මට රන්වලට වඩා අනර්ඝ දෙයක් සම්බ වුණා
චාල්ස් මිල්ටන් පැවසූ පරිදි
දිනක් තාත්තා මෙසේ පැවසුවා: “බලං ඉද්දි සල්ලි හම්බ කරන්න පුළුවන් අමෙරිකාවට අපි චාලිව යවමු. එයාට පුළුවන් හම්බ කරලා අපිට එවන්න!”
ඇත්තෙන්ම, අමෙරිකාවේ පාරවල් රත්තරන්වලින් අතුරලා තියෙන බවයි ජනයා සිතුවේ. ඒ කාලයේදී නැඟෙනහිර යුරෝපයෙහි ජීවත් වීම ඔවුන්ට අතිශයින්ම කටුක එකක්ව තිබුණා. මගේ දෙමාපියන්ට කුඩා ගොවිපොළක් තිබුණු අතර, එළදෙනුන් කීපදෙනෙක් සහ කුකුළන් ටිකදෙනෙක් ඇති කළා. අපිට විදුලි බලයවත්, ගේ ඇතුලේ පයිප්පවත් තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒ අහල පහළ හිටිය කාටවත් ඒවා තිබුණේ නැහැ.
මම ඉපදුණේ මීට අවුරුදු 106කට විතර පෙර 1893 ජනවාරි 1වෙනිදා හෝසෝචෙක්වලයි. අපේ ගම තිබුණේ එකල ඔස්ට්‍රො-හංගේරියානු අධිරාජ්‍යයේ කොටසක්ව තිබුණු පළාතක් වන ගලිෂියාවෙයි. දැන් හෝසෝචෙක් තිබෙන්නේ ස්ලොවේකියා සහ යුක්රේන්වලින් වැඩි ඈතක නොවූ නැඟෙනහිර පෝලන්තයෙයි. හිමවලින් වැසී යන තරමටම එහි ශීත ඍතුව දරුණුව තිබුණා. මට අවුරුදු හතේදී විතර, මම පොරවකුත් අරගෙන කිලෝමීටර් භාගයක් පමණ ඇවිදගෙන අතු ගංගාවක් තියෙන තැනකට ගිහින් අයිස් කඩලා සිදුරක් හදලා ඒකෙන් වතුර ගන්නවා. මම ඒක ගෙදර ගෙනියන අතර අම්මා එය උයන්නයි හෝදන්නයි පාවිච්චි කරනවා. ඇය ඇඳුම් හේදුවේ අතු ගංගාවට ගිහින්; ලොකු අයිස් කුට්ටි රෙදි අපුල්ලන ගලක් හැටියට පාවිච්චි කළා.
හෝසෝචෙක්වල පාසැල් නොතිබුණත් පෝලන්ත, රුසියානු, ස්ලෝවැක් හා යුක්රේනියානු භාෂා කතා කරන්න මම ඉගෙනගත්තා. ග්‍රීක් ඕතඩොක්ස් භක්තිකයන් හැටියට අපි ඇති දැඩි වුණ අතර මම අල්තාර ළමයෙක් හැටියට සේවය කළා. නමුත් අපිට සිකුරාදා මස් කන්න හොඳ නැහැ කියලා පූජකයන් පැවසුවත්, ඔවුන් එදාට මස් කෑව එක ගැන බාල කාලේ ඉඳලාම මට රිස්සුවේ නැහැ.
එක්සත් ජනපදයේ රැකියා කළ අපේ යාළුවෝ කීපදෙනෙක් ඔවුන්ගේ ගෙවල් හදාගන්නත්, ගොවිපොළට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ගන්නත් මුදල් හම්බ කරගෙන ඇවිත් තිබුණා. නැවතත් එහි යන්න සැලසුම් කරගෙන හිටිය අසල්වැසියන් කීපදෙනෙක් එක්ක මාව අමෙරිකාවට යවන එක ගැන කතා කරන්න තාත්තාව පෙලඹුවේ එයයි. ඒ 1907දී මට අවුරුදු 14ක්ව ඉන්දැද්දියි.
අමෙරිකාවේ අතරමං වී
වැඩි කලක් යන්න මත්තෙන් මම නැවක සිටි අතර, සති දෙකක් ඇතුළතදී අත්ලාන්තික් හරහා ගමන් කර තිබුණා. ඒ කාලේ, තමන් ළඟ ඩොලර් 20ක් තිබීම අවශ්‍ය වුණා; එහෙම නැත්නම් ඔවුන් ඔබව යළි ඔබේ රටටම යවනවා. මට ඩොලර් 20ක රිදී කාසියක් තිබුණා; ඒ නිසා මම අමෙරිකාවේ දොරටුව වන නියූ යෝක්හි එලස් දූපත පසු කර යන මිලියන සංඛ්‍යාතයන්ගෙන් කෙනෙක් වුණා. බලං ඉන්දැද්දී සල්ලි හම්බ වුණේවත්, පාරවල් රත්තරන්වලින් අතුරලා තිබුණේවත් නැති බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ඇත්තටම, ඒවායෙන් වැඩිහරියක් මොනම දෙයකින්වත් අතුරලා තිබුණේ නැහැ!
අපි පෙන්සිල්වේනියාවේ ජොන්ස්ටවුන් වෙත යන දුම්රියකට නැග්ගා. මාත් එක්ක හිටිය මිනිසුන් කලින් එහි ගිහින් තිබුණ නිසා මට නවතින්න පුළුවන් බෝඩිමක් ගැන දැනගෙන හිටියා. මගේ අදහස වුණේ පෙන්සිල්වේනියාවේ ජ’රෝම්හි පදිංචි වී සිටින මගේ අක්කාව හොයාගැනීමයි; එහෙට කිලෝමීටර් 25ක විතර දුරක් පමණයි තියෙන්නේ කියලා මට පසුවයි දැනගන්න ලැබුණේ. නමුත් මගේ මව් භාෂාවෙන් “ජ” ශබ්ද කළේ “ය” හැටියට නිසා, ජ’රෝම් කියනවා වෙනුවට මම කියන්නේ යාරෝම් කියලයි. කිසි කෙනෙක් යාරෝම් ගැන අසා තිබුණේ නැහැ; ඒ නිසා මම හිටියේ නන්නාඳුනන රටක ඉංග්‍රීසි කතා කරගන්නත් බැරුව, එතරම් මුදලකුත් නැතුවයි.
මම හැම උදෑසනක්ම රැකියාවක් සෙවීමට වැය කළා. රැකියා කාර්යාලයෙන් පිටත බොහෝදෙනා පෝලිං ගැහිලා හිටියත් රැකියා ලැබුණේ දෙතුන්දෙනෙකුට විතරයි. එනිසා තනියෙන් බලලා ඉගෙනගන්න පුළුවන් පොත් කීපයකින් ඉංග්‍රීසි ඉගෙනගන්න මම හැම දවසකම බෝඩිමට ආපහු හැරිලා ගියා. සමහර අවස්ථාවලදී මට පොඩි පොඩි වැඩ හම්බ වුණත්, එලෙස මාස ගණන් ගෙවිලා යද්දී මගේ මුදල් ටිකත් ඉවර වෙවී ගියා.
සහෝදර සහෝදරියන් සමඟ එකතු වී
දිනක් මම දුම්රියපොළ අසල බාර් එකක් තියෙන හෝටලයක් පහු කරගෙන ගියා. ෂා නියම කෑම සුවඳක්! බාර් එකෙන් ශත පහකට ලොකු බීර වීදුරුවක් ගත්තොත්, සැන්ඩ්විච්, සොසේජස් පුරවපු පාන් හා වෙනත් දේ නොමිලේ දුන්නා. මම බාල වයස්කාරයෙකුව සිටියත් බීර විකුණන්නාට දුක හිතිලා මට බීර විකුණුවා.
මම කකා ඉන්දැද්දී මිනිස්සු කීපදෙනෙක් ඇවිත් මෙහෙම කිව්වා: “ඉක්මනට බොන්න! ජ’රෝම්වලට යන කෝච්චිය එනවා.”
“යාරෝම්වලටද?” කියලා මම ඇහැව්වා.
“නැහැ, ජ’රෝම්වලට” කියා මිනිස්සු කිව්වා. මගේ අක්කා ඉන්නෙ කොහෙද කියන එක මම දැනගත්තේ එතකොටයි. ඒ විතරක් නෙවෙයි, බාර් එකේ ඉන්න කොට, ඇගේ නිවසෙන් ගෙවල් තුනකට එහායින් ඉන්න මිනිහෙක්වත් මට මුණගැහුණා! ඊට පස්සේ මම දුම්රිය ටිකට් එකක් අරගත් අතර, අන්තිමේදී මගේ අක්කාව සොයාගත්තා.
මගේ අක්කා සහ ඇගේ ස්වාමිපුරුෂයා ගල්අඟුරු ආකරවල වැඩකරුවන් සඳහා බෝඩිමක් පවත්වාගෙන ගිය අතර, මම ඒගොල්ලෝ එක්ක නැවතුණා. ආකරයෙන් ජලය පිටතට යවන පොම්පයක් බලාගැනීමේ වැඩක් මට ඒගොල්ලන් සොයා දුන්නා. ඒක නැවතුණ ඕනෑම වෙලාවකදී මට තිබුණේ කාර්මික ශිල්පියෙකුව කැඳවීමටයි. ඒ වැඩේට දවසකට ශත 15ක් ගෙව්වා. ඊට පස්සේ මම රේල් පාරේ, ගඩොල් හදන තැනක වගේම රක්ෂණ නියෝජිතයෙකු හැටියටත් වැඩ කළා. ඉන්පසු මම මගේ අයියා, ස්ටීව් පදිංචිව සිටි පිට්ස්බ’ග්වලට ගියා. එහිදී, අපි වානේ මෝලේ වැඩ කළා. ගෙදරට යවන්න ප්‍රමාණවත් මුදලක් මට කවදාකවත් හම්බ කරගන්න බැරි වුණා.
පවුලක් හා මරණයක්
දිනක් මම වැඩපොළට ඇවිදගෙන යද්දී, ගෘහසේවිකාවක් ඇය වැඩ කළ නිවස ඉදිරියේ හිටගෙන ඉන්නවා දැක්කා. ‘ඇත්තටම එයා හරිම ලස්සනයි’ කියලා මට හිතුණා. සති තුනකට පස්සේ, 1917දී, හෙලන් සහ මම විවාහ වුණා. ඊළඟ අවුරුදු දහයේදී, අපට දරුවන් හයදෙනෙකු ලැබුණු අතර බිළිඳු වයසේදීම එක් කෙනෙක් මියගියා.
මාව ට්රෑම් කාර් රියැදුරෙක් හැටියට 1918දී පිට්ස්බ’ග් දුම්රිය සමාගමට ගත්තා. ට්රෑම් කාර් ඩිපෝව අසල තේපැන් හලක් තිබුණා. එහි අයිතිකරුවන් වූ ග්‍රීක් ජාතිකයන් දෙදෙනා, කෙනෙක්ට යම් දෙයක් විකුණනවාට වඩා එයාට බයිබලයෙන් දේශනා කරන්නයි වැඩි උනන්දුවක් දැක්වුවේ. එතකොට මම මෙහෙම කියනවා: “ඕගොල්ලන් හදන්නේ මුළු ලෝකෙම වැරදියි, ඔය දෙන්නා විතරක් හරියි කියලා කියන්නද?”
“හොඳයි, අපි බයිබලයෙන් බලමු!” කියා ඔවුන් පවසනවා. නමුත් ඒ අවස්ථාවේදී මට ඒත්තුගන්වන්න ඔවුන්ට බැරි වුණා.
කනගාටුවට කරුණක් නම්, 1928දී මගේ දයාබර හෙලන් අසනීප වීමයි. දරුවන්ව වඩාත් හොඳින් බලාගැනීමට අවශ්‍ය නිසා මම ඔවුන්ව ජ’රෝම්හි සිටින මගේ අක්කා සහ ඇගේ ස්වාමිපුරුෂයා එක්ක නැවැත්තුවා. ඒ වන විට ඔවුන් ගොවිපොළක් මිල දී ගෙන තිබුණා. මම නිතර දරුවන්ව බලන්න ගොස්, සෑම මාසයකම ඔවුන්ගේ කෑමබීම සඳහා මුදල් දුන්නා. ඔවුන්ට ඇඳුම් පවා යැව්වා. කනගාටුදායක ලෙස, හෙලන්ගේ තත්වය දරුණු අතට හැරුණු අතර, 1930 අගෝස්තු 27වෙනිදා ඇය මියගියා.
මට තනිකමක් දැනුණා; මොනවා කරන්නද කියලා හිතාගන්නවත් බැරි වුණා. අවමංගල්‍ය කටයුතු සූදානම් කිරීමට පූජකයා ළඟට මම ගිය විට, ඔහු මෙසේ පැවසුවා: “ඔයා දැන් මේ පල්ලියට අයිති නැහැ. අවුරුද්දක්ම සම්මාදම් සල්ලි ගෙවලා නැහැ.”
මගේ භාර්යාව හුඟ කාලෙක ඉඳලා අසනීපෙන් හිටිය බවත්, ජ’රෝම්හි පල්ලියට සම්මාදම් දැමිය හැකිවීම සඳහා මගේ දරුවන්ට වැඩිපුර මුදලක් දුන්න බවත් මම පැහැදිලි කළා. ඒත්, අවමංගල්‍ය කටයුතු මෙහෙයවීමට පූජකයාව එකඟ කරගැනීමට, මට නොගෙවූ සම්මාදම් ගෙවීමට ඩොලර් 50ක් ණයට ගන්න සිද්ධ වුණා. හෙලන්ට අවසාන ගෞරවය දැක්වීමට මිතුරන් හා පවුලේ අය එකතු වූ මගේ නෑනාගේ නිවසේ දේවමෙහෙය පවත්වන්න පූජකයාට වැඩිපුර ඩොලර් 15කුත් වුවමනා වුණා. මට ඩොලර් 15ක් හොයාගන්න බැරි වුණා; ඒත් මගේ පඩි දිනයේදී ඔහුට මුදල් දෙනවා නම් දේවමෙහෙය පවත්වන්න පූජකයා එකඟ වුණා.
පඩි දිනය ආවහම දරුවන්ට පාසැලට යෑම සඳහා සපත්තු සහ ඇඳුම් ගැනීමට මුදල් පාවිච්චි කරන්න මට සිද්ධ වුණා. ඉතින්, සති දෙකකට විතර පස්සේ, පූජකයා මගේ ට්රෑම් කාර් එකට නැග්ගා. “ඔයා මට ඩොලර් 15ක් ණයයි” කියා ඔහු පැවසුවා. ඊට පස්සේ, ඔහු බහින කොට, “ඔයාගේ ලොක්කා ළඟට මම ගිහින් ඔයාගේ පඩියෙන් ඒ මුදල ඉල්ලගන්නවා” කියා තර්ජනය කළා.
දවසේ වැඩ අවසන් වූ පසු මම මගේ ලොක්කා ළඟට ගිහින් සිද්ධ වුණ දේ ගැන කිව්වා. ඔහු කතෝලිකයෙක් වුණත් ඔහු මෙහෙම කිව්වා: “ඒ පූජකයා මෙහෙ ආවොත්, මම එයාට හොඳවැයින් දෙකක් කතා කරන්නම්!” ‘පූජකයන්ට ඕනෙ සල්ලි විතරයි; ඔවුන් අපිට බයිබලය ගැන කිසි දෙයක් උගන්වන්නේ නැහැ’ කියා මම හිතන්න පටන්ගත්තා.
සත්‍යය ඉගෙනගැනීම
ග්‍රීක් මිනිසුන් දෙදෙනා කරගෙන ගිය තේපැන් හලට මම ඊළඟ වතාවේ ගියහම, පූජකයාගෙන් මම අද්දැක්ක දේ ඔවුන් සමඟ සාකච්ඡා කළා. ප්‍රතිඵලයක් වශයෙන්, මම බයිබල් ශිෂ්‍යයන් සමඟ පාඩම් කරන්න පටන්ගත්තා; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවකට හැඳින්වූයේ ඒ නමින්. බයිබලය හා බයිබල් පොත් පත් කියවන්න මම මුළු රෑම ගෙව්වා. පූජකයා පැවසූ පරිදි, හෙලන් ශුද්ධගිනිස්ථානයක වේදනා විඳිමින් නොසිටින බවත්, ඈ මරණ නින්දේ සැතපී සිටින බවත් මම දැනගත්තා. (යෝබ් 14:13, 14; යොහන් 11:11-14) ඇත්තෙන්ම, රන්වලට වඩා අනර්ඝ දෙයක් මට සම්බ වී තිබුණා—එය නම් සත්‍යයයි!
සති කීපයකට පස්සේ, පිට්ස්බ’ග්හි ගාඩ්න් රඟහලේ බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීමට මම මුල් වතාවට ගිහින් සිටි අවස්ථාවේදී, මම මගේ අත උස්සලා මෙහෙම කිව්වා: “පල්ලියේ මම ගත කළ මුළු කාලයටම වඩා මේ රැයේදී මම බයිබලය ගැන හුඟක් ඉගෙනගත්තා.” පසුව, ඊළඟ දවසේ දේශනා සේවයෙහි සහභාගි වෙන්න කැමති කවුද කියා ඇසූ විට, නැවතත් මගේ අත උඩ ගියා.
පසුව, 1931 ඔක්තෝබර් 4වෙනිදා වතුර බව්තීස්මය මගින් යෙහෝවාට මම මගේ කැපවීම සංකේතවත් කළා. ඒ අතරතුරේදී නිවසක් කුලියට ගෙන, යළිත් දරුවන්ව මා ළඟට ගන්න මට පුළුවන් වුණා; ඔවුන්ව බලාගැනීමට ගෘහසේවිකාවක්ව ගත්තා. මගේ පවුලේ වගකීම් තිබුණත්, 1932 ජනවාරිවල සිට 1933 ජූනි දක්වා, උපකාරික ලෙස හැඳින්වූ විශේෂ සේවයකට හවුල් වුණා; ඒ විදිහට සෑම මාසයකම බයිබලය ගැන අන් අයට කතා කිරීමට මම පැය 50ත් 60ත් අතර කාලයක් ගත කළා.
මේ කාලයේදී මගේ ට්රෑම් කාරයෙන් රැකියාවට යන එන ලස්සන තරුණ කාන්තාවකට මගේ සිත ඇදී ගියා. මා පිටුපස කණ්ණාඩියෙන් එයා දිහා බලද්දී, එයත් මං දිහා බලනවා. මේරියි මමයි මුණගැහුණේ ඒ විදිහටයි. අපි කාලයක් ඇසුරු කර, 1936 අගෝස්තුවලදී විවාහ වුණා.
රැකියාවේ දීර්ඝ කාලයක් නියැලීම නිසා 1949දී මට පුරෝගාමී සේවය කිරීමට ඉඩ කඩ සලසන කාලසටහනකට අනුව රැකියාව හදාගන්න පුළුවන් වුණා; පූර්ණ-කාලීන දේවසේවය හඳුන්වන්නේ ඒ ආකාරයටයි. මගේ බාල දුව, ජීන්, 1945දී පුරෝගාමී සේවය පටන්ගෙන තිබුණු අතර, අපි එකට පුරෝගාමී සේවයේ යෙදුණා. පසුව, නියූ යෝක්, බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය වන බෙතෙල්හි සේවය කරමින් සිටි සෑම් ෆ්‍රෙන්ඩ්ව ජීන්ට හමු වුණා.a ඔවුන් 1952දී විවාහ වුණා. මම පිට්ස්බ’ග්හි දිගටම පුරෝගාමී සේවයේ යෙදුණු අතර බයිබල් පාඩම් බොහෝමයක් පැවැත්තුවා; එක අවස්ථාවකදී සෑම සතියකම වෙන වෙන පවුල් 14ක් එක්ක පාඩම් කළා. වර්ෂ 1958දී, මම ට්රෑම් කාර් එළවන රැකියාවෙන් විශ්‍රාම ගත්තා. ඉන්පසු, තවදුරටත් දවසකට පැය අටක බාහිර රැකියාවක නිරත වෙන්න සිදු නොවුණ නිසා පුරෝගාමී සේවය පහසු වුණා.
වර්ෂ 1983දී මේරි අසනීප වුණා. ඇය මාව ඉතා හොඳින් අවුරුදු 50කට ආසන්න කාලයක් බලාගත්තා වගේම ඇයවත් බලාගැනීමට මම උත්සාහ දැරුවා. අන්තිමේදී, ඇය 1986 සැප්තැම්බර් 14වෙනිදා මියගියා.
මගේ උපන් ස්ථානය සෙවීම
ජීන් සහ සෑම් 1989දී මාව පෝලන්තයේ සමුළුවලට කැටුව ගියා. මම හැදී වැඩුණු ප්‍රදේශය බලන්නත් අපි ගියා. ලෝකයේ එම කොටස රුසියානුවන් අතට පත් වුණ විට, ඔවුන් නගරවල නම් වෙනස් කරලා, ජනයාව වෙනත් රටවලට පිටුවහල් කළා. මගේ අයියා කෙනෙකුව ඉස්තාන්බුල් වෙතත්, අක්කා කෙනෙකුව රුසියාවටත් පිටුවහල් කර තිබුණා. ඒ වගේම මගේ ගමේ නම එහෙ අය අහලා තිබුණේවත් නැහැ.
එහි යද්දී ඈත සමහර කඳු මට හොඳට හුරු පුරුදුයි වගේ දැනුණා. අපි ළඟා වූ විට, වෙනත් කැපීපෙනුණ මායිම් සලකුණුත් හඳුනගන්න පුළුවන් වුණා—කන්දක්, බෙදී ගිය පාරක්, පල්ලියක්, ගඟ හරහා පාලමක් තිබුණා. හදිසියේම අපව පුදුමයට පත් කරමින්, “හෝසෝචෙක්” යනුවෙන් පැවසෙන සංඥා පුවරුවක් අපි දැක්කා! ඊට ටික කලකට පෙර කොමියුනිස්ට්වාදීන්ගේ බලය හීන වී ගොස් තිබුණු අතර, ගම්වල මුල් නම් යළිත් ඒවාට දමා තිබුණා.
අපේ නිවස එහි නොතිබුණත්, එළියේ ඉවුම් පිහුම් සඳහා පාවිච්චි කළ උදුනක් බාගෙට වැළලී ගොස් තිබුණා. එවිට මම විශාල ගහක් පෙන්වා මෙසේ පැවසුවා: “අර බලන්නකො අර ගහ. අමෙරිකාවට යන්න ඉස්සෙල්ලායි මම මේක හිටෙව්වේ. බලන්න ඒක කොච්චර ලොකු වෙලාද!” ඊට පස්සේ, අපි මිනිපිට්ටනිවලට ගියා පවුලේ සාමාජිකයන්ගේ නම් තිබෙනවාදැයි බලන්න; නමුත් අපිට එකක්වත් හොයාගන්න බැරි වුණා.
සත්‍යය මුල් තැනට දැමීම
ජීන්ගේ ස්වාමිපුරුෂයා 1993දී මියගිය විට, මාව රැකබලා ගැනීම සඳහා ඇගේ බෙතෙල් සේවය අත්හැර දමනවාට කැමතිද කියා ඈ මගෙන් ඇසුවා. ඇයට කරන්න පුළුවන් නරකම දෙය ඒක බව මම ඇයට පැවසූ අතර, මගේ හැඟීම් තාමත් ඒ විදිහටම පවතිනවා. මට 102 වෙන තුරු තනිවම මගේ වැඩ කටයුතු කරගත්තත්, පසුව මම සාත්තු නිවසකට යෑම අත්‍යවශ්‍ය වුණා. මම තවමත් පිට්ස්බ’ග් බෙල්වියූ සභාවේ වැඩිමහල්ලෙකුව සිටින අතර, සහෝදරයන් ඇවිත් මාව ඉරිදා දිනවල රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට ගෙන යනවා. මගේ දේශනා සේවය සෑහෙන දුරකට සීමා වී තිබුණත්, මම අබල දුබල වූ පුරෝගාමීන්ගේ ලැයිස්තුවේ සිටිනවා.
අවුරුදු ගණනාව පුරා, වොච් ටවර් සමිතිය මගින් සූදානම් කළ අවේක්ෂකයන් පුහුණු කිරීම සඳහා විශේෂ පාසැල්වලට සහභාගි වීමේ ප්‍රීතිය මම අද්දැක තිබෙනවා. පහුගිය දෙසැම්බරයේදී, සභා වැඩිමහල්ලන් සඳහා පැවැත්වූ රාජ්‍ය සේවා පාසැලේ සමහර සැසිවාරයන්වලට මම ගියා. ඒ වගේම ගිය අප්‍රියෙල් 11වෙනිදා, ජීන් මාව ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට ගෙන ගිය අතර, 1931 සිට හැම අවුරුද්දකදීම එයට සහභාගි වීමට ලැබීම මම අනර්ඝ කොට සලකනවා.
මා සමඟ බයිබලය පාඩම් කළ අයගෙන් සමහරෙක් දැන් වැඩිමහල්ලන් හැටියටත්, වෙනත් අය දකුණු අමෙරිකාවේ මිෂනාරීන් හැටියටත් සේවය කරන අතර, සමහරු තම දරුවන් සමඟ දෙවිට සේවය කරමින් සිටින ආච්චිලා සීයලා. මගේම දරුවන් තුන්දෙනෙක් වූ මේරි ජේන්, ජොන් හා ජීන් මෙන්ම ඔවුන්ගේ දරුවන් හා මුනුපුරු මිනිපිරියන්ගෙන් බොහෝදෙනෙක්ද ඇදහිලිවන්තව යෙහෝවා දෙවිට සේවය කරමින් සිටිනවා. මගේ අනිත් දුවත්, මගේ මුනුපුරු මිනිපිරියන් හා ඔවුන්ගේ දරුවන්ටත් කවදා හරි එලෙසම කරන්න ලැබේවා කියා මම යාච්ඤා කරනවා.
දැන් වයස 105ක්ව සිටින මා තවමත් හැම කෙනෙකුටම උනන්දු කරන්නේ බයිබලය පාඩම් කරන්න මෙන්ම ඔවුන් ඉගෙනගත් දේ අන්‍යයන් සමඟ කතා කරන්න කියායි. යෙහෝවාට කිට්ටුවෙන් සිටිනවා නම් තමන්ට කවදාවත් කනගාටුවට පත් වන්න සිදු වෙන්නේ නැති බව මම ඒත්තුගිහින් තිබෙනවා. එවිට ඔබටත් නැති වී යන රන්වලට වඩා අනර්ඝ දෙයක් භුක්ති විඳිය හැකියි—එය නම් අපේ ජීවිත දායකයා වන යෙහෝවා දෙවි සමඟ වටිනා සබඳතාවක් තබාගැනීමට අපට ඉඩ සලස්වන සත්‍යයයි.
[පාදසටහන]
a සෑම් ෆ්‍රෙන්ඩ් පිළිබඳ ජීවිත කතාවක් 1986 අගෝස්තු 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 22-6 පිටුවල පළ වී ඇත.
[25වන පිටුවේ පින්තූරය]
මම ට්රෑම් කාර් එකක් එළවූ කාලේදී
[26වන පිටුවේ පින්තූරය]
මම දැන් වෙසෙන සාත්තු නිවස
[27වන පිටුවේ පින්තූරය]
1989දී අපට සම්බ වූ මාර්ග සංඥා පුවරුව