ළඟ තබාගන්න
ක්ෂේත්‍ර සේවයේදී ඉදිරිපත් කිරීමට යෝජනා
මාසයට අදාළ පොත් පත් ඉදිරිපත් කිරීම් සූදානම් වීම සඳහා මතු දැක්වෙන යෝජනා යොදාගන්න.
යෙහෝවාට ළං වන්න
“දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාස කරන බොහෝදෙනෙක් කැමතියි ඔහුට ළං වන්න. ඔබ දැනගෙන හිටියාද දෙවි ඔහුට ළංවීමට අපට ආරාධනා කරනවා කියලා? [යාකොබ් 4:8 කියවන්න.] මේ ප්රකාශනය පිළියෙළ කර තිබෙන්නේ දෙවිට ළංවීම සඳහා මිනිසුන්ට තමන්ගේ බයිබලය පාවිච්චි කිරීමට උදව් කරන්නයි.” දාසයවන පිටුවෙහි සඳහන් පළමුවන ඡේදය කියවන්න.
“අද දින අයුක්තිය හාත්පස පැතිරිලා. ඒක හරියට මේ පදේ විස්තර කරලා තියෙනවා වගෙයි. [දේශනාකාරයා 8:9ආ කියවන්න.] හුඟක් අය කල්පනා කරනවා ඇත්තටම දෙවි සැලකිල්ලක් දක්වනවාද කියලා. [දැන් 119වන පිටුවේ 4වන ඡේදයේ මුල් වාක්‍ය දෙක කියවන්න.] මේ ඡේදයේ පැහැදිලි කරනවා ඇයි දෙවි යම් කලකට අයුක්තියට ඉඩ දීලා තියෙන්නේ කියලා.”
ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
“විසඳුමක් නැතැයි පෙනෙන ගැටලු විසඳගැනීමට හොඳ උපදෙස් ලබාගන්න පුළුවන් කොහෙන්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු මතෙව් 7:28, 29 කියවන්න.] මේකේ, මිනිසුන් යේසුස්ගේ කන්ද උඩ දේශනාවට ප්‍රතිචාරය දැක්වූ ආකාරය විස්තර කරනවා. සමහරු ඒ ගැන මේ වගේ දේවල් කියලා තියෙනවා. [පොතේ 152වන පිටුවේ දැක්වෙන අදහස් පෙන්වන්න.] මේ පරිච්ඡේදයේ යේසුස්ගේ ජීවිතය හා ඉගැන්වීම් ගැන කතා කරනවා.”
“‘දෙවි කෙනෙක් ඉන්නවා නම්, කවදා හරි ඔහු මේ ලෝකයේ තිබෙන දුක් වේදනා සහ අයුක්තිය ඉවත් කරන්න පියවරක් ගනියි කියලා ඔයා හිතනවාද?’ [ප්‍රතිචාරයට ඉඩහරින්න. එළිදරව් 21:3, 4, කියවන්න.] දුක් වේදනා සහ ඒවාට මුල් වී ඇති දේවල් ඉවත් කරලා සහනයක් ලබා දෙන්න දෙවි කරන්නේ මොකක්ද කියලා මේ පොතේ පැහැදිලි කරනවා.” දහවෙනි පරිච්ඡේදය පෙන්වන්න.
සෝදිසියෙන් සිටින්න!
“අද දකින්න තිබෙන දරුණු ගැටලු සහ හද සලිත කරවන සිද්ධීන් ගැන හුඟදෙනෙක් සැලකිලිමත් වෙනවා. [ප්‍රදේශයේ සිදු වූ සිද්ධියක් සඳහන් කරන්න.] දෙවිගේ රාජ්‍යය මගින් ළඟදීම පොළොවේ කටයුතු පාලනය කරයි කියන එකට ඒවා ලකුණක් කියලා ඔයා දැනගෙන හිටියාද? [පිළිතුරු දීමට ඉඩ දෙන්න. පසුව ඔබ සඳහන් කළ සිද්ධියට ගැළපෙන බයිබල් පදයක් සඳහන් කරන්න. මතෙව් 24:3, 7, 8; ලූක් 21:7, 10, 11; හෝ 2 තිමෝති 3:1-5.] මෙම සිද්ධීන්වල තිබෙන සුවිශේෂ අර්ථය ගැන අපි අවධානයෙන් සිටීම හදිසි දෙයක් වන්නේ ඇයි කියලා මේ විවරණිකාවේ විස්තර කරනවා.”
“හුඟදෙනෙක් සමාජයේ සිදු වන හද කම්පා කරවන සිද්ධීන් නිසා, එහෙමත් නැත්නම් තමන්ට සිදු වන දුක් මුසු සිද්ධීන් නිසා සිත් තැවුලෙන් සිටිනවා. මෙවැනි දේවල් වළක්වන්න දෙවි කිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයි කියලා සමහරු කල්පනා කරනවා. බයිබලයේ සහතික වශයෙන්ම අපට කියා තිබෙනවා දෙවි ඉතාමත් ඉක්මනින් මිනිසාගේ දුක් මුසු තත්වය ඉවත් කිරීමට කටයුතු යොදනවා කියලා. [එළිදරව් 14:6, 7 කියවන්න.] දෙවිගේ විනිශ්චය මිනිසුන්ට බලපාන්නේ කොහොමද කියලා මේකේ සඳහන් වෙනවා. [කියවන්න 2 පේතෘස් 3:10, 13.] මේ වැදගත් විෂය ගැන මේ විවරණිකාවේ වැඩි විස්තර තියෙනවා.”
සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
“මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න ඔයාට ආරාධනාවක් ලැබුණොත් ඒ ආරාධනාව ඔයා පිළිගන්නවාද? [පොතේ 4-5වන පිටුවල පින්තූර පෙන්වලා ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ වගේ ජීවිතයක් සදහටම භුක්ති විඳින්න අත්‍යවශ්‍ය වෙන්නේ මොකක්ද කියලා දෙවිගේ වචනයේ සඳහන් වෙනවා. [යොහන් 17:3 කියවන්න.] සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම ලබාගන්න මේ පොත ඔයාට උපකාර කරයි.” ඊළඟ වතාවේදී පළමුවෙනි පරිච්ඡේදයේ මුල් ඡේද පහ සාකච්ඡා කිරීමට සැලසුම් යොදන්න.
පොතේ 188-9වන පිටුවල ඇති පින්තූරය සහ ශීර්ෂ පාඨය පෙන්වා නිවැසියාගෙන් මෙසේ අසන්න. “දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන කාලයේදී ඔබ පාරාදීසයේ ජීවත් වීමට බලාපොරොත්තු වෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහැර යෙසායා 11:9 කියවන්න.] පාරාදීසය ගැන බයිබලයේ කියන දේ ගැනත්, අපිට එහි ජීවත් වෙන්න හැකි වෙන්නේ කොහොමද කියලාත් දැනගන්න මේ පොත ඔයාට උපකාර කරයි.” ඊළඟ වතාවේදී පළමුවෙනි පරිච්ඡේදයේ 11-16 ඡේද සාකච්ඡා කිරීමට සැලසුම් යොදන්න.
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
“මේ කියමන මිනිස්සු පිළිපැද්දොත් ලෝකය මීට වඩා හුඟක් හොඳ තැනක් වේවි කියා ඔයා හිතනවාද? [මතෙව් 7:12අ කියවන්න. ඉන්පසු ප්‍රතිචාරයට ඉඩ දෙන්න.] මේ පොතේ හුඟක් පාඩම්වල විස්තර කරලා තියෙනවා මෙතෙක් ජීවත් වූ උතුම්ම ගුරුවරයා උගන්වපු පාඩම් බොහොමයක්.” දැන් 17වන පරිච්ඡේදයේ පින්තූරු සහ ඒවාට අදාළ ශීර්ෂ පාඨ පෙන්වන්න.
“අද දෙමාපියන් වැඩිදෙනෙක් තමන්ගේ දරුවන් තුළ වටිනා සාරධර්ම පැලපදියම් කිරීමට උත්සාහ කරනවා. මේක වැදගත් දෙයක් කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩ දෙන්න. ඉන්පසු හිතෝපදේශ 22:6 කියවන්න.] මේ බලන්න මේකේ දිරිගන්වලා තියෙනවා දෙමාපියන් තමන්ගේ දරුවන්ට කුඩා කාලයේ ඉඳලම පුහුණුවක් දෙන්න ඕනෙ කියලා. මේ පොත පිළියෙල කරලා තියෙන්නේ අන්න ඒක කරන්න ඔවුන්ට උදව් කරන්නයි.” මෙහි 15 හෝ 18 පරිච්ඡේදවල පින්තූරු සහ ශීර්ෂ පාඨ පෙන්වන්න.
“දෙමාපියන් තමන්ගේ දරුවන් අහන ප්‍රශ්න ගැන හුඟක් වෙලාවට පුදුම වෙනවා. සමහරක් ප්‍රශ්නවලට පිළිතුරු දෙන එක නම් හරිම අමාරුයි. එහෙම නේද? [ප්‍රතිචාරයට ඉඩ දෙන්න. ඉන්පසු එෆීස 6:4 කියවන්න.] දරුවන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මේ පොත දෙමාපියන්ට අද දින උපකාරයක් වෙනවා.” දැන් මේ පොතේ 11 සහ 12 හෝ 34 සිට 36 දක්වා පරිච්ඡේදවල අඩංගු පින්තූරු සහ ශීර්ෂ පාඨ කීපයක් පෙන්වන්න.
පවුලේ සන්තෝෂයට රහස
යෞවනයෙකු මුණගැසුණු විට මෙසේ පැවසීමට ඔබට හැකියි: “ඔයාගේ වයසේ ඉන්න හුඟදෙනෙක් විවාහය ගැන කල්පනා කරනවා. ඒත් මේ විෂය ගැන විශ්වාසදායක තොරතුරු හොයාගන්න ඔයාට පුළුවන් කොහෙන්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යෞවන අය හුඟක් වෙලාවට කියන්නේ තවම විවාහයට තමන් සූදානම් නැහැ කියලයි. ඒ ගැන මේ පොතේ කියන දේ මං ඔයාට පෙන්වන්නම්. පවුලේ සන්තෝෂය පොතේ 14වෙනි පිටුවට පෙරළා 3වෙනි ඡේදය කියවන්න. ඉන්පසු පරිච්ඡේදයේ තියෙන හැම උප මාතෘකාවක්ම පෙන්වන්න. පොත ඉදිරිපත් කර නැවත බැලීමට සැලසුම් යොදන්න.
දෙමාපියෙකු සමඟ කතා කරන විට ඔබට මෙසේ පැවසිය හැකියි: “දරුවන් හදාවඩා ගැනීමේදී යොදාගත හැකි ප්‍රායෝගික මඟ පෙන්වීම් ටිකක් අපි දෙමාපියන්ට පෙන්වන්න කැමතියි. ඒවා පවුලේ සන්තෝෂයට රහස කියන මේ පොතේ සඳහන් වෙලා තියෙනවා.” පෙරළන්න 55වෙනි පිටුවට. කියවන්න 10වෙනි ඡේදය. ඉන්පසු 11වෙනි ඡේදයේ තියෙන ද්විතීය කථාව 6:6, 7 කියවන්න. ඉන්පසු 12 සිට 16වන ඡේදවල ඇල අකුරින් තියෙන වාක්‍ය කියවන්න. දැන් මෙසේ අසන්න. “දෙමාපියන් හැටියට හොඳ සාර්ථකත්වයක් ලබාගන්න මේ පොත හුඟදෙනෙක්ට උපකාර කරලා තියෙනවා. මේ පොත කියවන්න ඔයා කැමති නම් මං කැමතියි මේක දෙන්න.”
යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු
“ගැටලුවලින් පිරි මේ කාලයේදී හැදෙන වැඩෙන එක ලේසි දෙයක් නෙවෙයි. බැරෑරුම් තීරණ ගන්න සිද්ධ වෙන තත්වයන්ට යෞවනයන් හුඟදෙනෙක් මුහුණ දෙනවා. ‘මත්පැන් බොන එක හොඳද? මත් ද්‍රව්‍ය ගන්න එක හොඳද? විරුද්ධ ලිංගයේ අය සමඟ පැවැත්වීමට සුදුසු වෙන්නේ මොන වගේ ඇසුරක්ද?’ මේ වගේ ප්‍රධාන ප්‍රශ්න ගැන යෞවනයන් අහනකොට ඔවුන්ට බොහෝවිට ලැබෙන්නේ පරස්පර විරෝධි උත්තර. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් උපදෙස් ගන්නේ කාගෙන් කියලාද ඔයා හිතන්නේ? [අදහස් දක්වන්න ඉඩහරින්න.] යෞවනයන් අසන ප්‍රශ්න––ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු කියන මේ පොතේ උපකාරවත් තොරතුරු දීලා තියෙනවා. [පටුනට පෙරළා පොතේ අඩංගු විවිධ විෂයන්වලට අවධානය යොමු කරන්න.] යෞවනයන්ට අවශ්‍ය වන්නේ ඍජු, යථාර්ථවාදී පිළිතුරුයි. මේ පොතේ පිළිතුරු සපයලා තියෙන්නේ බයිබලය පදනම් කරගෙනයි.”
එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය!
“සමහරවිට ඔයාට දැනගන්න ලැබෙන්න ඇති. [ආරංචිය සඳහන් කරන්න. ඉතාමත් කනගාටුදායක විදිහට ජීවිතය කෙටි කාලයකින් අවසන් වෙද්දී, මරණයට පත් වුණු අයගේ පවුල්වල ඉන්න අයට මොන වගේ සැනසිල්ලක් ලබා දෙන්න පුළුවන්ද කියලා හුඟදෙනෙක් කල්පනා කරනවා. ඔයා මේ ගැන මොකක්ද හිතන්නේ?” ප්‍රතිචාරයට ඉඩ හරින්න. අනතුරුව පොතේ 299වන පිටුවට පෙරළා එහි චිත්‍රයට නඟා තියෙන නැවත නැඟිටීමේ දර්ශනය පෙන්වන්න. මේ විදිහට පවසමින් සාකච්ඡාව දිගටම කරගෙන යන්න. “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයවත් පාරාදීස පොළොවේ ජීවනයට නැවත ගෙනෙන්න යනවා කියලා දැනගත්තාම හුඟදෙනෙක් පුදුම වෙනවා. [මෙහි 297වෙනි පිටුවේ සඳහන් 9වන ඡේදයේ උපුටා දක්වා තියෙන ක්‍රියා 24:15 කියවීමෙන් අනතුරුව 10වන ඡේදයේ දැක්වෙන පැහැදිලි කිරීම කරන්න.] අනාගතය සඳහා දෙවිගේ අරමුණු ගැන තවත් සිත්ගන්නා විස්තර බොහොමයක් මේ පොතේ සාකච්ඡා කරනවා.”
මගේ බයිබල් කතන්දර පොත
ඔබේ ප්‍රදේශයේ සේවයේ යෙදෙන විට ඔබට මෙසේ පැවසිය හැකියි. “ඔබේ අසල්වැසියෙකු හැටියට මම කැමතියි ළඟදීම ලොව පුරා ඇති වෙන සාමය ගැන විශ්වාසදායක පොරොන්දුවක් ගැන ශුභාරංචියක් ඔයාට කියන්න. ඔයා දකින්න කැමතිත් ඒ දේම නෙවෙයිද? [පිළිතුරට ඉඩහරින්න.] සාමය ගේන්න මිනිස්සු මොන තරම් වෑයමක් දරනවාද කියලා අපිට පේනවා. ඒත් සදාකාල සාමය ගේන්නේ කවුද කියලා බයිබලයේ සඳහන් වෙනවා. [ගීතාවලිය 46:8, 9 කියවන්න.] යුද්ධ සහ යුද්ධ ඇති කරන අය නැති වුණාට පස්සේ නැවත කවරදාකවත් පොළොවේ සතුරුකමක් තිබීමට දෙවි ඉඩ දෙන්නේ නැහැ. දෙවිගේ බලයෙන් ලියූ ගීතාවලිය 72:7 පවසන වදන්වලින් අපිට ඒ ගැන සහතිකයක් දීලා තියෙනවා. [කියවන්න.] සාමකාමී ලොව තුළ ජීවත් වෙන්න දෙවි ප්‍රස්තාව ලබා දෙන්නේ දෙවි ගැන ඉගෙනගෙන ඔහුට සේවය කරන අයටයි. මගේ බයිබල් කතන්දර පොත එහෙම කරන්න හුඟදෙනෙක්ට උපකාර කරලා තියෙනවා. මේක කියවලා ඔයා ලොකු දිරිගැන්වීමක් ලබයි කියලා මට විශ්වාසයි. ඔයා කැමති නම් මට පුළුවන් මේක කියවන්න ඔයාට දෙන්න.”
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
“නිවාඩු තියෙන මේ කාලයේදී බොහෝදෙනෙක් යේසුස් ගැන කල්පනා කරනවා. කෙසේවෙතත් ලෝකයේ පුරා මෙතරම් මහත් දේ පවතින නිසා යේසුස් සැබවින්ම අපි ගැන සලකනවාද කියා සමහරු කල්පනා කරනවා විය හැකියි. ඔබට ඒ ගැන හැඟෙන්නේ කෙසේද? පිළිතුරට ඉඩහරින්න. පොතේ 24වෙනි පරිච්ඡේදයට පෙරළා යේසුස් මේ පොළොවට ආ කාරණය කෙටියෙන් සාකච්ඡා කරන්න. ඉන්පසු යොහන් 15:13 කියවා, අන්‍යයන් වෙනුවෙන් යේසුස් හද පත්ලෙන්ම දැක්වූ ප්‍රේමය ගැන අවධාරණය කරන්න.
“යමෙක් යේසුස් ක්‍රිස්තුස් ගැන සඳහන් කරන විට බොහෝදෙනෙක් ඔහු ගැන සිතන්නේ කුඩා බිලිඳෙකු වශයෙන් නැත්නම් මිය යෑමට දුක් විඳිමින් සිටින මිනිසෙකු වශයෙනුයි. යේසුස් ගැන ඔවුන් හිතන විදිහට ඇතුළත් වන්නේ ඔහුගේ උපත සහ ඔහුගේ මරණය පමණයි. ඔහුගේ ජීවිත කාලයේදී ඔහු කළ කී දේවල් බොහෝවිට එතරම් සැලකිල්ලට භාජන වන්නේ නැහැ. ඔහු ඉටු කළ දෙය මේ පොළොව මත මෙතෙක් ජීවත් වූ සෑම පුද්ගලයෙකුටම බලපානවා. ඔහු අප වෙනුවෙන් කළ පුදුමාකාර දේවල් අප විසින් හැකි තරම් ඉගෙනගැනීම අතිශයින් වැදගත් වන්නේ ඒ නිසයි.” යොහන් 17:3 කියවන්න. මුල් පිටුවේ ඇති හැඳින්වීමට හරවා එහි හතරවන ඡේදය කියවන්න.
දෙවිට අපෙන්
ඕනෑ කරන්නේ කුමක්ද?
“දෙවි අපි සඳහා අරමුණු කළේ අද අපි මුහුණ පානවා වගේ කරදරවලින් පිරුණු ජීවිතයක් භුක්ති විඳීම කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු මතෙව් 6:10 කියවන්න.] ඇත්තටම දෙවිගේ රාජ්‍යය මොකක්ද කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද?” හයවන පාඩමට පෙරළා පාඩම ආරම්භයේදීම මතු කර තියෙන ප්‍රශ්න කියවන්න. පාඩමෙන් සාකච්ඡාවක් පටන්ගන්න. නැතහොත් ඊළඟ වතාවේ එසේ කිරීමට සැලසුම් යොදන්න.
“නවීන සමාජයේ දියුණුවක් දකින්න තිබුණත් ලෙඩ රෝග සහ මරණය නිසා මිනිස්සු හුඟක් දුක් වේදනා විඳිනවා. අසනීප, මහලු විය සහ මරණය සම්බන්ධයෙන් යේසුස් මොකක්ද කරන්න යන්නේ කියලා ඔයා දන්නවාද?” ප්‍රතිචාරයට ඉඩහරින්න. එම පුද්ගලයාට උත්තර දැනගන්න ඕනෙ නම් 5වන පාඩමට පෙරළා 5-6වන ඡේද සඳහා තිබෙන ප්‍රශ්න කියවන්න. ඡේද සාකච්ඡා කරන්න. එසේ නැතහොත් ඊළඟ වතාවේදී එසේ කිරීමට සැලසුම් යොදන්න.
එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
“ඔයා හිතන විදිහට, අපේ ප්‍රශ්න ගැටලුවලදී අපිට කාගෙන්ද උපකාරයක් ලබාගන්න පුළුවන් වෙන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු රෝම 15:4 කියවන්න.] ශුද්ධ ලියවිලිවලට පුළුවන් අපිට උපදෙස්, සැනසීම හා බලාපොරොත්තුවක් ලබා දෙන්න. එමගින් අපිට දුෂ්කරතා විඳදරාගන්න ශක්තියක් ලැබෙනවා. බයිබලය කියවීමෙන් අපිට බොහෝ ප්‍රයෝජන ලබාගන්න පුළුවන් ආකාරය ගැන උපකාරවත් යෝජනා මේ පොතේ සඳහන් වෙනවා.” තිස්වෙනි පිටුවේ තියෙන කාරණා හතර විශේෂ කොට දක්වන්න.
“යේසුස් මේ පොළොවේ සිටින කාලයේදී දෙවිගේ රාජ්‍යය පැමිණේවා කියා මනුෂ්‍යයන් හුඟදෙනෙක් යාච්ඤා කරමින් හිටියා. එම රාජ්‍යය පැමිණුණොත් මිනිසුන්ට සිද්ධ වෙන්නේ මොන වගේ යහපතක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු දානියෙල් 2:44 කියවන්න.] දෙවිගේ රාජ්‍යය කියන්නේ මොකක්ද, එයින් මොන වගේ දෙයක්ද ඉටු කරන්නේ කියලා මේ පොතේ පැහැදිලි කරනවා. එහි ධර්මිෂ්ඨ පාලනයෙන් අපිට ප්‍රයෝජන ලබාගත හැකි ආකාරය ගැනත් ඒකේ කතා කරනවා.” පොතේ 92-3වන පිටුවල පින්තූරය පෙන්වන්න.