42වෙනි පාඩම
බය නැතුව වැඩ කරපු හොඳ යාළුවෙක්
සාවුල්ගේ වැඩිමල් පුතා යොනාතාන් සටන් කරන්න දක්ෂ කෙනෙක්. දාවිත් කිව්වා එයා රාජාලීන්ටත් වඩා වේගවත් සිංහයන්ටත් වඩා බලවත් කියලා. දවසක් යොනාතාන් දැක්කා පිලිස්ති සෙබළුන් 20දෙනෙක් කන්දක් උඩ ඉන්නවා. ඒ නිසා එයාගේ ආයුධ අරන් ගිය කෙනාට එයා මෙහෙම කිව්වා. ‘පිලිස්තිවරු සටනට එන්න කියලා අපිට කිව්වොත් විතරක් අපි සටනට යමු. ඒක තමයි යෙහෝවා අපිට දෙන ලකුණ.’ පිලිස්තිවරු ‘සටනට එන්න’ කියලා කෑගහලා කිව්ව නිසා එයාලා කන්දට නැඟලා ඒ සෙබළුන්ව පැරැද්දුවා.
ඊළඟට රජකම ලැබෙන්න තිබුණේ යොනාතාන්ට වුණත් එයා දැනගෙන හිටියා යෙහෝවා තෝරගෙන තියෙන්නේ දාවිත්ව කියලා. එයා දාවිත්ට ඊර්ෂ්‍යා කළේ නැහැ. ඒ දෙන්නා හොඳ යාළුවන් වුණා. යොනාතාන් එයාගේ ඇඳුමයි කඩුවයි දුන්නයි ඉණපටියයි දාවිත්ට දුන්නෙත් ඒ යාළුකමේ ලකුණක් විදිහට. දෙන්නාට දෙන්නා ආරක්ෂා කරගන්නවා කියලා ඒ දෙන්නා පොරොන්දු වුණා.
දාවිත් සාවුල් රජගෙන් බේරෙන්න හැංගිලා ඉද්දී යොනාතාන් එයාට මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. යෙහෝවා ඊළඟ රජ විදිහට තෝරගෙන තියෙන්නේ ඔයාව. මගේ තාත්තාත් ඒක දන්නවා.’ යොනාතාන් වගේ යාළුවෙක් ඔයාටත් ඉන්නවා නම් ඔයාත් කැමතිද?
කීප සැරයක්ම යොනාතාන් ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව දාවිත්ව බේරගත්තා. සාවුල් දාවිත්ව මරන්න හොයනවා කියලා දැනගත්තාම එයා තාත්තාට මෙහෙම කිව්වා. ‘දාවිත්ව මරන එක ලොකු වරදක්. මොකද එයා ඔයාට කිසි වරදක් කරලා නෑනේ.’ සාවුල්ට හුඟක් කේන්ති ගියා. ටික කාලෙකට පස්සේ සටනකදී සාවුලුත් යොනාතානුත් මැරුණා.
ඊටපස්සේ දාවිත්ට ඕන වුණා යොනාතාන්ගේ පුතා වුණු මෙෆිබොෂෙත්ව හොයාගන්න. එයාව හම්බ වුණාම දාවිත් මෙහෙම කිව්වා. ‘ඔයාගේ තාත්තා මගේ යාළුවෙක්. මං ඔයාව හොඳට බලාගන්නම්. ඔයාට පුළුවන් හැමදාම මගේ මාලිගාවේ ඉඳන් මාත් එක්ක කෑම කන්න.’ දාවිත් කවදාවත් යොනාතාන්ව අමතක කළේ නැහැ.
“මං ඔයාලට ආදරේ කරපු විදිහටම ඔයාලත් එකිනෙකාට ආදරේ කරන්න. කෙනෙක් තමන්ගේ යාළුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ආදරයක් තවත් නැහැ.”—යොහන් 15:12, 13