ඔබට අමරණීය ආත්මයක් තිබේද?
මරණින් පසු ජීවිතයක් ඇද්ද? මෙය මිනිසාව ව්‍යාකූල කළ සහස්ර ගණනක් පුරා පැවත එන ප්රශ්නයකි. එමනිසා මෙම විෂය ගැන ගැඹුරින් කල්පනා කර ඇති උදවිය, ඒ සම්බන්ධයෙන් විවිධ විශ්වාසයන් ගොඩනඟාගෙන ඇත.
ලොවේ ජනයාගෙන් බහුතරයක් විශ්වාස කරන්නේ පුද්ගලයෙකුගේ මරණයෙන් පසු ඔහුගේ “ආත්මය” දිගටම පවතින බවය. මරණයේදී පුද්ගලයෙකු තුළ ඇති යම් දෙයක් ඇත්තටම සිරුරෙන් පිට වී ගොස් අඛණ්ඩව පවතීද? ජීවමාන පුද්ගලයෙකු තුළ තිබෙන ආත්මය කුමක්ද? අප මියයද්දී සිදු වන්නේ කුමක්ද? මිනිසා මෙවැනි ප්‍රශ්න දෙස බලන්නේ ඉමහත් බියකින් හා සැකයකිනි. එනමුත්, දේවානුභාවයෙන් ලියන ලද බයිබලය මෙම ප්‍රශ්නවලට සැබෑ පිළිතුරු සපයයි. ඔව්, එයට ඔබේ බිය සැක දුරු කළ හැකියි!
ආත්මය යනු කුමක්ද?
බයිබලයෙහි “ආත්මය” ලෙස පරිවර්තනය කර ඇති වචනවල මූලික අර්ථය “හුස්ම” වේ. ඒ කෙසේවෙතත්, නිකම්ම හුස්ම ගැනීමේ ක්‍රියාවලියට වඩා වැඩි යමක් මීට ඇතුළත් වේ. නිදසුනකට බයිබල් ලේඛක යාකොබ් පැවසූ දේ සලකා බලන්න. ඔහු පැවසුවේ, “ආත්මය නැති ශරීරය මැරී තිබෙන” බවය. (යාකොබ් 2:26) එසේ නම්, සිරුරට ජීවයක් ලබා දෙන්නේ ආත්මයයි.
සිරුරට මෙසේ ජීවයක් ලබා දෙන “ආත්මය” නැතහොත් බලය නිකම්ම හුස්ම නොහොත් පෙණහලු තුළ ගමන් කරන වාතය නොවේ. එසේ පවසන්නේ මන්ද? හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නතර වූවායින් පසුව පවා, සිරුරේ සෛල තුළ ජීවය ටික වේලාවකට පවතින නිසාය. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා නමැති ප්රකාශනයට අනුව ඒ ජීවය සිරුර තුළ “විනාඩි කිහිපයකට රැඳී” පවතී. මේ හේතුවෙන් කෘත්‍රිම ශ්වසනයක් වහාම දීමෙන් කෙනෙකුව නැවත ජීවත් කරවිය හැකි මෙන්ම එක් පුද්ගලයෙකුගේ සිරුරේ අවයව තවත් පුද්ගලයෙකුගේ සිරුරට බද්ද කිරීමට පවා හැකිය. එනමුත්, ජීවය නමැති දැල්ල සිරුරේ සෛලවලින් නිවී ගියායින් පසු, ජීවය ආපසු ලබා දීමට දරන වෑයම නිෂ්ඵලය. කෘත්‍රිම ශ්වසනය කොතරම් ලබා දුන්නද, එක සෛලයක්වත් යළි පණගැන්විය නොහැක. මේ අනුව ආත්මය යනු සෛලවල ජීවය පවත්වගන්න උපකාරවත් වන අතිවැදගත් ‘පුලිඟුවක්’ මෙන් පණ දෙන අදෘශ්‍යමාන ජීව බලය වේ. මෙම ජීව බලය දිගටම පවත්වාගනු ලබන්නේ හුස්මගැනීමේ ක්‍රියාවලිය තුළිනි.—යෝබ් 34:14, 15.
ආත්මය තිබෙන්නේ මිනිසුන්ට පමණක්ද? මේ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට එළඹෙන්න බයිබලය අපට උපකාරවත් වේ. ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ ලීවේය. “මනුෂ්‍ය පුත්‍රයන්ගේ පණ ඉහළට නැගී යනවාද කියාවත් තිරිසනාගේ පණ පොළොව යටට බසිනවාද කියාවත් දන්නේ කවුද?” (දේශනාකාරයා 3:21) මේ අනුව පණ නොහොත් ආත්මයක් මිනිසාට පමණක් නොව, සතුන්ටද තිබේ. ඒ කෙසේද?
ආත්මය නොහොත් ජීව බලය, යම් යන්ත්‍රයක් හෝ උපකරණයක් ක්‍රියාත්මක කරවීමට ගලායන විදුලි ධාරාවක් හා සැසඳිය හැක. ඇසට නොපෙනෙන මෙම විදුලි බලය අදාළ උපකරණයට අනුව, විවිධ කාර්යයන් කිරීමට යොදාගත හැක. නිදසුනකට, උදුනක් තාපය නිපදවයි. පරිගණකයක් තොරතුරු ක්‍රමලේඛනය කිරීමටත්, ගණන් සෑදීමටත් යොදාගැනේ. රූපවාහිනියක් තුළින් රූප සහ ශබ්ද නිපදවේ. මේ සියල්ල කළ හැක්කේ විදුලි බලයේ ක්‍රියාකාරිත්වය නිසාය. එනමුත්, විදුලිය එම උපකරණ බවට පත් වන්නේ නැත. එය දිගටම බලයක් ලෙස ක්‍රියා කරයි. ඒ හා සමානව, ජීව බලය ජීවියාව පණගැන්වුවද, එය ජීවියෙකු බවට පත් වන්නේ නැත. ඊට පෞද්ගලිකත්වයක් හෝ කල්පනා ශක්තියක් හෝ නැත. මිනිසාට මෙන්ම සත්වයාටද “ඇත්තේ එක හුස්මය” නැතහොත් එක සමාන ආත්මයකි. (දේශනාකාරයා 3:19) මේ අනුව, පුද්ගලයෙක් මියයන විට, ඔහුගේ ආත්මය තවත් භවයක් ලබමින් දිගටම ජීවත් වන්නේ නැත.
එසේ නම්, මළවුන්ගේ තත්වය කුමක්ද? පුද්ගලයෙකු මියයන විට ආත්මයට සිදු වන්නේ කුමක්ද?
‘නුඹ දූවිල්ලට හැරී යන්නේය’
මුල් මිනිසා වූ ආදම් හිතාමතාම දෙවිගේ ආඥාවට අකීකරු වූ විට, යෙහෝවා ඔහුට මෙසේ පැවසීය. “නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) යෙහෝවා ආදම්ව දූවිල්ලෙන් සාදන්නට කලින් ඔහු සිටියේ කොහේද? ඔහු කොතැනකවත් සිටියේ නැත. එසේ නම් ආදම් ‘භූමියට හැරී යන’ බව දෙවි පැවසූ විට, ඔහු ඉන් අදහස් කළේ ආදම් මරණයට පත් වන බවයි. ආදම් ආත්ම විෂයකට මාරු වී වෙන භවයක් ලැබුවේ නැත. ඔහුගේ මරණයේදී ඔහු අප්‍රාණික, සිහි නැති තත්වයකට පත් වූයේය. ඔහුගේ දඬුවම මරණය විය. මරණය යනු ජීවිතය අහිමි වීමයි. මේ අනුව ඔහු වෙනත් ස්ථානයකට ගියා කියා පැවසිය නොහැක.—රෝම 6:23.
එසේ නම්, මියගොස් ඇති අනික් අය ගැන කීමට තිබෙන්නේ කුමක්ද? මළවුන්ගේ තත්වය ගැන දේශනාකාරයා 9:5, 10හි මෙසේ පැහැදිලි කර ඇත. “මළාහු කිසිවක් නොදනිති . . . නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” මින් පැහැදිලි වන්නේ මරණය යනු කිසිදු දෙයක් අද්දැකිය නොහැකි අප්‍රාණික තත්වයක් බවයි. පුද්ගලයෙකු මියයන විට “ඔහුගේ හුස්ම [ආත්මය, NW] නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ” කියා ගීතිකාකරු ලීවේය.—ගීතාවලිය 146:4.
මළවුන් සිහි නැති, අක්‍රිය තත්වයක පවතින බව තවත් පැහැදිලි කළ යුතුද? ඔවුන් කිසිවක් දන්නේ නැත. දැකීමටවත්, ඇසීමටවත්, කතා කිරීමටවත් ඔවුන්ට නොහැකිය. ඔබට පිහිට වන්න ඔවුන්ට බැරිය. ඔවුන් ඔබට හිරිහැර කරන්නේද නැත. මේ නිසා මළවුන් කෙරෙහි බියක් ඇති කරගැනීම අනවශ්‍යය. එසේ නම්, මරණයේදී කෙනෙකුගේ ‘හුස්ම’ නැතහොත් ආත්මය ‘නික්ම යනවා’ කීමෙන් අදහස් වන්නේ කුමක්ද?
සැබෑ ‘දෙවි වෙතට හැරී යන’ ආත්මය
පුද්ගලයෙකු මියයන විට, ‘ආත්මය ඒක දුන් දෙවි වෙතට හැරී’ යන බව බයිබලයෙහි පැවසේ. (දේශනාකාරයා 12:7) මින් අදහස් කරන්නේ, කෙනෙකු මියයන විට ආත්මය නිදහස් වී, අභ්‍යවකාශය තුළින් දෙවි සමීපයට යන බවද? කිසි සේත් නැත. මෙහිදී, ‘හැරී යනවා’ යන යෙදුම බයිබලයෙහි භාවිත කර ඇති ආකාරය සලකා බැලීම උචිතය. යමක් එක් තැනක සිට තවත් තැනක් දක්වා ගමන් කිරීමම මින් අදහස් නොවේ. නිදසුනක් සලකා බලන්න. නොඇදහිලිකාර ඉශ්රායෙල් ජාතිකයන්ට මෙසේ පවසා තිබිණ. ‘මා වෙතට හැරී එන්න, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමියි සේනාවල යෙහෝවා කියන්නේය.’ (මලාකී 3:7) මෙහිදී ‘හැරී එන්න’ යන යෙදුමෙහි තේරුම වූයේ, ඉශ්‍රායෙලිතයන් තමන් ගත් වැරදි ක්‍රියාමාර්ගයෙන් ඉවත් වී දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව යළිත් තමුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමයි. යෙහෝවා ඉශ්‍රායෙලිතයන් වෙතට ‘හැරී එන්නේ’ යළිත් තම අවධානය ඔවුන් වෙතට සතුටින් යොමු කිරීමෙනි. මෙම අවස්ථා දෙකේදීම, ‘හැරී ඒම’ සම්බන්ධ වූයේ ආකල්පවලටයි. පොළොවේ එක් තැනක සිට තවත් තැනක් දක්වා ගමන් කිරීම ඊට සම්බන්ධ වූයේ නැත.
මීට සමානව, මරණයේදී ආත්මය දෙවි වෙතට ‘හැරී යනවා’ කීමෙන් අදහස් කරන්නේ, යම්කිසි දෙයක් පොළොවේ සිට අදෘශ්‍යමාන ස්වර්ගය දක්වා ගමන් කරන බව නොවෙයි. ආත්මය නම් ජීව බලය බව මෙහිදී මතක තබාගත යුතුය. එම ජීව බලය පුද්ගලයෙකුගෙන් බැහැර වූ විට, එය නැවත ලබා දිය හැක්කේ දෙවිට පමණි. එසේ නම්, ආත්මය ‘සැබෑ දෙවි වෙතට හැරී යනවා’ කීමෙන් අදහස් කරන්නේ, එම පුද්ගලයාගේ නැවත ජීවත් වීමේ අපේක්ෂාව දෙවිගේ හස්තයෙහි තිබෙන බවයි.
නිදසුනකට, යේසුස්ගේ මරණය ගැන ශුද්ධ ලියවිල්ලෙහි පවසා ඇති දෙය සලකා බලන්න. සුවිශේෂ ලේඛක ලූක් මෙසේ විස්තර කරයි. ‘යේසුස් මහත් ශබ්දයකින් මොරගසා: පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාර දෙමියි කීවේය. මෙසේ කියා ඔහු ආත්මය හළේය [නැසී ගියේය, NW].’ (ලූක් 23:46) යේසුස්ගේ ආත්මය නික්ම ගිය විට, ඔහු ස්වර්ගයට ගියේ නැත. යේසුස්ව මළවුන්ගෙන් නැඟිටුවනු ලැබුවේ දවස් තුනකට පසුවය. තවද ඔහු ස්වර්ගයට ගියේ ඉන් තවත් දවස් 40ක් ගත වූවායින් අනතුරුවයි. (ක්‍රියා 1:3, 9) යේසුස් මියයද්දී, තම පියා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබමින් තම ආත්මය ඔහුට භාර කළේය. තමාව නැවත ජීවත් කරවන්න යෙහෝවාට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔහුට කිසිදු සැකයක් තිබුණේ නැත.
මියගිය පුද්ගලයෙකුව නැවත ජීවත් කරවිය හැක්කේ දෙවිට පමණි. (ගීතාවලිය 104:30) ඔව්, මෙය මොනතරම් කදිම බලාපොරොත්තුවක්ද!
ස්ථිර බලාපොරොත්තුවක්
බයිබලයෙහි මෙසේ පැවසේ. “[සිහි කිරීම පිණිස තැනූ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණ . . . [ඔවුහු] පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) මියගොස් ඇති අය අතුරින් යෙහෝවාගේ මතකයේ සිටින, එනම් ඔහු සිහි කරන සියලුදෙනාවම නැවත නැඟිටුවනු ලබන බවට, එනම් යළි ජීවත් කරවනු ලබන බවට යේසුස් ක්‍රිස්තුස් මෙහිදී පොරොන්දු වූයේය. කනගාටුදායක මරණ දැන්වීම් ඇසීමට සිදු වනවා වෙනුවට, යළි ජීවත් කරවනු ලැබූ අය පිළිබඳ ප්‍රීතිදායක ආරංචි ඇසීමෙන් සියලුදෙනාම ඉමහත් සතුටට පත් වනු ඇත. නැවත නැඟිටුවනු ලැබූ අයව යළි පිළිගැනීම මොනතරම් ප්‍රීතිමත් අද්දැකීමක් වේවිද!
දෙවි දෙන මෙම බලාපොරොත්තුවෙන් ඔබට ප්‍රයෝජන ලබාගත හැකි අන්දම ගැන තවත් ඉගෙනගන්න ඔබ කැමතිද? දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන් යන විවරණිකාව ලබාගැනීමට පහත සඳහන් ලිපිනයකට ලියන මෙන් ඔබෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
ලංකා බයිබල් සමාගම 1995දී සංශෝධනය කළ 1938 ප්‍රතිසංස්කෘත පරිවර්තනය මෙහි විශේෂිතව සඳහන් වී නොමැති තැන්හි භාවිත කර ඇත. NW යනු ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයයි (ඉංග්‍රීසියෙන්).