“අපි නිතර නිතර අපේ බලප්‍රදේශයේ සේවය කරනවා!”
1 ඔබේ බලප්‍රදේශයේ ඔබ සේවය කර තිබෙන වාර ගණන ගැන කල්පනා කරන විට, බැටළු ගුණැති කිසිම කෙනෙක් තවත් ඉතුරු වෙලා නැහැ කියා ඔබට හැඟී ගොස් තිබෙනවාද? සමහරවිට, මේ විදිහට ඔබට හැඟිලා තියෙන්න පුළුවන්. ‘මම දන්නවා මිනිස්සු ශුභාරංචියට ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද කියල. ඉතිං අහන්න කැමති නැති මිනිස්සු ළඟට ආයෙත් යන්නේ මොකටද?’ ඇත්තයි, සභා බොහොමයකට අයත් බලප්‍රදේශවල නිතර නිතර සේවය කරනවා. කොහොමවුණත්, මේ කාරණය දෙස අපි බැලිය යුත්තේ නිෂේධාත්මකව නොව, ඒකාන්තවයි. ඇයි අපි ඒකාන්තව බැලිය යුත්තේ? මේ සඳහා පහත සඳහන් කරුණු හතර සැලකිල්ලට ගන්න.
2 අපේ යාච්ඤාවලට උත්තර: “ගොයම බොහෝය, මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ඒ නිසා තමන්ගේ ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ [ස්වාමීන්ට] යාච්ඤා කරන්න” කියා යේසුස් පැවසුවා. (ලූක් 10:2) අපේ සේවය සඳහා උපකාරය ඉල්ලමින් දශක ගණනාවක් පුරා අපි යෙහෝවාට කන්නලව් කළා. ප්‍රදේශ බොහොමයක වැඩ කරන්න අපිට දැන් ගොවියන් හුඟාක් සිටිනවා. මේ නිසා අපේ බලප්‍රදේශයේ අපිට නිතර නිතර සේවය කරන්න සිදු වෙනවා. යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දී තිබීම ගැන අපි සතුටු විය යුතු නැද්ද?
3 අත්නෑර සිටීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙයි: නිතර නිතර සේවය කරන ප්‍රදේශවල පවා සිටින මිනිස්සු රාජ්‍ය පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් සත්‍යය පිළිබඳ දැනුම ලබාගනිමින් සිටිනවා. එනිසා අවංක හදවත් ඇති අය තවත් සිටියි කියන බලාපොරොත්තුව ඇතුව අපි නැවත නැවත මිනිසුන් ළඟට යා යුතුයි. (යෙසා. 6:8-11) යේසුස්ගේ මුල් ගෝලයන් කළාක් මෙන් දෙවිගේ රාජ්‍යය ගැන ඔබේ බලප්‍රදේශයේ සිටින ජනයාගේ උනන්දුව පුබුදුවාලීමට වෑයම් කරමින් ඔවුන් වෙතට “දිගටම යන්න [NW].”—මතෙ. 10:6, 7.
4 පෘතුගාලයේ සභා බොහොමයක් සතියකට වරක් ඔවුන්ගේ බලප්‍රදේශයේ සේවය කරනවා. ඒත් තවමත් ඔවුන්ට බැටළු ගුණැති අයව හමු වෙනවා. මේ ප්‍රදේශයේ සේවය කිරීම සම්බන්ධයෙන් එක් සහෝදරියකට හොඳ ඒකාන්ත ආකල්පයක් තිබෙනවා. ඇය මෙසේ පවසනවා. “මම සෑම උදෑසනකම සේවයේ යන්න කලින් යෙහෝවාට යාච්ඤා කරනවා, උනන්දුව දක්වන කෙනෙකුව සොයාගෙන එයත් එක්ක බයිබල් පාඩමක් පටන්ගන්න මට උදව් කරන්න කියලා.” එක දවසක් ඇය සැලුන් එකක වැඩ කරන කිහිපදෙනෙක් එක්ක පාඩමක් පටන්ගන්න කටයුතු පිළියෙළ කළා. ඒත් පාඩම කරන්න කැමති වුණේ එක්කෙනෙක් විතරයි. ඒ කෙනා මෙහෙම කිව්වා. “අනිත් අය කැමති නැති වුණත් මම කැමතියි.” මාසයක් ඇතුළත ඇය බයිබල් පාඩම් දෙකක් සොයාගත්තා. වැඩිකල් නොගොස් ඇය බව්තීස්ම වී පසුව පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා.
5 වැඩය කෙරෙමින් පවතියි: යේසුස් පුරෝකථනය කළා වගේ දිගටම ශුභාරංචිය දේශනා කෙරෙමින් පවතිනවා. (මතෙ. 24:14) “[අපිට] ඇහුම්කන්දෙන්ට කැමති නැති” මිනිසුන්ට අපේ දේශනා සේවය මගින් අනතුරු ඇඟවීමක් කෙරෙනවා. සමහරු සත්‍යය පිළිගන්නේ නැති බවත් තවත් අය එයට විරුද්ධ වන බවත් අපි කල් තියා දන්නවා. ඒ වුණත්, ඉදිරියේදී පැමිණෙන යෙහෝවාගේ විනිශ්චය ගැන ඔවුන්ට නැවත නැවත අනතුරු ඇඟවිය යුතුයි.—එසකි. 2:4, 5; 3:7, 8, 19.
6 අපි තවම අවසන් කර නැහැ: දේශනා සේවය අවසන් කරන්නේ කවදාද කියා තීරණය කරන්නේ අපි නොවෙයි. එය හරියටම අවසන් කළ යුත්තේ කවදාද කියා දන්නේ යෙහෝවායි. අපේ බලප්‍රදේශයේ ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දැක්විය හැකි අය තවත් සිටිනවාද කියා ඔහු දන්නවා. සවන් දෙන්න කැමති නැහැ කියා අද සමහර අය කියන්න පුළුවන්. ඒත්, රැකියාව අහිමි වීම, බරපතළ ලෙස අසනීප වීම, ප්‍රේමනීය කෙනෙකුගේ මරණය වැනි ජීවිතයට ප්‍රබල ලෙස බලපාන දේවලට මුහුණ දීම නිසා ශුභාරංචියට සවන් දෙන්න ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්න පුළුවන්. අප ගැන ඇති වැරදි වැටහීම නිසා හෝ වැඩ අධිකකම නිසා හෝ බොහෝදෙනෙක් අපි දේශනා කරන පණිවිඩයට කවදාවත් සවන් දීලා නැහැ. නැවත නැවත ගොස් මිත්‍රශීලී ලෙස කතා කිරීමෙන් ඔවුන් අපට සවන් දෙන්න කැමති වෙන්න පුළුවන්.
7 තරුණ වියට පා තබා සිටින අය හා මෑතකදී විවාහ වූ අය තමන්ගේ ජීවිත ගැන බැරෑරුම් ලෙස කල්පනා කරනවා. දෙවිගේ වචනයට පමණක් උත්තර දිය හැකි ප්‍රශ්න ඔවුන් අසනවා. එක් තරුණ මවක් සාක්ෂිකාරියන් දෙදෙනෙක් ඇගේ නිවසට ආ විටකදී ඔවුන්ට ඇතුළට එන්න කියා ආරාධනා කර මෙසේ පැවසුවා. “සාක්ෂිකරුවන් බයිබලය ගැන කතා කරන්න ආපු හැම වෙලාවෙම මගේ අම්මා ඔවුන්ට ඇහුම්කන් දෙන්න අකමැති වුණේ ඇයි කියලා පොඩි කාලේ මට තේරුණේ නැහැ. මම විවාහ වෙලා මගේම කියලා නිවසක පදිංචි වුණ දවසක බයිබලය ගැන මට කියා දෙන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කියනවා කියලා මම ඒ කාලේ හිතේ තියාගත්තා.” ඇය සිතාගත් විදිහටම කළා. ඇයව හමු වුණ සාක්ෂිකරුවන්ට මහත් සතුටක් දැනුණා.
8 දැනට වඩා බලපෑමෙන් යුක්ත වන්න ඔබට හැකිද? අපේ බලප්‍රදේශයේ නිතර නිතර සේවය කිරීම අමාරු දෙයක් මෙන් පෙනීමට එකම හේතුව අපට හමු වන මිනිසුන් පමණක්ම නොවිය හැකියි. සමහර අවස්ථාවලදී ඒකට හේතුව අපිම වෙන්න පුළුවන්. සේවය ගැන අපි තුළ තිබෙන්නේ නිෂේධාත්මක අදහස්ද? මෙවැනි අදහස්, සේවය සම්බන්ධයෙන් තිබෙන අපේ ආකල්පයට මෙන්ම කට හඬේ ස්වරයට හා මුහුණේ ස්වභාවයට බලපෑ හැකියි. නිතරම ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටින්න. ඔබේ මුහුණින් ප්‍රසන්න බවක් දිස් වෙන්න සලස්වන්න. අලුත් එළඹීම් අත්හදා බලන්න. ඔබ සාක්ෂි දරන ආකාරයේ විවිධත්වයක් ඇති කරගෙන එය දියුණු කිරීමට වෑයම් කරන්න. සමහරවිට ඔබට පුළුවන් සංවාදය ආරම්භයේදී ඔබ ගෙවැසියාගෙන් අසන ප්රශ්නය වෙනස් කරන්න. නැත්නම් වෙනස් බයිබල් පදයක් යොදාගන්න. ඔබේ බලප්‍රදේශයේ සේවය කිරීමෙන් අනිත් සහෝදර සහෝදරියන් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙන ආකාරය ගැන ඔවුන්ගෙන් අසන්න. විවිධ ප්‍රචාරකයන් හා පුරෝගාමීන් සමඟ සේවයේ හවුල් වෙමින් ඔවුන් බලපෑමෙන් යුක්තව දේවසේවය කරන ආකාරය සැලකිල්ලට ගන්න.
9 රාජ්‍ය දේශනා කිරීමේ වැඩයට යෙහෝවාගේ අනුමැතිය හා ආශීර්වාද තිබෙන බව නිසැකයි. අපි එහි හවුල් වීමෙන් පැහැදිලි වන්නේ යෙහෝවා කෙරෙහිත් අපේ අසල්වැසියන් කෙරෙහිත් අපට ප්‍රේමයක් තිබෙන බවයි. (මතෙ. 22:37-39) අපේ බලප්‍රදේශයේ නිතර නිතර සේවය කිරීම,ජ්වලිතය අඩු කරගැනීමට හේතුවක් කරගන්නේ නැතිව, අපේ වැඩය සම්පූර්ණ වන තෙක් දිගටම එහි නියැලෙමු.