ක්‍රිස්තියානි පවුල දේවල් එක් ව කරයි
“සහෝදරයෙනි, මම දැන් ඔබට අනුශාසනා කරන්නේ, . . . ඔබ එක ම මනසකින් හා එක ම සිතුවිලි රටාවකින් ස්ථිර ලෙස එක්සත් වන ලෙස ය.”—1 කොරින්ති 1:10, NW.
1. බොහෝ පවුල්වල එක්සත්කම සම්බන්ධයෙන් තත්ත්වය කුමක් ද?
ඔබගේ පවුල එක්සත් පවුලක් ද? නැතහොත් සෑම කෙනෙක් ම තමාට හිතුමතේ වැඩ කරනවා ද? ඔබ දේවල් එක් ව කරන්නෙහි ද? නැතහොත් ඔබ සියලු දෙනා එක ම ස්ථානයේ එක ම වේලාවක රැඳී සිටින්නේ කලාතුරකින් ද? “පවුල” යන වචනයෙන් ම එක්සත් පවුලක් ඇඟවෙයි.a එහෙත්, සෑම පවුලක් ම එකමුතු ව නොසිටී. එක් බ්‍රිතාන්‍ය කථිකාචාර්යවරයෙක් මෙසේ පවසන්නට යෙදුණේ ය: “යහපත් සමාජයක පදනම වෙනවා වෙනුවට, . . . අපගේ සියලු නොසෑහීමෙහි උල්පත පවුල වී තිබේ.” ඔබගේ පවුල සම්බන්ධයෙන් එය සත්‍යයක් ද? එය එසේ නම්, තත්ත්වය එසේ විය යුතු ම ද?
2. යහපත් පවුලකින් පැමිණෙන බවට සාක්ෂි දෙන්නේ කොයි බයිබල් චරිතයන් ද?
2 දෙමාපියන් දෙදෙනෙකුගෙන් යුක්ත වේවා, තනි දෙමාපියෙකුගෙන් සමන්විත වේවා, පවුලක එක්සත් බව හෝ භේදකාරී බව සාමාන්‍යයෙන් රඳා පවතින්නේ එහි මූලිකත්වය මත ය. බයිබල් කාලවල, එක් ව නමස්කාරයේ යෙදුණු එක්සත් පවුල් යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාද භුක්ති වින්දෝ ය. මෙය ඉපැරණි ඊශ්‍රායලයේ සත්‍යයක් වූ අතර, යෙප්තාගේ දියණිය, සම්සොන් සහ සාමුවෙල් වැනි අය විවිධ ආකාරවලින්, තමන් දේව භක්තික පවුලකින් පැමිණෙන බවට සාක්ෂි දුන්හ. (විනිශ්චයකාරයන් 11:30-40; 13:2-25; 1 සාමුවෙල් 1:21-23, 2:18-21) මුල් ක්‍රිස්තියානි කාලවල පාවුල්ගේ ඇතැම් මිෂනාරි ගමන්වල දී විශ්වාසනීය සහායකයා වූ තිමෝති, තම ආච්චි වූ ලොයිස් හා මව වූ එවුනීකි විසින් දෙන ලද හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල දැනුම සමඟින් හැදී වැඩුණි. ඔහු මොනතරම් කැපී පෙනෙන සුලු ගෝලයෙකු හා මිෂනාරිවරයෙකු බවට පත් වූවා ද!—ක්‍රියා 16:1, 2; 2 තිමෝති 1:5; 3:14, 15; තව ද ක්‍රියා 21:8, 9 ද බලන්න.
දේවල් එක් ව කරන්නේ මන්ද?
3, 4. (අ) එක්සත් පවුලක දිස් විය යුත්තේ කිනම් ගුණාංග ද? (ආ) නිවෙසක් නිකම් ම ගෙදරක් වනවාට වඩා වැඩි යමක් විය හැක්කේ කෙසේ ද?
3 පවුලේ අය දේවල් එක් ව කිරීම ප්‍රයෝජනවත් වන්නේ මන්ද? මක්නිසාදයත් එය අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය ගොඩනංවන හෙයිනි. අප එකිනෙකාගෙන් ඈත් වෙනවාට වඩා, අපි ළඟින් බැඳී අනුබල දෙන්නෙමු. ෆැමිලි රිලේෂන්ස් නමැති වාරික සඟරාවේ මෑතක පළ වූ ලිපියක මෙසේ සඳහන් විය: “ ‘ශක්තිමත් පවුල්වල’ විශේෂ ලක්ෂණ විස්තර කරන්නා වූ සාපේක්ෂ වශයෙන් පැහැදිලි පින්තූරයක් මතු වී ඇත. එම ගුණාංගවලට, එකිනෙකාට බැඳී සිටීම, එකිනෙකා ව අගය කිරීම, එක් ව සිටීමේ ගතිය, හොඳ අදහස් හුවමාරුව, ගැටලු විසඳීමේ හැකියාව සහ ප්‍රබල ආත්මික වාතාවරණයක් ඇතුළත් වෙයි.”
4 යම් පවුලක මෙම ගුණංග පවතින විට, නිවෙස තවදුරටත් ඉන්ධන පිරවීමට නවතන ඉන්ධන පිරවුම් හලක් වන්නට යන්නේ නැත. එය නිකම් ම ගෙදරකට වඩා වැඩි යමක් වෙයි. එය වනාහි පවුලේ සාමාජිකයින් ව ආකර්ෂණය කරන්නා වූ සිත් ඇදගන්නා සුලු ස්ථානයකි. එය වූකලී උණුසුමේ හා ස්නේහයේ, දයානුකම්පාවේ සහ අවබෝධයේ ක්ෂේම භූමියකි. (හිතෝපදේශ 4:3, 4) එය පවුලේ එක්සත්කම පවතින කැදැල්ලක් මිසක, ගැටුම් සහ බෙදීම් පවතින ගෝනුස්සන්ගේ වාසස්ථානයක් නොවේ. එහෙත් මෙම තත්ත්වය සාක්ෂාත් කර ගත හැක්කේ කෙසේ ද?
පවුල් පාඩමේ දී එක් ව දේවල් කිරීම
5. සැබෑ නමස්කාරය ඉගෙන ගැනීම පිණිස අප ක්‍රියාවට නංවන්නේ කුමක් ද?
5 යෙහෝවඃ වහන්සේට කරන සැබෑ නමස්කාරය ඉගෙන ගත හැක්කේ අපගේ තර්ක කිරීමේ හැකියාව හෙවත් “තර්ක කිරීමේ බලය” භාවිතා කිරීම මගිනි. (රෝම 12:1, NW) වැල්වටාරම්වලින් යුත් හැඟීම් දනවන දේශන හා රූපවාහිනියේ පවත්වන ආගමික දේශන මගින් ඇවිස්සෙන, මොහොතකට ඇති වන චිත්ත වේගයන් මගින් අපගේ හැසිරීම පාලනය නොවිය යුතු ය. ඒ වෙනුවට, අප ව පොලඹවනු ලබන්නේ, අපගේ නිති පතා පාඩම මගින් හා බයිබලය මත සහ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” විසින් සපයන බයිබල් අධ්‍යයන පොත පතේ දෑ මෙනෙහි කිරීම මගින් ය. (මතෙව් 24:45) අපගේ ක්‍රිස්තියානි ක්‍රියාවල් වනාහි, පැන නැගිය හැකි ඕනෑ ම අවස්ථාවක දී හෝ පරීක්ෂාවක දී ක්‍රිස්තුස් වහන්සේගේ මනස ඇති කර ගැනීමේ ප්රතිඵලයකි. මේ සම්බන්ධයෙන්, යෙහෝවඃ වහන්සේ අපගේ ශ්‍රේෂ්ඨ අධ්යාපනඥයාණන් වන සේක.—ගීතාවලිය 25:9; යෙසායා 54:13; 1 කොරින්ති 2:16.
6. පවුල් පාඩම සම්බන්ධ ව කිනම් ලෝක ව්‍යාප්ත ආදර්ශය අපට තිබේ ද?
6 පවුල් බයිබල් පාඩම, සෑම ක්‍රිස්තියානි පවුලක ම ආත්මිකත්වය තුළ අත්‍යවශ්‍ය කාර්ය භාරයක් ඉටු කරයි. ඔබගේ පවුල් පාඩම පවත්වන්නේ කොයි වේලාවේ ද? එය නිකම් ම අහම්බෙන් කරන දෙයක් ද, නැතහොත් එය උන් හිටි ගමන් ගන්නා වූ තීරණයක් මත කෙරෙන දෙයක් ද, තත්ත්වය එසේ නම් එය කළත් එය කලාතුරකින් කරන දෙයක් බවට නිසැක ය. පවුල් පාඩම තුළ එකට සිටීමට විධිමත්, වෙන් කරන ලද කාල සටහනක් අවශ්‍ය කරවයි. එවිට, පවුලේ ආත්මික එකමුතුවට තමන් කොයි දවසේ කුමන වේලාවේ දී සිටිය යුතු ද කියා සියල්ලෝ ම දනිති. ලොව වටා ඇති බෙතෙල් පවුල්වල සාමාජිකයින් 12,000කට වඩා වැඩි දෙනෙක්, තමන්ගේ පවුල් පාඩම සඳුදා රාත්‍රියේ පැවැත්වෙන බව දනිති. පැසිෆික් සහ නවසීලන්ත දූපත්වල සිට කෙමෙන් ඕස්ට්‍රේලියාව, ජපානය, තායිවානය, හොං කොං, ඊළඟට ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය හරහා අවසානයේ දී අමෙරිකාවන් දක්වා තමන් සියලු දෙනා ම දවස අවසාන වෙනවාත් සමඟ ම එක ම පාඩමෙහි යෙදෙන බව මෙම බෙතෙල් ස්වේච්ඡා සේවකයින් හට මතක්වීම කොතරම් චමත්කාරජනක දෙයක් ද! සැතපුම් දහස් ගණනකින් හා භාෂා බොහොමයකින් වෙන් ව සිටියත්, මෙම පවුල් පාඩම බෙතෙල් පවුලේ සාමාජිකයින් තුළ එක් ව සිටීමේ හැඟීමක් ආරූඪ කරවයි. ඔබට ද ඔබගේ පවුල් පාඩම තුළින් වඩාත් කුඩා පරිමානයෙන් මෙවැනි ම හැඟීමක් වර්ධනය කළ හැක.—1 පේතෘස් 2:17; 5:9.
7. පේතෘස් පවසන පරිදි, සත්‍යතාවයේ වචනය දෙස අප බැලිය යුත්තේ කෙසේ ද?
7 ප්‍රේරිත පේතෘස් අපට මෙසේ උපදෙස් දෙයි: “ස්වාමීන්වහන්සේ යහපත් [කරුණාවන්ත NW] බව නුඹලා රසබලා දැනගත්තහු නම්, ආත්මිකවූ අමිශ්රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙයල්ලා.” (1 පේතෘස් 2:2, 3) එම වචන සමඟින් පේතෘස් කොතරම් මනරම් දසුනක් මවාපායි ද! ඔහු භාවිතා කළ ග්‍රීක වචනය එ·පි·පො·තිʹසා·ටෙ යන්න ය, ලින්ග්විස්ටික් කී ටු ද ග්‍රීක් න ටෙස්ටමන්ට් පවසන පරිදි, එය පැමිණෙන්නේ, “දැඩි ආශාව, ආශාව, දොළදුක” යන අරුත් දෙන වචනයෙනි. ඉන් තදබල දැඩි ආශාවක් අඟවයි. සත්ත්ව පැටියෙක් තමාගේ මවගේ තන පුඩුව ඉතා උනන්දුවෙන් සොයන ආකාරය හා දරුවෙක් ඔහුගේ හෝ ඇගේ මවගේ දෙතනෙන් කිරි උරා බොන විට කොතරම් තෘප්තිමත් ව සිටින්නේ ද කියා ඔබ දැක තිබෙනවා ද? අපටත් සත්‍යතාවයේ වචනය කෙරෙහි එවැනි ම ආශාවක් තිබිය යුතු ය. ග්‍රීක විශාරද විලියම් බාක්ලේ මෙසේ සඳහන් කළේ ය: “දේව වචනය පාඩම් කිරීම, අවංක ක්‍රිස්තියානියෙකුට වෙහෙසකාරී වැඩක් නොවේ, නමුත් එය ප්‍රිය උපදවන දෙයකි, මක්නිසා ද තම හෘදය ආශාවෙන් බලා සිටින පෝෂණය ඊට ඒ තුළින් ලබා ගන්න බව හේ දන්නා හෙයිනි.”
8. පවුල් පාඩම පැවැත්වීමේ දී පවුලේ මූලිකයාට මුහුණ දීමට තිබෙන අභියෝගය කුමක් ද?
8 පවුල් පාඩම කරණ කොට ගෙන පවුලේ හිස මතට විශාල වගකීමක් පැවරේ. පාඩම සියල්ලන් හට ම උනන්දුමත් එකක් බවටත් සියලු දෙනාට ම සහභාගි විය හැකි එකක් බවටත් ඔහු ස්ථිර විය යුතු ය. පාඩම ඇත්තට ම ලොකු අයට පමණක් තිබෙන එකක් කියා දරුවන්ට හැඟී නොයා යුතු ය. පාඩම් කෙරෙන තොරතුරුවල ප්‍රමාණයට වඩා පාඩමේ ගුණාත්මක භාවය වඩාත් වැදගත් ය. බයිබලය සජීවී කරවන්න. සුදුසු සෑම අවස්ථාවක දී ම සාකච්ඡා කෙරෙන යම් සිද්ධීන් සිදුවුණා වූ පලස්තීනයේ ප්‍රදේශ සහ විවිධ අංග ලක්ෂණ චිත්‍රයට නඟා ගැනීමට දරුවන්ට උපකාර කරන්න. තමන්ගේ පෞද්ගලික පර්යේෂණ කිරීමටත් ඒවා පවුල සමඟ බෙදා ගැනීමටත් සියල්ලන් ව ම දිරිගන්වනු ලැබිය යුතු ය. මේ අයුරින්, දරුවන්ටත් ‘යෙහෝවඃ වහන්සේ සමඟ වර්ධනය’ විය හැක.—1 සාමුවෙල් 2:20, 21.
ශුභාරංචිය පතළ කිරීමෙහි ලා එකට වැඩ කිරීම
9. දේශනා සේවය පවුලක සන්තෝෂවත් අත්දැකීමක් කර ගත හැක්කේ කෙසේ ද?
9 “ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය.” (මාර්ක් 13:10) එම වචන මගින් උත්සාහවන්ත සෑම ක්‍රිස්තියානියෙකුට ම පැවරුමක් ඉදිරිපත් වෙයි—එනම් එවැන්ජලිස්ත සේවයේ යෙදීම ය, නැතහොත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය පාලනය පිළිබඳ ශුභාරංචිය අන්‍යයන් සමඟ බෙදා ගැනීම ය. මෙම දෙය පවුලක් වශයෙන් එකට කිරීම දිරිගැන්වෙන සුලු ප්‍රීතිමත් අත්දැකීමක් විය හැක. තම දරුවන් ශුභාරංචිය ඉදිරිපත් කරන විට මව්වරු හා පියවරු ඒ සම්බන්ධ ව ආඩම්බර වෙති. වයස අවුරුදු 15 සහ 21 අතර පුතුන් තිදෙනෙක් සිටින එක් යුවළක් කියා සිටියේ, සෑම බදාදාවක ම පාසලෙන් පසු හා සෑම සෙනසුරාදාවක ම උදෑසන තම දරුවන් කැටුව දේශනා සේවයේ යෙදීමේ පුරුද්දක් තමන්ට තිබූ බව ය. පියා මෙසේ පැවසුවේ ය: “අප සෑම වතාවක ම ඔවුන්ට යම් දෙයක් උගන්වනවා. එය භුක්ති විඳිය හැකි දෙයක් බවටත් දිරිගැන්වෙන සුලු අත්දැකීමක් බවටත් අප ස්ථිර වෙනවා.”
10. දේව සේවයේ දී තම දරුවන් හට ප්‍රයෝජන ලබා දීමට දෙමාපියන්ට හැක්කේ කෙසේ ද?
10 පවුලක් වශයෙන් එකට වැඩ කිරීම දේශනා සේවයේ දී හා ඉගැන්වීමේ දී ඉතා ඵලදායී විය හැක. ඇතැම් විට ළමයෙකුගේ සරල නමුත් අව්‍යාජ ඉදිරිපත් කිරීමකට ජනයා වඩාත් එකාන්ත ලෙස ප්‍රතිචාර දක්වත්. එවිට, අම්මා හෝ තාත්තා, අවශ්‍ය නම් උපකාර කිරීමට එතැන සිටී. තම දරුවන් ප්රගතිශීලී පුහුණුව ලබන බවටත්, මෙසේ “සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ” දේව සේවකයින් බවට පත් වන බවටත් සහතික විය හැක. මේ ආකාරයට එක් ව දේශනා කිරීම තුළින්, දෙමාපියන්ට දේව සේවයේ දී තම දරුවාගේ ආකල්පය, කාර්ය සාධක බව හා යහපත් ආචාර ධර්මයන් නිරීක්ෂණය කිරීමට හැකි වේවි! මෙවැනි විධිමත් වැඩ පිළිවෙළක් ඇති ව සිටීමෙන්, දරුවාගේ ප්‍රගතිය දකින ඔවුහු ඔහුගේ හෝ ඇගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට නිරන්තර පුහුණුව සහ දිරිගැන්වීම සපයා දෙති. මේ අතරතුර, දේව සේවය තුළ තම දෙමාපියන් හොඳ ආදර්ශකයින් බව දරුවෝ දකිති. මෙම අර්බුදකාරී සහ ප්‍රචණ්ඩකාරී කාලවල, එක්සත් සැලකිලිමත් පවුලක් වශයෙන් වැඩ කිරීම, බරපතළ අපරාධ සිදු වෙන ප්‍රදේශවල යම් ආරක්ෂාවක් ද සැපයිය හැක.—2 තිමෝති 2:15; පිලිප්පි 3:16.
11. සත්‍යය උදෙසා දරුවෙකුගේ ජ්වලිතය පහසුවෙන් හීන කිරීමට කුමකට හැකි වේද?
11 වැඩිහිටියන් තුළ දෙයාකාර ප්‍රතිපත්ති තිබේ නම් දරුවන්ට ඒවා පහසුවෙන් ම දැකගත හැක. දෙමාපියන් සත්‍යය උදෙසා හෝ ගෙයින් ගෙට සේවය සඳහා සැබෑ ප්‍රේමයක් පෙන්වන්නේ නැත්නම්, දරුවන් ජ්වලිතවත් වීමට අපේක්ෂා කිරීම උගහට ය. මේ අනුව, තම දරුවන් සමඟ සති පතා කරන බයිබල් පාඩමට පමණක් තම ක්ෂේත්‍ර සේවය සීමා කර ගෙන සිටින සෞඛ්‍යය සම්පන්න දෙමාපියෙක්, තම දරුවන් වැඩිවියට පැමිණෙන විට අප්‍රසන්න ඵල විපාකවලට මුහුණ දෙනවා විය හැකි ය.—හිතෝපදේශ 22:6; එපීස 6:4.
12. ඇතැම් පවුල්වලට යෙහෝවඃ වහන්සේ වෙතින් විශේෂ ආශීර්වාදයක් ලබා ගත හැක්කේ කෙසේ ද?
12 ‘එක ම මනසකින් ස්ථිර ලෙස එක්සත් වීමේ’ වාසියක් නම්, අඩු තරමින් පවුලේ එක් සාමාජිකයෙකුටවත් සභාවේ පූර්ණ කාලීන පුරෝගාමි දේව සේවකයෙකු ලෙස සේවය කරන්නට හැකි වන පරිදි, එකිනෙකාට සහයෝගයෙන් ක්‍රියා කිරීමට පවුලට හැකි වීමයි. ලොව වටා වෙසෙන බොහෝ පවුල් මෙය කරන අතර, සියල්ලෝ ම තම පුරෝගාමි සාමාජිකයාගේ අත්දැකීම් සහ වැඩි දියුණු වූ කාර්ය සාධක බවින් ලැබෙන ආශීර්වාදයක් ලබා ගනිති.—2 කොරින්ති 13:11; පිලිප්පි 2:1-4.
ගැටලු විසඳීමේ දී එකට වැඩ කිරීම
13, 14. (අ) පවුලක සමගියට කුමන තත්ත්වයන් මගින් බලපෑම් ලැබිය හැකි ද? (ආ) පවුල් ගැටලු බොහොමයක් වැළැක්විය හැක්කේ කෙසේ ද?
13 “පීඩාකාරී බවේ” සහ “අන්තරාවල” මෙම අර්බුදකාරී කාලවල, අපි සියලු දෙනා ම පීඩන අත්දකින්නෙමු. (2 තිමෝති 3:1, රිවයිස්ඩ් ස්ටෑන්ඩඩ් වර්ෂන්; ෆිලිප්ස්) රැකියා ස්ථානයේ, පාසලේ, මං මාවත්වල සහ නිවස තුළ පවා ගැටලු තිබේ. ඇතැම් අය දරුණු අසනීපවලින් හෝ දිගු කලක් තිස්සේ පැවති චිත්ත වේගීය ගැටලුවලින් වේදනා විඳින අතර, ඇතැම් විට මේවා පවුල තුළ ආතතීන්වලට හා වරදවා තේරුම් ගැනීම්වලට තුඩු දෙයි. එවැනි තත්ත්වයන් හැසිරවිය හැක්කේ කෙසේ ද? සෑම කෙනෙක් ම තමාට ම පමණක් සීමා වීමෙන් ද? එක වහලක් යට ජීවත් වුණත් තමා ව ම තනි කර ගැනීමෙන් ද? නැත. ඒ වෙනුවට, අපගේ කාන්සාවන් ගැන කථා බහ කොට උපකාර ඉල්ලිය යුතු ය. ප්‍රේමනීය පවුල් කවයක් හැර මීට වඩා හොඳ වෙන කිනම් ස්ථානයක් තිබේ ද?—1 කොරින්ති 16:14; 1 පේතෘස් 4:8.
14 ඕනෑ ම වෛද්‍යවරයෙක් දන්නා පරිදි, ප්‍රතිකාරයට වඩා වැළැක්වීම හොඳ ය. පවුල් ගැටලු සම්බන්ධයෙන් මෙය ද සත්‍යයක් වෙයි. විවෘත අවංක සාකච්ඡාව බොහෝ විට ගැටලු බරපතළ ඒවා බවට පත්වීම වළක්වාලයි. බරපතළ ගැටලු ඇත්තට ම පැන නැඟුණත්, පවුලේ අය එකට එකතු වී ඊට අදාළ බයිබල් ප්‍රතිපත්ති ගැන සලකන්නේ නම්, ඒවා හසුරුවන්නටත් විසඳන්නටත් පුළුවන. “දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන, එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා; . . . ප්‍රේමය නමැති සපුර්ණකමේ බැම්ම බැඳගනිල්ලා” යන කොලොස්සි 3:12-14 දක්වා සඳහන් පාවුල්ගේ වචන අදාළ කර ගැනීමෙන් ඇති විය හැකි ගැටුම් බොහෝ විට සෞම්‍ය සම්බන්ධතා බවට හැරවිය හැකි ය.
විවේකය ගත කිරීමේ දී එක් ව ක්‍රියා කිරීම
15, 16. (අ) ක්‍රිස්තියානි පවුල් විශේෂයෙන් කැපී පෙනෙන්නට සැලැස්විය යුත්තේ කුමන ගුණාංගය ද? (ආ) ඇතැම් ආගම් විසින් කුමන අන්දමේ මිනිසුන් ව බිහි කරනු ලබයි ද, තව ද ඒ මන්ද?
15 යෙහෝවඃ වහන්සේ සන්තෝෂවත් දෙවිකෙනෙකි, තව ද සත්‍යය සන්තෝෂවත් පණිවුඩයකි—එනම් මිනිස් වර්ගයා සඳහා බලාපොරොත්තුව ඇති එකකි. එපමණක් ද නොව, ප්‍රීතිය ආත්මයේ ඵලවලින් එකකි. මෙම ප්‍රීතිය, යම් තරඟකාරී ක්‍රීඩාවක දී ජය ගන්නාවූ මලල ක්‍රීඩකයෙකුගේ මොහොතකට ඇති වන ප්‍රීති ප්රමෝදයට වඩා බොහෝ සෙයින් වෙනස් ය. එය වූකලී, යෙහෝවඃ වහන්සේ සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් ගොඩනැංවීමේ ප්‍රතිඵලයක් වශයෙන් හෘදයේ උතුරා යන තෘප්තියේ ගැඹුරු කල්පවතින හැඟීමකි. එය දෙවියන් වහන්සේ ව පදනම් කර ගත් ප්‍රීතියකි. එය ආත්මික සාරධර්ම සහ ගොඩනංවන සුලු සබඳතා මත පදනම් වූ ප්‍රීතියකි.—ගලාති 5:22; 1 තිමෝති 1:11.
16 එමනිසා, යෙහෝවඃ වහන්සේගේ ක්‍රිස්තියානි සාක්ෂිකරුවන් වශයෙන්, නොසතුටු මුහුණක් ඇතුව සිටීම හෝ හාස්‍ය බවින් තොර වීමට අප හට කිසිදු හේතුවක් නැත. ඇතැම් ආගම්වලින් එවැනි මිනිසුන් බිහි කරනු ලැබේ, මන්දයත් ඔවුනට තිබෙන ඇදහිල්ලේ ආකාරයෙන් අවධාරණය කෙරෙන්නේ නිෂේධාත්මක සාධක ය. ඔවුනගේ ඉගැන්වීම්, අඳුරු කනස්සලු ස්වභාවයකින් යුත් ප්‍රීතිය රහිත නමස්කාරයකට තුඩු දෙන අතර, එය බයිබලයට අනුකූල ඒවාවත්, සමබර ඒවාවත් නොවේ. දෙවියන් වහන්සේගේ සේවය තුළ සන්තෝෂවත් පවුල් ඒවායින් බිහි නොකෙරේ. යේසුස් වහන්සේ විනෝදය සහ විවේක ගැනීමේ අවශ්‍යතාවය දුටු සේක. නිදසුනක් වශයෙන්, එක් අවස්ථාවක, “හුදෙකලා ස්ථානයකට පැමිණ පුද්ගලික ව මඳක් විවේක ගන්නා” මෙන් යේසුස් වහන්සේ සිය ගෝලයින්ට ආරාධනා කළ සේක.—මාර්ක් 6:30-32, NW; ගීතාවලිය 126:1-3; යෙරෙමියා 30:18, 19.
17, 18. ක්‍රිස්තියානි පවුලකට කිනම් සුදුසු මාර්ගවලින් විවේකය ගත කළ හැකි ද?
17 ඒ හා සමාන ව පවුල්වලට ද විවේකය සඳහා කාලය අවශ්‍ය ය. එක් දෙමාපියෙක් තමන්ගේ දරුවන් ගැන මෙසේ පැවසී ය: “අප බොහෝ විනෝදජනක දේවල් එක් ව කරනවා—මුහුදු වෙරළට යනවා, උද්‍යානයේ දී බෝල ගසනවා, කඳුකර ප්‍රදේශයට ගොස් සුළු ආහාරයක් ගෙන විනෝද වී කාලය ගත කරනවා, ඉඳ හිට, අපගේ දේව සේවය තුළ අපට ‘පුරෝගාමි දවසක්’ තිබෙනවා; ඉන් පසු අපි විශේෂ ආහාරයක් ගන්නවා ඇරත් අපි එකිනෙකාට තෑගි පවා දෙනවා.”
18 දෙමාපියන් විසින් සලකා බැලිය හැකි අනෙකුත් යෝජනා නම්, පවුලක් වශයෙන් සත්වෝද්‍යානයට, විනෝද උයන්වලට, කෞතුකාගාරවලට සහ තවත් නැරඹීමට ආකර්ෂණීය දේවල් තිබෙන ස්ථානවලට යාම ය. කැලෑ ප්‍රදේශවල ඇවිදින්නට යාම, කුරුල්ලන් නැරඹීම, වත්තේ වැඩක යෙදීම සතුටින් එමෙන් ම හවුලේ භුක්ති විඳිය හැකි දේවල් ය. යම් සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙන ගන්නා ලෙස හෝ යම් ප්‍රායෝගික විනෝදාංශයක යෙදෙන ලෙස තම දරුවන් හට දිරිගැන්වීමට ද දෙමාපියන්ට පුළුවන. සමබර දෙමාපියන් තම දරුවන් සමඟ සෙල්ලම් කිරීමට කාලය ගන්නා බවට නිසැක ය. පවුලේ අය එකට සෙල්ලම් කරනවා නම්, ඔවුන් එකට සිටින බව නොකිවමනා ය.
19. නූතන කිනම් ප්‍රවණතාවයක් පවුලකට හානි සිදු කළ හැකි ද?
19 දැන් පවතින නවීනතම ප්‍රවණතාවය නම්, විනෝදය සම්බන්ධයෙන් යෞවන දරුවන් තමන්ගේ පවුල්වලින් වෙන් වී තමාට කැමති දේ කිරීමට වුවමනා වීමයි. යෞවනයෙක් යම් විනෝදාංශයක් හෝ තමාට ප්‍රියතම දෙයක් කරමින් කාලය ගත කිරීමේ කිසිදු හානියක් නැති වුවත්, එවැනි දේවල් නිසා පවුලේ අනෙක් අයගෙන් ස්ථිර ලෙස ඈත් වීමට ඉඩ හැරීම ඥානවන්ත දෙයක් නොවේ. ඒ වෙනුවට, පාවුල් සඳහන් කළ ප්‍රතිපත්තිය අදාළ කිරීමට අපට වුවමනා ය: “නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණ නොව අනුන්ගේ කාරණත් බලාපල්ලා.”—පිලිප්පි 2:4.
20. එක්රැස්වීම් හා සමුළු ප්‍රීතිමත් අවස්ථා විය හැක්කේ කෙසේ ද?
20 සමුළුවල දී හා එක්රැස්වීම්වල දී පවුල් වශයෙන් එකට වාඩි වී සිටිනවා දැකීම අප සියල්ලන් හට කොතරම් ප්‍රීතියක් ද! ඒ අයුරින් වයසින් වැඩි ළමුන්ට ඊට වඩා බාල අයට බොහෝ විට උදව් කළ හැකි ය. එවැනි විධිවිධානයක් හේතු කොට ගෙන, ඇතැම් නහඹරයින් කණ්ඩායම් වශයෙන් පිටුපස පේළිවලට ගොස් සමුළු වැඩසටහනට මඳ අවධානයක් දෙනු ලැබීමෙන් වැළකී යයි. එක්රැස්වීම්වලට යන විට හා ඉන් යළි පැමිණෙන විට, ගමන් කරන්නේ කොයි පාරෙන් ද, අතරමඟ බැලීමට නවතින්නේ කිනම් ස්ථානවල ද, නවාතැන් ගන්නේ කොහේ ද යන්න පවුලේ එකිනෙකාගෙන් අදහස් විමසීමෙන් එම ගමන ප්‍රීතිමත් එකක් කර ගත හැක. යේසුස් වහන්සේගේ දවස්වල විසූ පවුල් එක් ව යෙරුසලමට ගමන් කිරීම මොනතරම් ආනන්දජනක එකක් වූවා ද කියා කල්පනා කර බලන්න!—ලූක් 2:41, 42.
එකට දේවල් කිරීමෙන් ලැබෙන ආශීර්වාද
21. විවාහය තුළ සාර්ථකත්වය සඳහා අපට දැඩි ප්රයත්නයක් දැරිය හැක්කේ කෙසේ ද? (ආ) දිගුකාලීන විවාහයක් සඳහා තිබෙන හොඳ යෝජනා හතර කවරේ ද?
21 සාර්ථක විවාහයන් සහ එක්සත් පවුල් ඇති කර ගැනීමට කිසිවිටෙකත් පහසු කාර්යයක් වී නොමැති අතර, ඒවා ඉබේ ම බිහි වෙන්නේ නැත. ඇතැම් අය විවාහය සාර්ථක කිරීමට වෑයම් දැරීම නවතා, දික්කසාදයෙන් එය අවසන් කර, යළිත් තවත් එකක් ආරම්භ කිරීම පහසු දෙයක් ලෙස සිතන බවක් පෙනෙන්ට තිබේ. එහෙත්, එම ගැටලු ම දෙවෙනි හෝ තුන්වෙනි විවාහයේ දී බොහෝ විට යළිත් ඉස්මතු වෙයි. වඩාත් හොඳ පිළිතුර නම් ක්‍රිස්තියානි පිළිතුරයි: එනම්, ප්‍රේමය සහ ගෞරවය පිළිබඳ ව බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගැනීම මගින් සාර්ථකත්වය සඳහා දැඩි ප්රයත්නයක් දැරීමයි. එක්සත් පවුල් රඳා පවතින්නේ දීමේ හා ගැනීමේ ස්වභාවයක් මත ය, පරාර්ථකාමිත්වයේ ස්වභාවයක් මත ය. එක් විවාහ උපදේශකයෙක් විවාහයන් දිගුකල් පවත්වා ගැනීම සඳහා එක් සරල වට්ටෝරුවක් දක්වා සිටියේ ය. ඔහු ලීවේ මෙසේ ය: “හොඳ විවාහයන් සියල්ල තුළ ම පාහේ සොයා ගත හැකි අති වැදගත් සංඝටක හතර නම්, සවන් දීමට ඇති කැමැත්ත, සමාව දීමට ඇති හැකියාව, නිරතුරු ව ම චිත්ත වේගීය අනුබලය සැපයීමට ඇති හැකියාව සහ ස්නේහවන්ත ලෙස ස්පර්ශ කිරීමට ඇති ඕනෑකම ය.” ඇත්ත වශයෙන් ම එම සාධක හතර, විවාහයක් දිගුකල් පවත්වා ගැනීමට උපකාර වෙයි, මන්දයත් ඒවා පදනම් වී ඇත්තේ ද නිවැරදි බයිබල් ප්‍රතිපත්ති මත වන නිසා ය.—1 කොරින්ති 13:1-8; එපීස 5:33; යාකොබ් 1:19.
22. එක්සත් පවුලක් ඇති ව සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන සමහරක් මොනවා ද?
22 අප බයිබල් උපදෙස් අනුගමනය කරනවා නම්, එක්සත් පවුලක් සඳහා ස්ථිරසාර පදනමක් අපට තිබෙනු ඇති අතර, එක්සත් පවුල් වනාහි එක්සත් වූ ආත්මික ව ශක්තිමත් වූ සභාවක අත්තිවාරම ය. මෙසේ, අප එක්සත්කමින් යුතු ව යෙහෝවඃ වහන්සේට වැඩි වැඩියෙන් ප්‍රශංසා කරනවාත් සමඟ ම අප උන් වහන්සේගෙන් බහුල ලෙස ආශීර්වාද ලබා ගන්නවා නොඅනුමාන ය.
[පාදසටහන්වල]
a “පවුල යන වචනය පැමිණෙන්නේ ලතින් භාෂාවේ ෆාමීලියා යන වදනින් ය, මුල දී, උසස් පැළැන්තියේ නිවසක සේවකයින් හා වහලුන්, ඊළඟට නිවස සහ එහි ස්වාමියා, මහේසිකාව, දරුවන්—හා සේවක පිරිස.”—ඔරිජින්ස්—එරික් පාට්රිජ් විසින් රචිත ඔරිජින්ස්—එ ෂෝර්ට් එටිමොලොජිකල් ඩික්ෂනරි ඔෆ් මොඩර්න් ඉංග්ලිෂ්.
ඔබට මතක ද?
◻ පවුලේ අය එක් ව දේවල් කිරීම ප්‍රයෝජනදායක වන්නේ මන්ද?
◻ නිති පතා පවුල් බයිබල් පාඩමක් තිබීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
◻ දෙමාපියන් තම දරුවන් සමඟ ක්ෂේත්‍ර සේවයේ නියැලීම යහපත් දෙයක් වන්නේ මන්ද?
◻ පවුල් කවය ඇතුළත ගැටලු සාකච්ඡා කිරීම උපකාරවත් වන්නේ මන්ද?
◻ ක්‍රිස්තියානි පවුල් දුක් මුසු මුහුණින් සහ ප්‍රීතියෙන් තොර ව නොසිටිය යුත්තේ මන්ද?
[17වන පිටුවේ පින්තූරය]
ඔබගේ පවුලේ අය අඩු තරමින් දවසකට එක වතාවක්වත් එකට ආහාර ගන්නවා ද?
[18වන පිටුවේ පින්තූරය]
පවුලේ විනෝද ගමන් සුවය ගෙන දෙන සතුට භුක්ති විඳිය හැකි ඒවා විය යුතු ය