ජීවිත අනතුරේ!
1 යෙහෝවාගේ කැමැත්ත “සියලු ආකාරයේ මිනිසුන්ව ගළවනු ලැබීම” බව බයිබලය පැහැදිලි කරනවා. කොහොමවුණත්, පොළොව මත වෙසෙන බිලියන ගණනකගේ ජීවිත රඳා පවතින්නේ දෙවි ගැන සහ යේසුස් ක්‍රිස්තුස් පාලකයා වන දෙවිගේ රාජ්‍යය ගැන ඔවුන් දරන ආකල්පය මතයි. සුදුසු ආකල්පයක් ඇතුව සිටීමට ‘සත්‍යය පිළිබඳ නිවැරදි දැනුමක්’ අවශ්‍යයි. (1 තිමෝ. 2:3, 4, NW) මේ නිසා දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොව පිහිටුවීම සඳහා ළඟදීම සියලුම දුෂ්ටකම් මේ පොළොවෙන් තුරන් කර දමන්න යන බව මිනිසුන්ට දැනුම් දිය යුතුයි. එමෙන්ම මිනිසුන්ගේ ජීවිත ගැළවීමේ වැදගත් කාර්යයේ නියැලීමත් අපේ බලපැවරුමට අයත් වෙනවා.—මතෙ. 24:14; 28:19, 20; රෝම 10:13-15.
2 එතරම්ම හදිසි මන්ද? “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක්” ගැන යේසුස් අනතුරු ඇඟෙව්වා. (මතෙ. 24:21) මෙම මහත් පීඩාව අර්මගෙදොන්වලදී එහි උච්චාවස්ථාව කරා පැමිණෙනවා. (එළි. 16:16) මිනිසුන් ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් දරුණු විනාශයකට මුහුණ දෙන්න යනවා. මේ අයට අපේ නොඇදහිලිවන්ත ඥාතීන්, අසල්වාසීන්, අපි සමඟ රැකියාවේ යෙදෙන අය, පාසැලේ මිතුරන් හා අපේ වෙනත් හිතවතුන්ද ඇතුළත් වෙනවා. නමුත් දෙවි ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ව මිදීමේ මිලයක් හැටියට දීමෙන් මුළු මනුෂ්‍යවර්ගයා සඳහා තිබෙන ඔහුගේ ප්‍රේමය පෙන්නුවා. එවන් ප්‍රේමයක් පෙන්වූ දෙවිව අනුකරණය කරන අය හැටියට අපිත් “සියලු ආකාරයේ මිනිසුන්” වෙතට ළඟාවීමට වෑයම් කළ යුතුයි. (යොහන් 3:16) දෙවිගේ ආරක්ෂක ස්ථානයට පලා යෑමට අපි උද්යෝගයෙන් සියලුදෙනාටම ආරාධනා කළ යුතුයි. මෙසේ දේශනා කිරීමේ වැඩයෙහි පූර්ණ ලෙස හවුල් වීමෙන් අපිට ලේ වරදින් නිදහස් විය හැකියි.—එස. 33:1-7; 1 කොරි. 9:16.
3 අපේ පරමාර්ථය කුමක්ද? දේශනා කිරීමේ වැඩයේ තිබෙන වැදගත්කම දේවවචනය පුරාම අවධාරණය කර තිබෙනවා. ප්‍රේරිත පාවුල් පැවසුවාක් මෙන්, දෙවිගේ මාර්ගවලට එකඟව ජීවත් වීම සඳහා ‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමය අපි කෙරෙහි බලපවත්වයි.’ (2 කොරි. 5:14) මීට අමතරව, දේශනා කිරීම සඳහා තිබෙන අපේ වගකීම මුරටැඹ සඟරාවෙහි නිතර නිතර අවධාරණය කරනවා. දේශනා කිරීමේ වැඩය ඉටු කරන ආකාරය ගැන අපගේ රාජ්‍ය සේවාව මගින් අපිට දිගටම මඟ පෙන්වීම් ලැබෙනවා. වැඩිමහල්ලන් මේ වැඩය සංවිධානය කරමින් එහි හවුල් වීමට අපව දිරිමත් කරනවා. දේවසේවයෙහි තමන් හා හවුල් වීමට සෙසු ප්‍රචාරකයන් අපිට ආරාධනා කරනවා. අපේ ඉදිරිපත් කිරීම් සූදානම් කරගැනීම, සඟරා හා වෙනත් පොත් පත් ඉදිරිපත් කිරීම, නැවත බැලීම් කිරීම, බයිබල් පාඩම් පැවැත්වීම හා සාක්ෂි දැරීමට සෑම ප්‍රස්තාවක්ම යොදාගැනීම ගැන අපිට බොහෝ දේවල් අසන්න ලැබෙනවා. අපේ පරමාර්ථය වන මිනිසුන්ගේ ජීවිත ගළවාගැනීමට ඒ සෑම දෙයක්ම අපිට උපකාරවත් වෙනවා.—1 කොරි. 9:22, 23; එපී. 1:13.