අලුත්ම මුහුණුවරකින් ආ අලුත් පත්‍රිකා!
1. අපිට අලුතෙන් ලැබුණේ මොනවාද?
1 “දෙවි පවසන දේ සත්‍යයයි” කියන 2013 තුන්දින සමුළුවේදී අපිට අලුත් පත්‍රිකා 5ක් ලැබුණා. “මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?” කියන ‘රාජ්‍ය ආරංචි’ අංක 38ත් ඒවාට එකතු වුණා. පත්‍රිකා 6ම කලින් පත්‍රිකාවලට වඩා වෙනස්. ඒ වෙනසට හේතුව මොකක්ද? ඒවා බෙදාහරිද්දී ඒ අලුත් වෙනසෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?
2. අලුත් වෙනසට හේතුව මොකක්ද?
2 වෙනසට හේතුව: දක්ෂ විදිහට සාක්ෂි දරන්න උදව් වෙන පියවර 4ක් තියෙනවා. (1) හිතේ තියෙන දේ දැනගන්න ප්‍රශ්නයක් අහලා සාකච්ඡාවක් පටන්ගන්න. (2) බයිබල් පදයක් සාකච්ඡා කරන්න. (3) කියවන්න යමක් දෙන්න. (4) ප්‍රශ්නයක් අහලා ඊළඟ වතාවේ ඒක සාකච්ඡා කරමු කියලා කියන්න. අලුත් පත්‍රිකා සකස් කරලා තියෙන්නේ ඒ පියවර 4 ලේසියෙන්ම ඉටු කරගන්න පුළුවන් විදිහටයි.
3. අලුත් පත්‍රිකා සේවයේදී පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
3 වෙනසෙන් ප්‍රයෝජන ගමු: (1) නිවැසියාට ආචාර කරලා, පත්‍රිකාවේ මුල් පිටුවේ තියෙන ප්රශ්නය අහන්න. උත්තර තුනෙන් ඔහුගේ උත්තරය මොකක්ද කියලා අහන්න. (2) පත්‍රිකාවේ ඊළඟ පිටුවේ තියෙන “බයිබලයේ කියන්නේ මෙහෙමයි” කියන කොටස කෙටියෙන් පැහැදිලි කරන්න. පුළුවන් නම් ඒ බයිබල් පදය බයිබලයෙන්ම කියවන්න. ඔහුට වෙලාව තියෙනවා නම් “ඒක විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන” කියන කොටස සාකච්ඡා කරන්න. (3) පත්‍රිකාව දීලා ඉතුරු ටික කියවන්න ඔහුව දිරිගන්වන්න. (4) යන්න කලින් අන්තිම පිටුවේ තියෙන “මේ ගැන හිතන්න” කියන කොටසේ තියෙන ප්රශ්නය අහලා ඊළඟ වතාවේ ඒ ගැන සාකච්ඡා කරන්න සැලසුම් කරගන්න.
4. නැවත බැලීමේදී පත්‍රිකාව යොදාගන්න පුළුවන් කොහොමද?
4 නැවත බැලීම් කරන්නත් ලේසියි. පත්‍රිකාවේ අන්තිම පිටුවේ තියෙන බයිබල් පද පාවිච්චි කරලා ඔබ කලින් වතාවේ ඇහුව ප්‍රශ්නයට උත්තරේ සාකච්ඡා කරන්න. ඊටපස්සේ පත්‍රිකාවේ තියෙන ‘ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාවේ පින්තූරය පෙන්වන්න. සාකච්ඡා කරපු කරුණට ගැළපෙන පාඩම සඟරාවෙන්ම පෙන්නලා ඒක ඔහුට දෙන්න. ඔහු ඒක ගන්න කැමති නම් ඊළඟ වතාවේදී ඒකෙන් සාකච්ඡා කරන්න සැලසුම් කරගන්න. ඔබ ඒ වෙද්දිත් පාඩමක් පටන් අරගෙන! නැත්නම් ඒ සඟරාව වෙනුවට තවත් පත්‍රිකාවක් දීලා කලින් වතාවේදී වගේ ආපහු හමු වෙන්න සැලසුම් කරගන්න.
5. දේවසේවයට පත්‍රිකා උදව් වෙලා තියෙන්නේ කොහොමද?
5 අපේ පත්‍රිකා අවුරුදු 130ක් පුරා මිනිසුන් අතරට ගිහින් තියෙනවා. පුංචි වුණත්, සකස් කරලා තියෙන විදිහ කලින් කලට වෙනස් වුණත් දේවසේවය සාර්ථක කරගන්න ඒවා උදව් වෙලා තියෙනවා. බයිබලයේ තියෙන දැනුම දසත පතුරුවන්න අලුත් මුහුණුවරකින් ලැබුණ මේ පත්‍රිකා හොඳින් පාවිච්චි කරමු.—හිතෝ. 15:7අ.