වොච්ටවර් අධ්‍යාපන මධ්‍යස්ථානය මිෂනාරිවරුන් පිටත් කරයි
ද වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් නානා විධ ස්ථානවල පංති පවත්වා ඇත. වර්ෂ 1943 සහ 1960 අතර, අ.එ.ජ. නිව් යෝර්ක්හි දකුණු ලැන්සිංහි පිහිටි පහසුකම්වල, රටවල් 95කින් පැමිණි සිසු සිසුවියන්ගෙන් සැකසුණු පංති 35කට, විශේෂ පුහුණුවක් ලැබිණ. අනතුරුව, නිව් යෝර්ක්, බෘක්ලින්හි පිහිටි ලෝක මූලස්ථානය වෙත මාරු කරනු ලැබූ එම පාසැල, අවුරුදු 28කට ආසන්න කාලයකට එහි පැවැත්විණ. වර්ෂ 1988 සිට 1995 මුල් භාගය දක්වා, ගිලියඩ් පාසැලේ පංති නිව් යෝර්ක්හි වොල්කිල්වල පවත්වන ලදි.
මෙම වර්ෂ තුළදී එම පාසැල එහි ක්‍රියාකාරකම්වල පරාසය පුළුල් කළේය. එහි මඟ පෙන්වීම යටතේ, උපදෙස්වලින් සමන්විත සති දහයක පාඨමාලාවක් මෙක්සිකෝවේ පංති තුනකට සපයන ලදි; ජර්මනියේ එවන් පංති පහක් පවත්වන ලදි; ඉන්දියාවේ දෙකක් පැවැත්විණ. වර්ෂ 1987 පටන් දේශ 34ක, උපස්ථායක පුහුණු පාසැල යනුවෙන් හඳුන්වන ලද උප පාසැලක්, සුදුසුකම් ලත් තරුණ පුරුෂයන්ට සති අටක් දක්වා දිවයන විශේෂ පාඨමාලාවක් සපයමින් පංති පවත්වා තිබේ. කෙසේවෙතත්, මෑතක ඉදි කරන ලද නිව් යෝර්ක් පැටර්සන්හි පිහිටි වොච්ටවර් අධ්‍යාපන මධ්‍යස්ථානයෙහි 99වන ගිලියඩ් පංතියට දුන් උපදෙස් සති 20ක පාඨමාලාවක් වූ අතර, මුළු බයිබලයම සම්පූර්ණ ලෙස අධ්‍යයනය කිරීම, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නවීන-දින ඉතිහාසය හා සංවිධානය ගැන සාකච්ඡාවක් මෙන්ම, විදේශීය මිෂනාරි සේවය පිළිබඳ පුළුල් උපදෙස්ද ඊට ඇතුළත් විය.
සැප්තැම්බර් 2වනදා, එම 99වන පංතියට උපාධි ප්රදානය කරන ලදි. වොච්ටවර් අධ්‍යාපන මධ්‍යස්ථානයේ නව ශ්‍රවණාගාරයේ පැය තුනක උපාධි ප්රදානය කිරීමේ වැඩසටහන පවත්වන ලදි. එය මුළුමනින්ම පිරී තිබිණ. පැටර්සන්, වොල්කිල් හා බෘක්ලින්වල පිහිටි බෙතෙල් පහසුකම්වල සිටි අමතර ශ්‍රාවක පිරිස් ඉලෙක්ට්‍රෝනික උපකරණ මගින් වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව ලැබූහ. උපාධි ලැබූ පංතියටත්, ඔවුන්ගේ ඥාතීන්ටත්, හිත මිතුරන්ටත් පමණක් නොව, නමුත් එම කදිම අලුත් පාසැල් පහසුකම් ගොඩනැඟීමට ස්වේච්ඡා සේවකයන් ලෙස සහභාගි වී තිබුණාවූ සිය ගණනක පිරිස සඳහාද මෙය උද්යෝගය දනවන දවසක් විය.
පාලක මණ්ඩලයේ සාමාජික කේරි බාර්බර්, සිය ආරම්භක වදන්වලින්, සිදුවෙමින් තිබූ දෙයෙහි වැදගත්කම කෙරෙහි අවධානය යොමු කළේය. හේ මෙසේ පැවසීය: “මිහිපිට මෙතෙක් සිදු කර තිබෙන උතුම්ම දිව්‍ය අධ්‍යාපනික ක්‍රියාකාරකමෙහි මධ්‍යස්ථානය මෙය වේයයි අදහස් කෙරේ.” ස්ත්‍රියගේ වංශය හා සර්පයාගේ වංශය අතර යුද්ධයේ උච්චාවස්ථාවට අප එළඹෙමින් සිටින බව හේ පහදා දුන්නේය. (උත්පත්ති 3:15) මතු පැමිණෙන මහත් පීඩාව අතරතුර සිදු වන ගරුබිය දනවන ගැටුමේදී බේරී ජීවත් වන්නේ, දේවවචනය පිළිබඳ ඒකාන්ත දැනුමක් ඇති, ඊට කීකරු වන අය පමණක් බව ඔහු පෙන්නුම් කළේය.
“අපේ වර්තමාන අධ්‍යාපන වැඩසටහන පිළියෙළ කොට තිබෙන්නේ, දස දෙස විහිදී සිටින යෙහෝවඃවහන්සේගේ සියලු සෙනඟ, හිතෝපදේශ 1:1-4හි විස්තර කර තිබෙන කදිම මේරූ ස්වභාවය දක්වා ගෙන ඒමටය—එනම් ප්‍රඥාව හා හික්මවීම දැන සිටීම, අවබෝධය නිශ්චය කරගැනීමට හැකිවීම, තීක්ෂ්ණ බුද්ධිය, ධර්මිෂ්ඨකම, විනිශ්චය, නිර්දෝෂභාවය හා චින්තන හැකියාව පිරිනමන හික්මවීම ලැබීම ඇතුළත් ස්වභාවයයි.” එවන් ආත්මික සම්පත් තිබීම මොනතරම් ආරක්ෂාවක්ද!
උපාධිලාභී පංතියට උපදෙස්
එම ආරම්භක අදහස්වලට පසුව, උපාධිලාභී පංතිය වෙත යොමු කරන ලද කෙටි දේශන පහක් අනුපිළිවෙළින් ඉදිරිපත් කරන ලදි. කලින් ගිලියඩ් උපදේශකයෙක් වූද, දැන් බෘක්ලින් මූලස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් වන හැරල්ඩ් ජැක්සන්, “ඔබේ දේව තෘප්තිය තදින් අල්ලා ගන්න” කියා පංතියෙන් උදක්ම ඉල්ලා සිටියේය. බොහෝ කලකට මිෂනාරිවරයෙකු ලෙස සේවය කළ, දැන් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ලොයිඩ් බැරි, “යෙහෝවඃවහන්සේට නිහතමානීකමින් සේවය කිරීම” පිළිබඳව කතා කළේය. උපාධිධාරීන්ට අලුත් තත්වයන්ට සකස් වීමේදී මෙන්ම, සෙසු මිෂනාරිවරුන් සමඟද, ඔවුන් ඉදිරියේදී සේවය කරන්ට යන සභා සමඟද, දේශීය ජනයා සමඟද ඔවුන්ගේ සබඳතාවලදී ඔවුන්ට මෙම ගුණාංගය වැදගත් වන බව හේ පැහැදිලි කළේය.
දැනට ගිලියඩ් පීඨයේ සේවය කරන කාර්ල් ඇඩම්ස්, “ඇදහිල්ල ඔබව මඟ පෙන්වනු ඇත්තේ කුමක් කිරීමටද?” යන ප්රශ්නය සම්බන්ධයෙන් පංතියට කාරණා ඒත්තුගැන්වීය. එදා කාන්තාරයේ තත්වයන් ගැන මැසිවිලි නඟමින් නැවත මිසරයට යෑමට දැඩි ආශාවක් දැක්වූ ඉශ්රායෙල්වරුන් මෙන් නොව, නමුත් ගැටලුවලට පිළියමක් වශයෙන් කල්දිවරුන්ගේ ඌර් වෙත ආපසු හැරී යෑම ගැන කල්පනා කරනවා වෙනුවට, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දෙස බැලූ ආබ්‍රහම් මෙන් වීමට ඔහු ඔවුන්ව දිරිගැන්වීය. (නික්මයාම 16:2, 3; හෙබ්‍රෙව් 11:10, 15, 16) පාසැල් රෙජිස්ට්‍රාර් වන යූලිසීස් ග්ලාස්, “ඔබේ ආශීර්වාද යළි යළි සිහිකරන්න” කියා උපාධිලාභී පංතියට අවවාද කිරීම සඳහා ගීතාවලිය 73හි වාර්තා වී ඇති, ආසාප්ගේ අද්දැකීමෙන් අදහස් ගෙනහැර දැක්වීය. තවද පාලක මණ්ඩලයේ ඉගැන්වීමේ කමිටුවේ සාමාජිකයෙක් වන ඇල්බර්ට් ෂ්රෝඩර් “යෙහෝවඃවහන්සේ සපයනසේක” යන තේමාව වටා කතා කළේය. එවන් සැපයුම් පිළිබඳ සාක්ෂියක් වශයෙන්, ගිලියඩ් පාසැලටද, දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ ශ්‍රේෂ්ඨ කර්තව්‍යය ඉටු කිරීමෙහිලා එහි කාර්යභාරයටද හේ යොමු දැක්වීය.
වොච් ටවර් සමිතියේ සභාපති වන මිල්ටන් හෙන්ෂල්, “අන්‍යොන්‍ය ලෙස අයිති වන අවයවයෝ” ගැන කතා කළ විට, ශ්‍රාවක පිරිස මහත් උනන්දුවෙන් සවන් දුන්හ. ඔහු රෝම 12වන පරිච්ඡේදයෙන් පුළුල් ලෙස කොටස් කියවමින් අදහස් දැක්වීය. වෙනත් දේට අමතරව, ඔහු මෙසේ පැවසීය: “සභාවේ සිටින අපේ සෙසු සේවකයන් සමඟ අපට ඉතා කිට්ටු සබඳතාවක් තිබෙන බව අප සැලකිල්ලට ගත යුතුය.” ඔහු මෙසේද පැවසීය: “අප එකිනෙකා යෙහෝවඃවහන්සේගේ දේපොළ වශයෙන් සැලකීම අපට හොඳ දෙයක්, එවගේම විවේචනාත්මකව කටයුතු කරමින්, වැරදි සොයනවා වෙනුවට, අපි හැමවිටම උපකාර කිරීමට සෑදී සිටිමු. අප ක්‍රිස්තියානි සභාවේ ආත්මික සමඟිය පවත්වාගන්නා විට අපි උපකාර කරන්නේ අපිටමයි.” සෑම කෙනෙකුටම එකම දේ කන්ට බැරි විය හැකි බව සැලකිල්ලට ගනිමින්, මිෂනාරි නිවාසවල ආහාර පිසීමේදී එවන් උපකාරවත්බවක් විදහාපෙන්විය හැකි අන්දම හේ පෙන්නුම් කළේය. ද්‍රව්‍යමය අතින් හිඟ සෙසු ක්‍රිස්තියානීන් සමඟ ක්ෂේත්‍ර සේවයේ සහභාගි වන විට, විවේචනය කරනවා වෙනුවට උපකාරය පිරිනැමීමටද හේ දිරිගැන්වීය. අපි සැබවින්ම එකිනෙකාට උපකාරවත් වන, වර්ධනය ගෙන දෙන හා දිරිගන්වන අය වන්නෙමු නම්, “යෙහෝවඃවහන්සේ ඒ වෙනුවෙන් අපට ප්‍රේම කරාවි,” යනුවෙන් සහෝදර හෙන්ෂල් පැහැදිලි කළේය. තමුන් අත්හැර දමා යන දේශවලට වඩා බෙහෙවින් වෙනස් වනු ඇති දේශවල ළඟදීම සේවය කරනු ඇති මිෂනාරිවරුන්ට මොනතරම් විශිෂ්ට අවවාදද!
පංතිය වඩාත් හොඳින් දැනහඳුනා ගැනීම
අනූනවවන පංතියේ සිසු සිසුවියන් 48දෙනාගේ වයසේ සාමාන්‍යය අවුරුදු 32ක් වූ අතර, එවිටමත් පූර්ණ-කාලීන සේවය වෙනුවෙන් අවුරුදු 11කට වැඩි කාලයක් බැගින් කැපකොට තිබිණ.
උපාධි ප්රදානය කිරීමේ වැඩසටහනේ කොටසක් වූ සම්මුඛ සාකච්ඡා, ඔවුන්ගෙන් කිහිපදෙනෙකු දැනහඳුනා ගැනීමට ශ්‍රාවක පිරිසට ප්‍රස්තාව ලබා දුන්නේය. එක්සත් ජනපදවලින් පැමිණි, නිකී ලීබ්ල්ද, එංගලන්තයෙන් පැමිණි සයිමන් බෝල්ටන්ද, යෙහෝවඃවහන්සේ තමුන්ගේ කායික අවශ්‍යතා සපයනු ඇති බවට වූ තම ඇදහිල්ල පරීක්ෂාවට භාජන කර තිබූ සිද්ධීන් විස්තර කළෝය. පූර්ණ-කාලීන සේවයට පළමු තැන දෙන අතරතුර ඔවුහු යෙහෝවඃවහන්සේගේ සැලකිල්ල අද්දුටූහ.
මව් භාෂාව වශයෙන් ප්‍රංශ කතා කරන ඉසැබෙල් කාසාන් පැවසුවේ, තම මව් රටේ අරාබි භාෂාව කතා කරන ජනයාහට සාක්ෂිදැරීම සඳහා තමා අරාබි භාෂාව ඉගෙන ගෙන තිබූ බවය. වර්ෂ 1987දී ඇය ආරම්භ කළ විට, භාෂාව ඉගෙනගනිමින් සිටි ඇයටද, තවත් සහෝදරියකටද අමතරව, පැරිස්වල පිහිටි එකම කුඩා කණ්ඩායමේ හිටියේ අරාබි කතා කරන සහෝදරයන් සිව්දෙනෙකු පමණයි. (එය පහසු දෙයක් නොවීය. අදහස් දැක්වීමට හැකි වන පරිද්දෙන් ඔවුහු හැම සතියකදීම තම මුරටැඹ පාඩම සූදානම් කිරීමට පැය අටක් ගත කරන්නෝය.) දැරූ වෑයමට ප්‍රතිඵල ලැබුණාද? හොඳයි, අදදින ප්‍රංශය පුරා චාරිකා පහකට සංවිධානය වූ අරාබි භාෂාව කතා කරන සාක්ෂිකරුවෝ සිටිත්. තමා පාසැලේදී ඉගෙනගත් ප්‍රංශ භාෂාව තම මව් රට වන ෆින්ලන්තයේ අප්‍රිකානු සරණාගතයන්ට දේශනා කිරීමට හැකියාව ලබා දුන් ආකාරය ගැන තවත් ශිෂ්‍යයෙක් වන, මිකෝ පූරෝ පැවසූ අතර, ඔහුගේ මිෂනාරි පැවරුම වන බෙනින්වලදී එය ප්‍රයෝජනවත් වනවා ඇත. තමාට කැනඩාවේ ක්විබෙක්හි බලපෑමෙන් යුත් සේවයක් කිරීමට හැකි වන පරිද්දෙන් ප්‍රංශ භාෂාව ව්‍යක්තව කතා කිරීමට ඇය දැරූ වෙහෙස බොනි බෝස් සිහිපත් කළාය. ඩෙන්මාර්කයෙන් පැමිණි බ්යාර්කි රාස්මූසන් විස්තර කළේ, ඔහුද ඔහුගේ භාර්යාවද ෆැරෝ දූපත්වල වර්ෂ කිහිපයක් පුරා සේවය කිරීමෙන් මේ වන විටත් ලැබූ අද්දැකීම්ය. එසේය, මෙම නවක මිෂනාරිවරු පළපුරුදු පූර්ණ-කාලීන සේවකයෝ වෙත්.
උපාධිධාරීහු අප්‍රිකාවේ, මධ්‍යම හා දකුණු අමෙරිකාවේ, නැඟෙනහිර යුරෝපයේ හා ප්‍රාචීන ප්‍රදේශවල දේශ 19කට පැවරුම් ලැබූහ. කලින් පැවති පංතිවල උපාධිධාරීහු මේ වන විටත් දේශ 200කටත් වැඩි ගණනක සේවය කර ඇත්තාහ. එම උපාධිධාරීන් වැඩිදෙනෙක් තවමත් සිය පැවරුම් තුළ කඩිසරව නියැලෙමින් සිටිත්. පොළොවේ සීමා දක්වා රාජ්‍ය සාක්ෂිය තව තවත් පුළුල් කිරීමට, මෙම නවක මිෂනාරිවරු දැන් ඔවුන් හා එක් වෙති.—ක්‍රියා 1:8.
[25වන පිටුවේ පින්තූර]
වොච්ටවර් අධ්‍යාපන මධ්‍යස්ථානයේ පංති කාමරවල දර්ශන
[26වන පිටුවේ පින්තූරය]
වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි උපාධිලාභී 99වන පංතිය
පහත සඳහන් ලැයිස්තුවේ, පේළි ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තු ගත කර ඇත.
(1) හෙෆි, එස්.; රයිලි, ඊ.; මෝර්ටන්සන්, ඩී.; ඕනබ්ල්, ඒ.; බෝල්ටන්, ජේ.; පූල්, ජේ.; සිම්ස්, ජී.; සූසා, එල්. (2) පාෂ්නිට්ස්කි, බී.; ෂෙපර්ඩ්, ඩී.; පාෂ්නිට්ස්කි, ඩබ්,; යාර්විනන්, ජේ.; පෝල්සන්, කේ; රාස්මූසන්, ඊ.; ෂ්වෙවේ, සී.; ඕල්සන්, එල්. (3) පෝල්සන්, ඊ.; සැම්සල්, ටී.; බෝස්, බී.; හැරිස්, ඊ.; කාසාන්, එල්.; ලීබ්ල්, එන්.; සූසා, පී.; පූරෝ, ජේ. (4) ලාගර්, කේ.; ලාගර්, වී.; ගෝල්ඩන්, කේ.; බෝල්ටන්, එස්.; ජොන්සන්, එම්.; ජොන්සන්, එස්.; ලීබ්ල්, ඒ.; රාස්මූසන්, බී. (5) හැරිස්, ඩී.; සැම්සල්, ඩබ්.; ෂ්වෙවේ, ඕ.; හෙෆි, ආර්.; කාසාන්, එල්.; රයිලි, ටී.; යාර්විනන්, ඕ.; පූරෝ, එම්. (6) මෝර්ටන්සන්, ඩී.; ගෝල්ඩන්, ආර්.; ඕනබ්ල්, එල්.; ෂෙපර්ඩ්, එම්.; බෝස්, ආර්.; සිම්ස්, ටී.; පූල්, ඊ.; ඕල්සන්, ජේ.
[27වන පිටුවේ පින්තූර]
තවමත් සිය පැවරුම්වල නිරත වෙමින්: (වම) ගිලියඩ්හි පළමු හා හයවන පංතිවල උපාධිධාරීන් වන චාර්ල්ස් ලීත්කෝ සහ තම බිරිඳ ෆර්න්, බ්‍රසීලයේ; (පහළ) ගිලියඩ්හි සත්වන පංතියේ උපාධිධාරියක වන මාර්තා හෙස්, ජපානයේ