36 පාඩම
සුදුසු අවසානය සහ ඔබ ගත කරන කාලය
1-3. ඔබට ඔබේ අවසානය කථාවේ තේමාවට සම්බන්ධ කළ හැක්කේ කෙසේ ද?
1 බොහෝ විට මතකයේ රැඳෙන්නේ ඔබ අවසාන වශයෙන් කියන දෙයයි. ඒ නිසා ඔබේ කථාවේ අවසානය සුපරීක්ෂාකාරී ව සූදානම් කිරීම යෝග්‍ය ය. මතකයේ රඳවා ගැනීමට අවශ්‍ය කරන ප්‍රධාන කරුණු එය තියුණු ලෙස නාභි ගත කළ යුතු අතර, තේමාව අවසාන වරටත් කාවැද්දිය යුතු ය. ඔබේ රචනය සහ එය ඉදිරිපත් කිරීම යන දෙකේ ම ප්‍රතිඵලයක් වශයෙන් එය ශ්‍රාවක පිරිස ක්‍රියාවට පෙලඹ විය යුතු ය. කථික උපදෙස් පත්‍රිකාවේ “සුදුසු, කාර්ය සාධක අවසානය” යන කරුණ ඔබ පුහුණු වන විට ඔබේ අවධානය යොමු කරන ලෙස අප ඔබට උනන්දු කරවන්නේ මෙයට ය.
2 කථාවේ තේමාවට ඍජු ලෙස සම්බන්ධ වන අවසානය. කථාවේ තේමාවට අවසානය සම්බන්ධ කර ගන්නා ආකාරය ගැන අදහස් සඳහා 27වන පාඩම පුනරීක්ෂණය කරන ලෙස අපි ඔබට යෝජනා කරමු. අවසානයේ දී කථාවේ තේමාව වචන රාශියකින් නැවත සඳහන් කිරීමට අවශ්‍ය නැත, නමුත්, සමහර ශිෂ්‍යයන්ට, විශේෂයෙන් නවකයන්ට එය උපකාරවත් විය හැක; කෙසේ වුවත්, අවසානය කථාවේ තේමාවට අවධානය යොමු කළ යුතු ය. ඉන් පසු කථාවේ තේමාව පදනම් කරගෙන ශ්‍රාවකයන්ට කුමක් කළ හැකි දැයි පෙන්වා දෙන්න.
3 අවසානය තේමාවට කෙළින් ම සම්බන්ධ නොවූ විට, එය කරුණු එකට ගොනු කිරීමටත්, එකට සම්බන්ධ කිරීමටත් අසමත් වේ. ඔබේ අවසානය ප්‍රධාන කරුණුවල සැකිල්ලක් ඉදිරිපත් කරන ඍජු සාරාංශයක් වුවත්, කථාවේ තේමාව නොහොත් කේන්ද්‍රීය අදහස් ප්‍රකාශ කරන අවසාන වාක්‍යයක් හෝ දෙකක් එයට එකතු කිරීමට ඔබට නිසැක ව ම අවශ්‍ය වනු ඇත.
4-9. ශ්‍රාවකයන් කුමක් කළ යුතු දැයි අවසානය පෙන්වා දිය යුත්තේ මන්ද?
4 සවන් දෙන්නන් කුමක් කළ යුතු දැයි අවසානය පැහැදිලි කරයි. යම් ආකාරයක ක්‍රියාවකට පෙලඹවීම හෝ යම් දෘෂ්ටිකෝණයක් ඒත්තු ගැන්වීම ඔබේ කථාවේ සාමාන්‍ය අරමුණ වන හෙයින්, කථාවේ අවසාන අදහස් එම කරුණු නිසැක ව ම කාවැද්දිය යුතු ය. එමනිසා අවසානයේ ප්‍රධාන අරමුණ වන්නේ කුමක් කළ යුතු දැයි ශ්‍රාවකයන්ට පෙන්වා දීමත්, එය කිරීමට ඔවුන් ව දිරිගැන්වීමත් ය.
5 මේ හේතුව නිසා ඔබේ කථාවේ අරමුණ පැහැදිලි කිරීමට අමතර ව, බලවත් උනන්දුවක් ද, ඒත්තු ගැන්වීමේ සහ ක්‍රියාවට පෙලඹවීමේ ශක්තියක් ද අවසානයට අන්තර්ගත විය යුතු ය. බොහෝ විට කෙටි වාක්‍යය අවසානයට ශක්තිය දෙන බව පෙනේ. එහෙත් වාක්‍ය ව්‍යූහය කුමක් වුවත්, යම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ඇතුළු ව එසේ ක්‍රියා කිරීමට ප්‍රබල හේතු ඉදිරිපත් කළ යුතු ය.
6 කථාවේ කලින් කියන ලද දෙයට පසු ව අවසානය තර්කානුකූල ලෙස පැමිණිය යුතු ය. මේ අනුව අවසානයේ දී ඔබ කියන දෙය, කථාවේ ශරීරයේ දී කියන ලද දෙය මත ක්‍රියා කිරීමට ශ්‍රාවකයන් ව පෙලඹවිය යුතු ය. ඔවුන් කුමක් කළ යුතු දැයි ඔබේ අවසානය පැහැදිලි කොට අවධාරණය කරනු ඇත. එවිට ඔවුන් කථාවේ කියන ලද දේවලට අනුකූල ව ක්‍රියා කරනු ඇත. ඔවුන් එසේ කිරීමට විශේෂයෙන් පොලඹවනු ලබන්නේ ඔබේ අවසානයේ ප්‍රබලත්වය නිසා ය.
7 බොහෝ විට ගෙයින්-ගෙට සේවයේ දී අවසානයන් දුර්වල ය. මෙය සිදුවන්නේ අපේ ප්‍රකාශනයක් ලබා ගැනීමට හෝ නැවත හමු වීමකට එකඟ වීමට හෝ මෙය හා සමාන ක්‍රියා මාර්ගයක් ගැනීමට අප බලාපොරොත්තු වන දෙය නිවැසියාට ස්ථිර වශයෙන් ම පෙන්වා දීමට අසමත් වන විට ය.
8 ශ්‍රාවකයන් ව ක්‍රියාවට පෙලඹවීමක් නොකොට කරුණුවල සාරාංශයක් පමණක් ඉදිරිපත් කරන පාසලේ පැවරුම්වල අවසානයන් ද මෙලෙස ම දුර්වල වනු ඇත. කරුණු අදාළ වන ආකාරය පෙන්වා දිය යුතු ය, එසේ නැත්නම් වෙනත් අන්දමකින් ශ්‍රාවකයන්ට කරුණු ප්‍රායෝගික ලෙස වටිනා බව පෙන්වා දිය යුතු ය.
9 බයිබල් තේමාවක් මත කරන කථාවක් අවසාන කිරීමට මුළු කථාවේ ම සාරාංශයක් යොදා ගැනීම සමහර කථිකයන්ට බොහෝ උපකාර වන බව පෙනේ. මේ සඳහා පදනම හැටියට කථාවේ ප්‍රධාන බයිබල් පද සහ තේමාව ඔවුහු උපයෝගි කර ගනිති. ඔබ ගෙයින්-ගෙට සේවයේ දී කරන ආකාරයට සාකච්ඡා කරන ලද බයිබල් පද ස්වල්පයක් මගින් කථාව සංක්ෂේප කිරීමෙන් ඔබ කථාවේ ප්‍රධාන කරුණ පැහැදිලි කරනවාට අමතර ව, එම කථාවේ ප්‍රධාන කොටස නැවත කීමෙන් ඔවුන් විසින් මතක තබා ගෙන භාවිතා කිරීමට ද යමක් දෙන්නෙහි ය. අවසානයේ මූලික අරමුණ එය වේ. ඒ නිසා මෙය යෝග්‍ය ක්‍රමයක් පමණක් නොව, අරමුණ කාර්ය සාධක අන්දමින් ඉටු කරන එකක් ද වේ.
**********
10-14. අවසානයක දිග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න.
10 සුදුසු දිගින් යුතු අවසානය. අවසානයේ දිග තීරණය කළ යුත්තේ හෝරා යන්ත්‍රයකට අනුව නොවේ, නමුත් බොහෝ විට සිදු වන්නේ එයයි. අවසානය කාර්ය සාධක සහ අරමුණ ඉටු කරන එකක් වූ විට දී, එය සුදුසු දිගින් යුක්ත යයි කිව හැක. එමනිසා එහි දිගෙහි සුදුසු භාවය තීරණය කළ යුත්තේ ප්‍රතිඵල මගින් ය. කථික උපදෙස් පත්‍රිකාවේ සඳහන් වන “සුදුසු දිගින් යුතු අවසානය” යන කථික ගුණාංගය ඔබ පුහුණු වන විට ඔබේ උපදේශකයා කරන්නට යන්නේ මෙයයි.
11 කරුණුවලින් යුත් ශරීරයේ දිග ප්‍රමාණයට සමානුපාතික ව යෙදෙන අවසාන සන්සන්දනය කිරීම සඳහා දේශනාකාරයා 12:13, 14 හි එම මුළු පොත සඳහා ඇති කෙටි අවසානය සැලකිල්ලට ගෙන, එය යේසුස් වහන්සේගේ කන්ද උඩ දේශනාව සහ මතෙව් 7:24-27 හි සඳහන් උන් වහන්සේගේ අවසානය සමඟ සසඳා බලන්න. මේවා විවිධ ආකාර සහ දිගින් යුතු අවසානයන් දෙකකි, නමුත් දෙක ම ඒවායේ අරමුණ ඉටු කරයි.
12 ශ්‍රාවකයන්ට නොදැනීම කථාව අවසන් නොකළ යුතු ය. කියනු ලබන වචන පැහැදිලි ව ම කථාවේ අවසානය දැක් විය යුතුවා පමණක් නොව, ඒවාට අවසානය පිළිබඳ හැඟීමක් ද අන්තර්ගත විය යුතු ය. ඔබ කියන දෙය සහ ඔබ එය කියන ආකාරයෙන් සාකච්ඡාව අවසන් විය යුතු ය. එය අනවශ්‍ය විධියට දීර්ඝ නොකළ යුතු ය. ඔබේ කථාව එකට වෙලා ගන්නා අතර ම අවසානය මුළුල්ලෙහි ම උනන්දුව රඳවා ගත නොහැකි නම් එය නැවත සකස් කළ යුතු ය. එය තවමත් දිග වැඩි ය.
13 ඔබ ආරම්භක කථිකයෙක් නම් ඔබේ කථාවේ අවසානය ඔබට අවශ්‍ය යයි සිතෙන ප්‍රමාණයට වඩා කෙටි කිරීම හොඳ ය. එය සරල, ඍජු ඒකාන්ත එකක් කරන්න. එය කෙළවරක් නැති ව දීර්ඝ නොකරන්න.
14 ඔබ කථා මාලාවක කථාවක් ඉදිරිපත් කරන විට දී හෝ සේවා රැස්වීමක කථා කරන විට දී හෝ ඔබේ අවසානය ඊළඟ කථාවේ හැඳින්වීමට සම්බන්ධ වන අතර, එය කෙටි විය හැක. එහෙත්, කථාවේ අරමුණ ඉටු කරන අවසානයක් එක් එක් කොටසකට තිබිය යුතු ය. එසේ නම් එය සුදුසු දිගින් යුක්ත ය.
**********
15-18. ගත කරන කාලයට සුපරීක්ෂාකාරී අවධානය නොලැබුණු විට ඇතිවන ප්‍රතිඵලය කුමක් ද?
15 ගත කරන කාලය. වැදගත් වන්නේ අවසානයේ දිග පමණක් නොවේ; කථාවේ සෑම කොටසකට ම ගත කරන කාලය ගැන ද අවධානය යොමු කිරීම යෝග්‍ය ය. මේ හේතුවෙන් “ගත කරන කාලය” පිළිබඳ වෙන ම සඳහනක් කථික උපදෙස් පත්‍රිකාවේ ඇතුළත් වී ඇත.
16 කථාවක දී සුදුසු ලෙස කාලය ගත කිරීමේ වැදගත්කම සුළු නොකළ යුතු ය. කථාව සුදුසු ලෙස සූදානම් කර ඇත්නම්, ගත කරන කාලය ගැන ද සැලකිලිමත් වී ඇති නමුත් කරුණු සියල්ලක් ම ඇතුළත් කිරීමට වෑයම් කිරීමෙන් කථිකයා කාලය ඉක්මවා යන්නේ නම් ඇත්ත වශයෙන් ම ඔහු තමාගේ අරමුණ ඉටු කිරීමට අසමත් වෙයි. ඊට හේතුව, සැබවින් ම ඔහු කියන දෙයට අවධානය යොමු කරනවා වෙනුවට ශ්‍රාවකයන් නොසන්සුන් වී තමන්ගේ ඔරලෝසු දෙස බැලීමට පටන් ගැනීමයි. කථාවක අරමුණ ඉටු කිරීමට අත්‍යවශ්‍ය වන පෙලඹවීම සහ අදාළත්වය අන්තර්ගත කළ යුතු අවසානය නිෂ්ඵල එකක් වනු ඇත. එය ඉදිරිපත් කරනු ලැබුවත් කථිකයා කාලය ඉක්මවා යන නිසා බොහෝ විට ශ්‍රාවකයෝ එයින් ප්‍රයෝජනයක් ලබා ගැනීමට අසමත් වෙති.
17 කථිකයා කාලය ඉක්මවා යාමෙන් ශ්‍රාවකයන් පමණක් නොව කථිකයා ද නොසන්සුන් තත්ත්වයට පත් වෙයි. තමාට නියමිත කාලය අවසන් වේගන යන බව දකින කථිකයා ප්‍රමාණයට වඩා කරුණු ඇහිරීමට යාමෙන් කථාවේ සඵල භාවය විනාශ විය හැක. බොහෝ විට ප්‍රතිඵලය වන්නේ තැන්පත්කම නැති වීමයි. අනෙක් අතට තමාට වෙන්වූ කාලය පිරවීමට අවශ්‍ය තරම් කරුණු ප්‍රමාණවත් නොවන බව දැනගත් විට එය දිගු කිරීමට යාමෙන් කථිකයා ආකූල තත්ත්වයකට පත් වී වැල්වටාරම් දොඩනු ඇත.
18 තමාගේ නියමිත කාලය අවසාන වූ විට ශිෂ්‍යයාට පාසල් අවේක්ෂකයා ඒ ගැන දන්වන බව සැබෑවකි. එහෙත් කථාවක් අතර මඟ දී නැවත්වීමට සිදු වීම ශිෂ්‍යයාට මෙන් ම ශ්‍රාවකයන්ට ද කලකිරීමකි. කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් උනන්දුවක් කථිකයාට ඒවා ගැන තිබිය යුතු ය. අවසානයට ඇහුම් කන් දීමට නොලැබුණු විට ශ්‍රාවකයන්ට හැඟෙන්නේ තමන් අතරමං කරනු ලැබූ බවයි. කථා ඉදිරිපත් කිරීමේ දී කෙනෙක් දිගින් දිගට ම නියම කරන ලද කාලය ඉක්මවා යාමෙන් පෙන්නුම් කරන්නේ ඔහු අන් අය ගැන සැලකිලිමත් නොවන බව හෝ කථාව සූදානම් නොකරන බව ය.
19, 20. සේවා රැස්වීම සහ සමුළු වැඩසටහන්වල දී ගත කරන කාලය බැලීම සුවිශේෂ ලෙස වැදගත් වන්නේ මන්ද?
19 කථිකයන් කිහිප දෙනෙකුට වැඩසටහනක කොටස් පැවරෙන විට ගත කරන කාලය ගැන සැලකිලිමත්වීම විශේෂයෙන් ම වැදගත් ය. උදාහරණයක් හැටියට, සේවා රැස්වීමක කොටස් පහක් තිබිය හැක. එක් එක් කථිකයා තමාට වෙන් වූ කාලයට වඩා විනාඩියක් වැඩි පුර ගන්නේ නම්, මුළු රැස්වීමට ම විනාඩි 5ක් වැඩියෙන් ගත වනු ඇත. එහෙත් එක් එක් තැනැත්තා කාලය ඉක්ම වූයේ සුළු ප්‍රමාණයකින් පමණ ය. එහි ප්‍රතිඵලය වන්නේ බස් රථය වේලාවට ඇල්ලීම සඳහා ඇතමෙක් රැස්වීමේ අවසානයට කලින් යෑම හෝ නොඇදහිලිකාර කලත්‍රයෙකු රැස්වීමට පැමිණි යමෙකු ව කැඳවා ගෙන යාමට පැමිණ බලා සිටීමට සිදුවීම නිසා ප්‍රකෝප වීම ය. සාමාන්‍ය ප්‍රතිඵලය හොඳ නැත.
20 කථා මාලාවකට සහභාගි වන කථිකයා තමාට නියමිත කාලය පිරවීමට අසමත් වූ විට ද ගැටලු පැන නගී. උදාහරණයක් හැටියට සමුළු වැඩසටහනක අඩ හෝරාවක දේශනයක් පැවරී ඇති සහෝදරයෙක් විනාඩි විස්සකින් තම කථාව නිම කළ විට ඊළඟ කථිකයා වහා ම ආරම්භ කිරීමට සූදානම් නැත්නම් වැඩසටහන කඩාකප්පල් වනු ඇත.
21-24. ගත කරන කාලය පිළිබඳ ව පැන නගින ගැටලු සහ ඒවාට හේතු සැකෙවින් විස්තර කරන්න.
21 ඇත්ත වශයෙන් ම කථාවක් කාලය ඉක්මවා යාමට එක් මූලික හේතුවක් නම්, ප්‍රමාණයට වඩා කරුණු ඉදිරිපත් කිරීමට යාම ය. මෙය කථාව සූදානම් කරන අවස්ථාවේ දී ම නිවැරදි කළ යුතු කරුණකි. එහෙත් කථික උපදෙස් පත්‍රිකාවේ කලින් සඳහන් වී ඇති අනෙක් කරුණු මේ වන විට හොඳින් පුහුණු වී ඇත්නම් කාලය පිළිබඳ ගැටලුවක් මතු නොවනු ඇත. ඔබ දැනටමත් ඔබේ ප්‍රධාන කරුණු වෙන් කර ගැනීමටත් සුදුසු කටු සටහනක් පිළියෙළ කර ගැනීමටත් ඉගෙන ගෙන ඇත්නම් සුදුසු ලෙස කාලය ගත කිරීම නිරායාසයෙන් තීරණය වන බව ඔබට පෙනී යනු ඇත. ගත කරන කාලය බැලීම කථික උපදෙස් පත්‍රිකාවේ අවසානයට ආසන්න ව සලකා බලා ඇත්තේ කලින් සාකච්ඡා කරනු ලැබූ කථික ගුණාංග මත එය බොහෝ දුරට රඳා පවතින නිසා ය.
22 ගත කරන කාලය පිළිබඳ ව සාමාන්‍යයෙන් ඇති වන ගැටලුව නම් කාලය ඉක්මවා යාමයි. හොඳින්-සූදානම් වූ කථිකයෙකුට සාමාන්‍යයෙන් තොරතුරු සහිත කරුණු බහුල වශයෙන් ඇත. එහෙත් ඔහුට වෙන් වූ කාලය නොඉක්ම වීමට ඔහු සුපරීක්ෂාකාරී විය යුතු ය.
23 එහෙත් නවක හෝ පළපුරුදු නැති කථිකයන්ට බොහෝ විට කාලය ඉතිරී වීමේ නැඹුරුවාවක් ඇති බව පෙනේ. තිබෙන කාලයෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්නා අයුරු ඉගෙන ගැනීමට ඔවුන්ට අවශ්‍ය වනු ඇත. තමන්ට වුවමනා කරන දිග ප්‍රමාණයට ගැළපීම සඳහා තමන්ගේ කථා මැන ගැනීම මුල දී ඔවුන්ට අසීරු කාර්යයක් විය හැක, නමුත් හැකි තරම් දුරට නියමිත කාලයට ආසන්න වීමට ඔවුන් වෑයම් කළ යුතු ය. කෙසේ වුවත් ශිෂ්‍යයා අංග සම්පූර්ණ, තෘප්තිමත් කථාවක් සූදානම් කොට ඉදිරිපත් කර ඇත්නම්, එම කථාව සැලකිය යුතු ප්‍රමාණයකින් කාලයට වඩා කෙටි වුවහොත් මිස ගත කරන කාලය දුර්වල යයි ගණන් ගනු නොලැබේ.
24 කථිකයෙකු ගත කරන කාලය දුර්වල ද නැද්ද කියා තීරණය කිරීමට හොඳ ම නිර්ණය නම් කථාව ශ්‍රාවකයන් කෙරෙහි ඇති කරන ප්‍රතිඵලයයි. කාලය නිම වූ බව පාසල් අවේක්ෂක සංඥා කරන විට ශිෂ්‍යයාට තමාගේ වාක්‍යය අවසන් කිරීමට නිදහස තිබිය යුතු ය. තමන් අංග සම්පූර්ණ සාකච්ඡාවකට ඇහුම් කන් දුන් බවට ශ්‍රාවකයන්ට හැඟෙන විධියට එම වාක්‍යයෙන් ම ඔහුට තමාගේ කථාව සඵල අන්දමින් නිම කළ හැකි නම්, එවිට ගත කරන කාලය දුර්වල යයි නොසැලකිය යුතු ය.
25-29. පුද්ගලයෙකු තමාගේ කථාව සඳහා නියම කරන ලද කාලය සුදුසු ලෙස බලා ඇතැයි ද යන්න ගැන ස්ථිර විය හැක්කේ කෙසේ ද?
25 සුදුසු ලෙස කාලය ගත කිරීම අත්කර ගන්නේ කෙසේ ද? මූලික වශයෙන් මෙය සූදානම් කිරීම හා සම්බන්ධ කරුණකි. කථාවකට අන්තර්ගත වන්නට යන කරුණු පමණක් නොව, එම ඉදිරිපත් කිරීම ද සූදානම් කිරීම වැදගත් ය. ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් වන්නේ නම් සාමාන්‍යයෙන් ගත කරන කාලය නිවැරදි වනු ඇත.
26 ඔබේ කථාව සඳහා කටු සටහනක් පිළියෙළ කරන විට ඔබේ ප්‍රධාන කරුණු මොනවා දැයි එහි දක්වන්න. සෑම ප්‍රධාන කරුණක් යටතේ ම ඔබට ආවරණය කිරීමට උප-කරුණු කිහිපයක් ද තිබිය හැක. මේවායින් සමහරක් අන් ඒවාට වඩා වැදගත් වනු ඇත. මේවායින් කථාවට අත්‍යවශ්‍ය ඒවා මොනවා ද, අවශ්‍ය වූ විට ඉවත් කළ හැකි ඒවා මොනවා ද කියා දැනගන්න. එවිට ඔබ කථාව ඉදිරිපත් කරන අවස්ථාවේ දී කාලය ප්‍රමාණවත් නොවන බව ඔබට පෙනුණොත් ද්විතික කරුණු ඉවත් කොට ප්‍රධාන තර්කය පමණක් ඉදිරිපත් කිරීම සරල දෙයකි.
27 ක්ෂේත්‍ර සේවයේ දී මෙය නිතර ම අපට කිරීමට සිදුවන දෙයකි. අප මිනිසුන්ගේ ගෙවලට යන විට, ඔවුන් අපට ඇහුම් කන් දීමට සූදානම් නම්, අපි ඔවුන් සමඟ විනාඩි කිහිපයක් පමණ කථා කරන්නෙමු. නමුත් එම කථාව ම අවශ්‍ය වූ විට විනාඩියකින් දෙකකින් කෙටි කොට ඉදිරිපත් කිරීමට අපි සූදානම් ව සිටිමු. අප එය කරන්නේ කෙසේ ද? ප්‍රධාන කරුණ හෝ කරුණු සහ ඒවා සනාථ කිරීමට අවශ්‍ය කරුණු අපි මනසේ තබා ගෙන සිටිමු. එමෙන් ම සාකච්ඡාව සවිස්තර කිරීමට භාවිතා කළ ද්විතීයික තොරතුරු ද අපේ මනසේ ඇත, නමුත් අවස්ථාවට ගැළපෙන පරිදි ඒවා අනවශ්‍ය සේ සලකා අත්හළ හැකි බව ද අපි දනිමු. වේදිකාවෙන් කථාවක් ඉදිරිපත් කරන විට දී ද මෙම ක්‍රියා පටිපාටිය ම අනුගමනය කළ හැක.
28 තමාගේ කථාවෙන් භාගයක් ගතවන විට කොපමණ කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබිය යුතු දැයි කථාවේ කටු සටහනේ අයිනක දැක්වීම කථිකයෙකුට උපකාරී වෙයි. නොහොත් ඊට වඩා දිග දේශනයක් නම්, එය කොටස් සතරකට යොදා ගැනීමට ඔහුට අවශ්‍ය විය හැක. එවිට ඔහුගේ කටු සටහනේ මෙම ලකුණු පසු කරන විට තමා නියම කර ගත් කාලයට අනුව කථා කරන්නේ දැයි දැනගැනීමට ඔරලෝසුව දෙස බැලිය යුතු ය. ඔහු කාලය ඉක්මවා යන බව පෙනේ නම්, ද්විතීයික කරුණු කපා හැරීම ආරම්භ කළ යුතු ය. අන්තිම මොහොත තෙක් බලා සිට කථාවේ අවසානය කරුණුවලින් පුරවා එහි කාර්ය සාධක භාවය විනාශ කරනවාට වඩා මෙම ක්‍රියා මාර්ගය හොඳ ය. කෙසේ වෙතත් හැමෝට ම පෙනෙන විධියට නිතර ම හෝරා යන්ත්‍රය දෙස බැලීම හෝ තමාට නියමිත කාලය අවසන් වේගන එන නිසා කථාව ඉක්මන් කරන බව ශ්‍රාවකයන්ට කීම ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරවයි. එහෙත් ශ්‍රාවකයන්ට බාධා නොකොට මෙය ස්වාභාවික ලෙස කළ යුතු දෙයකි.
29 සමස්ත වශයෙන් සුදුසු ලෙස කාලය ගත වන ආකාරය සකස් කර ගැනීමට නම්, හැඳින්වීම සුදුසු දිගෙන් යුක්ත වීම, එක් එක් ප්‍රධාන කරුණ සුදුසු ප්‍රමාණයට වර්ධනය කර ගැනීම සහ අවසානය සඳහා ප්‍රමාණවත් කාලයක් ඉතිරි කර ගැනීම යනාදි කරුණු අවශ්‍ය ය. ඔබට නියමිත කාලය අවසාන වේගන යන බව දුටු පමණින් ම එය සැලකිය යුත්තක් නොවේ. මෙය ආරම්භයේ පටන් ම ඔබ ඔබට නියමිත කාලය ගැන සැලකිලිමත් වන්නේ නම්, ප්‍රතිඵලය මනා-සමානුපාතික භාවයෙන් යුත් ඉදිරිපත් කිරීමක් වනු ඇත.