සංවාද ඇරඹීමට පත්‍රිකා යොදාගන්න
1 බලපෑමෙන් යුත් සාක්ෂියක් දීම බොහෝදුරට රඳාපවතින්නේ, සංවාදයක් ඇරඹීමට ඔබ ගන්නාවූ මුල් පියවර මත බවට ඔබ එකඟ වන්නේ නැද්ද? මෙහිදී එල්ල වන අභියෝගය වන්නේ පුද්ගලයාගේ උනන්දුව අවුස්සන යමක් පවසා, ඔහුව සාකච්ඡාවට සම්බන්ධ කරගැනීමයි. මෙය බලපෑමෙන් යුක්තව කරන්න පුළුවන් කොහොමද?
2 හොඳින් තෝරාගන්නා ලද වචන කිහිපයක් සමඟින් බයිබලය මත පදනම් වූ අපේ පත්‍රිකාවලින් එකක් ඉදිරිපත් කිරීමෙන් සංවාදයක් ආරම්භ කරන්න පුළුවන් බව බොහෝ ප්‍රචාරකයන් සොයාගෙන තිබෙනවා. මෙම පත්‍රිකාවල සඳහන් මාතෘකා හා වර්ණවත් පින්තූර සිත්ගන්නාසුලුයි. ඒ වගේම පත්‍රිකාවල හුඟාක් තොරතුරු නැති නිසා, ඒවා මගින් කියවීම සඳහා පුද්ගලයා තුළ මැළිකමක් ඇති කරන්නේ නැහැ. පත්‍රිකාවල අඩංගු වන්නේ තොරතුරු ස්වල්පයක් වුණත්, ඒවායේ සඳහන් කෙටි පණිවිඩ මිනිසුන්ගේ අවධානය ඇදගන්න අතර, ඒවා බයිබල් පාඩමක් ආරම්භ කිරීම සඳහා යොදාගත හැකියි.
3 එක් සාක්ෂිකාරියකට මෙසේ හැඟුණා: “මේ කාර්යබහුල ලෝකයේ ඉන්න මිනිස්සු හුඟක් වෙලාවට කියවන්න වැඩි කාලයක් ගත කරන්න කැමති නැහැ. ඒත් වැදගත් පණිවිඩයක් මිනිසුන්ට දීමේ හැකියාව පත්‍රිකාවලට තියෙනවා. මිනිසුන් තුළ කියවන්න අකමැත්තක් ඇති කරවන තරමට දීර්ඝ විස්තර ඒවාවල නැහැ. මම මුලින්ම සත්‍යය ඉගෙනගත්තේ පත්‍රිකා කියවලයි.” පත්‍රිකාවල සඳහන් කෙටි මුද්‍රිත පණිවිඩවල අඩංගු දෙවිගේ වචනයේ බලය කිසිවිටකත් අවතක්සේරු නොකරන්න.—හෙබ්‍රෙ. 4:12.
4 පහසු පියවර හතරක්: සරල එළඹීමක් යොදාගැනීමෙන් බොහෝදෙනෙක් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙනවා. (1) පත්‍රිකා කිහිපයක් පුද්ගලයෙකුට පෙන්වා, ඔහුගේ සිත්ගන්නේ කුමන එකද කියා අසන්න. (2) පුද්ගලයා පත්‍රිකාවක් තෝරාගත්තායින් පසු, එම පත්‍රිකාවේ සඳහන් මූලික කරුණක් විශේෂ කොට දක්වන සේ හොඳින් සූදානම් කරන ලද ප්‍රශ්නයක් අසන්න. (3) එම ප්‍රශ්නයට උත්තර දීම සඳහා පත්‍රිකාවේ තිබෙන යෝග්‍ය ඡේදයක් හෝ ශුද්ධ ලියවිලි පාඨයක් කියවන්න. (4) ඔබට පුද්ගලයාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබේ නම්, යොදාගත් පත්‍රිකාවේ අඩංගු දේවල් සාකච්ඡා කිරීම දිගටම කරගෙන යන්න. නැත්නම් අදාළ කාරණය ගැන වැඩි විස්තර සඳහන් ඕනෑ කරන්නේ විවරණිකාවේ සඳහන් පාඩමක් හෝ දැනුම පොතේ පරිච්ඡේදයක් සලකා බලන්න. මේ පියවර අනුගමනය කිරීමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න ඔබට පුළුවන්. පත්‍රිකා හතරක සඳහන් තොරතුරු යොදාගනිමින් ඔබ පැවසිය යුතු දෙය සම්බන්ධයෙන් සූදානම් වීමට මතු දැක්වෙන යෝජනා ඔබට උපකාරවත් වේවි.
5 “ලෝකය සැබවින්ම පාලනය කරන්නේ කවුද?” යන පත්‍රිකාවේ සඳහන් මෙම මාතෘකාව ප්‍රශ්නයක් හැටියට ඇසිය හැකියි.
◼ ඔබ සමඟ කතා කරන තැනැත්තා එම ප්‍රශ්නයට “දෙවි” කියා හෝ නැත්නම් “මම දන්නේ නැහැ” කියා උත්තර දෙනවා නම්, මෙම පත්‍රිකාවේ 2වන පිටුවේ සඳහන් ආරම්භක වාක්‍ය දෙක හා 3වන පිටුවේ මුල් ඡේදය කියවන්න. පළමුවන යොහන් 5:19 සහ එළිදරව් 12:9 කැපීපෙනෙන්න සලස්වන්න. ඔබ සමඟ කතා කරන පුද්ගලයා සාතන් නමැති යක්ෂයාගේ පැවැත්ම ගැන සැක පහළ කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් යක්ෂයා ලෝකය කෙරෙහි ඇති කරන බලපෑම පිළිගන්න කෙනෙක් වෙන්න පුළුවන්. කුමන මතයක් දැරුවත් සංවාදය දිගටම කරගෙන යෑම සඳහා ඔබට පුළුවන් “ලෝකයේ පවතින තත්වයන්ගෙන් හෝඩුවාවක්” යන උපමාතෘකාව යටතේ තර්කානුකූලව ඉදිරිපත් කරන තොරතුරු යොදාගන්න. පුද්ගලයා උනන්දුවක් දක්වයි නම්, මෙම පත්‍රිකාවේ 3වන හා 4වන පිටුවල සඳහන් කරුණු යොදාගනිමින් යක්ෂයාගේ මූලාරම්භය පැහැදිලි කරන්න.
6 “මියගිය ප්‍රේමනීයයන්ට ඇති බලාපොරොත්තුව කුමක්ද?” නමැති පත්‍රිකාව යොදාගෙන උනන්දුව ඇවිස්සිය හැකියි. මෙසේ ඇසීමෙන් සංවාදයක් සඳහා මුලපුරන්න ඔබට පුළුවන්:
◼ “කවදා හරි දවසක අපේ මියගිය ප්‍රේමනීය අයව ආයෙත් දැකබලා ගන්න පුළුවන් වෙයි කියල ඔයා හිතනවාද?” පුද්ගලයා ප්‍රතිචාරය දැක්වීමෙන් පසු, මෙම පත්‍රිකාවේ 4වන පිටුවේ සඳහන් දෙවන ඡේදයට යොමු දක්වා යොහන් 5:28, 29 කියවන්න. අනතුරුව, මෙම තොරතුරු පළමු උපමාතෘකාව යටතේ තිබෙන දේවල් තේරුම්ගැනීමට උපකාරවත් වන බව පැහැදිලි කරන්න. එය සාකච්ඡා කිරීමට කැමතිද කියා අසන්න.
7 “පවුල් ජීවිතය භුක්තිවිඳින්න” නමැති පත්‍රිකාව සෑම පවුලකම වගේ අවධානය ඇදගන්නවා. එය යොදාගනිමින් ඔබට පුළුවන් මෙසේ පවසන්න:
◼ “අද පවුල් හුඟක් ගැටලුවලට මුහුණ පානවා කිව්වොත්, ඔයා ඒකට එකඟ වෙයි කියල මම හිතනවා. ඔයා හිතන විදිහට පවුල්වල එකමුතුකම ශක්තිමත් කරන්න පුළුවන් මොකකටද?” පුද්ගලයා ප්‍රතිචාරය දැක්වීමෙන් පසු, 6වන පිටුවේ තිබෙන මුල් ඡේදයේ සඳහන් කරුණුවලට ඔහුගේ අවධානය යොමු කරන්න. මෙම පත්‍රිකාවේ 4වන හා 5වන පිටුවල සඳහන් උපුටා දක්වා තිබෙන ශුද්ධ ලියවිලි පාඨවලින් එකක් තෝරාගෙන, එයින් අදහස් කරන දෙය පැහැදිලි කරන්න. අනතුරුව, නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් කරන්න කැමතිද කියා අසන්න.
8 මතු දැක්වෙන ඉදිරිපත් කිරීම සඳහා “බයිබලය විශ්වාස කිරීමට ඔබට හැකිවීමට හේතු” නමැති පත්‍රිකාව යොදාගත හැකියි:
◼ “බයිබලයේ මුල්ම පොතේ සඳහන් වෙන කායින් හා ආබෙල් ගැන හුඟදෙනෙක් අහල තියෙනවා. කායින්ගේ භාර්යාව ගැනත් උත්පත්ති වාර්තාවේ සඳහන් වෙනවා. ඇගේ මුල් ආරම්භය ගැන ඔයා කවදා හරි කල්පනා කරල තියෙනවාද?” මේ ප්‍රශ්නයට උත්තර දීම සඳහා මේ පත්‍රිකාවේ 2වන පිටුවේ අවසාන ඡේදය යොදාගන්න. අපේ අනාගතය මොන වගේ එකක්ද කියන එක ගැන බයිබලයේ සඳහන් වැදගත් තොරතුරුත් මේ පත්‍රිකාවේ සාකච්ඡා කරන බව පැහැදිලි කරන්න. මේ කාරණයට අනුබල දෙන ශුද්ධ ලියවිලි පාඨ යොදාගනිමින්, 5වන පිටුවේ සඳහන් තුන්වන ඡේදයෙන් පටන්ගෙන සාකච්ඡාව දිගටම කරගෙන යන්න.
9 බයිබලය මත පදනම් තොරතුරු ඇතුළත් පත්‍රිකා බෙදාහැරීම ඵලදායක බව දිගු කාලයක් පුරා ඔප්පු වී තිබෙන අතර, එය ශුභාරංචිය ඉදිරිපත් කිරීමේ බලපෑමෙන් යුත් මාධ්‍යයක් වී තිබෙනවා. ඔබ යන ඕනෑම තැනකට පත්‍රිකා රැගෙන යෑම පහසු නිසා, ගෙයින් ගෙට සේවයේ හවුල් වෙද්දී මෙන්ම අවිධිමත්ව සාක්ෂිදැරීමේදීද මේවා බලපෑමෙන් යුක්තව ඔබට යොදාගන්න පුළුවන්. අපේ දේවසේවයේදී පත්‍රිකා මගින් වැදගත් කාර්යභාරයක් ඉටු කෙරෙනවා. පත්‍රිකා විවිධ වර්ගවලින් රැගෙන යන්න. සංවාද ආරම්භ කිරීමට ඒවා පුළුවන් තරම් යොදාගන්න.—කොලො. 4:17.