32වෙනි පරිච්ඡේදය
යේසුස්ව ආරක්ෂා කරපු විදිහ
සමහර වෙලාවට යෙහෝවා දෙවි ළමයින්වත් තමන්වම ආරක්ෂා කරගන්න බැරි අයවත් ආරක්ෂා කරන්නේ පුදුම විදිහට. ඔයා ගම් පළාතක ඇවිදින්න ගියොත් දෙවි ඒ විදිහට ආරක්ෂා කරන එක විදිහක් ඔයා දකියි.
කුරුල්ලෙක් පියාඹන්න බැරුව බිම ඉන්නවා ඔයා දකිනවා. ඌට තුවාල වෙලා වගෙයි. ඔයා ඌ ළඟට යන හැම පාරම ඌ එක තටුවක් ඇදගෙන වෙන දිහාවකට යනවා. හැබැයි එකපාරටම ඌ පියාඹනවා. ඌට කිසිම හානියක් වෙලා නැහැ. ඔයා දන්නවාද ඌ එහෙම කළේ ඇයි කියලා?—
එතැන තිබුණු පඳුරේ උගේ පැටව් ඉඳලා තියෙනවා. උන්ව ඔයාගෙන් ආරක්ෂා කරගන්නයි ඌ එහෙම කළේ. තුවාල වෙලා වගේ පෙන්නලා ඔයාව වෙන පැත්තකට අරන් ගියේ ඒ නිසයි. ඒ කුරුලු අම්මා වගේ අපිව ආරක්ෂා කරන්න පුළුවන් කාට කියලාද ඔයා හිතන්නේ?— තමන්ගේ පැටවුන්ව ආරක්ෂා කරන රාජාලියෙකුට බයිබලයේ යෙහෝවා දෙවිව සමාන කරලා තියෙනවා.—ද්විතීය කතාව 32:11, 12.
මේ කුරුල්ලා එයාගේ පැටවුන්ව ආරක්ෂා කළේ කොහොමද?
යෙහෝවා දෙවිට වැඩියෙන්ම වටින, දෙවිගේ ආදරණීය පුතා තමයි යේසුස්. යේසුස් ස්වර්ගයේ ඉද්දී එයාට ලොකු බලයක් තිබුණා. එයාගේ ආරක්ෂාවට කාවවත් ඕන වුණේ නැහැ. හැබැයි යේසුස් පුංචි බබෙක් විදිහට පොළොවේ ඉපදුණාම එයා හිටියේ අසරණ තත්වයක. වෙන කෙනෙක්ගේ ආරක්ෂාව එයාට ඕන වුණා.
දෙවි යේසුස්ව පොළොවට එවපු අරමුණ ඉටු වෙන්න නම් යේසුස් පරිපූර්ණ මිනිසෙක් විදිහට උස් මහත් වෙන්න ඕනේ. හැබැයි සාතන්ට ඕන වුණේ ඊට කලින් යේසුස්ව මරන්නයි. පොඩි කාලෙදිම යේසුස්ව මරන්න සාතන් උත්සාහ කළත් ඒ හැම පාරම දෙවි යේසුස්ව ආරක්ෂා කරපු විදිහ හරි පුදුමයි. ඔයා කැමතිද ඒ ගැන දැනගන්න?—
යේසුස් ඉපදිලා ටික කාලයකින් සාතන් තරුවක් වගේ දෙයක් අහසේ පේන්න සැලැස්සුවා. ඒක දැකපු ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් ඒ කියන්නේ තරුවල පිහිටීම ගැන ඉගෙනගන්න අය ඒ තරුව පස්සෙන් ආවා. හුඟක් දුර ගෙවාගෙන ආපු එයාලා නතර වුණේ යෙරුසලමේ. එහේ අයගෙන් එයාලා ඇහුවා යුදෙව්වන්ගේ රජ වෙන්න නියමිත කෙනා ඉපදිලා ඉන්නේ කොහෙද කියලා. ඒ ගැන බයිබලයේ තියෙන දේ දැනගෙන හිටිය අය උත්තර දුන්නේ “බෙත්ලෙහෙමෙ” කියලයි.—මතෙව් 2:1-6.
ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න ආවාට පස්සේ යෙහෝවා දෙවි එයාලාට දීපු අනතුරු ඇඟවීම මොකක්ද?
යෙරුසලමේ හිටිය නපුරු හෙරොද් රජත් ඒ ගැන දැනගත්තා. එයා ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට කිව්වා ‘ඔයාලා ගිහින් දරුවා ගැන හොයලා මටත් විස්තර කියන්න’ කියලා. යේසුස් ඉන්න තැන දැනගන්න එයාට ඕනෙ වුණේ ඇයි කියලා ඔයා දන්නවාද?— එයාට ඕන වුණේ පුංචි යේසුස්ව මරන්න.
දෙවි කොහොමද යේසුස්ව ආරක්ෂා කළේ?— ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස් හිටිය තැනට ගිහින් තෑගි දුන්නා. දෙවි හීනයකින් එයාලාට අනතුරු ඇඟෙව්වා ආයෙත් හෙරොද් ළඟට යන්න එපා කියලා. ඒ නිසා යෙරුසලමට නොයා එයාලා වෙන පාරකින් එයාලාගේ රටට ගියා. ඒක ආරංචි වුණාම හෙරොද්ට කේන්ති ගියා. කොහොමහරි යේසුස්ව මරන්න ඕන නිසා බෙත්ලෙහෙමේ ඉන්න අවුරුදු දෙකට අඩු හැම පිරිමි දරුවෙක්වම මරන්න කියලා එයා අණ කළා. ඒත් ඒ වෙද්දී යේසුස් හිටියේ එහේ නෙවෙයි.
ඔයා දන්නවාද යේසුස් බේරුණේ කොහොමද කියලා?— ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් ගියාට පස්සේ යෙහෝවා දෙවි යෝසෙප්ට කිව්වා මරියාවයි යේසුස්වයි අරන් ඉක්මනින්ම ඊජිප්තුවට යන්න කියලා. ඒ නිසා යේසුස් නපුරු හෙරොද්ගෙන් බේරුණා. අවුරුදු කිහිපයකට පස්සේ ඒ දෙන්නා යේසුස්ව අරන් ඊජිප්තුවෙන් පිටත් වෙලා ආවාම දෙවි ආපහු සැරයක් යෝසෙප්ට කිව්වා යේසුස්ව ආරක්ෂා කරගන්න නාසරෙත්වලට යන්න කියලා.—මතෙව් 2:7-23.
යේසුස් මේ වතාවෙත් බේරුණේ කොහොමද?
යෙහෝවා දෙවි තමන්ගේ පුතාව ආරක්ෂා කළේ කොහොමද කියලා ඔයාට තේරුණාද?— පඳුර අස්සේ හිටිය කුරුලු පැටවුන්ට එහෙමත් නැත්නම් පුංචි දරුවෙක් විදිහට හිටිය යේසුස්ට සමාන කරන්න පුළුවන් කාවද? ඔයාත් ඒ වගේ නේද?— ඔයාටත් හානියක් කරන්න සමහර අය බලාගෙනයි ඉන්නේ. ඔයා දන්නවාද ඒ කවුද කියලා?—
බයිබලයේ කියන්නේ ගොරවන සිංහයෙක් වගේ සාතන් අපිව ගිලින්න බලන් ඉන්නවා කියලයි. හුඟක් වෙලාවට සිංහයන් අල්ලගන්න හදන්නේ පුංචි සතුන්ව. සාතනුයි එයාගේ භූතයනුයි හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ පුංචි දරුවන්ව අල්ලගන්නයි. (1 පේතෘස් 5:8) හැබැයි යෙහෝවා දෙවි සාතන්ට වඩා හුඟක් බලවත්. ඒ නිසා දරුවන්ව යක්ෂයාගෙන් බේරගන්නත් දරුවන්ට එයා කරන නරක දේවල්වල ප්‍රතිඵල වෙනස් කරන්නත් දෙවිට පුළුවන්.
අපි මේ පොතේ 10වෙනි පරිච්ඡේදයෙන් දැනගත්ත විදිහට යක්ෂයාත් එයාගේ භූතයනුත් උත්සාහ කරන්නේ අපිව මොන වරදට පොලඹවාගන්නද කියලා ඔයාට මතකද?— යෙහෝවා දෙවි එපා කියලා තියෙන විදිහේ ලිංගික සම්බන්ධකම් පවත්වන්න අපිව පොලඹවන්නයි එයාලා උත්සාහ කරන්නේ. ලිංගික සම්බන්ධකම් පවත්වන්න අවසර තියෙන්නේ කාටද?— විවාහක යුවළකට විතරයි.
හැබැයි සමහර වැඩිහිටි අය කැමතියි දරුවන් එක්කත් ලිංගික සම්බන්ධකම් පවත්වන්න. එහෙම කළාම පොඩි අයත් පටන්ගන්නවා එයාලාගෙන් ඉගෙනගත්ත නරක දේවල් කරන්න. ඒ දරුවන් එයාලාගේ ලිංගික අවයවවලින් වැරදි දේවල් කරන්නත් පටන්ගන්නවා. හුඟ කාලෙකට කලින් සොදොම් කියන නගරයෙත් ඒ වගේ දෙයක් වුණා. බයිබලයේ කියන්නේ ලොත්ගේ ගෙදරට ඇවිත් හිටිය පිරිමි අයත් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න එහෙට ආපු ‘බාල, මහලු පිරිමි’ හැමෝම උත්සාහ කළා කියලයි.—උත්පත්ති 19:4, 5.
පොඩි කාලෙදී යේසුස්ව ආරක්ෂා කරන්න ඕන වුණා වගේ ඔයා එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න හදන, වැඩිහිටි අයගෙන් වගේම ළමයින්ගෙන් ඔයාවත් ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේ නරක අය ඉන්නේ හරියට ඔයාගේ යාළුවන් වගෙයි. එයාලා ඔයාත් එක්ක කරන්න හදන වැරදි දේවල් ගැන අනිත් අයට නොකියා ඉන්න ඔයා පොරොන්දු වුණොත් ඔයාට මොනවා හරි දෙන්නම් කියලා එයාලා කියයි. ඒ අය හරියට යක්ෂයායි එයාගේ භූතයනුයි වගෙයි. එයාලා හිතන්නේ එයාලාගේ සතුට ගැන විතරයි. පොඩි දරුවන් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වලා ඒ සතුට ලබන්නයි එයාලා හදන්නේ. ඒක හුඟක් වැරදි දෙයක්.
ඒ අය මොන වගේ නරක දේවල් ඔයාට කරයිද?— ඔයාගේ ලිංගික අවයව අතගාන්න හදයි. නැත්නම් එයාලාගේ ලිංගික අවයව ඔයාගේ ලිංගික අවයවවල අතුල්ලන්න හදයි. හැබැයි කවදාවත් ඔයාගේ ශිෂ්ණය නැත්නම් යෝනි මාර්ගය වැරදි දේවල්වලට පාවිච්චි කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. එහෙම කරන්න ඔයාගේ අම්මාටවත් තාත්තාටවත් සහෝදරයෙක්ටවත් සහෝදරියක්ටවත් ඉඩ දෙන්න එපා.
කවුරු හරි ඔයාව වැරදි විදිහට අල්ලන්න හැදුවොත් ඔයා කරන්න ඕනෙ මොනවාද?
නරක අයගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද?— කවුරු හරි ඔයාගේ ලිංගික අවයව අල්ලන්න හැදුවොත් කෑගහලා මෙහෙම කියන්න. “ඕක කරන්න එපා. මං ගිහින් කියනවා.” එයා කිව්වොත් එහෙම දෙයක් වුණේ ඔයාගේ වරදින් කියලා ඒක විශ්වාස කරන්න එපා. එයා කවුරු වුණත් එයා කරපු දේ ගැන ඔයා කියන්නම ඕනේ. ඒක කිසිම කෙනෙක්ට කියන්න එපා කියලා එයා කිව්වත් ඔයා ඒක කියන්න. ලස්සන තෑග්ගක් දෙන්නම් කිව්වත් එයා කරපු දේ කියන්න එපා කියලා බය කළත් ඔයා ඉක්මනින්ම එතැනින් පිට වෙලා ගිහින් එයා කරපු දේ ගැන කියන්න.
ඔයා බය වෙන්න ඕනෙ නැහැ. හැබැයි පරෙස්සම් වෙන්න. සමහර අය ගැන හරි සමහර තැන් ගැන හරි අම්මායි තාත්තායි ඔයාට අනතුරු ඇඟෙව්වොත් එයාලාට කීකරු වෙන්න. එතකොට නරක වැඩ කරන අයගෙන් බේරිලා ඉන්න ඔයාට පුළුවන් වෙනවා.
නරක අයගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් විදිහ ගැන අපි දැන් මේ බයිබල් පදවලින් බලමු. උත්පත්ති 39:7-12; හිතෝපදේශ 4:14-16; 14:15, 16; 1 කොරින්ති 6:18; 2 පේතෘස් 2:14.