පාඩම 36
තේමාව ගොඩනැඟීම
තේමාවක් ඇතුව කතාවක් ඉදිරිපත් කිරීම කොතරම් වටිනවාද යන්න අද්දැකීම් ලත් කථිකයන් හොඳින් දන්නා දෙයකි. කතාවකට තේමාවක් තිබෙන විට, එය සූදානම් වෙද්දී තේමාවට අදාළ ක්ෂේත්‍රයට පමණක් යොමු වී තොරතුරු එක් රැස් කොට එම සුවිශේෂ වූ තොරතුරු ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට පුළුවන. ප්‍රතිඵලයක් ලෙස කරුණු රැසක් මතුපිටින් පියවනවා වෙනුවට, සබයට වඩා ප්‍රයෝජනවත් වන අන්දමකින් තොරතුරු ඔවුන්ටම අදාළ වන ආකාරයකින් ගොඩනැඟීමට ඔවුහු සමත් වෙති. මූලික කරුණු තේමාවට කෙළින්ම සම්බන්ධ වන විටත්, තේමාව ගොඩනැඟීමට ඉවහල් වන විටත්, සබයට එම කරුණු මතක තබාගැනීම පහසුය. එමෙන්ම ඒවායෙහි වැදගත්කම අවබෝධ කරගැනීමටද ඔවුන්ට පුළුවන.
ඔබේ තේමාව යනු ඔබ කතා කරන විෂය බව පැවසීම යම් දුරකට නිවැරදිය. එනමුත් ඔබේ තේමාව, ඔබ කතා කරන විෂය දෙස බලන එක්තරා කෝණයක් ලෙස සලකා ගොඩනඟන විට, ඔබේ කතාවල ගුණාත්මකභාවය දියුණු වන බව ඔබට පෙනී යනු ඇත. නිදසුනකට, රාජ්‍යය, බයිබලය සහ නැවත-නැඟිටීම යනු ඉතා පුළුල් විෂයන් කිහිපයකි. එනමුත් මෙම විෂයන් පදනම් කරගෙන තේමාවන් රැසක් ගොඩනැඟිය හැක. නිදසුන් කිහිපයක් සලකා බලන්න. “රාජ්‍යය, සැබෑ ආණ්ඩුවකි,” “පෘථිවිය පාරාදීසයක් බවට පත් කරන දේවරාජ්‍යය,” “දේවානුභාවයෙන් ලියන ලද බයිබලය,” “වර්තමානයට ප්‍රායෝගික මඟ පෙන්වීමක් සපයන බයිබලය,” “වියෝ දුකින් පෙළෙන්නන්ට නැවත-නැඟිටීමෙන් බලාපොරොත්තුවක්” සහ “පීඩා හමුවෙහි ස්ථිරව සිටීමට නැවත-නැඟිටීමේ බලාපොරොත්තුව අපට රුකුලකි.” ඉහත සඳහන් සෑම තේමාවක්ම ගොඩනැඟීමට අවශ්‍ය වන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් එළඹීම්ය.
බයිබලයෙහි බලපවත්වන තේමාවට සමගාමීව යේසුස් ක්‍රිස්තුස් සිය භූමික සේවය ඉටු කරද්දී, “ස්වර්ග රාජ්‍යය ළං වී තිබේය” යන තේමාව ඔහුගේ දේශනා සේවයෙන් අවධාරණය කෙරිණ. (මතෙ. 4:17) එම තේමාව ගොඩනඟනු ලැබුවේ කෙසේද? සුවිශේෂ වාර්තාවල එම රාජ්‍යය ගැන අවස්ථා 110කට වැඩි ප්‍රමාණයක් සඳහන් වී තිබේ. එනමුත් යේසුස් නිකම්ම “රාජ්‍යය” යන වචනය නැවත නැවතත් භාවිත කළේ නැත. යේසුස් ඉගැන්වූ දෙයින්, සිදු කළ ප්‍රාතිහාර්යයන් මගින් මෙම රාජ්‍යය ගැන කාරණා කිහිපයක් පැහැදිලිව දක්වන ලදි. පැමිණ සිටි තැනැත්තා වශයෙන් ඔහු දෙවිගේ පුත්‍රයා සහ මෙසියස් බවත්, රාජ්‍යය යෙහෝවා විසින් ඔහුට භාර දෙන බවත් ඔහු අවධාරණය කළේය. ඔහු මාර්ගයෙන් එම රාජ්‍යයෙහි පංගුකාරයන් වීමට වෙනත් අයට මං විවෘත වන බවත් යේසුස් විසින් පෙන්වා දෙන ලදි. එම වරප්‍රසාදය ලබන අය විසින් විදහාපෙන්විය යුතු ගුණාංග මොනවාද යන්නත් ඔහු අනාවරණය කළේය. සිය ඉගැන්වීම් සහ බලවත් ක්‍රියා මගින් දේවරාජ්‍යය ජනයාගේ ජීවිතයට බලපාන ආකාරයද පැහැදිලි කරන ලදි. තවද දෙවිගේ ආත්මය මාර්ගයෙන් ඔහු භූතයන්ව පලවාහැරිය විට, එය “දෙවිගේ රාජ්‍යය” සැබවින්ම ඔහුගේ සවන්දෙන්නන් කරා “පැමිණ” තිබූ බවට සාක්ෂියක් ලෙසද දැක්වීය. (ලූක් 11:20) යේසුස් තම අනුගාමිකයන්ට පැවරුවේ එම රාජ්‍යය ගැන සාක්ෂි දැරීමටයි.—මතෙ. 10:7; 24:14.
උචිත තේමාවක් භාවිත කිරීම. බයිබලයෙහි තේමාවක් ගොඩනඟා ඇති ආකාරයටම තේමාවක් ගොඩනැඟීමට ඔබෙන් බලාපොරොත්තු වන්නේ නැත. එනමුත්, උචිත තේමාවක් තෝරාගැනීමේ වැදගත්කම සුළු කොට නොතැකිය යුතුය.
තේමාවක් තේරීමේ කාර්යය ඔබට භාර දී ඇත්නම්, මුලින්ම ඔබේ ඉදිරිපත් කිරීමේ පරමාර්ථය සලකා බලන්න. ඊළඟට ඔබේ දළ සටහන සෑදීමට උපකාරවත් වන මූලික කරුණු තෝරාගන්නා විට, ඒවා ඔබ තෝරා ඇති තේමාවට සැබවින්ම ගැළපෙනවාද, අනුබල දෙනවාද යන්න සහතික කරගන්න.
ඔබට තේමාවක් පවරා ඇත්නම්, ඔබේ තොරතුරු ගොඩනැඟිය යුතු ආකාරය සම්බන්ධයෙන් ඉන් ලැබෙන ඉඟි පරෙස්සමින් විග්‍රහ කර බලන්න. එවන් තේමාවක් වැදගත් වන්නේ මන්ද සහ එය ගොඩනැඟීමෙන් ඉටු කරගත හැක්කේ කුමක්ද යන්න හොඳින් අවබෝධ කරගැනීමට සෑහෙන වෑයමක් දැරීමට සිදු විය හැක. පවරා ඇති තේමාව ගොඩනැඟීම සඳහා තොරතුරු තෝරාගැනීම ඔබට භාර නම්, තේමාව නාභිගතව තබාගත හැකි තොරතුරු තෝරාගැනීමට වගබලා ගන්න. අනික් අතට, තොරතුරු මූලාශ්‍ර ඔබට සපයා ඇත්නම්, එම තොරතුරු තේමාවට එකඟව භාවිත කරන්නේ කෙසේද යන්න විග්‍රහ කර බැලීම අවශ්‍යය. ඔබේ තොරතුරු සබයට වැදගත් වන්නේ මන්ද යන්නත්, ඒවා ඉදිරිපත් කරද්දී ඔබේ පරමාර්ථය කුමක්ද යන්නත් සලකා බැලිය යුතුය. මෙසේ කිරීමෙන් කතාව ඉදිරිපත් කරන විට අවධාරණය කළ යුතු දේවල් තීරණය කිරීමට හැකියාව ලැබේ.
තේමාව අවධාරණය කළ හැකි අන්දම. තේමාව නිසි ලෙස අවධාරණය කිරීම සඳහා ඔබේ තොරතුරු තෝරාගන්නා විටත්, පෙළගස්වන විටත් එයට අඩිතාලමක් දැමිය යුතුය. ඔබේ තේමාවට රුකුල් දෙන කරුණක් භාවිත කකරන්න. හොඳ දළ සටහනක් සූදානම් කිරීමට ඉවහල් වන ප්‍රතිපත්ති අනුගමනය කරන්න. එසේ කළහොත්, ඔබේ තේමාව නිරායාසයෙන්ම අවධාරණය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
තේමාවක් මනසෙහි තදින් සනිටුහන් කිරීමට නැවත කීමේ කලාව යොදාගත හැක. නිදසුනක් ලෙස ප්‍රේම ගීතයක් සලකා බලමු. ගීතය පුරාම ගායකයා තේමාව එනම්, තමන් ආදරය කරන පුද්ගලයා කෙරෙහි තමාට දැනෙන ප්‍රේමය යම් අන්දමකින් ප්‍රතිනාද කරයි. මෙම තේමාව විවිධ ක්‍රම ඇසුරෙන් නැවත ඉස්මතු කිරීමට සැලැස්විය හැකියි. “ප්‍රේමය” නමැති වචනයට සමානාර්ථ භාවිත කරන්නට පුළුවන. එසේ නැතහොත්, රූපාලංකාර, කාව්‍යමය භාෂාව හෝ වෙනත් නිදර්ශන භාවිත කළ හැකියි. කෙසේවෙතත්, ගීතය නිර්මාණය කර ඇත්තේ මූලික තේමාව කේන්ද්‍ර කරගෙනය. කතාවක තේමාව සම්බන්ධයෙන්ද කළ යුත්තේ එවන් දෙයකි. ගීතය පුරාම ප්‍රේමය නමැති තේමාව දිව යන්නාක් මෙන්, ඔබේ කතාවේ තේමාව පදනම් කරගත් ප්‍රධාන වචන නැවත සඳහන් කරන්නට පුළුවන. වෙනසකට එම ප්‍රධාන වචනවල සමානාර්ථ ඇති වචන භාවිත කළ හැකිය. එසේ නැතහොත් වෙනත් වචන යොදා තේමාවේ අදහසම පළ කරන්නට පුළුවන. එසේ කිරීමෙන් ඔබේ සබය මතක තබාගන්නා ප්‍රධාන අදහස තේමාව බවට පත් වනු ඇත.
මෙම ප්‍රතිපත්ති වේදිකාවේ සිට ඉදිරිපත් කරන කතාවලට පමණක් නොව නමුත් ක්ෂේත්‍ර සේවයෙහි කරන සාකච්ඡාවලටද අදාළ වේ. තේමාව කැපීපෙනෙන විට ඉතා කෙටි සාකච්ඡාවක් පවා මතක තබාගත හැකි එකක් බවට පත් වේවි. බයිබල් පාඩමකදී ඉගැන්වූ දේ වඩාත් පහසුවෙන් මතකයට නංවාගත හැක්කේ යම් තේමාවක් අවධාරණය කරගෙන ඇති විටය. කථිකයෙකු ලෙසත්, දෙවිගේ වචනය උගන්වන ගුරුවරයෙකු ලෙසත් ඔබ නෙළාගන්නා ප්‍රතිඵල වැඩිදියුණු කරගැනීමට තේමාවක් තෝරාගැනීම සහ එය ගොඩනැඟීම සඳහා ඔබ දරන වෑයම ඉමහත් වටිනාකමකින් යුක්තය.