නත්තල—එය සැබවින්ම ක්‍රිස්තියානි උත්සවයක්ද?
ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා විශ්වකෝෂයට අනුව, “නත්තල වනාහි ක්‍රිස්තියානීන් විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපන්දිනය සිහි කරන දවසය.” කෙසේවෙතත්, එම විශ්වකෝෂය මෙසේද පවසයි: “මුල් ක්‍රිස්තියානීන් [යේසුස්වහන්සේගේ] උපත සැමරුවේ නැත, මන්දයත් යමෙකුගේ උපත උත්සවාකාරයෙන් සැමරීම මිථ්‍යා චාරිත්‍රයක් බවට ඔවුන් සැලකූ නිසාය.”
ගෝල්බි සහ පර්ඩූ යන දෙදෙනා විසින් ලියන ලද ද මේකිං ඔෆ් ද මොඩන් ක්‍රිස්මස් මෙසේ එකඟ වෙයි: “මුල් ක්‍රිස්තියානීන් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිහිකළේ නැත. උපන්දින මිථ්‍යා දෘෂ්ටික චාරිත්‍ර සමඟ සම්බන්ධ වී තිබිණි; ක්‍රිස්තුස්වහන්සේගේ උපතේ නියම දිනය පිළිබඳව සුවිශේෂ වාර්තාවල කිසිවක් නොපැවසේ.”
උපන්දින උත්සවවලට ක්‍රිස්තියානි පසුබිමක් නොමැති නම්, ක්‍රිස්තුස්වහන්සේගේ උපන්දිනය එතරම් ප්රමුඛ “ක්‍රිස්තියානි” උත්සවයක් බවට පත්වූයේ කෙසේද?
“නත්තලේ” මිථ්‍යා දෘෂ්ටික මූලාරම්භය
“සෑම කෙනෙක්ම කා බී ප්‍රීති වූවෝය, වැඩ සහ ව්‍යාපාර කටයුතු යම් කාලයකට මුළුමනින්ම අත්හිටවන ලදි, ලෝරල් ගසේ හා නත්තල් ගසේ පත්‍රවලින් නිවාස සරසන ලදි, මිත්‍රයන් අතර බැහැදැකීම් සහ තෑගිබෝග හුවමාරු කෙරිණි, තවද ව්‍යාපාරිකයෝ තම අනුග්‍රාහකයන්ට තෑගි දුන්නෝය. මුළු කාලයම ප්‍රීතියේ සහ සුබපැතුම්වල කාලයක් වූ අතර, මිනිස්සු ප්‍රීතියෙන් විවිධාකාර විනෝදවලින් සහ විහිළු තහළුවලින් කාලය ගත කළහ.”—පේගනිසම් ඉන් ක්‍රිස්ටියන් ෆෙස්ටිවල්ස්, ජේ. එම්. වීලර්.
මෙම විස්තරය ඔබ දන්නා නත්තල් උත්සවවලට ගැළපේද? මෙය නත්තල නොවීම පුදුමයකි! එසේ නොව, මෙය ශිශිර සූර්ය නිවෘත්තිය (අනෙක් පිටුවේ පෙන්වා ඇති) සමඟ සම්බන්ධ වී ඇති සති ගණනාවක් මුළුල්ලේ පැවැත්වෙන රෝම උත්සවයක් වන සැටනේලියා නමැති උත්සවය පිළිබඳ විස්තරයකි. අපරාජිත හිරුගේ උපන්දිනය දෙසැම්බර් 25දා, එනම්, රෝමයේ මිත්රවාදී ආගමේ මූලික මංගල්‍ය දිනයේදී පවත්වන ලදි.
ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව, “ආලෝකයේ ඉරාන දෙවියෙකු වූ මිත්‍රාගේ උපන්දිනය වන දෙසැම්බර් 25දා සහ . . . අපරාජිත හිරුට කැප කළ දවස, එමෙන්ම සැටනේලියා මංගල්‍යයට පසු දවස, මෙම මංගල්‍යවල බලපෑම නිෂ්ප්‍රභ කිරීමට නත්තල ලෙස, එනම් ක්‍රිස්තුස්වහන්සේගේ උපන් මංගල්‍යය ලෙස පල්ලිය විසින් ඈඳා ගන්නා ලදි.” මෙසේ, මිථ්‍යා දෘෂ්ටික උපන්දින උත්සවය මිත්‍රා සිට ක්‍රිස්තුස්වහන්සේ බවට නම්වලින් සුළු වෙනසක් කරමින් දිගටම පවත්වන ලදි!
කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස්වහන්සේගේ උපත, යම් විශේෂ දෙයක්, එනම් සිහිකිරීමට වටින දෙයක් යයි ඔබට හැඟෙන්ට පුළුවන. බයිබලය මේ පිළිබඳව සඳහන් කරන දෙය දෙස බැල්මක් හෙළීම මනා අවබෝධයක් ගෙන දෙන්නක් බවට ඔප්පු වෙනවා ඇත.
ප්‍රීතිමත් සිද්ධියක්
ලූක් සුවිශේෂයේ 2වන පරිච්ඡේදය මීට අවශ්‍ය පසුබිම් තොරතුරු සපයයි. දෙවියන්වහන්සේට කැපවූ ශ්රද්ධාවත් සේවකයන් වන ස්වර්ගික දේවදූතයන්, නිහතමානී එඬේරුන් සහ මරියා විසින්ම මෙම සනිටුහන් කළ යුතු සිද්ධියට ප්‍රතික්‍රියා කළ ආකාරය ලූක් අපට පවසයි.
‘රෑ යාමයෙන් යාමයට තමුන්ගේ බැටළු රැළ පරෙස්සම් කරමින් පිට්ටනියේ සිටි’ ‘එඬේරුන්’ ගැන සලකා බලන්න, දැඩි ශීත ඍතුවේ ඔවුන් මෙය කරමින් නොසිටිනු ඇත. ‘යෙහෝවඃවහන්සේගේ දූතයා’ දර්ශනය වී, දෙවියන්වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුණු අවස්ථාවේ, පළමුව එඬේරු බියපත් වූහ. දේවදූතයා මෙසේ පැහැදිලි කළ විට, ඔවුන් සනසාලන ලදි: “භය නොවෙල්ලා; බලව, මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. මක්නිසාද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක.” දේවදූත “මහත් ස්වර්ගීය සේනා සමූහයක්” හදිසියේ දර්ශනය වූ කල, මෙම උපත අනෙක් ඒවාට වඩා බොහෝ වෙනස් බව එඬේරු දැනගත්තෝය. මෙහි, දේවදූතයන් අලුත උපන් බිළිඳාට කිසිදු තෑග්ගක් නොගෙනේම උනන්දුමත් කරුණකි. ඒ වෙනුවට, දේවදූතයෝ මෙසේ පවසමින් යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කළෝය: “ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා.”—ලූක් 2:8-14.
තමන් විසින්ම එම බිළිඳාව දැකගැනීමට එඬේරුන්ට වුවමනා වීම ස්වාභාවිකය, මන්ද එම ප්‍රීතිමත් සිද්ධිය දැනුම් දුන්නේ යෙහෝවඃවහන්සේය. ළදරුවා ගව ඔරුවේ බාවා සිටිනවා ඔවුන් දකින විට, දේවදූතයා තමන්ට කී දේවල් ඔවුහු දෙමාපියන්ට පැවසූහ. අනතුරුව එඬේරු, බිළිඳාට නොව, “දෙවියන්වහන්සේට ගෞරවකරමින්ද ප්‍රශංසාකරමින්ද” පිටත්ව ගියහ.—ලූක් 2:15-18, 20.
යේසුස්වහන්සේගේ මව වූ මරියා, ඇගේ කුලුඳුල් දරුවාව සාර්ථක ලෙස ප්‍රසූත කිරීමට හැකි වීම ගැන සතුටු වූ බවට කිසිදු සැකයක් නැත. එහෙත්, ඈද “ඇගේ සිතෙන් [හෘදයෙන්, NW] නිගමනවලට” එළැඹියාය. අනතුරුව, තම සැමියා වූ යෝසෙප් කැටුව ඈ මෝසෙස්ගේ නීතියට කීකරුවීමක් වශයෙන් යෙරුසලමට ගමන් කළාය. මෙය වනාහි කිසිදු උපන්දින උත්සවයක් වූයේ නැත. ඒ වෙනුවට, “කුලුඳුල්වූ සියලු පිරිමි ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] කැපයයි කියනු ලබන්නෝයයි ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස,” බිළිඳාව දෙවියන්වහන්සේට ඔප්පු කිරීමට කාලය එය විය.—ලූක් 2:19, 22-24.
යෙරුසලමේ දේව මාළිගාවේදී, මරියා සහ යෝසෙප්ට සිමියොන්ව මුණ ගැසිණි. ලූක් ඔහුව විස්තර කරන්නේ, “ඉශ්‍රායෙල්ගේ සැනසීම බලා සිටියාවූ ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ කෙනෙක්” ලෙසය. “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ක්‍රිස්තුස්වහන්සේ” දැකීමට පෙර තමා මිය නොයනු ඇතැයි දේවානුභාවය යටතේ ඔහුට පවසනු ලැබ තිබිණි. ඊළඟට සිදුවුණු දේද, “[දෙවියන්වහන්සේගේ] ආත්මයාණන් [ආත්මය, NW] කරණකොටගෙන” විය. සිමියොන් දරුවා සියතට ගත්තේ ඔහුට තෑග්ගක් දීමට නොවේ, නමුත් මෙසේ කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමටය: “[පරමාධිපති, NW] ස්වාමීන්වහන්ස, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක; මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්රායෙල් සෙනගගේ තේජසදවූ සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙළකළාවූ ගැළවීම මාගේ ඇස්වලින් දුටිමි.”—ලූක් 2:25-32.
ඊළඟට, වයස්ගත අනාගතවක්තෘවරියකව සිටි ආනා ඒ අසලට පැමිණියාය. ඈද, “දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය.”—ලූක් 2:36-38.
මරියා, සිමියොන්, ආනා, එඬේරු මෙන්ම ස්වර්ගික දේවදූතයෝ යන සියල්ලෝ යේසුස්වහන්සේගේ උපත ගැන ප්‍රීතිවූවෝය. කෙසේවෙතත්, ඔවුන් උපන්දින සාද පැවැත්වූයේවත් තෑගි දුන්නේවත් නැති බව කරුණාකර සටහන් කරගන්න. ඒ වෙනුවට, ඔවුන් ප්‍රශංසා කළේ, ඔවුන්ගේ ගැළවීමේ මාර්ගයේ ස්වර්ගීය සැපයුම්කරුවාණන් වන යෙහෝවඃවහන්සේටය.
කෙසේවෙතත්, ‘ස්ථිර වශයෙන්ම නත්තල් තෑගි දීම වැරදි වන්ට බැහැ, මන්ද “ප්‍රඥාවන්ත මිනිසුන් තිදෙනා” තෑගි දීමෙන් යේසුස්වහන්සේට ගෞරව කළේ නැද්ද?’ යනුවෙන් ඇතැම් අය සිතනවා විය හැක.
නත්තල් තෑගි
නැවතත් අපි බයිබල් වාර්තාව පරීක්ෂා කරමු. එය මතෙව්ගේ සුවිශේෂයේ මතෙ 2වන පරිච්ඡේදයේ වාර්තා වී තිබෙනවා ඔබ සොයාගනු ඇත. කිසිදු උපන්දින උත්සවයක් ගැන සඳහනක් නැත, එය යේසුස්වහන්සේගේ උපතට යම් කාලයකට පසුව බව පෙනෙන්ට තිබුණත්, ඒ සඳහා කිසියම් වේලාවක්ද දී නැත. එහි මතෙ 2 1වන පදයේ, මතෙව් මෙම අමුත්තන්ව හඳුන්වන්නේ, “පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ [ග්‍රීක්, මාʹගොයි]” යනුවෙන් වන අතර, මෙබැවින් මොවුහු වනාහි යෙහෝවඃ දෙවියන්වහන්සේ ගැන කිසිදු දැනුමක් නැති මිථ්‍යා දෘෂ්ටිකයෝය. මෙම මිනිසුන් අනුගමනය කළ තරුව ඔවුන්ට මඟ පෙන්වූයේ බෙත්ලෙහෙමේ යේසුස්වහන්සේ උපන් ස්ථානයට නොව, නමුත් හෙරොද් රජ පාලනය කළ යෙරුසලමටය.
මෙම දුෂ්ට පාලකයා, “ජුදෙව්වරුන්ට රජ ව උපන්” තැනැත්තා ගැන ඔවුන් විසින් විමසනවා ඇසූ විට, එම දරුවාව මරා දැමීමට හැකි වන පිණිස, “ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැයි” හරියටම දැනගන්නා පිණිස පූජකයන්ගෙන් විචාළේය. බෙත්ලෙහෙමේ මෙසියස්වහන්සේගේ උපත පෙන්නුම් කළ මීකාගේ අනාවැකිය උපුටා දක්වමින් පූජකයෝ පිළිතුරු දුන්හ. (මීකා 5:2) හොරොද් කුහක ලෙස තම අමුත්තන්ට මෙසේ උපදෙස් දුන්නේය: “ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර [ගෞරව, NW] කරනු පිණිස මටත් දන්වන්න.” ශාස්ත්‍රවන්තයන් තම ගමනෙහි යළිත් නිරත වූ අතර, තාරකාව, “ළදරුවා [යෞවන ළමයා, NW] උපන් තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය.” උන්වහන්සේව විස්තර කර තිබෙන්නේ, අලුත උපන් බිළිඳෙකු ලෙස නොව, නමුත් “යෞවන ළමයෙකු” ලෙස බව සැලකිල්ලට ගන්න.—මතෙව් 2:1-10, නව අනුවාදය.
ප්‍රාචීන ධනපතියෙකු පාලකයෙකුව බැහැදැකීමට පැමිණීමට ඔබින පරිද්දෙන්, මිථ්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවන්තයෝ, බිම වැටී, “තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු [යෞවන ළමයාට] පිදුවෝය.” මතෙව් මෙසේද පවසයි: “තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය.”—මතෙව් 2:11, 12.
ඇතැම් අය, මෙම කෙටි ශුද්ධ ලියවිලිමය වාර්තාවෙන්, තම නත්තල් තෑගි දීමට අනුබල සෙවීමට ප්රයත්න දරන්ට පුළුවන. කෙසේවෙතත්, තෑගි දීමේ වත්මන් චාරිත්‍රය, රෝමවරුන් තම දිළිඳු අසල්වාසීන්ට තෑගි දුන් සැටනේලියා තෑගි දීම හා සම්බන්ධව බැඳී පවතින බව ඩිස්කවරිං ක්‍රිස්මස් කස්ටම්ස් ඇන්ඩ් ෆෝක්ලෝර් පැහැදිලි කරයි. “මුල් පල්ලිය . . . එහි විශේෂත්වය ශාස්ත්රවන්තයන්ගේ තෑගි දීම පිළිබඳ චාරිත්‍රානුකූල සිහිකිරීමකට දක්ෂ ලෙස මාරු කළේය.” මෙය සැබෑ නමස්කාරකයන් සම්බන්ධයෙන්, එනම් යේසුස්වහන්සේගේ උපතේදී නිකම්ම දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ නිහතමානී එඬේරුන් වැනි අයට වඩා මෙය කොතරම් වෙනස්ද!
රජු වශයෙන් ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කරන්න!
අදදින යේසුස්වහන්සේ තවදුරටත් බිළිඳෙක් නොවනසේක. උන්වහන්සේ බලසම්පන්න අධිපතියෙක් වනසේක, දෙවියන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයේ රජාණෝය, එබන්දෙකු වශයෙන් උන්වහන්සේට ගෞරව කළ යුතුය.—1 තිමෝති 6:15, 16.
ඔබ දැන් වැඩිහිටියෙකු නම්, ඔබ බිළිඳෙකුව සිටි කල ගත්, ඔබගේ පින්තූර ජනයා ඔබ ඉදිරියේ පෙන්වූයේ නම්, ඔබ කිසිදා ඉන් ලජ්ජාවට පත්වී තිබේද? එවැනි පින්තූරුවලින් ඔබගේ උපත ඔබගේ දෙමාපියන්ට සිහිගන්වනවා විය හැකි බව ඇත්තය. එහෙත්, දැන් ඔබට ඔබගේම අනන්‍යතාවක් තිබෙන බැවින්, ඔබ සිටින ලෙසින්ම අන්‍යයන් විසින් ඔබව දකිනවාට ඔබ සාමාන්‍යයෙන් කැමති වන්නේ නැද්ද? ඒ හා සමානව ගත් කල, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අනුගාමිකයන් යයි කියා සිටින අය, රජු වශයෙන් උන්වහන්සේට ගෞරව කිරීමට අසමත් වෙමින්, සෑම වසරකම නත්තල නමැති මිථ්‍යා දෘෂ්ටික සම්ප්රදායක නියැලෙමින් බිළිඳෙකුට ගෞරව කිරීම උන්වහන්සේට කොතරම් අගෞරව කිරීමක්දැයි සිතා බලන්න. ඇයි, පළමු ශත වර්ෂයේදී පවා, ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල්, ක්‍රිස්තුස්වහන්සේව දැන් සිටින තත්ත්වයෙන්—එනම්, ස්වර්ගයේ රජෙකු ලෙස සිතීමේ යෝග්‍යතාව සම්බන්ධව කාරණා ගෙනහැර දැක්වූයේය. පාවුල් මෙසේ ලීවේය: “මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමු”!—2 කොරින්ති 5:16.
දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රජු වශයෙන් ක්‍රිස්තුස්වහන්සේ, වේදනාව, දුක්විඳීම, රෝග සහ මරණය ඉවත් කිරීමට වූ අනාවැකිමය පොරොන්දුව සැබෑවක් බවට ඉතා ඉක්මනින්ම පත් කරනවා ඇත. මේ පොළොව මත පාරාදීසමය තත්ත්වයන් යටතේ, සියල්ලන්ටම අවශ්‍ය ප්‍රමාණයට නිවාස හා විපාකදායී වැඩ තිබෙනු ඇති බවට සහතික වීමට යන තැනැන්වහන්සේ උන්වහන්සේය. (යෙසායා 65:21-23; ලූක් 23:43; 2 කොරින්ති 1:20; එළිදරව් 21:3, 4) සහතික වශයෙන්ම, යේසුස්වහන්සේට අගෞරව කිරීමෙන් වැළකීමට මේවා ඇති තරම් හේතුය!
ක්‍රිස්තුස්වහන්සේගේම ආදර්ශය අනුගමනය කරමින්, සැබෑ ක්‍රිස්තියානීහු තමන්ගේ අසල්වාසීන්ට දිය හැකි හොඳම ත්‍යාගය දෙති—එනම්, සදාකාල ජීවනයට මඟ පෙන්විය හැකි, දෙවියන්වහන්සේගේ අරමුණ පිළිබඳ අවබෝධයයි. (යොහන් 17:3) “ගැනීමට වඩා දීමෙන් බොහෝ සන්තෝෂයක් තිබේ” යයි යේසුස්වහන්සේ පවා පැවසුවාක් මෙන්, මෙවැනි ආකාරයේ තෑගි දීමෙන් ඔවුන්ට බොහෝ ප්‍රීතියක් ගෙනෙයි.—ක්‍රියා 20:35, NW; ලූක් 11:27, 28.
එකිනෙකා කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් ඇති ක්‍රිස්තියානීන්, වසරේ ඕනෑම කාලයක තම ප්‍රේමය සැණකින් ප්‍රකාශ කිරීමෙහිලා කිසිදු දුෂ්කරතාවක් අද්දකින්නේ නැත. (පිලිප්පි 2:3, 4) සරල නිදසුනක් වශයෙන්, ක්‍රිස්තියානි දරුවෙකු, ඔහු බයිබල් කථාවකට සවන් දුන් පසු, එම කථාවට ස්තුති කිරීමක් වශයෙන් චිත්‍රයක් ලබා දීම මොනතරම් ප්‍රීතියට හේතුවක්ද! ප්‍රේමයේ සංකේතයක් වශයෙන් නෑදෑයෙකුගෙන් අනපේක්ෂිත තෑග්ගක් ලැබීමද ඒ හා සමාන දිරිගැන්වීමකි. මීට සමානව, තම දරුවන්ට තෑගි දීම සඳහා දෙමාපියන් අවුරුද්ද පුරා සුදුසු අවස්ථා තෝරාගන්නා විට ඔවුහු ඉමහත් ප්‍රීතියක් අත්කරගනිති. මේ ආකාර ක්‍රිස්තියානි ත්‍යාගශීලිත්වයක්, උත්සව දිනවලින් හෝ මිථ්‍යා දෘෂ්ටික සම්ප්රදායකින් පැටවෙනවා යයි සිතෙන වගකීමකින් කෙලෙසෙන්නේ නැත.
මෙබැවින්, අදදින සියලු ජාතීන්ගෙන් සෑදි ක්‍රිස්තියානීහු මිලියන හතරාමාරකට අධික සංඛ්‍යාවක් නත්තල නොපවත්වති. මේ අය වනාහි, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන සාක්ෂියක් දීමට තම අසල්වාසීන්ට තමන්වම දීමෙහි කාර්ය බහුලව සිටින්නාවූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝය. (මතෙව් 24:14) සමහරවිට ඉතා ළඟදීම, ඔවුන් ඔබගේ නිවසට එන විට ඔබට ඔවුන්ව හමුවිය හැක. අවුරුද්දේ සෑම දිනකම යෙහෝවඃ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන ආකාරය ඔබ ඉගෙනගන්නවාත් සමඟම, ඔවුන් ඔබ කරා රැගෙන එන දෙය උනන්දුවෙන් පිළිගැනීම මගින්, ඔබගේ පවුලට ඉමහත් ප්‍රීතියක් ලැබේවා!—ගීතාවලිය 145:1, 2.
[7වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානීහු තමන්ගේ අසල්වාසීන්ට ශ්‍රේෂ්ඨතම ත්‍යාගයක් දෙති—එනම්, සදාකාල ජීවනයට මඟ පෙන්වන, දෙවියන්වහන්සේගේ අරමුණ පිළිබඳ අවබෝධයයි
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Culver Pictures