ඔහු තම හෘදයේ ආශාව ඉටුකර ගත්තේය
මෙසියානු රාජ්‍යය මුළු පොළොව කෙරෙහි පූර්ණ පාලනයක් කරනු දැකීම ඔබගේ හෘදයාංගම ආශාවද? එසේ නම්, එම ස්වර්ගීය රාජ්‍යය යටතේ පොරොන්දු වූ භූමික ආශීර්වාදයන් සඳහා ඔබ බලාපොරොත්තු තබා යාච්ඤා කරන්නෙහිය. එසේනම්, “ආශාව ඉෂ්ටවීම, [ඉෂ්ටවන විට, NW] ජීවන වෘක්ෂයක්” බැවින්, ඉවසා සිටින්න.—හිතෝපදේශ 13:12; යාකොබ් 5:7, 8.
දැනට වසර 2,000කට පමණ පෙර, “ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ” මනුෂ්‍යයෙක් වූ සිමියොන් නැමැත්තෙක් යෙරුසලමෙහි ජීවත් විය. මෙසියස්වහන්සේ පිළිබඳ අනාවැකි කෙරෙහි ඔහු තුළ ඇදහිල්ලක් තිබූ අතර “ඉශ්‍රායෙල්ගේ සැනසීම” සඳහා ඉවසිල්ලෙන් ‘බලා සිටියේය.’—ලූක් 2:25.
මෙසියස් පිළිබඳ අනාවැකි බලාපොරොත්තු ඇතිකරයි
පළමුවන මෙසියානු අනාවැකිය—එනම්, පව්කාර හා මරණීය තත්ත්වයක සිටි මනුෂ්‍ය වර්ගයාට බලාපොරොත්තුවක් දුන් අනාවැකිය—සඳහා වගකීම දැරුවේ යෙහෝවඃවහන්සේය. ස්වකීය ‘ස්ත්‍රියගේ’ නැතහොත් සර්වලෝක සංවිධානයේ වංශයේ පැමිණීම දෙවියන්වහන්සේ පුරෝකථනය කළසේක.—උත්පත්ති 3:15.
එම තැනැන්වහන්සේ ආබ්‍රහම්ගේ වංශය හැටියට හඳුන්වා දෙනු ලැබූ අතර යාකොබ් එතුමන්ගේ පැමිණීම පුරෝකථනය කළේය. (උත්පත්ති 22:17, 18; 49:10) මෙසියස්වහන්සේගේ රාජ්‍යයේ තේජෝමහිමය ගීතාවලියේ වර්ණනා කරනු ලැබීය. (ගීතාවලිය 72:1-20) එම වංශය කන්‍යාවක් මගින් උපත ලබන බව යෙසායා පුරෝකථනය කළ අතර එම උපත බෙත්ලෙහෙමේ සිදුවන බව මීකා අනාවැකි පළ කළේය. (යෙසායා 7:14; මීකා 5:2) මේවා මෙසියස්වහන්සේ පිළිබඳ අනාවැකි බොහොමයෙන් ස්වල්පයක් පමණකි.
තවමත් මෙසියස් කෙනෙක් නැත!
අතීතය සිහියට නගමින්, පො.යු. පළමුවන ශතවර්ෂය ලඟා වෙමින් තිබෙන්නේ යයි කල්පනා කරන්න. මෙසියස්වහන්සේ පිළිබඳ දෙවියන්වහන්සේගේ මුල් අනාවැකිය දැන් අවුරුදු 4,000ක් පැරණිය. මේවන විට යුදෙව්වන් යෙහෝවඃවහන්සේගේ දේවමාලිගාවේ විනාශය, සිය නිජභූමියේ පාළු කිරීම, බබිලෝනියේ වසර 70ක වහල්භාවය හා අන්‍යජාතික පාලකයන්ට තවත් වසර 500ක යටත්වීම අද්දැක ඇත. තවමත් මෙසියස් කෙනෙක් නැත!
දේව-භයැති යුදෙව්වෝ මෙසියස්වහන්සේගේ පැමිණීම කොතරම් බලාපොරොත්තුවෙන් සිටියෝද! එතුමන් තුළින් ඔවුන්ටත් සියලු ජාතීන්ටත් ආශීර්වාද ගලා එනු ඇත.
භක්තිමත් මනුෂ්‍යයෙක්
මෙසියස්වහන්සේගේ පැමිණීම සඳහා බලා සිටිමින් යාච්ඤා කරන භක්තිමත් යුදෙව්වන් අතර සිමියොන් නම්, යෙහෝවඃවහන්සේගේ ඇදහිලිවන්ත වයෝවෘද්ධ සේවකයෙක් යුදයේ අගනගරයේ වාසය කරයි. සිමියොන්ට සුවිශේෂිත යමක් සිදුවී ඇත.
දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධාත්මය සිමියොන් මත තබා එළිදරව්වකින් ඔහුට විපාක දී ඇත. මෙසියස්වහන්සේ බවට පත්වන තැනැන්වහන්සේ දකිනතෙක් සිමියොන් නොමැරෙනු ඇත. එහෙත් කාලය ගෙවී යමින් පවතී. සිමියොන් මහලු වෙමින් සිටින වැඩි කලක් ජීවත් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක සිටී. ඔහුට දුන් දෙවියන්වහන්සේගේ පොරොන්දුව ඉටුවනු ඇද්ද?
දිනක් (පො.යු.පෙර 2දී) යෞවන යුවළක් ළදරුවෙකු සමඟ බෙත්ලෙහෙමේ දේවමාලිගාවට එයි. දිගු කලක් තිස්සේ බලා සිටි දිනය මෙය යයි ශුද්ධාත්මය සිමියොන්හට එළිදරව් කරයි. ඔහු දේවමාලිගාවට යන අතර අනාගතවක්තෘවරුන් යමෙක් ගැන ලිව්වේද එතුමන්ව ඔහු එහිදී දකිනු ඇත. තමන්ගේ වයස්ගත ශරීරයෙන් ගමන් කළ හැකි උපරිම වේගයෙන් එහි යන ඔහු, යෝසෙප්, මරියා හා එම ළදරුවා දකී.
සිමියොන් ළදරු යේසුස්වහන්සේව සිය දෑතට ගන්නේ කොතරම් ප්‍රීතියෙන්ද! මෙතුමන් පොරොන්දු වූ මෙසියස්වහන්සේ—“ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ක්‍රිස්තුස්වහන්සේ”—වනු ඇත. මෙවන් මහලු වයසක සිටින සිමියොන්ට, යේසුස්වහන්සේ සිය භූමික මෙහෙය ඉටු කරනු දැකීම බලාපොරොත්තු විය නොහැක්කකි. එහෙත්, උන්වහන්සේව ළදරුවෙක් හැටියට දැකීම විස්මයජනකය. මෙසියස්වහන්සේ පිළිබඳ අනාවැකි ඉටු වීමට පටන්ගනී. සිමියොන් සිටින්නේ කොතරම් සතුටින්ද! නැවත නැගිටීම දක්වා මරණයේ සැතපෙන්නට දැන් ඔහු සෑහීමට පත්වනු ඇත.—ලූක් 2:25-28.
සිමියොන්ගේ අනාවැකිමය වදන්
සිමියොන් උස් හඬින් යෙහෝවඃවහන්සේව ප්‍රශංසා කරන්නට පටන් ගනිත්ම, ඔහු මෙසේ පවසනු අපට අසන්නට ලැබේ: “[පරමාධිපති, NW] ස්වාමීන්වහන්ස, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක; මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට [වැස්ම ඉවත් කිරීමට, NW] ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනඟගේ තේජසදවූ සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙළකළාවූ ගැලවීම මාගේ ඇස්වලින් දුටිමි.” යේසුස්වහන්සේගේ සුරැකි පියා වන, යෝසෙප්ද, උන්වහන්සේගේ මව වන, මරියාද මෙම වදන් ගැන මවිතවෙමින් සිටින්නෝය.—ලූක් 2:29-33.
දරුවා කෙරෙහි ඇති සිය වගකීම් ඉෂ්ට කිරීම සම්බන්ධව පෙනෙන හැටියට යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින්, සිමියොන්, යෝසෙප් හා මරියාට ආශීර්වාද කරත්ම ඔහුගේ මුහුණේ ස්වභාවය දීප්තිමත්ව පවතී. එවිට වයස්ගත මිනිසාගේ මුහුණ බැරෑරුම් ස්වරූපයක් ගනී. තමන් පවසන දෑ මරියාට පමණක් යොමු කරමින්, ඔහු මෙසේ පවසයි: “බලව, මේ ළදරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත් නැගිටීම පිණිසත් විරුද්ධව කථාකරනු ලබන ලකුණක් පිණිසත් නියමවී සිටියි. එසේය, නුඹේම ආත්මයට කඩුවකින් අනිනු ලැබේ; මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි [හෘදවල, NW] කල්පනා එළිදරව්වන පිණිසය.”—ලූක් 2:34, 35.
සිමියොන් මරියාට කළ ප්‍රකාශය
මරියාට හැඟුන ආකාරය සිතා බලන්න. සිමියොන් අදහස් කළේ කුමක්ද? ඇතැමෙක් ක්‍රිස්තුස්වහන්සේව පිළිගනු ඇති අතර දැනටමත් වැටී සිටින සිය තත්ත්වයෙන් ඔවුන්ව නැගිටුවනු ලබනවා ඇත. කෙසේවෙතත්, අන්‍යයන් එතුමන්ව ප්‍රතික්ෂේප කොට, එතුමන් උදෙසා පැකිලීමට පත්ව වැටෙනු ඇත. පුරෝකථනය කරනු ලැබූ ආකාරයට, යේසුස්වහන්සේ යුදෙව්වන් බොහෝ දෙනෙකුට පැකිලීමේ පර්වතයක් වූ සේක. (යෙසායා 8:14; 28:16) ඉශ්‍රායෙල්වරුන් පුද්ගලිකව, පළමුකොට අවිශ්වාසයෙන් වැටී, යේසුස්වහන්සේව පිළිගැනීමෙන් විශ්වාසයෙන් නැගිටිනු ඇතැයි සිමියොන්ගේ වදන් අදහස් කරන්නේ නැත. ඒ වෙනුවට, විවිධ පුද්ගලයන් උන්වහන්සේට දක්වන ප්‍රතිචාරය වෙනස් වනු ඇති අතර තමන්ගේ යහපතට හෝ නපුරට වූ දෙවියන්වහන්සේගේ විනිශ්චයට මඟ පාදමින්, ඉන් හෘදයන් බොහොමයක තර්ක කරන ආකාරය විදහා පෙන්වනු ඇත. නොඇදහිලිකාරයන්හට එතුමන් අපහාසයේ ලකුණක්, නැතහොත් විෂයක් වනු ඇත. උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමෙන්, අන්‍යයන්ව වරදේ හා පාපයේ මැරී සිටීමෙන් උසස් කරනු ලබන අතර ඔවුන් දෙවියන්වහන්සේ සමඟ ධර්මිෂ්ඨ තත්ත්වයක් භුක්ති විඳීමට පැමිණෙනවා ඇත. මෙසියස්වහන්සේ කෙරෙහි ජනයාගේ ක්‍රියාවන් සිය හෘදයේ තිබූ දෙය විදහා පෙන්වනු ඇත.
“නුඹේම ආත්මයට කඩුවකින් අනිනු ලැබේ” යන සිමියොන්ගේ වදන් ගැන කුමක් කිව හැකිද? සැබෑ කඩුවකින් මරියාට අනිනු ලැබූ බවට ශුද්ධලියවිලිමය සඳහනක් නොමැත. එහෙත්, බහුතරයක් විසින් යේසුස්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලැබීම ඇයව සිත් තැවුලට පත්කරනු ඇත. තවද යේසුස්වහන්සේ වධ කණුවකට ඇණ ගසනු බැලීම මරියාට කොතරම් වේදනාකාරී වූයේද! ඇයට මෙය දිගු කඩුවක් පසාරුකරගෙන යන්නාක් මෙන් විය.
සිමියොන් මෙසියස් පිළිබඳ අනාවැකි අදාළ කරයි
මෙසියස්වහන්සේ පිළිබඳ අනාවැකි යේසුස්වහන්සේට අදාළ කිරීමට දෙවියන්වහන්සේගේ ආත්මය සිමියොන්ව පොලඹවා තිබුණි. ‘අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට [තිරය ඉවත් කිරීමට, NW] ආලෝකයක්ද ස්වකීය ඉශ්‍රායෙල් සෙනඟගේ තේජසද වූ සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි උන්වහන්සේ විසින් පිළියෙළ කළාවු ගැලවීම සිය ඇස්වලින් දුටු’ හෙයින්, සිමියොන්ට සාමයෙන්, නැතහොත් ශාන්තියෙන් මියයන්නට පුළුවන් විය. (ලූක් 2:30-32) මෙය යෙසායාගේ අනාවැකිමය වදන්වලට කොතරම් හොඳින් අදාළ වූයේද!
එම අනාගතවක්තෘවරයා පුරෝකථනය කළේ මෙසේය: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] තේජස [නිශ්චිතව, NW] ප්‍රකාශවන්නේය, සියලු මනුෂ්‍යයෝ එක්ව එය දකින්නෝය.” “පොළොවේ කෙළවර දක්වා මාගේ ගැලවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට [මෙසියස්වහන්සේ] එළියක් කොටද [යෙහෝවඃවහන්සේ වන මම] දෙන්නෙමි” (යෙසායා 40:5; 42:6; 49:6; 52:10) ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධලියවිල්ල මෙන්ම භෞතික සත්‍යයන්, මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජාතීන්ගේ සැබෑ ආලෝකය බවත්, ආත්මික අන්ධකාරයේ වැස්ම පහකර මනුෂ්‍යයන්ට ගැලවීම ගෙනෙන තැනැන්වහන්සේ බවත්, එවක් පටන් තහවුරු කර ඇත.
දේව වචනය වයස්ගත සිමියොන් ගැන ඊට වැඩි යමක් පවසන්නේ නැත. පැහැදිලිවම, ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගීය ජීවිතය සඳහා මාවත විවෘත කරන්නට පෙර ඔහු මියයන්නට ඇත. එසේ නම්, වැඩිකලක් යන්නට මත්තෙන්, සිමියොන් පොළොව මත ජීවිතයට නැවත නැගිටුවනු ලබනවා ඇත. දෙවියන්වහන්සේගේ මෙසියානු රාජ්‍යය යටතේ වන නව ලෝකයේ ඔහුට—හා ඔබට—කොතරම් ප්‍රීතියක් අද්දැකිය හැකිද!