“නුඹලා මිලේට ගනු ලැබුවහුය”
“නුඹලා මිලේට ගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරපල්ලා.”—1 කොරින්ති 6:20.
1, 2. (අ) “මරණින් මිදෙන මාර්ග” විවෘත කළේ කුමක් ද? (ආ) ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව නීත්‍යානුකූල ව වලංගු කිරීම සඳහා කුමක් කිරීමට තිබුණා ද, එය කුමක් මගින් පෙර ඡායා කොට දක්වන ලද්දේ ද?
“දෙවියන්වහන්සේ වනාහි අපට ගැළවීම දෙන දෙවිකෙනෙක්ය; මරණින් මිදෙන මාර්ග අයිතිවන්නේ ස්වාමිවූ යෙහෝවඃවහන්සේට ය” යයි ගීතිකාකාරයා පැවසී ය. (ගීතාවලිය 68:20) යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව එම මාර්ගය විවෘත කළේ ය. එහෙත් එම පූජාව නීත්‍යානුකූල ව වලංගු වීම සඳහා, ක්‍රිස්තුස් වහන්සේට දෙවියන් වහන්සේ ඉදිරියේ පුද්ගලික ව පෙනී සිටින්නට අවශ්‍ය විය.
2 සමගිකමක් කිරීමේ දවසේ දී උත්තම පූජකයා අති ශුද්ධස්ථානයට ඇතුළු වූ විට, මෙය පෙර ඡායාවක් ලෙස දක්වන ලදි. (ලෙවී කථාව 16:12-15) “නමුත් ක්‍රිස්තුස්වහන්සේ . . . උත්තම පූජකයෙක්ව පැමිණ, වඩා උතුම්වූ වඩා සපුර්ණවූ අතින් නොසෑදුවාවූ, එනම් මේ [භුමික] මැවිල්ලට අයත් නොවන්නාවූ මණ්ඩපය මැදින්, එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබා ගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශවන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල්වූසේක” යයි පාවුල් ලීවේ ය.—හෙබ්‍රෙව් 9:11, 12, 24.
රුධිරය සතු බලය
3. (අ) යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකරුවන් විසින් රුධිරය සලකන්නේ කෙසේ ද, එමෙන් ම ඒ මන්ද? (ආ) පව් කමා කිරීම සඳහා රුධිරයට නීත්‍යානුකූල බලයක් තිබෙන බව කුමකින් පෙන්වයි ද?
3 අපගේ ගැලවීම තුළ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය ඉටු කරන කාර්ය භාරය කුමක් ද? නෝවාගේ දවස් පටන්, සැබෑ නමස්කාරකයන් රුධිරය සලකා ඇත්තේ පරිශුද්ධ දෙයක් හැටියටයි. (උත්පත්ති 9:4-6) “මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය” යනුවෙන් බයිබලය පවසන බැවින්, රුධිරය ජීවිත ක්‍රියාවලියේ වැදගත් කොටසක් ඉටු කරයි. (ලෙවී කථාව 17:11) එබැවින්, සත්ත්වයෙක් පූජා කරනු ලැබූ විට, උගේ රුධිරය යෙහෝවඃ වහන්සේ ඉදිරියේ වගුරවනු ලැබීම මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් අවශ්‍ය කර වූයේ ය. ඇතැම් අවස්ථාවල දී, රුධිරය පූජාසනයේ අං මත ද තබනු ලැබී ය. පූජාවක සමගි කිරීමේ බලය තිබුණේ එහි රුධිරයේ බව පැහැදිලි ය. (ලෙවී කථාව 8:15; 9:9) “ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.”—හෙබ්‍රෙව් 9:22.
4. (අ) රුධිරය භාවිතයට දෙවියන් වහන්සේ විසින් තහංචි පැනවීමෙන් කුමන අරමුණක් ඉටු කරන ලද්දේ ද? (ආ) යේසුස් වහන්සේ ව මරණයට පත් කරනු ලැබූ ආකාරයේ තිබූ විශේෂත්වය කුමක් ද?
4 එසේ නම්, ව්‍යවස්ථාව යටතේ රුධිරය යම් විදිහකින් වැරදි ලෙස භාවිතා කිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් වීම පුදුමයට කරුණක් නොවේ! (ලෙවී කථාව 17:10) ඕනෑ ම ද්‍රව්‍යයක් විරල ව පවතින විට, නැතහොත් එහි භාවිතය අතිශයින් සීමා කරනු ලැබූ විට, එහි වටිනාකම වැඩිවෙන බව අපි කවුරුත් පාහේ දනිමු. රුධිරයේ භාවිතයට යෙහෝවඃ වහන්සේ විසින් සීමා පැනවීම, එය සාමාන්‍ය වටිනාකමකින් යුත් යමක් ලෙස නොව, එහෙත් අනර්ඝ, වටිනාකමකින් යුත් දෙයක් ලෙස සලකනු ලබන බවට තහවුරු විණි. (ක්‍රියා 15:29; හෙබ්‍රෙව් 10:29) මෙය ක්‍රිස්තුස් වහන්සේගේ උත්තරීතර රුධිරය ඉටු කරනු ඇති අරමුණ සමඟ ගැළපිණි. මීට සුදුසු ලෙස, උන් වහන්සේ මිය ගියේ තමන් වහන්සේගේ රුධිරය වගුරවනු ලැබූ ආකාරයකටයි. මෙලෙස, ක්‍රිස්තුස් වහන්සේ සිය මිනිස් ශරීරය පූජා කළා පමණක් නොව, නමුත් සිය ආත්මය ද වැගිර වූ බවත්, පරිපූර්ණ මිනිසෙකු වශයෙන් තම ජීවිතය ම පූජා කළ බවත් ප්‍රත්‍යක්ෂ විණි! (යෙසායා 53:12) අසම්පූර්ණත්වයක් හේතුවෙන් එම ජීවිතයට තිබූ නීත්‍යානුකූල අයිතිය ක්‍රිස්තුස් වහන්සේ අහිමි කර නොගත් නිසා, උන් වහන්සේ වැගිර වූ රුධිරයට මහත් වටිනාකමක් තිබුණු අතර එය මිනිස් වර්ගයාගේ පව්වලට වන්දි ගෙවීම සඳහා දෙවියන් වහන්සේ හමුවේ ඉදිරිපත් කළ හැකි විය.
5. (අ) ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට රැගෙන ගියේ කුමක් ද, ඒ මන්ද? (ආ) ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව දෙවියන් වහන්සේ පිළිගත් බව විද්‍යා මාන වූයේ කෙසේ ද?
5 සිය සැබෑ රුධිරය ස්වර්ගයට ගෙන යාමට ක්‍රිස්තුස් වහන්සේට හැකි වූයේ නැත. (1 කොරින්ති 15:50) ඒ වෙනුවට, උන් වහන්සේ ගෙන ගියේ එම රුධිරය සංකේතවත් කළ දෙයයි: එනම් පූජා කරනු ලැබූ ස්වකීය පරිපූර්ණ මිනිස් ජීවිතයේ නීත්‍යානුකූල වටිනාකමයි. පව්කාර මිනිස් වර්ගයා උදෙසා හුවමාරුවක දී දෙන මිදීමේ මිලයක් වශයෙන්, එම ජීවිතය දෙවියන් වහන්සේ ඉදිරියෙහි විධිමත් ඉදිරිපත් කිරීමක් ලෙස දෙන්නට හැකි විය. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේ දී යෙරුසලමෙහි ගෝලයන් 120 දෙනෙක් මතට ශුද්ධාත්මය පැමිණි විට, එම පූජාව යෙහෝවඃ වහන්සේ විසින් පිළි ගත් බවට ප්‍රත්‍යක්ෂ විණි. (ක්‍රියා 2:1-4) මෙය හරියට, ක්‍රිස්තුස් වහන්සේ මිනිස් වර්ගයාව මිල දී ගැනීමෙන් තමන්ට ම අයිති කරගත්තාක් බඳු විය. (ගලාති 3:13; 4:5; 2 පේතෘස් 2:1) මෙනිසා, මිදීමේ මිලයේ ප්‍රයෝජන මිනිස් වර්ගයා කරා ගලා ඒමට හැකි විණි.
මිදීමේ මිලයෙන් පළමු කොට ප්‍රයෝජන ලබන්නෝ
6. ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිලයේ ප්‍රයෝජන අදාළ කිරීම සඳහා දෙවියන් වහන්සේ කර තිබෙන විධිවිධානයන් මොනවා ද?
6 කෙසේ වෙතත්, මිනිසාගේ පව්කාර ස්වභාවය මර්දනය කරන්නේ නැතිව ශාරීරික පරිපූර්ණත්වය ලබා ගත නොහැකි බැවින්, මිනිස් වර්ගයාට ක්ෂණික ශාරීරික පරිපූර්ණත්වයක් දානය කරනු ලැබූ බවක් මින් අදහස් කළේ නැත. (රෝම 7:18-24) පව්කාර ස්වභාවය මර්දනය කරන්නේ කවදා ද, කෙසේ ද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමඟ ‘පොළොව පුරා රජවරුන් වශයෙන් අපගේ දෙවියන් වහන්සේට ස්වර්ගික පූජකයන්’ 1,44,000ක් දෙවියන් වහන්සේ පළමු ව සූදානම් කළ සේක. (එළිදරව් 5:9, 10; 7:4; 14:1-3) ඔවුන් තුළින් මිදීමේ මිලයේ ප්‍රයෝජන දහස් වසරක කාල පරිච්ඡේදයක් තුළ මිනිස් වර්ගයා උදෙසා ක්‍රමානුකූල ව අදාළ කරනු ලැබේ.—1 කොරින්ති 15:24-26; එළිදරව් 21:3, 4.
7. (අ) නව ගිවිසුම යනු කුමක් ද, එහි හවුල් වන්නෝ කවරහු ද, ඉන් ඉටු කෙරෙණ අරමුණ කුමක් ද? (ආ) නව ගිවිසුම ඇති කිරීමට මරණයක් සිදු වීමට වූයේ මන්ද, එමෙන් ම ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය ඉටු කරන කාර්ය භාරය කුමක් ද?
7 මෙය ඉටු කර ගැනීම සඳහා ප්‍රථමයෙන් ම පූජක-රජවරුන් 1,44,000දෙනා “මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය.” (එළිදරව් 14:4) මෙය ඉටු කරනු ලබන්නේ “නව ගිවිසුමක්” කරණ කොට ගෙනයි. මෙම ගිවිසුම, එහි සාමාජිකයන්, රජවරුන් සහ පූජකවරුවන් ලෙස සේවය කරන්නා වූ යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ තමන් වහන්සේගේ ආත්මික ඊශ්‍රායෙල් අතර “කොන්ත්‍රාතුවක්” වෙයි. (යෙරෙමියා 31:31-34; ගලාති 6:16; හෙබ්‍රෙව් 8:6-13; 1 පේතෘස් 2:9) එහෙත්, දෙවියන් වහන්සේ හා අසම්පූර්ණ මිනිසා අතර ගිවිසුමක් ඇති විය හැක්කේ කෙසේ ද? පාවුල් මෙසේ පැහැදිලි කරයි: “මක්නිසාද ගිවිසුමක් [දෙවියන් වහන්සේ සහ අසම්පූර්ණ මිනිසා අතර] තිබෙන තැන ගිවිසුම කළාවූ අයගේ මරණයද පෙන්විය යුතුය. එසේය, ගිවිසුමක් ස්ථිරවෙන්නේ මරණය සිදුවුණයින් පසුය. ගිවිසුම කළ තැනැත්තා ජීවත්ව සිටින තුරු එය කිසිසේත් වලංගු නැත.”—හෙබ්‍රෙව් 9:16, 17.
8, 9. මිදීමේ මිලය නව ගිවිසුමට සම්බන්ධ වන්නේ කෙසේ ද?
8 එමනිසා, යේසුස් වහන්සේ මැදිහත්කරුවාණන් වන නව ගිවිසුමට මූලික ම දෙය වනුයේ මිදීමේ පූජාවයි. පාවුල් ලීවේ මෙසේ ය: “මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය. උන්වහන්සේ සියල්ලන් උදෙසා [අනුරූප වූ NW] මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නාවූ, මනුෂ්‍යයාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේය. ඊට සාක්ෂිය නියම කාලවලදී ලැබේ.” (1 තිමෝති 2:5, 6) එම වචන විශේෂයෙන් අදාළ වන්නේ, නව ගිවිසුම ඇති කරනු ලැබූ 1,44,000 දෙනාටයි.
9 දෙවියන් වහන්සේ මාංසික ඊශ්‍රායෙල්වරුන් සමඟ ගිවිසුමක් ඇති කළ විට, පූජාවක් ලෙස සත්ත්ව රුධිරය වගුරවන තාක් කල්, එය නීත්‍යානුකූල ව වලංගු වූයේ නැත. (හෙබ්‍රෙව් 9:18-21) මීට සමාන ව, නව ගිවිසුම ක්‍රියාත්මක කර වීම සඳහා, ක්‍රිස්තුස් වහන්සේට “ගිවිසුමේ . . . ලේ” වගුරුවන්නට සිදු විය. (මතෙව් 26:28; ලූක් 22:20) ක්‍රිස්තුස් වහන්සේ උත්තම පූජකයා සහ “අලුත් ගිවිසුමේ මැදිහත්කාරයාව” සිටීමෙන්, නව ගිවිසුම තුළට ගෙනෙන අය කෙරෙහි යේසුස් වහන්සේගේ රුධිරයේ වටිනාකම අදාළ කරමින්, දෙවියන් වහන්සේ ඔවුන් ව නීත්‍යානුකූල ව මිනිස් ධර්මිෂ්ඨකමට පමුණු වන සේක. (හෙබ්‍රෙව් 9:15; රෝම 3:24; 8:1, 2) එවිට ස්වර්ගීය පූජක-රජවරුන් වීමට දෙවියන් වහන්සේට ඔවුන් ව නව ගිවිසුම තුළට ගෙනා හැකි ය! දෙවියන් වහන්සේ ඉදිරියේ පිරිසිදු ස්ථාවරයක් පැවැත් වීමට මැදිහත්කරුවාණන් සහ උත්තම පූජකයාණන් වශයෙන් යේසුස් වහන්සේ ඔවුන්ට සහය වනු ඇත.—හෙබ්‍රෙව් 2:16; 1 යොහන් 2:1, 2.
පොළොවේ දේවල් ඒක රාශි කිරීම
10, 11. (අ) ආලේප ලත් ක්‍රිස්තියානින්ගෙන් ඔබ්බට මිදීමේ මිලය විහිදෙන්නේ කෙසේ ද? (ආ) මහත් සමූහය කවරහු ද, තව ද ඔවුන් දෙවියන් වහන්සේ සමඟ සිටින්නේ කුමන තත්ත්වයක ද?
10 මිදීමේ මිලය මගින් සිය පවිවලට නිදහසක් අත් දැකීමට හැක්කේ ආලේප ලත් ක්‍රිස්තියානින්ට පමණක් ද? නැත, කොලොස්සි 1:14, 20 හි අඟවන්නාක් මෙන්, වධ කණුව මත වගුරවනු ලැබූ රුධිරය කරණ කොට ගෙන සමාදානය ඇති කිරීමෙන් ද, දෙවියන් වහන්සේ අනිකුත් සියලු දේවල් තමන් වහන්සේට ම සමගි කර ගනිමින් ද සිටින සේක. ස්වර්ගයේ දේවල් ද (1,44,000 දෙනා) එමෙන් ම පොළොවේ දේවල් ද මීට ඇතුළත් වෙයි. පසු ව සඳහන් වූ අය භූමික ජීවිතයකට සුදුසුකම් ලත්, එනම් පොළොව මත පාරාදීසයක පරිපූර්ණ ජීවිතය භුක්ති විඳිනු ඇති මිනිසුන් ය. විශේෂයෙන් ම 1935 සිට එවැන්නවුන් ව එක් රැස් කිරීමට සම්මත ප්‍රයත්නයක් දරනු ලැබ තිබේ. එළිදරව් 7:9-17 හි ඔවුන් ව විස්තර කොට ඇත්තේ, දෙවියන් වහන්සේටත් බැටළු පැටවාණන්ටත් ගැලවීම වෙනුවෙන් ණය ගැති ව සිටින “මහත් සමූහයක්” හැටියට ය. ක්‍රිස්තුස් වහන්සේගේ දහස් වසරේ පාලනය අවසන් වන විට, එවන් අය පරිපූර්ණ ජීවිතය ඇති ව පූර්ණ වශයෙන් ජීවනයට පැමිණෙනු ඇති බව එළිදරව් 20:5 පෙන්වන හෙයින්, ඔවුන් “මහත් පීඩාවෙන්” බේරී ජීවත් වී, තවමත් ‘ජීවන දිය උල්පත්වලට ගෙන යනු ලැබීමට’ අවශ්‍ය ය. තම පරිපූර්ණ මිනිස් තත්ත්වයේ අවසන් පරීක්ෂණයෙන් සමත් වන අය පොළොව මත සදාකාල ජීවිතය සඳහා ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබනවා ඇත.—එළිදරව් 20:7, 8.
11 එහෙත්, මූලික අයුරකින්, මහත් සමූහය මේ වන විටත් “තමන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු” කර ගෙන සිටිති. (එළිදරව් 7:14) ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් වෙනුවෙන් නව ගිවිසුමේ මැදහත්කරුවාණන් ලෙස ක්‍රියා නොකළ ද, ඔවුහු දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ක්‍රියාවන් තුළින් මෙම ගිවිසුමෙන් ප්‍රයෝජන ලබති. කෙසේ වෙතත්, ඔවුන් ව දෙවියන් වහන්සේගේ මිත්‍රයන් වශයෙන් ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන අන්තය දක්වා මිදීමේ මිලය යේසුස් වහන්සේ තුළින් අදාළ කිරීමට යෙහෝවඃ වහන්සේට හැකි වන අතර උන් වහන්සේ එසේ කරත් ම, උත්තම පූජකයාණන් වශයෙන් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් කෙරෙහි ක්‍රියා කරන සේක. (යාකොබ් 2:23 සසඳන්න) දහස් අවුරුදු පාලනය තුළ දී, ඔවුන් ක්‍රමානුකූල ව, “ජරාවේ වහල්කමින් නිදහස්වී, [අවසානයේ දී ඔවුන්] දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට” පැමිණෙනු ඇත.—-රෝම 8:20, 21.
12. ප්‍රාග් ක්‍රිස්තියානි කාලවල දී දෙවියන් වහන්සේ ඇදහිලිවන්ත මිනිසුන් සමඟ කටයුතු කළේ කුමන පදනමක් මත ද?
12 මහත් සමූහයට අයත් අය දෙවියන් වහන්සේ සමඟ සිටින තත්ත්වය සැලකිල්ලට ගත් කල, ඔවුන් ප්‍රාග් ක්‍රිස්තියානි නමස්කාරකරුවන්ගෙන් නොවෙනස් ව සිටින්නාක් මෙන් පෙනෙන්නට පුළුවන. කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ පසුව සඳහන් වූ අය සමඟ ක්‍රියා කළේ, අනාගත මිදීමේ මිලයේ සැපයුම කල්පනාවේ තබා ගෙනයි. (රෝම 3:25, 26) ඔවුන් තම පව්වලට කමාව ලබා ගත්තේ එක්තරා තාවකාලික ආකාරයකට පමණි. (ගීතාවලිය 32:1, 2) ‘පව් ගැන හැඟීමෙන්’ ඔවුන් ව සහමුලින් ම නිදහස් කරනවා වෙනුවට, සත්ත්ව යාගවලින් කෙරුණේ, “පව් ගැන සිහිකිරීමකි.”—හෙබ්‍රෙව් 10:1-3.
13. දෙවියන් වහන්සේගේ ප්‍රාග් ක්‍රිස්තියානි සේවකයන්ට වඩා අපට තිබෙන වාසි මොනවා ද?
13 මෙය අද දින සිටින සැබෑ ක්‍රිස්තියානින් සම්බන්ධයෙන් වෙනස් ය. ඔවුන් නමස්කාර කරන්නේ ගෙවනු ලැබ ඇති මිදීමේ මිලයක පදනම මත ය! තම උත්තම පූජකයාණන් තුළින්, ඔවුහු “නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟා” වෙති. (හෙබ්‍රෙව් 4:14-16) දෙවියන් වහන්සේ හා සමගි කරනු ලැබීම, බලාපොරොත්තුවෙන් සිටින යම් වැඩි දියුණු වීමක් නොව, නමුත් දැනටමත් පවතින සැබෑ දෙයකි! (2 කොරින්ති 5:20) ඔවුන් වැරදි කරන විට, ඔවුන්ට සැබෑවට ම සමාව ලබා ගත හැක. (එපීස 1:7) ඔවුහු සැබවින් පිරිසිදු වූ හෘදය සාක්ෂියක් භුක්ති විඳිති. (හෙබ්‍රෙව් 9:9; 10:22; 1 පේතෘස් 3:21) මෙම ආශීර්වාදයන්, යෙහෝවඃ වහන්සේගේ සේවකයන් අනාගතයේ දී භුක්ති විඳිනු ඇති දෙවියන් වහන්සේගේ දරුවන්ගේ මහිමාන්විත නිදහස්කමේ පූර්ව රස විඳීමක් වෙයි!
දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ සහ ප්‍රේමයේ ගැඹුර
14, 15. මිදීමේ මිලය, යෙහෝවඃ වහන්සේගේ අසීමිත ප්‍රඥාව, එමෙන් ම උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම, සහ ප්‍රේමය කැපී පෙනෙන්නට සලස්වන්නේ කෙසේ ද?
14 මිදීමේ මිලය, යෙහෝවඃ වහන්සේගෙන් වූ මොනතරම් මවිතකර දීමනාවක් ද! එය පහසුවෙන් අවබෝධ කර ගත හැකි නමුත් එහෙත් උතුම් ම බුද්ධිමත් තැනැත්තා තුළ පවා ගරු සරු හැඟීමක් ඇති කර වන තරම් ගැඹුරු ය. මිදීමේ මිලය පිළිබඳ අපගේ පරීක්ෂණය මතුපිට උරගා බැලීමක් පමණි. එහෙත්: “අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්ටය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!” කියා අපි ප්‍රේරිත පාවුල් සමඟ හඬ නගා ප්‍රකාශ කරමු. (රෝම 11:33) මිනිස් වර්ගයා ව මුදවා ගැනීමෙනුත්, ස්වකීය ස්වාධිපතිකම නිර්දේශ කිරීමෙනුත් යෙහෝවඃ වහන්සේගේ ප්‍රඥාව තමන් වහන්සේට විදහා පෑමට හැකි වන සේක. මිදීමේ මිලය මාර්ගයෙන්, “දෙවියන්වහන්සේගේ ධර්මමිෂ්ඨකමක් ප්‍රකාශකරන ලද්දේය. . . . ඇදහීම කරණකොටගෙන [ක්‍රිස්තුස් වහන්සේ] ස්වකීය ලෙයින් පව් නසන [නැවත අනුග්‍රහය ලබා දෙන NW] පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියමකළසේක.”—රෝම 3:21-26.
15 අතීතයේ ප්‍රාග් ක්‍රිස්තියානින් විසින් කරන ලද පව් කමා කිරීම වෙනුවෙන් දෙවියන් වහන්සේට විරුද්ධ ව කිසි විවේචනයක් කළ නොහැක. තවදුරටත්, ආලේප ලත් අය ව ස්වකීය පුත්‍රයන් ලෙස ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කිරීම ගැන හෝ මහත් සමූහය ස්වකීය මිත්‍රයන් බවට ප්‍රකාශ කිරීම ගැන හෝ යෙහෝවඃ වහන්සේට එරෙහි ව කිසිදු විවේචනයක් ඉදිරිපත් කළ නොහැකි ය. (රෝම 8:33) යෙහෝවඃ වහන්සේට ම මහත් පාඩු දරා ගනිමින්, තමන් වහන්සේ අයුක්ති සහගත පාලකයෙකු යයි සාතන් කළ චෝදනාව මුළුමනින් ම නිෂ්ප්‍රභා කිරීමට දෙවියන් වහන්සේ කටයුතු කර තිබෙන ආකාරය මුළුමනින් ම නීත්‍යානුකූල හෙවත් ඍජු අවංක භාවයක් ගෙන ඇත! එමෙන් ම දෙවියන් වහන්සේගේ මැවිලි උදෙසා වූ උන් වහන්සේගේ පරාර්ථකාමී ප්‍රේමය කිසි ම ප්‍රශ්නයකට ඉඩ නොතබා නිරූපනය කරනු ලැබ තිබේ.—රෝම 5:8-11.
16. (අ) දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ අඛණ්ඩතාවය පිළිබඳ ප්‍රශ්නය විසඳීමට මිදීමේ මිලය කුමන මාර්ගයක් සපයා ඇත් ද? (ආ) පැමිණෙන ධර්මිෂ්ඨකමේ නව ලෝකය තුළ ඇදහිල්ල තැබීම සඳහා මිදීමේ මිලය අප හට පදනමක් සපයන්නේ කෙසේ ද?
16 මිදීමේ මිලය සපයනු ලැබූ ආකාරය, දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ අඛණ්ඩතාවය සම්බන්ධ ප්‍රශ්න ද නිරාකරණය කළේ ය. යේසුස් වහන්සේගේ කීකරුකම තුළින් එය ඉටු විය. (හිතෝපදේශ 27:11; රෝම 5:18, 19) එහෙත් සාතන්ගේ විරුද්ධවාදිකම් හමුවේ මරණය දක්වා විශ්වාසවන්ත ව සිටින්නා වූ ක්‍රිස්තියානින් 1,44,000 දෙනාගේ ජීවිත මාර්ගයන් ඊට එක් කරන්න! (එළිදරව් 2:10) අමරණීයත්වය—විනාශ කළ නොහැකි ජීවිතය තම විපාකය ලෙස ලබා ගැනීමට මිදීමේ මිලය මොවුන්ට හැකි කරවයි. (1 කොරින්ති 15:53; හෙබ්‍රෙව් 7:16) දෙවියන් වහන්සේගේ සේවකයන් විශ්වාසය තැබිය නොහැකි අය යයි සාතන් කළ චෝදනාව මේ මගින් අයුක්ති සහගත එකක් බවට පත් කරවයි! දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල තැබීමට ස්ථීර පදනමක් ද මිදීමේ මිලය අප හට ලබා දෙයි. “නීත්‍යානුකූල ව පිහිටවනු ලැබූ” ගැලවීමේ රූප රාමුවක් මිදීමේ මිලයේ යාගය තුළින් අපට දැක ගත හැකි ය. (හෙබ්‍රෙව් 8:6 NW) මේ අයුරින් ධර්මිෂ්ඨකමේ නව ලෝකයක් සහතික කරනු ලැබේ!—හෙබ්‍රෙව් 6:16-19.
එහි අරමුණ අත් නොහරින්න
17. (අ) තමන් මිදීමේ මිලයේ අරමුණ අත් හැර තිබෙන බව ඇතැම් අය පෙන්වන්නේ කෙසේ ද? (ආ) සාදාචාරාත්මක ව පිරිසිදු ව සිටීමට අප ව පොලඹ වීමට කුමකට හැකි ද?
17 මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ගැනීමට නම්, යමෙක් දැනුම ලබා ගෙන, ඇදහිල්ල පවත්වා, බයිබල් ප්‍රමිති මත ජීවත් වීම අවශ්‍ය ය. (යොහන් 3:16; 17:3) එහෙත් එසේ කිරීමට කැමති වන්නේ සාපේක්ෂ වශයෙන් ස්වල්ප දෙනෙකු පමණි. (මතෙව් 7:13, 14) සැබෑ ක්‍රිස්තියානින් අතර පවා, සමහරුන් “දෙවියන් වහන්සේගෙන් ලබන්ට නොවටිනා කරුණාව පිළිගෙන එහි අරමුණ අත් හරිනවා” විය හැකි ය. (2 කොරින්ති 6:1 NW) උදාහරණයක් වශයෙන්, පසු ගිය වසරවල දහස් ගණනක් ලිංගික වැරදි හැසිරීම නිසා නෙරපා දමනු ලැබ තිබේ. යෙහෝවඃ වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා කර තිබෙන දෙය බලන කළ මෙය මොනතරම් ලජ්ජාවක් ද! මිදීමේ මිලය කෙරෙහි යම් පුද්ගලයෙකු තුළ ඇති අගය කිරීම, “තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතක නැති” කිරීමෙන් වැළකීමට ඔහු ව පෙලඹ විය යුතු නොවේ ද? (2 පේතෘස් 1:9) එසේ නම්: “නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරපල්ලා” යනුවෙන් පාවුල් ක්‍රිස්තියානින් හට සිහි ගැන්වීම යෝග්‍ය ය. (1 කොරින්ති 6:20) මෙය මතක් කර ගැනීම සදාචාර ව පවිත්‍ර ව සිටීමට අප හට බලවත් පෙලඹවීමක් ලබා දෙයි!—1 පේතෘස් 1:14-19.
18. බරපතළ පාපයකට වැටෙන ක්‍රිස්තියානියෙකුට තවමත් මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේ ද?
18 යම් පුද්ගලයෙක් දැනටමත් බරපතළ පාපයකට වැටී සිටින්නේ නම් කුමක් ද? ප්‍රේමනීය අවේක්ෂකයන්ගේ උපකාරය ලබා ගනිමින්, ඔහු මිදීමේ මිලයෙන් ලැබෙන සමාවෙන් ප්‍රයෝජන ගත යුතු ය. (යාකොබ් 5:14, 15) දැඩි හික්මවීමක් අවශ්‍ය වුවත්, පසුතැවිලි වන ක්‍රිස්තියානියෙක් එවන් නිවැරදි කිරීමක දී බලාපොරොත්තු නැති කර නොගත යුතුයි. (හෙබ්‍රෙව් 12:5) මෙම පුදුමාකාර බයිබල් සහතිකය අපට තිබේ: “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.”—1 යොහන් 1:9.
19. සත්‍යය ඉගෙනීමට පෙර සිදු වුනා වූ තමාගේ වැරදි හැසිරීමක් ගැන ක්‍රිස්තියානියෙකුට කිනම් මතයක් ඇති ව සිටිය හැකි ද?
19 ඇතැම් විට, ක්‍රිස්තියානිහු තමන් අතීතයේ කරන ලද වැරදි හැසිරීම නිසා අනවශ්‍ය ලෙස අධෛර්යට පත් ව සිටිත්. “සත්‍යයට එන්නට පෙර, මට සහ මගේ භාර්යාවට ජෙනිටල් හර්පිස් [සමාජ රෝගයක්] වැලඳුණා. ඇතැම් අවස්ථාවල දී, අප යෙහෝවඃ වහන්සේගේ පිරිසිදු සංවිධානයට ‘නොගැලපෙන්නාක්’ මෙන් අපවිත්‍ර යයි අපට හැඟී යනවා” යයි අධෛර්යට පත් එක් සහෝදරයෙක් ලීවේ ය. ක්‍රිස්තියානින් බවට පත්වීමෙන් පසු ව පවා, සමහරුන් තමන්ගේ අතීත වැරදි නිසා තරමක් දුරට දුක් විඳිනවා වන්නට පුළුවන. (ගලාති 6:7) එහෙත්, එම තැනැත්තා පසුතැවිලි වී ඇත්නම්, යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවේ අපවිත්‍ර බවක් හැඟී යාමට කිසිදු හේතුවක් නොමැත. “මළ ක්‍රියාවලින් අපගේ හෘදයසාක්ෂීන් පවිත්‍ර කරන්නට ක්‍රිස්තුස්වහන්සේගේ ලේවලට” හැකි ය.—හෙබ්‍රෙව් 9:14, NW.
20. අනවශ්‍ය වරද සහිත බවකින් ක්‍රිස්තියානියෙකු ව නිදහස් කිරීමට මිදීමේ මිලය තුළ තබන ඇදහිල්ලට හැක්කේ කෙසේ ද?
20 එසේ ය, මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තැබීම, වරද සහිත බවේ අනවශ්‍ය බරවලින් අප ව නිදහස් කර වීමට උපකාරවත් විය හැක. එක් යෞවන සහෝදරියක් මෙසේ පිළිගත්තා ය: “මම දැනට වසර 11ක් පුරා ස්වලිංගික වින්දනයේ අපවිත්‍ර පුරුද්ද සමඟ පොරබදමින් සිටින්නෙමි. යෙහෝවඃ වහන්සේගේ සභාව අපවිත්‍ර කිරීමට මේ තරම් පිළිකුල් සහගත පුද්ගලයෙකු ව උන් වහන්සේට කිසි විටෙකත් වුවමනා නැතැයි මට හැඟී ගියෙන් එක් අවස්ථාවක මම සභාව අත් හැර යාමට ආසන්න තත්ත්වයකට පත් වීමි.” එහෙත් අප හෘදය සාක්ෂියට එකඟ ව අධර්මිෂ්ඨකමට යටත් නොවී, ඊට එරෙහි ව සටන් කරනතාක් කල්, යෙහෝවඃ වහන්සේ ‘යහපත් බවත් කමාවන්ට සූදානම් ව සිටින බවත්’ මතකයේ තබා ගත යුතු ය.—ගීතාවලිය 86:5.
21. අප ව අමනාප කරන අය කෙරෙහි අප දරන මතයට මිදීමේ මිලය කෙසේ බලපෑ යුතු ද?
21 මිදීමේ මිලය, අප අන්‍යයන් සමඟ කටයුතු කරන ආකාරය ගැන ද යම් බලපෑමක් ඇති කළ යුතුයි. නිදසුනක් වශයෙන්, සෙසු ක්‍රිස්තියානියෙක් ඔබ ව අමනාප කළ විට, ඔබ ප්‍රතික්‍රියා කරන්නේ කෙසේ ද? ඔබ ක්‍රිස්තුස් වහන්සේ මෙන් නිදහස් ලෙස කමාව දෙනවා ද? (ලූක් 17:3, 4) ඔබත් “ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් [අනුන්ට] [නොමසුරුව NW] කමාව” දෙනවා ද? (එපීස 4:32) එසේ නැත්නම් සිතේ කේන්තිය රඳවා ගෙන අමනාපය වර්ධනය කරන්නෙහි ද? එය ඇත්තෙන් ම මිදීමේ මිලයේ අරමුණ අත් හැර දැමීමක් වනු ඇත.—මතෙව් 6:15.
22, 23. (අ) අපගේ නිෂ්ටාවන් සහ ජීවන රටාව කෙරෙහි මිදීමේ මිලය කුමන බලපෑමක් ඇති කළ යුතු ද? (ආ) මිදීමේ මිලය පිළිබඳ ව සියලු ක්‍රිස්තියානින් කුමන අධිෂ්ඨානයක් ගත යුතු ද?
22 අවසන් වශයෙන්, මිදීමේ මිලය සඳහා ඇති අගය කිරීම අපගේ නිෂ්ටාවන් [goals] සහ ජීවන-රටාවන් කෙරෙහි ද ගැඹුරු බලපෑමක් ඇති කළ යුතුයි. “ඔබ ව මිලයට ගනු ලැබුවේ මිලකට ය; මිනිසුන්ගේ වහලුන් වීම නවත්වන්න.” යනුවෙන් පාවුල් පැවසුවේ ය. (1 කොරින්ති 7:23 NW) ඔබගේ ජීවිතය තවමත් කේන්ද්‍ර ගත වී ඇත්තේ ආර්ථික අවශ්‍යතා—එනම් නිවස, රැකියාව, ආහාර, ඇඳුම් පැළඳුම් මත ද? එසේ නැත්නම්, ඔබට අවශ්‍යතා සැපයීමට දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබමින් ඔබ රාජ්‍යය ප්‍රථමයෙන් සොයමින් සිටිනවා ද? (මතෙව් 6:25-33) දිව්‍ය ආණ්ඩු ක්‍රියාකාරකම්වලට ප්‍රමාණවත් ඉඩක් ලැබීමට අසමත් වන නමුත් ඔබ ඔබේ රැකියාවේ ස්වාමියාට වහලෙකු මෙන් සේවය කරමින් සිටිනවා විය හැකි ද? ක්‍රිස්තුස් වහන්සේ, “යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍ර කරන පිණිස, අප උදෙසා තමන්ම දුන්” බව මතක තබා ගන්න.—තීතස් 2:14; 2 කොරින්ති 5:15.
23 මෙම අති උත්කෘෂ්ඨ දීමනාව උදෙසා “යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොට ගෙන දෙවියන් වහන්සේට ස්තුති වේවා!” (රෝම 7:25 NW) මිදීමේ මිලයේ අරමුණ අපි කිසි විටෙකත් අත පසු නොකරමු, නමුත් එය අපගේ ජීවිත තුළ සැබෑ බලයක් වීමට ඉඩ හරිමු. මිලයක් මගින් අප ව මිල දී ගනු ලැබ ඇති බව කෘතඥතා පූර්වක ව සිහි කරමින්, සිතිවිලිවලින්, වචනයෙන්, හා ක්‍රියාවෙන් අපි සෑම විට ම දෙවියන් වහන්සේ ව මහිමවත් කරමු. w91 2/15
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ රුධිරය පරිශුද්ධ දෙයක් ලෙස සලකනු ලබන්නේ මන්ද, එමෙන් ම ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය ස්වර්ගයේ දී යෙහෝවඃ වහන්සේ ඉදිරියේ පූජා කරනු ලැබුයේ කෙසේ ද?
◻ නව ගිවිසුම වලංගු කිරීමේ දී ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය ඉටු කළ කාර්ය භාරය කුමක් ද?
◻ මිදීමේ මිලය අලේප ලත් අයට හා මහත් සමූහයට ප්‍රයෝජන ලබා දෙන්නේ කෙසේ ද?
◻ අප විසින් මිදීමේ මිලයේ අරමුණ අත් හැර නොමැති බව පෙන්වීමට අපට හැක්කේ කෙසේ ද?
[24වන පිටුවේ පින්තූරය]
පූජාවක වන්දි ගෙවීමේ බලය ඇත්තේ එහි රුධිරයෙහි ය
[25වන පිටුවේ පින්තූරය]
දෙවියන් වහන්සේගේ සමාව අගය කරන තැනැත්තා අන්‍යයන් වෙත සමාව විහිදු වීමට කැමැත්තෙන් සිටී