පේපීයස් ස්වාමීන් වහන්සේගේ වදන් අගය කළේ ය
“මම, මෙතරම් බොහෝ දේ පවසන්නට තිබූ අය සමඟ ඇසුරු කිරීමෙන් ප්‍රීතිය භුක්ති වින්ඳේ නැහැ. එහෙත් සැබෑව ඉගැන්වූ අයගේ ඇසුර මම ප්‍රීතියෙන් භුක්ති වින්ඳෙමි.” මෙසේ ලිව්වේ අපගේ පොදු යුගයේ දෙවන ශතවර්ෂයේ ජීවත් වූ භක්තිවන්ත ක්‍රිස්තියානියෙක් යයි කියා සිටි පේපීයස් ය.
පේපීයස් ජීවත් වූයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්රේරිතයින්ගේ මරණයෙන් පසු ව උදා වූ කාල පරිච්ඡේදයේ දී ය. ඇත්ත වශයෙන් ම, ඔහු ප්‍රේරිත යොහන්ගෙන් ඉගෙන ගත් බවට වාර්තා වන, පොලිකාප්ගේ ආශ්‍රිතයෙකු ද විය. විශ්වාසනීය වූ මෙම තොරතුරු මෙන් ම, දැනුම ලබා ගැනීමේ පේපීයස්ගේ ක්‍රම සමඟ සම්බන්ධ කර ගත් විට, ඔහු මනා අයුරින් තොරතුරු ලැබූ අයෙක් බව සනාථ කරයි.
ආරක්ෂාකාරී ක්‍රමය
ස්වාමීන් වහන්සේගේ වදන් සම්බන්ධ කර ගනිමින් ඔහු විසින් ලියන ලද පොත් පහ මගින් සත්‍යය සඳහා පේපීයස්ගේ පිපාසාව මනාව පැහැදිලි වේ. පේපීයස්ගේ මුල් කාලයේ දී, ඔහු ඇසූ සත්‍යයේ බොහෝ වදන් මතකයේ රඳවාගත් බවට කිසිදු සැකයක් නැත. පසු ව, ඔහු සුළු ආසියාවේ, ෆ්රිජියානු නුවරක් වන හයිරාපොලිස් හි සිටි විට, පේපීයස්, වයසින් මුහුකුරා ගොස් සිටි අයගෙන් විමසුවේ ඔවුන් යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගෙන් කවරෙකු හෝ දැක තිබුණා ද නැතහොත් අසා තිබුණා ද යන්න නිශ්චය කරගැනීමට ය. ඔහු උනන්දුවෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කළ අතර ඔවුනට කියන්නට තිබූ දෑ වාර්තා කර තැබුවේ ය.
පේපීයස් මෙසේ පැහැදිලි කරයි: “යම් කාලයක මා වැඩිමහල් අයගෙන් ප්‍රවේසමෙන් ඉගෙන ගත්තා වූ ද, සැලකිලිමත් ව මතක තබා ගත්තා වූ ද ඕනෑ ම දෙයක්, ඔවුන්ගේ සත්‍යතාව ඔබට තහවුරු කරමින් . . . ලියා දක්වන්නට මම පසුබට නොවෙමි. මන්දයත්, වැඩි දෙනෙක් මෙන් මම, මෙතරම් බොහෝ දේ පවසන්නට තිබූ අය සමඟ ඇසුරු කිරීමෙන් ප්‍රීතිය භුක්ති වින්ඳේ නැත. එහෙත් සැබෑව ඉගැන්වූ අයගේ ඇසුර මම ප්‍රීතියෙන් භුක්ති වින්ඳෙමි. එසේ ම අන්‍යයන්ගේ ආඥා ප්‍රකාශ කළ අයගෙන් ද මා ප්‍රීතියක් භුක්ති වින්ඳේ නැත. එහෙත් ඇදහිල්ල කෙරෙහි මෙන් ම සත්‍යයෙන් නික්මෙන්නා වූ ද ස්වාමීන් වහන්සේ විසින් දෙන ලද ආඥා වාර්තා කළ අයගේ ඇසුර මම ප්‍රීතියෙන් භුක්ති වින්ඳෙමි. වැඩිමහල්ලන්ගේ අනුගාමිකයෙක් ව සිටි යමෙක් මට හමු වූයේ නම්, වැඩිමහල්ලන් විසින් දෙන ලද වාර්තා—එනම් අන්දෘ හෝ පේතෘස් පැවසූ දෙය, පිලිප් හෝ තෝමස් නැතහොත් යාකොබ් පැවසූ දෙය, නැතහොත් යොහන් හෝ මතෙව් පැවසූ දෙය, එසේත් නැතහොත් ස්වාමීන් වහන්සේගේ වෙනත් ඕනෑ ම ගෝලයෙක් පැවසූ දෙය—මම ඔවුන්ගෙන් අසමි.”
ඔහුගේ කෘතිය
පේපීයස්ට ආත්මික දැනුම් සම්භාරයක් ලැබීමේ තත්ත්වයක සිටි බවට කිසිදු සැකයක් නැත. එක් එක් ප්‍රේරිතයාගේ පෞද්ගලික ජීවිතය හා දේව සේවය වටා ගෙතුණු විස්තරවලට ඔහු කොතරම් ඕනෑකමකින් සවන් දුන්නා ද යන්න පමණක් අපට සිතින් මවා ගත හැකි වනවා පමණි. පොදු යුගයේ 135 දී පමණ, තමාට කියන්නට තිබූ දෙය පේපීයස්, තමා විසින් ම රචනය කරන ලද පොතක ගැබ් කළේ ය. මෙම පොත අතුරුදහන් වීම කනගාටුවට කාරණයකි. පොදු යුගයේ දෙවන ශතවර්ෂයේ ජීවත් වූ තමා ක්‍රිස්තියානියෙක් බවට කියා සිටි ඉරේනියස් විසින් ද, හතරවන ශතවර්ෂයේ ඉතිහාසඥ යූසේබියස් විසින් ද එය උපුටා දක්වනු ලැබී ය. ඇත්ත වශයෙන් ම, එය වැඩිදුරටත් 9වන ශතවර්ෂයේ ද කියවනු ලැබූ අතර 14වන ශතවර්ෂය දක්වා තිබෙන්නට ඇත.
පැමිණෙන්නා වූ ක්‍රිස්තුස් වහන්සේගේ දහස් අවුරුදු පාලනය කෙරෙහි පේපීයස් විශ්වාසය තැබී ය. (එළිදරව් 20:2-7) “අලුත්වැඩියාවට හා නිදහසට පාත්‍ර කරන ලද මැවිල්ල, ස්වර්ගයේ පිනිවලින් හා පොළොවේ සශ්‍රීකත්වයෙන් සියලු ආකාරයේ ආහාරවල බහුලත්වයක් උත්පාදනය කරන්නා වූ” කාලයක් පිළිබඳ ව “ස්වාමීන් වහන්සේගේ ගෝලයෙක් වූ, යොහන් ව දුටු වැඩිමහල්ලන්, එම කාලවල් සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ ඉගැන් වූ ආකාරය පිළිබඳ ව තමන් ඇසූ ප්‍රකාරයට ම කියා දුන් බව” ඔහු ලිව්වේ ය. පේපීයස් වැඩිදුරටත් ලීවේ මෙසේ ය: “විශ්වාස කරන්නන්ට මේ දේවල් ඇදහිය හැකි ය. එහෙත් ද්‍රෝහී යූදස්, විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කර ‘ස්වාමීන් වහන්සේගෙන් එවන් දෙයක් ඉෂ්ට වන්නේ කෙසේ ද?’ කියා විමසූ විට, ‘ඒ කාලයේ ජීවත් වන්නෝ දකින්නෝ ය’ කියා ස්වාමීන් වහන්සේ පැවසූ සේක.”
පේපීයස් ලිව්වේ ඥානවාදය බහුල ව පතළ වී තිබූ කාලයක දී ය. ඥානවාදීහු දර්ශනය, අනුමාන සිතුවිල්ල හා මිථ්‍යා ගූඪ වාදය ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානි ධර්මය සමඟ මිශ්‍ර කළෝ ය. ඇත්ත වශයෙන් ම, ස්වාමීන් වහන්සේගේ දිවැස් වැකි, නැතහොත් වදන් පිළිබඳ පේපීයස්ගේ ප්රකාශනය ඥානවාදය පැතිර යාම මැඩපැවැත්වීමට වෑයමක් විය. ඔහුට පසු, ඥානවාදීන්ගේ බොරු හා වැඩි කොට දක්වන ලද ආත්මිකත්වයට විරුද්ධ ව ඉරේනියස් දිගට ම කටයුතු කළේ ය. ඥානවාදී පොත් පත් බහුල ප්‍රමාණයකින් තිබෙන්නට ඇති අතර “පවසන්නට මෙතරම් දේවල් තිබූ අය” වෙත ඇනුම් පද සහිත ඇඟවීම් ඉදිරිපත් කරන්නට පේපීයස් මෙනයින් පෙලඹෙන්නට ඇත. ඔහුගේ පරමාර්ථය—බොරුව සත්‍යය මගින් නැවැත්වීම—බව පැහැදිලි ව පෙනෙන්ට තිබුණි.—1 තිමෝති 6:4; පිලිප්පි 4:5.
සුවිශේෂ සම්බන්ධ ව අදහස්
දැනට පවතින පේපීයස්ගේ ලිපි කඩදාසිවල ඇති කොටස්වල, මතෙව් හා මාර්ක් විසින් ලියන ලද වෘත්තාන්තයන් පිළිබඳ ව කර ඇති සඳහන් කිරීම් අපට දක්නට ලැබේ. උදාහරණයක් හැටියට, මාර්ක්ගේ ලියවිල්ල පිළිබඳ ව පේපීයස් මෙසේ පවසයි: “පේතෘස්ගේ භාෂා පරිවර්තකයා බවට පත් ව සිටි මාර්ක්, ඔහුට මතක තිබූ සෑම දෙයක් ම නිවැරදි ව ලියා තැබී ය.” තව ද මෙම සුවිශේෂයේ නිවැරදි භාවයට සාක්ෂි දරමින්, පේපීයස් වැඩිදුරටත් මෙසේ කියයි: “එබැවින් තමාට කාරණා මතක තිබූ ආකාරයට මාර්ක් ඇතැම් දේවල් ලියා තැබූ අතර, ඔහු වැරදි කළේ නැත; මන්දයත් තමා ඇසූ ඕනෑ ම දෙයක් අත්නෑරීමට, නැතහොත් එතුළ කිසිඳු බොරු ප්‍රකාශයක් සඳහන් නොකිරීමට ඔහු ඒකමතික ව වගබලා ගත් නිසා ය.”
මතෙව් මුලින් ම හෙබ්‍රෙව් භාෂාවෙන් තමාගේ සුවිශේෂය ලේඛන ගත කළ බවට පේපීයස් බාහිර සාක්ෂි ඉදිරිපත් කරයි. “ඔහු එම වදන් හෙබ්‍රෙව් භාෂාවෙන් ලේඛන ගත කළ අතර සෑම කෙනෙක් ම තමාට පුළුවන් තරම් හොඳට එය තේරුම් කර දුන්නේ” යයි පේපීයස් පවසයි. පේපීයස් ලූක් හා යොහන්ගේ සුවිශේෂ වාර්තාවන්ට මෙන් ම ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ වෙනත් ලිපිවලට ද යොමු දක්වන්නට ඇතැයි අනුමාන කළ හැක. එසේ වී නම්, ඒවායේ නිරවද්‍යතාවය හා දේවානුභාවය තහවුරු කරන්නා වූ මුල් ම සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් ඔහු වනු ඇත. අවාසනාවකට මෙන්, දැනට ඉතිරි ව ඇත්තේ පේපීයස්ගේ ලියවිලිවල කොටස් කීපයක් පමණකි.
තමාගේ ආත්මික අවශ්‍යතාව පිළිබඳ ව සිහි ඇති ව
හයිරාපොලිස් නුවර තිබූ සභාවේ අවේක්ෂකයෙකු හැටියට පේපීයස් ඉතා උත්සාහවන්ත පරීක්ෂකයෙක් විය. වෙහෙස මහන්සිය නොබලා කටයුතු කළ පර්යේෂකයෙකු වනවාට අමතර ව ඔහු ශුද්ධ ලියවිලි කෙරෙහි තියුණු අගය කිරීමක් විදහා දැක්වූයේ ය. හෙතෙම “සියල්ලෙහි මනා දැනුමක් තිබූ, එමෙන් ම ශුද්ධ ලියවිල්ල හොඳින් දත් කෙනෙක්” හැටියට එවුසේබියස් ඔහු ව විස්තර කරයි. ධර්ම ඉගැන්වීම් පිළිබඳ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැතහොත් උන් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ ඕනෑ ම ප්‍රකාශයක්, ඔහුගේ දවසේ ප්රකාශනවල දක්නට තිබූ චපල ප්රකාශයන්ට වඩා පැහැදිලි කිරීම පිණිස වටිනාකමින් වැඩි බව පේපීයස් නිවැරදි ව විනිශ්චය කළේ ය.—යූද් 17.
වාර්තාවල දැක්වෙන ආකාරයට පේපීයස් පො. යු. 161 හෝ 165 දී පර්ගමම් හි ප්රාණපරිත්යාගියෙක් හැටියට මළේ ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් කොතරම් ගැඹුරට පේපීයස්ගේ ජීවිතයට හා හැසිරීමට බලපෑවේ දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි ය. එහෙත් ශුද්ධ ලියවිල්ල ඉගෙන ගැනීමටත් එය සාකච්ඡා කිරීමටත් ඔහු තුළ තියුණු ආශාවක් තිබිණ. අද දවසේ වෙසෙන සැබෑ ක්‍රිස්තියානින් ද තමන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සාවධාන ව සිටින බැවින් ඔවුන් සම්බන්ධයෙන් ද එසේ ම කිව හැකි ය. (මතෙව් 5:3, NW) එමෙන් ම පේපීයස් මෙන් ඔවුහු ස්වාමීන් වහන්සේගේ වදන් අගය කරති.