මැවිල්ල මෙසේ පවසයි, “ඔවුන්ගේ නිදහසට කරුණු කිසිවක් නැත”
“ලෝකය මැවූ තැන් සිට, ඇසට නොපෙනෙන උන් වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන් වහන්සේගේ සදාතන බලමහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන් වහන්සේගේ මැවිලිවලින් ප්‍රකාශ කර ඇත. එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් නැත.”—රෝම 1:20, නව අනුවාදය.
1, 2. (අ) යෝබ් යෙහෝවඃ වහන්සේට කළ තික්තකමින් පිරුණු මැසිවිල්ල කුමක් ද? (ආ) කලකට පසු ව යෝබ් තමාගේ වරද පිළිගනිමින් කීවේ කුමක් ද?
යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි නොබිඳිය හැකි අඛණ්ඩතාවයක් සතු ව තිබුණා වූ පුරාතන මිනිසෙකු වූ යෝබ් ව, සාතන් විසින් ඉතා දරුණු පරීක්ෂාවකට ලක් කර තිබුණි. යක්ෂයා විසින් යෝබ්ගේ සියලු ම ද්‍රව්‍යමය සම්පත් නැති වී යාමට සලස්වා තිබූ අතර, ඔහුගේ පුත්‍රයන් හා දූවරුන් වෙත මරණය පමුණුවා, ඔහු හට ඉතා පිළිකුල් රෝගයකින් පහර දී තිබුණි. යෝබ් සිතුවේ මෙම ව්‍යසනයන් ගෙන එන්නේ දෙවියන් වහන්සේ කියා ය, ඇරත් ඔහු යෙහෝවඃ වහන්සේ හට මෙසේ ඉතා තික්ත අයුරින් මැසිවිලි නැඟුවේ ය: “ඔබ වැරදි කිරීම ඔබ හට යහපත් දෙයක් ද, . . . ඔබ මාගේ වැරදි සොයා, ඔබ මාගේ පාපය දෙස බලා සිටිය යුතු ද? ඔබ මෙසේ කරන්නේ මා වැරැද්දේ නැති බව දැනුවත් ව නොවේ ද?”—යෝබ් 1:12-19; 2:5-8; 10:3, 6, 7, NW.
2 මින් යම් කලකට පසු ව, යෝබ් විසින් දෙවියන් වහන්සේ වෙත පැවසූ වදන්වලින් පිළිබිඹු වූයේ මීට හාත්පසින් ම වෙනස් වීමක් ය: “මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි [මා කථා කළ නුමුදු, මට ඉතා පුදුම වූ ද මා දැන නොගත් දේවල් මම තේරුම් නොගතිමි NW]. මා ඔබ ගැන කනින් අසා තිබුණේය; නුමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි. එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙන් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමි.” (යෝබ් 42:3, 5, 6) යෝබ්ගේ ආකල්පය වෙනස් වීමට සිදු වී තිබුණේ කුමක් ද?
3. මැවිල්ල සම්බන්ධයෙන් යෝබ් ලබා ගත් නව දෘෂ්ටි කෝණය කුමක් ද?
3 මේ අතරතුර කාලයේ දී, යෙහෝවඃ වහන්සේ කුණාටුවේ සිට යෝබ් හට කථා කොට තිබුණි. (යෝබ් 38:1) උන් වහන්සේ යෝබ්ගෙන් ප්‍රශ්න රාශියක් අසා තිබුණි. ‘මම පොළොව පිහිටු වූ කල ඔබ සිටියේ කොතැන ද? මුහුදට දොරවල් දමා එහි රැලි යා යුතු සීමාව නියම කළේ කවුද? වළාකුල්වලින් පොළොව කරා වර්ෂාව ඇති වෙන්ට සලස්වන්ට ඔබට පුළුවන් ද? තණකොළ වර්ධනය වීමට සලස්වන්ට ඔබට පුළුවන් ද? තාරකා මණ්ඩල එකට බැඳ ඒවායේ ගමන් මගෙහි ඒවා මෙහෙයවන්ට ඔබට පුළුවන් ද?’ යෝබ් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ සිට 41 වෙනි පරිච්ඡේදය පුරා, යෙහෝවඃ වහන්සේ යෝබ් මත මෙම ප්‍රශ්න රාශිය ඇද වැටෙන්ට සැලැස්වූ අතර, ස්වකීය මැවිල්ල සම්බන්ධයෙන් තව බොහෝ ප්‍රශ්න නැඟූ සේක. දෙවියන් වහන්සේ හා මිනිසා අතර තිබෙන අති විශාල පරතරය යෝබ් හට දැක ගැනීමට සැලැස්වූ උන් වහන්සේ, යෝබ්ගේ බලයෙන් සිදු කරන්නට බැරි හෝ වටහා ගැනීමටවත් බැරි දෙවියන් වහන්සේගේ මැවිලිවලින් පිළිබිඹු වන ප්‍රඥාව හා බලය යෝබ් හට බලකරවමින් සිහිගැන්වූ සේක. සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මැවිලි තුළින් හෙළිවන උන් වහන්සේගේ විස්මිත බලය හා අදහාගත නොහැකි ප්‍රඥාව මගින් අන්දුන්කුන්දුන් වී ගිය යෝබ්ට යෙහෝවඃ වහන්සේ සමඟ විවාද කරන්නට තමාට කිසි ගරුසරු නැති බවක් තිබුණේ කෙසේ දැයි යනුවෙන් සිතමින් තමා ගැන මහත් පිළිකුල් බවක් ඇති විය. එම නිසා ය ඔහු මෙසේ පැවසුවේ: “මා ඔබ ගැන කනින් අසා තිබුණේය; නුමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි.”—යෝබ් 42:5.
4. යෙහෝවඃ වහන්සේගේ මැවිලිවලින් අපට වටහා ගත හැක්කේ කුමක් ද, එමෙන් ම එය දැකීමට අසමත් වන අයගේ තත්ත්වය කුමක් ද?
4 සියවස් ගණනාවකට පසු, දේවානුභාව ලත් බයිබල් ලේඛකයෙක්, යෙහෝවඃ වහන්සේගේ ගුණාංග උන් වහන්සේගේ මැවිලි තුළින් දැකිය හැකි යයි සනාථ කළේ ය. ප්‍රේරිත පාවුල් රෝම 1:19, 20 [න. අ.] හි මෙසේ ලීවේ ය: “දෙවියන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදක් සේ පැහැදිලි ය; දෙවියන් වහන්සේ ම එය ඔවුනට අනාවරණය කර දී ඇත. ලෝකය මැවූ තැන් සිට, ඇසට නොපෙනෙන උන් වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන් වහන්සේගේ සදාතන බලමහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන් වහන්සේගේ මැවිලිවලින් ප්‍රකාශ කර ඇත. එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් නැත.”
5. (අ) මිනිසුන්ට තිබෙන සහජ අවශ්‍යතාවය කුමක් ද, ඇතමුන් විසින් එය අනිසි ලෙස සපුරා ගෙන ඇත්තේ කෙසේ ද? (ආ) ඇතන්ස් නගරයේ විසූ ග්‍රීකයන් හට පාවුල් කළ නිර්දේශය කුමක් ද?
5 මිනිසා ව මවනු ලැබුවේ වඩාත් උසස් බලයක් නමස්කාර කිරීමේ සහජ අවශ්‍යතාවයක් සහිත ව ය. වෛද්‍ය කේ. ජී. ජන්ග්, දි අන්ඩිස්කවර්ඩ් සෙල්ෆ් නමැති තම පොතේ මෙම අවශ්‍යතාවය යොමු දැක්වූයේ, “මිනිසාට ආවේණික ජන්මයෙන් ම උරුම වෙන ස්වභාවයක් ලෙස ය, තව ද මෙහි පිළිබිඹු වීම් මුළු මිනිස් ඉතිහාසය පුරා දැකිය හැකි ය” කියා ය. නමස්කාර කිරීම සඳහා මිනිසාට තිබෙන මෙම සහජ ආශාව ගැන ප්‍රේරිත පාවුල් කථා කළ අතර, ඇතන්ස් නුවර විසූ ග්‍රීක්වරුන් දැන හා නොදැන සිටි බොහෝ දෙවිවරුන් සඳහා රූප හා පූජාසන සැදීමේ හේතුව මේ මගින් පැහැදිලි කෙරිණි. පාවුල් සැබෑ දෙවියන් වහන්සේ ව ද ඔවුන්ට හඳුන්වා දුන් අතර, සැබෑ දෙවියන් වහන්සේ වන යෙහෝවඃ වහන්සේ ව සෙවීම මගින් මෙම සහජ ආශාව නිවැරදි ලෙස තෘප්තිමත් කළ යුතු බව ඔවුනට පෙන්වී ය, “ඔවුන් උන් වහන්සේ ව සොයන්නට වෑයම් කර උන් වහන්සේ ව සොයා ගත්තත්, ඇත්තෙන් ම උන් වහන්සේ අප එකිනෙකාගෙන් දුරස් ව නොසිටින සේක.” (ක්‍රියා 17:22-30, NW) අපි උන් වහන්සේගේ මැවිලිවලට ළං වෙන්ට ළං වෙන්ට, උන් වහන්සේගේ ගුණාංග හා පුද්ගලිකත්වයේ ලක්ෂණ වඩාත් ළඟින් වටහා ගන්නෙමු.
පුදුමාකාර ජල චක්‍රය
6. ජල චක්‍රය තුළ අපට දැකිය හැක්කේ යෙහෝවඃ වහන්සේගේ කිනම් ගුණාංග ද?
6 නිදසුනක් වශයෙන්, ජලය ටොන් ගණනක් දරා සිටින පුළුන් මෙන් වූ වලාකුළුවලට ඇති හැකියාව ගැන කල්පනා කර බලන විට, අපට වටහා ගත හැක්කේ යෙහෝවඃ වහන්සේ සතු කිනම් ගුණාංග ද? උන් වහන්සේගේ ප්‍රේමය සහ ප්‍රඥාව අපට දැකිය හැක, මන්දයත් උන් වහන්සේ මෙසේ පොළොවේ සමෘද්ධිය උදෙසා වැසි ඇද හැළෙන්නට සලස්වන සේක. උන් වහන්සේ මෙය කරන්නේ, දේශනාකාරයා 1:7 හි සඳහන් වී ඇති ජල චක්‍රයේ ගැබ් වී තිබෙන පුදුමාකාර නිර්මාණය මගිනි: “සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්වඑන තැනටම නැවත යති.” යෝබ්ගේ බයිබල් පොත එය සිදුවන ආකාරය ගැන විස්තරාත්මක සාක්ෂි සපයයි.
7. ජලය සාගරවල සිට වලාකුළු වෙත ගමන් ගන්නේ කෙසේ ද, තව ද ජල ටොන් ගණනක් දරා ගැනීමට පුළුන් වලාකුළුවලට හැක්කේ කෙසේ ද?
7 සීත සමයේ ඇද හැළෙන ජල දහරා මුහුදට ගලා යන විට, ඒවා එහි රැඳී තිබෙන්නේ නැත. යෙහෝවඃ වහන්සේ, “දිය බින්දු ඉහළට ඇදගන්න කල උන්වහන්සේගේ මීදුමෙන් වැස්ස සෑදෙන්නේය.” ජලය තිබෙන්නේ ජල වාෂ්ප ආකාරයෙන් හා අවසානයේ දී, සියුම් මීදුමක් හැටියට නිසා, “උන් වහන්සේගේ විස්මය ජනක මැවිල්ලක් වශයෙන් වලාකුළු අහසේ එක්තැන් වී පවතී.” (යෝබ් 36:27; 37:16, ද න ඉංග්ලිෂ් බයිබල්) වලාකුළු මීදුම ව තිබෙන තාක්කල් ඒවා පා වෙයි: “උන්වහන්සේ තමන්ගේ ඝන වලාකුල්වල වතුර බැඳ තබනසේක; වලාකුළද ඒ යටින් නොපැකිළෙයි [ඒවායේ බර නිසා විසිර නොයති NW].” නැතහොත් තවත් පරිවර්තනයක් පවසන්නේ මෙසේ ය: “එතුමාණෝ වලාකුළුවල වතුර පුරවා තබන සේක. එහි බරෙන් වලාකුළු පුපුරන්නට ඉඩ නොදෙන සේක.”—යෝබ් 26:8, න. අ.
8. ජල චක්‍රය සම්පූර්ණ වන පරිද්දෙන් “අහසේ භාජනවල දිය” කිනම් විවිධ පියවර මගින් වගුරුවනු ලබත් ද?
8 පොළෝ තලය මත වැසි ඇද හැලීම සඳහා මේ “අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන්ද?” (යෝබ් 38:37) මුල දී ම, “තමන් විසින් සෑදූ මීදුමෙන් වැස්ස පෙරන්නා වූ” “උත්කෘෂ්ට දක්ෂතා” ඇත්තා වූ ද ඒවා එසේ තබන්නා වූ ද තැනන් වහන්සේ ය. එමෙන් ම, මීදුමෙන් වැසි බිංදු පෙරීමට අවශ්‍ය වන්නේ කුමක් ද? වාතයේ සෑම ඝන අඟලක ම දහස් ගණනේ සිට සිය දහස් ගණනක් දක්වා තිබෙන දූවිලි හෝ ලවණ කොටස් වැනි ක්ෂුද්‍ර ඝන පදාර්ථ තිබිය යුතු අතර, ඒවා වටා ජල බිංදුවක් සෑදීමට ඒවා න්‍යෂ්ටි සේ ක්‍රියා කරයි. සාමාන්‍ය ජල බිංදුවක් සෑදීම සඳහා ඉතා කුඩා වලා වැහි බිංදු දස ලක්ෂ ගණනක් අවශ්‍ය වේ යයි ගණන් බලා තිබේ. වලාකුළුවලින් ජලය ඇද හැලී මහා ජල දහරාවන් බවට පත් වී ගංගා ඇළ දොළ හරහා මුහුදට නැවත හැරී යාමට හැක්කේ මෙම සියලු සිදුවීම්වලින් පසු ව පමණි. මෙමගින් ජල චක්‍රය සම්පූර්ණ වෙයි. මේ සියල්ල ම නිකම් ම ඉබේ සිදුවිය හැකි ද? ඇත්ත වශයෙන් ම, ‘නිදහසට කරුණු’ නැත!
සාලමොන්ගේ ප්‍රඥාවේ එක ප්‍රභවයක්
9. එක් කුහුඹු විශේෂයක් ගැන සාලමොන් ඉගෙන ගත් අපූරු දේ කුමක් ද
9 ඉපැරණි ලෝකයේ, සාලමොන්ගේ ප්‍රඥාව අසමසම එකක් විය. එම ප්‍රඥාවේ බොහොමයක් තුළ සැලකිල්ල දක්වා තිබුණේ යෙහෝවඃ වහන්සේගේ මැවිලිවලට ය: “[සාලමොන්] ලෙබනොන්හි තිබෙන කිහිරි ගස පටන් භිත්තියෙන් හටගන්න හිසොප් ගහ දක්වා ගස් ගැන කථාකෙළේය. ඔහු මෘගයන්ද පක්ෂීන්ද බඩගා යන සතුන්ද මත්ස්‍යයන්ද ගැනත් කථාකෙළේය.” (1 රාජාවලිය 4:33) මෙසේ ලීවේ එම සාලමොන් රජ ම ය: “අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඤාණවන්ත වෙයන්න. ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්, ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි. ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.”—හිතෝපදේශ 6:6-8.
10. බීජ එක් රැස් කරන කුහුඹුවන් පිළිබඳ සාලමොන්ගේ උපහැරණය නිදොස් කරනු ලැබුවේ කෙසේ ද?
10 සීත කාලයේ දී තම පරිභෝජනය සඳහා ග්‍රීෂ්ම කාලයේ දී ආහාර ගබඩා කර ගැනීමට කුහුඹුවාට ඉගැන්වූයේ කවුද? සියවස් ගණනාවක් පුරා, සීත කාලයේ දී පරිභෝජනය කිරීම සඳහා මෙම කුහුඹුවන්ගේ බීජ එකතු කිරීම හා ඒවා ගබඩා කිරීම පිළිබඳ සාලමොන්ගේ වාර්තාවේ නිවැරදිභාවය ගැන සැකපහළ කරනු ලැබිණි. උන්ගේ පැවැත්ම පිළිබඳ කිසිදු වාර්තාවක් කිසිවෙකු විසින් සොයා ගෙන තිබුණේ නැත. කෙසේ වුවද, 1871 දී, බ්‍රිතාන්‍ය පරිසරවේදියෙක්, පොළොව යට තිබූ කුහුඹුවන්ගේ ධාන්‍යාගාරයක් සොයා ගත් අතර, උන් ගැන බයිබලය වාර්තා කර ඇති දෙය එමගින් නිදොස් කෙරිණි. එහෙත් සිසිර සමයේ සීතල ඉදිරියට තිබෙන බවට දුර දක්නා නුවණත්, කළ යුත්තේ කුමක් දැයි යන්න ගැන ප්‍රඥාවත් මෙම කුහුඹුවන් විසින් ලබා ගත්තේ කෙසේ ද? යෙහෝවඃ වහන්සේගේ මැවිලි බොහොමයකට ඒවායේ පැවැත්ම සඳහා අන්තර්ගත කරන ලද ප්‍රඥාවක් තිබෙන බව බයිබලය ම පැහැදිලි කරයි. තම මැවුම්කරුවාණන්ගෙන් ආශීර්වාද ලබා ගන්නාවුන්ගෙන් එක් වර්ගයකි මෙම බීජ රැස් කරන කුහුඹුවෝ. හිතෝපදේශ 30:24 [NW] උන් ගැන මෙසේ කියයි: “ඔවුහු සහජයෙන් ම ප්‍රඥාවන්තයෝ ය.” එවැනි ප්‍රඥාවක් ඉබේ පැමිණියා යයි පැවසීම අසාධාරණ ය; උන් පිටුපස ප්‍රඥාවන්ත මැවුම්කරුවෙකු පිළිබඳ වටහා ගැනීමට අසමත්වීම ගැන නිදහසට කරුණු කියන්නට බැරි ය.
11. (අ) යෝධ සෙකුවා ගස මෙතරම් පුදුමාකාර වන්නේ ඇයි? (ආ) ප්‍රභාසංස්ලේෂණයේ පළමු ප්‍රතික්‍රියාව ගැන එතරම් මවිත විමට තිබෙන දේ කුමක් ද?
11 යෝධ සෙකුවා ගසක් යටට වී එහි අති විශාල තේජස දෙස ඇස් අයා බලා සිටින මිනිසෙකු තමා කුඩා කුහුඹුවෙකු මෙනැයි හැඟී යන බව තේරුම් ගත හැකි ය. ගසේ තරම පුදුමාකාරය: උස අඩි 300 කි, විෂ්කම්භය අඩි 36කි, එහි පොත්තේ ඝනගම අඩි 2කි, එහි මුල්, අක්කර තුනක් හෝ හතරක් දක්වා පැතිර විහිදී යයි. එහෙත්, මීටත් වඩා විස්මයජනක පැත්ත නම්, එහි වර්ධනයට අයත් වන එහි රසායනික ක්‍රියාවලිය හා භෞතික ක්‍රියාවලිය ය. එහි පත්‍ර මුල්වලින් ජලය ලබා ගන්නා අතර, වාතයෙන් කාබන්ඩයොක්සයිඩ් වායුව ද, හිරුඑළියෙන් ශක්තිය ද ලබාගෙන, සීනි වර්ග නිෂ්පාදනය කර ඔක්සිජන් පිට කරයි—සියල්ල ම තේරුම් ගත නොහැකි රසායනික ප්‍රතික්‍රියාවන් 70ක් පමණ ඇතුළත් වන, මෙම ක්‍රියාවලියට ප්‍රභාසංස්ලේෂණය යයි කියනු ලැබේ. මෙහි තිබෙන මවිතකර දෙය නම්, මෙහි පළමු ප්‍රතික්‍රියාව හිරු එළිය මත රඳා පැවතීමයි, එනම්, හරි වර්ණය සහ හරි තරංග ආයාමය අත්‍යවශ්‍ය ය; නොඑසේ නම්, ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා හරිතප්රද අණු මගින් එය අවශෝෂණය නොකරේ.
12. (අ) සෙකුවා ගස ජලය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් පුදුම වීමට තිබෙන දේ කුමක් ද? (ආ) ශාක වර්ධනය සඳහා නයිට්රජන් අවශ්‍ය වන්නේ මන්ද, තව ද එහි චක්‍රය සම්පූර්ණ වන්නේ කෙසේ ද?
12 මෙම ගසට එහි මුල්වල සිට ජල කන්දරා, අඩි 300ක් වූ මෙම මහා ප්‍රතිමාවක් බඳු ගසේ මුදුන දක්වා ඇදගන්නට හැකි වීම, තවත් පුදුමයකි. ප්රභාසංස්ලේණයට අවශ්‍ය කරනවාට වඩා බොහෝ ජලකඳක් ඉහළට ඇද ගනු ලැබේ. මෙම අතිරේක ජලය, උත්ස්වේදන ක්‍රියාව මගින් පත්‍ර තුළින් වාතයට පිට කරනු ලැබේ. එය ගසේ ජලය සිසිල් කරන අතර, එය හරියට අපට දහඩිය දැමීම මගින් අප සිසිල් කරනවා වැනි ය. වර්ධනය සඳහා ප්‍රෝටීන් නිපදවීමට, සීනි හෝ කාබොහයිඩ්රේටවලට නයිට්රජන් එකතු කළ යුතු ය. වාතයෙන් වායුමය නයිට්රජන් ලබා ගන්නට පත්රවලට නොහැක, නමුත් පසේ සිටින ක්ෂුද්‍ර ජීවින් හට භූගත වායුමය නයිට්රජන් ජලයේ ද්‍රාවණය කළ හැකි නයිට්රේට් සහ නයිට්රයිට් බවට පත් කළ හැකි අතර, එවිට ඒවා ශාක මුල්වල සිට පත්‍ර කරා ගමන් කරයි. මෙම නයිට්රජන් එහි ප්‍රෝටීන් තුළ භාවිතා කර තිබෙන ශාක හා සත්ත්වයන් මිය ගොස්, ධාතු කොටස් වශයෙන් දිරා පත් වී යන විට, නයිට්රජන් නිදහස් කරනු ලැබේ. මේ සියල්ල තුළ, ගැබ් වී ඇති සංකීර්ණත්වය මහත් විස්මයට පත් කරවන සුලු ය, මෙය අහම්බෙන් ඇති වන කාර්යයක් යයි සිතීම බොහෝ සෙයින් උගහට ය.
කථාවක් හෝ වචන හෝ හඬක් නොමැති ව ඒවා කථා කරති!
13. තරුවලින් පිරි අහස දාවිත් හට ප්‍රකාශ කළේ කුමක් ද, තව ද එය නිරතුරු ව ම අප හට පවසන්නේ කුමක් ද?
13 තරුවලින් ගහණ වී තිබෙන අහස් කුස දෙස බලන අය තුළ ගෞරවනීය ආකල්පයක් ඇති කරවන, එම අහස් කුස තුළින් මැවුම්කරුවාණන් ගැන කිනම් ගරුබිය දනවන පිළිබිඹු කිරීමක් දිස්වන්නේ ද! ගීතාවලිය 8:3, 4 හි [න. අ.] තමාට හැඟී ගිය එම ගරුබිය දාවිත් පළ කළේ මෙසේ ය: “සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි, මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැයි මට සිතෙන්නේ ය.” දැකීමට ඇස් ඇති, ඇසීමට කන් ඇති, හැඟීමට හදවතක් ඇති අය හට, දාවිත් හට කළාක් මෙන්, ඒවා ඔවුන්ටත් කථා කරයි: “අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ ය.”—ගීතාවලිය 19:1-4, න. අ.
14. එක තරුවක ගතික ශක්තිය අප හට එතරම් වැදගත් වන්නේ මන්ද?
14 අප තරු ගැන දැනගන්ට දැනගන්ට, ඒවා මහ හඬින් අපට කථා කරයි. යෙසායා 40:26 [න. අ.] හි ඒවායේ ගැබ් ව පවතින අති මහත් ශක්තිය සැලකිල්ලට ගන්නා මෙන් අපට ආරාධනා කොට තිබේ: “අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය. එතුමන්ගේ බලයේ [ගතික ශක්තියේ NW] මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ.” පෘථිවිය එහි කක්ෂයේ නියම තැනේ තබන්නෙත්, පැළෑටිවලට වැඩිමට සලස්වා අප ව උණුසුම් ව තබා ගන්නෙත්, පෘථිවිය මත සියලු ජීවින්ට ජීවත්වීමට හැකි කරවන්නෙත්, එම තරුවලින් එකක් වන, එනම් අපගේ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය සහ ගතික ශක්තියයි. දේවානුභාවය යටතේ ප්‍රේරිත පාවුල් මෙසේ පැවසී ය: “ශෝභාවෙන් තාරකාවක් තාරකාවකට වෙනස් ය.” (1 කොරින්ති 15:41, න. අ.) අපගේ සූර්යයා වැනි කහ තරු ද, නිල් තරු ද, රතු යෝධ තරු ද, සුදු වාමන තරු ද, නියුට්‍රෝන තරු ද, තේරුම් ගත නොහැකි තරම් අධික බලයක් විහිදුවන සුපර්නෝවා වැනි පිපිරෙන තරු ගැන ද විද්‍යාවෙන් දැන ගෙන තිබේ.
15. බොහෝ නිමැවුම්කරුවන් මැවිල්ලෙන් ඉගෙන ගෙන අනුකරණය කිරීමට යත්න දරා ඇත්තේ කුමකට ද?
15 බොහෝ නිමැවුම්කරුවන් මැවිල්ලෙන් ඉගෙන ගෙන ඇති අතර, බොහෝ ජීවමාන ජීවීන්ගේ හැකියාවන් පිටපත් කිරීමට යත්න දරා තිබේ. (යෝබ් 12:7-10) මැවීමේ කැපී පෙනෙන අංග කිහිපයක් පමණක් සලකා බලන්න. මුහුදු ජලය ලුණු බැහැර කරන ග්‍රන්ථි සහිත මුහුදු කුරුල්ලන්; විදුලිය නිපදවන මත්ස්‍යයන් හා ආඳන්; සීතල ආලෝකය නිපදවන මත්ස්‍යයන්, පණුවන්, හා කෘමීන්; සෝනා භාවිතා කරන වවුලන් හා ඩොල්ෆිනයන්; කඩදාසි සාදන බඹරු; පාලම් සාදන කුහුඹුවන්; වේලි තනන බීවරා; උෂ්ණමාපකයන්ගෙන් සමන්විත නාගයන්; වාතය ගබඩා කරන බට සහ කිමිදුම් උපකරණ යොදා ගන්නා පොකුණුවල ජීවත් වන කෘමීන්; ජෙට් යානයක ඉදිරියට තල්ලු වීමේ ක්‍රියාවලිය [ක්ෂේප ප්‍රචාලනය] යොදා ගන්නා බූවල්ලන්; සත් විදිහක දැල් සහ උගුල් දොරවල්, දැල්, තොණ්ඩු සාදන සහ ඉතා විශාල උසකින් සැතපුම් දහස් ගණනක් බැලූන මගින් ගමන් කරන පැටවුන් සහිත මකුළුවන්; සබ්මැරීන වැනි වූ පාවීම සඳහා ටැංකි යොදා ගන්නා මත්ස්‍යයන් හා කවචයන්; එමෙන් ම සංක්‍රමණය වීමේ පුදුමසහගත දක්ෂතාවන්ගෙන් හෙබි කුරුල්ලන්, කෘමීන්, මුහුදු කැස්බෑවන්, මත්ස්‍යයන්, හා ක්ෂීරපායි සත්ත්වයන්—මෙවන් සතුන්ගේ හැකියාවන් පැහැදිලි කිරීම විද්‍යාවේ බලය ඉක්මවා යාමකි.
16. විද්‍යාව විසින් සොයා ගැනීමට වසර දහස් ගණනකට පෙර, බයිබයේ වාර්තා කර තිබුණේ කිනම් විද්‍යාත්මක සත්‍යයන් ද?
16 විද්‍යාවෙන් දැනගන්නට වසර දහස් ගණනකට පෙර බයිබලය විද්‍යාත්මක සත්‍යයන් වාර්තා කළේ ය. පාස්චර් විසින් සොයා ගන්නට වසර දහස් ගණනටක පෙර, මෝසෙස්ගේ ව්‍යවස්ථාව (පො.යු.පෙ. 16වන සියවසේ දී) රෝග ඇති කරන විෂ බීජ ගැන දැනුවත්කමක් පිළිබිඹු කළේ ය. (ලෙවී කථාව 13, 14 පරිච්ඡේද) පොදු යුගයට පෙර 15 වෙනි සියවසේ, යෝබ් මෙසේ සඳහන් කළේ ය: “දෙවි තුමාණෝ . . . හිස් අවකාශයෙහි පොළොව එල්ලා තබන සේක.” (යෝබ් 26:7, න. අ.) ක්‍රිස්තුස් වහන්සේට වසර දහසකට පෙර, සාලමොන් රුධිර සංසරණය සම්බන්ධ ව ලීවේ ය. ඒ ගැන දැනගැනීමට වෛද්‍ය විද්‍යාවට 15 වැනි සියවස දක්වා බලා සිටීමට සිදු විය. (දේශනාකාරයා 12:6) ඊට පෙර, ගීතාවලිය 139:16 ප්රවේණි කේතය පිළිබඳ දැනුම පිළිබිඹු කළේ ය: “ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව [කලලය NW] පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය.” සංක්‍රමණය ගැන පරිසරවේදීන් විසින් දැනගන්නට පෙර, පො.යු.පෙ. 7 වැනි සියවසේ, යෙරෙමියා 8:7 හි වාර්තා වී ඇති පරිදි, යෙරෙමියා මෙසේ ලීවේ ය: “ආකාශයේ මාන කොකා උගේ [සංක්‍රමණ NW] කාලයන් දනියි; කොබෙයියාද වැහිලිණියාද කොකාද උන්ගේ ඊමේ කාලය දැන සිටිති.”
පරිණාමවාදීන් තෝරා ගනිමින් සිටින “මැවුම්කරු”
17. (අ) මවන ලද පුදුමාකාර දේවල් පිටුපස බුද්ධිමත් මැවුම්කරුවෙකු සිටීම ප්‍රතික්ෂේප කරන ඇතමුන් පිළිබඳ රෝම 1:21-23 පවසන්නේ කුමක් ද? (ආ) යම් අර්ථයකින් ගත් කල, පරිණාමවාදීන් තමන්ගේ “මැවුම්කරු” වශයෙන් තෝරා ගනිමින් සිටින්නේ මොනවා ද?
17 මවා තිබෙන මෙම පුදුමාකාර දේවල් පිටුපස බුද්ධිමත් මැවුම්කරුවෙකු අවබෝධ කර ගැනීම ප්‍රතික්ෂේප කරන අය සම්බන්ධයෙන් එක් ශුද්ධ ලියවිල්ලක් මෙසේ කියයි: “දෙවියන් වහන්සේ ගැන දැන දැනත්, උන් වහන්සේට පිදිය යුතු ගෞරවය වත්, තුතිපැසසුම් වත් ඔව්හු උන් වහන්සේට නොපිදූහ. මෙසේ ඔවුන්ගේ තර්ක විතර්ක නිස්සාර බවට පත් වී, ඔවුන්ගේ මුළා ව ගිය මනස [හෘදය NW] අඳුරු විය. සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩූ ඔවුන් අඥානයන් වී ඇත. ඔව්හු අජරාමර දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය වෙනුවට, ජරාපත් වන මිනිසුන්ගේ ද පක්ෂීන්ගේ ද සිව්පාවුන්ගේ ද උරගයන්ගේ ද සමානකම් ඇති පිළිරූ යොදාගත්හ.” ඔවුහු “දෙවියන් වහන්සේගේ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් [බොරුවක් NW] වැළඳ ගෙන, මැවුම්කාරයාණන් වෙනුවට මැවිල්ලට වැඳුම්පිඳුම් හා ගැතිකම් කළහ.” (රෝම 1:21-23, 25, න. අ.) පරිණාමවාදී විද්වතුන් කර ඇත්තේ ඊට සමාන දෙයකි, සිය “මැවුම්කරු” වශයෙන් මනඃකල්පිත වූ ප්‍රොටොසෝවා-පණු-මත්ස්‍ය-උරග-ක්ෂීරපායි-“වානර-මිනිසුන්” සමන්විත අනුලෝම දම්වැලකට ඔවුන් ගරු බුහුමන් පුදනවා හා සමානයි. කෙසේ වෙතත්, දම්වැල ආරම්භ කිරීමට කිසිදු සැබෑ ඒක සෛලී ජීවියෙක් නොමැති බව ඔවුහු දනිති. දැනගෙන තිබෙන සරලතම ජීවියාට පරමාණු බිලියන සියයක් අඩංගු වෙයි—මෙය එකවර රසායනික ප්‍රතික්‍රියා දහස් ගණනාවක් සිදුවන පුදුමාකාර සංකීර්ණතාවයකින් සමන්විත ය.
18, 19. (අ) ජීවිතය ආරම්භ කිරීම සම්බන්ධ ව ප්‍රශංසාව ලැබිය යුතු එක ම තැනැන් වහන්සේ කවුද? (ආ) අපට යෙහෝවඃ වහන්සේගේ මැවිලිවල කොතරම් ප්‍රමාණයක් දැකිය හැකි ද?
18 යෙහෝවඃ වහන්සේ වනාහි ජීවයේ මැවුම්කරුවාණෝ ය. (ගීතාවලිය 36:9) උන් වහන්සේ වනාහි පළමු මහත් හේතුවයි. උන් වහන්සේගේ නාමය වන යෙහෝවඃ වහන්සේ යන්නෙන් අදහස් කරන්නේ, “උන් වහන්සේ සිදු වීමට සලස්වන සේක” යන්න ය. උන් වහන්සේගේ මැවිලි අපට ගණන් කරන්නට පුළුවන් වනවාටත් වැඩි ය. සහතික ව ම, මිනිසා නොදැන සිටින මිලියන ගණනක් දේ තිබේ. ගීතාවලිය 104:24, 25 හි මෙම ඇඟවීම දෙයි: “ස්වාමිනී, [යෙහෝවඃ වහන්ස NW] ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදුසේක.” යෝබ් 26:14 [න. අ.] හි පැහැදිලි ලෙස මෙසේ පැවසේ: “මේ එතුමන්ගේ තෙද විකුමෙන් බිඳක් පමණි; එතුමන් ගැන අපට ඇසෙන්නේ සිහින් රාවයක් පමණි; එතුමන්ගේ වීර වික්‍රම ගිගුරුම් හඬ තේරුම්ගත හැකි කාට ද?” අපට පෙනෙන්නේ තෙද විකුමේ බිඳකි, අපට ඇසෙන්නේ සිහින් රාවයකි, නමුත් උන් වහන්සේගේ වීර වික්‍රම ගිගුරුම් හඬ අපගේ තේරුම් ගැනීමේ සීමාවෙන් එපිට ය.
19 කෙසේ වුවද, උන් වහන්සේ ව දැකීමේ ලා, උන් වහන්සේගේ භෞතික මැවිලිවලට වඩා හොඳ ප්‍රභවයක් අපට තිබේ. මෙම වඩාත් හොඳ ප්රභවය නම් උන් වහන්සේගේ වචනය වන බයිබලයයි. අප ඊළඟ ලිපියේ දී අවධානය යොමු කරන්නේ එම ප්රභවය වෙතට ය.
ඔබට මතක ද?
◻ යෙහෝවඃ වහන්සේ කුණාටුවේ සිට කථා කළ විට යෝබ් ඉගෙන ගත්තේ කුමක් ද?
◻ ඇතමුන්ට නිදහසට කරුණු නැති බව පාවුල් පැවසුවේ මන්ද?
◻ ජල චක්‍රය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
◻ හිරු එළිය අප සඳහා කරන වැදගත් දේවල් මොනවා ද?
◻ විද්‍යාවෙන් සොයා ගැනීමට පෙර බයිබලය හෙළි කළ විද්‍යාත්මක සත්‍යයන් මොනවා ද?