂයෙන් අවධාරණය කළ කරුණු ගැන කල්පනා කරනු ඇත.
අපගේ උදාර උපදේශකයා වන යෙහෝවා නැවත කීම නමැති කලාව යොදාගැනීම සම්බන්ධයෙන් අපහට ආදර්ශයක් තබයි. ඉශ්‍රායෙල් ජාතියට දස පනත දුන්නේ ඔහුය. දේවදූතයෙකුව උපයෝගි කරගනිමින් සීනයි කන්දේදී එම ආඥාවලට සවන් දීමේ ප්‍රස්තාවක් ඔහු ඉශ්‍රායෙල් ජාතියට ලබා දුන්නේය. අනතුරුව, ඔහු ඒවා මෝසෙස්ට ලිඛිත ස්වරූපයෙන් දුන්නේය. (නික්. 20:1-17; 31:18; ද්වි. 5:22) යෙහෝවාගේ මඟ පෙන්වීමට එකඟව, ඉශ්‍රායෙල් ජාතිය පොරොන්දු දේශය තුළට පිවිසෙන්නට කලින් මෝසෙස් එම ආඥා ඔවුන්ට කියෙව්වේය. අනතුරුව ශුද්ධාත්මයේ මඟ පෙන්වීමෙන් මෝසෙස් ඒවා ලිඛිතව වාර්තා කළ අතර, අපට ඒවා ද්විතීය කථාව 5:6-21හි සොයාගත හැකිය. ඉශ්‍රායෙලිතයන්ට දෙන ලද ආඥා අතුරින් යෙහෝවාට ඔවුන්ගේ මුළු ආත්මයෙන්, හදවතින් සහ ශක්තියෙන් ප්‍රේම කිරීමේ හා සේවය කිරීමේ ආඥාව විය. මෙම ආඥාද නැවත නැවතත් සඳහන් කරන ලදි. (ද්වි. 6:5; 10:12; 11:13; 30:6) මන්ද? යේසුස් පැවසූ පරිදි එය ‘උතුම්ම සහ පළමුවෙනි ආඥාව’ වූ නිසාය. (මතෙ. 22:34-38) අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා යූදාහි ජනතාවට 20 වතාවකටත් වැඩිය සිහිගැන්වූයේ ඔහු විසින් ඔවුන්ට අණ කරන ලද සියල්ලට කීකරු වීම කොතරම් බැරෑරුම් දෙයක් වූවාද යන්නයි. (යෙරෙ. 7:23; 11:4; 12:17; 19:15) තවද “මා යෙහෝවා බව දැනගැනීමට සිදු වන” බව එසකියෙල් මාර්ගයෙන් ජාතීන්ට 60 වතාවකටත් වැඩියෙන් සඳහන් කළේය.—එස. 6:10; 38:23; NW.
යේසුස්ගේ දේවසේවය පිළිබඳ වාර්තා සලකා බලන විටත්, නැවත කීමේ කලාව බලපෑමෙන් යුක්තව භාවිත කළ බව අපට දැකගත හැකිය. නිදසුනකට සුවිශේෂ වාර්තා සතර සලකා බලන්න. මේ සෑම වාර්තාවකම පාහේ පියවා ඇති වැදගත් සිදුවීම් වෙනත් සුවිශේෂයක හෝ සුවිශේෂයන් කිහිපයක දක්නට ලැබේ. එනමුත් එකම සිදුවීම් දෙස බලන කෝණය එකිනෙකට වෙනස් බවක් දක්නට ලැබේ. තම ඉගැන්වීම්වලදී යේසුස් එකම කාරණය කිහිප වතාවක්ම සඳහන් කළ නමුත්, එය ඉදිරිපත් කළ සෑම අවස්ථාවකදීම වෙනස් මුහුණුවරක් යොදාගත්තේය. (මාක් 9:34-37; 10:35-45; යොහ. 13:2-17) තම මරණයට දින කිහිපයකට පෙර ඔලීව කන්දේ සිටි අවස්ථාවකදී යේසුස් ඉතා වැදගත් උපදෙසක් අවධාරණය කිරීමට භාවිත කළේ නැවත කීමේ කලාවයි. “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ පැමිණෙනවාදැයි ඔබ දන්නේ නැත” යන්න ඔහුගේ අවවාදය විය.—මතෙ. 24:42; 25:13; NW.
ක්ෂේත්‍ර සේවයෙහි නිරත වන විටදී. ජනයාට සාක්ෂි දරන විට, ඔබේ බලාපොරොත්තුව වන්නේ ඔබ පවසන දේ ඔවුන් විසින් සිහියේ තබාගැනීමයි. එම ඉලක්කය අත් කරගැනීමට නැවත කීමේ කලාව දක්ෂ ලෙස යොදාගැනීමෙන් හොඳ ප්‍රතිඵල නෙළාගත හැකි වේ.
සාමාන්‍යයෙන් යම් කාරණයක් සාකච්ඡා කරනු ලබන අවස්ථාවේදී එය නැවත සඳහන් කිරීම අමතනු ලබන පුද්ගලයාගේ මනසෙහි එය සනිටුහන් කිරීමට උපකාරවත් වේ. එමනිසා, ශුද්ධ ලියවිලි පදයක් කියවීමෙන් අනතුරුව එහි අදාළ කොටසකට යොමු දක්වමින් “එම පදයෙහි භාවිත කර ඇති වචන පෙළ ඔබ දුටුවාද” යයි අසමින් අවශ්‍ය කාරණය අවධාරණය කරන්නට පුළුවන.
සංවාදයකදී අවසාන වශයෙන් පවසන වාක්‍ය කිහිපය බලපෑමෙන් යුතුව භාවිත කළ හැකිය. නිදසුනකට, මෙසේ පවසන්න. “අපේ සාකච්ඡාවෙන් මතක තබාගත යුතු ප්‍රධාන කාරණය මෙයයි . . .” ඉන්පසුව, නැවත ඒ ප්‍රධාන කාරණය සරලව පවසන්න. මෙවැන්නක්ද කළ හැකියි. “පොළොව සඳහා දෙවිගේ අරමුණ නම් එය පාරාදීසයක් බවට පත් කිරීමයි. එම අරමුණ නිසැකවම ඉටු වේවි.” එසේ නැතහොත් මෙවැනි දෙයක් පවසන්න. “දැන් පවතින මෙම දුෂ්ට ක්‍රමයේ අන්තිම දවස්වල අප ජීවත් වන බව බයිබලයෙහි පැහැදිලිව පෙන්වා තිබේ. එහි අවසානයෙන් අපගේ දිවි ගළවාගැනීමට නම්, දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ මොනවාද කියා ඉගෙනගත යුතුයි.” තවත් නිදසුනක් සලකා බලන්න. “අපගේ සාකච්ඡාවෙන් දුටු දෙයක් නම්, පවුල් ජීවිතයේ ගැටලුවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් බයිබලයෙහි ඉතා ප්‍රායෝගික උපදෙස් තිබෙන බවයි.” ඇතැම් අවස්ථාවලදී, මතක තබාගත යුතු කාරණය ලෙස බයිබලයෙන් උපුටාගත් දෙයක් ඔබට නැවත සඳහන් කරන්නට පුළුවන. කෙසේවෙතත්, මෙය බලපෑමෙන් යුතුව කිරීමට කල්තියාම ඒ ගැන කල්පනා කර සූදානම් විය යුතුය.
බයිබල් පාඩම් සහ නැවත බැලීම්වලදී, නැවත කීම සඳහා පුනරීක්ෂණ කොටුවේ ප්‍රශ්න සාකච්ඡා කරන්නට පුළුවන.
පුද්ගලයෙකුට බයිබලයෙහි සඳහන් උපදෙස් තේරුම්ගැනීම හෝ අදාළ කිරීම අසීරු වන විට, එකම විෂය අවස්ථා කිහිපයකම සාකච්ඡා කිරීමට සිදු විය හැක. මෙහිදී එකම දේ වෙන වෙනම කෝණ කිහිපයකින් සලකා බලන්නට උත්සාහ දරන්න. දීර්ඝ සාකච්ඡා පැවැත්වීම අවශ්‍ය වන්නේ නැත. එනමුත් එම කාරණය ගැන දිගටම කල්පනා කිරීමට ශිෂ්‍යයාට දිරිගැන්විය යුතුය. ප්‍රමුඛත්වය ලබාගැනීමේ ආශාව මැඩපැවැත්වීමට තම ගෝලයන්ට උපකාර කළ විට, යේසුස් මෙයාකාරයෙන් නැවත කීමේ කලාව යොදාගත් බව මතක තබාගන්න.—මතෙ. 18:1-6; 20:20-28; ලූක් 22:24-27.
කතා ඉදිරිපත් කරන විටදී. ඔබ වේදිකාවේ සිට කතා දෙනවා නම්, ඔබේ පරමාර්ථය නිකම්ම තොරතුරු කිහිපයක් ඉදිරිපත් කිරීම නොවේ. ඔබේ ආශාව වන්නේ එම තොරතුරු සබය විසින් තේරුම්ගැනීමත්, මතක තබාගැනීමත්, අදාළ කරගැනීමත්ය. එම අරමුණ ඉටු කරගැනීමට, නැවත කීමේ කලාව දක්ෂ ලෙස භාවිත කරන්න.
කෙසේවෙතත්, ඔබ මූලික කරුණු නැවත නැවත කිහිප වතාවක්ම සඳහන් කරනවා නම්, ඔබේ සබයේ අවධානය වෙනතකට යොමු විය හැක. මේ නිසා විශේෂයෙන් අවධාරණය කළ යුතු වන්නේ කවර කරුණුද කියා හොඳින් තෝරාගන්න. ඔබේ කතාව ගොඩනැඟීමට ඉවහල් වන මූලික කරුණු මීට ඇතුළත් කරගත හැක. එසේ නැතහොත්, ඔබේ සබයට විශේෂ වටිනාකමක් තිබිය හැකි වෙනත් අදහස්ද මීට ඇතුළත් කරන්නට පුළුවන.
නැවත කීමේ කලාව යොදාගැනීම සඳහා හැඳින්වීමේදී ඔබේ මූලික කරුණු පෙළගැස්විය හැක. මේ සඳහා ඔබ පියවන කරුණු පිළිබඳව සමස්ත අදහස් ලබා දෙන කෙටි වාක්‍ය කිහිපයක් යොදාගන්න. එසේ නැතහොත් ප්‍රශ්න කිහිපයක් අසන්න. එසේත් නැත්නම්, පසුව විසඳනු ලබන ගැටලු සමහරක් අවධාරණය කරන කෙටි උදාහරණ කිහිපයක් සඳහන් කරන්න. මූලික කරුණු සංඛ්‍යාව සඳහන් කර, ඒවාට අංක යොදා පෙළගැස්වීමටද පුළුවන. ඊළඟට, ඔබේ කතාවේ ශරීරයට පිවිසෙන විට, මේ එක් එක් කරුණ ගොඩනඟන්න. ඔබේ කතාවේ ශරීරය ගොඩනඟද්දී අවධාරණය ප්‍රබලව යොදාගත හැකිය. එසේ කිරීම සඳහා එක් කරුණක සිට ඊළඟ කරුණ වෙතට පිවිසීමට පෙර, සලකා බලන එක් එක් මූලික කරුණ නැවත සඳහන් කරන්න. එසේ නැතහොත්, සාකච්ඡා කරන මූලික කරුණ අදාළ වන අන්දම පෙන්නුම් කරන උදාහරණයක් සඳහන් කිරීමෙන්ද මෙවැන්නක් ඉටු කරගත හැකිය. කතාවේ අවසානය ඔබේ මූලික කරුණු තවදුරටත් අවධාරණය කිරීම සඳහා පාවිච්චි කිරීමටද පුළුවන. අවසානයේදී ඒවා නැවත සඳහන් කළ හැකිය. ඉස්මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැක. ඉදිරිපත් කළ ගැටලුවලට කෙටියෙන් විසඳුම් සඳහන් කරන්නට පුළුවන. එසේ නැතහොත් එම කරුණු අදාළ කරගතහොත් සිදු වන දේ හා එසේ නොකළහොත් සිදු වන දේ අතර වෙනස උලුප්පා දැක්විය හැක.
ඉහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමට අමතරව, අද්දැකීම් ලත් කථිකයෙක් තම සබය සෑදී ඇත්තේ කවර අන්දමේ අයගෙන්ද යන්න හොඳින් නිරීක්ෂණය කරයි. යම් අදහස් ග්‍රහණය කරගැනීම ඇතැමුන්ට දුෂ්කර බව දක්නට ලැබේ නම්, එවන් කථිකයෙකුට එය වහාම දැනේ. එම කාරණය වැදගත් නම්, ඔහු එය නැවතත් පියවයි. කෙසේවෙතත්, තම අරමුණ ඉටු කිරීමට ඔහු එකම දේ නැවත කියන්නේ නැත. ඉගැන්වීමක් කිරීමට ඊට වඩා වැඩි යමක් කළ යුතුය. ඔහු උද්ගත වී ඇති තත්වයට අනුව සකස් වේ. ඒ මොහොතේදීම සබයේ අවශ්‍යතාව ඉටු කිරීමට අමතර අදහස් කිහිපයක් එකතු කිරීමට සිදු විය හැක. මෙලෙස සබයේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන කරුණු ඉදිරිපත් කිරීමට ඉගෙනගන්න. මෙය ගුරුවරයෙකු ලෙස ඔබේ ඉගැන්වීම කොතරම් බලපෑමෙන් යුක්තද යන්න තීරණය කිරීමට හොඳ මිනුම් දණ්ඩක් වනු ඇත.