පාඩම 39
බලපෑමෙන් යුත් අවසානයක්
ඔබේ කතාවේ ශරීරයට ඇතුළත් කළ යුතු තොරතුරු හොඳින් පර්යේෂණ කර පෙළගස්වා තිබෙනවා විය හැක. සූදානම් කර ඇති හැඳින්වීමද උනන්දුව අවදි කරවන්නක් විය හැක. එනමුත්, තව එක දෙයක් අවශ්‍යය. එනම් බලපෑමෙන් යුත් අවසානයකි. එහි වැදගත්කම අවතක්සේරු නොකරන්න. සාමාන්‍යයෙන් මතකයේ බොහෝ කලක් රැඳෙන්නේ අන්තිමට පවසන දෙයයි. එමනිසා, අවසානය දුර්වල නම්, කලින් ඉදිරිපත් කළ තොරතුරුවල බලපෑම පවා නැති වී යන්නට පුළුවන.
මතු දැක්වෙන නිදසුන සලකා බලන්න. යෝෂුවා සිය ජීවිතයේ අවසාන කාලයේදී ඉශ්රායෙල් ජාතියේ වැඩිමහල්ලන්ට මතකයේ රැඳෙන කතාවක් ඉදිරිපත් කළේය. ආබ්‍රහම්ගේ කාලයේ සිට යෙහෝවා ඉශ්රායෙල් සමඟ කටයුතු කළ අන්දම විස්තර කිරීමෙන් පසු, ඔහු සාරාංශයක් ලෙස එහි විශේෂාංග නිකම්ම නැවත සඳහන් කළේ නැත. ඒ වෙනුවට, ගැඹුරු හැඟීම්වලින් යුතුව ඔහු ජනයාට මෙසේ අනුශාසනා කළේය. “යෙහෝවාට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් ඔහුට සේවය කරන්න.” ඔහුගේ අවසාන වචන ස්වල්පය යෝෂුවා 24:14, 15හි ඔබම කියවා බලන්න.
මතකයේ රැඳෙන තවත් කතාවක් ක්‍රියා 2:14-36හි සොයාගන්නට පුළුවන. මෙය පො.යු. 33 පෙන්තකොස්ත උත්සවයේදී ප්‍රේරිත පේතෘස් විසින් යෙරුසලමෙහි රැස්ව සිටි ජනතාවට ඉදිරිපත් කරන ලද්දකි. මුලින්ම දෙවිගේ ආත්මය වැගිරවීම සම්බන්ධයෙන් යෝවෙල් පැවසූ අනාවැකියේ ඉටුවීම සබය තම ඇස්වලින් දකින බව ඔහු පැහැදිලි කළේය. ඊළඟට ඔහු පෙන්වූයේ යේසුස් ක්‍රිස්තුස්ගේ නැවත-නැඟිටීම සහ දෙවිගේ දකුණු පැත්තට ඔහුව උසස් කිරීම පුරෝකථනය කළ ගීතාවලියෙහි මෙසියානු අනාවැකි මීට සම්බන්ධ වූ අන්දමයි. අනතුරුව, සිය කතාවේ අවසානයේදී පේතෘස් සබයේ සිටි සෑමදෙනෙකුම මුහුණ දිය යුතු වූ ප්රශ්නය පැහැදිලිව සඳහන් කළේය. ඔහු පැවසුවේ මෙසේය. “එබැවින්, ඔබ කණුවක ඇණගැසූ මේ යේසුස්ව, දෙවි විසින් ස්වාමීන් බවටත් ක්‍රිස්තුස් බවටත් පත් කර ඇති බව මුළු ඊශ්‍රායෙල් වංශයම ස්ථිරවම දැනගනිත්වා!” පැමිණ සිටි අය මෙසේ විමසුවෝය. “පුරුෂයෙනි, සහෝදරයෙනි, අප කුමක් කළ යුතුද?” පේතෘස් මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ සියලුදෙනා පසුතැවිලි වී ඔබේ පව්වලට සමාව ලබාගන්නා පිණිස යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බව්තීස්ම වන්න.” (ක්‍රියා 2:37, 38, NW) එම දිනයේම තමන් ඇසූ දේ හේතුවෙන් හදපත්ලෙන්ම පෙලඹීමක් ලැබූ 3,000දෙනෙක් පමණ යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ සත්‍යය වැලඳගත්තෝය.
මතක තබාගත යුතු කරුණු. ඔබ අවසානයේදී පවසන දේ ඔබේ කතාවේ තේමාවට ඍජුවම සම්බන්ධ විය යුතුය. සියල්ලන් විසින් එය සැලකිය යුත්තේ ඔබ විසින් ගොඩනඟන ලද මූලික කරුණුවලට තර්කානුකූල අවසානයක් ලෙසය. ඔබේ තේමාවට සම්බන්ධ ප්‍රධාන වචන කිහිපයක් ඇතුළත් කිරීමට කැමැත්තක් තිබිය හැකි වුවත්, තේමාව කෙළින්ම නැවත සඳහන් කිරීම අනිවාර්ය දෙයක්ම නොවේ.
සාමාන්‍යයෙන් කතාවක් ඉදිරිපත් කිරීමේ අරමුණ වන්නේ, ඔබ ඉදිරිපත් කරන තොරතුරු පදනම් කරගනිමින් අන් අයට යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට දිරිගැන්වීමය. මේ අනුව, අවසානයෙහි එක් ප්‍රධාන අරමුණක් වන්නේ කුමක් කළ යුතුදැයි ඔවුන්ට පෙන්වීමය. ඔබේ තේමාව සහ මූලික කරුණු තෝරාගත් විට, එම තොරතුරු ඔබේ සබයට වැදගත් වන්නේ මන්ද යන්නත්, ඒවා ඉදිරිපත් කිරීමේදී ඔබේ පරමාර්ථය කුමක් වනු ඇද්ද යන්නත් ඔබ පරෙස්සමින් සලකා බැලුවාද? එසේ කර ඇත්නම්, කුමන ක්‍රියාමාර්ගය ඔවුන් ගන්නවා දැකීමට ඔබ කැමතිද යන්න ඔබේ මනසෙහි පැහැදිලිව තිබෙනු ඇත. ඊළඟට කළ යුත්තේ ගත යුතු ක්‍රියාමාර්ගය පැහැදිලිව හඳුන්වා දී, සමහරවිට එය ගත යුත්තේ කෙසේදැයි පෙන්වීමයි.
කළ යුත්තේ කුමක්දැයි ඔබේ සබයට පෙන්වා දීමට අමතරව, ඔබේ අවසානයෙන් පෙලඹීමක්ද ලබා දිය යුතුය. අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වලංගු හේතු ඇතුළත් කළ යුතු අතර, එසේ කිරීමෙන් නෙළාගත හැකි ප්‍රයෝජනද සඳහන් කරන්නට පුළුවන. ඔබ පවසන අවසාන වාක්‍යය ගැන හොඳින් සිතා බලා පැහැදිලිව පිළියෙළ කරනු ලැබේ නම් ඔබේ මුළු කතාවේ බලපෑම තවත් තහවුරු කිරීමට එය දායක වනු ඇත.
මතක තබාගත යුතු දෙයක් වන්නේ ඔබේ කතාව එහි අවසානය කරා පැමිණෙන බවය. එමනිසා ඔබ පවසන දෙයින් එය අවසන් වන බව ඇඟවිය යුතුය. උචිත වේගයකින්ද කතා කළ යුතුය. අවසානය දක්වා වේගයෙන් කතා කර, හදිසියේම නතර වන්න එපා. අනික් අතට, ඔබේ ශබ්දය කෙමෙන් කෙමෙන් මලානික වී යෑමට ඉඩ නොදිය යුතුය. ප්‍රමාණවත් ශබ්දයක් තිබිය යුතු නමුත්, එය අධික මට්ටමක නොතිබීමද අවශ්‍යය. අවසාන වශයෙන් පවසන වාක්‍ය කිහිපයේදී ඔබේ කටහඬ තුළ පොලඹවනසුලු, අධිෂ්ඨානපූර්වක ගතියක් දිස් විය යුතුය. එමෙන්ම උනන්දුවක් සහ ඒකාන්ත විශ්වාසයක්ද දිස් විය යුතුය. එමනිසා ඔබේ කතාවේ ඉදිරිපත් කිරීම සූදානම් වෙද්දී, ඔබේ අවසානය පෙරහුරු කිරීමට වගබලා ගන්න.
අවසානය කොතරම් දීර්ඝ විය යුතුද? මෙය තීරණය කරන්නේ යම් වේලාවක් ඊට නියම කිරීමෙන් නොවේ. අවසානය ඇදි ඇදී නොයා යුතුය. එහි ප්‍රමාණය සුදුසුද යන්න තීරණය කළ හැක්කේ එය සබයට බලපාන අන්දම සලකා බැලීමෙනි. කතාවක අවසානය සරල, ඍජු හා ඒකාන්ත ස්වරයකින් ඉදිරිපත් කරන විට, එය බෙහෙවින් අගය කරනු ලැබේ. කෙටි නිදර්ශනයකින් යුත් තරමක් දිග අවසානයක් හොඳින් සැලසුම් කර ඇත්නම්, එයින්ද හොඳ ප්‍රතිඵල නෙළාගත හැකිය. දේශනාකාරයා 12:13, 14හි, මුළු දේශනාකාරයා පොතටම දී ඇති කෙටි අවසානය සමඟ මතෙව් 7:24-27හි වඩාත් කෙටි කන්ද උඩ දේශනාවේ අවසානය සසඳා බලන්න.
ක්ෂේත්‍ර සේවයේදී. ක්ෂේත්‍ර සේවයේදී තරම් වෙන කොහේදීවත් අවසානයක් සඳහා ප්‍රබල අවශ්‍යතාවක් හට නොගනී. සූදානම් වීමෙන් සහ පුද්ගලයන් කෙරෙහි ප්‍රේමනීය උනන්දුවක් දැක්වීමෙන් යහපත් ප්‍රතිඵල නෙළාගැනීමට ඔබට පුළුවන. කලින් පිටුවල සඳහන් උපදෙස් පුද්ගලයෙකු සමඟ කරන සංවාදයකට පවා හොඳින් අදාළ කරගත හැකිය.
සමහරවිට සංවාදයක් ඉතා කෙටි විය හැකියි. ඔබ සංවාදය පවත්වන පුද්ගලයා කාර්යබහුලව සිටිය හැක. එමනිසා ඔහු ඔබ සමඟ කතා බහ කළ හැක්කේ විනාඩියක් තරම් කෙටි වේලාවකට පමණය. උචිත නම් ඔබට මෙවන් දෙයක් පවසන්නට පුළුවන. “මට තේරෙනවා ඔබට දැන් කතා කරන්න අමාරුයි කියලා. එනමුත් යන්නට කලින් මම කැමතියි ඔබ සමඟ මෙම දිරිගන්වන අදහස බෙදාගන්න. අපගේ මැවුම්කරුට සුවිශේෂ අරමුණක් ඇති බව බයිබලයෙහි පෙන්වා දෙනවා. ඒ තමයි මිනිසුන්ට සදාකල් ජීවනය භුක්ති විඳිය හැකි ස්ථානයක් බවට මේ පොළොව පරිවර්තනය කිරීම. අපටත් එම පාරාදීසයෙහි ජීවත් වන්නට පුළුවන්. එනමුත් දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේවල් ගැන ඉගෙනගැනීම අවශ්‍යයි.” එසේ නැතහොත්, නිවැසියාට වඩාත් පහසු වේලාවක නැවත පැමිණ ඔහුව මුණගැසීමට ඔබේ කැමැත්ත පළ කරන්නට පුළුවන.
නිවැසියා හොඳ ප්‍රතිචාරයක් නොදක්වන අවස්ථා, පරුෂ විදිහට කතා කරමින් සංවාදය අත් හිටුවීමට කටයුතු කරන අවස්ථා ඉස්මතු විය හැක. එවැනි අවස්ථාවකදී පවා යම් යහපතක් කිරීමට පුළුවන. මතෙව් 10:12, 13හි සහ රෝම 12:17, 18හි සොයාගත හැකි උපදෙස් සිහියේ තබාගන්න. ඔබේ මෘදු ප්‍රතිචාරය නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන ඔහු දරන මතය පවා වෙනස් විය හැක. එය ඉතා කදිම දෙයක් නොවේද?
අනික් අතට, ඔබ නිවැසියා සමඟ සාර්ථක සංවාදයක් පැවැත්වූවා විය හැක. එසේ නම්, සිහියේ තබාගත යුතු මූලික කරුණ ඔහු වෙනුවෙන් නැවත සඳහන් නොකරන්නේ මන්ද? ඒ සම්බන්ධයෙන් යමක් කිරීමට යම් පෙලඹීමක්ද ඇති කරන්න.
වෙනත් අවස්ථාවකදී තවදුරටත් සාකච්ඡා කිරීමට ප්‍රස්තාවක් තිබෙන බව ඔබ දකිනවා නම්, ඔහුට ඒ ගැන අපේක්ෂාවෙන් සිටීමට යම්කිසි පදනමක් දමන්න. ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම නමැති පොතෙහි නැතහොත් නිවාස බයිබල් පාඩම් පැවැත්වීමට පිළියෙළ කර ඇති වෙනත් ප්රකාශනයක සාකච්ඡා කර ඇති ප්‍රශ්නයක් ඉස්මතු කරන්න. මෙහිදී, මතෙව් 28:19, 20හි යේසුස් පැහැදිලිව දැක්වූ ඔබේ ඉලක්කය සිහියේ තබාගැනීම අවශ්‍යය.
ඔබ පවත්වන නිවාස බයිබල් පාඩමේ එදිනට නියමිත කොටස අවසන් කරමින් සිටිනවාද? පාඩමේදී සාකච්ඡා කළ දෙය මතක තබාගැනීම සඳහා තේමාව නැවත සඳහන් කිරීම ප්‍රයෝජනවත් වේ. ප්‍රධාන කරුණු ශිෂ්‍යයාගේ මනසෙහි හොඳින් කාවැද්දීමට පුනරීක්ෂණ ප්‍රශ්න උපකාරවත් වනු ඇත. මෙවැනි පුනරීක්ෂණයක් විශේෂයෙන්ම සාර්ථක වන්නේ එය සෙමින් කරන විටය. ශිෂ්‍යයා ඉගෙනගත් දේ ප්‍රායෝගිකව අදාළ කරගත හැකි ආකාරය ගැන සිතීමට ඔහුට උපකාර කළ යුතුය. එමනිසා අධ්‍යයනය කළ තොරතුරු ඔහුට ප්‍රයෝජනවත් විය හැකි අන්දම හෝ එය අන් අය සමඟ බෙදාගත හැකි අන්දම සාකච්ඡා කිරීම මහෝපකාරි වේ.—හිතෝ. 4:7.
ඔබේ මුළු සාකච්ඡාවේ බලපෑමට ඔබේ අවසානය බෙහෙවින් දායක වන බව මතක තබාගන්න.