අන්ධ අයට උදව් කරමු
1. අන්ධ අයට යේසුස් අනුකම්පාව පෙන්නුවේ කොහොමද?
1 යේසුස් යෙරිකෝවේ ඉඳලා එද්දී පාර අයිනේ හිටිය අන්ධ මිනිසුන් දෙන්නෙක් ‘ස්වාමීනි, අපිට අනුකම්පා කරන්න’ කියලා ඔහුට කිව්වා. ඒ සිද්ධිය වුණේ යේසුස් මැරෙන්න දවස් කීපයකට කලින්. ඔහු හිටියේ ලොකු පීඩනයකින් වුණත් නැවතිලා එයාලට පෙනීම ලබා දුන්නා. (මතෙ. 20:29-34) අනිත් අයට අනුකම්පාව පෙන්වන්න අපිටත් පුළුවන් කොහොමද?
2. ප්‍රසිද්ධ තැනකදී හම්බ වෙන අන්ධ කෙනෙක්ට සාක්ෂි දරන්න පුළුවන් කොහොමද?
2 උදව් කරන්න: ඔබට අන්ධ කෙනෙක්ව මුණගැහුණොත් ඔබව හඳුන්වලා දීලා උදව් කරන්න ඉදිරිපත් වෙන්න. ප්‍රසිද්ධ තැනකදී වුණත් එහෙම කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මිනිසුන් ඒ වගේ අයව රවට්ටන හින්දා අපි උනන්දුවක් දක්වද්දී එයාලා අපිවත් සැක කරන්න ඉඩ තියෙනවා. ඒත් අපි අවංකයි කියලා එයාලට තේරුණාම බය නැති වෙයි. අන්ධභාවයෙත් එක එක මට්ටම් තියෙන නිසා උදව් කරන්න ඕන විදිහ වෙනස් වෙන්න පුළුවන්. උදව් කළාට පස්සේ ඔබට කියන්න පුළුවන් බයිබලයේ තියෙන දැනුම ලබා දෙන සේවයක් ඔබ කරනවා කියලා. බයිබල් පදයක් කියවන්නද කියලා අහලා ගීතාවලිය 146:8 හරි යෙසායා 35:5, 6 හරි කියවන්න. එයාට බ්‍රේල් කියවන්න පුළුවන් නම් බයිබලය ගැන තවත් දැනගන්න උදව් වෙන බ්‍රේල් පොත් පත් (ඉංග්‍රීසියෙන්) ගෙනත් දෙන්නද කියලා අහන්න. ඒ වගේම jw.org. වෙබ් අඩවියෙන් පටිගත කරපු ලිපි ලබාගන්නත් උදව් කරන්න පුළුවන්. තිරයේ දිස් වෙන අකුරු ඇහෙන්න සලස්වන ස්ක්‍රීන් රීඩර් ප්‍රෝග්‍රෑම් එකක් එයාගේ කොම්පියුටරයේ තියෙනවා නම් RTF ෆෝමැට් එකෙන් (ඉංග්‍රීසියෙන්) අපේ පොත් පත් ඩවුන්ලෝඩ් කරගෙන අහන්න එයා කැමති වෙයි.—“අන්ධ කෙනෙක්ට උදව් කරද්දී . . . ” කියන කොටුව බලන්න.
3. අන්ධ අයව හොයාගන්න පුළුවන් කොහොමද?
3 අන්ධ අයව හොයන්න: හුඟක් අන්ධ අය තමන්ගේ නිවසට එන නොදන්න අය එක්ක කතාබහ කරන්න කැමති නැති නිසයි ගෙයින් ගෙට සේවයේදී අපිට එයාලව වැඩිය හම්බ වෙන්නේ නැත්තේ. ඒ වගේ අයටත් සාක්ෂි දරන්න නම් ඒ අයව “සොයන්න” වෑයම් කරන්න ඕනේ. (මතෙ. 10:11) රස්සාව කරන තැන හරි පාසලේ හරි අන්ධ අය ඉන්නවාද? එයාලා එක්ක කතා කරන්න මුලපුරන්න. ඔබ ඉන්න ප්‍රදේශයේ අන්ධ විදුහලක් තියෙනවා නම් ඒකේ පුස්තකාලයේ තියන්න බ්‍රේල් පොත් පත් කීපයක් ලබා දෙන්න. ඔබේ හිතවතෙක්ගේ පවුලේ අන්ධ සාමාජිකයෙක් ඉන්නවාද? අන්ධ අයට උදව් කරන, ඉඳුම්හිටුම් ලබා දෙන සංවිධානයක් ඔබේ ප්‍රදේශයේ තියෙනවාද? සාක්ෂිකරුවන් අන්ධ අයට උදව් කරන්න ලොකු උනන්දුවක් දක්වනවා කියලා ඒ හිතවතාට හරි, ඒ සංවිධානයේ පිළිගැනීමේ නිලධාරියාට හරි, ඒක බාරව ඉන්න කෙනාට හරි පැහැදිලි කරලා බ්‍රේල් පොත් පත් හෝ පටිගත කරපු පොත් පත් ලබා දෙන්න. ළඟදීම අන්ධ අයගේ ඇස් පහදනවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දුවත් බයිබලයෙන් පෙන්වන්න. ඒ වගේම “ඒක මගේ ජීවිතයට ආලෝකයක් වුණා” කියන වීඩියෝ එකත් අපේ වෙබ් අඩවියේ තියෙනවා. ඒකේ පෙන්වන්නේ බ්‍රේල් බයිබලයෙන් ප්‍රයෝජන ගත්ත අන්ධ කෙනෙක්ගේ අද්දැකීමක්. ඒක පෙන්වන්නත් පුළුවන්. ඔබ ආව හේතුව ඔහුට කිව්වාම අන්ධ අය එක්ක කතා කරන්න අවස්ථාව උදා කරගන්න පුළුවන් වෙයි.
4. ජැනට්ගේ අද්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
4 ජැනට් කියන අන්ධ සහෝදරිය අන්ධ අය ඉන්න නිවසකට ගියා. නිවසේ හිටිය තරුණ කාන්තාවක් එක්ක ඇය සාකච්ඡාවක් පටන්ගත්තා. “යේසුස් අන්ධ අය කීපදෙනෙක්ව සුව කෙරුවේ අනාගතයේදී හැම අන්ධ කෙනෙක්ටම පෙනීම දෙනවා කියලා පෙන්වන්නයි” කියලා ජැනට් කිව්වා. ඒ වගේම එළිදරව් 21:3, 4 තියෙන දේ සාකච්ඡා කරලා දේවරාජ්‍යයෙන් ඉටු කරන පොරොන්දුව ගැනත් පැහැදිලි කළා. මොහොතකට නිහඬ වුණ කාන්තාව මෙහෙම කිව්වා. “අන්ධ කෙනෙක් ඒ වගේ දෙයක් කියනවා මං කවදාවත් අහලා නැහැ. හුඟක් අය හිතන්නේ කෙනෙක් අන්ධ වෙන්නේ එයා කලින් කරපු දෙයක් නැත්නම් එයාගේ ආච්චිලා සීයලා කරපු වරදක් හින්දා කියලා.” ඊටපස්සේ ජැනට් ඊමේල් එකකින් ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතට තියෙන ලින්ක් එක ඒ කාන්තාවට යැව්වා. දැන් ඇය සතියකට දෙපාරක් බයිබල් පාඩම කරනවා.
5. අන්ධ අයට පෙනීම ලබා දෙන්න අපිට බැරි වුණත් එයාලා ගැන උනන්දුවක් දක්වනවා නම් ලැබෙන්නේ මොන වගේ ආශීර්වාදද?
5 යේසුස් කළා වගේ අන්ධ අයට පෙනීම ලබා දෙන්න අපිට බැරි වුණත් අන්ධ අයටත් මේ සමාජයේ දෙවියා මනස් අන්ධ කරපු අයටත් සත්‍ය වචනය අවබෝධ කරලා දෙන්න අපිට පුළුවන්. (2 කොරි. 4:4) යෙරිකෝව ළඟ හිටිය අන්ධ මිනිසුන් දෙන්නාව යේසුස් සුව කළේ ඔවුන් ගැන “මහත් අනුකම්පාවක්” ඇති වුණ නිසයි. (මතෙ. 20:34) අන්ධ අය ගැන අපිත් ඒ වගේ උනන්දුවක් දක්වනවා නම් සදහටම පෙනීම ලබා දෙන දෙවි ගැන ඉගෙනගන්න ඔවුන්ට උදව් කරලා සතුටක් ලබන්න අපිට පුළුවන්.