ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
දෙමාපියන්ගේ ඇදහිල්ලට විපාක ලැබේ
පිරිමි දරුවෙකුගේ උපත, ඉශ්රායෙල්වරුන්ගේ මහත් සන්තෝෂයට හේතුවක් වුණා. මතු පරපුර අඛණ්ඩව පවතින බවත්, භූමියේ උරුමය පවුල තුළම රැඳී පවතින බවත් එයින් අදහස් කළා. ඒ වුණත්, පො.යු.පෙ. 1593 වසරේදී පමණ පිරිමි දරුවෙකුව හදා වඩා ගැනීම, හෙබ්‍රෙව්වරුන්ට ආශීර්වාදයකට වඩා මහත් ශාපයක් මෙන් පෙනෙන්න තිබුණා විය හැකියි. ඒ ඇයි? තමාගේ පාලනය යටතේ පවතින බලප්‍රදේශයේ යුදෙව් ජනගහනය වේගයෙන් වැඩිවීම ගැන මිසරයේ රජු වූ ඵාරාවෝ බය වූ නිසා, ඔවුන්ගේ අලුත උපන් පිරිමි දරුවන් හැම කෙනෙක්වම මරා දැමිය යුතුයි කියා ඔහු නියෝග කර තිබුණා.—නික්මයාම 1:12, 15-22.
අම්රාම් සහ යොඛෙබෙද් යන හෙබ්‍රෙව් ජාතික විවාහක යුවළ ලස්සන බිළිඳෙකුගේ දෙමාපියන් බවට පත් වූයේ, හෙබ්‍රෙව් ජාතියම විනාශ කිරීම සඳහා මේ අතිදුෂ්ට උත්සාහය දියත් කළ කාලයේදියි. ඵාරාවෝගේ මේ නියෝගය ඔවුන්ට මතක් වෙන කොට, ඔවුන්ගේ ප්‍රීතිය බිය නමැති අඳුරු වලාපටලයෙන් වැසී යන්න තිබුණු ආකාරය ගැන සිතා බැලීම ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. ඒත්, ප්‍රතිඵලය කුමක් වූවත් මේ කුඩා බිළිඳාව අත් නොහරින බවට, අම්රාම් සහ යොඛෙබෙද් තම බිළිඳා දෙස බලමින් අධිෂ්ඨාන කරගත්තා.—නික්මයාම 2:1, 2; 6:20.
ඇදහිල්ලෙන් කටයුතු කිරීම
අම්රාම් සහ යොඛෙබෙද් තමන්ගේ බිළිඳාව මාස තුනක කාලයක් සඟවා තබාගත්තා. (නික්මයාම 2:2) කොහොම වුණත්, හෙබ්‍රෙව්වරුන් සහ මිසරවරුන් ජීවත් වුණේ ළඟපාත ප්‍රදේශවල නිසා, මේක හරිම අනතුරුදායක දෙයක් වුණා. ඵාරාවෝගේ අණ නොසලකා හරින්න උත්සාහ කරමින් සිටි බවට සොයාගන්න ඕනෑම කෙනෙකුට මරණ දඬුවම ලැබෙන්න ඉඩ තිබුණා—දරුවාවත් මරාවි. එහෙමනම්, තම පුතාගෙත් තමන්ගෙත් ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා මේ ආදරණීය දෙමාපියන්ට කරන්න පුළුවන් මොනවාද?
යොඛෙබෙද් ළපටි පැපිරස් ගස් ටිකක් එකතු කරගත්තා. පැපිරස් කියන්නේ බටගස්වලට සමාන ශක්තිමත් පන් වර්ගයක්; ඒක ඇඟිල්ලක් තරම් ඝනකමට පැති තුනකින් සෑදී තිබෙන දණ්ඩක්. ඒකට පුළුවන් මීටර් 6ක් දක්වා උසට වැඩෙන්න. කඩදාසි, පැදුරු, රුවල් නැව්, පාවහන් සහ සැහැල්ලු බෝට්ටු යනාදිය සාදන්න මිසරවරුන් මේවා පාවිච්චි කළා.
යොඛෙබෙද් තමාගේ බිළිඳාව දමන්න ප්‍රමාණවත් ඉඩ කඩ තිබෙන පෙට්ටියක් ඒ දඬුවලින් හැදුවා. ඊළඟට ඈ වතුර කාන්දු වෙන්නේ නැති විදිහට හා ඒ බට පතුරු එකිනෙකට බැඳ තැබීම සඳහා ඒ පෙට්ටියට කීල් හා ලාටු ගෑවා. ඉන්පසු, යොඛෙබෙද් ඇගේ බිළිඳාව පෙට්ටිය ඇතුළට දමා, නයිල් ගං ඉවුරේ පන්ගස් අතර තැබුවා.—නික්මයාම 2:3.
මේ බිළිඳාව සොයාගනියි
ඊළඟට මොනවද වෙන්නේ කියල දැකබලා ගන්න, යොඛෙබෙද්ගේ දියණිය වූ මිරියාම් ඒ අසල සිටියා. පසුව, ඵාරාවෝගේ දියණිය නයිල් ගඟට ආවා නාන්න.a මේ කුමාරිකාව නිතර ගඟේ මේ හරියට එන බව සමහරවිට යොඛෙබෙද් දැනගෙන, ඒක පහසුවෙන්ම සොයාගන්න පුළුවන් වෙන විදිහට වුවමනාවෙන්ම කූඩය ඒ අසල තබන්න ඇති. කොහොම හරි, පන්ගස්වලට හේත්තු වෙලා තිබුණු මේ පෙට්ටිය ඵාරාවෝගේ දියණිය ඉක්මනින්ම දැක, ඒක අරගෙන එන්න කියා ඇගේ මෙහෙකාරියන්ගෙන් කෙනෙකුට කිව්වා. පෙට්ටිය ඇතුළේ අඬමින් ඉන්න දරුවා දකිද්දී, ඇගේ සෙනෙහසේ හැඟීම් උතුරා ගියා. මේ හෙබ්‍රෙව්වරුන්ගේ බිළිඳෙක් කියා ඈට තේරුණා. ඒත්, මේ වගේ ලස්සන දරුවෙක්ව ඈට මරන්න පුළුවන්ද? මිනිස් කරුණාවට අමතරව ඵාරාවෝගේ දියණියට බලපාන්න ඇත්තේ, යමෙකුගේ ජීවිත කාලය පුරා කරන කාරුණික ක්‍රියාවල වාර්තාවක් මත ස්වර්ගයට ඇතුල් වීම රඳා පවතින බවට වූ මිසරවරුන්ගේ ප්‍රකට ඇදහීම විය හැකියි.b—නික්මයාම 2:5, 6.
සිදු වෙමින් තිබූ දෙය දුරින් ඉඳගෙන බලා සිටි මිරියාම්, ඵාරාවෝගේ දියණිය ළඟට ගියා. “ඔබ උදෙසා දරුවාට කිරිදෙන පිණිස මා ගොස් හෙබ්‍රෙව් ස්ත්‍රීන්ගෙන් කිරිමවක් කැඳවාගන එන්ටදැයි” කියා ඈ ඇසුවා. “යන්න” කියා කුමරිය ඊට උත්තර දුන්නා. මිරියාම් ඇගේ මව ළඟට දිව ගියා. වැඩි වේලාවක් යන්න කලින්, යොඛෙබෙද් ඵාරාවෝගේ දියණිය ඉදිරියෙහි පෙනී සිටියා. “මේ දරුවා ගෙනගොස් මා උදෙසා කිරි දෙන්න, මම නුඹට කුලී දෙන්නෙමි” කියා කුමරිය ඇයට කිව්වා. මේ බිළිඳාගේ මව යොඛෙබෙද් බව මේ වෙන කොට ඵාරාවෝගේ දියණිය දැනගෙන ඉන්න ඇති.—නික්මයාම 2:7-9.
දරුවාට මව් කිරි දීම නතර කොට වෙනත් ආහාර දෙන තෙක් යොඛෙබෙද් දරුවා බලාගත්තා.c දරුවාට සැබෑ දෙවි වන යෙහෝවා ගැන උගන්වන්න ඈට මෙයින් අනගි ප්‍රස්තාවන් බොහොමයක් ලැබුණා. පසුව යොඛෙබෙද් දරුවාව ඵාරාවෝගේ දියණිය වෙතට ගෙනාවා; ඈ ඔහුට මෝසෙස් යන නම තැබුවා; ඒ නමේ තේරුම, “වතුරෙන් ගළවාගත්” යන්නයි.—නික්මයාම 2:10, NW.
අපට උගත හැකි පාඩම
තම දරුවාට නිර්මල නමස්කාරයේ ප්‍රතිපත්ති ඉගැන්වීම සඳහා අම්රාම් සහ යොඛෙබෙද් තමන්ට තිබූ කෙටි ප්‍රස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. අද ඉන්න දෙමාපියන්ද ඒ හා සමානව කටයුතු කළ යුතුයි. ඇත්තෙන්ම, එසේ කරන එක අවශ්‍යතාවක්. සාතන් නමැති යක්ෂයා “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදි[යි].” (1 පේතෘස් 5:8) යෙහෝවාගේ යහපත් සේවකයන් බවට පත්වීමේ අපේක්ෂාව ඇතුව සිටින වටිනා යෞවනයන්ව—පිරිමි ළමුන් හා ගැහැනු ළමුන්ව—තමාගේ ගොදුරු හැටියට ඩැහැගන්න ඔහු හරිම ආසයි. ඔවුන්ගේ ළාබාලකම ගැන හිතලාවත් ඔහු අනුකම්පා කරන්නේ නැහැ. මෙය සලකා බලද්දී, සැබෑ දෙවි වන යෙහෝවාට ගරු බිය දක්වන්න ඥානවන්ත දෙමාපියන් තමන්ගේ ළාබාල දරුවන්ව පුහුණු කරනවා.—හිතෝපදේශ 22:6; 2 තිමෝති 3:14, 15.
අම්රාම් සහ යොඛෙබෙද් තම බිළිඳාගේ ජීවිතයේ මුල් මාස තුනේදී, ඔහුව සඟවා තබාගන්න ගත් උත්සාහය ඇදහිල්ලේ ක්‍රියාවක් හැටියට හෙබ්‍රෙව් 11:23හි වාර්තා වෙනවා. මේ දේවභයැති දෙමාපියන් දෙදෙනා තම දරුවාව අත්හැර දැමීම ප්‍රතික්ෂේප කිරීමෙන්, යෙහෝවාගේ ගළවාගැනීමේ බලය කෙරෙහි දැඩි විශ්වාසය පෙන්නුවා; ඔවුන්ගේ මේ ක්‍රියාවට ඔවුන්ට ආශීර්වාද ලැබුණා. අප මතට පැමිණෙන්න යෙහෝවා ඉඩ හරින දෙය මොකක් වුණත්, එය අවසානයේදී අපගේ සදාකාලික ශුභසිද්ධියට හා සන්තෝෂයට හේතු වන බවට නිසැක වෙමින්, යෙහෝවාගේ නීති සහ ප්‍රතිපත්තිවලට දැඩි ලෙස ඇලී සිටින බව අපිත් පෙන්විය යුතුයි.—රෝම 8:28.
[පාදසටහන්වල]
a මිසරවරුන් සශ්‍රීකත්වයේ දෙවියා හැටියට නයිල් ගඟට නමස්කාර කළා. ඵලදායිත්වය ඇති කරන්න හා දීර්ඝායුෂ ලබා දෙන්න පවා බලයක් ඒ ගඟේ වතුරවලට තිබුණා කියා ඔවුන් විශ්වාස කළා.
b මරණයේදී පුද්ගලයෙකුගේ ආත්මය ඔසයිරිස් ඉදිරියෙහි පෙනී සිට, “මා කිසි කෙනෙකුට හිංසා පීඩා කර නැහැ,” “කිරි බොන දරුවන්ගේ මුවින් කිරි උදුරාගෙන නැහැ,” “මම බඩගිනි වූවන්ට ආහාරත් පිපාස වූවන්ට බොන්නත් දුන්නා” යනාදි වශයෙන් සහතික කොට කියනවා කියා මිසරවරුන් විශ්වාස කළා.
c අදට වඩා, පුරාණ කාලවල සිටි දරුවන් හුඟදෙනෙකුට වැඩි කාලයක් පුරා මව් කිරි දුන්නා. පෙනෙන විදිහට සාමුවෙල්ට මව් කිරි දීම නතර කරන කොට වයස අඩුම තරමින් අවුරුදු තුනක් විය හැකි අතර, ඊසාක්ගේ වයස අවුරුදු පහක් විතර වෙන්න ඇති.