පාඨකයන් අසයි
දෙවියන්ව නිර්මාණය කළේ කවුද?
තාත්තා කෙනෙකුයි අවුරුදු හතක පුතෙකුයි අතර ඇති වන සංවාදයක් හිතෙන් මවාගන්න. “හුඟ කාලෙකට ඉස්සර පොළොව, ඉර, හඳ, තාරකා, මේ හැම දෙයක්ම හැදුවේ දෙවියන්” කියලා තාත්තා පුතාට කිව්වා. පුතා ටිකක් වෙලා කල්පනා කරලා මෙහෙම ඇහුවා. “තාත්තේ එහෙනම් දෙවියන්ව හැදුවේ කවුද?”
“කවුරුත් දෙවියන්ව හැදුවේ නෑ. දෙවියන් හැමදාම හිටියා” කියලා තාත්තා කිව්වා. ඒ පුංචි මොළේට ඒ පැහැදිලි කිරීම සෑහුණා. ඒත් ටිකක් වයසින් වැඩෙද්දී ඒ ප්රශ්නය නැවත නැවතත් මතු වෙන්න පටන්ගත්තා. පටන්ගැන්මක් නැති කෙනෙක් ඉන්න පුළුවන් කියන එක තේරුම්ගන්න ඔහුට බැරි වුණා. මේ මුළු විශ්වයටම පටන්ගැන්මක් තිබුණා නම් ‘දෙවියන් ආවේ කොහෙන්ද’ කියලා ඔහු කල්පනා කළා.
බයිබලයේ ඒ ප්‍රශ්නයට දෙන උත්තරය මොකක්ද? ඒකේ තියෙන්නෙත් ඒ තාත්තා පුතාට දුන්න උත්තරයට සමාන උත්තරයක්. මෝසෙස් මෙහෙම ලිව්වා. “යෙහෝවා දෙවියනි, . . . පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත. කඳු බිහි වන්නත් පොළොව හා එහි ඇති සියල්ල සාදන්නත් කලින් ඔබ සිටියෙහිය.” (ගීතාවලිය 90:1, 2) අනාගතවක්තෘවරයෙක් වූ යෙසායාත් මෙහෙම කිව්වා. “මුළු මහත් පොළොවම නිර්මාණය කළ යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම පවතින දෙවි කෙනෙකු කියා ඔබ දන්නේ නැද්ද? ඔබ ඒ ගැන අසා නැද්ද?” (යෙසායා 40:28) ඒ හා සමානව යූද් පොතෙත් දෙවියන්ව හඳුන්වලා තියෙන්නේ “පෙර මෙන් දැනුත් සදහටත්” සිටිනවා කියලයි. —යූද් 25.
ඒ බයිබල් පදවලින් පැහැදිලි වෙන්නේ දෙවියන් “සදාකාලික රජ්ජුරුවන්” කියලයි. (1 තිමෝති 1:17) ඒ කියන්නේ අපි කොයි තරම් ඈත අතීතයකට ගියත් දෙවියන් ඉඳලා තියෙනවා කියන එකයි. ඒ වගේම අනාගතයේදීත් ඔහු සදහටම ඉන්නවා කියන එකයි. (එළිදරව් 1:8) සදාකාලයෙන් සදාකාලයට පවතින එක සියලු බලැති දෙවියන් සතු ලක්ෂණයක්.
මිනිසුන් හැටියට අපිට ඒක තේරුම්ගන්න අමාරු ඇයි? ඒකට හේතුව යෙහෝවා දෙවියන්ගේ කාලයයි අපේ ආයු කාලයයි අතර ලොකු වෙනසක් තිබීමයි. දෙවියන් සදාකාලිකව ඉන්න නිසා අපිට අවුරුදු දහසක් ඔහුට එක දවසක් වගෙයි. (2 පේතෘස් 3:8) ඒක අපි උදාහරණයකින් බලමු. දවස් 50ක තරම් කෙටි ආයු කාලයක් ජීවත් වෙන තණකොළ පෙත්තෙකුට පුළුවන් වෙයිද අවුරුදු 70ක් 80ක් තරම් ජීවත් වෙන මිනිසුන්ගේ ආයු කාලය ගැන තේරුම්ගන්න? අමාරුයි. අපේ නිර්මාතෘ දෙවියන් එක්ක බලද්දී අපිවත් බයිබලයේ සමාන කරලා තියෙන්නේ තණකොළ පෙත්තන්ටයි. අපේ තේරුම්ගැනීමේ හැකියාව සීමිතයි. (යෙසායා 40:22; 55:8, 9) එහෙමනම් දෙවියන් සම්බන්ධ හැම කාරණයක්ම අපිට තේරුම්ගන්න බැරි එක පුදුමයක් නෙමෙයි.
දෙවියන් සදාකාලිකව ඉන්න එක ගැන අපිට තේරුම්ගන්න අමාරු වුණත් ඒක පිළිගන්න හේතු තියෙනවා. මොකද දෙවියන්ව වෙන කෙනෙක් නිර්මාණය කරලා තිබුණා නම් නිර්මාතෘ වෙන්නේ ඔහුයි. නමුත් බයිබලයේ කියන්නේ “සෑම දෙයක්ම සෑදුවේ” යෙහෝවා දෙවියන් කියලයි. (එළිදරව් 4:11) විශ්වයටත් ආරම්භයක් තිබුණා. (උත්පත්ති 1:1, 2) එහෙමනම් විශ්වය නිර්මාණය කරන්න කලින් ඒකේ නිර්මාතෘ ඉන්න ඕනේ. ඒ වගේම දෙවියන්ගේ එකම පුත්‍රයා වන යේසුස්ටත් දේවදූතයන්ටත් කලින් ඔහු හිටියා. (යෝබ් 38:4, 7; කොලොස්සි 1:15) ඔහු මුලින්ම හිටියේ තනියම. එතකොට වෙන කිසිම දෙයක්වත් කිසිම කෙනෙක්වත් හිටියේ නැහැ. එහෙමනම් ඔහුව කිසි කෙනෙක් නිර්මාණය කළේ නැහැ කියලා පැහැදිලියි.
මිනිසුන්ගේ හා විශ්වයේ පැවැත්මෙන් ඔප්පු වෙන්නේ සදාකාලික දෙවි කෙනෙක් ඉන්නවා කියන එකයි. මේ මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන්න සැලැස්සුව, ඒක පාලනය වෙන්න අවශ්‍ය නීති පිහිටෙව්ව ඒ තැනැත්තා හැමදාම ඉඳලා තියෙනවා. ඔහු හිටියේ නැත්නම් මේ පොළොවේ ජීවීන් ඇති වෙන්නේ නැහැ.—යෝබ් 33:4.