අන්ධ අය සඳහා ඇති අපේක්ෂාව කුමක්ද?
ජෝන් මිල්ටන් මුළුමනින් අන්ධව සිටියත්, පැරඩයිස් ලොස්ට් සහ පැරඩයිස් රීගේන්ඩ් යන වීර කාව්‍ය කෘති රචනා කළේය. අන්ධ මෙන්ම බිහිරිව සිටියද, කායික දුබලතා ඇති අය සමඟ වැඩ කිරීමෙන් හෙලන් කෙලර් වැළකී සිටියේ නැත. එසේය, බොහෝ අන්ධ අය දුෂ්කරතා සමඟ හොඳින් කටයුතු කරති. එහෙත්, සෑම කෙනෙක්ම හොඳ ඇස් පෙනීමක් ඇතිව සිටීම මොනතරම් මවිතකර දෙයක්වනු ඇත්ද! අන්ධ වූ හෝ හානිවූ දෘෂ්ටියක් ඇති ඔබගේ මිතුරෙක් හෝ ඔබගේ ආදරය ලබන යම් කෙනෙක් සිටිනවා නම්, ඔබ මෙම කාරණය සමඟ විශේෂයෙන් එකඟ වනවා විය හැක.
හානිවූ දෘෂ්ටියක් ඇති අයට තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යෑම සඳහා ඔවුන්ට උගන්වන පුනරුත්ථාපන වැඩසටහන් ඇතැම් රටවල තිබෙන බව සත්‍යයකි. බ්‍රේල් ක්‍රමය හා පුහුණු කරන ලද ආධාරක බල්ලන්, තමන්ගේ අවශ්‍යතා බොහොමයක් සපුරාගැනීමට අන්ධයන්ට උපකාරයක් වී තිබේ. එසේ වුවත්, අන්ධභාවය වනාහි වඩාත් භය උපදවන දුබලතාව ලෙස බොහෝ දෙනෙක් දකිති. එක් ලේඛකයෙක් මෙසේ තහවුරු කළේය: “අන්ධ වීම යනු, ඉන්ද්‍රියන් තුළින් ලෝකය වටහා ගැනීමට අප සතු හැකියාවේ වඩාත්ම වැදගත් අංගය අහිමි වී යෑමය.” මේ අතරම, බොහෝ අන්ධ අය විසින් වෙනත් අය කෙරෙහි රඳා පැවතීම එන්ට එන්ටම වැඩිවී තිබේ.
අන්ධභාවය මෙතරම් හාත්පස පැතිර පවතින්නේ මන්ද කියා ඔබ කල්පනා කරනවා විය හැකිය. හොඳයි, ඔබ ට්රැකෝමාව ගැන අසා තිබෙනවාද? එය මිලියන නවයක් පමණ දෙනෙකුගේ අන්ධභාවයට හේතු වී ඇත. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා ඒ පිළිබඳව මෙසේ කියයි: “මෙම රෝගය බෝවනසුලුය, එමෙන්ම දුර්වල සෞඛ්‍යමය වටපිටාවක් ඇති අධි ජනගහනයකින් යුත් ප්‍රදේශවල මෙය වේගයෙන් පැතිර යයි. සේදීම සඳහා ජලයේ හිඟකම, මිනිස් අසූචිවලට වසන කෝටිගණනක් මැස්සන්, රෝගය පතළ කිරීමට ආධාර වෙයි. ඇතැම් අවස්ථාවලදී, ට්රැකෝමාව වෛද්‍ය ගැටලුවකට වඩා සාමාජීය ගැටලුවකි; ජීවන තත්ත්වයන් දියුණු කෙරේ නම්, අධිජනගහනය අඩු කෙරේ නම්, මැස්සන්ට හිතකර වාතාවරණයක් තුරන් කරනු ලැබේ නම්, ප්‍රමාණවත් ජලය සැපයුම් ලබා දේ නම්, ට්රැකෝමාව ඉතා ඉක්මනින් තුරන් කළ හැකිය.” තවත් මිලියන සංඛ්‍යාවක් පමණ ඔන්කොසර්සියාව හෙවත් ගංගා අන්ධකම රෝගයෙන් පෙළෙති. සෙරොප්තැල්මියාව ගැන කුමක් කිව හැකිද? මෙම නම ශබ්ද කිරීම අසීරු වුවත්, එය අන්ධභාවය ඇති කරන පොදු හේතු කාරකයකි. දියවැඩියාව,
ගලපටලය, සරම්ප, ආරක්තක උණ සහ ලිංගිකව බෝවන රෝගද අන්ධභාවයට හේතු විය හැකිය. අප වියපත් වෙනවාත් සමඟම, මැකියුලා (කහලප) පරිහාණිය සහ ග්ලව්කෝමා (නීලහරිතය) වැනි ආබාධවල ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ දෘෂ්ටිය පිරිහීමට පුළුවන, එමෙන්ම තිමිරිය හෙවත් ඇස්වල සුද මෙහිදී අමතක කළ නොහැක. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ සඳහන් කරයි: “තිමිරිය, ලෝකයේ බොහෝ රටවල අන්ධභාවයට තිබෙන හේතුකාරක ලැයිස්තුවේ තවමත් ඉහළින් තිබේ, ඇරත් මෙය ඉතා කනගාටුදායක වන්නේ ශල්‍යකර්මයක් මාර්ගයෙන් පහසුවෙන් එය සුව කළ හැකි දෙයක් වීමයි.”
අක්ෂි විද්‍යාවේ නව සොයාගැනීම් හමුවේ, අන්ධභාවය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීම බොහෝ ඈත තිබෙන්නකි. එම විශ්වකෝෂයම මෙසේ පවසයි: “අන්ධභාවය වැළැක්වීමට, වෛද්‍යමය හා ශල්‍යකර්මීය ප්‍රතිකාරවල දියුණුව ප්‍රයෝජනයක් විය හැක්කේ, වෛද්‍ය පහසුකම් ලබා ගත හැකි ජනගහනයකට පමණි. ලෝක ජනගහනයෙන් විශාල කොටසක පෝෂණවේදී හා සෞඛ්‍යමය ප්රමිතීන් වැඩි දියුණු කළ හැකි වන තෙක්, වළක්වාගත හැකි අන්ධභාවය එහි වර්තමාන ඉහළ මට්ටමේ දිගටම පවතිනවා ඇත.”
අන්ධභාවයට එරෙහිව කෙරෙන සටනේදී, සහතික වශයෙන්ම ප්‍රතිජීවක හා ශල්‍යකර්මවල යම් පිහිටක් තිබෙන නමුදු, ස්ථිර සුවය පිළිබඳ බලාපොරොත්තුවක් සම්බන්ධ වී ඇත්තේ, මීට අවුරුදු දෙදහකට පමණ පෙර සිදුවූ යම් දෙයක් සමඟය.
යේසුස්වහන්සේගේ දවස්වල අන්ධයන් සුව කිරීම
වයස අවුරුදු 30 ගණන්වල සිටින මිනිසෙක්, දූවිලි සහිත පාරක ඇවිදගෙන යනවා මනසට නඟාගන්න. ඔහු තමන් අසලින් ගමන් කරනවා ඇසෙන අන්ධ මිනිසුන් දෙදෙනෙක් පාර අයිනේ සිට: “අපට කරුණාකළ මැනව!” කියා මහත් හඬින් මොර ගසති. එය දකින වෙනත් අය නිශ්ශබ්ද වන ලෙස ඔවුන්ට විධාන කළත්, අන්ධයන් දෙදෙනා “අපට කරුණා කළ මැනව” කියා මහ හඬින් මොර දෙති. මිනිසා කාරුණිකව මෙසේ අසයි: “මා විසින් නුඹලාට කුමක් කරනවාට කැමතිද?” “අපේ ඇස් පහදනු ලැබීමට” කියා ඔවුහු ඉතා උනන්දුවෙන් උත්තර දෙති. දැන් මේ ගැන සිතා බලන්න: මිනිසා ඔවුන්ගේ ඇස් ස්පර්ශ කරයි, එවිට ඔවුහු සැණෙකින් පෙනීම ලබති!—මතෙව් 20:29-34.
කලින් අන්ධව සිටි මෙම මිනිසුන්ට මොනතරම් ප්‍රීතියක්ද! එහෙත්, අන්ධභාවය හාත්පස පැතිර තිබේ. මෙය හුදෙක් එක් සිද්ධියක් පමණි. ඊට ඔබේ අවධානය යොමු විය යුත්තේ මන්ද? මක්නිසාදයත්, එම අන්ධ මිනිසුන්ට පෙනීම ලබා දුන්නේ නාසරෙත්හි යේසුස්වහන්සේ නිසාය. ඇත්ත වශයෙන්ම, ‘දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ආලේප කරනු ලැබුවාට’ අමතරව, ‘අන්ධයන්ට පෙනීම ලබා දෙන්ටද’ උන්වහන්සේව එවනු ලැබීය.—ලූක් 4:18.
දෙවියන්වහන්සේගේ බලසම්පන්න ශුද්ධාත්මය කරණකොටගෙන කරන ලද එවැනි ප්රතිහාර්යයන් මගින් ජනයෝ විස්මයට පත් වූවෝය. අපට මෙසේ කියවීමට තිබේ: “ගොළුවන් කථාකරන බවත් අබ්බාගාතයන් සුවවී ඉන්න බවත් කොරුන් ඇවිදින බවත් අන්ධයන්ට ඇස් පෙනෙන බවත් සමූහයෝ දැක, පුදුමව, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.” (මතෙව් 15:31) එවන් සුවකිරීම්වලදී, කිසිම ගාස්තුවක් අය නොකර, තමන්ගේ පෞද්ගලික හැකියාවන් ප්‍රදර්ශනය නොකර, නොඑසේනම්, තමන්ටම ගෞරවය සෙවීමකින් තොරව යේසුස්වහන්සේ කැපී පෙනෙන්ට සැලැස්වූයේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය හා දයාවයි. කෙසේවෙතත්, “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි,” ආත්මික වශයෙන් අන්ධ සහ අසරණව සිටි ජනයා කෙරෙහිද යේසුස්වහන්සේට දයානුකම්පාවක් තිබිණි.—මතෙව් 9:36.
එවන් ඉතිහාසයක් උනන්දුව ගෙන දෙන්නක් වුවද, අදදින ගැන කුමක් කිව හැකිද කියා ඔබ කල්පනා කරනවා විය හැක. යේසුස්වහන්සේ කළාක් මෙන්, අදදින කිසිවෙක් සුවකිරීම් නොකරන හෙයින්, එදාවූ එම සුවකිරීම්වල යම් අර්ථයක් අපට තිබේද? අන්ධ අය සඳහා යම් බලාපොරොත්තුවක් තිබේද? කරුණාකර මීළඟ ලිපිය කියවන්න.
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ලෝක ජනගහනයෙන් විශාල කොටසක පෝෂණවේදී හා සෞඛ්‍යමය ප්රමිතීන් වැඩි දියුණු කළ හැකි වන තෙක්, වළක්වාගත හැකි අන්ධභාවය එහි වර්තමාන ඉහළ මට්ටමේ දිගටම පවතිනවා ඇත.”—ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා