දිව්‍ය ඉගැන්වීම ජයනද දෙයි
“නුඹේ ඇස්වලින් නුඹේ ගුරුවරයා [උදාර උපදේශක, NW] දකින්ටත්, . . . මාර්ගය මේය, මෙහි හැසිරියල්ලායයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.”—යෙසායා 30:20, 21.
1. යෙහෝවඃවහන්සේගේ උපදෙස් දිව්‍ය ඉගැන්වීම යයි හරි ලෙස කියා සිටිය හැක්කේ මන්ද?
ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි හොඳම ඉගැන්වීමේ ප්රභවය යෙහෝවඃවහන්සේයි. උන්වහන්සේ කථා කරන විට, විශේෂයෙන් ස්වකීය පරිශුද්ධ වචනය තුළින් අපට කථා කරන විට, උන්වහන්සේ අපගේ උදාර උපදේශකයාණන් වන සේක. (යෙසායා 30:20) හෙබ්‍රෙව් බයිබල් පාඨය උන්වහන්සේව “දිව්‍ය තැනන්වහන්සේ” වශයෙන් හඳුන්වයි. (ගීතාවලිය 50:1, NW) මෙබැවින්, යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම දිව්‍ය ඉගැන්වීමකි.
2. දෙවියන්වහන්සේ පමණක් ප්‍රඥාවන්ත බව සත්‍යයක් වන්නේ කිනම් අර්ථයෙන්ද?
2 මෙම ලෝකය, එහි ඇති අධ්‍යාපන ආයතන ගැන ආඩම්බර වී සිටී, නමුත් මේවායින් එකක්වත් දිව්‍ය ඉගැන්වීම ලබා දෙන්නේ නැත. ඇරත්, යුග ගණනාවක් පුරා එකතු කර ගෙන තිබෙන ලෞකික ප්‍රඥාව, යෙහෝවඃවහන්සේ සතු අනන්තසහගත ප්‍රඥාව මත පදනම්ව ඇති දිව්‍ය ඉගැන්වීම සමඟ සසඳන කල ප්‍රමාණයෙන් ඉතා ස්වල්පය. දෙවියන්වහන්සේ පමණක් ප්‍රඥාවන්ත යයි රෝම 16:27හි පැවසෙන අතර, යෙහෝවඃවහන්සේට පමණක් පරම ප්‍රඥාව සතුව තිබෙන්නේය යන අර්ථයෙන් මෙය සත්‍යය වෙයි.
3. පොළොව මත එතෙක් මෙතෙක් විසූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නේ මන්ද?
3 දෙවියන්වහන්සේගේ පුත්‍ර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ප්‍රඥාවේ උතුම් ආදර්ශයක් වන අතර, මේ පොළොව මත මෙතෙක් විසූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයාණන් වන සේක. ඒ ගැන පුදුම වෙන්නට දෙයක් නැත! යුග ගණනාවක් පුරා, උන්වහන්සේගේ ස්වර්ගික ගුරුවරයාණන් වී සිටියේ යෙහෝවඃවහන්සේය. ඇත්තෙන්ම, දිව්‍ය ඉගැන්වීම ආරම්භ වූයේ, දෙවියන්වහන්සේ ස්වකීය පළමු මැවිල්ල වූ ස්වකීය ඒක ජාතක පුත්රයාණන්හට ඉගැන්වීම ආරම්භ කළ අවස්ථාවේදීය. එමනිසා, “මාගේ පියාණන්වහන්සේ මට ඉගැන්වූ ලෙස මේ දේවල් කියන බව” පවසන්නට යේසුස්වහන්සේට හැකි විණි. (යොහන් 8:28; හිතෝපදේශ 8:22, 30) බයිබලයේ වාර්තා වී තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේම වචන දිව්‍ය ඉගැන්වීම පිළිබඳ අපගේ දැනුමට බොහෝ දේ එකතු කරයි. යේසුස්වහන්සේගේ ආලේපලත් අනුගාමිකයන් උන්වහන්සේ ඉගැන්වූ දෙය උගන්වන විට, ඔවුන් අනුකරණය කරමින් සිටින්නේ උදාර උපදේශකයාණන්වය. උන්වහන්සේගේ කැමැත්තව තිබුණේ, ‘දෙවියන්වහන්සේගේ අනේකවිධ ප්‍රඥාව’ සභාව තුළින් දැනගැනීමට සැලැස්වීමයි.—එපීස 3:10, 11; 5:1; ලූක් 6:40.
ප්‍රඥාව සඳහා කර ඇති ගවේෂණය
4. මොළයේ ධාරිතාවය පිළිබඳව පවසනු ලැබ ඇත්තේ කුමක්ද?
4 දිව්‍ය ඉගැන්වීමෙන් ප්‍රතිඵල කරවන ප්‍රඥාව ලබා ගැනීමට නම්, දෙවියන්වහන්සේ විසින් අපටදී තිබෙන සිතීමේ හැකියාවන් නොපිරිහෙළා භාවිතා කිරීම අවශ්‍ය කෙරේ. මෙය කළ හැකි දෙයකි, මන්දයත් මිනිස් මොළයට අති විශාල හැකියාවක් තිබෙන හෙයිනි. දි ඉන්ක්‍රෙඩිබල් මෙෂීන් [පුදුමසහගත වූ යන්ත්‍රය] නමැති පොත මෙසේ පවසයි: “අපට සිතා ගත හැකි වඩාත් අති නවීන තාක්ෂණික පරිගණක සලකා බලන විට පවා, මිනිස් මොළයේ අනන්තසහගත සංකීර්ණතාවය සහ සුනම්‍යභාවය සමඟ සන්සන්දනය කරන විට, ඒවා ඉතාමත්ම ප්‍රාථමිකය. මොළය මෙම ගුණාංග සතුව පවතින්නේ, එහි ඇති සංකීර්ණ, ක්‍රමාංකනය කරන ලද විද්‍යුත් රසායනික සංඥා පද්ධතිය නිසාය. . . . ඕනෑම මොහොතක ඔබගේ මොළය තුළින් විදුලි වේගයෙන් ගමන් කරන සංඥා මිලියන සංඛ්‍යාව අති මහත් තොරතුරු සම්භාරයක් රැගෙන යයි. ඒවා, ඔබගේ සිරුරේ අභ්‍යන්තර සහ බාහිර පරිසරයන් ගැන පුවත් ගෙන එයි; එනම්, ඔබගේ පාදයේ යටි පතුලේ මස් පෙරලීමක්, එසේ නැතහොත් කෝපි කෝප්පයක සුවඳක් හෝ මිතුරෙකුගේ විහිළු කියමනක් මෙයට ඇතුළත් විය හැක. වෙනත් සංඥා පැමිණ තොරතුරු සකස් කොට විග්රහ කරනවාත් සමඟම, ඒවා එක්තරා චිත්තවේගයන්, මතකයන්, සිතිවිලි හෝ තීරණයකට තුඩු දෙන සැලසුම් නිපදවයි. ඒ සැණෙකින්ම වාගේ ඔබ කළ යුත්තේ කුමක්ද කියා මොළයෙන් පැමිණෙන සංඥා, ඔබගේ සිරුරේ වෙනත් අවයවයන්ට දැනුම් දෙයි: එනම්, ඔබගේ පයේ ඇඟිල්ල සොලවන්න, කෝපි කෝප්පය බොන්න, සිනහසෙන්න, නැත්නම් සිනහ උපදවන පිළිතුරක් දෙන්න. මේ අතර, ඔබගේ මොළය ඔබගේ හුස්ම ගැනීම, රුධිරයේ රසායනික ක්‍රියාවන්, උෂ්ණත්වය සහ ඔබට නොදැනුවත්ම සිදුවන වෙනත් අත්‍යවශ්‍ය ක්‍රියාවලියන්ද පාලනය කරමින් සිටී. ඔබ වටා ඇති පරිසරයේ නිරතුරුවම සිදුවන වෙනස්කම් හමුවේ, ඔබගේ සිරුර ස්ථාවරව හා මනා ලෙස හසුරුවමින් තබන විධාන ඒ මගින් නිකුත් කෙරේ. එය අනාගත අවශ්‍යතාවයන්ටද සූදානම් වෙයි.”—326වන පිටුව.
5. ශුද්ධ ලියවිලිමය අර්ථයට අනුව, ප්‍රඥාව යනු කුමක්ද?
5 මොළයට පුදුමාකාර ධාරිතාවයක් තිබෙන බවට කිසිඳු ප්‍රශ්නයක් නැතිව පැවසිය හැකිමුත්, අපගේ මනස ඉතා හොඳම ආකාරයෙන් භාවිතා කිරීමට අපට හැක්කේ කෙසේද? භාෂාව, ඉතිහාසය, විද්‍යාව හෝ ආගම් සන්සන්දනය කිරීම පිළිබඳ විෂය ගැන දුෂ්කර අධ්‍යයනයක මුළුමනින්ම පාහේ අපවම ගිල්වා ගැනීමෙන් නොවේ. මූලික වශයෙන් අප අපගේ සිතීමේ හැකියාවන් භාවිතා කළ යුත්තේ දිව්‍ය ඉගැන්වීම ලබා ගැනීමටයි. නියම ප්‍රඥාව ලැබෙන්නේ එමගින් පමණි. එහෙත් සැබෑ ප්‍රඥාව යනු කුමක්ද? ශුද්ධ ලියවිලිමය අර්ථයෙන් ගත් කල, “ප්‍රඥාව” යන වචනයෙන් අවධාරණය වන්නේ, ඒකාන්ත දැනුම හා නියම අවබෝධය මත පදනම්වූ හරි විනිශ්චයයි. ගැටලු විසඳීමේදී, අන්තරායන්ගෙන් වැලකී සිටීමේදී, අන්‍යයන්ට උපකාර කිරීමේදී, එමෙන්ම ඉලක්ක අත්කර ගැනීමේදී දැනුම හා අවබෝධය සාර්ථක අයුරින් යොදා ගැනීමට අපට හැකියාව ලබා දෙන්නේ ප්රඥාවයි. මෝඩකම සහ අඥානකමෙන්—සහතික වශයෙන්ම වැලකී සිටීමට අපට වුවමනා විය යුතු ගුණාංග—සමඟ ප්‍රඥාව පරස්පර ලෙස සසඳා තිබීම අපගේ උනන්දුව දනවනසුලුය.—ද්විතීය කථාව 32:6; හිතෝපදේශ 11:29; දේශනාකාරයා 6:8.
යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ පාඨග්රන්ථය
6. අප විසින් සැබෑ ප්‍රඥාව විදහාපානු ලැබීමට නම්, හොඳින් භාවිතා කළ යුත්තේ කුමක්ද?
6 ලෞකික ප්‍රඥාව බහුල ලෙස අප අවට පැතිර තිබේ. (1 කොරින්ති 3:18, 19) ඇරත්, පොත් මිලියන ගණනකින් සමන්විත පාසල් සහ පුස්තකාල මෙලොවෙහි පිරී ඇත! මේවායින් බොහොමයක්, භාෂාව, ගණිතය, විද්‍යාව සහ දැනුමේ වෙනත් ක්ෂේත්රවල උපදේශ ගෙන දෙන පාඨග්රන්ථයන්ය. එහෙත් මේ සියලු පොත්පත් අභිබවා යන අනභිභවනීය ග්‍රන්ථය උදාර උපදේශකයාණන් විසින් සපයනු ලැබ තිබේ—එය නම් උන්වහන්සේගේ ආනුභාවලත් වචනය වන බයිබලයයි. (2 තිමෝති 3:16) එය නිවැරදි වන්නේ, ඉතිහාසය, භූගෝලය සහ උද්භිද විද්‍යාව වැනි විෂයයන් ගැන සඳහන් කරන විට පමණක් නොව, නමුත් අනාගතය ගැන පැවසීමේදීත්ය. ඊටත් වඩා, එය වඩාත් සන්තෝෂවත්, වඩාත් ඵලදායි ජීවිතයක් ගත කිරීමට දැන් පවා අපට උපකාරවත් වෙයි. ඇත්ත වශයෙන්ම, ලෞකික පාසල්වල සිසුන් තමන්ගේ පොත් භාවිතා කිරීමට අවශ්‍ය වන්නාක් මෙන්ම, අප ‘යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලබන’ අය වශයෙන් සැබෑ ප්‍රඥාව පිළිබිඹු කරන්නට යනවා නම්, දෙවියන්වහන්සේගේ මෙම මහඟු පාඨග්රන්ථය සමඟ අප ඉතා හොඳින් හුරුපුරුදු විය යුතුය, එමෙන්ම එය භාවිතා කළ යුතුය.—යොහන් 6:45, NW.
7. බයිබලයේ තිබෙන දේ ගැන බුද්ධිමය වශයෙන් අවබෝධයක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඔබ පවසන්නේ මන්ද?
7 එහෙත් බයිබලය ගැන බුද්ධිමය වශයෙන් අවබෝධයක් තිබීම සැබෑ ප්‍රඥාව ලබා ගැනීම සහ දිව්‍ය ඉගැන්වීමට අනුකූල වීම හා සම කළ නොහැක. නිදසුනක් වශයෙන්, පො.යු. 17වෙනි සියවසේ කොර්නීලියස් වාන් ඩර් ස්ටේන් නමැති එක් කතෝලික තැනැත්තෙක් ජේසු නිකායික පූජකයෙකු වන්නට උත්සාහ කළ නමුත් ඔහු වඩා මිටි පුද්ගලයෙකු වීම හේතුවෙන් ඔහුව ප්‍රතික්ෂේප කෙරිණි. ද ජෙසුවිට්ස්—හිස්ටරි & ලෙජන්ඩ් ඔෆ් ද සොසයටි ඔෆ් ජීසස් යන තම පොතේ මාන්ෆ්රෙඩ් බාර්ටල් මෙසේ පවසයි: “උස සම්බන්ධ අවශ්‍යතාවය අත්හරින්නට තමන් සූදානම් බව මෙම කමිටුව වාන්ඩර්ස්ටේන්හට දැනුම් දුන් අතර, නමුත් එය භාර ගන්නේ මුළු බයිබලයම කට පාඩමෙන් කියන්නට ඔහු ඉගෙන ගන්නේ නම් පමණක් යයි සඳහන් කළේය. වාන්ඩර්ස්ටේන් මෙම අහංකාර ඉල්ලීමට එකඟ නොවී තිබුණා නම් මෙම කතාව පැවසීමෙන් කිසිඳු ඵලක් නැත.” මුළු බයිබලයම කට පාඩම් කිරීමට මොනතරම් ප්රයත්නයක් දැරිය යුතුද! කෙසේවුවද, දේව වචනය මතක තබා ගැනීමට වඩා බොහෝ සෙයින් වැදගත් වන්නේ එය තේරුම් ගැනීමයි.
8. දිව්‍ය ඉගැන්වීමෙන් ප්‍රයෝජන ලබා ගැනීමට සහ සැබෑ ප්‍රඥාව විදහා පෑමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක්ද?
8 සැබෑ ප්‍රඥාව විදහා පෙන්වීමටත්, දිව්‍ය ඉගැන්වීමෙන් මුළුමනින්ම ප්‍රයෝජන ගැනීමටත් අපට වුවමනා නම්, අපට ශුද්ධ ලියවිලි පිළිබඳ ඒකාන්ත දැනුම තිබිය යුතුය. අප යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මයෙන් හෙවත් ක්‍රියාකාරක බලයෙන් මෙහෙයවනු ලැබිය යුතුද වේ. මෙය අපට, ගැඹුරු සත්‍යයන්, එනම් “දෙවියන්වහන්සේගේ ගැඹුරු කාරණා” ඉගෙන ගන්නට හැකියාව ලබා දෙයි. (1 කොරින්ති 2:10) මෙබැවින්, අපි යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ පාඨග්රන්ථය උත්සාහවන්තව පාඩම් කර උන්වහන්සේගේ ආත්මය මගින් මඟ පෙන්වීම ලබමු. හිතෝපදේශ 2:1-6ට එකඟව, අපි ප්‍රඥාවට අවධානය යොමු කරමු, අපගේ හදවත් විචාර බුද්ධියට නැඹුරු කරමු, අවබෝධයට හඬ ගසමු. අප මෙය කළ යුත්තේ සැඟවුණු නිධාන සොයනවාක් මෙන්ය, මක්නිසාදයත්, අප ‘යෙහෝවඃවහන්සේට භය වීම තේරුම් ගෙන දෙවියන්වහන්සේ පිළිබඳ නියම දැනුම ලබා ගන්නේ’ එවිට පමණි. දිව්‍ය ඉගැන්වීමේ ඇතැම් ජයනාදයන් සහ ප්‍රයෝජන ගැන සලකා බැලීමෙන්, දෙවියන්වහන්සේ විසින් අපට දානය කරනු ලැබ ඇති ප්‍රඥාව උදෙසා වූ අපගේ අගය කිරීම වැඩි වෙනවා ඇත.
ප්රගතිශීලී අවබෝධය
9, 10. උත්පත්ති 3:15හි වාර්තා කර ඇති පරිදි දෙවියන්වහන්සේ පැවසුවේ කුමක්ද, තවද මෙම වදන්වල නිසි අවබෝධය කුමක්ද?
9 යෙහෝවඃවහන්සේගේ සෙනඟට ශුද්ධ ලියවිලි පිළිබඳව ප්රගතිශීලී අවබෝධයක් ලබා දීම මගින්ද දිව්‍ය ඉගැන්වීම ජයනද දෙයි. නිදසුනක් වශයෙන්, ඒදන් උයනේදී සර්පයෙකු තුළින් ඒවට කථා කළේ සාතන් වන යක්ෂයා බවත්, තහනම් ඵලය කෑමෙන් ඇති වන දඬුවම මරණය වනු ඇති බව දෙවියන්වහන්සේ පැවසූ විට උන්වහන්සේ බොරු කී බවට ඔහු බොරු චෝදනා කළ බවත්, අපි ඉගෙන ගෙන ඇත්තෙමු. කෙසේවෙතත්, යෙහෝවඃ දෙවියන්වහන්සේට අකීකරු වීම මිනිස් ජාතිය මත සැබවින්ම මරණය ගෙනා බව අපට පෙනේ. (උත්පත්ති 3:1-6; රෝම 5:12) එහෙත්, මෙසේ දෙවියන්වහන්සේ සර්පයාහට, එනම් සාතන්ට මෙසේ පැවසූ විට උන්වහන්සේ මිනිස් වර්ගයාට බලාපොරොත්තුවක් දුන් සේක: “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.”—උත්පත්ති 3:15.
10 එම වදන් තුළ, දිව්‍ය ඉගැන්වීම තුළින් ප්රගතිශීලී ලෙස එළිදරව් කරන ලද රහසක් අඩංගු විය. බයිබලයේ පරම තේමාව නම්, ආබ්‍රහම් සහ දාවිත්ගෙන් පැවතෙන, රාජ්‍යය පාලනයකට නීත්‍යානුකූල අයිතියක් ඇති වංශයක් මගින් යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීම බව උන්වහන්සේ ස්වකීය සෙනඟට උගන්වා ඇත. (උත්පත්ති 22:15-18; 2 සාමුවෙල් 7:12, 13; එසකියෙල් 21:25-27) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වනාහි එම ස්ත්‍රියගේ, එනම් දෙවියන්වහන්සේගේ විශ්වනීය සංවිධානයේ ප්‍රධාන වංශය බවද අපගේ උදාර උපදේශකයාණන් අපට උගන්වා ඇත. (ගලාති 3:16) සාතන් විසින් යේසුස් වහන්සේ වෙත ගෙනා සෑම පරීක්ෂාවක් හමුවේ, උන්වහන්සේගේ මරණය දක්වා පවා—එනම් වංශයේ විලුඹ පොඩි කිරීම දක්වා—අඛණ්ඩතාවය පවත්වා ගත් සේක. මිනිස් වර්ගයා අතරින් ගන්නා ලද හවුල් උරුමක්කාරයන් 1,44,000දෙනෙකු, “පුරාණ සර්පයා” වන සාතන්ගේ හිස පොඩි කිරීමෙහිලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් වන බවද අපි ඉගෙන ගෙන ඇත්තෙමු. (එළිදරව් 14:1-4; 20:2; රෝම 16:20; ගලාති 3:29; එපීස 3:4-6) දෙවියන්වහන්සේගේ වචනයේ එවන් දැනුම අපි කොතරම් අගය කරන්නෙමුද!
දෙවියන්වහන්සේගේ විස්මපත් ආලෝකය තුළට
11. ජනයාව ආත්මික ආලෝකය තුළට ගෙන ඒම මගින් දිව්‍ය ඉගැන්වීම ජයනාද කරන බව පැවසිය හැක්කේ මන්ද?
11 ජනයාව ආත්මික ආලෝකය තුළට ගෙන ඒම මගින්ද දිව්‍ය ඉගැන්වීම ජයනද දෙයි. පළමුවෙනි පේතෘස් 2:9 ඉෂ්ට වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආලේපලත් ක්රිස්තියානින්හට එම අද්දැකීම තිබිණි: “අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.” අද දින, දෙවියන්වහන්සේ විසින් දානය කර ඇති ආලෝකය, පාරාදීස පොළොවක සදාකල් ජීවත් වනු ඇති “මහත් සමූහයක්” විසින්ද භුක්ති විඳිනු ලැබේ. (එළිදරව් 7:9; ලූක් 23:43) දෙවියන්වහන්සේ ස්වකීය ජනයාට උගන්වනවාත් සමඟම, හිතෝපදේශ 4:18හි සඳහන් දේ සැබෑ බවට ඔප්පු වෙයි: “ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.” මෙම ප්රගතිශීලී වූ ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය, දිව්‍ය ඉගැන්වීම පිළිබඳ අපගේ අවබෝධය පිරිපහදු කරයි, එය හරියට, ශිෂ්‍යයන් විසින් ව්‍යාකරණ, ඉතිහාසය හෝ යම් වෙනත් විෂයක් අධ්‍යයනය කරන විට, ගුරුවරුන්ගේ මහඟු උපකාරය නිසා ඔවුන් විසින් දියුණුවක් ලබා ගන්නවාක් මෙන්ය.
12, 13. දිව්‍ය ඉගැන්වීම යෙහෝවඃවහන්සේගේ ජනයාව ආරක්ෂා කර ඇත්තේ කිනම් මූලධර්මීය අන්තරාවන්ගෙන්ද?
12 දිව්‍ය ඉගැන්වීමේ තවත් ජයනාදයක් නම්, එය ලබා ගන්නාවූ යටහත් පහත් අයව “භූත ඉගැන්වීම්වලින්” ආරක්ෂා කිරීමයි. (1 තිමෝති 4:1, NW) අනෙක් අතට, ක්‍රිස්තියානි ලෝකය දෙස බලන්න! අතීතයේ 1878දී, රෝමානු කතෝලික නායක පූජකයෙක් වූ ජෝන් හෙන්රි නිව්මන් මෙසේ ලීවේය: “නපුරේ බෝවීමට එරෙහිව සිටීමට කිතු දහමේ බලය කෙරෙහිත් භූත වන්දනාවේ උපකරණ හා වත්පිළිවෙත් කෙරෙහිත් ශුභාරංචිය පතුරුවාලීමේ කාර්යය සඳහා මාරුකිරීම කෙරෙහිත් විශ්වාස තැබීම හේතුවෙන්, . . . අවස්ථාව උදාවුණහොත්, එවකට පැවති චාරිත්‍ර හා සිරිත් විරිත්වලට මෙන්ම උගත් පංතියේ දර්ශනවාදවලට අනුව සකස් කිරීමට හෝ අනුකරණය කිරීමට නැතහොත් අවසර දීමට මුල් කාලවල සිටි සභා පාලකයෝ සූදානමින් සිටියහ.” ආසිරි පැන්, පූජක ඇඳුම්, රූප, වැනි “සියල්ලකටම මිථ්‍යා දෘෂ්ටි ආරම්භයක් ඇත, තවද සභාව තුළට ඈඳා ගැනීමෙන් ඒවා විශුද්ධ කොට තිබූ” බවත් නිව්මන් වැඩිදුරටත් කියා සිටියේය. දිව්‍ය ඉගැන්වීම මගින් එවැනි ඇදහිල්ලෙන් ඉවත්වූ ඉගැන්වීම්වලින් ආරක්ෂා වීම ගැන දෙවියන්වහන්සේගේ සෙනඟ ඇත්ත වශයෙන්ම කෘතඥවෙති. භූත වන්දනාවේ සෑම ආකාරයකටම වඩා එය ප්රබලව පවතී.—ක්‍රියා 19:20.
13 දිව්‍ය ඉගැන්වීම සෑම ආකාරයකම තිබෙන ආගමික වැරදි අභිබවා ජයනද දෙයි. නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන අපි, ත්‍රිත්වයක් විශ්වාස නොකරන නමුත් යෙහෝවඃවහන්සේ වනාහි මහෝත්තමයාණන් බවත්, යේසුස්වහන්සේ වනාහි උන්වහන්සේගේ පුත්‍රයාණන් බවත්, ශුද්ධාත්මය වනාහි උන්වහන්සේගේ ක්‍රියාකාරික බලය බවත්, පිළිගනිමු. අප නිරාගින්නට භය වන්නේ නැත, මක්නිසාදයත්, බයිබලයේ සඳහන් නිරය වනාහි මිනිස් වර්ගයාගේ පොදු මිනීවළ බව අපි වටහා ගෙන ඇත්තෙමු. මිනිස් ආත්මය අමරණීය බව බොරු ආගම් අදහන්නන් කියනමුත්, මළවුන් කිසිවක් නොදන්නා බව අපි දනිමු. දිව්‍ය ඉගැන්වීම තුළින් ලබා ගත් සත්‍යතාවන්ගේ ලැයිස්තුව දිගින් දිගටම යයි. බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහා බබිලෝනියේ ආත්මික බන්ධනයෙන් නිදහස් වීමට ලැබීම මොනතරම් ආශීර්වාදයක්ද!—යොහන් 8:31, 32; එළිදරව් 18:2, 4, 5.
14. දෙවියන්වහන්සේගේ සේවකයන්ට ආත්මික ආලෝකය තුළ දිගටම ගමන් කළ හැක්කේ මන්ද?
14 දිව්‍ය ඉගැන්වීම ආගමික වැරදිවලට එරෙහිව ජයනාද කරන බැවින්, ආත්මික ආලෝකය තුළ දිගටම ගමන් කිරීමට එය දෙවියන්වහන්සේගේ ජනයාට හැකිකම ලබා දෙයි. ඇත්ත වශයෙන්, “මාර්ගය මේය, [ජනයෙනි, NW] මෙහි හැසිරියල්ලා” යනුවෙන් ඔවුන්ට පිටුපසින් වූ වචනයක් ඔවුන්ට ඇසෙනවා හා සමානයි. (යෙසායා 30:21) දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් උන්වහන්සේගේ සේවකයන්ව බොරු තර්කවලින්ද ආරක්ෂා කරයි. “බොරු ප්‍රේරිතයෝ” පැරණි කොරින්තියේ ක්‍රිස්තියානි සභාවේ බේද ඇතිකරමින් සිටි විට, ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය. අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වාල්කරදෙමුව.” (2 කොරින්ති 10:4, 5; 11:13-15) සභාවේදී මෘදුකමින් දෙනු ලබන උපදෙස් මගින් සහ පිටත සිටින්නන්හට අප විසින් ශුභාරංචිය දේශනා කිරීම මගින් දිව්‍ය ඉගැන්වීමට පටහැනි වන තර්ක පෙරළා දමනු ලැබේ.—2 තිමෝති 2:24-26.
ආත්මයෙන්ද සැබෑකමින්ද නමස්කාර කරන්න
15, 16. ආත්මයෙන් සහ සැබෑකමින් යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
15 රාජ්‍යය දේශනා කිරීමේ වැඩය ඉදිරියට ඇදී යනවාත් සමඟම, දෙවියන්වහන්සේට “ආත්මයෙන්ද සැබෑකමින්ද” නමස්කාර කරන ආකාරය මොළොක් ගුණැති අයට පෙන්වීමේදී දිව්‍ය ඉගැන්වීම ජයනාද කරයි. සිඛාර් නුවර යාකොබ්ගේ ළිඳ අසලදී, සමාරිතානු ස්ත්‍රියක ඇමතූ යේසුස්වහන්සේ, සදාකාල ජීවනය දෙන වතුර සැපයීමට තමාට හැකි යයි පැවසූ සේක. සමාරිතානුවරුන්ට යොමු දක්වමින් උන්වහන්සේ මෙසේ එකතු කළ සේක: “නුඹලා නමස්කාර කරන්නේ නොදන්නා දේටය. . . . නුමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය. දැනටම පැමිණ තිබේ, මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.” (යොහන් 4:7-15, 21-23) අනතුරුව යේසුස්වහන්සේ මෙසියස්වහන්සේ බවට තමාවම හඳුන්වා දුන් සේක.
16 එහෙත් දෙවියන්වහන්සේට ආත්මයෙන් නමස්කාර කිරීමට අපට හැක්කේ කෙසේද? දෙවියන්වහන්සේගේ වචනයේ ඒකාන්ත දැනුම මත පදනම් වූ ප්‍රේමයෙන් පිරී ගිය කෘතඥතා පූර්වක හෘදයන්ගෙන් නික්මෙන නිර්මල නමස්කාරය පිරිනැමීමෙනි. යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ පාඨග්රන්ථයේ හෙළි කර ඇති ලෙස, බොරු ආගමික දේවල් ප්‍රතික්ෂේප කිරීමෙන් හා දිව්‍ය කැමැත්ත කිරීමෙන් උන්වහන්සේට නමස්කාර කරන්නට අපට හැක.
පරීක්ෂාවලට සහ ලෝකයට එරෙහිව ජයනාදය
17. පරීක්ෂාවලට මුහුණ දීම සඳහා, දිව්‍ය ඉගැන්වීම යෙහෝවඃවහන්සේගේ ජනයාට උපකාර කර ඇති බව ඔබට ඔප්පු කළ හැක්කේ කෙසේද?
17 දෙවියන්වහන්සේගේ ජනයා පරීක්ෂාවලට මුහුණ දෙන විට, දිව්‍ය ඉගැන්වීම යළි යළිත් ජයනද දෙයි. මේ ගැන සලකා බලන්න: වර්ෂ 1939 සැප්තැම්බර් මාසයේ 2වන ලෝක යුද්ධය ආරම්භයේදී, යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ පාඨග්රන්ථය සම්බන්ධයෙන් උන්වහන්සේගේ ජනයාහට විශේෂ තීක්ෂ්ණ බුද්ධියක් අවශ්‍ය විය. ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය සම්බන්ධ කරුණ ගැන දිව්‍ය ඉගැන්වීම පැහැදිලිව ඉදිරිපත් කළාවූ, 1939 නොවැම්බර් 1දා ද වොච්ටවර් කලාපයේ ලිපියක් මේ අතින් මහත් රුකුලක් වූයේය. (යොහන් 17:16) ඒ හා සමානව, 1960 ගණන්වල මුල් භාගයේදී, ආණ්ඩුමය “බලයලත් මුලාදෑනීන්ට” සාපේක්ෂ යටත්වීම සම්බන්ධ මුරටැඹ ලිපි, සමාජීය නොසන්සුන්කම් හමුවේ දිව්‍ය ඉගැන්වීමට එකඟ වීමට දෙවියන්වහන්සේගේ ජනයාට උපකාරවත් විණි.—රෝම 13:1-7; ක්‍රියා 5:29.
18. පොදු යුගයේ දෙවෙනි සහ තුන්වෙනි සියවස්වල විසූ ක්‍රිස්තියානින්, නීච විනෝදාස්වාද දෙස බැලුවේ කෙසේද, තවද දිව්‍ය ඉගැන්වීම අද දින ඒ සම්බන්ධව සපයන උපකාරය කුමක්ද?
18 නීචකරවන විනෝදාස්වාද සෙවීමට ඇති වන පෙලඹීම් වැනි පරීක්ෂාවලට එරෙහිව ජයනාද කිරීමටද දිව්‍ය ඉගැන්වීම් අපට උපකාරවත් වෙයි. අපගේ පොදු යුගයේ දෙවෙනි සහ තුන්වෙනි සියවස්වල ක්‍රිස්තියානි ධර්මය වැළඳ ගෙන සිටි අය විසින් පවසනු ලැබ ඇති දේ සැලකිල්ලට ගන්න. ටර්ටූලියන් මෙසේ ලීවේය: “සර්කස් ක්‍රීඩාවල උමතුබව, නෘත්‍යශාලාවේ අශීලාචාරභාවය, රංග භූමියේ ඇති අතිකෲරභාවය සමඟ අපට කථාවෙන්, දසුනෙන් හෝ ඇසීමෙන් කිසිම සම්බන්ධයක් නැත.” එම කාල පරිච්ඡේදයේ විසූ තවත් ලේඛකයෙක් මෙසේ ඇසීය: “ඇදහිලිවන්ත ක්‍රිස්තියානියෙක් දුෂ්ටකම ගැන සිතන්නේ නැති කොට, මේ දේවල් මැද ඔහු කුමක් කරන්නද? රාගය නියෝජනය කරන දේ මැද ඔහු සතුට ලබන්නේ මන්ද?” මෙම ලේඛකයන් ජීවත් වූයේ පළමු සියවසේ ක්‍රිස්තියානින්ට අවුරුදු ගණනාවකට පසු වුවත්, ඔවුහු මෙම නීච විනෝද හෙලා දුටහ. අශික්ෂිත, දුරාචාර සහ ප්‍රචණ්ඩකාරි විනෝදාස්වාදවලින් වැලකී සිටීමට අපට අද දින ප්‍රඥාව දෙන්නේ දිව්‍ය ඉගැන්වීම ය.
19. ලෝකයට එරෙහිව ජයනාද කිරීමට දිව්‍ය ඉගැන්වීම අපට උපකාර කරන්නේ කෙසේද?
19 දිව්‍ය ඉගැන්වීමට අනුකූල වීම, ලෝකයටම එරෙහිව ජයනාද කරන්නට අපට හැකි කරවයි. එසේය, අපගේ උදාර උපදේශකයාණන්ගේ ඉගැන්වීම අදාළ කර ගැනීම, සාතන්ගේ බලයේ රැඳී පවතින මේ ලෝකයේ නපුරු බලපෑම් යටපත් කොට අපට ජය ලබා දෙයි. (2 කොරින්ති 4:4; 1 යොහන් 5:19) මේ ලෝකයේ ආකාශයේ අධිපතියාගේ පාලනයට අනුව අප ගමන් කරමින් සිටින විට, අප අපගේ වැරදි සහ පාප තුළ මැරී සිටියද දෙවියන්වහන්සේ අපව ජීවත් කර තිබෙන බව එපීස 2:1-3 පවසයි. ලෞකික ආශාවන්ටත් උන්වහන්සේගේ සහ අපගේ සතුරා වන ප්‍රධාන රවටන්නා එනම් සාතන් වන යක්ෂයාගෙන් පැමිණෙන ස්ප්රීතුවට එරෙහිව ජයනාද කිරීමටත් දිව්‍ය ඉගැන්වීම අපට උපකාර කිරීම ගැන අපි යෙහෝවඃවහන්සේට ස්තුති කරමු.
20. තවදුරටත් අපගේ සැලකිල්ලට භාජනය විය යුත්තේ කුමක්ද?
20 එසේ නම්, දිව්‍ය ඉගැන්වීම බොහෝ ආකාරවලින් ජයනද දෙන බව පැහැදිලිය. ඇත්තෙන්ම, එහි සියලු ජයනාද කිරීම් සඳහන් කරන්නට අපහසු බව පෙනෙන්ට තිබේ. එය ලොව වටා වෙසෙන ජනයාට බලපෑම් කරයි. එහෙත් එය ඔබ උදෙසා කරමින් සිටින්නේ කුමක්ද? දිව්‍ය ඉගැන්වීම ඔබගේ ජීවිතයට බලපෑම් කරමින් සිටින්නේ කෙසේද?
ඔබ ඉගෙන ගෙන ඇත්තේ කුමක්ද?
◻ සැබෑ ප්‍රඥාව අර්ථ දැක්විය හැක්කේ කෙසේද?
◻ උත්පත්ති 3:15 සම්බන්ධව දෙවියන්වහන්සේ ප්‍රගතිශීලීව හෙළි කර ඇත්තේ කුමක්ද?
◻ ආත්මික කාරණා සම්බන්ධයෙන් දිව්‍ය ඉගැන්වීම ජයනද දී ඇත්තේ කෙසේද?
◻ ආත්මයෙන්ද සැබෑකමින්ද දෙවියන්වහන්සේට නමස්කාර කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
◻ පරීක්ෂාවලට හා ලෝකයට එරෙහිව ජයනාද කිරීම සඳහා දිව්‍ය ඉගැන්වීම යෙහෝවඃවහන්සේගේ සේවකයන්ට උපකාරවත් වී ඇත්තේ කෙසේද?
[10වන පිටුවේ පින්තූර]
යේසුස් වහන්සේ මරණය—එනම් වංශයේ විලුඹ පොඩි කිරීම දක්වා සිය අඛණ්ඩතාවය රැකගත් සේක