සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
නැවත බැලීම් සහ බයිබල් පාඩම් කරන්න අලුත් සඟරාවක්
1. නැවත බැලීම් සහ බයිබල් පාඩම් කරන්න ලැබුණු අලුත් සඟරාව මොකක්ද?
1 සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්! කියන සඟරාව පහුගිය තුන්දින සමුළුවේදී අපිට ලැබුණා. මේ අලුත් සඟරාව සකස් කරලා තියෙන්නෙ නැවත බැලීම් සහ බයිබල් පාඩම් පටන්ගන්න උදව්වක් හැටියට කියලා දැනගත්තම අපි හුඟක් සතුටු වුණා. මේක මුද්‍රණය කරලා තියෙන්නේ ඕනෑ කරන්නේ කියන සඟරාව වෙනුවට. මේ සඟරාවේ තොරතුරු තියෙන්නෙ කෙටියෙන් නිසා දොරකඩ ළඟ ඉඳලා වුණත් පාඩමක් පටන්ගන්න පුළුවන්. දෙවියන්ව සතුටු කරන්න ක්‍රිස්තියානියෙක් කළ යුතු දේවල් ගැන ඕනෑ කරන්නේ සඟරාවේ තියෙන නිසා නවකයෙකුට එය එකපාරටම පිළිගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි අලුත් සඟරාවේ කතා කරන්නෙ බයිබලේ තියෙන ප්‍රීතිමත් පණිවිඩය ගැනයි.—ක්‍රියා 15:35.
2. ප්‍රීතිමත් පණිවිඩයක් කියන සඟරාව සකස් කෙරුවේ ඇයි?
2 ඇයි මේ වගේ සඟරාවක් සකස් කෙරුවේ? බයිබලයේ තියෙන ඉගැන්වීම් ඉක්මනින් මිනිසුන්ගේ හිත්වලට කාවද්දන්න සරල ප්රකාශනයක් තිබුණොත් හොඳයි කියලා සහෝදරයන්ට හිතිලා තියෙනවා. එතකොට මුලින්ම ඒකෙන් පාඩමක් පටන් අරගෙන ඊටපස්සේ බයිබලයේ ඉගැන්වීම් පොතට මාරු වෙන්න පුළුවන් නිසයි. ඒ වගේම පොතකින් පාඩම් කරනවා කිව්වම සමහරු ටිකක් අදිමදි කරනවා. තවත් හේතුවක් තමයි මේ වගේ සඟරාවක් ගොඩක් භාෂාවලට ලේසියෙන් පරිවර්තනය කරන්න පුළුවන් වීම.
3. අපේ අනික් පොත් පත්වලට වඩා මේ සඟරාවේ ඇති වෙනස මොකක්ද?
3 සකස් කරලා තියෙන විදිහ: අපේ පොත් පත් ඕන කෙනෙකුට තනිවම වුණත් කියවලා තේරුම්ගන්න පුළුවන්. ඒත් මේ සඟරාව වෙනස්. මේක සකස් කරලා තියෙන්නෙ තව කෙනෙකුගේ උදව් ඇතුව සාකච්ඡා කරන විදිහට. ඒ නිසා මේ සඟරාව දෙන්න කලින් ඡේදයක් හෝ දෙකක් සාකච්ඡා කරලා සඟරාව දෙනවා නම් වඩාත් හොඳයි. ඡේද කෙටි නිසා දොරකඩදී හරි ව්‍යාපාරික ස්ථානයේදී හරි සාකච්ඡා කරන්න පුළුවන්. පළවෙනි පාඩමෙන් පටන්ගන්නවා නම් හොඳයි. ඒත් කොතැනින් පටන්ගත්තත් ප්‍රශ්නයක් නෑ.
4. කෙළින්ම බයිබලයෙන් උගන්වන්න මේ සඟරාව උදව් වෙන්නෙ කොහොමද?
4 අපේ සඟරා පොත් පත්වල ප්‍රශ්නවලට උත්තර සාමාන්‍යයෙන් ඡේදයේම තියෙනවා. ඒත් මේ සඟරාවේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න වෙන්නේ බයිබලයෙන්. ගොඩක් අය කැමති අපේ පොත් පත්වලින් ඉගෙනගන්නවාට වඩා බයිබලයෙන් ඉගෙනගන්න. ඒ නිසා එක බයිබල් පදයක්වත් ඡේදයේ සඳහන් වෙලා නැති තරම්. බයිබල් පද බයිබලයෙන්ම පෙරළලා බලන්න වෙනවා. මේ විදිහට කරද්දී ශිෂ්‍යයා තේරුම් ගන්නවා එයා ඉගෙනගන්නේ කවුරුත් කියන දේවල් නෙමෙයි බයිබලේ තියෙන සත්‍ය තොරතුරු කියලා.—යෙසා. 54:13.
5. ගුරුවරයා පාඩමට කලින් හොඳින් සූදානම් වෙන එක වැදගත් ඇයි?
5 මේ සඟරාව හදලා තියෙන්නෙ ප්‍රශ්න අහන්න ශිෂ්‍යයාව පොලඹවන්න. ඒ වගේම ගුරුවරයාට එයාගේ ඉගැන්වීමේ හැකියාව පාවිච්චි කරන්න. ඒ නිසයි සඟරාවේ බයිබල් පදවල අදහස තේරුම් කරලා නැත්තේ. සාකච්ඡාවට කලින් හොඳට සූදානම් වෙන එක ඒ නිසා අත්‍යවශ්‍යයි. මේක මතක තියාගන්න. බයිබල් පද තේරුම් කරලා දෙන්න අපි ආස වුණත් ශිෂ්‍යයාම ඒක කියවලා තේරුම්ගත්ත විදිහ කියන්න ඉඩ දුන්නම එකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. එයාගේ හිතේ තියෙන දේ දැනගැනීමේ අරමුණින් ප්‍රශ්න අහනකොට තර්කානුකූලව හිතන්න එයා ඉගෙනගන්නවා.—ක්‍රියා 17:2.
6. මේ සඟරාව (1) දෙවි සහ බයිබලය ගැන සැක කරන අයට කතා කරද්දී (2) ගෙයින් ගෙට සේවයේදී (3) පාඩමකට කැමතිද කියලා කෙළින්ම අහද්දී (4) නැවත බැලීම් කරද්දී පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
6 මාසයට අදාළ ඉදිරිපත් කිරීම මොකක් වුණත් මේ සඟරාවෙන් ඕනෙම වෙලාවක පාඩමක් පටන්ගන්න පුළුවන්. දොරකඩ ඉඳන්ම බයිබල් පාඩමක් පටන්ගන්න හුඟක් අයට මේ සඟරාව උදව් වෙයි. සමුළුවේදි කිව්වා වගේ නැවත බැලීම් කරන්න ලොකු ආසාවක් ඇති කරන්නත් මේක උදව් වෙයි.—එකොළහේ සිට දහතුන දක්වා පිටුවල ඇති කොටු බලන්න.
7. මේ සඟරාවෙන් පාඩමක් කරන්න පුළුවන් කොහොමද?
7 පාඩමක් කරන විදිහ: මුලින්ම පාඩමක් තෝරගෙන එකේ තියෙන තද කලු අකුරෙන් තියෙන ප්‍රශ්නවලින් එකක් කියවන්න. ඊටපස්සෙ ඒකට අදාළ ඡේදයත් “කියවන්න” කියලා තියෙන බයිබල් පදය හෝ පදත් කියවන්න. කියවපු බයිබල් පදයේ අදහස තේරුම්ගන්න උදව් වෙන ප්‍රශ්න නිවැසියාගෙන් අහන්න. ඊටපස්සෙ කාරණය එයාට තේරුණාද කියලා දැනගන්න මුලින් අහපු ප්‍රශ්නෙ ආයෙත් අහන්න. මුල් අවස්ථාවලදී එක ප්‍රශ්නයක් යටතේ තියෙන තොරතුරු විතරක් සාකච්ඡා කරන එක වඩා හොඳයි. ඒත් සාකච්ඡාව පිළිවෙලට කෙරීගෙන යද්දී සමහරවිට මුළු පාඩමම වුණත් කරන්න පුළුවන් වෙයි.
8. බයිබල් පදයක් හඳුන්වලා දෙන්න ඕනෙ කොහොමද? ඒ ඇයි?
8 තද කලු අකුරෙන් තියෙන ප්‍රශ්නෙට අදාළ උත්තරේ හුඟක් වෙලාවට කෙළින්ම සඳහන් වෙන්නේ “කියවන්න” කියලා තියෙන බයිබල් පදේ. ඒ වගේම බයිබල් පදයක් හඳුන්වලා දෙද්දි “බලන්න පාවුල් කියපු දේ” නැත්නම් “බලන්න යෙරෙමියා කියපු අනාවැකිය” වගේ දේවල් කීමෙන් වළකිනවා නම් වඩා හොඳයි. එතකොට ශිෂ්‍යයා හිතයි අපි උගන්වන්නේ මිනිස්සුන්ගේ පොත්වලින් කියලා. ඒ වෙනුවට “දේවවචනයේ කියන දේ බලන්න” නැත්නම් “බයිබලේ තියෙන මේ අනාවැකිය ගැන හිතන්න” වගේ දේවල් කියනවා නම් හොඳයි.
9. සඳහන් කරලා තියෙන හැම බයිබල් පදයක්ම කියවන්න ඕනෙද?
9 අපි ඔක්කොම බයිබල් පද කියවනවද නැත්නම් “කියවන්න” කියලා තියෙන ඒවා විතරක් කියවනවද? ඒක ශිෂ්‍යයාගේ තත්වය අනුව වෙනස් වෙනවා. හැම බයිබල් පදයක්ම ඡේදයට අදාළ නිසා හැම පදයකම සාකච්ඡා කරන්න වටින තොරතුරු තියෙනවා. ඒත් ශිෂ්‍යයාට තියෙන කාලය, එයාගේ උනන්දුව සහ හැකියාව අනුව “කියවන්න” කියලා තියෙන පදය විතරක් සාකච්ඡා කරන්න සමහරවිට සිදු වෙයි.
10. බයිබලයේ ඉගැන්වීම් පොතට මාරු වෙන්න පුළුවන් කොයි අවස්ථාවේදීද?
10 බයිබලයේ ඉගැන්වීම් පොතට මාරු වෙන්නෙ කොයි වෙලාවෙද? සාකච්ඡාව පිළිවෙලකට කරගෙන යද්දි දිගටම සඟරාවෙන්ම කරනවද නැත්නම් බයිබලයේ ඉගැන්වීම් පොතට මාරු වෙනවද, එහෙමනම් ඒකට සුදුසු අවස්ථාව මොකක්ද කියලා තීරණය කරන්න ඔයාට පුළුවන්. සඟරාවෙන් පොතට මාරු වෙන්න තීරණය කරනවා නම් පළවෙනි පාඩමේ ඉඳන්ම කරන්න ඕනෙද? ශිෂ්‍යයාගෙන් ශිෂ්‍යයා වෙනස් නිසා පළවෙනි පාඩමේ ඉඳලා කරන එක අනිවාර්යම නෑ. ඒත් දැනටමත් සාකච්ඡා කරපු දේවල් විස්තර ඇතුව නැවත සාකච්ඡා කරද්දි හුඟක් ශිෂ්‍යයන් ප්‍රයෝජන ලබනවා.
11. මේ සඟරාව හොඳින් පාවිච්චි කරන්න ඕනෙ ඇයි?
11 අපි ජීවත් වෙන්නේ හතර වටෙන්ම අසුබ ආරංචි අහන්න ලැබෙන කාලයක. ඒ නිසා දේවරාජ්‍ය ගැනත් පාරාදීසය ගැනත් ජනයාට කියන්න ලැබෙන එක අපිට ලොකු වරප්‍රසාදයක්. (මතෙ. 24:14; 2 පේතෘ. 3:13) ඒ ශුභාරංචිය අහන හුඟදෙනෙක් මේ වදන්වලට එකඟ වෙයි කියලා අපිට විශ්වාසයි. “කඳු මුදුනේ සිට ශුභාරංචියක් රැගෙන එන තැනැත්තාගේ පාද කොපමණ අලංකාරද! ඔහු පැමිණෙන්නේ සාමය ප්‍රකාශ කිරීමටයි. ඔහු යහපත් කාලයක් ගැන ශුභාරංචි කියයි. ඔහු සියොන්ට, ‘ඔබේ දෙවි දැන් රජකම් කරන්නේය’ කියා පවසමින් ගැලවීම ප්‍රකාශ කරන්නේය.” (යෙසා. 52:7) දෙවිගෙන් ලැබුණු මෙම ප්‍රීතිමත් ආරංචිය අහන්න මහත් පිපාසයකින් බලන් ඉන්න අපේ ප්‍රදේශයේ ජනයාගේ ඒ පිපාසය අපි මේ සඟරාවෙන් නිවාලමු!
[11වන පිටුවේ කොටුව]
දෙවි සහ බයිබලය ගැන සැක කරන අයට කතා කරද්දී:
● “දෙවියන්” ගැනත් “බයිබලය” ගැනත් සැක කරන සමහරු ඒ වගේ විෂයන් ගැන සාකච්ඡා කරන්න කැමති නෑ. ඒ නිසා මුලින්ම පවුල් ජීවිතය, හොඳ ආණ්ඩුවක්, අපේ අනාගතය වගේ දෙයක් එයාලත් එක්ක කතා කරන්න පුළුවන්. ඊළඟ වතාවල දෙවි කෙනෙක් ඉන්නවා කියලා දන්නෙ කොහොමද, බයිබලය විශ්වාස කරන්න පුළුවන් කොහොමද වගේ දේවල් කතා කරලා ඊටපස්සෙ ප්‍රීතිමත් පණිවිඩයක් කියන සඟරාව දෙන්න පුළුවන්.
[12වන පිටුවේ කොටුව]
ගෙයින් ගෙට සේවයේදී:
● “අද අපි ආවේ අපේ අනාගතේ වෙනුවෙන් දෙවියන් කරන්න යන දේ ගැන කියන්න. ඒක හොයාගන්න අමාරු නෑ. ඔයාගෙන් මං පොඩි ප්‍රශ්නයක් අහන්නද? අපි විඳින දුක් වේදනා දෙවියන් නැති කරයි කියලා ඔයා හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ සඟරාවේ තියෙනවා ඒකට බයිබලේ දෙන උත්තරේ. [සඟරාව දීලා පළවෙනි පාඩමේ පළවෙනි ඡේදය සහ යෙරෙමියා 29:11 කියවන්න.] එතැන කියන විදිහට අපි සතුටෙන් සාමෙන් ජීවත් වෙනවා දකින්න දෙවියන් කැමතියි. ඔයාට ඒ ගැන මොකද හිතෙන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඔයා කැමති නම් මේ සඟරාව තියාගන්න. ඊළඟ සැරේ මං ආවම ‘දෙවියන් දුක් වේදනා නැති කරන්නෙ කොහොමද’ කියලා ඊළඟ ඡේදෙන් බලමු.” (නිවැසියාට වෙලාව තියෙනවා නම් දෙවෙනි ඡේදෙත් බයිබල් පද තුනත් කියවලා සාකච්ඡා කරන්න පුළුවන්. ඒ පාඩමේ දෙවෙනි ප්රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.)
● “අද හුඟක් අය යාච්ඤා කරනවා. ප්‍රශ්න තියෙද්දි වැඩියෙනුත් යාච්ඤා කරනවා. ඔයත් යාච්ඤා කරනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඔයා හිතනවද දෙවියන් හැම යාච්ඤාවක්ම අහනවා කියලා. [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒකට බයිබලේ දෙන උත්තරේ මේ සඟරාවේ තියෙනවා. [සඟරාව දීලා 12වෙනි පාඩමේ පළවෙනි ඡේදෙයි “කියවන්න” කියලා තියෙන බයිබල් පදෙයි කියවන්න.] දෙවියන් අපේ යාච්ඤා අහන්න ආසාවෙන් ඉන්නවා කියද්දි අපේ හිතට ලොකු සහනයක් දැනෙන්නැද්ද? ඒත් යාච්ඤාවෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නෙ යාච්ඤා අහන දෙවියන්ව හොඳට දැන හඳුනගත්තොත් විතරයි. [දෙවෙනි පාඩමට පෙරළලා ඒකේ තියෙන ප්‍රශ්න ටික පෙන්නන්න.] ඔයා කැමති නම් මේ සඟරාව ඔයාට දෙන්නම්. ඊළඟ සැරේ ආවම ඒ ප්‍රශ්නවලට බයිබලේ දෙන උත්තර බලමු.”
● “අද මිනිස්සු ඉන්නේ හෙටක් ගැන බලාපොරොත්තුවක් නැතුව. මේ ලොකේ තත්වය හොඳ අතට හැරෙයි කියලා ඔයා හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න බයිබලේ තියෙන පණිවිඩය උදව් වෙනවා. මේ ප්‍රශ්න ටික බලන්න. මේවට උත්තර බයිබලේ තියෙනවා.” සඟරාව දීලා අන්තිම පිටුවේ නිවැසියා සාකච්ඡා කරන්න කැමතිම ප්රශ්නය තෝරන්න කියලා කියන්න. ඊටපස්සෙ ඒ ප්‍රශ්නයට අදාළ පාඩමට පෙරළලා පාඩමක් කරන විදිහ පෙන්නන්න. ඊළඟ ප්රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
[13වන පිටුවේ කොටුව]
පාඩමකට කැමතිද කියලා කෙළින්ම අහද්දී:
● “අපි ආවේ බයිබලය ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන් විදිහක් ගැන කියන්න. ඒකට අපි පාවිච්චි කරන්නේ මේ සඟරාව. මේකේ පාඩම් 15ක් තියෙනවා. [කවරය සහ අන්තිම පිටුව පෙන්නන්න.] මේ ප්‍රශ්නවලට උත්තර ඔයාගේ බයිබලෙන්ම හොයාගන්නේ කොහොමද කියලා ඒ පාඩම්වල පෙන්නනවා. ඔයා කවදා හරි බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න උත්සාහ කරලා තියෙනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ පාඩම් කොච්චර ලේසිද කියලා මං ඔයාට පෙන්නන්නං. [තුන්වෙනි පාඩමේ තුන්වෙනි ප්‍රශ්නෙ යටතේ තියෙන පළවෙනි ඡේදෙත් එළිදරව් 21:4, 5ත් කියවලා සාකච්ඡා කරන්න. පුළුවන් නම් ඊළඟ ඡේදෙත් “කියවන්න” කියලා තියෙන බයිබල් පදත් සාකච්ඡා කරන්න.] ඔයා කැමති නම් මං මේ සඟරාව ඔයාට දීලා යන්නං. මං ඔයාට උනන්දු කරන්නේ තව එක සැරයක්වත් මේ වගේ කෙටි සාකච්ඡාවක් කරන්න කියලා. ඊටපස්සේ ඔයාට පුළුවන් තීරණය කරන්න සාකච්ඡාව දිගටම කරනවාද කියලා. අපි එහෙනං ඊළඟ සැරේ පළවෙනි පාඩම සාකච්ඡා කරමුද? මේ බලන්න, ඒකේ එක පිටුවයි තියෙන්නෙ.”
[13වන පිටුවේ කොටුව]
නැවත බැලීම් කරද්දී:
● “ඉතිං කොහොමද? මං ඔයාට අලුත් සඟරාවක් ගෙනාවා. මේ සඟරාවේ අපිට තියෙන ගොඩක් ප්‍රශ්නවලට බයිබලේ දීලා තියෙන උත්තර පෙන්නලා දෙනවා. [සඟරාව දීලා, අන්තිම පිටුව බලන්න කියන්න.] ඔයා උත්තර දැනගන්න කැමති කොයි ප්‍රශ්නෙටද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. එයා තෝරගත්ත පාඩමට පෙරළන්න.] ඒ ප්‍රශ්නෙට බයිබලේ තියෙන උත්තරේ මේ සඟරාවෙන් හොයාගන්න විදිහ මං ඔයාට පෙන්නන්නං.” තෝරගත්ත පාඩමේ ඡේදයක් හෝ දෙකක් සහ “කියවන්න” කියලා තියෙන බයිබල් පද කියවලා පාඩමක් කරන විදිහ පෙන්නන්න. මේ විදිහට හරි ලේසියෙන් බයිබල් පාඩමක් කරන්න පුළුවන්. සඟරාව නිවැසියාට දීලා ඊළඟ සාකච්ඡාවට දිනයක් කතා කරගන්න. ඒ පාඩම ඉවර වුණාට පස්සෙ නිවැසියා කැමති වෙන පාඩමක් හරි එහෙම නැත්නං පළවෙනි පාඩමේ ඉඳලා හරි දිගටම සාකච්ඡාව කරගෙන යන්න පුළුවන්.