ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/02 3-6 පි.
  • ක්ෂේත්‍ර සේවය සඳහා යෝජිත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්ෂේත්‍ර සේවය සඳහා යෝජිත
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සංවාද ඇරඹීමට
  • ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කිරීමට යෝජනා
  • දැනුම පොත ඉදිරිපත් කිරීම සඳහා යෝජනා
  • ඍජු එළඹීම
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබ මේවා හොඳින් භාවිත කරනවාද?
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබ පාඩම් පටන්ගැනීමට ඕනෑ කරන්නේ විවරණිකාව යොදාගනිමින් සිටිනවාද?
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • ක්ෂේත්‍ර සේවයේදී ඉදිරිපත් කිරීමට යෝජනා
    2005 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2002 අපගේ රාජ්‍ය සේවාව
km 1/02 3-6 පි.

ළඟ තබාගන්න

ක්ෂේත්‍ර සේවය සඳහා යෝජිත

ඉදිරිපත් කිරීම්

මෙම අතිරේකය භාවිත කරන අයුරු

මතු දැක්වෙන ඉදිරිපත් කිරීම්වලින් බොහොමයක් අපගේ රාජ්‍ය සේවාවේ පසුගිය කලාපවල පළ වුණා. මේවායින් ඔබ කැමති ප්‍රමාණයක් සාක්ෂි දරද්දී අත්හදා බලමින් ලැබෙන ප්‍රතිඵල මොනවාද කියා බලන්න. මේ අතිරේකය නැති කර නොගන්න. මන්ද දේවසේවය සඳහා සූදානම් වෙද්දී එය ඔබට ප්‍රයෝජනවත් විය හැකියි.

ඔබ කියන්න යන ප්‍රධාන කරුණට ඉක්මනින්ම පිවිසෙනවා නම්, ඔබට සවන් දෙන තැනැත්තා තුළ දෙවිගේ වචනය කෙරෙහි ඇති උනන්දුව අවදි කළ හැකියි. යම් නිශ්චිත ප්‍රශ්නයක් නැඟීමෙන් අනතුරුව, ශුද්ධ ලියවිල්ල පෙරළා එයට ඇති කෙටි පිළිතුරක් කියවන්න. මතු දැක්වෙන යෝජනා ඔබට අත්හදා බලන්න පුළුවන්.

“ඔයා අනාගතය ගැන හිතද්දී ඔයා තුළ ඇති වෙන්නේ බලාපොරොත්තු සහගත හැඟීමක්ද නැත්නම් සැක සහිත හැඟීමක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අද අපි මේ දකින සිත් කලඹන දේවල් ගැනත් ඒවායේ ප්‍රතිඵල ගැනත් බයිබලයේ කලින් කියල තිබුණා.”—2 තිමෝ. 3:1, 2, 5; හිතෝ. 2:21, 22.

“අද හුඟදෙනෙක් ශරීර සෞඛ්‍යය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. හැම සෞඛ්‍ය ගැටලුවකටම ස්ථිර විසඳුමක් ලබා දෙන බවට දෙවි පොරොන්දු වෙලා තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියාද?”—යෙසා. 33:24; එළි. 21:3, 4.

“ඉදිරියේදී මුළු ලෝකයම පාලනය කරන්නේ එක ආණ්ඩුවක් මගින් කියලා බයිබලයේ කලින්ම සඳහන් කරලා තියෙනවා. ඔයා මේ ගැන දැනගෙන හිටියාද?”—දානි. 2:44, 45; මතෙ. 6:9, 10.

“යේසුස් ක්‍රිස්තුස් මේ පොළොව පාලනය කළා නම්, ඔයා හිතන විදිහට මොන වගේ තත්වයක් තියේවිද?”—ගීතා. 72:7, 8.

“ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු වීම නිසා, තමන් අදහන ආගම නිසා, තමන්ගේ සමේ පාට නිසා කරන අයුතු සැලකිලිවලින් හුඟදෙනෙක් දුක් විඳිනවා. මේ වගේ එක් එක්කෙනාට වෙනස් විදිහට සලකන එක ගැන දෙවිට හැඟෙන ආකාරය ගැන ඔයා මොකක්ද හිතන්නේ?”—ක්‍රියා 10:34, 35.

“යේසුස් ක්‍රිස්තුස් මේ පොළොවේ හිටිය කාලයේදී හුඟාක් ප්‍රාතිහාර්යයන් කළා කියල අපි දන්නවා. තව එක ප්‍රාතිහාර්යයක් කරන්න කියල ඔහුගෙන් ඉල්ලන්න පුළුවන් නම්, ඔයා ඉල්ලන්නේ මොන වගේ ප්‍රාතිහාර්යයක් කරන්න කියලද?”—ගීතා. 72:12-14, 16.

“අද හුඟදෙනෙකුට ගැටලු ගැන අහල එපා වෙලයි තියෙන්නේ. ඔවුන්ට ඕනෙ විසඳුම් ගැන අහන්නයි. ඒත්, අපේ ගැටලුවලට සැබෑ විසඳුමක් හොයාගන්න පුළුවන් කොහෙන්ද?”—2 තිමෝ. 3:16.

“ස්වාමීන්ගේ යාච්ඤාවේදී ඔයා කියන රාජ්‍යය මොකක්ද කියල ඔයා දන්නවාද?”—එළි. 11:15.

සංවාද ඇරඹීමට

මතු දැක්වෙන ප්‍රශ්න ලැයිස්තුව සකස් කර තිබෙන්නේ සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් නමැති පොත් පිංචය ඇසුරෙනි. අදාළ පිළිතුරු සොයාගැනීම සඳහා විෂයේ අංකය සඳහන් කර ඇත.

අපි මහලු වී මිය යන්නේ ඇයි? (td25අ)

මළවුන්ගේ තත්වය කුමක්ද? (td25ආ)

දෙවිව විශ්වාස කරන්න හොඳ හේතු තිබෙනවාද? (td32ආ)

අපට සිදු වෙන දේවල් ගැන ඇත්තටම දෙවි සැලකිල්ලෙන් සිටිනවාද? (td10අ)

ඇත්තටම දෙවි සැබෑ පුද්ගලයෙක්ද? (td32ඇ)

හොඳින් ජීවත් වෙන හැම කෙනෙක්ම ස්වර්ගයට යනවාද? (td44අ)

සන්තෝෂවත් අනාගතයක් භුක්ති විඳින්න කෙනෙක් ස්වර්ගයට යන්නම ඕනෙද? (td20අ)

දෙවිගේ පෞද්ගලික නාමය දැනගෙන එය භාවිත කිරීම වැදගත් වන්නේ ඇයි? (td32අ)

ඇත්තටම යේසුස් ක්‍රිස්තුස් දෙවිද? (td11ආ)

දෙවිගේ රාජ්‍යය මගින් ඉටු කරන්න යන දේවල් මොනවාද? (td35අ)

මේ කාලයේ තමන්ගේ සියලුම සේවකයන් සඳහා දෙවිගේ කැමැත්ත කුමක්ද? (td41අ)

විවාහයක් සාර්ථක කරගැනීම සඳහා උපකාරවත් විය හැකි දේවල් මොනවාද? (td38ආ)

සියලුම ආගම්වලට දෙවිගේ අනුමැතිය තිබේද? (td1ආ, 4ඈ)

හරි ආගම කුමක්ද කියා කෙනෙකුට දැනගත හැක්කේ කෙසේද? (td4අ)

අද ලෝකය තුළ සාතන් මොනතරම් බලවත් පුද්ගලයෙක් ලෙස කටයුතු කරනවාද? (td30ආ)

දෙවි දුක් ගාවිනාවලට ඉඩහරින්නේ මන්ද? (td12ආ)

දුෂ්ටකම මෙතරම් බහුලව පවතින්නේ මන්ද? (td12අ)

මේ ලෝකය පාලනය කරන්නේ කවුද? දෙවිද නැත්නම් සාතන්ද? (td30ආ)

ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කිරීමට යෝජනා

“හුඟදෙනෙක් දෙවිව විශ්වාස කරනවා. කිසි සැකයක් නැහැ, ඔයා ඒ අදහසට එකඟ වෙනවා ඇති. දෙවිට අපෙන් යම් දේවල් ඕනෑ කරනවා කියන කාරණයට ඔහුව විශ්වාස කරන හැම කෙනෙක්ම එකඟ වෙනවා. නමුත් දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද කියන කාරණයේදී මිනිසුන්ට එකඟ වෙන්න අමාරුයි.” මෙසේ පැවසීමෙන් අනතුරුව, ඕනෑ කරන්නේ විවරණිකාවේ 1වන පාඩමට පෙරළා එය සාකච්ඡා කරන්න.

“අද කාලයේ පවුල් ජීවිතවල හුඟාක් ගැටලු තියෙනවා. පවුලේ සන්තෝෂය අත් කරගැනීමේ රහස මොකක්ද කියලා ඔයා කවදාහරි කල්පනා කරල තියෙනවාද?” පවුලේ සන්තෝෂයේ සැබෑ රහස දෙවි බයිබලයේ හෙළි කර තිබෙන බව සවන්දෙන්නාගේ ප්‍රතිචාරයෙන් පසු පැහැදිලි කරන්න. යෙසායා 48:17 කියවා, ඕනෑ කරන්නේ විවරණිකාවේ 8වන පාඩමට පෙරළන්න. පවුලේ සෑම සාමාජිකයෙකු සඳහාම විශ්වාසදායක මඟ පෙන්වීම් සපයන එහි සඳහන් බයිබල් පද කිහිපයක් පැහැදිලි කරන්න. පාඩම ආරම්භයේ සඳහන් ප්‍රශ්න ටික කියවන්න. ඒවාට අදාළ උත්තර සොයා බලන්න කැමතිද කියා අසන්න.

“මූලික බයිබල් ඉගැන්වීම් ආවරණය කෙරෙන දැනුම් සම්භාරයකින් යුත් පාඩම් මාලාවක් මේ විවරණිකාවේ ඇතුළත් වෙනවා. සියවස් ගණනාවක් පුරා මිනිසුන්ගේ සිත්වලට වධ දෙන ප්‍රශ්නවලට උත්තර හැම පිටුවකින්ම ඔයාට දැනගන්න පුළුවන්. උදාහරණයක් හැටියට, පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද කියන ප්‍රශ්නය සලකා බලන්න.” පස්වන පාඩමට පෙරළා එහි ආරම්භයේ තිබෙන ප්‍රශ්න කියවන්න. ඔහු වැඩියෙන්ම දැනගන්න ආස මොන ප්‍රශ්නය ගැනද කියා ගෙවැසියාගෙන් අසා, ඊට අදාළ ඡේද(ය) කියවන්න. යෝග්‍ය ශුද්ධ ලියවිලි පාඨද බලන්න. මේ ප්‍රශ්නයට වගේම වෙනත් ප්‍රශ්නවලටත් සෑහීම ගෙන දෙන උත්තර සොයාගන්න පුළුවන් බව පැහැදිලි කරන්න. තවත් ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න ඔබ නැවත එනවාට කැමතිද කියා අසන්න.

“අද පාසැල්වල සිදු වන ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට හේතුව මොකක් කියලද ඔයා හිතන්නේ? මේකට හේතුව දෙමාපියන් දරුවන්ව හරියට පුහුණු නොකිරීමද? එහෙම නැත්නම් යක්ෂයාගේ හෝ එවැනි වෙනත් බාහිර දෙයක බලපෑමද?” ප්‍රතිචාරයට ඉඩහරින්න. යක්ෂයාගේ බලපෑම කියා ගෙවැසියා පැවසුවොත් එළිදරව් 12:9, 12 කියවන්න. ලෝකය අවුල් කරවීම සඳහා සාතන් කරමින් සිටින දේවල් පෙන්වා දෙන්න. අනතුරුව ඕනෑ කරන්නේ විවරණිකාවේ 4වන පාඩමට පෙරළා, යක්ෂයා පැමිණියේ කොහෙන්ද කියා ගෙවැසියා කවදා හෝ කල්පනා කර තිබෙනවාද කියා අසන්න. මුල් ඡේද දෙක කියවා සාකච්ඡා කරන්න. පාසැල්වල සිදු වන ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට හේතුව “දෙමාපියන් දරුවන්ව හරියට පුහුණු නොකිරීම” කියා ගෙවැසියා පැවසුවොත් 2 තිමෝති 3:1-3 දක්වා කියවා, මේ ගැටලුවට හේතු විය හැකි ගති ලක්ෂණ පෙන්වා දෙන්න. ඉන් අනතුරුව ඕනෑ කරන්නේ විවරණිකාවේ 8වන පාඩමේ 5වන ඡේදය කියවා සාකච්ඡාව දිගටම කරගෙන යන්න.

“විවාහ ජීවිතය සාර්ථක කරගන්න අපිට අවශ්‍ය දැනුම මැවුම්කරු ලබා දෙනවා කියල හිතෙන එක සාධාරණයි කියල ඔයා හිතනවාද?” ප්‍රතිචාරයෙන් පසු ඕනෑ කරන්නේ විවරණිකාව හඳුන්වා දෙන්න. එහි 8වන පාඩමට පෙරළා පවුලේ සෑම සාමාජිකයෙකුටම අදාළ වන බයිබල් ප්‍රතිපත්ති ඒ පාඩමේ තිබෙන බව පැහැදිලි කරන්න. වැඩිමනත් ප්‍රයෝජන ලබාගැනීම සඳහා බයිබලය යොදාගනිමින් මේ විවරණිකාව පාඩම් කරන ආකාරය නිරූපණය කරන්න.

“අද අපි විවිධාකාර ගැටලුවලට මුහුණ දෙනවා. ඔයා හිතනවාද අපිට යාච්ඤාවෙන් සැබෑ උපකාරයක් ලබාගන්න පුළුවන් කියල? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හුඟදෙනෙක් කියනවා යාච්ඤාවෙන් තමන්ගේ සිතට ලොකු ශක්තියක් ලැබෙනවා කියල. [පිලිප්පි 4:6, 7 කියවන්න.] ඒ වුණත් තමන්ගේ යාච්ඤාවලට උත්තර ලැබෙන්නේ නැහැ කියලා කෙනෙකුට හැඟෙන්න පුළුවන්. [ඕනෑ කරන්නේ විවරණිකාවේ 7වන පාඩමට පෙරළන්න.] යාච්ඤාවෙන් අපිට ලැබෙන මහත් ප්‍රයෝජන ගැන මේ විවරණිකාවේ පැහැදිලි කරනවා.”

“මේ ලෝකයේ ආගම් හුඟාක් තියෙන්නේ ඇයි කියලා අසල්වැසියන් සමඟ අපි කතා කළා. ඔයා හිතන විදිහට ආගම්වල මේ තරම් ව්‍යාකූලත්වයක් තියෙන්නේ ඇයි? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඕනෑ කරන්නේ විවරණිකාවේ 13වන පාඩමට පෙරළා එහි ආරම්භයේ තිබෙන ප්‍රශ්න කියවන්න.] මේ පාඩම කියෙව්වොත් ඔයාට පුළුවන් මේ ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර සොයාගන්න.”

යම් කෙනෙක් ඔබෙන් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ලබාගත් පසු, කෙටි ඡේදයකට සවන් දීමට කැමතිද කියා ඔහුගෙන් අසන්න. ඔහු කැමති නම් ඕනෑ කරන්නේ විවරණිකාවේ 5වන පාඩමට පෙරළන්න. එම පාඩම ආරම්භයේ තිබෙන ප්‍රශ්න කියවා, ඔබ පළමුවන ඡේදය කියවද්දී පළමුවන ප්‍රශ්නයට අදාළ උත්තරය සොයාගැනීමේ අටියෙන් සවන් දෙන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටින්න. ඡේදය කියවීමෙන් පසුව ප්‍රශ්නය අසා පිළිතුරු දීමට ඔහුට ඉඩහරින්න. විවරණිකාව ලබාගන්න කැමතිද කියා අසන්න. විවරණිකාව ලබාගත්තොත් ඊළඟට තිබෙන ප්‍රශ්න දෙකට ඔහුගෙන් උත්තර ලබාගැනීම සඳහා නැවත ඔහුව හමුවීමට කටයුතු පිළියෙළ කරන්න.

දැනුම පොත ඉදිරිපත් කිරීම සඳහා යෝජනා

බයිබලය අතේ තබාගෙන මෙසේ පැවසීමෙන් සාකච්ඡාව පටන්ගන්න. “අද මේ ප්‍රදේශයේ ඉන්න අයත් එක්ක ශුද්ධ ලියවිල්ලේ සඳහන් පාඨයක් ගැන අපි කතා කළා. ඒකේ මෙහෙම කියනවා . . . ” යොහන් 17:3 කියවා මෙසේ අසන්න. “හරි ආකාරයේ දැනුම තිබුණොත් අපිට ලබා දෙන බවට පොරොන්දු වෙලා තියෙන දෙය මොකක්ද කියලා ඔයා දැක්කද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ වගේ දැනුමක් ලබාගන්න පුළුවන් කොහෙන්ද?” ප්‍රතිචාරයෙන් පසු දැනුම පොත පෙන්වා මෙසේ පවසන්න. “සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම මේ පොතෙන් ලබාගන්න පුළුවන්. බයිබලය ගැන හුඟදෙනෙක්ට තියෙන ප්‍රශ්නවලට උත්තර මේ පොතේ තියෙනවා. ඒ උත්තර සලකා බැලීමෙන් ඒ දැනුම ලබාගන්න පුළුවන්.” ඔබ සමඟ කතා කරන තැනැත්තාට පටුන පෙන්වා, එහි සඳහන් යම් විෂයක් ගැන ඔහු කවදා හෝ කල්පනා කර තියෙනවාද කියා අසන්න.

“අපි අවට සිදු වෙන අයුක්තිසහගත දේවල් හා දුක් වේදනා ගැන දෙවි ඇත්තටම සැලකිලිමත් වෙනවාද කියා ඔයා කවදාහරි කල්පනා කරල තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලය අපට සහතික වෙනවා, දෙවි අපිට ප්‍රේම කරනවා කියල. ඒ වගේම ගැටලු ප්‍රශ්න අද්දකින කාලවලදී අපට උපකාර කරනවා කියලත් එහි සඳහන් වෙනවා.” ගීතාවලිය 72:12-17 දක්වා වගන්තිවල අදාළ කොටස් කියවන්න. දැනුම පොතේ 8වන පරිච්ඡේදයට පෙරළා, දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියා බොහෝදෙනෙක් අසන ප්‍රශ්නයට එහි සපයන සැනසිලිදායක උත්තරය පැහැදිලි කරන්න. හැකි නම් එහි 3 සිට 5 දක්වා ඡේදවල සඳහන් ශුද්ධ ලියවිලි මත පදනම් අදහස්වලින් කිහිපයක් සාකච්ඡා කරන්න. නැත්නම් නැවත ගොස් එය සාකච්ඡා කරන්න.

“මරණය නිසා අපි හුඟදෙනෙකුට අපි ප්‍රේම කරන අයව අහිමි වෙලා තියෙනවා. අපිට නැවත මේ අයව දැකගන්න පුළුවන්ද කියල ඔයා කවදාහරි කල්පනා කරල තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අපි ප්‍රේම කළ අයව මරණයෙන් මුදවාගන්න පුළුවන් බව යේසුස් ඔප්පු කරල පෙන්නුවා. [යොහන් 11:11, 25, 44 කියවන්න.] මේක වුණේ සියවස් ගණනකට කලින් වුණත්, ඒකෙන් පැහැදිලි වෙනවා අපි වෙනුවෙනුත් දෙවි ඒ වගේ දෙයක් කරන්න පොරොන්දු වෙලා තියෙනවා කියල.” දැනුම පොතේ 85වන පිටුවට පෙරළා, එහි පින්තූරය සමඟ තිබෙන වාක්‍ය ඛණ්ඩය කියවන්න. ඉන්පසු 86වන පිටුවේ තිබෙන පින්තූරය පෙන්වා ඒ ගැන අදහස් දක්වන්න. ඊළඟ හමුවීම සඳහා පසුබිම සකස් කිරීමේ අරමුණින් මෙසේ අසන්න. “ඇයි මිනිස්සු මහලු වෙලා මිය යන්නේ කියල දැනගන්න ඔයා කැමතිද?” හයවන පරිච්ඡේදය සාකච්ඡා කිරීම සඳහා නැවත යන්න.

“මිනිස්සු ආසයි දිගු කාලයක් ජීවත් වෙන්න. ඒ ඇයි කියලා ඔයා කල්පනා කරල තියෙනවාද?” ප්‍රතිචාරයෙන් පසු දැනුම පොතේ 6වන පරිච්ඡේදයට පෙරළා 3වන ඡේදය කියවන්න. සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි යොදාගනිමින් කරුණු ඒත්තුගන්වන්න. එම ඡේදය අවසානයේ තිබෙන ප්‍රශ්න දෙක සඳහන් කරමින් ගෙවැසියාගෙන් අසන්න, ඒවාට උත්තර දැනගන්න කැමතිද කියල. ඔහු කැමති නම් ඊළඟ ඡේද කිහිපය සාකච්ඡා කරන්න.

“අපිට හමු වෙන අයගෙන් අපි ඇහැව්වා මේ ප්‍රකාශය විශ්වාස කරනවාද කියලා.” උත්පත්ති 1:1 කියවා මෙසේ අසන්න. “මේ ප්‍රකාශය සමඟ ඔයා එකඟ වෙනවාද?” එකඟ වෙයි නම්, මෙසේ පවසන්න. “මමත් ඒකට එකඟයි. ඒ කොහොමවුණත්, හැම දෙයක්ම මවලා තියෙන්නේ දෙවි නම් දුෂ්ටකම්වලට වග කියන්න ඕනෙත් ඔහු කියා ඔයා හිතනවාද?” පුද්ගලයාගේ ප්‍රතිචාරයෙන් පසු දේශනාකාරයා 7:29 කියවන්න. දැනුම පොතේ 8වන පරිච්ඡේදයට පෙරළා 2වන ඡේදය කියවන්න. උත්පත්ති 1:1 සමඟ ඔහු එකඟ වෙන්නේ නැත්නම් මැවුම්කරු සිටින බවට තිබෙන සාක්ෂි සලකා බලන්න ඔහුව උනන්දු කරන්න.—මැවුම්කරු පොතේ 10-16; 22-24; 38-44; 52-66 යන පිටු බලන්න.

“සාරධර්ම වේගයෙන් වෙනස් වෙන අද කාලයේ අපට විශ්වාසදායක මඟ පෙන්වීමක් අවශ්‍යයි. මේකට එකඟ වෙන්න ඔයාට පුළුවන්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ලෝකයේ පැරණිතම පොත වුණත් බයිබලය සන්තෝෂවත් පවුල් ජීවිතයකට හා අද කාලයේ ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රායෝගික උපදෙස් සපයනවා.” දැනුම පොතේ 2වන පරිච්ඡේදයට පෙරළා එහි 10වන ඡේදයත්, 2 තිමෝති 3:16 ඇතුළුව 11වන ඡේදයේ මුල් වාක්‍යයත් කියවන්න.

“අපෙත් මේ පොළොවෙත් අනාගතය කොයි වගේ වෙයිද කියල දැනගන්න ඔයා කැමතිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අනාගතය එක වචනයකින් බයිබලය කෙටි කරල දක්වනවා. ඒ තමයි පාරාදීසය! දෙවි මුල් මිනිස් යුවළව මවලා තැබුවේ එහියි. ඒ පාරාදීසය මොන වගේද කියලා මේ කොටසේ විස්තර කරල තියෙන විදිහ බලන්න.” දැනුම පොතේ 8වන පිටුවට පෙරළා, “පාරාදීසයේ ජීවිතය” නමැති උපමාතෘකාව යටතේ තිබෙන 9වන ඡේදය කියවන්න. ඉන්පසුව 10වන ඡේදයේ තිබෙන කරුණු සාකච්ඡා කර, එහි සඳහන් යෙසායා 55:10, 11 කියවන්න. ඡේද 11-16 දක්වා කරුණු සාකච්ඡා කරමින් නැවත ලබා දීමට නියමිත පාරාදීසයේ ජීවිතය මොන වගේද කියා තවදුරටත් දැනගන්න කැමතිදැයි අසන්න.

මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඔබෙන් ලබාගත් අයව නැවත හමුවීමට යන විට ඔබට පුළුවන් මෙසේ පවසන්න.

“පහුගිය වතාවේ මම ඔයාව හමු වුණ වේලාවේදී මුරටැඹ සඟරාවක් මගෙන් ලබාගත්තා. මේ සඟරාවේ සම්පූර්ණ නම මුරටැඹ යෙහෝවාගේ රාජ්‍යය ප්‍රකාශ කරයි. සමහරවිට ඔයා මේක දකින්න ඇති. මෙහි සඳහන් රාජ්‍යය කියන්නේ මොකක්ද, ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ඒ රාජ්‍යයෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අද ඔයාට පැහැදිලි කර දෙන්න මම කැමතියි.” ඉන්පසු ඕනෑ කරන්නේ විවරණිකාවේ 6වන පාඩමට පෙරළා, ගෙවැසියාට වේලාව තියෙන විදිහට පුළුවන් තරම් ඡේද ගණනක් කියවා සාකච්ඡා කරන්න.

“ළඟදී ඔයාව හමු වුණ වේලාවේදී මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල පිටපත් කිහිපයක් මම ඔයාට දුන්නා. මේ සඟරාවලින් බයිබලය හා එහි සපයන සදාචාරමය මඟ පෙන්වීම ගැන මිනිසුන් තුළ ගෞරවයක් ඇති කරනවා. හැම කෙනෙක්ම දේවවචනයේ තියෙන දේවල් තේරුම්ගැනීම අත්‍යවශ්‍ය දෙයක් කියලා මම හිතනවා. ඒ හින්දා අද මම ඔයාව හමු වෙන්න ආවේ, දේවවචනයේ තියෙන දේවල් තේරුම්ගන්න උපකාරවත් වන දෙයක් ඔයාට පැහැදිලි කරල දෙන්නයි.” ඕනෑ කරන්නේ විවරණිකාව හෝ දැනුම පොත හඳුන්වා දී, බයිබල් පාඩමක් කරන්න කැමතිද කියා අසන්න.

පිටු 192කින් යුත් ඕනෑම පැරණි පොතක තිබෙන කරුණු ගෙනහැර දක්වද්දී ඔබට පුළුවන් මෙම ඉදිරිපත් කිරීම අත්හදා බලන්න.

“වටිනාකමින් පිරි අධ්‍යාපනයක අවශ්‍යතාව හුඟදෙනෙක්ගේ අවධානයට ලක් වෙලා තියෙනවා. ඔයා හිතන විදිහට මහත් සන්තෝෂයක් හා ජීවිතයේ සාර්ථකත්වය අද්දකින්න නම් කෙනෙක් ලබාගත යුත්තේ මොන වගේ අධ්‍යාපනයක්ද? [ප්‍රතිචාරයට ඉඩහැරීමෙන් අනතුරුව, හිතෝපදේශ 9:10, 11 කියවන්න.] මේ අත්පොත [ඔබ ඉදිරිපත් කරන පොතේ මාතෘකාව සඳහන් කරන්න] පදනම් වෙලා තියෙන්නේ බයිබලය මතයි. සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම ලබාගන්න තියෙන එකම මූලාශ්‍රය මොකක්ද කියලා එය පෙන්වා දෙනවා.” පොතේ සඳහන් විශේෂ කරුණක් පෙන්වා දී එය කියවන්න පුද්ගලයාව දිරිගන්වන්න.

ඍජු එළඹීම

බයිබල් පාඩමක් පටන්ගැනීම සඳහා මතු දැක්වෙන ඍජු එළඹීම්වලින් එකක් අත්හදා බලන්න.

“වැදගත් ප්‍රශ්නයකට බයිබලයේ සපයන උත්තරය මිනිත්තු කිහිපයකින් ඔයාට දැනගන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියාද? බලන්න මේ ප්‍රශ්නය, . . .” අනතුරුව ඕනෑ කරන්නේ විවරණිකාවේ පාඩම්වලින් එකක ආරම්භයේ සඳහන් ගෙවැසියා උනන්දුවක් දක්වයි කියා ඔබට සිතෙන ප්‍රශ්නයක් අසන්න.

“මම ඔයාව හමු වෙන්න ආවේ අපි නොමිලේ පවත්වන බයිබල් පාඩම් මාලාව කරන ආකාරය පෙන්වන්නයි. මේකට ගත වෙන්නේ විනාඩි පහක් විතරයි. ඔයාට පුළුවන්ද විනාඩි පහක් දෙන්න.” ගෙවැසියා කැමති නම්, ඕනෑ කරන්නේ විවරණිකාවේ 1වන පාඩම යොදාගනිමින් පාඩම් කරන ආකාරය පෙන්වන්න. තෝරාගත් ශුද්ධ ලියවිලි පාඨ එකක් හෝ දෙකක් විතරක් කියවන්න. ඉන්පසු මෙසේ අසන්න. “කවදාද ඔයාට පුළුවන් විනාඩි 15ක් වෙන් කරලා ඊළඟ පාඩම සාකච්ඡා කරන්න.”

“හුඟදෙනෙක් ළඟ බයිබලයක් තියෙනවා. ඒ වුණත්, අපි හැම කෙනෙක්ම ජීවිතයේ මුහුණ දෙන වැදගත් ප්‍රශ්නවලට ඒකේ උත්තර තියෙනවා කියල ඒ අය දන්නේ නැහැ. මේ ආධාරකය [ඕනෑ කරන්නේ විවරණිකාව හෝ දැනුම පොත] යොදාගෙන සතියකට පැයක වගේ කාලයක් පාඩම් කළොත් ඔයාට පුළුවන් මාස කිහිපයකින් බයිබලය ගැන මූලික අවබෝධයක් ලබාගන්න. මේ පාඩම් මාලාව කරන විදිහ ඔයාට පෙන්වන්න මම කැමතියි.”

“මම ඔයාව හමු වෙන්න ආවේ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඨමාලාවක් කරන්න ඔයා කැමතිද කියල දැනගන්නයි. ඔයා කැමති නම්, මම ආසයි, රටවල් 200ක විතර සිටින මිනිස්සු පවුල් හැටියට බයිබලය ගැන සාකච්ඡා කරන ආකාරය මිනිත්තු කිහිපයකින් පෙන්වන්න. මේ මාතෘකාවලින් ඕනෑම එකක් සාකච්ඡා කරන්න පුළුවන්. [දැනුම පොතේ පටුන පෙන්වන්න.] ඔයා වැඩියෙන්ම කැමති මොන මාතෘකාව ගැන සාකච්ඡා කරන්නද?” තෝරාගැනීමට ගෙවැසියාට කාලය දෙන්න. ඔහු හෝ ඇය තෝරාගත් පරිච්ඡේදයට පෙරළා, එහි පළමුවන ඡේදයෙන් පාඩම පටන්ගන්න.

“මම කිසිම මුදලක් අය කරන්නේ නැතුව කිහිපදෙනෙක් එක්ක බයිබලය පාඩම් කරනවා. තව ශිෂ්‍යයන් කිහිපදෙනෙක් එක්ක පාඩම් කරන්න මට වේලාව තියෙනවා. බයිබලය පාඩම් කරන්න අපි යොදාගන්නේ මේ ආධාරක පොතයි. [දැනුම පොත පෙන්වන්න.] මේ පාඩම් මාලාවට ගත වෙන්නේ මාස කිහිපයක් විතරයි. අපි මහලු වෙලා මිය යන්නේ ඇයි? මිය යන අපේ ප්‍රේමනීයයන්ට මොනවද වෙන්නේ? දෙවිට ළං වෙන්න අපිට පුළුවන් කොහොමද? මේ වගේ ප්‍රශ්නවලට උත්තර මේ පාඩම් මාලාවෙන් දැනගන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියල ඔයාට පෙන්වන්නද?”

උනන්දුව වැඩි කරවන බලපෑමෙන් යුත් ඉදිරිපත් කිරීමක් ඔබ සූදානම් කරගෙන තිබෙනවා නම් එය දිගටම භාවිත කරන්න! කරන්න තිබෙන්නේ එය වත්මන් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්වලට ගැළපෙන විදිහට සකස් කරගැනීමයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න