‘යහපත් ක්‍රියාවලින් ධනවත් වෙන්න’
1 ප්‍රේරිත පාවුල් ජ්වලිතව කරගෙන ගිය ඔහුගේ දේවසේවයේ අවසන් අවුරුදු කිහිපයේදී තිමෝති සහ තීතස් සමඟ කිට්ටුවෙන් සේවය කළා. මොවුන් දෙදෙනාව දිරිමත් කිරීමේදී ඔහු එක සමාන වදන් යොදාගත්තා. “දෙවි කෙරෙහි අදහාගන සිටින්නන් යහපත් ක්‍රියාවල [දිගටම, NW] යෙදී සිටින්ට” ඕනෑය කියා ඔහු තීතස්ට පැවසුවා. (තීත. 3:8) පාවුල් තිමෝතිට පැවසුවේ, දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින අය “උතුම් [යහපත්, NW] ක්‍රියාවලින් ධනවත් [විය]” යුතු බවයි. (1 තිමෝ. 6:17, 18) මෙය අපි සියලුදෙනාටම කදිම උපදේශයක්! නමුත් යහපත් ක්‍රියා කරන්න අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ කුමක්ද? ඉදිරි දවස්වලදී අපට කරන්න පුළුවන් විශේෂ දේවල් මොනවාද?
2 නිවැරදි වූ යහපත් ක්‍රියාවලින් ධනවත් වීමට පෙලඹවීමක් ඇති කරවන්නේ යෙහෝවා කෙරෙහි අපේ විශ්වාසය හා ප්‍රේමය මෙන්ම ඔහු අපට දී තිබෙන මවිතකර බලාපොරොත්තුවයි. (1 තිමෝ. 6:19; තීත. 2:11) මේ දවස්වල විශේෂයෙන් අපට සිහිගන්වන්නේ යෙහෝවා ඔහුගේ පුත්‍රයාව පොළොවට එවීම ගැනයි. යේසුස් මේ පොළොවට ආවේ ඔහුගේ පියාව නිදොස් කිරීමට හා සදාකාල ජීවනය ලබන්න සුදුසු අයට ඒ සඳහා මාර්ගය විවෘත කර දීමටයි. (මතෙ. 20:28; යොහ. 3:16) මාර්තු 28වනදා පවත්වන ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේදී ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න නියමිතයි. සදාකල් ජීවත් වීමේ මවිතකර බලාපොරොත්තුව යෙහෝවා අපට ලබා දීම අගය කිරීමක් හැටියට ‘යහපත් ක්‍රියාවලින් ධනවත් වෙන්න’ අපට කළ හැකි සෑම දෙයක්ම කරන්න අප තුළ පෙලඹීමක් ඇති වන්නේ නැද්ද? ඇත්තෙන්ම අප තුළ එවන් පෙලඹීමක් ඇති වෙනවාට සැකයක් නැහැ! දැන් අපට කරන්න පුළුවන් දේවල් මොනවාද?
3 මාර්තු හා ඉන්පසුවද කළ හැකි යහපත් ක්‍රියා: ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් වසරේ වැදගත්ම අවස්ථාව ලෙස සලකන සිහි කිරීමට අපි සැමෝම යන බව නම් ස්ථිරයි. (ලූක් 22:19) නමුත් අපි කැමති වන්නේ හැකි තරම් විශාල පිරිසක් සමඟ ඒ අවස්ථාවේ ප්‍රීතිය භුක්ති විඳින්නයි. ලොව පුරා පිහිටි රටවල් ගණනාවකම පසුගිය අවුරුද්දේදී සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව, ප්‍රචාරකයන්ගේ ගණන මෙන් තුන් හතර ගුණයක්, පස් ගුණයක්, සමහර රටවල ඊටත් වඩා වැඩි බව 2002 ජනවාරි 1 මුරටැඹ සඟරාවේ සඳහන් සේවා වාර්තාව බැලුවොත් ඔබට දැකගන්න පුළුවන්. තමන්ගේ බල ප්‍රදේශය පුරා සිහි කිරීමේ ආරාධනා පත්‍ර විශාල ප්‍රමාණයක් බෙදාහැරීමට ඒ සභාවල සිටින සියලුදෙනාම සෑහෙන වෙහෙසක් දැරූ නිසයි, ඒ තරම් විශාල පිරිසක් පැමිණියේ. එනිසා අද සිට මාර්තු 28 දක්වා තිබෙන දවස් කිහිපය ඇතුළත සිහි කිරීමේ උත්සවය සඳහා ජනයාට ආරාධනා කරන්න හැකි තරම් කාලයක් යොදවන්න අපිත් කැමතියි. මෙසේ කිරීමෙන් ගැළවීමේ බලාපොරොත්තුව ගැන ඉගෙනගන්න ජනයාට උපකාර කරන්න අපට පුළුවන්.
4 අප්‍රියෙල් මාසයේදීත් ‘යහපත් ක්‍රියාවලින් ධනවත් වීම’ සඳහා අපේ කාලය යොදවන්න අපට පුළුවන් කොහොමද? “යහපත් ක්‍රියා ගැන ජ්වලිත” වෙමින් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙහි දිගටම උද්යෝගයෙන් හවුල් වීමෙන් ‘යහපත් ක්‍රියාවලින් ධනවත් වෙන්න’ පුළුවන්. (තීත. 2:14; මතෙ. 24:14) ඔබට මාර්තු මාසයේදී උපකාරික පුරෝගාමී සේවය කරන්න බැරි වුණා නම්, අප්‍රියෙල් හෝ මැයි නැත්නම් ඒ මාස දෙකේම උපකාරික පුරෝගාමී සේවය කරන්න පුළුවන්ද? ඔබ මාර්තු මාසයේදී පුරෝගාමී සේවය කළා නම්, ඔබට පුළුවන්ද දිගටම එසේ කරන්න?
5 පැයක් හෝ ඊට වැඩි කාලයක් රැකියාවට යන ගමන් සේවය කරන්න හෝ වීදිවල සාක්ෂි දරන්න හෝ පාන්දර විවෘත කරන ව්‍යාපාරික ස්ථානවල සිටින මිනිසුන්ට සාක්ෂි දරන්න තමන්ට පුළුවන් බව රැකියා කරන සමහරුන්ට පෙනී ගොස් තිබෙනවා. රැකියා කරන තවත් සමහරු දහවල් ආහාර ගන්න පැයෙන් යම් කාලයක් සාක්ෂි දැරීමට යොදාගන්නවා. තමන් සමඟ වැඩ කරන කෙනෙකු සමඟ කෑම පැයේදී බයිබල් පාඩමක් පවා කරන්න පුළුවන් බව සමහරුන්ට පෙනී ගොස් තිබෙනවා. නිවසේ වැඩ පළ කරන සහෝදරියන් හුඟදෙනෙක් ඔවුන්ගේ දරුවන් පාසැල් ගියාට පසු ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට කාලය වෙන් කරගෙන තිබෙනවා. සමහර දවස්වල ටිකක් වේලාසනින් නැඟිටිනවා නම් ගෙදර දොර වැඩ පළ කළාට පස්සේ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයේ හවුල් වීමට වැඩි වේලාවක් ඉතුරු කරගන්න ගෘහිණියන්ට පුළුවන්.—එපී. 5:15, 16.
6 සමහරවිට ඔබට උපකාරික පුරෝගාමී සේවය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණත් දේවසේවයේ වැඩි කාලයක් යොදවන්න පුළුවන් වෙන විදිහට පෞද්ගලිකව දේවල් සැලසුම් කරගන්න ඔබට හැකියි. මෙසේ කිරීමෙන් “යහපත කරන්ටත්, උතුම් [යහපත්, NW] ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගිවන්තව, බෙදා දීමට ලැදිව සිටින්ටත්” ඔබට හැකියි.—1 තිමෝ. 6:18.
7 ගෝලයන් සෑදීමේ යහපත් ක්‍රියාව මතකයේ තබාගන්න: සෑම වසරකම උනන්දුව දක්වන අය සිහි කිරීමට පැමිණෙනවා. සිහි කිරීමට පැමිණියත් බයිබලය පාඩම් කරන්නේ නැති අය කෙරෙහි සැලකිල්ල දක්වන්න සභාවේ සිටින සමහර අයට පුළුවන්ද? එවැනි අයට ආත්මිකව දියුණු වීම සඳහා උපකාර කිරීමේ අරමුණ ඇතුව නැවත ගොස් ඔවුන්ව හමු විය හැකිද? සිහි කිරීමට පැමිණෙන එවැනි අයගෙන් සමහරදෙනෙක් සාක්ෂිකරුවන්ගේ නෑදෑයන් විය හැකියි. තවත් සමහරු මීට කලින් බයිබලය පාඩම් කර තිබෙන්න පුළුවන්. මොවුන්ට අවශ්‍ය කරන්නේ පාඩම නැවත පටන්ගෙන, නිතිපතා රැස්වීම්වලට පැමිණීම සඳහා දිරිගැන්වීමක් පමණයි. මේ අය අප සමඟ එක්ව යෙහෝවාට ක්‍රියාශීලීව සේවය කරනවා දැකීමෙන් අපට ලබන්න පුළුවන් ප්‍රීතිය මොනතරම්ද!
8 මාර්තු මාසයේදී හා ඉන්පසු මාසවල දේවසේවයේ වැඩියෙන් හවුල් වීමෙන් අපට පුළුවන් නැවත ගොස් හමු විය හැකි උනන්දුව දක්වන වැඩිදෙනෙකුව සොයාගන්න. කල්පනා කිරීමට සලස්වන යම් ප්‍රශ්නයක් ඔවුන්ගෙන් අසන්න. ඒ ප්‍රශ්නයට උත්තර දීමට ඔබ නැවත එන බව පවසන්න. අපි මෙසේ කරනවා නම්, නැවත බැලීම් පටන්ගන්න අපට පුළුවන්. නැවත බැලීම් හැකි තරම් ඉක්මනින් කරන්න පුළුවන් නම් හොඳයි. මුල් හමුවීමේදීම බයිබල් පාඩමක් පටන්ගන්න අපට තවමත් හැකි වී නැත්නම්, සේවයේ යන ඊළඟ දවසේදී ඒ විදිහට පාඩමක් පටන්ගන්න හැකි සෑම උත්සාහයක්ම දරන්න.
9 අපි වීදිවල සාක්ෂි දරද්දී මිනිසුන් සමඟ සංවාදයන් ආරම්භ කිරීම සඳහා සාවධානව සිටිය යුතුයි. වීදි සේවය කරද්දී හමු වූ උනන්දුව දැක්වූ අය විසින් ප්‍රචාරකයන් බොහෝදෙනෙකුට ඔවුන්ගේ නම්, ලිපිනයන් හා දූරකථන අංක දී තිබෙනවා. ඔබේ බලප්‍රදේශයේ ජීවත් නොවන උනන්දුව දක්වන පුද්ගලයෙකු ඔබට හමු වුණොත්, රාජ්‍ය ශාලාවේ තිබෙන කරුණාකර නැවත ගොස් හමු වන්න (S-43) නමැති පෝරමය පුරවා, ඔබේ සභාවේ ලේකම්ට දෙන්න. ඔහු එය ඔබට හමු වූ උනන්දුව දැක්වූ පුද්ගලයා පදිංචි වී සිටින ප්‍රදේශයේ සභාවට යවයි. ලේකම්ට මෙය කළ නොහැකි නම්, ඔහුට පුළුවන් එම පෝරමය ශාඛා කාර්යාලයට යවන්න. මෙසේ කිරීමෙන් උනන්දුව දැක්වූ පුද්ගලයාට උපකාර කරන්න පුළුවන්.
10 ලබාගත්තේ උනන්දුව දැක්වූ පුද්ගලයාගේ ලිපිනය නොව, දූරකථන අංකය නම්, ඔහු හෝ ඇය සමඟ දූරකථනයෙන් නැවත බැලීමක් කරන්න. ඔබ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දේවල් කල් තියා සූදානම් කරගන්න. නිවසේදී කතා කිරීමට තරම් කාලයක් නොමැති අය ඇතුළුව, උනන්දුව දක්වන අය සමඟ දූරකථනයෙන් පාඩම් කිරීමෙන් සමහර ප්‍රචාරකයන් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙනවා. ගෙයින් ගෙට සේවයේදී තමන්ට හමු වන උනන්දුව දක්වන කාන්තාවන්ගෙන් දූරකථන අංක ඉල්ලගන්න සහෝදරියක් පටන්ගත්තා. මෙසේ කිරීමෙන් බයිබල් පාඩම් දෙකක් පටන්ගන්න ඇයට පුළුවන් වුණා.
11 අක්‍රියාශීලී අයට උපකාර කිරීමේදී වැඩිමහල්ලන්ට සහය වන්න: මෙවැනි අයට ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වීමට වැඩිමහල්ලන් මහත් උනන්දුවක් දක්වනවා. අක්‍රියාශීලී අයගෙන් සෑහෙන පිරිසක් ඔවුන්ම මුල් පියවර අරගෙන සභා රැස්වීම්වලට පැමිණෙන්න දැනටමත් පටන්ගෙන තිබෙනවා. ගීතාවලිය 91වන පරිච්ඡේදයේ විස්තර කරන ආත්මික සුරක්ෂිතභාවය ලැබීම සඳහා යෙහෝවාගේ සංවිධානය සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීමේ අවශ්‍යතාව ඔවුන්ට වැටහෙනවා. මොවුන්ගෙන් සමහරදෙනෙක් නැවත ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට දැනටමත් සූදානම්. මේ මාසයේ සිහි කිරීමට පැමිණෙන අක්‍රියාශීලී වී සිටින වෙනත් අය පෞද්ගලිකව බයිබල් පාඩමක් පටන්ගන්න කැමති විය හැකියි. එසේ ඔවුන් කැමති වුණොත්, ඔවුන්ට උපකාර කරන්න ආශාවෙන් සිටින අයව ඔවුන් සමඟ පාඩම් කරන්න වැඩිමහල්ලන් විසින් යොමු කළ හැකියි. මෙයාකාරයෙන් උපකාර කරන්න කියා ඔබෙන් ඉල්ලා සිටියහොත්, ඔබේ සහයෝගය වැඩිමහල්ලන් හුඟාක් අගය කරනු ලබන බවට සැකයක් නැහැ.—රෝම 15:1, 2.
12 ‘යහපත් ක්‍රියාවල දිගටම යෙදී සිටින්න’: මාසයක් හෝ ඊට වැඩි ගණනක් උපකාරික පුරෝගාමී සේවය කර තිබෙන හුඟදෙනෙකුට පෙනී ගොස් තිබෙන දෙයක් වන්නේ ඊළඟ මාසවල ඔවුන්ගේ සේවය වැඩි වී තිබෙන බවයි. නැවත ගොස් හමු විය යුතුයි කියා ඔවුන්ට හැඟුණු උනන්දුව දැක්වූ අයව උපකාරික පුරෝගාමී සේවය කරද්දී ඔවුන්ට හමු වුණා. උනන්දුව දැක්වූ අයව නැවත වතාවක් ගොස් හමුවීම සඳහා ක්ෂේත්‍ර සේවයේ වැඩි කාලයක් යෙදවීමට අමතර වෑයමක් දරන්න ඔවුන් පෙලඹී තිබෙනවා. සමහරු බයිබල් පාඩම් පටන්ගත්තා. දේවසේවය සඳහා වැඩි කාලයක් යොදවන්න එමගින් ඔවුන්ට හැකි වී තිබෙනවා.
13 කෙසේවෙතත්, තවත් අය දේශනා සේවයේ හා ගෝලයන් සෑදීමේ කාර්යයේ වැඩියෙන් හවුල් වීම නිසා මහත් ප්‍රීතියක් භුක්ති විඳ තිබෙනවා. දේවසේවය සඳහා වැඩි කාලයක් යෙදවීමට ඔවුන් තුළ පෙලඹීමක් ඇති වී තිබෙන්නේ ඔවුන් ප්‍රමුඛතා විග්රහ කර බැලූ නිසායි. එහි ප්‍රතිඵලයක් හැටියට, දිගටම උපකාරික පුරෝගාමී සේවය කිරීම සඳහා රැකියා ස්ථානයේ වැඩ අඩු කරගන්න සමහරුන්ට හැකි අතර තවත් අයට ස්ථාවර පුරෝගාමී සේවය පටන්ගන්න හැකි වී තිබෙනවා. තමන්ගේ බලාපොරොත්තුව මේ ලෝකයේ දේවල් කෙරෙහි නොව සම්පූර්ණයෙන්ම දෙවි කෙරෙහි ඔවුන් තබා තිබෙනවා. “ත්‍යාගිවන්තව, බෙදා දීමට ලැදිව [සිටීමෙන්]” යෙහෝවාගේ මහඟු ආශීර්වාද භුක්ති විඳිය හැකි බවත් ‘සැබෑ ජීවනය’ පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තුව තවත් ශක්තිමත් වී තිබෙන බවත් ඔවුන්ට පෙනී ගොස් තිබෙනවා. (1 තිමෝ. 6:18, 19) ඇත්තෙන්ම, වැඩි පිරිසක් පුරෝගාමී සේවය කරද්දී මුළු සභාවම එයින් ප්‍රයෝජන ලබනවා. පුරෝගාමීන් තමන්ගේ අද්දැකීම් ගැන අනිත් අයත් එක්ක කතා කරන්නත් තමන් සමඟ සේවයේ හවුල් වෙන්න අනිත් අයට ආරාධනා කරන්නත් මහත් ආශාවක් දක්වනවා. මේ මගින් සභාවේ ආත්මික ක්‍රියාකාරකම් පිරි ජ්වලිතවත් වාතාවරණයක් ඇති වෙනවා.
14 මේ සිහි කිරීමේ කාලයේදීත් ඉන්පසුවත් ක්‍රිස්තියානි දේවසේවයේ වැඩියෙන් හවුල් වීමෙන් අපි සියලුදෙනාම ‘යහපත් ක්‍රියාවලින් ධනවත්’ වෙමු. ධර්මිෂ්ඨකම වාසය කරන නව පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව අප ඉදිරියෙහි තැබීමෙන් යෙහෝවා කර තිබෙන දෙය සඳහා අපේ අගය පෙන්වමු.—2 පේතෘ. 3:13.