දිව්‍ය ඉගැන්වීමේ ප්‍රයෝජන භුක්ති විඳින්න
“ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් . . . නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] වන මමය.”—යෙසායා 48:17.
1. අප දිව්‍ය ඉගැන්වීම අපගේ ජීවිතවලට අදාළ කර ගන්නේ නම්, අපට ලැබෙන ප්‍රතිඵල මොනවාද?
යෙහෝවඃ දෙවියන්වහන්සේ වඩාත් හොඳ දේ කුමක්ද කියා දන්නා සේක. සිතිවිලිවලින්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් කිසිවෙක් උන්වහන්සේ අභිබවා නොයයි. අපගේ මැවුම්කරුවාණන් වශයෙන්, උන්වහන්සේ අපගේ අවශ්‍යතාවයන් දන්නා අතර, ඒවා බහුල ලෙස සපයන සේක. අපට උපදෙස් දිය යුතු ආකාරය සහතිකවම උන්වහන්සේ දන්නා සේක. තවද අපි දිව්‍ය ඉගැන්වීම අදාළ කර ගන්නේ නම්, අප අපටම ප්‍රයෝජන ලබාදී සැබෑ සන්තෝෂය භුක්ති විඳින්නෙමු.
2, 3. (අ) දෙවියන්වහන්සේගේ ඉපැරණි ජනයා උන්වහන්සේගේ අණපනත්වලට කීකරු වූවා නම්, ඔවුන් තමන්ටම ප්‍රයෝජන ලබන්නට තිබුණේ කෙසේද? (ආ) අපි අද දින අපගේ ජීවිතවල දිව්‍ය ඉගැන්වීම අදාළ කරගන්නෙමු නම්, කුමක් සිදු වනු ඇත්ද?
2 දෙවියන්වහන්සේගේ සේවකයන් විපත්තිවලින් වැළකී, උන්වහන්සේගේ නීති සහ ප්‍රතිපත්තිවලට අනුකූලවෙමින් ජීවිතය භුක්ති විඳීම උන්වහන්සේගේ උනන්දුමත් ආශාව බව දිව්‍ය ඉගැන්වීමෙන් හෙළි වෙයි. යෙහෝවඃවහන්සේගේ ඉපැරණි ජනයා උන්වහන්සේට සවන්දී තිබුණි නම්, ඔවුන්ට බහුල ආශීර්වාද භුක්ති විඳීමට හැකිව තිබිණි, මන්දයත් උන්වහන්සේ ඔවුන්ට මෙසේ පවසා තිබුණු බැවිනි: “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] වන මමය. අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.”—යෙසායා 48:17, 18.
3 දෙවියන්වහන්සේගේ ඉපැරණි ජනයා උන්වහන්සේගේ අණපනත් සහ උපදෙස්වලට අවධානය යොමු කොට තිබුණි නම්, ඔවුන්ට එයින් ප්‍රයෝජන ගැනීමට තිබුණි. බබිලෝනිවරුන්ගේ අත්වලින් විපතට ගොදුරු වෙනවා වෙනුවට, ජලයෙන් පිරි, ගැඹුරු හිඳී නොයන ගංගාවක් මෙන් සාමය හා සෞභාග්‍යය භුක්ති විඳිය හැකිව තිබිණි. එපමණක්ද නොව, ඔවුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා, මුහුදේ රැළ මෙන් ගිණිය නොහැකි වන්නට තිබිණි. ඒ හා සමානව, අපි දිව්‍ය ඉගැන්වීම අපගේ ජීවිතවලට අදාළ කරගන්නෙමු නම්, එහි බොහෝ ප්‍රයෝජන භුක්ති විඳීමට අපට හැකි වෙයි. මින් සමහරක් මොනවාද?
එය ජීවිත වෙනස් කරයි
4. දිව්‍ය ඉගැන්වීම බොහෝ දෙනෙකුගේ ජීවිතවලට බලපාමින් තිබෙන්නේ කෙසේද?
4 දිව්‍ය ඉගැන්වීම බොහෝ දෙනෙකුගේ ජීවිත යහපත් අතට වෙනස් කරමින් ඔවුන්ට ප්‍රයෝජන සලසමින් තිබේ. යෙහෝවඃවහන්සේගේ උපදෙස් අදාළ කර ගන්නා වූ අය, සල්ලාල හැසිරීම, පිළිම වන්දනාව, ආත්ම බන්ධන ක්‍රියා, ආරවුල් සහ ඊර්ෂ්‍යාව වැනි “මාංසයේ ක්‍රියා” අතහැර දමති. ඒ වෙනුවට, ආත්මයේ ඵලදාව වන ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මොළොක්කම සහ ආත්ම දමනය විදහා පාති. (ගලාති 5:19-23) එපීස 4:17-24, [NW]හි සඳහන් පාවුල්ගේ වචනවලටද ඔවුහු අවනත වෙති. එහිදී, දෙවියන්වහන්සේට අයත් ජීවනයෙන් ඈත්ව සිටින්නාවූ, තමන්ගේ මනස්වල නිෂ්ඵලත්වයෙන්ද මානසික අන්ධකාරයෙන්ද ගමන් කරන ජාතීන් මෙන්, ගමන් නොකරන ලෙස ඔහු තම සෙසු ඇදහිලිවන්තයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. කෙසේවුවද, ක්‍රිස්තුස්වහන්සේට සමාන පුද්ගලයෝ, ‘තමන්ගේ පැරණි හැසිරීම් රටාවට අනුකූල වන පැරණි පෞද්ගලිකත්වය ගලවා දමා, තමන්ගේ මනස ක්‍රියාත්මක කරවන බලය තුළ අලුත් කරනු ලබති.’ ඔවුහු ‘සැබෑ ධර්මිෂ්ඨකමින් හා පක්ෂපාතකම තුළ දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳ ගනිති.’
5. දිව්‍ය ඉගැන්වීම ජනයා හැසිරෙන ආකාරයට බලපාන්නේ කෙසේද?
5 දිව්‍ය ඉගැන්වීම අදාළ කර ගැනීමේ කදිම ප්‍රයෝජනයක් නම්, එය, දෙවියන්වහන්සේ සමඟ හැසිරෙන ආකාරය ජනයා හට පෙන්වීමයි. නෝවා කළාක් මෙන්, අපි යෙහෝවඃවහන්සේ සමඟ හැසිරෙන්නෙමු නම්, අපගේ උදාර උපදේශකයාණන් විසින් අපට පෙන්වාදී ඇති ජීවන මාර්ගය අපි අනුගමනය කරන්නෙමු. (උත්පත්ති 6:9; යෙසායා 30:20, 21) ප්‍රේරිත පාවුල් පවසන්නාක් මෙන්, අන්යජාතීන්වල ජනයෝ, “තමන්ගේ මනස්වල නිෂ්ඵලත්වයෙන් ගමන් කරති.” තවද, එම මනස් ඇති අය ලියන ඇතැම් දේවල් කොතරම් නිෂ්ඵල විය හැකිද! පොම්පායෙහි ප්‍රසිද්ධ බිත්තියක අන්අය ලියා තිබූ දෑ සැලකිල්ලට ගනිමින් එක් නිරීක්ෂකයෙකු විසින් ලියනු ලැබ තිබූ මෙම ලියවිලි සැලකිල්ලට ගන්න: “අහෝ බිත්තිය! ඔබ මත ලියා ඇති මේ තරම් විකාර දේවල බරෙන් ඔබ තවමත් ගරා නොවැටී සිටීම නම් පුදුමයකි.” එහෙත් “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ඉගැන්වීමෙහි” සහ ඒ මගින් ඉටු කෙරෙන රාජ්‍යය දේශනා කිරීමේ වැඩයෙහි කිසිඳු විකාරයක් නැත. (ක්‍රියා 13:12) මෙම කර්තව්‍ය මාර්ගයෙන්, සත්‍යයට ප්‍රේම කරන ජනයාව ඔවුන්ගේ හොඳ සිහියට ගෙන එනු ලැබේ. දෙවියන්වහන්සේගේ අරමුණු නොසලකා හැර තිබෙන තමන්ගේ පව්කාර මාර්ගවල ගමන් කිරීම නවත්වන ආකාරය ඔවුන්ට උගන්වනු ලැබේ. ඔවුන් තවදුරටත් මානසික අන්ධකාරයේ නොසිටින අතර, නිෂ්ප්රයෝජන ඉලක්ක සොයන්නාවූ අසංවේදී හෘදයන් මගින් පෙලඹවීම් ලබන්නේද නැත.
6. අප යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම්වලට කීකරු වීමත් අපගේ සන්තෝෂයත් අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?
6 දිව්‍ය ඉගැන්වීම අපට ප්‍රයෝජන ලබා දෙන තවත් පැත්තක් නම්, එය යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේ කටයුතු කරන ආකාරය ගැන අපව දැනුවත් කරවීමය. එවන් දැනුම අපව දෙවියන්වහන්සේ වෙතට ළං කරවා, උන්වහන්සේට ඇති අපගේ ප්‍රේමය වැඩි කරවා, උන්වහන්සේට කීකරු වීමට ඇති අපගේ ආශාව බලවත් කරවයි. පළමුවෙනි යොහන් 5:3 මෙසේ කියයි: “දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත.” යේසුස්වහන්සේගේ ඉගැන්වීම් දෙවියන් වහන්සේගෙන් පැමිණෙන බව අප දන්නා හෙයින්, අපි යේසුස්වහන්සේගේ ආඥාවන්ටද අනුකූල වෙමු. (යොහන් 7:16-18) එවන් දැනුම අපව ආත්මික හානිවලින් ආරක්ෂා කර, අපගේ සන්තෝෂයේ වැඩිදියුණුවට තුඩු දෙයි.
ජීවිතයට සැබෑ අරමුණක්
7, 8. (අ) අප ගීතාවලිය 90:12 වටහා ගත යුත්තේ කෙසේද? (ආ) අපට ප්‍රඥාවේ හෘදයක් ලබා ගත හැක්කේ කෙසේද?
7 අපගේ ජීවිතය අරමුණකින් යුතුව ගත කරන ආකාරය අපට පෙන්වා දීමෙහිලා යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම අපට ප්‍රයෝජන සලසයි. ඇත්ත වශයෙන්ම, විශේෂ අන්දමකින් අපගේ දවස් ගණින ආකාරය දිව්‍ය ඉගැන්වීම අපට පෙන්වා දෙයි. වසර 70ක ආයු කාලයක් දවස් 25,550ක පමණ ජීවිතයක් ලබා දෙයි. වසර 50ක් වයසැති පුද්ගලයෙක් දැනටමත් ඒවායින් දවස් 18,250ක් ගත කොට ඇති අතර, ඔහු බලාපොරොත්තු වන ඉතිරි දවස් 7,300 ඇත්තෙන්ම ඉතා සුළු යමක් ලෙස පෙනී යයි. ගීතාවලිය 90:12හි අනාගතවක්තෘ මෝසෙස්, දෙවියන්වහන්සේට යාච්ඤා කිරීමට හේතුව විශේෂයන් දැන් ඔහු විසින් අගය කෙරෙනවා ඇත: “ඥානවන්ත සිතක් [හෘදයක්, NW] ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.” මෝසෙස් ඉන් අදහස් කළේ කුමක්ද?
8 එක් එක් ඊශ්රායෙල්වරයෙකුගේ ජීවන කාලය තුළ තිබෙන්නට යන නියමිත දවස් සංඛ්‍යාව දෙවියන්වහන්සේ විසින් හෙළි කරනු ඇතැයි මෝසෙස් අදහස් කළේ නැත. ගීතාවලිය 90වන පරිච්ඡේදයේ 9 සහ 10 පදවලට අනුව, ජීවන කාලය අවුරුදු 70ක් හෝ 80ක් විය හැකියයි එම හෙබ්‍රෙව් අනාගතවක්තෘවරයා පිළිගත්තේය. ඇත්තෙන්ම එය කෙටි කාලයකි. එමනිසා ගීතාවලිය 90:12හි වදන් පෙනෙන හැටියට, මෝසෙස්ගේ යාච්ඤා පූර්වක ආශාවන් ප්‍රකාශයට පත් කළේය, එනම් තම ‘අවුරුදුවල දවස්’ අගය කොට, ඒවා දෙවියන්වහන්සේ විසින් අනුමත කෙරෙන ආකාරයකට යොදා ගැනීමට යෙහෝවඃවහන්සේ විසින් ඔහුට සහ ස්වකීය සෙනඟට අවශ්‍ය ප්‍රඥාව ක්‍රියාවෙහි යෙදවීමට පෙන්වන මෙන් හෝ උගන්වන මෙන්ය. හොඳයි, එසේ නම් අප ගැන කුමක් කිව හැකිද? අපි සෑම දවසක්ම අගය කරන්නෙමුද? අපගේ උදාර උපදේශකයාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා සෑම දවසක්ම ඵලදායි ආකාරයෙන් ගත කිරීමට සොයමින් අපි ‘ප්‍රඥාවේ හදවතක්’ ලබා ගනිමින් සිටින්නෙමුද? ඒ දේ හරියාකාරව කිරීමට දිව්‍ය ඉගැන්වීම අපට උපකාර කරයි.
9. යෙහෝවඃවහන්සේගේ මහිමය උදෙසා අපගේ දවස් ගණින්නට අප ඉගෙන ගන්නේ නම්, අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?
9 අපි යෙහෝවඃවහන්සේගේ මහිමය උදෙසා ‘අපගේ දවස් ගණින්ට’ ඉගෙන ගන්නෙමු නම්, දිගටම ගණන් කිරීමට එමගින් අපට හැකි වන්නට පුළුවන, මන්දයත් දිව්‍ය ඉගැන්වීම සදාජීවනය සඳහා දැනුම ලබා දෙන හෙයිනි. යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක: “සදාකාල ජීවනය නම් මේය—එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.” (යොහන් 17:3) ඇත්ත වශයෙන්ම, අප ලබා ගත හැකි ලෞකික දැනුමේ සියල්ලම ලබා ගත්තත්, එය අපට සදාකාල ජීවනය ගෙන එන්නේ නැත. එහෙත්, විශ්වයේ සිටින අතිශයින් වඩාත් වැදගත් පුද්ගලයන් දෙදෙනා ගැන ඒකාන්ත දැනුම ලබා ගෙන එය අදාළ කර ගෙන සැබවින්ම ඇදහිල්ල ක්රියාවේ යොදවනවා නම් සදාකාල ජීවනය අපගේ විය හැක.
10. එක් විශ්වකෝෂයක් අධ්‍යාපනය ගැන පවසන්නේ කුමක්ද, තවද මෙය දිව්‍ය ඉගැන්වීමේ ප්‍රයෝජන සමඟ සැසඳෙන්නේ කෙසේද?
10 අප දැනටමත් කොතරම් කල් ජීවත්ව සිටියත්, මෙහිලා සටහන් කළ යුතු දිව්‍ය ඉගැන්වීමේ මෙම ප්‍රයෝජනය අපි මතක තබා ගනිමු: එනම්, එය අදාළ කර ගන්නා අයගේ ජීවිතවලට සැබෑ අරමුණක් ලබා දෙයි. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ ප්‍රකාශ කරයි: “අධ්‍යාපනය, සමාජයේ ඵලදායි සාමාජිකයන් බවට පත්වීම සඳහා ජනයාට උපකාර කළ යුතුය. තමන්ගේ සංස්කෘතික උරුමය පිළිබඳ අගය කිරීමක් වැඩි දියුණු කොට වඩාත් තෘප්තිමත් ජීවිත ගත කිරීමටද එය ඔවුන්ට උපකාරවත් විය යුතුය.” දිව්‍ය අධ්‍යාපනය සහතිකවම තෘප්තිමත් ජීවිත ගත කිරීමට අපට උපකාර කරයි. දෙවියන්වහන්සේගේ සෙනඟ වශයෙන් අපගේ ආත්මික උරුමයන් ගැන ඉතා තියුණු අගය කිරීමක් එමගින් අප තුළ ඇති කරවයි. තවද, එය ස්ථිරවම අපව සමාජයේ ඵලදායි සාමාජිකයන් බවට පත් කරයි, මන්දයත් ලොව පුරා සිටින ජනයාගේ අවශ්‍යතා සපුරාලීමෙහිලා අති වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට එය අපට හැකියාව ලබා දෙන හෙයිනි. එසේ කිව හැක්කේ මන්ද?
ලෝක ව්‍යාප්ත ඉගැන්වීමේ වැඩසටහන
11. ටොමස් ජෙෆර්සන් නිසි අධ්‍යාපනයක අවශ්‍යතාවය කැපී පෙනෙන්ට සැලැස්වූයේ කෙසේද?
11 වෙනත් කිසිඳු උපදේශාත්මක වැඩසටහනක් මෙන් නොව, දිව්‍ය ඉගැන්වීම, අධ්‍යාපනය සඳහා වූ ජනයාගේ අවශ්‍යතා සපුරාලයි. එක්සත් ජනපදවල තුන්වෙනි ජනාධිපති බවට පත්වූ තොමස් ජෙෆර්සන් විසින් ජනයා හට ඉගැන්වීමේ ඇති අවශ්‍යතාවය සැලකිල්ලට භාජනය කරන ලදි. වර්ෂ 1786 අගෝස්තු 13දා, නිදහසේ ප්රකාශනයට තමා සමඟ අත්සන් තැබූවාවූ ජෝර්ජ් විත් නම් තම මිතුරෙකුට ජෙෆර්සන් මෙසේ ලීවේය: “අපගේ මුළු නීති පද්ධතියේ ඇති වඩාත්ම වැදගත් නීතිය නම් ජනයා අතර දැනුම බෙදා දීම යයි මම කල්පනා කරමි. නිදහස සහ සන්තෝෂය ආරක්ෂා කරලීම සඳහා වෙනත් කිසිඳු ස්ථිරසාර අත්තිවාරමක් දැමිය නොහැක. . . . මා ප්‍රිය මහතාණෙනි, නොදැනුවත්කමට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගැන දේශනා කරන්න; පොදු ජනයාව දැනුවත් කරලීම සඳහා නීති පිහිටුවා ඒවා වැඩි දියුණු කරන්න. [අධ්‍යාපනික] අරමුණු උදෙසා ගෙවනු ලබන බදු, අප විසින් ජනයාව නොසලකා හරිනු ලැබුවහොත් අප අතරින් නැගී සිටින රජවරුන්ට, පූජකයන්ට සහ උදාර මිනිසුන්ට ගෙවනු ලබන කොටසින් දහසෙන් එකකට වඩා වැඩි නොවන බව . . . පිටිසර ගැමියන්හට දැනගැනීමට සලස්වන්න.”
12. දිව්‍ය ඉගැන්වීම වනාහි සමස්ත ලෝක අධ්‍යාපනය සඳහා වඩාත් සාර්ථකම, ප්රයෝජනදායකම වැඩසටහන බව කිව හැක්කේ මන්ද?
12 ධර්මිෂ්ඨකමට නැඹුරු වී සිටින ජනයාව නොදැනුවත්කමින් සිටීමට ඉඩ දෙනවා වෙනුවට, යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා ලෝක ව්‍යාප්ත හොඳම අධ්‍යාපනික වැඩසටහන සපයයි. මීට වසර 50කට පෙර දෙවන ලෝක යුද්ධය තවමත් පැවතෙමින් තිබෙද්දී, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණය පිළිබඳ එක්සත් ජනපද කමිටුව, “සමස්ත ලෝක අධ්‍යාපනයක්” සඳහා වූ අවශ්‍යතාවය දුටුවේය. එම අවශ්‍යතාවය තවමත් පවතී, නමුත් සමස්ත ලෝක අධ්‍යාපනයක් සඳහා තිබෙන එකම සාර්ථක වැඩසටහන දිව්‍ය ඉගැන්වීම පමණි. එය ජනයාව බලාපොරොත්තු විරහිත බවින් මුදාලයි, ඔවුන්ව සදාචාරමය හා ආත්මික වශයෙන් නංවාලයි, ලෝකයේ උඩඟු බවින් හා අගතියෙන් ගලවා ගනී, තවද සදාකාල ජීවනය සඳහා වූ දැනුම ලබා දෙයි, මෙනිසා එය බෙහෙවින් ප්‍රයෝජනදායකය. මේ සියල්ලටම වඩා, මෙම වැඩසටහන, ශ්‍රේෂ්ඨතම ගුරුවරයාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේට සේවය කරන ආකාරය සෑම තැනකම සිටින ජනයාහට උගන්වමින් සිටීමෙන් ජනයාහට ප්‍රයෝජන ගෙනදෙමින් සිටී.
13. යෙසායා 2:2-4 අද දින ඉටු වෙමින් තිබෙන්නේ කෙසේද?
13 දෙවියන්වහන්සේගේ සේවකයන් බවට දැන් පත් වෙමින් සිටින විශාල ජනකායක් දිව්‍ය ඉගැන්වීමේ ප්‍රයෝජන භුක්ති විඳිමින් සිටිති. ඔවුන් තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින අතර, යෙහෝවඃවහන්සේගේ දවස ළඟ බව ඔවුහු හොඳින් දනිති. (මතෙව් 5:3, NW; 1 තෙසලෝනික 5:1-6) “දවස්වල අවසාන කොටසේදී” එනම්, මේ කාලයේදී, සියලු ජාතීන්ට අයත් මෙම ජනයා යෙහෝවඃවහන්සේගේ කන්දට, එනම් උන්වහන්සේගේ නිර්මල නමස්කාරයට ඇදී එමින් සිටිති. එය ස්ථිර ලෙස පිහිටුවා ඇති අතර, දෙවියන්වහන්සේගේ කැමැත්තට පටහැනිව තිබෙන සියලු නමස්කාරවලට වඩා ඉහළින් උසස්ව තිබේ. (යෙසායා 2:2-4) ඔබ යෙහෝවඃවහන්සේට කැපවූ සාක්ෂි කරුවෙකු නම්, කවදාවත් නැති තරමින් දැන් යෙහෝවඃවහන්සේට නමස්කාර කරන මහා පිරිස් අතර සිටීමටත්, දිව්‍ය ඉගැන්වීමෙන් ප්‍රයෝජන ලැබීමටත් ඔබ සතුටු නොවන්නේද? “අහෝ ජනයෙනි, යාඃට ප්‍රශංසා කරව!” යන ප්රකාශනය කරන අය අතර සිටීමට ලැබීම කොතරම් පුදුමාකාර දෙයක්ද!—ගීතාවලිය 150:6, NW.
අපගේ ස්වභාවය කෙරෙහි ප්‍රයෝජනවත් බලපෑමක්
14. පළමුවෙනි කොරින්ති 14:20හි පාවුල්ගේ උපදෙස අනුගමනය කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද?
14 දිව්‍ය ඉගැන්වීමෙහි බොහෝ ප්‍රයෝජන තිබෙන අතර තවත් දෙයක් නම්, එයට අපගේ සිතිවිලි සහ ස්වභාවය මත කදිම බලපෑමක් ඇති කිරීමට හැකි වීමයි. ධර්මිෂ්ඨ, පිරිසිදු, ගුණවත් සහ ප්රශංසාත්මක දේවල් මත සිතීමට එය අපව පොලඹවයි. (පිලිප්පි 4:8) පාවුල්ගේ මෙම උපදෙස අනුගමනය කිරීමට යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම අපට උපකාරවත් වෙයි: “නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න; එහෙත් අවබෝධාත්මක හැකියාවන් අතින් මුළුමනින් වැඩී සිටින්න.” (1 කොරින්ති 14:20, NW) අප මෙම අවවාදය අදාළ කරගන්නේ නම්, අප දුෂ්ටකම තුළ දැනුම සෙවීමට යන්නේ නැත. පාවුල් මෙසේද ලීවේය: “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් [සියලු අයහපත්කමත් සමඟින්, NW] නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.” (එපීස 4:31) එවැනි උපදෙස්වලට සවන් යොමු කිරීම, දුරාචාරයෙන් සහ අනෙකුත් බරපතළ පව්වලින් වැළකීමට අපට උපකාරවත් වෙයි. මෙය කායික සහ මානසික වශයෙන් ප්‍රයෝජනදායක වන අතරේදී, ඉන් අපට ලැබෙන විශේෂ ප්‍රීතිය නම් අප දෙවියන්වහන්සේව සතුටු කරනවාය යන දැනුමයි.
15. සිතිවිලිවලින් ගුණවන්තව සිටීමට අපට උපකාර කළ හැක්කේ කුමකටද?
15 අප සිතිවිලිවලින් ගුණවත්ව සිටීමට තිබෙන එක් උපකාරයක් නම්, ‘ප්‍රයෝජනවත් ගති පැවතුම් නරක් කරන නරක ආශ්රයෙන්’ වැළකී සිටීම ය. (1 කොරින්ති 15:33) ක්‍රිස්තියානින් වශයෙන් අප, වේශ්‍යාකම් කරන්නන්, කාමමිථ්‍යාචාරිකයන් සහ වෙනත් වැරදි කරන්නන් සමඟ සමාගම් පවත්වන්නට යන්නේ නැත. එසේ නම්, රාගික සතුට ලැබීම සඳහා එවන් පුද්ගලයන් ගැන කියවීමෙන් හෝ රූපවාහිනියෙන් හෝ චිත්‍රපටිවලින් ඔවුන්ව නැරඹීමෙන් අප ඔවුන් සමඟ ඇසුරු නොකළ යුතු බව තර්කානුකූලය. හෘදය රැවටිලිකාරය, පහසුවෙන්ම නපුරු දේ සඳහා ආශාවක් ඊට වර්ධනය කළ හැක, තවද ඒවා කිරීමට ඊට පරීක්ෂා ඇති විය හැක. (යෙරෙමියා 17:9) එබැවින්, අපි දිව්‍ය ඉගැන්වීමට ඇලී සිටීමෙන් එවැනි පරීක්ෂාවලින් වැළකී සිටිමු. එය ‘යෙහෝවඃවහන්සේට ප්‍රේම කරන්නන්ගේ’ සිතිවිලිවලට කොතරම් ඵලදායි බලපෑම් කරන්නට හැකිද කිවහොත් ඔවුහු ‘නපුරට වෛර කරති.’—ගීතාවලිය 97:10.
16. අප විදහාපාන ස්වභාවයට බලපෑම් කිරීමට දෙවියන්වහන්සේගේ ඉගැන්වීමට හැක්කේ කෙසේද?
16 පාවුල් තම සහකරු සේවක තිමෝතිට මෙසේ පැවසීය: “ස්වාමීන්වහන්සේ නුඹේ ආත්මය සමඟ සිටිනසේක්වා. අනුග්‍රහය [උන්වහන්සේගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව, NW] නුඹලා සමඟ වේවා.” (2 තිමෝති 4:22) තිමෝති සහ අනෙකුත් ක්‍රිස්තියානින්ව පොලඹවන ක්‍රියාත්මක වන්නාවූ බලය දෙවියන්වහන්සේ විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් අනුමත කරනු ලැබීම ප්‍රේරිතවරයා ආශා කළේය. දෙවියන්වහන්සේගේ ඉගැන්වීම, ප්‍රේමනීය, කරුණාවන්ත, මෘදු ස්වභාවයක් විදහාපෑමට අපට උපකාර කරයි. (කොලොස්සි 3:9-14) තවද මෙම අන්තිම දවස්වල සිටින බොහෝ දෙනෙකුගේ ස්වභාවයට වඩා එය මොනතරම් වෙනස්ද! ඔවුහු, උඩඟුය, ස්තූතිවන්ත නොවන්නෝය, ජන්ම ස්නේහයෙන් ඌනය, කිසි එකඟත්වයකට විවෘත නැත, හිස ඉදිමුණු අයය, වින්දනයට ලොල්ය, සැබෑ දේව භක්තියෙන් හීනය. (2 තිමෝති 3:1-5) කෙසේ වෙතත්, අපි අපගේ ජීවිතවලට දිව්‍ය ඉගැන්වීමේ ප්‍රයෝජන දිගටම අදාළ කරන ගමන්ම, අපව දෙවියන්වහන්සේට සහ සෙසු අයට හිතෛෂිවන්ත ස්වභාවයක් විදහා පාන්නෙමු.
මිනිස් සබඳතාවලදී ප්‍රයෝජනදායකය
17. යටහත් පහත් ලෙස සහයෝගය දැක්වීම එතරම්ම වැදගත් වන්නේ මන්ද?
17 සෙසු නමස්කාරකයන් සමඟ යටහත් පහත් ලෙස සහයෝගය දැක්වීමේ ප්‍රයෝජන දැක ගැනීමට යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම අපට උපකාර කරයි. (ගීතාවලිය 138:6) අද දින සිටින බොහෝ මිනිසුන් මෙන් නොව, අපි ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති උල්ලංගණය නොකරන මුත්, එකඟත්වයට විවෘතවී සිටින්නෙමු. නිදසුනක් වශයෙන්, පත්කරන ලද අවේක්ෂකයන්, වැඩිමහල්ලන්ගේ රැස්වීම්වලදී එකඟත්වයකට විවෘතවී සිටින හෙයින් බොහෝ යහපත් ප්‍රතිඵල ඇති වෙයි. තර්කානුකූල බව වසාලීමට හෝ එක්සත්කම බිඳ හෙළීමට චිත්ත වේගයන්ට ඉඩ නොහැරෙන අතරේදී, සත්‍යය පිළිබඳ කාරණා කටයුතු සම්බන්ධයෙන් සන්සුන් ලෙස කථා කිරීමට මෙම පුරුෂයන්ට හැකිය. අප සියල්ලන්ම දිව්‍ය ඉගැන්වීම අදාළ කර ගනිමින් සිටිනවා නම්, අප භුක්ති විඳින එක්සත්කමේ ස්වභාවයෙන් සභාවේ සාමාජිකයන් සියලු දෙනාම ප්‍රයෝජන ගන්නවා ඇත.—ගීතාවලිය 133:1-3.
18. දිව්‍ය ඉගැන්වීම අපට උපකාර කරන්නේ සෙසු ඇදහිලිවන්තයන් සම්බන්ධව කිනම් දෘෂ්ටියක් ඇතිව සිටීමටද?
18 සෙසු ඇදහිලිවන්තයන් සම්බන්ධව නිසි දෘෂ්ටියක් තබා ගැනීමට අපට උපකාර කිරීමෙහිලාද දිව්‍ය ඉගැන්වීම ප්රයෝජනවත්ය. යේසුස්වහන්සේ පැවසුවේ මෙසේය: “මා එවූ පියාණන්වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය.” (යොහන් 6:44) විශේෂයෙන්ම, 1919 පටන්, ස්වකීය විනිශ්චයන් ප්‍රකාශ කිරීමට යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්ට සලස්වා ඇති අතර, මෙම ලෝක ව්‍යාප්ත අනතුරු ඇඟවීම මගින් සාතන්ගේ ලෝක පිළිවෙළ සසල ව තිබේ. ඒ අතරේදීම, දේව භයැති මිනිස්සු—එනම් “ආශාවෙන දේවල්”—ජාතීන්ගෙන් තමන්වම වෙන් කර ගැනීමට දෙවියන්වහන්සේ විසින් අදිනු ලැබ සිටින අතර, යෙහෝවඃවහන්සේගේ නමස්කාර ගෘහය තේජසින් පිරවීමෙහිලා ආලේපලත් ක්‍රිස්තියානින් සමඟ හවුල් වී සිටිති. (හග්ගයි 2:7) සහතිකවම, දෙවියන්වහන්සේ විසින් අදිනු ලැබ සිටින එවන් ප්‍රියමනාප අය හිතෛෂී ආශ්‍රිතයන් ලෙසට අප විසින් දැකිය යුතුය.
19. සෙසු ඇදහිලිවන්තයන් සමඟ පෞද්ගලික දුෂ්කරතා විසඳා ගැනීම සම්බන්ධව දිව්‍ය ඉගැන්වීම හෙළි කරන්නේ කුමක්ද?
19 ඇත්ත වශයෙන්ම, අප සියලු දෙනාම අසම්පූර්ණ බැවින්, සෑම විටම දේවල් සෞම්‍ය ලෙස සිදුවෙන්නේ නැත. පාවුල් සිය දෙවෙනි මිෂනාරි ගමන යාමට සූදානම්ව සිටියදී, බාර්ණබස් මාර්ක්ව කැටුව යාමට අදිටන් කර ගෙන සිටියේය. මාර්ක් “ඒ වැඩේට නොගොස් පම්පිලියේදී තමුන්ගෙන් අහක්ව ගිය” බැවින් පාවුල් ඊට එකඟ වූයේ නැත. එම අවස්ථාවේදී, “සැර විවාදයක්” හට ගත්තේය. බාර්ණබස් මාර්ක් කැටුව කුප්‍රසට ගිය අතර, පාවුල් සීලස්ව කැඳවාගෙන සිරියාව සහ කිලිකියාව මැදින් ගමන් කළේය. (ක්‍රියා 15:36-41) පසුව, මාර්ක් පාවුල් සමඟ රෝමයේ සිටි අතර, ප්‍රේරිතවරයා ඔහු ගැන හොඳ කථා කළ බැවින්, මෙම භේදය සමථයකට පත්වූ බව පෙනෙන්ට තිබේ. (කොලොස්සි 4:10) දිව්‍ය ඉගැන්වීමේ තිබෙන තවත් ප්‍රයෝජනයක් නම්, මතෙව් 5:23, 24හි සහ මතෙව් 18:15-17හි සඳහන් යේසුස්වහන්සේගේ උපදෙස් වැනි උපදෙස් පිළිපැදීමෙන් ක්‍රිස්තියානින් අතර ඇති වන පෞද්ගලික දුෂ්කරතා විසඳා ගන්නා ආකාරය ඉන් අපට පෙන්වා දීමයි.
සෑමදා ප්‍රයෝජනදායකය, ජයනාද කරන්නේය
20, 21. දිව්‍ය ඉගැන්වීම පිළිබඳ කළ සලකා බැලීම අපව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද?
20 දිව්‍ය ඉගැන්වීමේ සමහරක් ප්‍රයෝජන සහ ජයනාදයන් ගැන අප සලකා බැලුවේ කෙටියෙන් වුවත්, ඒවා අපගේ ජීවිතවල අත්නෑර නොකඩවා අදාළ කර ගැනීමේ අවශ්‍යතාවය අප සියලු දෙනාටම පෙනී යයි. එසේ නම්, යාච්ඤා පූර්වක ස්වභාවයකින් යුතුව, අපි අපගේ උදාර උපදේශකයාණන්ගෙන් දිගටම ඉගෙන ගනිමු. වැඩි කල් යාමට මත්තෙන්, දිව්‍ය ඉගැන්වීම පෙර කවර කලකටත් වඩා ජයනාද කරනවා ඇත. මෙම ලෝකයේ බුද්ධිමතුන් ඔවුන්ගේ අවසන් හුස්ම හෙළන විට, එය ජයනාද කරනවා ඇත. (1 කොරින්ති 1:19 සසඳන්න.) ඊටත් වඩා, තව මිලියන ගණනක් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉගෙන ගෙන, එය කරන විට, ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් යෙහෝවඃවහන්සේ ගැන දැනුමෙන් පොළොව පිරී යනවා ඇත. (යෙසායා 11:9) කීකරු මිනිස් වර්ගයාට ප්‍රයෝජන සලසමින්, මෙය මොනතරම් උදාර ලෙස විශ්වනීය පරමාධිපතියාණන් වශයෙන් යෙහෝවඃවහන්සේව නිදොස් කරාවිද!
21 යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම සෑම විටම ප්රයෝජනදායකවෙයි, තවද එය ජයනාද කරන්නේය. දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ පාඨග්රන්ථයේ ඉතා ලැදි ශිෂ්‍යයෙකු වශයෙන් ඔබ ඉන් දිගටම ප්‍රයෝජන ලබනු ඇත්ද! ඔබ බයිබලයට එකඟව ජීවත් වෙමින්, එහි සත්‍යයන් අන්‍යයන් සමඟ බෙදා ගනිමින් සිටින්නෙහිද? එය එසේ නම්, අපගේ උදාර උපදේශකයාණන් වන පරමාධිපති ස්වාමිවූ යෙහෝවඃවහන්සේගේ මහිමයට දිව්‍ය ඉගැන්වීම මුළුමනින්ම ජයනද දෙනවා දැකීමට ඔබහට ඉදිරිය දෙස බලා සිටිය හැකියි.
ඔබ ඉගෙන ගෙන ඇත්තේ කුමක්ද?
◻ දිව්‍ය ඉගැන්වීමට අපගේ ජීවිත කෙරෙහි ඇති කළ හැකි බලපෑම කුමක්ද?
◻ යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලමින් සිටින්නේ කෙසේද?
◻ අපගේ සිතිවිලි හා ආකල්ප කෙරෙහි දිව්‍ය ඉගැන්වීමට කිනම් ප්‍රයෝජනදායක බලපෑමක් ඇති කළ හැකිද?
◻ මිනිස් සබඳතා සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම ප්‍රයෝජනදායක බවට ඔප්පු වන්නේ කෙසේද?
[15වන පිටුවේ පින්තූරය]
නෝවා කළාක් මෙන්, දෙවියන්වහන්සේ සමඟ ගමන් කිරීමට, දිව්‍ය ඉගැන්වීම, අපට පෙන්වයි
[17වන පිටුවේ පින්තූරය]
සියලු ජාතීන්ගේ ජනයෝ යෙහෝවඃවහන්සේගේ කන්දට ගලා එමින් සිටිති