අශුභාරංචි අවස්ථා වැඩිවේ
අශුභාරංචි ප්‍රචාරය කරන ශීර්ෂ පාඨ, ශුභාරංචි ඉදිරිපත් කරන ඒවාට වඩා වැඩියෙන් පාඨක උනන්දුව අවදි කරවන බව ඔබ දැක තිබේද? ස්වාභාවික විපතක් හා සම්බන්ධ පුවත්පත් ශීර්ෂ පාඨයක් හෝ ඔපවත් සඟරාවක මුල් කවරයේ තිබෙන කුතුහලය අවුස්සන ඕපාදූපයක් හෝ වුවත්, ශුභාරංචිවලට වඩා අශුභාරංචි පළවන ප්‍රකාශන හොඳින් විකිණෙන බව පෙනෙන්ට තිබේ.
අදදින අශුභාරංචි සඳහා කිසිදු හිඟයක් නොමැත. එහෙත් ශුභාරංචි පළ කරනවා වෙනුවට, වාර්තාකරුවන් සහ පත්රකලාවේදීන් පුහුණුව ලබා තිබෙන්නේ අශුභාරංචි සොයා එය හෙළි කිරීමටද කියා සමහර අවස්ථාවලදී ඇතමෙකුට සිතේ.
ඉතිහාසය පුරා බහුලව
ඇත්තෙන්ම, ශතවර්ෂ ගණනාව පුරා ශුභාරංචිවලට වඩා අශුභාරංචි, බහුලව පැවතී ඇත. ඓතිහාසික වාර්තාවල දක්වන පරිදි, මනුෂ්‍යවර්ගයාගේ කොටස වී තිබෙන මිනිස් දුක් වේදනා, බලාපොරොත්තු සුන්වීම සහ නිෂ්ඵලභාවය වැනි පැත්තට තරාදි බර වී තිබේ.
අපි නිදසුන් ස්වල්පයක් පමණක් සලකා බලමු. ශැක් ලෙග්රෑන් විසින් රචිත ක්‍රොනිකල් ඔෆ් ද වර්ල්ඩ් නමැති පොත, විවිධ වාර්තා ගණනාවක් ගෙනහැර දක්වයි, ඉන් සෑම එකක්ම ඒ සිද්ධිය සිදු වූ නියමිත දිනය සඳහා ලියනු ලැබුවත්, එය ලියා තිබෙන්නේ හරියට නවීන දින පත්රකලාවේදියෙකු එම සිද්ධිය වාර්තා කරන ආකාරයටය. පෘථිවි ග්‍රහයා මත වෙසෙන, කම්කටොලුවලින් පිරුණු මිනිසාගේ ජීවිත කාලය පුරා ඔහුට අසන්ට ලැබී තිබෙන හාත්පස පැතිර පවතින අශුභාරංචි පිළිබඳව හොඳින් පර්යේෂණ කර සකස් කරන ලද මෙම වාර්තාවලින්, අපට පුළුල් අවබෝධයක් ලැබේ.
ප්‍රථමයෙන්ම, පො.යු.පෙ. 429දී ග්‍රීසියෙන් ලැබුණාවූ මෙම මුල් වාර්තාව සලකා බලන්න. ඇතන්ස් හා ස්පාටා අතර එවකට පැවති යුද්ධය සම්බන්ධයෙන් එය මෙසේ වාර්තා කරයි: “පොටිඩියා නගර-ජනපදයේ වෙසෙන ජනයාව තම මළවුන්ගේ සිරුරු අනුභව කිරීමට තරම් සාගිනි තත්වයකට පත් කරනු ලැබීමෙන් පසුව, ඔවුන්ව වටලා සිටින අතීනසයේ මනුෂ්‍යයන්හට යටත්වීමට ඔවුන්ට බල කර තිබේ. සැබවින්ම අශුභාරංචියක් නොවේද!
අපගේ පොදු යුගයට පෙර පළමු ශතවර්ෂයට ඇදී යනවාත් සමඟම, ක්‍රි.පූ. 44 මාර්තු 15, රෝමය යනුවෙන් දින පෙළ සඳහන් කරන ලද, ජුලියස් සීසර්ගේ මරණය සම්බන්ධ පැහැදිලි විස්තරයක් අඩංගු වාර්තාවක් අපට සොයාගැනීමට හැකිය. “ජුලියස් සීසර්ව ඝාතනය කර තිබේ. අදදින, එනම් මාර්තු මස 15වනදා, සෙනෙට් සභාවේ තම අසුන්ගත් අවස්ථාවේදී, කුමන්ත්රණකරුවන් කණ්ඩායමක් විසින් ඔහුට පිහියකින් අනිනු ලැබ මරණයට පත් කරන ලදි, තවද කුමන්ත්‍රණකරුවන්ගෙන් සමහරෙකු ඔහුගේ සමීපතම මිතුරන් විය.”
ඉන්පසු පැමිණි ශතවර්ෂ තුළදී, අශුභාරංචි දිගටම වැඩි විය. වර්ෂ 1487දී මෙක්සිකෝවෙන් ලැබුණු මේ ප්‍රවෘත්තිය, පුදුම එළවන නිදසුනක් වේ: “ටෙනොච්ටිට්ලන් නම් ඇස්ටෙක් අගනුවරෙහි වඩාත් කැපීපෙනෙන පූජා කිරීමේ ප්‍රදර්ශනයකදී, වෙට්සිලොපොච්ටල් නම් යුද්ධයේ දෙවියාට මනුෂ්‍යයන් 20,000ක් තම හෘද පුද කර තිබේ.”
අශුභාරංචි අසන්ට ලැබෙන්නේ මිනිසාගේ කුරිරුකම නිසාම පමණක් නොව, ඔහුගේ නොසැලකිලිමත්කම නිසාද එම ලැයිස්තුව දික් වී තිබේ. ලන්ඩනයෙහි හටගත් විශාල ගින්න එයාකාර ආපදාවක් වූ බව පෙනෙන්ට තිබේ. එංගලන්තයේ ලන්ඩන්වලින් ලැබූ, වර්ෂ 1666 සැප්තැම්බර් 5 දිනැති වාර්තාවේ මෙසේ කියවීමට තිබේ: “ගින්න පැතිරී යන මාර්ගය ඔස්සේ තිබෙන ගොඩනැඟිලි කඩා දැමීම සඳහා නාවික වෙඩි බෙහෙත් කණ්ඩායම් ගෙනා යෝක්හි ආදිපාදවරයා විසින් අන්තිමේදී, දහවල් සහ රාත්‍රි හතරකට පසු, ලන්ඩනයෙහි ගින්න නිවා තිබේ. පල්ලි 87ක් හා නිවාස 13,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සහිත, හෙක්ටාර 160ක පමණ ප්‍රදේශයක් සහමුලින්ම විනාශ වී තිබේ. ආශ්චර්යවත් ලෙසින්, අහිමි වූයේ ජීවිත නවයක් පමණි.”
මෙම අශුභාරංචිවල නිදසුන්වලට, බොහෝ මහාද්වීපවලට හාත්පස පැතිරුණ වසංගතද අප එකතු කළ යුතුය—1830 ගණන්වල මුල්භාගයේදී පැතිරී ගිය කොලරා වසංගතය ඊට නිදසුනකි. මෙය වාර්තා කරන මුද්‍රිත ශීර්ෂ පාඨයේ මෙසේ කියවේ: “බිහිසුණු කොලරා වසංගතය යුරෝපයේ දසත පැතිරේ.” මතු සඳහන් වන යථාර්ථානුරූපී වාර්තාවේ, අශුභාරංචි එහි දරුණුතම බියගන්වනසුලු ස්වභාවයෙන් දක්වයි: “වර්ෂ 1817 වන තෙක් යුරෝපයේ නොපැවති කොලරා වසංගතය, දැන් ආසියාවේ සිට බටහිර දෙසට පැතිරෙමින් පවතී. දැනටමත්, මොස්කව් සහ සෙන්ට් පීටර්ස්බර්ග් වැනි රුසියානු නගරවල ජනගහනය වනසා තිබේ—ගොදුරුවූවන්ගෙන් වැඩිදෙනෙකු අතර බහුතරය නගරයේ වෙසෙන දිළිඳු අය වේ.”
මෑත වසරවලදී ශීඝ්‍රයෙන් වැඩිවීම
වාර්තාගත ඉතිහාසය පුරා, අශුභාරංචි යථාර්ථයක් බවට පත්ව තිබෙන බව සත්‍යයක් වුවත්, අශුභාරංචි වැඩි වෙමින් පවතින බව මෙම 20වන ශතවර්ෂයේ මෑත දශක තුළ සාක්ෂි දක්නට තිබේ, ඇත්තෙන්ම, එය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී.
අපගේ වත්මන් ශතවර්ෂය තුළ අසන්ට ලැබී තිබෙන දරුණුතම අශුභාරංචිය යුද්ධ සම්බන්ධයෙන් ප්රවෘත්ති බවට කිසිදු සැකයක් නොමැත. පළමුවන ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය වශයෙන් යෝග්‍ය ලෙසින් නම් කරනු ලැබූ, ඉතිහාසයේ පැවති විශාලතම යුද්ධ දෙක තුළ, සැබවින්ම අශුභාරංචි බිහිසුණු පරිමාණයකින් වාර්තා කරනු ලැබූ ආකාරය දක්නට ලැබීය. එහෙත් එය වනාහි, මෙම අසන්තෝෂවත් ශතවර්ෂය මගින් උපයා තිබෙන අශුභාරංචිවල අල්පයක් පමණි.
අහම්බෙන් තෝරාගත් ශීර්ෂ පාඨ කිහිපයක් සලකා බලන්න:
වර්ෂ 1923 සැප්තැම්බර් 1: භූමිකම්පාවක් ටෝකියෝ නුවර වනසයි—3,00,000ක් මරු දකි; 1931 සැප්තැම්බර් 20: අර්බුදයක්—බ්‍රිතාන්‍යය, පවුමෙහි වටිනාකම අඩු කරයි; 1950 ජූනි 25: උතුරු කොරියාව දකුණ ආක්‍රමණය කරයි; 1956 ඔක්තෝබර් 26: හංගේරියානු ජාතිකයෝ සෝවියට් පාලනයට එරෙහිව නැඟී සිටිති; 1963 නොවැම්බර් 22: ඩැලස්හි, වෙඩි පහරකින් ජෝන් කෙනඩි මරු දකී; 1968 අගෝස්තු 21: පැරගූ කැරැල්ල බිඳහෙළීමට රුසියානු යුදටැංකි එම ප්‍රදේශයට පිවිසේ; 1970 සැප්තැම්බර් 12: පැහැරගත් ජෙට් අහස් යාත්‍රා කාන්තාරයේදී පුපුරුවා හරී; 1974 දෙසැම්බර් 25: ට්‍රේසි නම් සුළි සුළඟ ඩාවින් නගරය සමතලා කරයි—66දෙනෙක් මරුට; 1975 අප්‍රියෙල් 17: කාම්බෝජියාව කොමියුනිස්ට් භටයන් අතට පත් වෙයි; 1978 නොවැම්බර් 18: ගයනාවේ මහත් සියදිවි නසාගැනීමක්; 1984 ඔක්තෝබර් 31: ගාන්ධි මහත්මිය වෙඩි පහරකින් මියයයි; 1986 ජනවාරි 28: ගමනාරම්භයේදී අභ්‍යවකාශ ෂටලය පිපිරේ; 1986 අප්‍රියෙල් 26: සෝවියට් ප්‍රතික්‍රියාකාරකය ගිනි ගනී; 1987 ඔක්තෝබර් 19: ව්‍යාපාර වස්තු වෙළඳපොළ බිඳ වැටේ; 1989 මාර්තු 25: තෙල් හැලීම නිසා ඇලස්කාව ප්‍රබල බලපෑමකට ලක් වේ; 1989 ජූනි 4: ටීනන්මන් චතුරශ්‍රයේදී විරෝධය පළකරන්නන්ව යුද්ධ භටයෝ ඝාතනය කරති.
එසේය, අශුභාරංචි සැමවිටම බහුලව පැවත ඇති අතර, ශුභාරංචි සන්සන්දනාත්මක වශයෙන් විරලව පැවතී තිබෙන බව ඉතිහාසය පෙන්වයි. මෑත දශක තුළදී, අශුභාරංචි ශීඝ්‍රයෙන් වැඩි වී තිබෙන අතර, සෑම වසරක් ගෙවී යත්ම ශුභාරංචි අඩු වී තිබේ.
මෙය මෙසේ විය යුත්තේ මන්ද? එය සෑමවිටම එසේ වනු ඇද්ද?
මෙම ප්‍රශ්න දෙක ඊළඟ ලිපියෙහි සාකච්ඡා කරනු ලැබේ.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
WHO/League of Red Cross